Powered By Blogger

Sunday 20 December 2020

ධම්මික පැණියේ ප්‍රෝඩාකාරී භ්‍රෂ්ටයා

 




නෙත් එෆ්.එම්. "බැලුම්ගල" වැඩසටහනින් 2013 මාර්තු මාසයේ ප්‍රචාරය වූ ධනපාල කපුවාගේ පැටිකිරිය මෙන්න. 
 
 
මෙවන් තවත් වැඩසටහනක් ප්‍රචාරය වී ඇත. ඒ වැඩසටහනේ තවත් ප්‍රෝඩාකාරී සෙල්ලම් ගැන කියා ඇත. 
 
 2020 දී ධමමික නමින් මතු වූයේ මේ භ්‍රෂ්ටයාය. රට කරවන ඇත්තන් රැවටුණේ මේ කපටියාටය.
 
එපමණක් නොව මේ හාදයාට රැවටුණු අය අතර උගතුන්, වෛද්‍යවරුන් ඉංජිනේරුවන්, පරිපාලකයින් ඇතුළු විශාල පිරිසක් වේ.
මේ හඬ පටයේ ධනපාල කපුවාගේ සහ අගතියට පත් පන්සලේ හාමුදුරුවන් ඇතුළු ගම්මුන්ගේ කතා ඇතුළත්ය.
 
අද දවසේ මේ වැඩසටහන සඟවා තැබුවද කල් තබා මෙවන් හොරදෙටුවෙකු ගැන සමාජයට හෙළි කළ "නෙත්" නාළිකාවට ස්තූතියි.


 
 
 

Tuesday 15 December 2020

මධ්‍යම රාත්‍රියේ ගැඹුරු මුහුදේ මෙහෙයුමක්

 

නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු  

නොකීකතා පෙළක්.
 
 

 

එක් දිනෙත රාත්‍රී ආහාරයෙන් පසු Ward Room එකේ සාමිචියේ යෙදෙමින් සිටි කපිතාන්වරයා “Get ready to go to the Sea” යනුවෙන් මට මුහුදට යන්නට සුදානම් වන්නැයි නියෝග කළා.

එවිට වෙලාව රාත්‍රී 10 ට පමණ වුණා. මට කිසිවක් සිතා ගත නොහැකි වුණා. කොමාන්ඩර් රසී(Z)ක් පවසා සිටියේ අප ඒ වන විට නැංගුරම් ලා සිටි උතුරු මුහුදු මාර්ගය ආශ්‍රිතව ඉන්දියාවේ සිට හොර බඩු ගෙන ඒම සේම කොටි ත්‍රස්තවාදීන් ආයුධ ප්‍රවාහනය සිදු කරන නිසා කූගර් (Cougher) බෝට්ටුවේ නැගී රෙකී (Reccy) සංචාරයක් යන ලෙසයි.

හිස සිට දෙපා දක්වා නියමිත ඇඳුමින් සැරසුණු මට T 56 රයිෆලයක්ද, වෝකි ටෝකියක්ද, බොඩි ආර්මර්ද අවි ගබඩාවෙන් නිකුත් කරනු ලැබුවා. මේ නුහුරු අත්දැකීම ලබන්නට මා පිටත් වූයේ ප්‍රධාන සුළු නිලධාරියා (Chief Petty Officer) හා තවත් නාවික සෙබළෙකු සමඟයි.

ප්‍රධාන සුළු නිලධාරියා මට උපදෙස් දුන්නේ අපට කූගර් බෝට්ටුවෙන් ගොස් ඩ්‍රිෆ්ට් (drift) වෙමින් නැතහොත් එන්ජිම නවතා පාවෙමින් සිටින්නට සිදු වන බවයි. දුම්වැටියක් හෝ දල්වන්නට අපට අවසර තිබුණේ නැහැ. ඊට හේතුව ප්‍රතිවාදියා අප සිටින බව තේරුම් ගන්නට එය හේතුවක් වීමයි.

 
 
 
 
 
 
ඉතිරිය  පහත link එකෙන් ආලෝචනා  අන්තර්ජාල සඟරාවෙන් කියවන්න.
 
 
 
 
 

Monday 14 December 2020

වෙද්දු

 

 


පේ ගම් වල විවිධාකාර වෙද්දු සිටියෝය. සිටින්නෝය. අපේ අත්තලා, මුත්තලා, අම්මලා, තාත්තලා, නැන්දලා, මාමලා ඔය කොයි කවුරුත් එක එක වෙද්දුන්ගෙන් බෙහෙත් ගත්තෝය.

මා කුඩා අවදියේ අල්ලපු ගමේ සිටි සර්පවෙදා සර්පයින් දෂ්ඨ කිරීමට බෙහෙත් කිරීම ගැන අතිශය ප්‍රසිද්ධය. සර්පයා අල්ලාගෙන එන්නැයි කියන සර්පවෙදා, රෝගියාට සර්පයාව දත් වලින් හපා ඉස්ම බොන්නයි නියෝග කරන බව මා අසා ඇත. එසේ පොළඟෙකු හැපූ පසු ලෙඩා සුව වුවත් සර්ප විෂට ලෙඩාගේ දත් හැලුණු බව අපේ අම්මලා කියනවා මට මතකය.

ලෙඩා මළත් බඩ සුද්දයි කියනවා ඇත්තේ එවැනි සිද්ධි වලටය. ඒ කතාව ජනප්‍රවාදයේ එන්නේ කක්ක ගල් වී වෙදා ළඟට ගිය ලෙඩාට බඩ යන්නට දුන් බෙහෙත් වලින් ලෙඩා මළත් බඩ සුද්ද වන නිසාය.

සර්ප වෙද්දු, හරක් වෙද්දු, හන්දි වෙද්දු, කැඩුම් බිඳුම් වෙද්දු, සර්වාංග වෙද්දු යනාදී වශයෙන් වෙද්දු නම් බොහෝය. මව් එළදෙනගෙන් වැඩියෙන් කිරි බිව් වසු පැටවාගේ අංග ජාතයට පණුවන් ගැසූ පසු හරක් වෙදා පැමිණ කළේ වසු පැටවා බිම පෙරළාගෙන ගල්පොයියක් උඩ අංගජාතය තබා පොල්කට්ටකින් තැලීමය. එවිට කිරිපාට පණුවන් හතර අතේ විසිරුණා මට මතකය.

අපේ අම්මාට හරකෙක් ඇන ඉල ඇටයක් බිඳුනු වෙලේ තෙල් බේත් සාත්තුව කරන්නට දුර ඈත අත්තනගල්ලේ කැඩුම් බිඳුම් වෙදා සොයාගෙන ගියා මට මතකය. බිඳුනු ඇටය ඇදේට පෑස්සුන හෙයින් එය බිඳ යළිත් පාස්සන්නට සිදු වුණාද මතකය.

තාත්තා කිව්වේ ඌ නම් යකාගෙ වෙදෙක් කියාය. සමහර වෙද්දුන්ට ගම්මු කිව්වේ ඕකා හොර වෙදා කියාය. සමහරු පුරුද්දට බේත් කළ අතර සමහරු ඉවට බේත් කළහ. තවත් සමහරු මෙලෝ සංසාරෙක දෙයක් නොදැන ඔහේ හිතට එන බේත් කළහ. විටෙක ඒවායින් රෝගය සුව වූ අතර තවත් විටෙක ලෙඩ්ඩු මළහ. හැබැයි ඒ අතරම පාරම්පරිකව ලබාගත් ඥානය මත බෙහෙත් කරන වෙද්දුද සිටියහ.

සමහර වෙද්දුන්ට කිව්වේ ඕකා නම් රටේ වෙදා කියාය. රටේ වෙද්දු අතර පාරම්පරික වෙද්දු, ආයුර්වේද වෙද්දු පමණක් නොව ඩිස්පැන්සරි එකේ සිටි බටහිර බෙහෙත් කරන වෙද්දුද වූහ. ඔය ටවුමෙ ඉන්න වෙදා ඉස්පිරිතාලෙ බෙහෙත් කලවම් කරපු හාදයා කියා තාත්තා කියනවා මට මතකය. හැබැයි ඒ වෙද්දුන් ගෙන්ද මිනිස්සු බේත් ගත්හ.

ඉස්පිරිතාලෙ ඇටෙන්ඩන් කෙනෙක් ලෙස රස්සාව කළ අපේ ඥාතියෙක් දැනටත් තුවාල වලට බේත් දමන වෙදකම කරන්නේය. තුවාල මසා බෙහෙත් දමන්නේය. මිනිසුන් සොයා ගෙන එන්නේ හෙදියක වූ දියණිය නොව ඇටෙන්ඩන් වූ තාත්තාවය. පොලීසියෙන් පහර දී ඔලුව පැලුණු පසු ඉස්පිරිතාලෙට ගෙන යන්නට බැරි ලෙඩ්ඩු පවා පොලිසියේ අය අරගෙන එන්නේ මේ වෙද ඥාතියා වෙතටය.

ගමේ පොළට ගියාමත් නානාප්‍රකාර වෙද්දුය. නැත්නම් වෙදුන්ගේ නියෝජිතයෝය. එක පැත්තක තෙල් බේත්ය. තවත් පැත්තක කල්කය, චූර්ණය, අරිෂ්ඨය. ඒ අතර විවිධාකාර පැණිය. අරකට හොද පැණි ය.. මේකට හොඳ පැණි ය..කෝකටත් හොඳ පැණි ය.. කොටින්ම කියතොත් පැණි විමානයක්ය.

අපේ ගම් වැසියන් චිරාත් කාලයක සිට පුරුදුව සිටින්නේ මෙවැනි වෙද්දුන් ගෙන් බෙහෙත් ගන්නටය. විටෙක දැන දැනත් ඔවුන් යන්නේ හොර වෙද්දුන් ළඟටය. ඕකා රටේ වෙදා.. ඕකා හොර වෙදෙක්… ඕකා මිනිමරු වෙදෙක් යනාදී නම්බුනාම දෙමින් වුවද බොහෝ ගැමියන් යන්නේ ඒ වෙද්දු ලඟටමය.

ඒ අපේ රටේ ගැමියන්ගේ අනන්‍යතාවයද කියා සියාතුට සිතෙන වාර අනන්තය. මේ දවස් වල හතර අතේ බිහිවෙන පැණිකාරයින් දකින විට ද සිතෙන්නේ එසේමය. වැඩේ කියන්නේ ඒ අනන්‍යතාවය රට කරවන මහත්තැන්ලාටද බෝවී තිබීමය.

මෙතෙක් කාලයක් ඒ වෙද්දු තමන්ගේ බෙහෙත් විකුණුවේ නොනිල අන්දමින් තැන්තැන්වලය. ඒවා හට නිල රාජ්‍ය අනුග්‍රහයක් නොලැබුණු නිසා කිසියම් අකරතැබ්බක් සිදුවුවහොත් වගකීම බාර ගන්නට සිද්ධ වුණේද වෙදා හොයාගෙන ගිය ලෙඩාටමය.

වෙද්දු බෙහෙත් සොයා ගන්න එක හොඳය. ඒවා නිවැරදි ප්‍රතිකාර බවට පත්වෙනවා නම් ඊටත් වඩා හොඳය. හැබැයි එහෙම වෙන්නට පෙර, එසේ ප්‍රතිකාරවලින් සුව වෙනවාදැයි සොයා ගන්නටත් කලින් රට කරවන කවුන්සිලේ ඇත්තෝ පැණිය බීගෙන බීගෙන යන එක තරම් විකාරයක් තවත් නැත්තේය.

 

ඊටත් වඩා කොමඩියක් වන්නේ “පැණියක් බීවම මොකෝ වෙන්නේ” කියා කටහැකර ඇත්තෙක් කවුන්සිලේ ගෝරනාඩු කිරීමය. උන්නැහේ හිතනවා ඇත්තේ මොන ගූ ගොඩක් දියකර දුන්නත් පැණි රහ නම් ඒක ඇඟට හොඳ වෙන්න එපැයි කියාය.

 

සෙස්ස පස්සට…

 


Saturday 5 December 2020

"වැඩේ කෙරෙනවා නම් මේසන්ගේ බෙහෙතත් මොකද?"

 

 
 

මෙරට තුළ නීත්‍යනුකූලව ක්‍රියාත්මක වන රජයේ අනුමැතිය ලත් වෛද්‍ය ක්‍රමරැසක් වේ. ඉන් වඩාත්ම ප්‍රචලිත වන්නේද වඩාත්ම ක්‍රමවත්ව ක්‍රියාත්මක වන්නේද බටහිර ඇලොපති වෛද්‍ය ක්‍රමයයි. එයට අයත් කාලයක් තිස්සේ දැඩි ශික්ෂණයක් යටතේ ගොඩනැගුණු රෝහල් ජාලයක්, පරිපාලන ව්‍යුහයක්, අධ්‍යාපනය ලබාදීමේ හා පුහුණු කිරීමේ ක්‍රමවේදයක්, ඖෂධ නිපදවීමේ හෝ සැපයීමේ ක්‍රමවේදයක්, ජාත්‍යන්තරව දැනුම් හුවමාරු කරගැනීමේ යාන්ත්‍රණයක් සහ ඒ සියල්ලටම වඩා වැදගත් මෙකී සියලු අංගයන්ගේ තත්ත්ව පාලනය කිරීමේ ක්‍රමවේදයක් තිබේ.
 
මෙයට අමතරව මෙරට ජනයා වැඩියෙන්ම යොමුවන ආයුර්වේද වෛද්‍ය ක්‍රමයමූලික වශයෙන් දෙයාකාර වේ. ඒ ක්‍රමවත් ශාස්ත්‍රාලීය පුහුණවක් ලත් රජයේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාල වලින් බිහිවන වෛද්‍යවරුන් හා ලියාපදිංචිය ලත් පාරම්පරික වෛද්‍යවරුන්ය. මේ දෙයාකාරයේම ආයුර්වේද වෛද්‍යවරු දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන ආයුර්වේද වෛද්‍ය සභාව විසින් නියාමනය වේ. ඊට අමතරව රජයේ ආයුර්වේද රෝහල් ජාලයක්, ඖෂධ නිපදවීමේ හා බෙදාහැරීමේ යාන්ත්‍රණයක්, අධ්‍යාපනය ලබාදීමේ ක්‍රමවේදයක් ආදියත් අඩු වැඩි වශයෙන් සාර්ථකව හා සතුටුදායක අයුරින් ක්‍රියාත්මක වේ. මෙයට අමතරව එන හෝමියෝපති, ඇකුපන්චර්, යුනානි හා සිද්ධ වෛද්‍ය ක්‍රම ද යම් යම් අඩුපාඩු ඇතුව වුව කිසියම් රාජ්‍ය නියාමනයක් ඇතිව ක්‍රියාත්මකවේ.
මේ සියල්ලට හසු නොවන, කිසියම්ම ආකාරයකින් හෝ නිසි පුහුණවක් නොලත්, මුදල් ඉපැයීම පමණක් එකම අරමුණ කොටගත් ගොඩ වෙදුන්ද හොර දොස්තරයින් ද දහස් ගණනක් මෙරට ගැවසෙන බව ද අපි දනිමු. නීතිය ක්‍රියාත්මක වීමේ හා පැමිණිලි ඉදිරිපත්වීමේ අඩුපාඩු නිසාම ඔවුන් යෙහෙන් වැජඹෙන බවද අපි දනිමු.
මේ හොර වෙදුන්ගෙන් මට පෞද්ගලිකව ඇති තර්ජනයක් නැත. එසේ වන්නේ තමාට අසනීප වූ විට කවර වෛද්‍යවරයකු වෙත යා යුතුද, කවර වෛද්‍ය ක්‍රමයක පිහිට පැතිය යුතුද යන්න ගැන පැහැදිලි අයිතියක් අපට ඇති බව අප දන්නා නිසාය.
මම මූලික වශයෙන් බටහිර වෛද්‍ය ක්‍රමයේද සමහර විටෙක ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේද උපදෙස් පතා ඇත්තෙමි. ඒ ඒ අවස්ථාවන්හිදී මට වැළඳී ඇති රෝගයේ ස්වභාවය අනුව ඒ තීරණය ගන්නා ලද්දේ මවිසිනි. වෛද්‍ය ක්‍රම රැසක් රාජ්‍ය අනුමැතිය අනුව ක්‍රියාත්මක වන රටක ඒ ඒ අවස්ථාවේදී කවර වෛද්‍ය ක්‍රමයක පිහිට පතනවාද යන තීරණය ගැනීමේ නිදහස රෝගියා හෝ රෝගියාගේ සමීපතමයන් වෙත ලැබිය යුතුවේ.
 
කිසියම් හෙයකින් එක් වෛද්‍ය ක්‍රමයක පිහිට පතා එකී රෝහලකට ගිය විට අප බලාපොරොත්තු වන්නේ අපට ලැබෙන ප්‍රතිකාර එකී වෛද්‍ය ක්‍රමය විසින් අනුමත කරන ලද සුදුසුකම් ලත් පුද්ගලයින් විසින් සම්මත ක්‍රමවේද සහ ඖෂධ යොදාගෙන එකී වෛද්‍ය ක්‍රමය විසින් අනුමත කර ඇති ආකාරයට සිදුකෙරෙනු ඇත යන්නයි. කිසියම් ආකාරයකින් එසේ නොවනවා යනු රෝගියකුගේ අභිමත ප්‍රතිකාරයක් ලැබීමේ පුද්ගල අයිතිවාසිකම උල්ලංඝනය වනවා යන්නයි. මේ නිසා ආයුර්වේද වෛද්‍යවරුන් විසින් බටහිර ඖෂධ නිර්දේශ කිරීමත්, බටහිර වෛද්‍යවරුන් විසින් ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම හා බෙහෙත් නිර්දේශ කිරීමත් එකසේ ආචාරධර්ම විරෝධී වේ. මේ වෛද්‍ය ක්‍රම දෙකෙහිම සම්මිශ්‍රණයක් අවශ්‍ය යැයි යම් කිසිවෙක් සිතන්නේ නම්, මුලින්ම රාජ්‍ය අනුමැතිය හා නියාමනය ඇතිව එවන් හයිබ්රිඩ් වෛද්‍යායතන ඇරඹිය යුතුය. නො එසේව, වෙදකම් කරන්නාගේ හෝ රෝගියාගේ පෞද්ගලික අභිමතය පරිදි රජයේ [බටහිර හෝ ආයුර්වේද] රෝහලකදී කලවම් ප්‍රතිකාර ලබා නොදිය යුතුය. එසේ කිරීමෙන් නැතිවන්නේ මුළුමහත් සෞඛ්‍ය සේවයම කෙරෙහි ඇති මහජන විශ්වාසයයි.
සමහර ආයුර්වේද වෛද්‍යවරුන් විසින් ගම්බද පළාත්වල රොගීන්ට බටහිර බෙහෙත් පෙති කුඩු කර කුඩුමල් හදා දීමටත්, බටහිර වෛද්‍යවරුන් විසින් ඩෙංගු රෝගීන්ට පැපොල් කොළ තම්බා පෙවීමටත් දෙකටම මම එකසේ විරුද්ධ වෙමි.
කිසියම් ඖෂධයක් අලුතෙන් හඳුන්වාදීමේදී අනුගමනය කළ යුතු නිසි ක්‍රමවේදයන් බටහිර වෙදකමේත් ආයුර්වේද වෙදකමේත් වෙන වෙනම දක්වා තිබේ. ඒ සම්මත ක්‍රමවේදයන්ට පටහැනිව සිය ලැදියාවන්ට, සිතැඟිවලට හා ස්වයං-ඒත්තුවට අනුව බෙහෙත් නියම කිරීම කවර වෛද්‍යවරයා විසින් කරනු ලැබූවත් වැරදිය. චේතනාව යහපත් වීම පමණක් සෑහෙන්නේ තමාට පමණක් බලපාන තීරණවලදී පමණි.
දැනුම් තේරුම් ඇති අය ලෙස මා සිතා සිටි මගේ සමහර මිතුරන් පවා "වැඩේ කෙරෙනවා නම් මේසන්ගේ බෙහෙතත් මොකද?" යැයි අදහස් දක්වා තිබෙනු දුටු නිසා මේ සටහන ලියන්නට සිත්විය. මේ කතාව සම්පූර්ණයෙන් ම වැරැදිය. කුමන දේ කෙළෙසුනත් තමාගේ වැඩේ කෙරෙනවා නම් ඇතැයි යන කුණු සිතිවිල්ලට අමතරව මෙහි තවත් ලොකු වැරැද්දක් තිබේ. කිසියම් පුද්ගලයෙක් සිය නිවසේදී සිය අභිමතය පරිදි මේසන්ගේ නැත්නම් බාබර්ගේ බෙහෙත බීවත් මට ප්‍රශ්නයක් නැත. එහෙත් රජයේ රෝහල්, ආයුර්වේද හා බටහිර යන දෙකම, ක්‍රියාත්මක විය යුත්තේ ඒවා පිහිටුවා ඇති ක්‍රමවේදයන්ට යටත්ව පමණි. කිසියම් හෙයකින් මේ "මේසන් ඖෂධය" ආයුර්වේද බෙහෙතක් වී නම් [එසේ වන බවක්ද දැනගන්නට නැත] එය ආයුර්වේද රෝහල්වල ඒවායේ සම්මත ක්‍රමවේදයන්ට යටත්ව නිර්දේශ කෙරෙනවාට ද මගේ විරෝධයක් නැත. මන්ද යත් එවිට මට පහසුවෙන්ම ආයුර්වේද රෝහල් මගහැර බටහිර රෝහලක් වෙත ගිය හැකි නිසාය. අනෙක් කරුණ නම් වෛරස රෝගයක් නිසා කොහොමත් දින ගණනකින් රෝගය සුව වන බවත්, කළ යුතු එකම දෙය ඇති විය හැකි සංකූලතා පාලනය කිරීම පමණක් බවත් මේ හොර තක්කඩියන් ඉතා හොඳින් දැනගෙන සිටින බව පෙනෙන්නට තිබීමයි.
 
(ආචාර්ය I.M.S. සත්‍යප්‍රසාද් ලියූ ෆේස්බුක් පෝස්ට් එකකින් උපුටා ගැනිණ.) 
-ඉහත ඡායාරූපය මගේ තේරීමකි.