පට්ට ගහපු මාතෘකාවක් වුණත් රැග් එක ගැන මගේ අත්දැකීම් ලියන්න හිතුවේ මේවා නොකී කතා නිසාමයි.
ඔන්න දැන් ඇනෝලා පටන් ගනීවි කුණුහරුපෙන් බනින්න. අපහාස කරන්න. තර්ජනය කරන්න.
හැබැයි පුතෝ මේ කතාකාරය හොඳට කැම්පස් විතරක් නොවයි හමුදා රැග් එකත් කාල තියෙන නිසා සැලෙන්නෙ නම් නෑ.
ඔන්න රැග් එකේ වටිනාකම.
මේ කතා බහේදි "නවක වදය" කියන වචනෙ මා භාවිතා නොකරන්නෙ හිතාමතාමයි. ඊට හේතුව මේ සංකල්පයට "වදය" කියන වචනෙ කොහෙත්ම ගැලපෙන්නෙ නැති වීමයි.
සමහරු ඔය ක්‍රියාවලියට "වදය" කියල කියන්නෙම ඒක වධදීමක් නිසා නොවෙයිද කියල ප්‍රශ්න කරන්න පටන් ගත්ත. එක එක ගොංපාට් දැමීම වදයක් විදිහට පේන්න පුළුවන් වුණත් මා නම් හිතන්නෙ රැග් එක කිසිසේත්ම ශාරීරික වදයක් නොවිය යුතු බවයි.
එතකොට අහයි මානසිකව වදයක් දීම හරිද කියලා.
ඇයි අප්පා අපි ජීවිතේ ගෙවද්දි කොයි තරම් මානසික වද විඳිනවද..කොටින්ම ප්‍රේම කරද්දි අනෙකා මොන තරම් අපට වද දෙනවද.
හැමදේම හොයා බලමින් ප්‍රශ්න කරන්න ගත්තම මේ මොන වදයක්ද කියල හිතුවත්, එහෙම ඇහුවත් අපි ඒ වදේටත් කැමතියි.
මොකද ඒකෙන් තේරෙන්නෙ අනෙකා තමන් පිළිබඳ කොයි තරම් උනන්දුවක් දක්වනවද කියලයි.
නැත්ත්නං නිකම්ම අත ඇරල දැම්ම වගේ. නැතිද මං අහන්නෙ.
ඉතිං මගේ සුන්දර රැග් අත්දැකීම් සිහිපත් කරන්න කලින් රැග් එකට විරුද්ධව කෑමොර දෙන කණ්ඩායම් හෝ පුද්ගල සමූහයාව මා තේරුම් ගන්නා ආකාරයත් කියන්න කැමතියි.
1. කිසිදා වැස්සකටවත් ලංකාවේ විශ්වවිද්‍යාලයකට ගොඩ වී නැති, එහෙන් මෙහෙන් අහුලා ගත් තොරතුරු මත පොර ටෝක් දෙන්නවුන්
2. තමන්ට රිසිසේ මුළු සමාජයම හැසිරිය යුතු යැයි සිතන උද්ධච්ඡ සමාජ ක්‍රියාධාරීන්
3. පාලක පංතියෙන් වරදාන ලබාගැනීමේ අරමුණෙන් ඔවුන්ට අනියමින් පක්කලිකම් කරනු වස් "බුදු අම්මෝ වදේ, වදේ.." කියා කෑමොර දෙන විශ්වවිද්‍යාල ආචාර්‍යවරුන්
4. සිය විශ්වවිද්‍යාල ජීවිතයේදී මුලු ගැන්වී සිටි රැග් එකට මුහුණ දීමටවත් ශක්තියක් නොමැති හුදෙකලා චරිත
5. හොඳින් රැග කා, ඊටත් හොඳින් ඊළඟ වසර වලදී රැග් කළ එහෙත් ඒ බව සඟවා ගෙන සමාජ මතය ඉතිරියේ පොර ටෝක් දෙන තමන්ටත් තරුණ වියක් තිබූ බව අමතක කරන සම්ප්‍රදායික උගත්තු
6. රැග් එක යනු අති අමානුෂික, බලහත්කාරී ක්‍රියාවලියක් යැයි විශ්වාස කරන ඒ නිසාම ඉන් මිනිස් ස්වාධීනත්වයට හානියක් වන්නේ යැයිද , මානව අයිතිවාසිකම් කඩවන්නේ යැයිද ඉතා අවංක හැඟීමෙන් යුතුව තීරණය කොට ඇති මනස් පුතුන්
කවරාකාරයෙන් වුවද මාධ්‍ය මගින් වේවා, කටින් කට වේවා කිසියම් මතයක් පුන පුනා වරනගන විට එය සමාජගත් වීම් සාමාන්‍ය සිදුවීමක්.
මේ බව මෑත ඉතිහාසයේ දේශපාලන භූමියේ සිදුවූ වෙනස් වීම්වලින් මොනවට ප්‍රත්‍යක්ෂ වෙනවා.
(හා..හා...මට ලේබල් ගහන්න කළබල වෙන්න එපා. තව ටිකක් ඉල්ලං කාලම කතා කරමු.)
දැන් රැග් එකට යළි අවතීර්ණ වෙමු.
රැග් කිරීමේදී අමානුෂික බලහත්කාරකම් සිද්ධ වෙන්නේම නැද්දැයි අසන්නට දතකට මැදගෙන සූදානම් වන අයට කියන්නට ඇත්තේ ඔව්...එසේ වනවා තමයි කියායි. ඒත් ඒ සාපේක්ෂව අඩු ප්‍රතිශතයකින් බවයි මගේ වැටහීම.
එහෙත් මගේ තර්කය වන්නේ විශ්වවිද්‍යාලයට එන වැඩිහිටි සිසුන්ට ශාරීරික තාඩන පීඩන හෝ අමානුෂික ක්‍රියාවන්ට එරෙහි වීමේ ශක්තියක් තිබිය යුතුය කියායි. ජ්‍යෙෂ්ඨයෙකුගේ අණට අවනත වීමේ ගුණය කිසියම් ආකාරයක සුහද වාතාවරණයක සිදු නොවන්නේ නම් ඒ බලහත්කාරයට එරෙහි වීමේ ශක්තිය ප්‍රගුණ කිරීමද රැග් එකේදී සිදුවිය යුතුයි.
මේ විරෝධතාව මතුවිය යුත්තේ දැනුම්වත් ජ්‍යෙෂ්ඨ කණ්ඩායමෙන්මයි. ඒ සඳහා නවකයින්ට ඇති ශක්තිය අඩු බවට තර්කයක් නැහැ.
ඉතිහාසයේ සීමාව ඉක්මවා රැග් කරන ජ්‍යෙෂ්ඨයින් නැවත රැග් කිරීමට (re-rag) බඳුන් කරනු ලැබූයේ මේ පාලනය පවත්වාගෙන යෑම සඳහා බව මා අත්දැකීමෙන් දන්නවා. අද එසේ නොවන්නේ නම් ජ්‍යෙෂ්ඨයින් සිය යුතුකම් පැහැර හැරීමක්.
ඉතිහාසයේ රැග් විඳි මෙන්ම නොවිඳි, රැග් කළ මෙන්ම නොකළ, විශ්වවිද්‍යාලයට පා තැබූ මෙන්ම වැස්සකටවත් ගොඩ නොවුණ රැග් එක ගැන උනන්දු වන සෑම දෙනාගෙන්ම මා ඉල්ලා සිටින්නේ රැග් තහනම් කරනු කියා ගිරාපෝතකයින් ලෙස බෙරිහන් නොදී පවතින තත්ත්වය අධ්‍යයනය කොට වඩාත් සුඛනම්‍ය නවක හඳුනාගැනීමක් සඳහා පෙළැඹවීමක් ඇතිකරන ලෙසයි.
මා එසේ ඉල්ලා සිටින්නේ අප - (මා පමණක් නොව අප) - රැග් එක හරහා ලබාගත් දේ බොහෝ වන නිසාය. අප රැග් එකට මුහුණ දුන්නේ කිසියම් චකිතයකින් වුවද එහි සුන්දරත්වයක් සේම අර්ථයක්ද තිබුණ බවයි. ඉන් අප ජීවිතයට සරසවි දිවියට අනුගතවීමේ හුරුවක් ලබාගත් බවයි.
තරුණයින්ට තරුණයින් සේ ක්‍රියාශීලී වන්නට ඉඩ තබා, එකී ප්‍රජාවට ඔවුන්ගේ ප්‍රශ්න විසඳාගන්නට ඉඩ තබා වැඩිහිටියන් මැදට පනින්නේ නැතිව ඉන්නවා නම් කොයි තරම් හොඳද...?
* * * * * * *
අප කන්න සල්ලි නැති විටදී අනෙකා කෑ ඉඳුල් පිඟාන ගෙන අඩු කෑම එකක් කෑවේ රැග් එකේදී බෙදාහදාගෙන කෑම කා පුරුදු වී තිබුණ නිසායි.
හදිසියේ කඩප්පුලියෙක් සරම කැඩුව විටදී හෝ නාන්න ගිය විට සරම ඉස්සූ විටදී කෝප වී අනෙකාට පිහියෙන් අනින්නේ නැතිව අප හොස්ටල් එකේ කොරිඩෝරය දිගේ කාමරයට ගියේ රැග් එකේදී අනෙක් සගයින් අංගජාතය දැක තිබුණ නිසායි.
අපභ්‍රංශ පාඨමාලාවන්ගේ විවිධාකාර පැවරුම් ඉදිරියේ නවක සිසුවා විපිළිසර වෙද්දී ඉන් ගොඩ එන්නට උපදෙස් දෙමින් අවශ්‍ය කළමනා සම්පාදනය කොට දෙන්නේ රැග් එකේදී හඳුනාගත් ජ්‍යෙෂ්ඨ උත්තමයායි.
විවිධාකාර දක්ෂතා ඇත්තවුන් හඳුනාගෙන සරසවි දිවියේ ඉදිරි වැඩසටහන් වලදී මූලිකත්වය ගනුවස් වගකීම් ලබන්නට නවකයා ඒ ඒ අංශ කරා යොමු කෙරෙන්නේ මේ කාල සීමාවේ ඇතිවන දක්ෂතා හඳුනා ගැනීම් මතයි.
උදාහරණ ලෙස කලාවට ලැදිවුන් කලා කවය වෙතත්, සිනමාවට ලැදිවුන් චිත්‍රපට සංගමය වෙතත්, ගායනයට දක්ෂවුන් ගාන්ධර්ව සභාව වෙත මෙන්ම ආධුනික ගායනා ප්‍රසංගය වෙතත්, ක්‍රීඩාශීලීන් ඒ ඒ ක්‍රීඩා වෙතත් අපේ කාලයේදී යොමු කෙරණේ "නවක වද" කාල සීමාවේ දක්ෂතා ප්‍රකට කරන්නට ලැබුණ අවස්ථාවෙන් ඇති වූ දැන හඳුනාගැනීම මතයි.
මා මෙහි සඳහන් කරන්නේ රැග් එකේ සාධනීය ගුණයන් කිහිපයක් පමණයි. ලියන්නට ගියොත් ලේඛනය බොහෝ දිගු වෙනු ඇති.
රැග් එකේ අනිසි ඵල මෙන්ම රුදුරු ලක්ෂණ කියන්නට බොහෝ අය සිටින නිසාත්, දැනටම ඒවා වර නගා ඇති නිසාත් මා මෙහි සඳහන් කරන්නේ නැහැ.
කෙසේ වෙතත් ශාරීරික වද හිංසා කියන්නේ රැග් නොවෙයි. එවන් බලහත්කාරකම් ඉවත් කොට සුහද, එමෙන්ම යළි කවදා හෝ ප්‍රමෝදයෙන් සිහිපත් කළ හැකි රැග් එකකට මා එකඟ වන්නේත්, ඒ වෙනුවෙන් පෙනී සිටින්නේත් එය සරසවියට ආවේනික, ඉතිහාසගත එමෙන්ම සරසවි ප්‍රජාවගේ පැවැත්ම හා අවියෝජනීයව බැඳී තිබෙන සංස්කෘතික ලක්ෂණයක් නිසයි.
කෙටිකතා එක්ක කවි කියවන්න. මෙතැනට යන්න