Sunday, 8 January 2017

තලියේ කිඹුලන් දැකීම නොහොත් මහින්ද චින්තනය වටේම කරකැවීම



ප හිතමිත්‍ර ගුණසිරි සිල්වා සරසවි සම්මාන ගැන "සත්හඬ" පුවත්පතට  ලියා තිබූ අදහස් අවිවේකී බව මැද්දේ  වුවද යළි මෙනෙහි කරන්නට සිතුණේ සරසවි සම්මාන උළෙල රූපවාහිනියෙන් නැරඹූ පසුවය.

සම්මාන උළෙල ගැන නම් කියන්නට තිබෙන්නේ එය අජූත ඉදිරිපත් කිරීමක් බවය. 

සංගීතාට නම් නිවේදන කටයුතු බැරි බව දන්නා නිසා ඒ ගැන පුදුමයක් නැත. ප්‍රශ්නය ඇය මේ නොගැලපෙන වැඩේට තෝරා ගත්තේ කවුරුන්ද කියාය. එහෙත් කමල්..? කමල් අද්දරආරච්චි මීට පෙර ප්‍රේක්ෂකයා සිය ග්‍රහණයට නතුකොට  ගනිමින් කොතරම් වැඩසටහන් ඉදිරිපත් කොට ඇත්ද...

මෙවර ඔහුගේ ග්‍රහණය බිඳවැටෙන්නට හේතුව පෙර සූදානමක් නොමැතිවීම මෙන්ම සමකාලීන සිනමාව ගැන සංවේදී නොවන්නට තරම් හුදෙකලා වීම විය යුතුය. නැත්නම්  "ඔබ නැතුව ඔබ එක්ක" චිත්‍රපටය "ඔබ නැතුව ඔබත් එක්ක" කියා නැවත නැවතත් පුනරුච්ඡාරණය කරන්නේ නැත.

සුගතපාල සෙනරත් යාපාට සම්මාන පිදීමට පෙර ප්‍රසන්න විතානගේ  හේතු පාඨය කියවද්දී එය නිමා වීමට පෙර සම්මානලාභියා වේදිකාවට කැඳවාගෙන විත් හේතු පාඨය කියවන අතරතුර සම්මානය ලබා දීමට  තරම් වේදිකා පරිපාලකයින් මොන්ටිසෝරි දරුවන්ගේ මට්ටමට පත් වූයේ ඔවුන්ට අත්දැකීම් නොමැතිකමින්ද...

මේ අවස්ථාව මැනැවින් කළමනාකරණ කරගන්නට ප්‍රසන්න ප්‍රශස්ත උත්සහයක් ගත් බව කිව යුතුය. අවසානයේ සුගතපාල සෙනරත් යාපා  වාරුවෙන් ගොස් අසුනේ හිඳගන්නා විටත් කියවා  නිම කරන්නට නොහැකි වන තරමේ දිග  හේතු පාඨය කියැවූ ප්‍රසන්න "සම්මාන ලබන්නේ" යන්න "සම්මාන ලැබුවේ" කියා යන්තම් ජාම බේරා ගත්තේය.

සිංහල සිනමාවේ ඉතිහාසය දශක වලට බෙදා කළ ඉදිරිපත් කිරීම ලියා තිබුණේ සිනමාව ගැන සුළුවෙන් හෝ අධ්‍යයනය කළ අයෙකු වන්නට බැරිය.  එකී පිටපත උඩින් පල්ලෙන් අතපත ගා තමන්ට රිසි චිත්‍රපට වල රූපාවලි පෙන්වීමක් විය. එම විචිත්‍රාංගයේ  කිසිදු ඒකමිතියක් නොවීය. 

සම්මාන ප්‍රදානය අතරතුර ඉදිරිපත් කළ අංගයන්ගෙන් වැඩිහරියක් මෙලෝ රහක් නැත. 

අවසානයේ සමාප්ත ගීතය පසුබිමින් වාදනය කෙරෙද්දී  සනත්  නන්දසිරි ප්‍රමුඛ පිරිසගේ  තොල් සෙලවීම් සමඟ හඬ සම්පාත නොවීමෙන් ගායනය  විකාරයක් බවට පත් විය. 

දැන් සම්මාන දෙසට හැරෙමු.

මෙවර සරසවි සම්මාන උළෙලේ  සමහර  සම්මාන ගුණසිරිගේ  මෙන්ම අපගේද හොඳ මිතුරෙකු වන  ජයන්ත චන්ද්‍රසිරිගේ  "මහරජ ගැමුණු" චිත්‍රපටයට  හිමිවීම  ගැන මගේ එතරම් ප්‍රසාදයක් නැත. ඊට හේතුව වන්නේ  සමහර අංශවලින් ලබාදුන් සම්මාන වෙනත් චිත්‍රපට වලට හිමිවිය යුතු  යැයි හැඟෙන  බැවිනි. 

කවර  සම්මාන උළෙලක් අවසානයේදී  වුවද  මෙවන් නොගැලපීම් පිළිබඳ  කතාබහ මතු කිරීම සිනමාවේ දියුණුවටම හේතු වේ.

මෙසේ වන්නට හේතු කීපයක් වේ. සම්මාන උළෙලක සිටින ජූරි සභිකයින්  විවිධ මතිමතාන්තර වල එල්බගත්, විවිධාකාරයෙන් කලාව වින්දනය කරන අය වලුන් වීම ස්වභාවිකය. 

උදාහරණයක් ලෙස කිසියම් සම්මාන උළෙලක් විනිශ්චය කිරීමේදී ගුණසිරිත්, නිහාල් පීරිසුත්, අජිත් ගලප්පත්තිත්  
එකට අසුන් ගතහොත් මේ වෙනස වටහා ගත හැකි වනු ඇත. ඊට යාබද අසුනක් මා හට පැවරුණහොත් තත්ත්වය වඩාත් උග්‍ර වනු නොවනුමානය.

මෙවර සරසවි සම්මාන උළෙලේ හොඳම වේශ  නිරූපනය මෙන්ම හොඳම සහය නළුවා සම්මාන   "ඇඩ්‍රස් නෑ" චිත්‍රපටයට  ලැබුණේ නම් මා වඩාත්  කැමැතිය. එසේම හොඳම නිළිය විය යුත්තේ "බොරදිය පොකුණේ" කෞශල්‍යා බවද , "ඔබ නැතුව ඔබ එක්ක" ප්‍රධාන චරිතය නිරූපණය කළ ශ්‍යාම් හොඳම නළුවාට නිර්දේශ විය යුතු බවද, හේමාල්ට ජූරියේ සම්මානයක් දී හොඳම නළුවාට නිර්දේශ නොකළා නම් හොඳ බවද  මගේ තක්සේරුවයි. 

එහෙත් ගුණසිරි මා හා එකඟ වනු නොවනු කෙසේ වෙතත්  ජූරිය එසේ සිතා නැත.  වෙනත් සම්මාන උළෙලක් පැවැත්වුවහොත් එහි විනිශ්චයන් මෙවර සරසවි සම්මාන උළෙලේ තීන්දු තීරණ වලට වඩා හාත්පසින්ම වෙනස් වීමට ඉඩ ඇත.

මා සිතන්නේ සිනමාවේ වර්ධනය වෙනුවෙන් විචාරකයාගේ කාර්‍යභාරය විය යුත්තේ සංසන්ධනාත්මකව හා තර්කානුකූලව මෙවන් යෝජනා ඉදිරිපත් කිරීම බවය. 

එහෙත් ප්‍රවීණ සිනමා විචාරකයෙකු වන ගුණසිරි සිල්වා සිනමා විචාරය පසෙක තබා තමන් දෑස් නිලංකාර කොටගෙන සිටින යහපාලන කණ්නාඩියෙන් මහින්ද චින්තන භීතිකාවක් මවා පා ඇත.

ගුණසිරි කියන්නේ "මහරජ ගැමුණු"ට  හා  ජැක්සන් ඇන්තනිට සම්මාන දුන්නේ ජූරිය මහින්ද චින්තනයට නතු වූ නිසා කියාය.  

තම අප්‍රකාශිත චේතනාව වරනැගීම සඳහා ගුණසිරි ජූරියේ සාමාජිකයින්ගේ සිනමාව පිළිබඳ ප්‍රාමාණික දැනුම ප්‍රශ්න කරන්නට තරම් අන්තගාමී වෙයි.

ගුණසිරිගේ ප්‍රවාදයන් මේ ආකාරයට ප්‍රශ්න කිරීමට කැමැත්තෙමි.

ජයන්ත, උතුර  යුද්ධයෙන් ජය ගත යුතු යැයි තරයේ ඇදහූවෙකු නිසා රාජපක්ෂලාගේ මානුෂීය යුදකාමී මතවාදයන්ට  සමගාමීව නිර්මාණය කළා යැයි ගුණසිරි විශ්වාස කරන "මහරජ ගැමුණු" චිත්‍රපටයට සම්මාන ලැබුණේ මහින්ද චින්තනයේ බලපෑමෙන් නම් හොඳම නළුවාට හිමි සම්මානය ලැබිය යුත්තේ ගැමුණුට රඟපෑ උද්දිකට නොවේද..? මහින්ද චින්තනයෙන් සම්මාන දෙන්නේ ගැමුණුට නොව එළාරටය. මහින්දට නොව ප්‍රභාකරන් පාර්ශවයටය. මේ නම් අපබ්‍රංශ කතාවක් නොවන්නේද. 

අනෙක් අතට මහින්ද චින්තනයේ පෙරමුණේ රාළ කෙනෙකු නිසා ජැක්සන්ට සම්මාන දෙන්න හිතුවා නම් "ඇඩ්‍රස් නෑ" චිත්‍රපටයටද සම්මාන බෙදා දෙන්නට තිබුණා නොවේද..?

‍යහපාලනය වෙනුවෙන් පෙනී සිටි "පුරවැසි බලයේ" නියමුවෙකු වූ බුද්ධදාස ගලප්පත්ති, දශක ගණනාවක පටන් සිනමා විචාරයේ යෙදෙන ඈෂ්ලි රත්නවිභූෂණ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ රෝසි සේනානායක මහින්ද චින්තනයේ ගොදුරක් වූවා යන්න ඔවුන්ට කරන අපහාසයන් නොවන්නේද..

පුෂ්පා රම්ලනීගේත්, ටියුඩර් වීරසිංහගේත් සිනමාව පිළිබඳ ප්‍රාමාණික දැනුම ගුණසිරි ප්‍රශ්න කරයි. සිනමා ජූරි වල කටයුතු කොට ඇති හා ඉදිරියේදීද කටයුතු කරනු ඇති ගුණසිරි සිල්වාගේ සිනමාව පිළිබඳ ප්‍රාමාණික දැනුම යමෙකු ප්‍රශ්න කළහොත් ඔහු  ලබා දුන් හා දෙන විනිශ්චයන් දිනෙක අභියෝගයට ලක් නොවන්නේද..?

ඈෂ්ලිට, බුද්ධිට මෙන්ම ටියුඩර්ටද රංගනවේදය පිළිබඳ අවබෝධයක් නැතැයිද, ජූරි සභාවේ සිනමා ඥානය ප්‍රශ්නකාරී බවද පැවසීමෙන් නොනැවතී "මහරජ ගැමුණු" දැවැන්ත චිත්‍රපටයක් යැයි ඔවුන් මුළාවේ වැටුණා යැයි පැවසීමෙන් ඔහු ජූරියට කරන්නේ බලවත් අපහාසයකි. 

එසේ මුළවේ වැටෙන්නට තරම් ඈෂ්ලිලා සිනමා විචාරයේ බබ්බුද. අනෙක කිසියම් දේශපාලන දෘෂ්ටිවාදයක් විසින් ජූරි සභාවේ බහුතරය අන්ධ කරන්නට තරම් ඔවුන් අත්දැකීම්වලින් නොපැසුණ අයද.

ගුණසිරිගේ උවමනාව කූටප්‍රාප්තියට පත්වන්නේ ජැක්සන් වෙත දමා ගසන අවලාද වලිනි. එනම් යහපාලනයේ කසකරුවෙකු වන ගුණසිරිට   මහින්ද චින්තනයේ පෙරගමන්කරුවෙකුට සම්මාන දීම පිළිබඳ ඇතිවන විචිකිච්ඡාව හැර අන් කවරක්ද ? ජැක්සන් මවාගත් උජාරුවකින් සම්මානය  ලබාගත් බව ගුණසිරි කියන්නේ ඒ නිසා නොවේද ?  නැතහොත් විචාරයකදී සම්මානලාභියාගේ උජාරුව වැදගත්ද ?



සම්මානය ප්‍රකාශයට පත් වූ කළ ජැක්සන් නැගී සිටියේත්, ඇවිද ගියේත්, සම්මානය ලබා ගත්තේත් ඉමහත් උජාරුවකිනි. එසේ උජාරු වන්නට ජැක්සන්ට අයිතියක් ඇත. එය නිකම්ම නිකං උජාරුවක් නොවේ.

ඒ,  ජෝ අබේවික්‍රමගෙන් පසු හෙළ සිනමාවට දායාද වූ විශිෂ්ටතම රංගධරයා තමන් නිසාය. කවර ආංඩුවක් බලයට පත්වූවත් තමන්ගේ ප්‍රතිභාන්විත රංගනය නොසලකා හරින්නට නොහැකි බව සනාථ වූ නිසාය.

 අගමැතිවරයා ඉදිරියේ කොන්ද කෙලින් තබාගෙන සම්මානය ලබාගන්නේත් ඒ උජාරුව නිසාය. මුහුණ බෙරි කොටගෙන වුවද අගමැතිවරයා මදක් ඉදිරියට නැවී සම්මානය  පුදන්නේ ජැක්සන්ගේ  ඒ උජාරුව දැණුන නිසාය. එය දකින ජැක්සන් ඇන්තනි නම්වූ අසහාය රංගධරයාට පමණක් නොව අපටද උජාරුය.

සිනමා විචාරකයෙකු ලෙස ගුණසිරි කළ යුතුව තිබුණේ "දුටු ගැමුණු" චිත්‍රපටය අනෙක් චිත්‍රපට අතර තබා එහි දුබලතා සංසන්ධනාත්මකව පෙන්වා දීමය. නැතහොත් එළාර චරිතය නිරූපණය කිරීමේදී ජැක්සන් එකී චරිතයට සාධාරණයක් කොට නැතිනම් ඒ බව පෙන්වා දීමය. ශ්‍යාම් ප්‍රනාන්දුගේ හෝ හේමාල්ගේ රංගනයන් ජැක්සන්ගේ රංගනය අභිබවා යන්නේ කෙසේදැයි පෙන්වා දීමය.

ජැක්සන්ගේ හෘදය සාක්ෂිය පළා ගොස් බොහෝ කල් බව පවසන ගුණසිරිගේ හෘදය සාක්ෂිය මීට වසර හයකට පෙර මා ප්‍රශ්න කළ අයුරු සටහන් කරමින් මේ ලිපිය අවසන් කරමි. ඒ ප්‍රශ්න කිරීම අදටත් අදාළය.
පහත උපුටනය  2010 ඔක්තෝබර් 3 දා ලක්බිම ඉරිදා සංග්‍රහයෙනි.

"පසුගිය ජනාධිපතිවරණ සමයේ (2010 බව අවධාරණය කරමි) දිනෙක හදිසියෙන් මා ඇමතූ ගුණසිරි සිල්වා කලාකරුවාගේ කාර්‍යභාරය පිළිබඳ පැවැත්වෙන සම්මන්ත්‍රණයකට සහභාගි වන ලෙස මට ආරාධනය කළේය. ඒ වන විට ඔහු සිරිකොතට සම්බන්ධ වී එක්සත් ජාතික පක්ෂයේ  "සියරට" පත්තරේ කර්තෘකම කරන බව මම දැන සිටියෙමි. ඇත්තේ සිට සියරටට පැමිණි ගමනේ සංක්‍රාන්ති සමයේදී තමන් පය තබන්නට යන ඉම පිළිබඳ දෙගිඩියාවෙන් විවිධ හේතු කාරණා දක්වමින් ඔහු කතා කළ අයුරු එවේලේ මට සිහිපත් විය.

ගුණසිරි මට ආරාධනා කළේ ජෙනරාල් වෙනුවෙන් කඩේ යන කලාකරුවන් අතරට එක් වන්නටය. ඒ මොහොතේ ජෙනරාල්ට රට භාර දෙනවා යනු සියතින් ගෙල් වැලලා ගෙන තමන්වම තමන් උල තබා ගැනීමක් වන බව මම ඉතා නිවැරැදිව දැන සිටියෙමි.

ඇත්ත පත්තරෙන් පටන් ගෙන මාක්ස්වාදී  විචාරක ලේබල්  ගසා ගන්නා ගුණසිරි සිල්වා ඉවර වන්නේ එතැනිනි"

 තවත් කලාකාරයෙකුගේ හෘද සාක්ෂිය ප්‍රශ්න කරමින්, ඔහු තුළ වන උජාරුවට සිනාසෙමින්, ජූරියේ සිනමාව පිළිබඳ දැනුමේ ප්‍රාමාණික බව ප්‍රශ්න කරන්නේ මේ ගුණසිරි සිල්වාය.

(මේ ලිපිය අද "සත්හඬ"  පුවත්පතේ සිහිනය අතිරේකයේ පළවී ඇත.)




 කෙටිකතා එක්ක කවි   කියවන්න. මෙතැනට යන්න  



17 comments:

  1. ජැක්සන් විශ්ශ්ට නලුවෙක්. ඔහු ව ඇගැයීමට ලක් වූයේ හොඳම නලුවා ලෙස මිසක් නිරහන්කාරම හෝ අහින්සකම නලුවා ලෙස නොවේ.

    කලා කාරයා කලා කාරයෙක් මිස මුණි වරයෙක් නෙවෙයි..... කලාකාරයා ගේ ගේ ජාතිය, ආගම, දේශපාලනය පසෙක දමා කලාව රසවිඳින්න ඉගෙන ගනිමු!

    දේශපාලනය කිරීමට අවශ්ය වූ විට කලා කාරයෝ පසුපස නොයා දේශපාලකයෙකු සමග සෙට් වෙමු.

    ReplyDelete
  2. අද ඕන වෙලා තියෙන්නෙ සම්මාන ගන්න නිර්මාණකාරයො නෙවෙයි විසිල් ගන්න නිර්මාණකාරයො

    ReplyDelete
    Replies
    1. කොහොමත් සම්මාන ගන්න කොට විසිල් වදිනවනෙ.

      Delete
  3. ජැක්සන් දක්ෂයෙක් එකේ තර්කයක් නැහැ.නමුත් මම හිතනවා "මහරජ ගැමුණු" ට වඩා සම්මානයට පත්‍ර විය යුතු චිත්‍රපට තිබු බව. "මහරජ ගැමුණු"චිත්‍රපටය තුලින් පුද්ගලිකව මට නම් කිසිම දෙයක් දැනුනේ නැහැ.මම මේ කියන්නේ සාමාන්‍ය ප්‍රේක්ෂකයෙක් විදියට.

    හේමාල්ට වගේම පුබුදුට වාණිජ සිනමාවේ යම් කාර්යක් කරන්න පුළුවන් කියලා මට හිතෙනවා ඔවුන් ටෙලිනාට්‍යය නළුවන්ව නොසිටින තාක්.

    ReplyDelete
    Replies
    1. මමත් ඒක ලියල තියෙනව. "මහරජ ගැමුණු" ඔය තරම්ම උස්සන්න දෙයක් නෑ. හැබැයි ගිය අවුරුද්දෙ තිරගත චිත්‍රපට අතරෙ ජැක්සන්ගෙ රඟපෑම අබිබවන්න වෙනත් චරිතයක් නෑ නේද? උද්දික ප්‍රබල රංගනයක් කළා නං මේ සම්මානෙ ඔහුට ලැබෙන්න තිබුණ. කිට්ටුවට එන්නවත් රඟපෑවෙ ෂ්‍යාම් විතරයි.

      Delete
  4. නොකී කතා හිතන්නෙ නැද්ද ජැක්සන් ගේ හොඳම රංගනයන් ඇත්තේ ඔහු බලයක් ධනයක් නැති දුප්පත් හෝ සමාජයේ අඩු තැනක යයි සලකන හෝ ඩ්‍රැමටික් නැති සාමාන්‍ය චරිත කරන කොට කියලා? ඔහු බලවත් චරිත කරනකොට ඕවර් ඇක්ටිං හෝ ඩ්‍රැමටික් හෝ එපික් ගතිය වැඩියි කියලා? ඒ සමහරවිට ඔහුගේ ස්වාභාවික ඊගොයිස්ටික් ගතිය නිසා වෙන්න ඇති. එනිසා ඔහුට බලවත් චරිත ලැබුනාම overdo වෙනවා ඇති.
    කඩුල්ල වුනත් ඔහුගේ තරුණ කාලයේ චරිතය රඟපෑම බලවත් වුනාට පස්සෙ එකට වඩා effective.
    ගාමිණී ෆොන්සේකාත් එහෙමයි. ෂෝන් කොනරිත් එහෙමයි.

    අගමැති ටිකක් නැවිලා සම්මානය දෙන්නෙ නම් එතන උස හා දුර වෙනසක් නිසා කියලයි ෆෝටෝ එකේ පේන්නෙ

    ReplyDelete
    Replies
    1. මේ ආකරයේ අදහසක් මං ජෝ අබේවික්‍රම ගැන දිගු කලකට පෙර කීවා, එනම්, ඔහු ගේ විශිෂ්ඨ රංගන ඇත්තේ සරම අඳින චරිතවලදී බව.

      Delete
    2. කිසියම් නළුවෙකුගේ ඕවර් ඇක්ටිං හෝ ඩ්‍රැමටික් හෝ එපික් ගතිය වැඩි වෙනවා කියන්නේ අධ්‍යක්ෂකගේ නොහැකියාවකුත් මතු වීමක් කියලයි මං හිතන්නේ. එය වළුවාගේ පෞරුෂය අධ්‍යක්ෂවරයා අබිබවා යාමක්. ගාමිණී ෆොන්සේකාත් එහෙමයි. ෂෝන් කොනරිත් එහෙමයි.
      ඒ වගේම සමහර චරිත යම් පමණකින් ඕවර් ඇක්ටිං හෝ ඩ්‍රැමටික් ගතියක් ඉල්ලන අවස්ථාත් නැතිවා නොවෙයි. "ගරිල්ලා මාර්කටිං" ජැක්සන්ගේ රඟපෑමත් එහෙම එකක්.

      Delete
  5. ඔබ කියනවා වගේ ජෝ ගෙන් පසුව බිහි වූ අති දක්ෂතම නළුවා බොහෝ විට ජැක්ස්න්.. අනිත් පැත්තෙන් මිනිහෙක් විදියට මන් දැක්ක කුජීතම පුද්ගල්යෙක් තමයි ජැක්සන්....

    ReplyDelete
    Replies
    1. මිනිහෙක් විදියට කුජීතම පුද්ගලයෙක් කියන්නෙ දේශපාලනිකවද..නැත්නං වෙනත් සමාජ භාවිතයන් වලදීද කියල කියන්න පුළුවනිද?

      Delete
  6. //////ඒ, ජෝ අබේවික්‍රමගෙන් පසු හෙළ සිනමාවට දායාද වූ විශිෂ්ටතම රංගධරයා තමන් නිසාය./////////////

    සහතික ඇත්ත. අපි කලාව සහ දේශපාලනය වෙන්ව හඳුනාගැනීමට තවමත් සමත් නැත. ශ්‍යාම් ප්‍රනාන්දුගේ භාවමය රංග කෞශල්‍ය ගැන කතා නොවීම පුදුමයකි. යටි හිතේ තියෙන කතා ලියාගන්නට වෙලාවක් නැත.

    රෝයි ද සිල්වාට දුන් සම්මානයේ, ඔහුගේ නමවත් නැත කියා කියයි. මේවා කරන්නන් වාලේ කරන ශෝය කියාද සිතේ. අරුන ගුනරතනලා, රන්ජිත් කුමාරලාගේ අධීක්ෂනය කොහේ ගියාද... සම්මාන නොදීම මීට වඩා වටී. රෝයිගේ කතාව ඇත්තද?

    නිකං ඉන්න වෙලාවක කියවන්න. මට ජැක්සන්ගේ දක්ෂතාවය පිලිබඳ අබමල් රේණුවකවත් අහිතක් නැත.

    ReplyDelete
    Replies
    1. ශ්‍යාම් ප්‍රනාන්දුගේ භාවමය රංග කෞශල්‍ය ගැන කතා නොවීම මටත් ප්‍රශ්නයක්. ඔහුව නිර්දේශ විය යුතුව තිබුණා. අනෙක කෞශල්‍යාගේ රංගනය.
      ඔබේ බ්ලොගය දැන්ම කියවන්නම්.

      Delete
  7. ජැක්සන්ට සම්මානය දීම හරිද වැරදිද කියල මතයක් ප්‍රකාශ කරන්න බැහැ මම අනෙකුත් චිත්‍රපටි බලපු නැති නිසා. ඒත් දේශපාලන අන්ධභාවයෙන් පෙලෙන රටක ඔය කියන සම්මාන කොට ටික දේශපාලන හෙන්චයියන්ට බෙදාදුන්නා කියල කියන එක අරුම පුදුම දෙයක් වෙන්න බැහැ මේ පවතින රටාව ඇතුලේ.

    මහරජ ගැමුණු චිත්‍රපටිය ගැන වචනයක් ලියනවනම් , කෘතිය ඇතුලේ තියෙන මහරජ ගැමුණු කතාව චිත්‍රපටියට නැගීමේදී ජයන්ත චන්ද්‍රසිරි එකෙන්ම ෆේල් කියන එකයි මගේ අදහස.

    ReplyDelete
    Replies
    1. වැඩේ කියන්නෙ ජැක්සන්ට සම්මාන දෙන්නෙ ඔහු පෙනී සිටි පාලන තන්ත්‍රයෙන් නොවෙන එකනෙ.

      Delete
    2. මේ පවතින දේශපාලන තත්වය ඇතුලේ හැමදෙනාම රඟපාන්නේ රෑ දනියෙල් දවල් මිගෙල් චරිත වෙච්චි ජැක්සන් වර්තමානය වෙද්දී දවල්ට මිගෙල් චරිතය රාජපක්ෂ වෙනුවෙන් රඟපාලා රෑට දනියෙල් චරිතය යහපානය වෙනුවෙන් රඟපානවද කියල කව්ද දන්නේ...

      Delete
    3. ඒත් මං ප්‍රශ්න කළේ යහපාලනය ඇතුළෙත් ජැක්සන්ට මහින්ද චින්තනයෙන් සම්මාන දුන්න කිව්ව එක ගැනයි.

      Delete