Monday, 14 December 2020

වෙද්දු

 

 


පේ ගම් වල විවිධාකාර වෙද්දු සිටියෝය. සිටින්නෝය. අපේ අත්තලා, මුත්තලා, අම්මලා, තාත්තලා, නැන්දලා, මාමලා ඔය කොයි කවුරුත් එක එක වෙද්දුන්ගෙන් බෙහෙත් ගත්තෝය.

මා කුඩා අවදියේ අල්ලපු ගමේ සිටි සර්පවෙදා සර්පයින් දෂ්ඨ කිරීමට බෙහෙත් කිරීම ගැන අතිශය ප්‍රසිද්ධය. සර්පයා අල්ලාගෙන එන්නැයි කියන සර්පවෙදා, රෝගියාට සර්පයාව දත් වලින් හපා ඉස්ම බොන්නයි නියෝග කරන බව මා අසා ඇත. එසේ පොළඟෙකු හැපූ පසු ලෙඩා සුව වුවත් සර්ප විෂට ලෙඩාගේ දත් හැලුණු බව අපේ අම්මලා කියනවා මට මතකය.

ලෙඩා මළත් බඩ සුද්දයි කියනවා ඇත්තේ එවැනි සිද්ධි වලටය. ඒ කතාව ජනප්‍රවාදයේ එන්නේ කක්ක ගල් වී වෙදා ළඟට ගිය ලෙඩාට බඩ යන්නට දුන් බෙහෙත් වලින් ලෙඩා මළත් බඩ සුද්ද වන නිසාය.

සර්ප වෙද්දු, හරක් වෙද්දු, හන්දි වෙද්දු, කැඩුම් බිඳුම් වෙද්දු, සර්වාංග වෙද්දු යනාදී වශයෙන් වෙද්දු නම් බොහෝය. මව් එළදෙනගෙන් වැඩියෙන් කිරි බිව් වසු පැටවාගේ අංග ජාතයට පණුවන් ගැසූ පසු හරක් වෙදා පැමිණ කළේ වසු පැටවා බිම පෙරළාගෙන ගල්පොයියක් උඩ අංගජාතය තබා පොල්කට්ටකින් තැලීමය. එවිට කිරිපාට පණුවන් හතර අතේ විසිරුණා මට මතකය.

අපේ අම්මාට හරකෙක් ඇන ඉල ඇටයක් බිඳුනු වෙලේ තෙල් බේත් සාත්තුව කරන්නට දුර ඈත අත්තනගල්ලේ කැඩුම් බිඳුම් වෙදා සොයාගෙන ගියා මට මතකය. බිඳුනු ඇටය ඇදේට පෑස්සුන හෙයින් එය බිඳ යළිත් පාස්සන්නට සිදු වුණාද මතකය.

තාත්තා කිව්වේ ඌ නම් යකාගෙ වෙදෙක් කියාය. සමහර වෙද්දුන්ට ගම්මු කිව්වේ ඕකා හොර වෙදා කියාය. සමහරු පුරුද්දට බේත් කළ අතර සමහරු ඉවට බේත් කළහ. තවත් සමහරු මෙලෝ සංසාරෙක දෙයක් නොදැන ඔහේ හිතට එන බේත් කළහ. විටෙක ඒවායින් රෝගය සුව වූ අතර තවත් විටෙක ලෙඩ්ඩු මළහ. හැබැයි ඒ අතරම පාරම්පරිකව ලබාගත් ඥානය මත බෙහෙත් කරන වෙද්දුද සිටියහ.

සමහර වෙද්දුන්ට කිව්වේ ඕකා නම් රටේ වෙදා කියාය. රටේ වෙද්දු අතර පාරම්පරික වෙද්දු, ආයුර්වේද වෙද්දු පමණක් නොව ඩිස්පැන්සරි එකේ සිටි බටහිර බෙහෙත් කරන වෙද්දුද වූහ. ඔය ටවුමෙ ඉන්න වෙදා ඉස්පිරිතාලෙ බෙහෙත් කලවම් කරපු හාදයා කියා තාත්තා කියනවා මට මතකය. හැබැයි ඒ වෙද්දුන් ගෙන්ද මිනිස්සු බේත් ගත්හ.

ඉස්පිරිතාලෙ ඇටෙන්ඩන් කෙනෙක් ලෙස රස්සාව කළ අපේ ඥාතියෙක් දැනටත් තුවාල වලට බේත් දමන වෙදකම කරන්නේය. තුවාල මසා බෙහෙත් දමන්නේය. මිනිසුන් සොයා ගෙන එන්නේ හෙදියක වූ දියණිය නොව ඇටෙන්ඩන් වූ තාත්තාවය. පොලීසියෙන් පහර දී ඔලුව පැලුණු පසු ඉස්පිරිතාලෙට ගෙන යන්නට බැරි ලෙඩ්ඩු පවා පොලිසියේ අය අරගෙන එන්නේ මේ වෙද ඥාතියා වෙතටය.

ගමේ පොළට ගියාමත් නානාප්‍රකාර වෙද්දුය. නැත්නම් වෙදුන්ගේ නියෝජිතයෝය. එක පැත්තක තෙල් බේත්ය. තවත් පැත්තක කල්කය, චූර්ණය, අරිෂ්ඨය. ඒ අතර විවිධාකාර පැණිය. අරකට හොද පැණි ය.. මේකට හොඳ පැණි ය..කෝකටත් හොඳ පැණි ය.. කොටින්ම කියතොත් පැණි විමානයක්ය.

අපේ ගම් වැසියන් චිරාත් කාලයක සිට පුරුදුව සිටින්නේ මෙවැනි වෙද්දුන් ගෙන් බෙහෙත් ගන්නටය. විටෙක දැන දැනත් ඔවුන් යන්නේ හොර වෙද්දුන් ළඟටය. ඕකා රටේ වෙදා.. ඕකා හොර වෙදෙක්… ඕකා මිනිමරු වෙදෙක් යනාදී නම්බුනාම දෙමින් වුවද බොහෝ ගැමියන් යන්නේ ඒ වෙද්දු ලඟටමය.

ඒ අපේ රටේ ගැමියන්ගේ අනන්‍යතාවයද කියා සියාතුට සිතෙන වාර අනන්තය. මේ දවස් වල හතර අතේ බිහිවෙන පැණිකාරයින් දකින විට ද සිතෙන්නේ එසේමය. වැඩේ කියන්නේ ඒ අනන්‍යතාවය රට කරවන මහත්තැන්ලාටද බෝවී තිබීමය.

මෙතෙක් කාලයක් ඒ වෙද්දු තමන්ගේ බෙහෙත් විකුණුවේ නොනිල අන්දමින් තැන්තැන්වලය. ඒවා හට නිල රාජ්‍ය අනුග්‍රහයක් නොලැබුණු නිසා කිසියම් අකරතැබ්බක් සිදුවුවහොත් වගකීම බාර ගන්නට සිද්ධ වුණේද වෙදා හොයාගෙන ගිය ලෙඩාටමය.

වෙද්දු බෙහෙත් සොයා ගන්න එක හොඳය. ඒවා නිවැරදි ප්‍රතිකාර බවට පත්වෙනවා නම් ඊටත් වඩා හොඳය. හැබැයි එහෙම වෙන්නට පෙර, එසේ ප්‍රතිකාරවලින් සුව වෙනවාදැයි සොයා ගන්නටත් කලින් රට කරවන කවුන්සිලේ ඇත්තෝ පැණිය බීගෙන බීගෙන යන එක තරම් විකාරයක් තවත් නැත්තේය.

 

ඊටත් වඩා කොමඩියක් වන්නේ “පැණියක් බීවම මොකෝ වෙන්නේ” කියා කටහැකර ඇත්තෙක් කවුන්සිලේ ගෝරනාඩු කිරීමය. උන්නැහේ හිතනවා ඇත්තේ මොන ගූ ගොඩක් දියකර දුන්නත් පැණි රහ නම් ඒක ඇඟට හොඳ වෙන්න එපැයි කියාය.

 

සෙස්ස පස්සට…

 


2 comments: