Friday, 25 June 2021

වෙඩි වරුසා මැද නිවාඩු ආ හැටි

 

නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු  

නොකීකතා පෙළක්.

 වෙඩි වරුසා මැද නිවාඩුවට ගමේ ආ අවස්ථා බොහොමයක් වුණත් එකිනෙකට වෙනස් අවස්ථා තුනක් ගැන සඳහන් කරන්න හිතුවා.

මුහුදු ආවේක්ෂණ කලාපයේ නැව් වලට අනුයුක්ත වී සිටිද්දී නාවික හමුදා නිලධාරියෙකුට නිවාඩු ලබා ගම රට බලා ඒමේ ක්‍රම කිහිපයක් තිබුණා. නිලධාරියෙකුට කියා මා විශේෂයෙන් සඳහන් කළේ නාවික සෙබළෙකුට නැතහොත් නැවියෙකුට සාමාන්‍යයෙන් නිවාඩු එන්නට සිද්ධ වුණේ ත්‍රිකුණාමලය නාවික තටාකාංගන බලා එන යාත්‍රාවකින් පැමිණ එහි සිට ගොඩබිමින් කොළඹට එන Convoy එකකින් පැමිණීමයි. කොන්වෝයි එකක ආයුධ සන්නද්ධ ආරක්ෂක සෙබළුන් රැගත් ට්‍රක් හා ජීප් රථ වලින් සමන්විත බස් රථ කිහිපයක් වූවා.

නිලධාරීන් වැඩි වශයෙන් කොළඹ බලා පැමිණියේ ගුවන් මගින්. ඒ පලාලි හෝ ත්‍රිකුණාමලය චයින බේ ගුවන් කඳවුරු වල පිහිටි ගුවන් පථ හරහායි. ගුවන් යානයක ආසනයක් වෙන් කර ගන්නට ඉඩක් නොලැබුණු හදිසි අවශ්‍යතා වලදී නිලධාරීන්ටද කොන්වෝයි එකකින් කොළඹට එන්නට සිදු වුණා. කොහාමත් අප එවකට කණිෂ්ට නිලධාරීන් වූ බැවින් කල් තබා වෙන් කොටගෙන නොතිබුණේ නම් ගුවන් යානයක ඉඩ ලබා ගැනීම පහසු වුණේ නැහැ. ඊට හේතුව යුධ, නාවික හා ගුවන් හමුදා නිලධාරීන් පෞද්ගලික මෙන්ම රාජකාරි අවශ්‍යතා සඳහා නිරන්තරයෙන් කොළඹ බලා පියාසර කළ නිසයි.

කල් තබා වෙන් කළ ආසනයක් වුණත් උසස් නිලධාරියෙකුගේ හදිසි ගමනාගමනය වෙනුවෙන් කැප කරන්නට අපට සිදු වුණා. සමහර අවස්ථා වල කිසියම් ගුවන් යානයක් ඉලක්ක කර පලාලි ගුවන් හමුදා කඳවුරට චොප්ර් යානයෙන් (හෙලිකොප්ටරය චොප්ර් නමින්ද හැඳින් වෙනවා.) පැමිණියත් උසස් නිලධාරියෙකුගේ අවශ්‍යතා සඳහා යානයේ ආසනය පරිත්‍යාග කරන්නට සිදු වුවහොත් ඊළඟ යානය පිටත් වන තුරු එම ගුවන් හමුදා කඳවුරේ නවතින්නට සිදු වුණා.

වෙඩි වරුසා මැද නිවාඩු ලබා පැමිණීමේ පළමු අත්දැකීම මා ලැබුවේ “රක්ෂක” යාත්‍රාවේ ඉංජිනේරු නිලධාරියා ලෙස කටයුතු කළ අවධියේ, 1986 වසරේදී. මුහුදේ සිට පලාලි යන්නට පළමුව කරෙයිනගර් “එළාර” නාවික හමුදා කඳවුරට යායුතුයි. මා “රක්ෂක”  යාත්‍රාවේ සිට “හංසයා” බෝට්ටුව ගෙන්වා ගෙන “එළාර” නාවික කඳවුරට ගියා. ගුවන් හමුදා චොපර් එක එන්නේ “එළාර” කඳවුරටයි.

ගුවන් යානය පිටත් වීමට තිබුණ දවසට පෙර දිනයේ සවස් භාගයේ “එළාර” නාවික කඳවුරට ළඟා වූයේ චොපර් එක කොයි මොහොතක එන්නේදැයි කල් තබා කිව නොහැකි වූ නිසයි. ඊට හේතුව නිලධාරීන් රැගෙන යන හෙලිකොප්ටර් වලට ප්‍රහාර එල්ල කිරීමට කොටි උත්සහ කරන බැවින් ඒවා අහසට නැංවූයේ හදිසියේ වීමයි. පලාලි සිට චොපර් යානය එන බව විටෙක දැනුම් දුන්නේ පිටත් වූවාටද පසුවයි.

 
                                       හමුදා හෙලිකොප්ටරයක්

 ඕනෑම කඳවුරක රාත්‍රිය එළැඹුණු පසු වැඩමුරයේ නොසිටින නිලධාරීන් මධු පානයේ යෙදීම සාමාන්‍ය සිරිතක්. නැව් වල වගේම තමයි. හැබැයි ඒ ඇඟ රත් කරගෙන සුව නින්දක් ළඟා කර ගැනීමට විනා මත් වී අසිහියෙන් ඇද වැටෙන මට්ටමට නොවේ. නිවාඩු යාමට පැමිණි සහෝදර නිලධාරියෙකුට ඩ්‍රින්ක් එකක් ඔෆර් කිරීමත් සම්ප්‍රදායක් බවත් කිව යුතුයි. එක්තරා ආකාරයකට ආගන්තුක සත්කාරයක්.

ඒ අනුව මේ නිශ්චිත දවසේ “එළාර” කඳවුරේ රාජකාරි නිමා කොට සිටි නිලධාරීන් කිහිප දෙනෙකු සමඟ මා සතුටු සාමිචියේ යෙදී සිටියේ වෝඩ් රූම් එකේ බාර් එක අසලයි. ගෙවී ගිය දින ගණනාවක්ම කඳවුරට කොටි ප්‍රහාර එල්ල වූ බව ඔවුන් පැවසුවා. ඇක්ෂන් සටේෂන් සංඥා කළ විට මා රැඳිය යුතු ස්ථානය ගැන එතැන සිටි ඩියුටි ඔෆිසර් පැවසුවා.

( වෝඩ් රූම්- Ward room  යනු නිලධාරි නිවස්නයයි. සාමාන්‍යයෙන් වෝඩ් රූම් එකක මත්පැන් අලෙවි කරන බාර් එකක් තියෙනවා. මාසික වැටුපෙන් අඩු කරගැනීමේ පදනම මත ඒ මොහොතේ මුදල් නොගෙවා බාර් එකෙන් මත්පැන් ලබා ගත හැකියි. බිල වැටෙන්නේ ඇනවුම් කරන්නාටයි. ඇක්ෂන් ස්ටේෂන් - Action station යනු හදිසි සතුරු ප්‍රහාරයකදී ඊට මුහුණ දීම සඳහා සූදානම් වීමයි. කඳවුරක සිටින නිලධාරීන් එවන් අවස්ථාවකකටයුතු කළ යුතු ආකාරය හා රැඳිය යුතු ස්ථානය කල් තබා දන්නවා.)

නිවාඩු යන විට පෞද්ගලික ආරක්ෂාව සඳහා පිස්තෝලයක් රැගෙන යන්නට නිලධාරීන්ට අවසර ලැබුණා. ඒ අනුව මගේ බෑගයේ පිස්තෝලයක් තිබුණා. එහෙත් SMG, LMG, RPG, Hand Grenades වැනි අවි ප්‍රහාර ඉදිරියේ පිස්තෝලයකින් කුමක් කරන්නද ? ඒ නිසා ආමරියට ගොස් සබ් මැෂින් ගන් (SMG)  එකක් තාවකාලිකව ලබා ගත්තා.

අප කෙටි මධු පානය අහවර කොට ආහාර ගැනීමෙන් අනතුරුව නිදා ගන්නට කාමර වලට ගියා. විදුලි පහන් නිවා දමා සුළු වේලාවකට පසු නින්දත් නොනින්දත් අතර මනස දෝලනය වන මොහොතේ එක් වරම ඇක්ෂන් සටේෂන් සංඥාව රැගත් සයිරන් නළා හඬ නිකුත් වූයේ ඈතින් ඇසෙන වෙඩි හඬ සමඟයි. බොඩි ආමර් පැළැඳ ගෙන පතොරම් පිරවූ මැගසින් දැමූ පවුච් (Pouch- බඳෙහි බඳින කුඩා බෑග් විශේෂයක්) එල්ලා ගෙන නියමිත ස්ථානයට දිව ගොස් ඩවුන් යන්නට අපට ගත වූයේ නිමේශයක් පමණයි. දිව යන අතරම මැෂින් ගන් එක ලෝඩ් කරන්නට අප අමතක කළේ නැහැ.

වෙඩි හඬත් සමඟම RPG හෙවත් රොකට් ලෝන්චර් ප්‍රහාරත් එල්ල වෙන්න පටන් ගත්තා. අප ප්‍රහාරය සඳහා ඉදිරි පෙළට ගියේ නැහැ. ඒ සඳහා අනුයුක්ත කළ සෙබළුන් හා නිලධාරීන් සිටියා. අපට තිබුණේ තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගැනීමයි. ඇත්තෙන්ම එය ඉතා බිහිසුණු සටනක්. පැයක පමණ කාලයක් විටින් විට නිකුත් වූ වෙඩි හඬ කෙමෙන් තුනී වී ගියා. කඳවුරෙන් පිටත අහසට යැවූ Flare (ෆ්ලෙයාර් යනු ප්‍රදේශයක් සුළු වේලාවකට ආලෝකමත් කිරීම සඳහා ඉහළ අහසට යවන ආලෝක පුංජ විශේෂයක්) නැවතුණා.

සියල්ල සාමකාමී වී ඇක්ෂන් ස්ටේෂන් සමාප්ත වූ පසු අප දැනගත්තේ කඳවුරේ තුන්වන කම්බි වැට පිහිටි ආරක්ෂක වළල්ල බිඳ දැමීද සඳහා බඩගා ගෙන පැමිණි කොටි තරුණියන්ගේ මළ සිරු හමු වූ බවයි. ඔවුන් උත්සහ ගෙන තිබුණේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් සඳහා කඳවුරට ඇතුළු වීමටයි.

වෙඩි වරුසා මැද නිවාඩු ඒමේ අනෙක් අත්දැකීම ලැබුවේ කන්කසන්තුරේ වරාය අසල A 525 නෞකාවේ ඉංජිනේරු නිලධාරියා ලෙස රාජකාරි කරන අතරතුර පලාලි ගුවන් හමුදා කඳවුරට ගොස්  රත්මලාන ගුවන් හමුදා කඳවුර වෙත පියාසර කළ එක් අවස්ථාවකදී.

කන්කසන්තුරේ සිට පලාලි දක්වා චොපරයෙන් යාමට තිබුණේ කෙටි දුරක්.  එහෙත් ඒ ප්‍රදේශය කොටින්ගේ ග්‍රහණයට නතු වී තිබුණ නිසා ගමන අවදානම් සහගත වූවා. ගුවන් යානය පිටත් වීමට නියමිතව තිබුණේ දහවල් 11 ට පමණ. ඒ නිසා උදෑසන 8 ට පමණ මා පලාලි වෙත රැගෙන යාමට චොපර් එකක් කන්කසන්තුරේ වරාය අසලට ගොඩ බෑවා.

චොප්ර් එක ඉහළට ඔසවා සුළු මොහොතකින් වෙඩි ප්‍රහාර එල්ල වෙන්නට පටන් ගත්තා. ඒවා බර අවි නොව මෙෂින් ගන් බවයි පළපුරුදු ගුවන් හමුදා පියාසර නිලධාරියාගේ අදහස වූයේ. “මුං ඔය අපට ගහන්න නොවෙයි..වෙන ගේමකට වගේ සෙට් වෙන්නේ...” . යානාවේ දොර අසල වාඩි ලා සිටි ගුවන් සෙබළා බර අවියක් යොදා ගෙන බර්ස්ට් එකක් නිකුත් කළා. ඒ කියන්නේ ස්වයංක්‍රීය අවියකින් වෙඩි උණ්ඩ වැලක් නිකුත් කළා. ඉන් පසු ප්‍රතිප්‍රහාරයක් එල්ල වූයේ නැහැ.

නිලධාරියාගේ අනුමානය නිවැරැදි වූවා. අප ගුවන් හමුදා කඳවුරට ඇතුළු වී සුළු වේලාවකින් පලාලි ගුවන් හමුදා කඳවුරේ ධාවන පථය දෙසට ප්‍රහාර එල්ල වෙන්නට පටන් ගත්තා. ගුවන් හමුදාව ප්‍රතිප්‍රහාර එල්ල කළා. කොටි එල්ල කළ මෝටාර් ප්‍රහාර වලින් ධාවන පථයටද සුළු හානි සිදු වූවා.

සටන අවසාන වූයේ ගුවන් හමුදාවේ කෆිර්(Kafir) යානා අහසට නැග හතර අතේ බෝම්බ හෙළූ පසුවයි. නිවාඩු යන්නට සූදානම්ව සිටි ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට නිලධාරි නිවස්නයෙන් පිටතට නොයන ලෙස නියෝග කළ ගුවන් හමුදා නිලධාරීන් තත්ත්වය පාලනය කළේ “උං රනවේ එක පැත්තේ සෙල්ලං දැම්මට මෙහාට කිට්ටු කරන්න බැහැ. මේ පැත්ත ක්ලියර් කරලයි තියෙන්නේ” කියමිනුයි.

කෙසේ වුවද මේ ප්‍රහාර හා ප්‍රති ප්‍රහාර හමුවේ ගුවන් ගමන පමා වුණා. “ අද ඔයගොල්ලන් කොහොමත් කොළඹට යනවා. කොබ්බෑකඩුව සර් මේ ෆලයිට් එකේ යනවා. සර් අද කොළඹ ඉන්නම ඕනෑ..” දිවා ආහාරයෙන් පසු කෙටි දැනුම් දීමකින් අප පලාලි වලින් අහසට නැංගා.

“ මුං අද දවල් වාත කරේ කොබ්බෑකඩුව සර් ෆ්ලයි කරන බව දැනගෙන.

වෙඩි වරුසා මැද නිවාඩු ඒමේ අත්දැකීම් අතර වඩාත් බිහිසුණු කතාවක් තමයි දැන් සටහන් කරන්නේ. ඒ ත්‍රිකුණාමලය නාවික තටාකාංගනයේ සිට කොන්වෝයි එකකින් නිවාඩු පැමිණීමේදී.

 
                                     
හමුදා ගුවන් යානයක්

 ත්‍රිකුණාමලය නාවික කඳවුරේ සිට නිවාඩු ඒමේ එක් විදිහක් තමයි බෝට්ටුවකින් චයිනා බේ ගුවන් හමුදා කඳවුරට ගොස් එතැනින් ගුවන් හමුදා යානයකට ගොඩ වීම. එය ඉතාමත් ආරක්ෂිත වුණේ නාවික කඳවුර මෙන්ම ගුවන් හමුදා කඳවුරත් ආසන්නයේ කොටි ක්‍රියාකාරකම් නොතිබූ නිසයි. මේ කඳවුරු පිහිටා තිබුණු භූමි පෙදෙස් වලට අනුව ආරක්ෂාව ලබා දීම සාපේක්ෂව පහසු වුණා.

මා එවකට අනුයුක්ත කොට සිටි නාවික හා සමුද්‍රයීය විද්‍යා පීඨය පිහිටා තිබුණේ ත්‍රිකුණාමලය නාවික තටාකාංගන භූමියේයි. එහි සිට සතියකට කොන්වෝයි දෙකක් කොළඹ බලා පිටත් වුණා. කොළඹ යන ගමනේ දැඩි ආරක්ෂාවක් ලබා දුන්නේ හබරණ තෙක් පමණයි. ඒ දක්වා මන්කි බ්‍රිජ්, පාලම් පටාරු, තඹලගමුව, මුල්ලිපොතාන, කන්තලේ, කිතුල්උතුව, හතරැස්කොටුව වගේ ප්‍රදේශ වල විටින් විට කොටි ප්‍රහාර එල්ල වුණා. මට මතක හැටියට තඹලගමුවේදී කොටි බස් රථයකට නැග සිවිල් ජනතාව හතර අතේ වෙඩි තබා මරා දැමුවේත් මේ කාලයේ තමයි.

සුපුරුදු ලෙස උදේ 8 ට ත්‍රිකුණාමලය නාවික කඳවුරෙන් කොන්වෝයි එක පිටත් වුණා. ඉදිරියෙන්ම සන්නිවේදන පහසුකම් සහිත ජීප් රථයක් හා ආයුධ සන්නද්ධ ට්‍රක් රථ දෙකක් වූවා. ඊට පිටුපසින් බස් රථ තුනක්. නිවාඩු යන හමුදා සෙබළුන් හා නිලධාරීන් සිවිල් ඇඳුමින් සැරසී සිටියා. ඊට අමතරව අයුධ සන්නද්ධ සෙබළුන් සිව් දෙනා බැගින් එක් බස් රථයකට ආරක්ෂාව සැපයුවා. පිටු පසින් ආයුධ සන්නද්ධ ට්‍රක් රථයක් පැමිණියා. කිසියම් ප්‍රහාරයකට මුහුණ දීමේ සූදානම තිබුණත් කොයි කාගේ සිත් වලත් චකිතයක් නොවූවා යැයි කියන්නට බැහැ.

මේ ගමන් මාර්ගයේ වැඩි කොටසක් මාර්ගය දෙපස ඇත්තේ කැළෑවයි. මහා මාර්ගයේ නොවූවත් ඊට තදාසන්න සමහර ප්‍රදේශ කොටි ග්‍රහණයට නතුව තිබුණා. කිතුල්උතුවේදී අප ගමන් කළ කොන්වෝයි එක කොටින්ගේ ප්‍රහාරයකට ලක් වූවා. ඔවුන් මහ මගට නොපැමිණ කැළෑව තුළ සිට ප්‍රහාර එල්ල කළා. “එළාර” කඳවුරේදී මුහුණ දුන් ප්‍රහාරය මෙන් නොව මේ ප්‍රහාරයේ කිසියම් හුදෙකලා බවක් දැනුණා. ඊට හේතුව වන්නට ඇත්තේ සෙබළුන් සීමිත පිරිසක් හා ආයුධ සීමිත සංඛ්‍යාවක් සමඟ මරු කටට පැමිණ සිටීමයි.

වෙඩි හුවමාරු අතර නිරායුධ අප බසයේ සීට් අතර පහත් වී සිටියේ ලද උපදෙස් අනුවයි. බසයේ බඳට වෙඩි උණ්ඩ පතිත වෙද්දී මරණ භය ඇති නොවුණා කිව්වොත් බොරුවක්. ඇත්තටම එදා දරුණු ලෙස මරණ භය ඇති වූ දවසක්.

අවසානයේ වෙඩි හුවමාරුව නතර වූයේ ගුවන් හමුදා හෙලිකොප්ටරයක් පැමිණ සතුරන් පළවා හැරිය පසුවයි.

කොටි එදා කිතුල්උතුවේ මහමාර්ගය අසල පැති බෝම්බ අටවා තිබුණා නම් අද මේ සටහන ලියන්නට අප ජීවතුන් අතර නොසිටින්නට ඉඩ තිබුණා.

 

 

4 comments:

  1. 2006ට ඉස්සෙල්ලා ඔය කොන්වොයි එක කලේ කටුබැද්ද ඩිපෝවෙන්.මගේ තාත්තත් ඒ කොන්වොයි වල රියදුරෙක් විදියට කටයුතු කලා

    ReplyDelete
    Replies
    1. අපේ කාලෙ නොවෙයි. හැබැයි අවදානම් රාජකාරියක්.

      Delete
  2. එළාර කඳවුර ගැන මේ ළඟදී සටහනක් තැබූ ලක්‍ෂ්මන් ඉලංගකෝන් කියා තිබුණා එය ඉන්දියානු ආක්‍රමණික රජෙකුගේ නමින් නම් කර ඇති එකම (නාවික) හමුදා කඳවුර බව.

    මා ඔහුගෙන් ඇසුවේ ලංකාවේ පළමු ආක්‍රමණිකයා වූ විජගේ නමින් කඳවුරක් නැති ද කියායි. තිබෙන බව ඔහු පැවසූවා.

    ප්‍රශ්නය වුනේ එළාර ඉන්දියානු ආක්‍රමණිකයෙකු වුණාට අපට විජය ගැන එළෙස නොසිතීමයි.

    ReplyDelete
    Replies
    1. මට නං විජයත් ආක්‍රමණිකයෙක්. ඒත් ඉකිහාසය උගන්නන්නෙ එළාර පමණක් ආක්‍රමණිකයෙක් විදිහටයි.

      Delete