Monday, 16 January 2023

රට පුරා තැන් තැන් වල පත්තිරිප්පු

 

ළදා මාලිගයේ ‘පත්තිරිප්පුව’ නිමවා  තිබෙන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ (1798-1815)  රජතුමාගේ සමයේ දී.  රජුට අවශ්‍ය වී තිබුණේ ජනතාව ඉදිරියේ පෙනී සිටීමට සහ පෙරහර නැරඹීමට අලංකාර මණ්ඩපයක්. 

සැලැස්මට අනුව ගොඩනැඟිල්ල ඉදිකිරීමට තීරණය වුණේ ඒ වනවිට රජ වාසල පැරණි මුළුතැන්ගෙය තිබූ තැනයි. එයට පිටුපසින් පිහිටියේ දළදා මාලිගයයි. ඒ සැලැස්ම සැබෑවක් බවට පත් කිරීමට තෝරා ගත්තේ ඒ වනවිටත් මහනුවර රාජධානියේ වාස්තු විද්‍යාත්මක නිර්මාණ කිහිපයක්ම කළ දේවේන්ද්‍ර මූලාචාරීවයි.

පත්තිරිප්පුව සඳහා නම ලැබී ඇත්තේ පාර්ත (බලනවා) + ඉරිප්පු (ඉඳගෙන) යන දෙමළ වදන්වලින්. එහි අර්ථය ඉඳගෙන නරඹනවා යන්නයි. රජතුමා මේ වගේ ගොඩනැඟිල්ලක් ඉදි කළේ දළදා මාලිගාවේ කොටසක් හැටියට නොවේ. එය දළදා මාලිගය මෙන් පූජනීය තැනක් නොවෙයි. එය තැනුවේ රජුට වැසියන් ඉදිරියේ පෙනී සිටීම සඳහායි. විවේකයෙන් නගරයේ සිරිය නැරඹීමටත් රජු මෙය භාවිත කර තිබෙනවා. යුක්තිය පසිඳලීම සඳහා ද රජතුමා මෙතැනට පැමිණ තිබෙනවා. රජ මාලිගාව තියෙන්නෙත් ඒ අසල ම නිසා රජතුමාට මෙතැනට එන්න ලේසි වුණා.

මහමළුවේ පවත්වන මල්ලව පොර හා කඩු සටන්, ඇත් පොර ආදී තරඟ  නැරඹීම, මහමළුවේ එකතු වන ජනතාවට රජතුමා බැහැ දැකීමට අවස්ථාව ලබා දීම ආදී කාරණාද පත්තිරිප්පුවෙන් ඉටු වුණා. විශේෂ අවස්ථාවලදී මෙහි දළදා ප්‍රදර්ශනද  පවත්වා තිබෙනවා. අදත් දළදා ප්‍රදර්ශන පැවැත්වීමට යොදා ගන්නේ පත්තිරිප්පුවයි.

අද පත්තිරිප්පුවේ උඩුමහලෙහි දළදා මාලිගයට අයත් පුස්කොළ පොත් තැන්පත් කර තිබෙනවා. එහි කුඩා බුදු පිළිමයක් ද තබා ඇත්තේ පූජනීය බවක් ලැබීමටයි.
 
1998 ජනවාරියේ දළදා මාලිගයට එල්ල කළ කොටි බෝම්ම ප්‍රහාරයෙන් පත්තිරිප්පුවේ පියස්සටත් හානි සිදුවුණා. ඉන්පසුව පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ හිටපු මහාචාර්ය මුනිදාස පී. රණවීර එය පරික්ෂා කර පියස්ස නැවත පුරාවිද්‍යා මූලධර්මවලට අනුව ප්‍රතිසංස්කරණයට දායක වුණා. 

අෂ්ටාස්‍ර මණ්ඩපයක් වන පත්තිරිප්පුව ඉදිරිපිට දිය අගලක්ද සැලසුම් කර තිබුණා. දේවේන්ද්‍ර මූලාචාරිට අරත්තන නාරායන ආචාරි මේ සඳහා සහාය වී තිබෙනවා. ගොඩනැඟිල්ලේ වහලයට අවශ්‍ය “නා” ලී ලබාගෙන තිබෙන්නේ මාතලේ නාලන්දෙන්. අලංකාර පත්තිරිප්පුව සාදා නිම කර ඇත්තේ 1812දී නම් අපේ රට ඉංග්‍රීසීන් යටත් කරගන්නට අවුරුදු තුනකට පෙර බවයි සඳහන් වෙන්නේ.

උඩරට වාස්තු විද්‍යා ශිල්පයේ අගනා සංකේතයක් බවට පසුව පත්තිරිප්පුව පත් වුණා. අද වනවිට පත්තිරිප්පුවේ ආකෘති සහිත ගොඩනැගිලි රට පුරා විහාරස්ථාන, ආගමික ස්ථාන වල වගේම ප්‍රේමදාස පාලන සමයේ හැදූ උදාගම් භූමි වලත් අපට දැකිය හැකියි.

 (උපුටාගත් කරුණු වලින් රචිතයි. ඡායාරූප ෆේස්බුක් පෝස්ට් වලින්.)


  

1 comment:

  1. https://www.nytimes.com/1985/03/24/nyregion/legacies-of-the-octagon-movement.html#:~:text=Besides%20enclosing%20more%20space%20than,and%20heat%20in%20the%20winter.

    ReplyDelete