Tuesday, 23 July 2024

සුදු කළ නොහැකි කළු ජූලිය....


1983 ජූලි මස මුල් භාගයේ දී හමුදාව චාවකච්චේරියේ දී එල්ටීටීඊ සාමාජිකයන් ඉලක්ක කර එල්ල කළ ප්රහාරයක දී වේලුපිල්ලේ ප්රභාකරන්ගේ සමීප හිතවතෙකු සහ එල්ටීටීඊ සංවිධානයේ ආරම්භක සාමාජිකයෙකු ලෙස හැඳින්වෙන චාල්ස් ලූකස් ඇන්තනී හෙවත් සීලන් ඇතුළු කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

මෙයට ප්රතිප්රහාරයක් ලෙස පලාලි මාර්ගය ඔස්සේ ගමන් කරමින් තිබූ ගුරුනගර් කඳවුරින් පිටවුණු හමුදා හමුදා ජීප් රියක්‌ සහ ට්රක්‌ රථයකට එල්ටීටීය විසින් බෝම්බ සහ වෙඩි ප්රහාරයක් එල්ල කරනු ලැබීමෙන් සෙබළුන් දහතුන් දෙනෙක් මිය ගියහ.

සෙබළුන් 13 දෙනාගේ සිරුරු බොරැල්ල කනත්තේ භූමදාන කෙරෙන බවට වාර්තා වීමත් සමඟ විශාල පිරිසක් ඒ වෙත ඇදී එන්නට වූහ. රජයේ වාහනවලින් ද විශාල පිරිසක් එම ස්ථානයට රැගෙන එන ලදහ. උ්රග්ර ජාතිවාදියෙකු වූ එක්සත් ජාතික පක්ෂයේ කර්මාන්ත හා විද්යා කටයුතු ඇමති සිරිල් මැතිව්ගේ හා එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිතිය වූ ජාතික සේවක සංගමයේ මැර පිරිස් දෙමළුන්ට විරුද්ධ මැර ප්රහාරවලට ආරම්භය ලබා දුනි. (ඊට පෙර යාපනය පුස්තකාලය ගිනි තැබීමේ තිරශ්චීන ක්රියාවට මූලිකත්වය දුන් අයෙකු ලෙස සිරිල් මැතිව්ගේ නම සටහන් වේ.)

ඒ අනුව කොළඹ ඇතුළු තදාසන්න ප්රදේශවල ද්රවිඩ පුද්ගලයන්ට පහර දෙන්නත්, නිවාස සහ ව්යාපාරික ස්ථාන කඩා දමා ගිනිබත් කිරීමත් ඇරඹිණි. එයින් නොනැවතුණු කළු ජූලිය, 3000කට ආසන්න පිරිසකට ජීවිත අහිමි කළේය.

ඒ කළු ජූලියයි.

පොලිස්පති රුද්රා රාජසිංහම් ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන් කොළඹ කනත්ත වෙත ගිය අතර තත්ත්වය එතරම් හිතකර නොවන බැව් ඔවුනට පසක් විය. පොලිස්පතිවරයා වහා වෝඩ් පෙදෙසේ පිහිටි ජනාධිපති ජයවර්ධනගේ නිවෙස කරා ගොස් ඉරිදා රාත්රියේ ඇඳිරි නීතිය ප්රකාශයට පත් කරන ලෙසට ඔහුගෙන් ඉල්ලා සිටිය ද එය ප්රතික්ෂේප කෙරිණි.

ප්රචණ්ඩත්වය පාලනය කරන ලෙසට ජාත්යන්තරයෙන් ජනාධිපති ජයවර්ධන හට බලපෑම් කරන ලදැයි පැවසේ. “කළු ජූලිය එල්.ටී.ටී.ඊ.ය විසින් උතුරේදී සොල්දාදුවන් 13 දෙනකු ඝාතනය කිරීමට එරෙහිව දකුණේ සිංහල ජනයා විසින් ක්ෂණිකව දක්වන ලද ප්රතිචාරයක් යැයි” ජනාධිපති ජයවර්ධන හා පාලක පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂ ඇමැතිවරු ප්රකාශ කොට ඇඟ බේරා ගන්නට උත්සහ කළහ..

1984 ජූලි 24 දා මම පස්සර, හිඟුරුකඩුවේ සැඟවී සිටි සරසවි සගයෙකුගේ නිවසින් මහනුවර බලා එමින් සිටියෙමි. සැඟවී සිටියේ විශ්වවිද්යාල ශිෂ්ය අරගලයකදී ආචාර්යවරයෙකු ප්රාණ ඇපකරුවෙකු ලෙස රඳවා තබා ගැනීමේ චෝදනාව මත රහස් පොලිසිය මා අත් අඩංගුවට ගනීවි යැයි සැකයෙනි. බදුල්ලට ළඟා වනවිට සවස් වී තිබිණ. මගේ සැලසුම වී තිබුණේ බදුල්ලේ පදිංචි මගේ තවත් සරසවි සගයෙකුගේ නිවසේ නැවතී සිට පසුවදා උදේ මහනුවර බලා පිටත් වීමටය. රාත්රිය ගෙවී ගියේ වෙඩිහඬ මධ්යයේය.

වෙඩි තබා තිබුණේ දමිළ නීතිඥයෙකුගේ ගෙදරට කඩාවදින්නට තැත් කළ ජාත්යාලයෙන් ඔද වැඩුණු සිංහල මකොල්ලකාරී මිනීමරුවන්ටය.
තමන් පෙරදා බේත් ගත් ඩිස්පෙන්සරියේ දෙමළ දොස්තරද, වරදින් ගැලවීම සඳහා නීති උපදෙස් ලබාගත් කළු කෝට්කාරයාද, තමන් නගරයට රැගෙන ගිය බස් රථයේ දෙමළ රියැදුරුද, ණයට සිල්ලර බඩු ගත් කඩේ දෙමළ මුදලාලිද පණ පිටින් පුළුස්සා මරා දමන්නට තරම් ජත්යාලය විෂඝෝර විය. කඩා දැමූ දෙමළ කඩවලින් වැසිකිළි නැති ගෙවල් වලට කොමඩ් කර තබන් යන්නටද, විදුලිය නැති ගෙවල් වලට ටීවී ඔසවාගෙන යන්නටද තරම් ජාත්යාලය පිස්සුවක්ම විය.

ඒ කළු ජූලියයි.

පසුදා මම මහනුවර බලා පිටත් වීමි. දහවල් නගරයට සේන්දු වෙද්දී නගරය පාළුය.. බසයෙන් බැස අනිවත්ත නවාතැන බලා පාගමනින් ගියේ පිලිස්සෙන මළ මිනීවල පුළුටු ගඳ මැදින්ය. රටේ අනෙක් ප්රදේශවල තත්ත්වය අති බිහිසුණු බව මා දැනගත්තේ අනිවත්තේ අපේ නවාතැනේ රැඳී සිටි සගයින්ගෙනි.

මහනුවර දෙමළ ව්යාපාරික පවුලක් ම්ලේච්ඡ ප්රහාරකයින්ගෙන් බේරාගැනීම සඳහා රැකවල් යොදාගෙන විශාල අවදානමක් යටතේ රැගෙන යන්නට අපට හැකිවීම ජීවිත කාලයේදී කරන ලද සත් ක්රියාවක් බව සිහිපත් කරමින් අදද සතුටු විය හැකිය.

ඒ කළු ජූලියේ සිංහල මැරයින් දෙමළුන් සංහාරය කළේ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවේ අනුග්රහය මැදය. ජේ.ආර්. ජයවර්ධන නම් වූ කුරිරුතම පාලකයාට මෙන්ම ඔහු නායකත්වය දුන් යූ.ඇන්.පී.යටද මා අදටත් වෛර කරන්නේ ඔවුන් විනාශ කළේ දකුණේ විසූ දෙමළා පමණක් නොව මුළු මහත් රටක අනාගතය බැවිනි.

ජේ.ආර්. මේ නිහීන ක්රියාවේ වගකීම පැවරුවේ වාමාංශික පක්ෂවලටය. ඒ අනුව කළු ජූලියට කිසිසේත්ම සම්බන්ධ නොවූ සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ මෙන්ම ජනතා විමුක්ති පෙරමුණද තහනම් කරනු ලැබීය. මැතිවරණ දේශපාලන ප්රවාහයට අවතීර්ණ වී සිටි ජවිපෙ බිම්ගත දේශපාලනයට පිළිපන්නේ මේ තහනමත් සමඟය. 87-89 ඛේදවාචකය ආරම්භ වන්නේ පක්ෂ තහනමේ දිගුවක් ලෙසය.

කළු ජූලියේ නිර්මාතෘවරුනි, ඊට උඩගෙඩි දුන් පාපතරයිනි, ඒ ආණ්ඩුවේ තනතුරු දරා දෙමළ සංහාරයට නිහඬ අනුමැතිය ලබාදුන්, තවමත් පාලන තන්ත්රය නියෝජනය කරන්නවුනි, තොපට සාප වේවා...!




Wednesday, 10 July 2024

අපට පාරාදීසයක් නොවන ප්‍රසන්නගේ පාරාදීසය

 


ප්‍රසන්න විතානගේ සුවිශේෂී සිනමාකරුවෙකි. ඔහු සිනමාව සිය ජීවන ලාලසාව කරගන්නේ පුළුල් අත්දැකීම් සමුදායක් හා ඒ පිළිබඳ සුවිසල් දැනුමක් සමගිනි.
 
ප්‍රසන්නගේ පෙර ගමන්කරුවා ලෙස්ටර් ජේම්ස් පිරිස් බව මගේ විශ්වාසයයි. ලෙස්ටර් මෙන්ම විටෙක යථාර්ථවාදී එළැඹුමකින්ද, තවත් විටෙක ආත්මීය එළැඹුමකින්ද චිත්‍රපට නිර්මාණය කිරීමට ප්‍රසන්න ගන්නා උත්සාහය බොහෝ අවස්ථාවල ප්‍රේක්ෂක විචාරක පිළිගැනීමට ලක්වූවා පමණක් නොව දේශීය හා විදේශීය සිනමා උත්සවවල ඇගයීමටද ලක් විණ.
 
මෙරට සිනමාවේ අග්‍රගන්‍ය ඵලය ලෙස්ටර් ජේම්ස් පීරිස් වුවද, "නිධානය" වැනි ඉතා ඉහළ මට්ටමේ චිත්‍රපට නිර්මාණය කිරීමෙන් අයිකනයක් බවට පත්වුවද, ඔහු අතින්ද ඔහුට තරම් නොවන චිත්‍රපට බිහිවිය. එය ලෝක සිනමාවේ පවා දක්නට ලැබූ තත්ත්වයකි.
 
ජගත් සිනමාවේ විශිෂ්ටතම චිත්‍රපට නිමැවූවන් අතින් පවා ඔවුනට තරම් නොවන චිත්‍රපටද නිර්මාණය වී ඇති පසුබිමක එය පුදුමයට කරුණක් නොවේ. 
 
"රේඛාව", "නිධානය", "ගම්පෙරළිය", "දෙලොවක් අතර", "යුගාන්තය" වැනි සිනමාත්මක භාවිතාවක යෙදුණු ලෙස්ටර්ම "වීර පුරන්අප්පු", "අම්මාවරුනේ", "වෑකන්ද වලව්ව" වැනි චිත්‍රපටද තැනීය. දෙවනුව කී චිත්‍රපට හදන්නට ලෙස්ටර් කෙනෙක් උවමනා නැත. එවන් චිත්‍රපට කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා වැන්නෙකුටද හදන්නට පුළුවන් මට්ටමේ ඒවාය..
 



 
 "අනන්ත රාත්‍රිය", "පුරහඳ කළුවර", "ඉරමැදියම" "ආකාස කුසුම්" වැනි මෙරට සිනමාවේ සුවිශේෂී චිත්‍රපට නිර්මාණය කළ ප්‍රසන්න විතානගේ "ඔබ නැතුව ඔබ එක්ක", "ගාඩි" වැනි දුර්වල චිත්‍රපටද අධ්‍යක්ෂණය කළේය. දෙවනුව කී චිත්‍රපට සෝමරත්න දිසානායකටද නිමවන්නට පුළුවන් මට්ටමේ ඒවාය. එවන් චිත්‍රපට තනන්නට ප්‍රසන්න විතානගේ අවශ්‍ය නැත.
මා මේ අටුවාටීකා ලිව්වේ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ නවතම චිත්‍රපටය වන Paradise ගැන අදහස් පළ කරන්නටය.

ප්‍රසන්න ගේ සිනමාව විවිධ ශානර ඔස්සේ නිමැවේ. ඉනුත් "ඉරමැදියම", "පුරහඳ කළුවර" චිත්‍රපට කිසියම් ආකාරයක දේශපාලන සංසිද්ධීන් එක් තලයක තබා ගනිමින්, නැත්නම් යටි පළ සේ පදනම සකසා ගනිමින් මානුෂීය තලයේ සංවාදයකට මුල පුරන චිත්‍රපට වේ.
Paradise අයත් වන්නේද ප්‍රසන්න මීට පෙර සාර්ථක ලෙස අත්හදා බැලූ ඒ චිත්‍රපට රටාවටය. 
 

2022 අප්රේල් මාසයේ දින කීපයක් තුළ, විශේෂයෙන් ලංකාවේ එවකට පැවති රජයට මහජන සේවා සැපයීම දුෂ්කර වූ හා රට උග්‍ර ආර්ථික අගාධයකට ඇද වැටෙමින් තිබුණු කාලයක ඉන්දියාවේ සිට පැමිණි තරුණ යුවළක් කොළඹින් ඉතා ඈත පෙදෙසක නවාතැන්ගෙන සංචාරය කරමින් සිටින අතරතුර ඇතිවන සිද්ධි දාමයක් හරහා රටේ දේශපාලනය මෙන්ම ලංකාවේ පවත්නා පසුගාමී සමාජ සංස්ථා හා විශ්වාසයන් ප්‍රශ්න කිරීමටද ප්‍රසන්න දැනුම්වත් නිර්මාණශීලී උත්සාහයක යෙදේ.
 
සීතා රාමා ඇතුළු රාවණා පුරාවෘත්තය පිළිබඳ මතවාද, ලංකාවේ උග්‍ර ආර්ථික අර්බුදය ආරම්භ වූ කාලයේ ජන සමාජය පෙළූ දුෂ්කරතා ඊට අදාළ දේශපාලන පසුබිම සමඟ රාජ්‍ය පොලිසියේ අන්තනෝමතික බව මෙන්ම පස් වසරක විවාහ ජීවිතයක් ගත කළ යුවළකගේ මානුෂීය සබඳතා මෙන්ම ප්‍රතිවිරෝධතා පාදක කොට ගෙන ඇති Paradise චිත්‍රපටය තල කීපයක දිවෙන බව මගේ අදහසයි. 
 
විටෙක මේ තලයන්හි වෙන්වෙන්න සැරිසරන්නටද, ඒවා සමග ඒකාත්මිකව සම්මිශ්‍රණය වෙමින් අත්දැකීම් හා බද්ධ වන්නටද ප්‍රේක්ෂකයාට ආරාධනා කරන ප්‍රසන්න කිසිදු අවස්ථාවක නිශ්චිත නිගමන දෙන්නේ හෝ සිය මතය ඍජු ලෙස බලහත්කාරයෙන් ප්‍රේක්ෂකයා මත පටවන්නට පෙළැඹෙන්නේ නැත.
 
**************************************************************
ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ නවතම චිත්‍රපටය වන "පැරඩයිස්" පිළිබඳ මට දැනුණු හැඟීම් සටහන් කරන්නට කැමැත්තෙමි. චිත්‍රපටයේ ප්‍රධාන චරිත වන කේෂාව් හා අම්රිතා (රොෂාන් මැතිව් හා දර්ශනා රාජේන්ද්‍රන්) පස් වසරක විවාහ දිවියේ සංවත්සරය සැමරීම සඳහා සංචාරය කිරීමට ලංකාව තෝරාගෙන කඳුකරයේ වතු ආශ්‍රිත ප්‍රදේශයක නවාතැන් ගනී. කේෂාව් රූප මාධ්‍ය සමඟ කටයුතු කරන්නෙකි. ඔහුගේ යෝජනාවලියක් Netflix වෙත ඉදිරිපත් කොට ඇත. අම්රිතා බ්ලොග් රචිකාවියකි.
 
ඔවුන් පැමිණෙන්නේ ඔවුන්ගේ ජීවිතයේ සුවිශේෂී වූ ආර්ථික ජයග්‍රහණයක් සනිටුහන් වන අවස්ථාවකය. එනම් කේෂාව් ඉදිරිපත් කළ යෝජනාවලිය Netflix අනුමත කළ බව ඔවුන් දැනගන්නේ මේ ගමනේ මුල් භාගයේදීය. මොබයිල් දුරකතනය, ටැබය, ලැප්ටොප් පරිගණකය ඔවුන්ගේ ජීවිතය සමඟ ඉතා තදින් බැඳී තිබෙන්නේ ඔවුන්ගේ ජීවන චර්යා රටාව සමඟය.
කේෂාව් දඩමස් කෑමට රුචිය ඇත්තෙකි. ඔවුන්ගේ නවාතැනේ භාරකරු වූ ශ්‍රී මස් නොකන නමුත් දඩයම් කරන්නට දක්ෂයකි. ඔහුට ආරක්ෂාව සඳහා තුවක්කුවක්ද ඇත. එයින් ඔහුට දඩයම් කරන්නට පුළුවන. ඔවුන්ට මග පෙන්වන රියදුරු ඇන්ඩෘ (ෂ්‍යාම් ප්‍රනාන්දු) මෙන්ම ආරක්ෂාව සපයන පොලිසියේ සාජන් (මහේන්ද්‍ර පෙරේරා) ද දඩ මස් කෑමට පැකිලෙන්නේ නැත. සාජන්වරයා යමින් එමින් ඉදෙන භාජනයට අත දමා මස් කැබැල්ලක් ගෙන විකන්නට දෙවරක් සිතන්නේ නැත.
 
අම්රිතා පරිසරයට මෙන්ම සතුන්ටද ආදරය කරන්නියකි. සතුන් දඩයම් කරනවාටද ඇය එකඟ නැත. ඇය දඩයමේ යන්නේ දඩයම කඩාකප්පල් කරන්නටය.
 
එක්තරා රාත්‍රියක අම්රිතා සහ කේෂාව් නිදාගෙන සිටියදී දුරකතන, ටැබය, ලැප්ටොප් පරිගණකය ආදිය සොරුන් විසින් පැහැරගෙන යනු ලැබීමත් සමඟ ඔවුන්ගේ සංචාරය කඩාකප්පල් වනවා පමණක් නොව ඔවුන්ගේ ජීවන රටාවද උඩුයටිකුරු වෙන්නට පටන් ගනී.
 
ඒ හාම සිදුවන්නේ මෙතෙක් ඔවුන් දෙදෙනා තුළ සැඟව සිටි සැබෑ චරිත පිටතට නිරාවරණය වන්නට පටන් ගැනීමයි; විවාහ වී වසර පහක් එකට ජීවත් වූ යුවළක් එකිනෙකාගේ අභ්‍යන්තරය දැන හඳුනාගන්නට පටන් ගැනීමයි. චිත්‍රපටය අවසානයේ අම්රිතාගේ වෙඩි පහරින් කේෂාව් මිය යාම දක්වා සිද්ධීන් ගලා යන්නේ ප්‍රේක්ෂකයාට ඔවුන් වෙන් වෙන්ව හඳුනා ගැනීමට ඉඩ සලසමිනි.
 
චිත්‍රපටයේ අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ ගේ ආධ්‍යාශය වන්නේ ඔවුන්ගේ සිතුවිලි හා හැසිරීම් රටා හරහා මෙරට එක් කාල වකවානුවක සමාජ, දේශපාලන හැසිරීම සනිටුහන් කරන අතරතුර මෙරට ජන හද සන්තානයේ විටෙක නිද්‍රාශීලීව නිහඬ වන පුරාවෘත්තයක් විටෙක ප්‍රාණවත්ව නැගී සිටින ආකාරයද ඉස්මතු කිරීම බව මගේ හැඟීමයි.
 
"පැරඩයිස්" චිත්‍රපටයේ ගැහැනිය අනෙක් හැම පිරිමියාටම වඩා වෙනස් ශක්තිමත් චරිතයක් වන්නේ සිතන පතන ආකාරයේ, හැසිරෙන ආකාරයේ පමණක් නොව අවස්ථාවන්ට මුහුණ දෙන ආකාරයද නිසාය. කේෂාව් තමන්ගේ බඩු බාහිරාදිය සොරු ගෙන යාමත් සමඟ ලංකාවේ පොලිසිය නමැති වැල් පොටේ එල්ලී සිටියත් අම්රිතා ඊට වෙනස් වෙයි. සාජන් හොරුන් හඳුනාගත්තේදැයි අසන විට ඔහු ඔව් කියන්නේ අවිනිශ්චිතවයි. ඒත් අම්රිතා ඔවුන් හඳුනා නොගත් බව දැඩි ස්වරයෙන් පවසනවා මෙන්ම කේෂාව්ගේ අවිනිශ්චිත පිළිතුරු ද ප්‍රශ්න කරයි.
 
ආහාර ගනිමින් සිටියදී කම්පාවට පත්ව හරිහැටි ආහාර ගැනීමට නොහැකිව කල්පනා බරිතව සිටින කේෂාව් ඉදිරියේ අම්රිතා සතුටින් සිටින බව පෙන්වීම මෙන්ම ඔහු ඇයව ප්‍රශ්න කිරීමත් මේ චරිත ද්වය මැනවින් වටහා ගන්නට අපට ඉඟි සපයයි.
 
රාමායණය, රාම සීතා, රාවණා ප්‍රවාදය අම්රිතා ප්‍රශ්න කරන ආකාරය ඇගේ ඥානාන්විත බව ප්‍රකට කරන අවස්ථාවකි. රාවණා අවදි විය යුතු කාලය එළැඹ ඇති බව ඇය පවසන්නේ සෝපාහාසාත්මකවය. ඒ ප්‍රශ්න කිරීම තමන් තුළ දීර්ඝ කතිකාවකට මුල පුරන්නට බුද්ධිමත් ප්‍රේක්ෂකයාට ආරාධනා කරයි.
 
චිත්‍රපටයේ කතා ප්‍රවෘත්තිය හා සිද්ධි දාමය තල තුනක දිවෙන බව මගේ අදහසයි. පළමුව මතුපිටින් පෙනෙන තරුණ යුවළකගේ දින කිහිපයක ජීවන අත්දැකීම් ගලා යයි. ලංකාව ගිලගත් ආර්ථික අර්බුදයකින් සමස්ථ ජන ජීවිතයම පීඩාවට පත් වූ ආකාරය හා පොලිසියේ සුපුරුදු අන්තනෝමතික බව දෙවනුව හඳුනාගන්නට හැකිය. තෙවනුව සිදුවන්නේ රාවණා පුරාවෘත්තය පිළිබඳ විශ්වාසයන් ප්‍රශ්න කිරීමයි.
 
"පැරඩයිස්" චිත්‍රපටය පිළිබඳ උඩින් පල්ලෙන් වටහා ගන්නා ප්‍රේක්ෂකයෙකුට මෙහි විශේෂ යමක් නැති සරල රේඛීය සිදුවීමක් හෝ කතාවක් ඇති බව වටහා ගැනීමෙන් සැනහෙන්නට හැකියි. ඒ අතරම සංයමයෙන් යුතු හුරුපුරුදු නටඹන්නෙකුට මේ චරිත අභ්‍යන්තරය වටහා ගනිමින් ගැඹුරින් කිඳා බසින්නද හැකියි. එය තරමක බුද්ධිමය ප්‍රවේශයකි.
ආරම්භයේ සිට අවසානය දක්වා ඇන්ඩෘ නැමති රියදුරාගේ සංයමශීලී පැවැත්ම හා එළැඹුම් හීන්හුයක් සේ චිත්‍රපටය පුරා කේශව් හා අම්රිතාගේ සංචලනයන් ඇද බැඳ තබා ගනී. එපමණක් නොව ඔහු ප්‍රේක්ෂකයාවද එකී සංචාරයට සම්බන්ධ කරගන්නේ සූක්ෂම ආකාරයකිනි.
 
"පැරඩයිස්" චිත්‍රපටයේ සුවිශේෂී ලක්ෂණයක් වන්නේ ඛේදවාචකයකින් අවසන් වන සිද්ධිදාමයක් අතිශය සුන්දර දර්ශන තල මත පින්තාරු කරන ආකාරයයි. ඒ අධ්‍යක්ෂවරයා හා කැමරා ශිල්පියා අතර පවතින ආත්මීය සුසංයෝගයේ ප්‍රතිඵලයක් නිසා බව පැහැදිලිය. 
 
චිත්‍රපටයේ සෑම ප්‍රධාන චරිතයකම රංගනය ඉතා ඉහළ මට්ටමක පවතී. වඩාත් විශිෂ්ට වන්නේ දර්ශනා රාජේන්ද්‍රන්ගේ හා ෂ්‍යාම් ප්‍රනාන්දුගේ රංගනයයි. ඒ ඒ අවස්ථාවට දර්ශනා මතු කරන රංග ලීලාවන් අම්රිතාගේ චරිතය ප්‍රේක්ෂකයා වෙත මැනවින් ග්‍රහණය කිරීමට හේතු වේ.

ෂ්‍යාම් ප්‍රනාන්දු, ඇන්ඩෘ නමැති රථාචාර්ය මෙන්ම මග පෙන්වන්නාගේ චරිතය ග්‍රහණය කොටගෙන ඇති ආකාරය විශිෂ්ටයි. ෂ්‍යාම්, ඇන්ඩෘ චරිතයට ආවේශ වූවාද ඇන්ඩෘ චරිතය ෂ්‍යාම්ට ආවේශ වූවාදැයි කිව නොහැකි වුවත් සමස්ථ චිත්‍රපටය පුරුද්දන හුය ඔහුයි. රොෂාන් මැතිව් මෙන් මහේන්ද්‍ර පෙරේරාද උසස් රංගන දායකත්වයක් දක්වන බව කිව යුතුය. 
 
 
රජීව් රවිගේ කැමරාකරණයත්, ශ්‍රීකර් ප්‍රසාද්ගේ සංස්කරණයත් "පැරඩයිස්" චිත්‍රපටය ප්‍රේක්ෂකයාගේ ආත්මීයව ඇදබැඳ තබා ගැනීමට හේතු වෙයි. තපස්නායක්ගේ ශබ්ද පරිපාලනයත් මෙරට චිත්‍රපටවල අප විඳින ශබ්ද පරිපාලනයට එහා ගිය උසස් වින්දනයක් ලබා දෙනවා නිසැකයි.
සංස්කරණ ලක්ෂ්‍යයන්හිදී ශබ්දය පාලනය කර ඇති ආකාරය ඉතා සියුම් වේ.
 
චිත්‍රපටයේ මා දකින දුර්වල තැන් කීපයක්ද සඳහන් කරන්නට කැමතියි.
නිහඬ බවේ සංගීතය නැතහොත් කිසිදු සංගීත ඛණ්ඩයක් නොමැතිව නිහඬතාව පවත්වාගෙන යන අවස්ථා අගය කළ යුතු නමුත් වාදනය වන සංගීත ඛණ්ඩ හා සංගීත ස්වරයන් බෙහෙවින් ආගන්තුක බව දැනෙන අවස්ථා වේ.
 
විදෙස් නිෂ්පාදනයක් වුවත් මේ සිද්ධි දාමය මෙරටට බද්ධ වූ නිසා සංගීත නිර්මාණය අපේ ජන ජීවිතයේ අක්මුල් වටහා ගත් සංගීත ශිල්පියෙකු අතින් නිම වූවා නම් මේ අවුල නොදැනෙන්නට තිබුණා යැයි මට සිතේ. 
 
තිර පිටපතේ අනුචිත අවස්ථා කිහිපයක්ද මෙසේ නිරීක්ෂණය කරමි. 
 

නවාතැනට පැමිණ දැන හඳුනාගන්නටත් මත්තෙන් දඩයමට පිටත් වෙද්දී අම්රිතා නිවසේ සේවකයා, ශ්‍රී සමඟ පිටුපස ආසනයේ හිඳගෙන යාම සහ ඇය තුවක්කුව අතපත ගාන දර්ශනය ගෝචර නොවන බව මගේ අදහසයි. එය සංස්කරණය විය යුතු දර්ශනයකි. එසේම මග තොට දන්නේ ශ්‍රී බැවින් ඔහු ඉදිරිපස අසුනේ හිඳගැනීම නිරායාසයෙන් සිදු වන්නකි.
 
අම්රිතා ගෝනෙකු දැක ඌ පසුපස හෙළ පහළට ගිය පසු වාහනය පදවාගෙන ඒ ආසන්නයට පැමිණෙන ඇන්ඩෘ හමුවීම බලහත්කාර සිදුවීමකි. ඒ මොහොතේ, ඩීසල් පවා හිඟව පවතින තත්ත්වයක් යටතේ රියැදුරා තනිවම ගමන් ගැනීම නොයුතුය. ඔහු පැමිණියේ අම්රිතා සොයන්නට බව යමෙකු තර්ක කරන්නට ඉඩ ඇති නමුදු, ඒ සඳහා පැමිණිය යුත්තේ වාහනයෙන් නොව පාගමනිනි.
 
අනෙක් කරුණ වන්නේ වතු ජනයාගේ ප්‍රහාරය ඉදිරියේ පසු බසින, පළා යන පොලිස් නිලධාරින්ගේ සහයට බල ඇණි ගෙන්වා ගැනීමට එකදු පොලිස් නිලධාරියෙකු අත හෝ ජංගම දුරකථනයක් නොතිබීම අභව්‍ය සිද්ධියකි.
 
චිත්‍රපටයේ අප ඉමහත් කම්පනයට ලක් කරන්නේ එහි අවසාන ජවනිකාවේ අම්රිතා ඇන්ඩෘගෙන් අසන ප්‍රශ්නය හරහා මතුවන හැඟීම් සමුදායයි. පොලිස් කට උත්තරේදී ඇන්ඩෘ පවසන්නේ අම්රිතා ආරක්ෂාවට තැබූ වෙඩිල්ල ඉදිරියට පැන්න කේෂාව්ට වැදුණු බවයි. එය ඇය මිනීමැරුම් චෝදනාවෙන් ගලවාගැනීම සඳහා ඇන්ඩෘ ගෙතූ ප්‍රලාපයක් බව පැහැදිලියි. මා එසේ කියන්නේ එම දර්ශනයේ වෙඩිල්ල තබන දෙසට පනින කේශාව් කෙනෙක් නොමැති වීමයි. ඇය වෙඩි තබන්නේ කේශාව් දෙසටමයි. ඒ මොහොතේ කේශාව් මරා දැමීමේ චේතනාවක් තිබුණේදැයි නැද්දයි දන්නේ අම්රිතා පමණයි.
 
ප්‍රසන්න ඉතා සූක්ෂම ලෙස අපේ සිත් සලිත කරන්නේ මේ අවස්ථාවේයි. ඒ පොලිසියට දුන් කට උත්තරය හරි කියලා විශ්වාස කරනවාද කියා අම්රිතා ඇන්ඩෘගෙන් විමසූ පසු ඔවුන්ගේ ජීවිත දෙස නැවත නැවතත් සිතා බලන්නට අප පෙළඹෙන නිසයි. අම්රිතාගේ හද සන්තානයේ සිදුවූ පෙරළිය සනිටුහන් කරන්නේ ඒ දෙබස් ඛණ්ඩයයි.
 
චිත්‍රපටය අවසානයේ නමාවලියේ අවසාන කොටසේදී ඇසෙන සංගීතය හා ගැයෙන ගීතය සමස්ථ චිත්‍රපටයේ ශෝකී ස්වරයයි. ඉවසිල්ලක් නැතිව නාමාවලිය අවසන් වන්නට පෙර නැගිට යන හික්මීමක් නැති මෙරටප්‍රේක්ෂකයාට ඒ අත්දැකීම අහිමිවෙනවා නො අනුමානයි. අපව හිඳ සිටි ආසනයේ තවත් මොහොතක් රඳවා තබන්නේ ඒ ගීතයයි.
 
-හෙන්රි වර්ණකුලසූරිය
 

Thursday, 4 July 2024

ජාජබ ට ආරාධනා...

ඉහත කිසිවෙකුත් නොවේ හා නැවත කැඳවීමේ අයිතිය...NOTA & RTR

කිසියම් මැතිවරණයකදී ඡන්ද නාමලේඛනයේ සිටින ඡන්දාපේක්ෂකයින් කිසිවෙකුත් තමන් නියෝජනය කරන්නට සුදුසු නෙවන බව තීන්දු කරන ඡන්දදායකයෙකුට ඔවුන් සියල්ලන්ම ප්‍රතික්ෂේප කිරීමට ලැබෙන දුර්ලභ අවස්තාවක් ඡන්ද නාමලේඛනයේ "ඉහත කිසිවෙකුත් නොවේ" (.NOTA) යනුවෙන් තීරුවක් එක් කිරීමෙන් උදා කරගත හැකිය. "None of the above" (NOTA), or none for short, also known as "against all" or a "scratch" vote, is a ballot option in some jurisdictions or organizations, designed to allow the voter to indicate disapproval of the candidates in a voting system. It is based on the principle that consent requires the ability to withhold consent in an election, just as they can by voting "No" on ballot questions. It must be contrasted with "abstention", in which a voter does not cast a ballot. තමන් තෝරා පත් කරගත් නියෝජිතයා මැතිවරණයේදී දුන් පොරොන්දු අමතක කොට හොර මැර දූෂණයේ යෙදෙමින් සමාජ විරෝධියෙකු ලෙස හැසිරෙන්නේ නම් නියමිත ධූර කාලයට පෙර ඔහු හෝ ඇය තනතුරෙන් ඉවත් කිරීම සඳහා සැකසෙන ක්‍රමවේදය "නැවත කැඳවීමේ අයිතිය" ( RTR) ලෙස හැඳින්වේ. එවිට වෙනත් අපේක්ෂකයෙකු තමන්ගේ නියෝජිතයා ලෙස තෝරා පත් කරගැනීමට අවස්ථාව උදාවේ. The "Right to Recall" (RTR), also referred to as a recall referendum, is a democratic tool intended to improve accountability among elected representatives. It essentially allows citizens to exercise their democratic right to vote by running for re-election of their representative even before that person's term has officially ended. It is a mechanism that enables voters to oust an elected official through a direct vote before their term concludes. අද කතා කෝච්චිය වෙන් වන්නේ මේ කාරණා දෙක පැහැදිලි කිරීමටය.

පහත link එකෙන් සවන් දෙන්න.

ජාජබ ට ආරාධනා...