Wednesday, 10 July 2024

අපට පාරාදීසයක් නොවන ප්‍රසන්නගේ පාරාදීසය

 


ප්‍රසන්න විතානගේ සුවිශේෂී සිනමාකරුවෙකි. ඔහු සිනමාව සිය ජීවන ලාලසාව කරගන්නේ පුළුල් අත්දැකීම් සමුදායක් හා ඒ පිළිබඳ සුවිසල් දැනුමක් සමගිනි.
 
ප්‍රසන්නගේ පෙර ගමන්කරුවා ලෙස්ටර් ජේම්ස් පිරිස් බව මගේ විශ්වාසයයි. ලෙස්ටර් මෙන්ම විටෙක යථාර්ථවාදී එළැඹුමකින්ද, තවත් විටෙක ආත්මීය එළැඹුමකින්ද චිත්‍රපට නිර්මාණය කිරීමට ප්‍රසන්න ගන්නා උත්සාහය බොහෝ අවස්ථාවල ප්‍රේක්ෂක විචාරක පිළිගැනීමට ලක්වූවා පමණක් නොව දේශීය හා විදේශීය සිනමා උත්සවවල ඇගයීමටද ලක් විණ.
 
මෙරට සිනමාවේ අග්‍රගන්‍ය ඵලය ලෙස්ටර් ජේම්ස් පීරිස් වුවද, "නිධානය" වැනි ඉතා ඉහළ මට්ටමේ චිත්‍රපට නිර්මාණය කිරීමෙන් අයිකනයක් බවට පත්වුවද, ඔහු අතින්ද ඔහුට තරම් නොවන චිත්‍රපට බිහිවිය. එය ලෝක සිනමාවේ පවා දක්නට ලැබූ තත්ත්වයකි.
 
ජගත් සිනමාවේ විශිෂ්ටතම චිත්‍රපට නිමැවූවන් අතින් පවා ඔවුනට තරම් නොවන චිත්‍රපටද නිර්මාණය වී ඇති පසුබිමක එය පුදුමයට කරුණක් නොවේ. 
 
"රේඛාව", "නිධානය", "ගම්පෙරළිය", "දෙලොවක් අතර", "යුගාන්තය" වැනි සිනමාත්මක භාවිතාවක යෙදුණු ලෙස්ටර්ම "වීර පුරන්අප්පු", "අම්මාවරුනේ", "වෑකන්ද වලව්ව" වැනි චිත්‍රපටද තැනීය. දෙවනුව කී චිත්‍රපට හදන්නට ලෙස්ටර් කෙනෙක් උවමනා නැත. එවන් චිත්‍රපට කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා වැන්නෙකුටද හදන්නට පුළුවන් මට්ටමේ ඒවාය..
 



 
 "අනන්ත රාත්‍රිය", "පුරහඳ කළුවර", "ඉරමැදියම" "ආකාස කුසුම්" වැනි මෙරට සිනමාවේ සුවිශේෂී චිත්‍රපට නිර්මාණය කළ ප්‍රසන්න විතානගේ "ඔබ නැතුව ඔබ එක්ක", "ගාඩි" වැනි දුර්වල චිත්‍රපටද අධ්‍යක්ෂණය කළේය. දෙවනුව කී චිත්‍රපට සෝමරත්න දිසානායකටද නිමවන්නට පුළුවන් මට්ටමේ ඒවාය. එවන් චිත්‍රපට තනන්නට ප්‍රසන්න විතානගේ අවශ්‍ය නැත.
මා මේ අටුවාටීකා ලිව්වේ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ නවතම චිත්‍රපටය වන Paradise ගැන අදහස් පළ කරන්නටය.

ප්‍රසන්න ගේ සිනමාව විවිධ ශානර ඔස්සේ නිමැවේ. ඉනුත් "ඉරමැදියම", "පුරහඳ කළුවර" චිත්‍රපට කිසියම් ආකාරයක දේශපාලන සංසිද්ධීන් එක් තලයක තබා ගනිමින්, නැත්නම් යටි පළ සේ පදනම සකසා ගනිමින් මානුෂීය තලයේ සංවාදයකට මුල පුරන චිත්‍රපට වේ.
Paradise අයත් වන්නේද ප්‍රසන්න මීට පෙර සාර්ථක ලෙස අත්හදා බැලූ ඒ චිත්‍රපට රටාවටය. 
 

2022 අප්රේල් මාසයේ දින කීපයක් තුළ, විශේෂයෙන් ලංකාවේ එවකට පැවති රජයට මහජන සේවා සැපයීම දුෂ්කර වූ හා රට උග්‍ර ආර්ථික අගාධයකට ඇද වැටෙමින් තිබුණු කාලයක ඉන්දියාවේ සිට පැමිණි තරුණ යුවළක් කොළඹින් ඉතා ඈත පෙදෙසක නවාතැන්ගෙන සංචාරය කරමින් සිටින අතරතුර ඇතිවන සිද්ධි දාමයක් හරහා රටේ දේශපාලනය මෙන්ම ලංකාවේ පවත්නා පසුගාමී සමාජ සංස්ථා හා විශ්වාසයන් ප්‍රශ්න කිරීමටද ප්‍රසන්න දැනුම්වත් නිර්මාණශීලී උත්සාහයක යෙදේ.
 
සීතා රාමා ඇතුළු රාවණා පුරාවෘත්තය පිළිබඳ මතවාද, ලංකාවේ උග්‍ර ආර්ථික අර්බුදය ආරම්භ වූ කාලයේ ජන සමාජය පෙළූ දුෂ්කරතා ඊට අදාළ දේශපාලන පසුබිම සමඟ රාජ්‍ය පොලිසියේ අන්තනෝමතික බව මෙන්ම පස් වසරක විවාහ ජීවිතයක් ගත කළ යුවළකගේ මානුෂීය සබඳතා මෙන්ම ප්‍රතිවිරෝධතා පාදක කොට ගෙන ඇති Paradise චිත්‍රපටය තල කීපයක දිවෙන බව මගේ අදහසයි. 
 
විටෙක මේ තලයන්හි වෙන්වෙන්න සැරිසරන්නටද, ඒවා සමග ඒකාත්මිකව සම්මිශ්‍රණය වෙමින් අත්දැකීම් හා බද්ධ වන්නටද ප්‍රේක්ෂකයාට ආරාධනා කරන ප්‍රසන්න කිසිදු අවස්ථාවක නිශ්චිත නිගමන දෙන්නේ හෝ සිය මතය ඍජු ලෙස බලහත්කාරයෙන් ප්‍රේක්ෂකයා මත පටවන්නට පෙළැඹෙන්නේ නැත.
 
**************************************************************
ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ නවතම චිත්‍රපටය වන "පැරඩයිස්" පිළිබඳ මට දැනුණු හැඟීම් සටහන් කරන්නට කැමැත්තෙමි. චිත්‍රපටයේ ප්‍රධාන චරිත වන කේෂාව් හා අම්රිතා (රොෂාන් මැතිව් හා දර්ශනා රාජේන්ද්‍රන්) පස් වසරක විවාහ දිවියේ සංවත්සරය සැමරීම සඳහා සංචාරය කිරීමට ලංකාව තෝරාගෙන කඳුකරයේ වතු ආශ්‍රිත ප්‍රදේශයක නවාතැන් ගනී. කේෂාව් රූප මාධ්‍ය සමඟ කටයුතු කරන්නෙකි. ඔහුගේ යෝජනාවලියක් Netflix වෙත ඉදිරිපත් කොට ඇත. අම්රිතා බ්ලොග් රචිකාවියකි.
 
ඔවුන් පැමිණෙන්නේ ඔවුන්ගේ ජීවිතයේ සුවිශේෂී වූ ආර්ථික ජයග්‍රහණයක් සනිටුහන් වන අවස්ථාවකය. එනම් කේෂාව් ඉදිරිපත් කළ යෝජනාවලිය Netflix අනුමත කළ බව ඔවුන් දැනගන්නේ මේ ගමනේ මුල් භාගයේදීය. මොබයිල් දුරකතනය, ටැබය, ලැප්ටොප් පරිගණකය ඔවුන්ගේ ජීවිතය සමඟ ඉතා තදින් බැඳී තිබෙන්නේ ඔවුන්ගේ ජීවන චර්යා රටාව සමඟය.
කේෂාව් දඩමස් කෑමට රුචිය ඇත්තෙකි. ඔවුන්ගේ නවාතැනේ භාරකරු වූ ශ්‍රී මස් නොකන නමුත් දඩයම් කරන්නට දක්ෂයකි. ඔහුට ආරක්ෂාව සඳහා තුවක්කුවක්ද ඇත. එයින් ඔහුට දඩයම් කරන්නට පුළුවන. ඔවුන්ට මග පෙන්වන රියදුරු ඇන්ඩෘ (ෂ්‍යාම් ප්‍රනාන්දු) මෙන්ම ආරක්ෂාව සපයන පොලිසියේ සාජන් (මහේන්ද්‍ර පෙරේරා) ද දඩ මස් කෑමට පැකිලෙන්නේ නැත. සාජන්වරයා යමින් එමින් ඉදෙන භාජනයට අත දමා මස් කැබැල්ලක් ගෙන විකන්නට දෙවරක් සිතන්නේ නැත.
 
අම්රිතා පරිසරයට මෙන්ම සතුන්ටද ආදරය කරන්නියකි. සතුන් දඩයම් කරනවාටද ඇය එකඟ නැත. ඇය දඩයමේ යන්නේ දඩයම කඩාකප්පල් කරන්නටය.
 
එක්තරා රාත්‍රියක අම්රිතා සහ කේෂාව් නිදාගෙන සිටියදී දුරකතන, ටැබය, ලැප්ටොප් පරිගණකය ආදිය සොරුන් විසින් පැහැරගෙන යනු ලැබීමත් සමඟ ඔවුන්ගේ සංචාරය කඩාකප්පල් වනවා පමණක් නොව ඔවුන්ගේ ජීවන රටාවද උඩුයටිකුරු වෙන්නට පටන් ගනී.
 
ඒ හාම සිදුවන්නේ මෙතෙක් ඔවුන් දෙදෙනා තුළ සැඟව සිටි සැබෑ චරිත පිටතට නිරාවරණය වන්නට පටන් ගැනීමයි; විවාහ වී වසර පහක් එකට ජීවත් වූ යුවළක් එකිනෙකාගේ අභ්‍යන්තරය දැන හඳුනාගන්නට පටන් ගැනීමයි. චිත්‍රපටය අවසානයේ අම්රිතාගේ වෙඩි පහරින් කේෂාව් මිය යාම දක්වා සිද්ධීන් ගලා යන්නේ ප්‍රේක්ෂකයාට ඔවුන් වෙන් වෙන්ව හඳුනා ගැනීමට ඉඩ සලසමිනි.
 
චිත්‍රපටයේ අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ ගේ ආධ්‍යාශය වන්නේ ඔවුන්ගේ සිතුවිලි හා හැසිරීම් රටා හරහා මෙරට එක් කාල වකවානුවක සමාජ, දේශපාලන හැසිරීම සනිටුහන් කරන අතරතුර මෙරට ජන හද සන්තානයේ විටෙක නිද්‍රාශීලීව නිහඬ වන පුරාවෘත්තයක් විටෙක ප්‍රාණවත්ව නැගී සිටින ආකාරයද ඉස්මතු කිරීම බව මගේ හැඟීමයි.
 
"පැරඩයිස්" චිත්‍රපටයේ ගැහැනිය අනෙක් හැම පිරිමියාටම වඩා වෙනස් ශක්තිමත් චරිතයක් වන්නේ සිතන පතන ආකාරයේ, හැසිරෙන ආකාරයේ පමණක් නොව අවස්ථාවන්ට මුහුණ දෙන ආකාරයද නිසාය. කේෂාව් තමන්ගේ බඩු බාහිරාදිය සොරු ගෙන යාමත් සමඟ ලංකාවේ පොලිසිය නමැති වැල් පොටේ එල්ලී සිටියත් අම්රිතා ඊට වෙනස් වෙයි. සාජන් හොරුන් හඳුනාගත්තේදැයි අසන විට ඔහු ඔව් කියන්නේ අවිනිශ්චිතවයි. ඒත් අම්රිතා ඔවුන් හඳුනා නොගත් බව දැඩි ස්වරයෙන් පවසනවා මෙන්ම කේෂාව්ගේ අවිනිශ්චිත පිළිතුරු ද ප්‍රශ්න කරයි.
 
ආහාර ගනිමින් සිටියදී කම්පාවට පත්ව හරිහැටි ආහාර ගැනීමට නොහැකිව කල්පනා බරිතව සිටින කේෂාව් ඉදිරියේ අම්රිතා සතුටින් සිටින බව පෙන්වීම මෙන්ම ඔහු ඇයව ප්‍රශ්න කිරීමත් මේ චරිත ද්වය මැනවින් වටහා ගන්නට අපට ඉඟි සපයයි.
 
රාමායණය, රාම සීතා, රාවණා ප්‍රවාදය අම්රිතා ප්‍රශ්න කරන ආකාරය ඇගේ ඥානාන්විත බව ප්‍රකට කරන අවස්ථාවකි. රාවණා අවදි විය යුතු කාලය එළැඹ ඇති බව ඇය පවසන්නේ සෝපාහාසාත්මකවය. ඒ ප්‍රශ්න කිරීම තමන් තුළ දීර්ඝ කතිකාවකට මුල පුරන්නට බුද්ධිමත් ප්‍රේක්ෂකයාට ආරාධනා කරයි.
 
චිත්‍රපටයේ කතා ප්‍රවෘත්තිය හා සිද්ධි දාමය තල තුනක දිවෙන බව මගේ අදහසයි. පළමුව මතුපිටින් පෙනෙන තරුණ යුවළකගේ දින කිහිපයක ජීවන අත්දැකීම් ගලා යයි. ලංකාව ගිලගත් ආර්ථික අර්බුදයකින් සමස්ථ ජන ජීවිතයම පීඩාවට පත් වූ ආකාරය හා පොලිසියේ සුපුරුදු අන්තනෝමතික බව දෙවනුව හඳුනාගන්නට හැකිය. තෙවනුව සිදුවන්නේ රාවණා පුරාවෘත්තය පිළිබඳ විශ්වාසයන් ප්‍රශ්න කිරීමයි.
 
"පැරඩයිස්" චිත්‍රපටය පිළිබඳ උඩින් පල්ලෙන් වටහා ගන්නා ප්‍රේක්ෂකයෙකුට මෙහි විශේෂ යමක් නැති සරල රේඛීය සිදුවීමක් හෝ කතාවක් ඇති බව වටහා ගැනීමෙන් සැනහෙන්නට හැකියි. ඒ අතරම සංයමයෙන් යුතු හුරුපුරුදු නටඹන්නෙකුට මේ චරිත අභ්‍යන්තරය වටහා ගනිමින් ගැඹුරින් කිඳා බසින්නද හැකියි. එය තරමක බුද්ධිමය ප්‍රවේශයකි.
ආරම්භයේ සිට අවසානය දක්වා ඇන්ඩෘ නැමති රියදුරාගේ සංයමශීලී පැවැත්ම හා එළැඹුම් හීන්හුයක් සේ චිත්‍රපටය පුරා කේශව් හා අම්රිතාගේ සංචලනයන් ඇද බැඳ තබා ගනී. එපමණක් නොව ඔහු ප්‍රේක්ෂකයාවද එකී සංචාරයට සම්බන්ධ කරගන්නේ සූක්ෂම ආකාරයකිනි.
 
"පැරඩයිස්" චිත්‍රපටයේ සුවිශේෂී ලක්ෂණයක් වන්නේ ඛේදවාචකයකින් අවසන් වන සිද්ධිදාමයක් අතිශය සුන්දර දර්ශන තල මත පින්තාරු කරන ආකාරයයි. ඒ අධ්‍යක්ෂවරයා හා කැමරා ශිල්පියා අතර පවතින ආත්මීය සුසංයෝගයේ ප්‍රතිඵලයක් නිසා බව පැහැදිලිය. 
 
චිත්‍රපටයේ සෑම ප්‍රධාන චරිතයකම රංගනය ඉතා ඉහළ මට්ටමක පවතී. වඩාත් විශිෂ්ට වන්නේ දර්ශනා රාජේන්ද්‍රන්ගේ හා ෂ්‍යාම් ප්‍රනාන්දුගේ රංගනයයි. ඒ ඒ අවස්ථාවට දර්ශනා මතු කරන රංග ලීලාවන් අම්රිතාගේ චරිතය ප්‍රේක්ෂකයා වෙත මැනවින් ග්‍රහණය කිරීමට හේතු වේ.

ෂ්‍යාම් ප්‍රනාන්දු, ඇන්ඩෘ නමැති රථාචාර්ය මෙන්ම මග පෙන්වන්නාගේ චරිතය ග්‍රහණය කොටගෙන ඇති ආකාරය විශිෂ්ටයි. ෂ්‍යාම්, ඇන්ඩෘ චරිතයට ආවේශ වූවාද ඇන්ඩෘ චරිතය ෂ්‍යාම්ට ආවේශ වූවාදැයි කිව නොහැකි වුවත් සමස්ථ චිත්‍රපටය පුරුද්දන හුය ඔහුයි. රොෂාන් මැතිව් මෙන් මහේන්ද්‍ර පෙරේරාද උසස් රංගන දායකත්වයක් දක්වන බව කිව යුතුය. 
 
 
රජීව් රවිගේ කැමරාකරණයත්, ශ්‍රීකර් ප්‍රසාද්ගේ සංස්කරණයත් "පැරඩයිස්" චිත්‍රපටය ප්‍රේක්ෂකයාගේ ආත්මීයව ඇදබැඳ තබා ගැනීමට හේතු වෙයි. තපස්නායක්ගේ ශබ්ද පරිපාලනයත් මෙරට චිත්‍රපටවල අප විඳින ශබ්ද පරිපාලනයට එහා ගිය උසස් වින්දනයක් ලබා දෙනවා නිසැකයි.
සංස්කරණ ලක්ෂ්‍යයන්හිදී ශබ්දය පාලනය කර ඇති ආකාරය ඉතා සියුම් වේ.
 
චිත්‍රපටයේ මා දකින දුර්වල තැන් කීපයක්ද සඳහන් කරන්නට කැමතියි.
නිහඬ බවේ සංගීතය නැතහොත් කිසිදු සංගීත ඛණ්ඩයක් නොමැතිව නිහඬතාව පවත්වාගෙන යන අවස්ථා අගය කළ යුතු නමුත් වාදනය වන සංගීත ඛණ්ඩ හා සංගීත ස්වරයන් බෙහෙවින් ආගන්තුක බව දැනෙන අවස්ථා වේ.
 
විදෙස් නිෂ්පාදනයක් වුවත් මේ සිද්ධි දාමය මෙරටට බද්ධ වූ නිසා සංගීත නිර්මාණය අපේ ජන ජීවිතයේ අක්මුල් වටහා ගත් සංගීත ශිල්පියෙකු අතින් නිම වූවා නම් මේ අවුල නොදැනෙන්නට තිබුණා යැයි මට සිතේ. 
 
තිර පිටපතේ අනුචිත අවස්ථා කිහිපයක්ද මෙසේ නිරීක්ෂණය කරමි. 
 

නවාතැනට පැමිණ දැන හඳුනාගන්නටත් මත්තෙන් දඩයමට පිටත් වෙද්දී අම්රිතා නිවසේ සේවකයා, ශ්‍රී සමඟ පිටුපස ආසනයේ හිඳගෙන යාම සහ ඇය තුවක්කුව අතපත ගාන දර්ශනය ගෝචර නොවන බව මගේ අදහසයි. එය සංස්කරණය විය යුතු දර්ශනයකි. එසේම මග තොට දන්නේ ශ්‍රී බැවින් ඔහු ඉදිරිපස අසුනේ හිඳගැනීම නිරායාසයෙන් සිදු වන්නකි.
 
අම්රිතා ගෝනෙකු දැක ඌ පසුපස හෙළ පහළට ගිය පසු වාහනය පදවාගෙන ඒ ආසන්නයට පැමිණෙන ඇන්ඩෘ හමුවීම බලහත්කාර සිදුවීමකි. ඒ මොහොතේ, ඩීසල් පවා හිඟව පවතින තත්ත්වයක් යටතේ රියැදුරා තනිවම ගමන් ගැනීම නොයුතුය. ඔහු පැමිණියේ අම්රිතා සොයන්නට බව යමෙකු තර්ක කරන්නට ඉඩ ඇති නමුදු, ඒ සඳහා පැමිණිය යුත්තේ වාහනයෙන් නොව පාගමනිනි.
 
අනෙක් කරුණ වන්නේ වතු ජනයාගේ ප්‍රහාරය ඉදිරියේ පසු බසින, පළා යන පොලිස් නිලධාරින්ගේ සහයට බල ඇණි ගෙන්වා ගැනීමට එකදු පොලිස් නිලධාරියෙකු අත හෝ ජංගම දුරකථනයක් නොතිබීම අභව්‍ය සිද්ධියකි.
 
චිත්‍රපටයේ අප ඉමහත් කම්පනයට ලක් කරන්නේ එහි අවසාන ජවනිකාවේ අම්රිතා ඇන්ඩෘගෙන් අසන ප්‍රශ්නය හරහා මතුවන හැඟීම් සමුදායයි. පොලිස් කට උත්තරේදී ඇන්ඩෘ පවසන්නේ අම්රිතා ආරක්ෂාවට තැබූ වෙඩිල්ල ඉදිරියට පැන්න කේෂාව්ට වැදුණු බවයි. එය ඇය මිනීමැරුම් චෝදනාවෙන් ගලවාගැනීම සඳහා ඇන්ඩෘ ගෙතූ ප්‍රලාපයක් බව පැහැදිලියි. මා එසේ කියන්නේ එම දර්ශනයේ වෙඩිල්ල තබන දෙසට පනින කේශාව් කෙනෙක් නොමැති වීමයි. ඇය වෙඩි තබන්නේ කේශාව් දෙසටමයි. ඒ මොහොතේ කේශාව් මරා දැමීමේ චේතනාවක් තිබුණේදැයි නැද්දයි දන්නේ අම්රිතා පමණයි.
 
ප්‍රසන්න ඉතා සූක්ෂම ලෙස අපේ සිත් සලිත කරන්නේ මේ අවස්ථාවේයි. ඒ පොලිසියට දුන් කට උත්තරය හරි කියලා විශ්වාස කරනවාද කියා අම්රිතා ඇන්ඩෘගෙන් විමසූ පසු ඔවුන්ගේ ජීවිත දෙස නැවත නැවතත් සිතා බලන්නට අප පෙළඹෙන නිසයි. අම්රිතාගේ හද සන්තානයේ සිදුවූ පෙරළිය සනිටුහන් කරන්නේ ඒ දෙබස් ඛණ්ඩයයි.
 
චිත්‍රපටය අවසානයේ නමාවලියේ අවසාන කොටසේදී ඇසෙන සංගීතය හා ගැයෙන ගීතය සමස්ථ චිත්‍රපටයේ ශෝකී ස්වරයයි. ඉවසිල්ලක් නැතිව නාමාවලිය අවසන් වන්නට පෙර නැගිට යන හික්මීමක් නැති මෙරටප්‍රේක්ෂකයාට ඒ අත්දැකීම අහිමිවෙනවා නො අනුමානයි. අපව හිඳ සිටි ආසනයේ තවත් මොහොතක් රඳවා තබන්නේ ඒ ගීතයයි.
 
-හෙන්රි වර්ණකුලසූරිය
 

4 comments:

  1. අගේ ඇති සිනෙමා පටයක් බව හැඟෙනවා. විවේකයක් සොයගෙන නැරඹිය යුතුයි.දුන් හෝඩුවාවට ස්තූතියි.

    ReplyDelete