පෙර සටහන-
"වාලම්පුරි හෙවත් හීන හතහමාරක්" තවම නරඹා නැති අය මේ ලියවිල්ල කියවීමෙන් වැළකීම සුදුසුය.
චිත්රපටය නැරඹූ හෝ නරඹන්නේ නැති අය කියවීම සුදුසුය.
එසේම චිත්රපටය නරඹන්නේ නැතිව සමාජ මාධ්යවල පුළුල් විචාර ලියන්නන්ටද මේ ලියවිල්ල ප්රයෝජනවත් වෙනු ඇත. අද සමහරු විචාර ලියන්න පටන් ගන්නේම "මං චිත්රපටය බලා නෑ", "මං චිත්රපටය බලන්නටත් අදහසක් නෑ." කියා පොරටෝක් දෙමිනි.
ඒකත් මරුය.
මේ ලියවිල්ල සමහරුන්ට මාරකයකි.
"වාලම්පුරි හෙවත් හීන හතහමාරක්" සිංහල සිනමාවේ පොල්මඃකාර උරුමක්කාරයින්ට මාරකයකි.
"වාලම්පුරි හෙවත් හීන හතහමාරක්" දේශපාලන චිත්රපටයක් (Political Cinema) නොවන්නේ පැය දෙකහමාරක් තුළ රූපාවලියෙන් කරන ඇඟවීම්, දෙබස් වලින් කරන ඇඟවීම්, රංගනයෙන් කරන ඇඟවීම් ඍජු දේශපාලනික මානයක් ඉලක්ක කොට නොමැති බැවිනි. "පාරදිගේ", "බඹරු ඇවිත්", "මේ මගේ සඳයි" මගේ දේශපාලන චිත්රපට උදාහරණයි.
එහෙත් "වාලම්පුරි හෙවත් හීන හතහමාරක්" චිත්රපටයේ යටි පෙළේ දිවෙන දේශපාලනමය කතිකාවක් ඇත. එය තිරනාටකයෙන් මතු කිරීමට අධ්යක්ෂ ලක්මාල් ධර්මරත්න සියුම් උත්සහයක් ගෙන ඇත. ඒ උත්සහය "කූඹියෝ" ටෙලි සිත්තමේද අඩංගු විය.
"වාලම්පුරි හෙවත් හීන හතහමාරක්" චිත්රපටය ගැන, එහි රංගනය, සංගීතය, කැමරාකරණය, සංස්කරණය, කලා අධ්යක්ෂණය, අංග රචනය හා අධ්යක්ෂණය ගැන අඩුවැඩි වශයෙන් බොහෝ දේ ලියැවී, සංවාදගත වී හමාර හෙයින් මගේ මේ සටහනේදී ඒ ගැන කෙටියෙන් ලියා තබා මේ දේශපාලන කතිකාවට බරක් දෙන්නෙමි.
"වාලම්පුරි හෙවත් හීන හතහමාරක්" 70 දශකයේ අප අත්විඳි වාණිජ සිනමාව සිහි ගන්වයි. සමහර දර්ශන තල, රංගන රටා, සිද්ධි ගලායාම් ඊට දෙස් දෙයි. ඇත්තටම මේ 70/80 දශකවල කතාවකි. සංඛේතාත්මකව ජහුටා නාට්ය කණ්ඩායම යන බසය, මුදලාලි හා සාමි යන කාර් ඊට දෙස් දෙයි. එසේම ආංජලෝ සැලූනයද ඒ දශකවල පෙනුමින් යුක්තය.
වැලිකතරේ වාහන පෙළ, කොළඹ අතර මං වන ජහුටලා වාහනයට ගොඩවීම හා ඒ ආශ්රිත දර්ශන හා රංගන, බංඩා කොළඹ ආවා සේ නාන තටාකයේ කරන කෝලං, සශිකාගේ පූසා, සිවිල් පොලිස්කාරයින් ගමේ බඩු සොයා යෑමේ අලකලංචිය වැනි දර්ශන මා පෙර සඳහන් කළ පැරණි වාණිජ සිනමාවේ ලක්ෂණය. ඒ කොමඩි ටච් එක වාණිජ සිනමාවේ උරුමයන් වේ.
වාලම්පුරි මංකොල්ලයට සෙට් වෙන පොලිස්කාරයා, ඇමතිගේ ගෝලයා වන කස්තුරිගේ නිහඬ තර්ජනත්මක පෙනුම වැනි කාරණා දෙමළ හෝ මලයාලම් සිනමාවට ළං වේ. බල අධිකාරියේ හා තන්හාවේ ආගමික ප්රවේශය සාමි වේ. සාමි නොවී සිවුරක් හෝ ලෝගුවක් ඇඳි චරිතයක් පෙන්නුවේ නම් ෆිල්ම් එකට බඩුමය. අපි ඒවා අවධාරණය කරගත යුතුය.
සියලුම රංගන ශිල්පීන්ගේ රඟ නොපා රඟපෑමේ හැකියාව චිත්රපටයේ සාර්ථකත්වයට ඉහළින් බලපා ඇත. එයිනුත් ප්රියන්ත සිරිකුමාර, සරත් කොතලාවල, වසන්ත මොරගොඩ, අංජන ප්රේමරත්න හා දර්ශන් ධර්මරාජ්ගේ චරිත නිරූපන වඩාත් අගයමි.
චින්තක ජයකොඩිගේ සංගීත සංකලනය මෑතකදී චිත්රපටයකින් මා විඳි ඉහළ රසයකි. විටෙක සංගීත ඛණ්ඩ ඇසෙන්නේ නැතිවාක් මෙන් වුවද ඇත්තෙන්ම සංගීතය පිටපතේ හිඩැස් පුරවා හෝ අවස්ථා උද්දීපනය කොට ඇත. චිත්රපට සංගීතය යනු තවත් එක් චරිතයක් බවට පත් වී ඇත.
කාලිංග දේශප්රිය විදේශගත වීමෙන් ගිලිහුණු කැමරා යෂ්ටිය දිමුතු කාලිංග අගේට සපුරා ඇත.
පැය දෙකහමාරේ ධාවන කාලය මිනිත්තු එකසිය තිස්පහකට, හතළිහකට අඩු කළ හැකිව තිබුණ බව මගේ හැඟීමයි. ඒත් ලකාට පෙන්නන්න ඕනෑම නං අපට කපන්නට යෝජනා කළ නොහැක.
ඒත් මම මගේ ප්රේක්ෂක අයිතිය ඉදිරියට ගෙන එසේ යෝජනා කරමි.
සිඩ්නිගේ හා බිරිඳගේ යහන් දර්ශනය, එනම් මෙන්සස් හැදිලා නිසා හැමනෙන්නට නොහැකි වීමේ කතාබහ, අබ්බගාත සැමියෙකු එක්ක කොළඹ නිවසේ කුළීමළි කතා කිරීම, වාලම්පුරියක් ෆයිබර් කිරීම, සැලූනයේ කාන්තා කෑම කතා, ටීවී එකේ වාලම්පුරි සාකච්ඡා වැනි දර්ශන නොතිබුණා කියා මට නම් අඩුවක් පාඩුවක් දැනෙන එකක් නැත.
අනෙක් අතට ටීවී වාලම්පුරි සාකච්ඡාව මෙන්ම අබ්බගාත සැමියා බලෙන් එබ්බුවකි.
දැන් දේශපාලන කතාවට බහිමු.
අධ්යක්ෂවරයා කිසියම් රූපාවලියක් එක් කරන්නේ තමන්ගේ කතිකාව ගොඩනගන්නට අනුපාන ලෙස විය යුතුමය. ඒ අනුව ආරම්භයේදී මෙරට සිටි පාලකයින් කිහිප දෙනෙකුගේ කථා කීපයක පුස්තකාල දර්ශන ගෙන එයි. ඔවුන් කතා යොමු වන්නේ තරුණ ප්රශ්න, දුගී බවට එරෙහිව සමාජය ගොඩගැනීම වැනි කාරණා ගැනය. ඒත් ඊළඟ වටයේ චන්ද්රිකාගේ උපහාසාත්මක සිනාව, ජේ.ආර්. තොලපිට ලෙවකෑම පෙන්නන්නේ මේවා මුංගේ බයිලා කියන්නටය.
වාලම්පුරිය අයිති ඇමතිටත් ඉහළ අයෙකුටය. කස්තුරි ඒ රහස සිඩ්නිගේ කනට කර කියන්නේ ඔහු දමනය කරන්නටය. ඇමතිටත් ඉහළින් ඉන්නේ රටේ පාලකයා බව කෙනෙකුට අනුමාන කරන්නත් පුළුවන් ය. ඒ අර්ථයෙන් ගත් විට වාලම්පුරිය මේ රටේ සම්පත් නිධානය වෙන්නටත් බැරි නැත. නාමාවලිය යද්දී ගොවිබිම්, වැඩබිම් ආදී විවිධ තැන්වල වාලම්පුරි පසෙකින් ඇති බව පෙන්වන්නේ අපට හිතන්නටය. අපට අත්පත් කරගත නොහැකි වාලම්පුරි හැමතැනම ඇත.
වාලම්පුරිය අත්පත් කරගන්නට වූ තරගයෙන් කිසිවෙකු දිනන්නේ නැත. කිසිවෙකුට එය අයිති වන්නේද නැත. දීර්ඝ වටයක් කරකැවී ජහුටන් අතටම පත් වූවද ඔවුන් එය මිල කරන්නට දන්නේ නැත. නැතහොත් ඒ සඳහා සම්බන්ධතා නැත.
කොටින්ම වාලම්පුරිය අවසානයේදී හිමිවන්නේ "මේක මූදු බෙල්ලෙක්..
වැඩකට නැති සිප්පිකටුවක්" ලෙස සිතන සෙට් එකක් අතටය.
පොලිස්කාරයාගේද ජහුටන්ට වඩා වෙනසක් නැත. දේශපාලකයා සතුටු කිරීමෙන් පෙන්ෂන් යන්න පෙර මාසයකට රුපියල් පන්දාහක වැටුප් වර්ධකයක් ලැබාගත හැකි වුවද එකතුව බැලූ විට සාපේක්ෂව සොච්චමකි. එහෙයින් ඔවුන්ට අනීතිකව එකවර හොයන මුදල බොහෝ වටී. එක අතකට රාජ්ය සේවකයා ජහුටන් සේම, නැතහොත් ඔවුන්ටත් වඩා අසරණය. ගොඩ එන්නට, සිහින සැබෑ කරගන්නට නිධානයක්ම හෑරිය යුතුය. වාලම්පුරියක් පස්සේ එලවිය යුතුය.
මේ සමාජ ක්රමය ඔවුන් ඇද දමා ඇත්තේ එතැනටය.
අවසානයේ "වාලම්පුරි හෙවත් හීන හතහමාරක්" චිත්රපටය දේශපාලන තේමාවකට ලඝු කරන්නට නොකැමැත්තෙමි. මන්ද
මෙහි එන දේශපාලන කාරණා යම්තමින් හෝ අඩුවැඩි වශයෙන් නොදුටු ප්රේක්ෂකයින් වැඩිවශයෙන් ඉන්නා බව දන්නා නිසාය. මෙය කිසිසේත්ම දේශපාලන චිත්රපටයක් නොවේ යැයි මුලින්ම කීවේ එබැවිනි.
පළමු වතාවේ මා නොදුටු රූපරාමු, කතිකා, එළැඹුම් දෙවන හා තෙවන වතාවට නැරඹීමෙන් ග්රහණය කොට ගතිමි. වේගයෙන් සංස්කරණය වන dynamic රූපාවලිය අල්ලා ගැනීමට එක් වරක් නරඹා ප්රමාණවත් නැති බව මගේ අදහසයි. මා ඇතුළු චිත්රපට රසිකයින් එක් වරකට වඩා චිත්රපටය නරඹා ඇතිවා හෝ නරඹන්නට තීන්දු කොට ඇති බව දනිමි.
ලක්මාල් ධර්මරත්න අධ්යක්ෂණය කළ පළමු චිත්රපටය, පිටපතේ එන යම් යම් දුර්වලතා (විශේෂයෙන් twist කිරීමේදී) මධ්යයේ වුව සුපිරි චිත්රපටයකි. මා එසේ කියන්නේ අද අප දකින බොහෝ සිංහල චිත්රපටවල පිටපත වල්වැදී ප්රේක්ෂකයා වල්මත් කරන බැවිනි.
මේ වසර සිංහල සිනමාවේ ඉදිරි පිමි සනිටුහන් කරන චිත්රපට තිරගත වන වසරක් වීම සිංහල සිනමාලෝලියෙකු ලෙස (එක්තරා අර්ථයකින් පිස්සෙකු ලෙස) මගේ ප්රීතිප්රමෝදය වඩවයි.
"රාණි" රේස් එක පටන් ගත්තේය. "වාලම්පුරි හෙවත් හීන හතහමාරක්" රේස් එකේ ඉදිරියට යන්නේය. මා නරඹා ඇති චිත්රපට අතරින් මේ වසරේ තිරගත වීමට නියමිත "බහුචිතවාදියා" හා "මාරියා" චිත්රපට රේස් එකේ ඉදිරියට යනු ඇත.