Friday, 29 May 2015

සිඟිති සහ ගැරඬියා.....


ට සහෝදරියො නැහැ. මල්ලිල දෙන්නයි..මමයි විතරයි.

සිඟිති කියන්නෙ අපේ අක්කගෙ ලොකු කෙලී. 


අක්ක කියන්නෙ තාත්තගෙ ලොකු අයියගෙ දෙවෙනි දුව.


අපිට දුව තාමත් සිඟිති වුණාට කෙල්ල විශ්වවිද්‍යාලෙත් ගිහින් උපාධියත් අරන් විවාහ වෙලා ටික කාලයක් රස්සාවකුත් කරල ළඟදි නවසීලන්තෙට ගියා වැඩිදුර අධ්‍යාපනයට.


ගිය අවුරුද්දෙ දෙසැම්බර් මාසෙ අම්මගෙ අවුරුද්දෙ දානෙට ගියාම සිඟිති මුණ ගැසුණා කාලෙකට පස්සේ.


ගැරඬියගෙ කතාව සිඟිති කිව්වෙ එදා දවල් කෑමෙන් පස්සෙ අතුරු පස විදිහටයි.


සිඟිති විවාහ වෙලා පදිංචි වුණේ මාරවිල පැත්තෙ. ජෝඩුව විතරයි ගෙදර.


දවසක් උදේ පාන්දර මේ දෙන්න අවදි වෙලා තියෙන්නෙ ලොකු ඝෝෂාවකින්. තාප්පෙට එහා අල්ලපු වත්තෙ බල්ලො බුරා හැළෙන සද්දෙට.


බලද්දි බල්ලො බුරන්නෙ ගැරඬියෙකුට. ගැරඬියෙක්ගෙ ඔලුවෙ බියර් කෑන් එකක් හිර වෙලා. ගැරඬියට බඩ ගාගෙන යන්න බැහැ.


බල්ලො බුරන්නෙ ඒකයි. 


සිඟිතිට මේක බලන් ඉන්න බැහැ. ඩිල්ෂාන්, ඒ කියන්නෙ එයාගෙ මහත්තයට කරදරේ මේකට මොකක් හරි කරමු කියල.


බැරිම තැන ඩිල්ෂාන් තීරණය කරල ගැරඬිය අල්ලල පශු වෛද්‍යවරය ළඟට ගෙනියන්න.


අහල පහලින් ළමයෙක් දෙන්නෙක් අඬ ගහගෙන ගැරඬියව හිස් පෝර උරේකට දාගත්ත ඩිල්ෂාන් මෝටර් සයිකලේ නැගල තනි අතින් පැදගෙන යන්න යද්දි සිඟිතිත් පස්සෙන් නැගල.


ඩිල්ෂාන්ගෙ එක අතක ගැරඬි උරේ. එක අතකින් කොන්ට්‍රෝල් කරන් සයිකලේ පැදන් යනව.


උන්න ගමන් උරේ පැද්දිලා ඇවිත් සිඟිතිගෙ කකුලෙ වදිනව. කෙල්ලට හිරිකිතයි. ඊයා...කිය කිය පස්සෙන් ඉඳන් දඟලනව.


"මැරෙන්නද හදන්නෙ .." කියමින් ඩිල්ෂාන් බනින්නෙ දඟලද්දි සයිකලේ පාලනය කර ගන්න බැරි නිසා.


කොහොමින් හරි ගැරඬියව දොස්තර ළඟට අරං ගියා කියමුකො.


යද්දි කවුරුත් නැහැ. ගෙදර දොරත් වහල.


ඩිල්ෂාන් උරෙත් එල්ලන් සයිකලේ නැගල ඉද්දි සිඟිති දොරට තට්ටු කරල. එලියට ඇවිත් තියෙන්නෙ නෝන.


"මහත්තය කෑම කනව. සතෙක්ට බේත් කරන්නද..."


"ඔව්...සතෙක්ට"


"කෝ සතා ගෙනාවෙ නැද්ද්..?"


"ගෙනාව..." උත්තර දෙන්නෙ සිඟිති.


"කෝ... පේන්න නැහැනෙ..." නෝන වටපිට බලනව. බල්ලෙක්, පූසෙක්, හරකෙක් ගෙනාව නං පෙන්න එපැයි.


"අර උරේ ඉන්නෙ.."


"උරේ... මොකාද..?"


"ගැරඬියෙක්.."


සිගිති කිව්ව විදිහට නෝනගෙ කට ඇඹුල් වෙලා. හිරිකිතෙන් උරහිස අකුලල අහුවලු "ගැරඬියෙක්...? ගැරඬිත් ඇති කරනවද.."


නෝනට හිතාගන්න බැරි වෙන්නැති මේ තරුණ ජෝඩුවක් ගැරඬියෙක් උස්සන් කොහෙ යනවද කියල.


සිඟිති බියර් කෑන් එකේ විස්තරේ කියල. "අනේ මංද..." කිව්ව නෝන ගෙට ගිගින්.


විස්තරේ අහපු දොස්තර කිව්වලු ගැරඬියව ගෙනා නිසා බේත් නොකරත් බැහැ. ඒත් ඒ වැඩේ එයාගෙ සහායක සිරිල්ට බාර දෙමු කියල.


"සිරිල් කෑමට ගියා...දැන් එයි...මිනිහ වැඩේ කරයි..."


සිරිල් එන තුරු ගැරඬි උරේ අතින් අල්ලගෙන ඩිල්ෂාන් පඩිය ගාව. සිඟිති ඇතුළෙ බංකුවක ඉඳගෙන.


ඔය අතර ආව වැඩිහිටි කාන්තාවක්. සතෙක් නැතිව. අසනීප වුණ බල්ලට බෙහෙත් අරන් යන්න.


"කෝ ...ඔය ගොල්ලන්ගෙ සතා...."


සිඟිති ගැරඬියගෙ විස්තරේ කිව්වා. කාන්තාවගේ ඇස් උඩ ඉන්දුණා.


"ගැ..ර..ඬි..යෙ..ක්...."


ඒ එක්කම තඩි කාර් එකකින් ජෝඩුවක් ආව. බේසමක බලු පැටව් තුන් දෙනෙක් දාගෙන.


නවීන පන්නෙට ඇඳල කරල. තොල් නිය පාට කරන්. 


සුකුරුත්තම් ලෝකයක්.


බොහොම ආඩම්බරේට වටිනා බලු පැටව් එක්ක ගෙට ගොඩ වුණ මේ ලලනාව සිගිති දිහාවෙ බලල තියෙන්නෙ කිසිම වටිනා කියන සතෙක් ගෙනැල්ල නැතිව ඉන්න එතෙන්ට ගැලපෙන්නෙ නැති කෙනෙක් විදිහටයි.


"කෝ....ඔයා සතෙක් ගෙනාවෙ නැද්ද...?"


"ගෙනාව...ගැරඬියෙක්...බියර් කෑන් එකකට ඔලුව හිර කරගෙන."


දැන් සිඟිති තෙපර බබා ඉන්නෙ නැතිව ගැරඬියෙක් බව කියනව.


"ඉතිං...ගැරඬියට වෙරිද..." ඔන්න ඒ අම්මණ්ඩි ඇහුව ප්‍රශ්නෙ.


සිඟිති කිව්වෙ දන්නෙ නෑ කියල. ඇත්තටම එයා දන්නෙ නැහැනෙ.


ඩිල්ෂාන් තවම පෝර උරේ අල්ලගෙන. බිමින් තියන්න බයෙන්. 


ඔන්න සිරිල් ඇවිත්. කසිප්පු ටිකකුත් සප්පායම් වෙලා. ඔය පැත්තෙ කසිප්පු නැති තැනක් නැහැනෙ. සප්පායම් වෙන්නෙ නැතිව තිරිසන් සත්තු එක්ක හැප්පෙන්න පුලුවනෑ.


සිරිල් ආව. ග්ලවුස් දා ගත්ත අත් වලට. 


වත්ත පහළට ගිහින් ගැරඬියව පෝර උරෙන් එළියට ගත්ත. බෙල්ල කැපුණ තැනට බෙහෙතක් ස්ප්‍රේ කළා. යකඩ කපන කතුරකින් බියර් කෑන් එක කපල ඉවත් කළා.


"අනේ මාමෙ ගැරඬිය හිටියලු මූණ පුම්බගෙන. තරහෙන්. මම නම් ඌ දිහා බැලුවෙවත් නැහැ." සිගිති කියන්නට වුණා.


"එතකොට ගැරඬියට මොකද වුණේ..." දානෙ ගෙදර හිටිය කෙනෙක් ඇහුව.


"ඌ කැලේට අතෑරිය. ගිනි කසය වගේ වත්ත පහලට බඩ ගෑව."


"අපරාදෙ...ගෙදර ගෙනැත් ඇති කරන්නනෙ තිබුණෙ...ඔය තරම් මහන්සි වුණ එකේ."


"ඊයා.....චික් විතරක්..." එහෙම කිව්වෙ සිඟිති.


මේ කතාව ලියන්න හිතුණෙ දුලබ සිද්ධියක් කියා සිතුණ නිසයි. අපි නම් සර්පයෙක් වෙනුවෙන් ඔය තරම් නැහෙන්නෙ නෑ නේද...


ඒත් මේ තරුණ යුවළ ටිකක් වෙනස්. ටිකක් නොවෙයි හොඳටෝම.


සිඟිති ගැරඬිය මතක් වෙද්දි ඊයා......කිව්වට එයා නොදකින්න ගැරඬිය තව කලක් ජීවත් නොවෙන්න තිබුණ.


ඒ වගේම මා අතින් අලුතෙන් කෙටිකතාවක් ලියවෙන්නෙත් නැහැ.


මේ ලිව්වෙ සත්‍ය කතාව.


කෙටිකතාව නම් මේ සිද්ධිය පාදක කොට ගත් කල්පිතයක්.


"නිරුවත් ජීවිත" නමින් යථා කාලයේදී එළි දැක්වෙන මගේ මීළඟ කෙටිකතා එකතුවේ ප්‍රධාන චරිතයක් විලසින් ගැරඬියත් ඉන්නවා.






27 comments:

  1. /* "නිරුවත් ජීවිත" නමින් යථා කාලයේදී එළි දැක්වෙන මගේ මීළඟ කෙටිකතා එකතුවේ ප්‍රධාන චරිතයක් විලසින් ගැරඬියත් ඉන්නවා. */

    විමල් වීරවංශ ද? මොකද මිනිහා නං නිකං භුමිතෙල් ගෑවුණා වගේ තමයි මේ දවස්වල ඉන්නේ!

    ReplyDelete
    Replies
    1. දේශපාලන ගැරඬින් ගැන ලියා පොත කිළිටි කර ගන්නේ නැත.

      Delete
    2. හැක, හැක!
      ඒ කියන්නේ නොකී කතා පොත ටිකක්වත් කිලිටි නැද්ද? එතකොට නොකී කතා බ්ලොග් එක?

      Delete
    3. පොත කියා සඳහන් කළේ අත්වැරැද්දකින්. බ්ලොග් එක කියා නිවැරදි කරමි.

      Delete
  2. රසිකගෙ දැනුවත් කිරීමෙන් තමා මෙතැනට ආවේ

    'අකමැත්තෙන් වුවුද ගැරඬින් පවා සුවපත් කරන සුදනන් වෙති' නොවෙද?
    මම ඉන්නෙ කොතැනද කියා සොයමි!

    නොකී කථා දිගුකල් ලියැවේවා

    ReplyDelete
    Replies
    1. අකැමැත්තෙන් නම් ගැරඬියෙකු තබා මොකෙක්වත් සුවපත් කළ යුතු නැති බව මගේ අදහසයි.
      නොකී කතා වෙත ගොඩ වූවාට තුති.

      Delete
  3. පුෂ්පා රම්ලනීගෙ බ්ලොග් එක කියෙව්වාට පස්සෙ කියෙව්ව හරිමම ලස්සන සුමට විදියට ලියවිලා තියෙන, එක දිගට වරුවක් උනත් කියවතැහැකි බ්ලොග් එකක්. දිගට ලියනවානම් ගොඩක් හොඳයි, කෙටි කරන්න එපා. කතන්දරගෙන් තමයි පාර දැනගත්තෙ, ස්තූතියි කතන්දර!

    ReplyDelete
    Replies
    1. ළපටියෝ,
      ඔබේ ඇගයීම ශක්තියක්. එහෙත් මා බ්ලොග් අවකාශයේ දැවැන්තයින් ඉදිරියේ තවමත් ආධුනික කුරුපුංචෙක්.
      දැනට කෙටියෙන් ලියන්නේ කියවන්නන්ට නොකී කතා වෙහෙසකර කියවීමක් නොවන්නටයි.
      කෙටි සිද්ධි තෝරාගන්නෙත් එනිසාමයි.
      ඔබේ යෝජනාව ඉදිරියට සළකා බලන්නම්.
      ස්තූතියි.

      Delete
  4. දේශපාලනේ ඉන්නෙ කටුස්සොනේ

    ReplyDelete
    Replies
    1. නොවෙන්නං....කටුස්සො පිරිවරා ගත් ඌරො, මී හරක්, කලවැද්දො, පොලොංගු යනාදී සත්ත්වයින්.....

      Delete
  5. හරිම ලස්සනට ලියල තියනවා. අමනාප නොවනවා නම්, පොඩි යෝජනා කීපයක් තියනවා.

    1. පොස්ට් ලියද්දි "seperator" පාවිච්චි කරන්න
    මෙන්න ක්‍රමය

    එතකොට බ්ලොග් එකේ මුල් පි‍ටුවෙ එක පෝස්ට් එකක පොඩි කොටස ගාණෙ,පෝස්ට් කීපයක්ම පෙන්නනවා

    2. Blog Archive වල වැරදි style එක සිලෙක්ට් කරල තියෙන්නෙ. ඒකෙ"Dropdown Menu" වෙනුවට "Hierachy"සිලෙක්ට් කරන්න. එතකොට අපට පරණ පෝස්ට් හොයාගන්න ලේසියි

    3.කැමති නම් රසිකලොජිස්ට්ගෙ බ්ලොග් එකේ වගෙ Linkwithin ගැජට් එකක් එල්ල ගන්න

    මෙන්න ක්‍රමය

    ReplyDelete
    Replies
    1. කොහොම ස්තූති කරන්නද මංදා බස්සාට...

      Delete
    2. බස්සෝ..
      කෝ Linkwithin ක්‍රමය....?
      ඒකත් දානවද..
      බ්ලොග් අවකාශයට ආධුනික නිසා මෙවැනි උදව් හරිම වටිනවා.

      Delete
    3. ඔන්න වැඩේ ගොඩ දාගත්තා රසිකලොජිස්ට පිං සිද්ධ වෙන්න...

      Delete
  6. ගැරඬින්ට අනුකම්පා නොකල යුතුයි කියලයි මේ උදවිය කියන්නෙ. කසිය ටිකක් ගහල හරි ගෝලය කල වැඩේ හොඳයි. නැත්තං ගැරඬිය බියර් එකත් එක්කම අවසන් ගමන් යන්න ඉඩ තිබුන.

    ReplyDelete
    Replies
    1. ඕනෑම සතෙකුට අනුකම්පා කළ යුතුයි නේද අවශ්‍ය වෙලාවෙදි....

      Delete
  7. සිඟිති කරලා තියෙන්නේ හොඳ වැඩක්. ඕනිම සතෙකුට අනුකම්පා කරන්ට ඕනි. විශේෂයෙන් ගැරඬි වගේ අහිංසක සත්තුන්ට.:D

    රසික පෙන්නුව පාරේ ආවේ. ස්තූතිය එයාට.:P

    ReplyDelete
    Replies
    1. හොඳ වැඩ කළාම ඉල්ලන් කන්න වෙන වෙලාවලුත් තියෙනවා. නමුත් ඒව අමතක කරල හොඳ වැඩ කරන අයත් ඉන්නව. එන්න එන්න එහෙම අය අඩු වෙනව නේද..?

      Delete
  8. අපේ ගෙදරත් සිඟිති කෙනෙක් ඉන්නව..
    හෙන් රි ලියන ආර හරි සුමටයි..
    අත්දැකීම් යහමින් ඇති ඔබවැන්නවුන් බ්ලොග් ලෝකයට ආභරණයක්...
    කියවගෙන යනකොට හිතුවේ (සිරිල් කසිප්පු බීලා හිටියා කිව්වම ) කැපුවා තමයි ගැරඬියාගේ බෙල්ල කියලා අර මහදැනමුත්තා වගේ..
    ඔන්න මමත් එල්ල ගත්තා නොකී කථා මගේ රෝලේ...!!!

    ReplyDelete
    Replies
    1. මම මේ අත්හදාබැලීමක් කරන්නෙ. මේ රටාවට ලියලා. අදහසට බෙහෙවින් තුති.

      Delete
  9. ඊයේ රසික හරහා පාර හොයාගෙන ආව ගමන් සිඟිති ඉඳන් කතා තුනම කියවලා ගියා. මේ ස්ටයිල් එකට මම නම් බොහොම කැමතියි. කොහෙද ඔබේ එකම පොතල්වත් මට තවම කියවන්න ලැබිලා නෑ. ඒත් මේ වගේ වචන හරඹ කරන කෙනෙක්ගේ පොතක් නොකියවීමේ අඩුව තදටම දැනෙනවා දැන් නම්.
    සුභ ගමන් අලුත් බ්ලොගේට...

    ReplyDelete
    Replies
    1. මේ සටැයිල් එකෙන්ම ලියන්න බලන්නම්. ප්‍රතිචාර හොඳ නිසා.
      ඉඩක් ලදොත් අන්තිමෙට ලිව්ව නෙත්මා දකිනු පිණිසය කෙටිකතා සහ විල්ලරවාඩිය නවකතා පොත කියවන්න.
      ස්තූතියි.

      Delete
  10. නොකී කතාවේ අලුත්ම කතාව ගැරඩියා කියවන්න ගත් ඇසිල්ලට කොයි වෙලාවෙත් මම කියවන්නකට එබෙන මගේ දුවත් කතාව කියවන්න ගත්තා.ගැරඩියා කියවලා කෙල්ලට හරි හිනා.
    හැමෝටම කියවා රස විදිය හැකි සරල සුමට භාෂාවෙන් නොකී කතා ලියන ඹබට තුති.
    දැන් අවුරුදු 13 ක රසිකාවියෙකුත් ඉන්නවා ඔබට.

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රතිචාරය ශක්තියක්.
      හැබැයි අවුරුදු 13 ක රසිකාවියෙකුට හැම කතාවම කියවන්න බැරි වෙයි. තෝරල බේරල දෙන්න වෙයි. මගේ මේ නිදහස් ලියවිල්ල විටෙක සම්මත සීමා මායිම් වලින් ඔබ්බට යන්න ඉඩ තියෙන නිසා.
      කෙසේ වෙතත් අවුරුදු 13 ඉඳන් කියවන්න හුරු වෙලා කියන එක ගැන සතුටුයි.

      Delete
  11. කලකට පසු සුන්දර හිතවතෙක් හමු වුනා වගෙයි මට මේ ලියමන් රටාව රහ වැටුනේ. සිංහල බ්ලොග් ලියන්නන් අතරට ඔබ වැනි පරිණත උදවිය එකතු වීම සුබ ලකුණක්. දිග ගමනකට සුබ පැතුම්!! .

    ReplyDelete
    Replies
    1. "තිලක සිත" නමින් ඉතාමත් රසවත් බසකින් බ්ලොග් සටහන් ලියන තිලකසිරි මිත්‍රයා.....බොහොමත්ම ස්තූතියි සුබ පැතුමට....

      Delete