Saturday, 17 October 2015

මහාචාර්යවරයෙක් ප්‍රාණ ඇපයට ගත් පරාජිත ශිෂ්‍ය සටනක්


(ප්‍රථම වරට ලිඛිතව හෙළිදරව් කරන සත්‍ය කතාවක්)


80 දශකයේ මුල් භාගයේදී පේරාදෙනිය සරසවියේ පැවැතියේ අතිශය පීඩාකාරී පාලනයක්. විශේෂයෙන් ජේ.ආර්. ජයවර්ධනගේ විජයග්‍රාහී ආණ්ඩුව දැඩි ශිෂ්‍ය මර්දනයක් දියත් කොට තිබුණේ ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ සමාජවාදී ශිෂ්‍ය සංගමයට හිස ඔසවන්නට ඉඩ නොදීමේ අරමුණින්. ජ.වි.පෙ. ගැන කවරාකාරයේ විවේචන තිබෙන අයෙකුට වුවත් ඒ යුගයේ සරසවිය තුළ වූ අමනෝඥ රාජ්‍ය මැදිහත් වීමට එරෙහිව නැගී සිටින්නට ශක්තියක් තිබුණේ එකී දේශපාලන ව්‍යාපාරයට පමණක් බව අමතක කරන්නට නොහැකි බවයි මගේ කල්පනාව වන්නේ.

වාර්ෂිකව පැවැත්වෙන සරසවි ශිෂ්‍ය නිළවරණයෙන් සුපුරුදු ලෙස සමාජවාදී ශිෂ්‍ය සංගමය අති බහුතර ජයක් ලබනු නොරිසි පාලක පක්ෂය තම හිතවාදී සමවාදී ශිෂ්‍යයන් හෙවත් සරසවි බසින් පවසනවා නම් “ජුන්ටන්” උපයෝගී කොටගෙන ජයග්‍රහණයෙන් උද්දාමයට පත් ශිෂ්‍ය පෙළපාලියකට මාකස් ශාලාව අසලදී දැඩි ප්‍රහාරයක් එල්ල කළා.

මේ ප්‍රහාරයට විරුද්ධව පොදු ශිෂ්‍යයන් පංති වර්ජන, පිකටිං සංවිධානය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස වැරදිකරුවන් නිශ්චය කිරීම සඳහා පාලකයන් විසින් උදලාගම විනිසුරුවරයාගේ මූලිකත්වයෙන් යුතුව කොමිසමක් පත් කරනු ලැබුවා. එය “උදලාගම කොමිසම” නමිනුයි හැඳින්වුණේ.

කූප්‍රකට උදලාගම කොමිසමේ වාර්තාවට අනුව ප්‍රහාරය එල්ල කළ “ජුන්ටන්” නිවැරදිකාරයන් වී ප්‍රහාරයට ලක්වූවන්ගේ පංති තහනම් කෙරෙන කැකිල්ලේ තීන්දුවක් ක්‍රියාත්මක වුණා. පසු කාලයේ ජාතික තලයේ ජ.වි.පෙ. ක්‍රියාධරයෙකු මෙන්ම එවකට ඉංජිනේරු ශිෂ්‍යයෙකු වූ ආනන්ද ඉඩමේගම (ධම්මික මහත්තයා) ඇතුළු සත් දෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කරනු ලැබීම පොදු ශිෂ්‍යයන්ගේ සිත් සතන් තුළ කිසියම් ආකාරයකට පාලකයන්ට එරෙහි වෛරී හැඟීමක් ජනිත කරන්නට සමත් වුණා.

                               ධම්මික මහත්තයා නොහොත් ආනන්ද ඉඩමේගම

ඉන් අනතුරුව මේ අසාධාරණ පංති තහනම් කිරීම් හා ශිෂ්‍යභාවය අහෝසි කිරීම්වලට එරෙහිව නිරන්තරයෙන් විරෝධතා ව්‍යාපාර සංවිධානය වුණා. පිකටිං, පංති වර්ජන මෙන්ම අභියෝගාත්මක පෙළපාළි සරසවි දිවියේ සාමාන්‍ය එදිනෙදා අත්දැකීම් බවට පත් වෙන්නට වැඩි කලක් ගත වූයේ නැහැ.

මේ කිසිදු විරෝධතාවක් තඹේකට මායිම් නොකළ, සිසුන්ට පියෙකු විය යුතු යැයි මා විශ්වාස කරන, එහෙත් මැර පාලකයෙකු ලෙස නම් කරන්නට මා නොපැකිළෙන උපතුලපති පණ්ඩිතරත්න  දිනෙන් දින ශිෂ්‍ය මර්දනය දියත් කළේ විරෝධතාවේ යෙදෙන සිසුන් ඉවක් බවක් නොමැතිව දඩයම් කරමිනුයි.

මෙහි කූටප්‍රාප්තිය වූයේ ශිෂ්‍යයන් උපවාසයක් කරා තල්ලු කිරීමයි. මා කලින් සඳහන් කළ පිකටිං, පංති වර්ජන, පෙළපාළි වැනි විරෝධතා නිෂ්ඵල ප්‍රයත්නයන් බවට පත්වෙද්දී, සිසුන් උපවාස කරා යොමු වීම වැළැක්විය නොහැකියි. උපවාසය ආරම්භ කෙරුණේ සරසවි පරිපාලනය ඒකකය පිහිටි සනාතන මන්දිරයට යාබද කලා පීඨ ගොඩනැගිල්ලත්, ප්‍රධාන පුස්තකාලයත් යා කරන විවෘත කොන්ක්‍රීට් වහළය මත තැනූ අට්ටාලයකයි.

                                සනාතන මන්දිරය අසල උපවාසය කළ කොන්ක්‍රීට් වහළ

ශිෂ්‍යයන් හත්දෙනාගේ පංති තහනම ඉවත් කිරීමට බල කරමින් තවත් සිසුන් හත්දෙනෙකු උපවාසයට හිඳගත්තේ ජයග්‍රහණයකින් මෙපිට සටන අත්හරින්නේ නැති බවට සපථ කරමිනුයි. එහෙත් මේ උපවාසය ගැන නෑසූ කන් ඇතිව සිටින්නට පාලකයන් පියවර ගත්තේ සිය උද්දච්ඡභාවය ප්‍රකට කරමින් අන්තනෝමතික ආකාරයටයි.

මේ තත්ත්වය හමුවේ සමාජවාදී ශිෂ්‍ය සංගමය සමග ප්‍රයෝගිකව සම්බන්ධ නොවූ මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය සමග අනුගතව නොසිටි අප වැනි පොදු කාරණාවලදී ක්‍රියාකාරී වූ ශිෂ්‍යයන් ශිෂ්‍ය සටන වෙත  ආකර්ෂණය වුණා. විවිධ ඉසව් වල විසිරී සිටි සිසුසිසුවියන් කිසියම් සහෝදරාත්මක බැඳීමකින් එක් අරමුණක් වෙත සමීප කරන්නට ‍පාලකයන්ගේ අසාධාරණ මුණිවත බල කළා.

උපවාසය “මාරාන්තික උපවාසයක්” බවට අවතීර්ණ වූයේ ශිෂ්‍යයන් පමණක් නොව ආචාර්ය මණ්ඩලයේ බහුතරයක් උපතුලපතිවරයාගේ ක්‍රියා පිළිවෙත පිළිකුළින් හෙළා දකින තත්ත්වයක් යටතේදීයි.

මාරාන්තික උපවාසය දවසින් දවස ගෙවෙද්දී ශිෂ්‍යයන් අතර හැඟීම් ඇවිස්සෙන්න පටන් ගත්තා. මුළු සරසවියම එකා වන්ව පංති වර්ජනයකට අවතීර්ණ වූයේ මාරාන්තික උපවාසයත් සමගයි. දිනපතා අති දැවැන්ත පෙළපාළි සරසවි බිම ආක්‍රමණය කළා. ගලහ හංදියේ සිට සනාතන මන්දිරය දක්වා මොර දෙමින් විවිධ සටන් පාඨ කියමින් ඇදෙන පෙළපාළිවලට දිනෙන් දින එක් වෙන ශිෂ්‍ය සංඛ්‍යාව වර්ධනය වූයේ පාලකයන් වෙත භීතියේ සංඥාවක් ගෙන එමිනුයි.

අවසානයේ සරසවිය දින නියමයක් නොමැතිව වසා දමා ශිෂ්‍යයන්ට වහාම පිට වන ලෙස බල කෙරුණා. එහෙත් පොදු අරමුණක් වෙනුවෙන් මාරාන්තික උපවාසයක නියැලෙන සහෝදර සිසුන් අත්හැර ගම්බිම් කරා යන්නට වැඩිමනත් සිසුසිසුවියන් පෙළැඹුණේ නැහැ. පාලකයන්ගේ අණට එරෙහි වූ ඔවුන් සරසවි බිමේ කඳවුරු බැඳගත්තා.

බලහත්කාරයෙන් පොලිසිය සරසවි බිමට ඇතුළු වී උපවාසයේ යෙදෙන සිසුන් පැහැරගෙන යන්නට ඉඩ ඇති බවට ඇති වූ සැකය සිසුන් ජයගත්තේ විශ්වවිද්‍යාලයට අවතීර්ණ විය හැකි සියලු මාර්ග අවහිර කොට, ගස්වල අතු කපා බාධක යොදා සිය අණසකට නතුකොට ගැනීමෙනුයි. මේ මාර්ග බාධක දිවා රෑ නොතකා පැය විසිහතරේම සන්නද්ධව සුරැකීමට සිසුන් පියවර ගත්තා.

උපවාසයේ යෙදෙන සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින අවදානම් වෙද්දී ශිෂ්‍ය සංගම් සමග සාකච්ඡා පවා අත්හිටවූ උපකුලපතිවරයා සිය කාර්යාලයට පැමිණීමද සීමා කළා.

ඒ සමගම ශිෂ්‍යයන් ජිවිත අවදානමෙන් බේරා ගැනීම සඳහා පාලකයන්ට බල කෙරෙන දැඩි ක්‍රියාමාර්ගයකට යා යුතු යැයි ශිෂ්‍යසභා කාර්යාලය අසල පැවැති ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ සාකච්ඡාවකදී තින්දු වුණා. මාද ඊට සහභාගි වී සිටියේ දැඩි ආවේගශීලී හැඟීම් සමගයි. ඒ අනුව උපකුලපතිවරයා ප්‍රාණ ඇපයට ගෙන ඉල්ලීම් ලබාගැනීමට තීන්දු වුණා. ඉන් එහා විකල්පයක් අප ඉදිරියේ වූයේ නැහැ.

එදින දහවල් 12 ට පෙර උපකුලපතිවරයා සිය කාර්යාලයේදී අත් අඩංගුවට ගෙන අනතුරුව උපවාස ස්ථානය දක්වා බලහත්කාරයෙන් කැඳවාගෙන ඒමට තීන්දු වුණා. මෙය අතිශය වගකීම් සහිත, අවදානමෙන් යුතු කටයුත්තක් බව අප දැනගෙන උන්නා. ඒ සඳහා සූදානම් වුණා. සරසවිය පුරා විසිරී සිටි දහස් ගණනක් සිසුසිසුවියන් තමයි අපගේ ශක්තිය වු‍ණේ.

                    පේරාදෙනි සරසවි පච ගහ

උපකුලපතිවරයා ප්‍රාණ ඇපයට ගැනීමට සමගාමීව සනාතන මන්දිරය ඉදිරිපිට “පචගහ” අසලින් ආරම්භ වන දැවැන්ත පෙළපාළියක් සංවිධානය කෙරුණේ ‍පාලකයන්ගේ පමණක් නොව ශිෂ්‍යයන්ගේ අවධානයද වෙනතකට යොමු කිරීම සඳහායි. පෙළපාළිය ගලහ හංදියට වෙත ගමන් කොට උපවාස අට්ටාලය වෙත ආපසු පැමිණෙන කාලය අතරතුර ඉතා රහසිගත මෙහෙයුම ක්‍රියාත්මක කළ යුතුව තිබුණා.

නියමිත වේලාව වන විට උපකුලපතිවරයා එදින නොපැමිණෙන බවත්, එවකට විද්‍යා පීඨාධිපති වූ මහාචාර්ය ඩයස් වැඩබලන උපකුලපති ලෙස පණ්ඩිතරත්නගේ උපදෙස් ක්‍රියාත්මක කරන බවත් අපට ආරංචි වුණා.

පෙළපාළිය දැවැන්ත පිඹුරෙකු ඇදෙන්නා සේ කලාගාරය ඉදිරිපසින් අල්විස් වටරවුම  දෙසට ඇදෙන්නට පටන් ගත්තා. ඝෝෂාකාරී සටන්පාඨ වලින් මුළු සරසවි බිමම දෝංකාර දෙන්නට වුණා. මාරාන්තික උපවාසයේ යෙදෙන සිසුන්ගේ ජීවිත, අවදානමේ බවත් කිසිදු අහරක් හෝ පානයක් නොමැතිව පස්වන දිනයටත් ළඟා වන හෙයින් තව පමා වුවහොත් උපවාසය නැවතුණත් දීර්ඝ කාලීන ආබාධවලට ඔවුන් ලක්විය හැකි බවත් ජ්‍යෙෂ්ඨ වෛද්‍ය සිසුන් පැහැදිලි කළා.

ඒ මොහොතේ ඉතා දැඩි ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී‍මට මේ තත්ත්වය අපට බල කළා. ඒ අනුව උපකුලපතිවරයා වෙනුවට මහාචාර්ය ඩයස් අත්අඩංගුවට ගැනීමට තීන්දු වුණා. ඒ සඳහා පෙරමුණ ගත යුත්තේ කිසි ලෙසකින් මහාචාර්යවරයාට හඳුනාගත නොහැකි සිසුන් බවට කළ යෝජනාවට අනුව මාත් මා සමග නිෂ්පාදන ඉංජිනේරු විෂයයන් හැදෑරූ ‘ජැකා’ත් (‘ජැකා’ යන අනවර්ථ නාමය නිසා ඔහුගේ අනන්‍යතාව මේ ලිපියේදී සුරැකෙනු ඇති. දන්නෝ දනිති.) තවත් කිහිප දෙනෙකුත් ඊට මූලික වන්නට එකඟ වුණා. මහාචාර්ය ඩයස්ගේ රූපකාය අප නොහඳුනන හෙයින් විද්‍යා පීඨයේ ඔත්තුකරුවෙකු අපට පෙර එතුමාගේ කාර්යාලයට ගොස් එතුමන් එහි සිටින බව ස්ථිර කළා.

මමත් ‘ජැකා’ත් මට නමින් සිහිපත් නොවන තව දෙතුන් දෙනෙකුත් විද්‍යා පීඨාධිපති කාර්යාලයට ගොස් කෙටි දේශනයක් පැවැත් වූවේ මාරාන්තික උපවාසයේ යෙදෙන සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය හා ජීවිත අවදානම පැහැදිලි කරමින් වැඩ බලන උපකුලපතිවරයා ලෙස එතුමන්ගේ මැදිහත් වීමේ අවශ්‍යතාව අවධාරණය කරන්නටයි. එසේම මේ මොහොතේ උපවාස අට්ටාලය වෙත ගොස් අප පවසන කාරණා සියැසින් දැක බලාගැනීමේ වැදගත්කමත් අප අවධාරණය කළා.

මහාචාර්ය ඩයස් දැඩි භීතියකට පත්වුණා නිසැකයි. තමන්ට අප හා පැමිණෙන්නට නොහැකි බව එතුමන් පවසා සිටියා. එහෙත් අප පැමිණ සිටියේ අපගේ ඉලක්කය ජය ගැනීමට මිස හිස් අතින් ආපසු යන්නට නම් නොවේ. මාත් ‘ජැකා’ත් මහාචාර්යවරයා දෙපසින් ඔසවා ගත්තා. අප සූදානම් වූයේ ඔසවාගෙන වුව එතුමන් උපවාස අට්ටාලය වෙත රැගෙන යන්නටයි. තමන්ට ගැලවිමක් නොමැති බව තේරුම් ගත් මහාචාර්යවරයා තමන්ව බිමින් තබන ලෙසත්, අප හා එන්නට එකඟ බවත් පැවසූවා.

මේ වන විට පෙළපාළිය නමැති පිඹුරු රාජයා ගලහ පාර ඔස්සේ ආපසු පැමිණෙමින් තිබුණා. ඊට සමාන්තරව මහාචාර්ය ඩයස් ආරක්ෂක වළල්ලකට මැදි කොටගෙන අප ඉදිරියට ඇදුණේ විකල්ප මගක් ලෙස සරසවි ක්‍රීඩා භූමිය ඔස්සේ වැටී ඇති අඩිපාර දිගේයි. කිසිදු අතුරු හිංසාවකින් තොරව මහාචාර්යවරයා උපවාස භූමියට රැගෙන ඒම සඳහායි, පැහැර ගැනීමේ සංවිධායකයින් විසින් මේ ආරක්ෂක වළල්ල යොදා තිබුණේ. මේ වළල්ලෙන් රිංගා මහාචාර්යවරයාගේ වෘෂණ කෝෂ මිරිකන්නට තැත් කළ කඩප්පුලියෙකුව තග දමා ඉවත් කරන්නටත් සිදු වුණා.

                                       විද්‍යා පීඨයෙන් සනාතන මන්දිරයට

මහාචාර්යවරයා අට්ටාලය පිහිටි උස් ස්ථානයට ඉණිමගක් යොදාගෙන නැංවීම දක්වාම මමත්, ‘ජැකා’ත් දෙපසින් උන්නේ අප බාරගත් රාජකාරිය ඉතා නිවැරදිව ඉටු කරමිනුයි. මහාචාර්ය ඩයස් උපවාසකරුවන්ගේ සුවදුක් විමසන්නට උත්සුක වූයේ තමන්ගේ ජිවිතයත් අනතුරක නොවේදැයි භීතියෙන් යුතුව විය යුතුයි.

මහාචාර්යවරයා බේරාගැනීමේ මෙහෙයුම ආචාර්ය මණ්ඩලයේ මෙහෙයවීමෙන් සිදුවුණා. උපකුලපතිවරයා, යටත් වු බව ප්‍රකට කරමින් සියලු ඉල්ලිම් ලබා දෙන බවට ලිඛිත පොරොන්දු පත්‍රයක් එවා තිබුණා. උපවාසය නැවතුණා. මහාචාර්ය ඩයස් නිරුපද්‍රිතව ගෙදර ගියා. එවකට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වූ පසු කලෙක ජ.වි.පෙ. නායකයෙකු ලෙස ඝාතනයට ලක් වූ ඩී. එම්. ආනන්ද විජයග්‍රාහී කතාවක් පවත්වමින් සාමකාමිව විසිර යන ලෙස ඉල්ලා සිටියා.

විශ්වවිද්‍යාලය දින නියමයක් නැතිව වසා තිබූ හෙයින් පොදු ශිෂ්‍යයන් ප්‍රමුදිත මනසින් යුතුව ගෙවල් දොරවල් බලා පිටත් වුණා. පසුදා පිටත්ව යන අදහසින් රැඳී සිටි අප වැනි පිරිස මහ රෑ සරසවි බිම අත්පත් කොටගත් ආයුධ සන්නද්ධ පොලිස් බල ඇණියේ කාරුණික ආරක්ෂාව යටතේ මහ රෑ මහනුවර බස් නැවතුම වෙත බලහත්කාරයෙන්, එහෙත් කිසිදු විරෝධයක් නොමැතිව ගෙනැවිත් අතහැර දමනු ලැබුවා.

මාස ගණනාවකට පසු විභාග සඳහා සරසවිය විවෘත වෙද්දී උපකුලපතිවරයාගේ පොරොන්දු පත්‍රය කුණු කූඩයට විසිවී තිබුණා. පංති තහනම්, ශිෂ්‍යභාවය අහෝසි වීම් පෙරපරිදිම ක්‍රියාත්මක වුණා. පොදු ශිෂ්‍යයන් මෙන්ම සරසවියත් දැඩි නිහඩතාවක ගිලුණා. විභාග පැවැත්වුණා. අවසන් වසරේ සිටි අපේ සගයන් විසිරී ගියා.

කළු ජූලිය එළැඹුණා. ජ.වි.පෙ. භූගත වුණා. ශිෂ්‍ය නායකයන්ගේ කොඳු කඩාදමා තිබුණා. මා ඇතුළු කිහිප දෙනෙකුට රිමාන්ඩ් බන්ධනාගාර ගතවන්නට සිදුවුණා. අපට විරුද්ධව රහස් පොලිසිය පැවරූ නඩුව වසර කිහිපයකට පසු සාක්ෂි නොමැතිකමින් ඉවතට විසි වුණා.

සිද්ධියෙන් වසර එකහමාරකට පසු නාවික හමුදා නිළධාරියෙකු ලෙස මා බඳවා ගනිද්දී එම රහස් පොලිසියටම මට විරුද්ධව තමන් විසින්ම පවරනු ලැබූ නඩුවක් මහනුවර උසාවියේ තිබෙන බව සොයා ගන්නට ලැබුණේ නැහැ. 

(වාර්ෂික සමරු කළඹක පළ කරන්නට සරසවි මතක ලිපියක් ලියන්නට මා පෙළඹවූ කැනඩාවේ එඩ්මන්ටන්හි පදිංචි ඉංජිනේරු පත්මා රත්නායකට තුති පුදමි. මේ නොකී කතාව  සංශෝධන සහිතව මෑතදී මුලින් පළ වූයේ එහිය.)




Thursday, 8 October 2015

ස්විට්සර්ලන්තයේ දී ආ මංගල යෝජනාව ........බුදු අම්මෝ.......!

නොනිමි ගමන (Endles Journey) නමින් කෙටි චිත්‍රපටයක් හදන්න අහම්බෙන් ආ චාන්ස් එකෙන් අමෙරිකාවටත්, ස්විට්සර්ලන්තයටත් යන්න වීසා ලැබුණ එක එක්තරා අතකට මා ලැබූ භාග්‍යයක්. කොදෙව්වෙන් එහා දියුණු ලෝකයක් තියෙන බව දැනගත්තෙ ඒ ගමන් වලින් නිසා.

නොනිමි ගමන කෙටි චිත්‍රපටය මෙතනින් බලන්න.

Endless Journey

ස්විස්ටර්ලන්ත ගමන ගැන 2013 දී මුද්‍රිත නොකී කතා පොතේ සඳහන් වුණාට මේ කතාව එතැන ලියවුණේ නැහැ.




පරමාණු පර්යේෂණායතනය පිහිටි ප්‍රංශ දේශසීමාවේ පිහිටි CERN ප්‍රදේශයේ පැවැත්වූ Cineglobe කෙටි හා වාර්තා චිත්‍රපට උළෙල අවසන් වෙලා දුරකතනයෙන් පාර අහගෙන මම ජිනීවා පංසලට ගියේ තවලම ධම්මික ලොකු හාමුදුරුවො දවස් කීපයක් පංසලේ නැවතිලා රටතොට බලාගෙන යන්න කියල කළ ආරාධනය පිළිගනිමිනුයි.

හාමුදුරුවො කියාපු ගමන් මග කඩදාසියක ඇඳගෙන විදුලි දුම්රියෙන් වගේම ට්‍රෑම් බස් එකෙනුත් ඇවිත් Mc Donald එක ළඟ හෝල්ට් එකෙන් බැස්ස.



සෙමෙන් හිම කැටිති පතිත වෙමින් තිබූ ඒ උදෑසන මා ගමන් මල්ලක් උර දරාගෙන තවත් ගමන්බෑගයක් බිම දිගේ ඇදගෙන පංසල සොයා ගමන් කළා. පැවසූ මග සලකුණු අනුව ගමන් කළත් වංකගිරියක මෙන් හැම අතටම විහිදුණ මං මාවත් හේතුවෙන් මා කරකවා අත හැරි ගානට වැටුණා.



මහමග හමුවන්න්ගෙන් විමසුවත් කිසිදු පිළිතුරක් ලැබුණේ නැහැ. මගේ ආසියාතික ඉංග්‍රීසි උච්ඡාරණය ඔවුන්ට නොතේරෙනවාදෝයි කුකුසක් ඇති වුණේ ලිපිනය කියා මග ‍විමසද්දී හැමෝම පාහේ  මා අසන දේ නොතේරෙන බවට හස්ත සංඥාවෙන් ඉඟි කළ නිසයි.

පංසලට ගියාමයි දැනගත්තේ ප්‍රංශ බස කතා කරන ඔවුන් තමන්ගේ භාෂාව ගැන ආඩම්බර වන නිසා ඉංග්‍රීසි තේරුණත් පිළිතුරු නොදෙන බව.


එවකට පංසල පිහිටි ගොඩනැගිල්ල

බොහෝ වේලාවක් පංසල වටේ කරක් ගසා තැන හොයා ගන්නා විට මා හිම වැස්සෙන් තෙත බරිත වී සීතලෙන් වේවලමින් සිටියා. ලොකු හාමුදුරුවන්  මා පැමිණෙන බස් නැවතුමට පොඩි හාමුදුරුවන් තවත් දායකයෙකු සමග යවා තිබුණත් මා ඔවුන් නොදැකයි එතැනින් නික්මී තිබුණේ.

ස්විට්සර්ලන්තයේදී මෙන්ම "නොනිමි ගමන" රැගෙන අමෙරිකාවට ගිය විටදීද ලැබූ අත්දැකීම් ඉදිරියේදී ඉඩ ලැබෙන පරිදි නොකී කතාවලින් සටහන් කරන්නට ඉටා ගෙන අද කියන්නට යන මංගල යෝජනාව ගැන කියන්නම්.

හදිසියේ මේ කතාව සිහිපත් වුණේ ජිවිතේ අවසාන කාලය ලංකාවෙන් පිට වෙනත් යුරෝපීය දියුණු රටක ගත කරන්නට ඇත්නම් කියා සිතෙන මොහොතකයි.

දේශපාලනිකව මෙන්ම සමාජයීය වශයෙන් ලංකාවේ සිද්ධ වෙන ඉතා නොදියුණු පසුගාමී සිද්ධීන් හා චර්යාවන් ඇහෙන දකින විට මේ සිතුවිල්ල නිතැතින්ම ඇති වෙනවා. විදෙස් අධ්‍යාපනය ලැබ ලංකාවේම දිවි ගෙවන්නට උනන්දු වන මගේ පුතාගෙන්ද දියුණු රටකට සංක්‍රමණය වෙන්නැයි ඊයේ පෙරේදා මා ඉල්ලා සිටියේත් මේ මානසිකත්වයෙනුයි.

වසර ගණනාවකට පෙර අපේ සමහර සරසවි සගයන් කළා සේ නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, අමෙරිකාව හෝ කැනඩාව වැනි රටකට වෘත්තිමය සුදුසුකම් මත සංක්‍රමණය වන්නට අවකාශ තිබුණත් මොළය පෑදෙන විට පමා වැඩියි. 

අමෙරිකාවට මෙන්ම ස්විට්සර්ලන්තයට වීසා ලැබුණු විටදී සමහරු කිව්වේ "පැනපං" කියායි. ලින්ටන් සේමගේ චිත්‍රපට උළෙලකට සහභාගි වෙන්නට අමෙරිකාවට ගිය වෙලේ පැනල තිබුණෙ ඒ දවස්වලමයි.

ස්විට්සර්ලන්තයට නං පනින්නම කියලයි උපදෙස් ලැබුණේ. 

මානසිකව මෙන්ම සමාජ පැවැත්මෙන්ද සුපිරි නිදහසක් භුක්ති විඳින්නට හැකි, 'ජනතාවට ආංඩුව කරන උන් රැක බලාගන්නට සිදු වන නොව ආංඩුවෙන් ජනතාව රැක බලාගන්නා' එවන් රටක ජීවත් වෙන්න ලැබෙන එක නම් වාසනාවක්ම තමයි. 

කොහොමත් පනින අදහස මා බාර ගත්තේ නැහැ. ඒ වන විටත් උපන් බිමෙන් ගලවා ගත නොහැකි ලෙස මුල් ඇදී තිබුණා. අද වන විට නම් බොහෝ පැරැණි මුල් දිරා ගිහින්. යනවනම් යන්නේ නොදිරූ ඉතිරි මුල් ගලව‍ා ගෙනම තමයි.

(කොහොමත් ඒ දවස් වල යන තැනක පුතා රැගෙන යා හැකි වුණත් මා හා අවියෝජනීයව බැඳී සිටි අම්මා අතැර යන්නට මගේ සිත් දුන්නේ නැහැ. කොළඹ හෝ නුවර සිට ඉඳ හිට දකින්නට ගියත් රටෙන් පිට ගියා නම් ඈ කම්පා වන බව මා දැනගෙන උන්නා. ඒත් අවසානයේ තාවකාලිකව හෝ මා විදෙස් ගත වූ පසු අම්මා ජීවිතයෙන් සමුගැනීම වේදනාකාරී අත්දැකීමක් වුණා. 
අම්මා ගැන ලියූ නොකී කතාව )

වටේම ගිහිං ගෙටම එන්නැහෙ කියන්න ගත්ත කතාව ඉවර කරන්නම්.

ජිනීවා පංසලේදි මට හමු වුණා දෙමළ ජාතිකයෙක්. නම වෙනෙකක් වුවත් චන්ද්‍රන් කියල ලියන්නම්.

යාපනේ දෙමළ නොවෙයි. හලාවත පැත්තෙ කෙනෙක්. ස්විට්සර්ලන්තයට පැනල ගිහිං අවුරුදු පහක් වෙලා. අලුත බැන්ද බිරිඳ ලංකාවෙ. ඔහු සිටියෙ ඇය තමන් වෙත ගෙන්වා ගත නොහැකි ‍ශෝකයෙන් පෙළෙමිනුයි.

චන්ද්‍රන් මා සමග නගරය පුරා ඇවිද්දා. මට බොහෝ උදව් උපකාර කළා. 
අතරමං නොවී බොහෝ තැන් දැක බලාගත්තෙ ඔහුගෙ උදව්වෙන්. ඒක හාමුදුරුවන්ටත් පහසුවක් වුණා.

නැත්නං "යං මහත්තය දවස් කීයද ඉන්නෙ මෙහෙ" කිය කියා හාමුදුරුවො මාව බොහෝ තැන්වල රැගෙන ගිය බව සඳහන් කරන්නෙ තවලම ධම්මික ලොකු හාමුදුරුවන්ටයි, සුජාත පොඩි හාමුදුරුවන්ටයි කෘතඥතාපූර්වකවයි.

මගේ විස්තර දැනගත් චන්ද්‍රන් ඉතා රහසිගත යෝජනාවක් කළා.

ඒ එක විදිහක මඟුල් යෝජනාවක්. 

චන්ද්‍රන්ගෙ යෝජනාව වුණේ කලින් දැනන් උන්න නම් ඔහුගේ බිරිඳ සමග හොරාට විවාහ වුණ බවට සහතිකයක් රැගෙන ඇය සමග එන්නට වීසා ඉල්ලුම් කරන්නට මට උපදෙස් දෙන්නට තිබුණ බවයි.

ඒ වන විටත් පමා නැති බව පැවසූ ඔහු නැවත වෙනත් Film Festival එකකට හෝ ආරාධනා ලැබුණොත් ඒ උත්සාහය ගන්නට යෝජනා කළා. ඇය "නොනිමි ගමන" කෙටි චිත්‍රපටයේ සම නිෂ්පාදිකාවක් ලෙස හෝ End Title දමා ගත්තොත් තානාපති කාර්යාලය සැක නොසිතනු ඇති බව චන්ද්‍රන්ගේ අදහස වුණා.

"ඔයාට තියෙන්නෙ එයත් එක්ක මෙහෙට එන්න විතරයි. ඊට පස්සෙ එයා අතුරුදන් වෙනව. ඔයාට තියෙන්නෙ ආපහු යන්න විතරයි.  නැත්නම් ඔයාටත් අතුරුදන් වෙන්න පුළුවනි. මම ඔයාවත් settle වෙනකල් බලා ගන්නම්. මේ වැඩේට මම ලංකාවෙ රුපියල් ලක්ෂ දහයක් දෙනව"

මම ඊට උනන්දු වුණේ නැහැ. එහෙම පැන්න නං ඔය පැන්න ගොඩක් උදවිය වගේ මමත් මේ වෙනකොට ස්විට්සර්ලන්තය හෝ ප්‍රංශය වගේ රටක....!