Friday, 22 May 2015

අම්මාට වැඩියෙන්ම අාදරේ කළ දවස........


ම්මා පිළිබඳ මතකය අවදි වුණේ එක වරම.
නොකී කතා දෙවන අදියර ලියන්න ඉඳ ගත්ත හැටියෙමයි.


ඉතිං එතනින්ම පටන් ගන්නම්.

දරුවෙකුට තමන්ගෙ අම්ම තරම් වටින වෙන කිසිම කෙනෙක් නැති වෙන්න පුළුවන් කියන එක ඉතිහාසය පුරා අනන්ත වාරයක් ලියැවිලා ඇති.
හැබැයි ඔය බව තේරුම් ගන්නෙ ජීවිතයේ අත්දැකීම් වැඩියෙන් ලබා ගෙන වැඩිහිටියන් බවට පත් වෙද්දි දෝ කියල වෙලාවකට හිතෙනව.

ළමා වියේදි නැත්නම් තරුණ වියේදි මේ සංවේදනය ඇති නොවුණත් අම්මා පිළිබඳ සිත පතුලෙහි ඇති ආදරය එහෙමම තමයි.

අත දරුවෙක් වුණ සංදියෙ දවල් දවසෙ තනියම තමන්ගෙ කුළුඳුල් කොලු පැටිය හදා වඩා ගන්න ඇය මොන තරම් කැප කිරීම් කරන්න ඇතිද?
මට මතකයි අම්මම කියනව වැසිකිළියට (ඒ කාලෙ කිව්වෙ නං කක්කුස්සිය කියලයි) යද්දි පවා හය හතර නොතේරෙන මාව ඔක්කෙ ගන්නා ගෙන උන්න කියල.

ගේ ඇතුළෙන් තියල යන්න බයට.

ගෙදර පාළුයි දවල්ට. ගේ වත්ත මැද්දෙ පිහිටල තිබුණෙ. සතා සරුපය හැම තැනම. ඉතිං පැදුරක, මෙට්ටෙක තියල යන්න බය හිතෙන්න ඇත්තෙ තියෙන ආදරේටම තමයි.  

අම්ම මොන තරම් දහදුක් වින්දද කොල්ලො තුන් දෙනෙක්ව හදා වඩා ගන්න. 

තාත්ත ගුරු වෘත්තියේ යෙදිල මාසෙ අන්තිමේට යන්තම් එදා වේල පිරිමහ ගන්න වැටුපක් අරන් එද්දි අමතර මුදලක් සොයා ගන්න අම්ම මොන තරම් වෙහෙස වුණාද කියල හිතෙන්නෙ දැනුයි.

කුකුළන් ඇති කරල උන් ලොකු මහත් කරල මසට විකුණුවෙත්, කිකිළියන් ඇති කරල උන්ගෙ බිත්තර කෑමට අරන් වැඩි කොටස විකිණුවෙත් අමතර මුදලක් සොයා ගන්න තමයි. 

මම කොහොමත් බිත්තර කහ මදේ කන්න පෙරේත නිසා සුමානෙට දවස් කීපයක්ම බත් පිඟානට බිත්තරයක් ලැබුණ.

ඒ දවස් වල පුංචි කාලෙ කිකිළියක බිත්තරේ දාන කල් හැංගිලා බලන් ඉන්නව දොර මුල්ලෙ. කොච්චර හදිසිද කියනව නං හෙමින් සීරුවෙ ගිහිං වල්ගෙ උස්සලත් බලල අම්මගෙන් බැනුම් අහනව.

එ් වගේම එළුවන්, හරකුන් මසට හැදුව වගේම එළදෙනුන් ඇති කළේ කිරි ලබා ගන්න.

මේ සත්තු එක්ක අම්ම හැප්පුණ හැප්පිල්ලක්.
අන්තිමේට එළදෙනෙක් පපුවට ඇනල ඔත්පල වෙලා උන්න විතරක් නොවෙයි ඉළ ඇටයක් ඇදේට පෑස්සුණා කියල ජීවිත කාලෙම වි‍ඳෙව්ව.
හන්දි තෙල් බඳින්න අත්තනගල්ලෙ වෙද මහත්තයෙක් හොයා ගෙන කොච්චර දුර බඩගෑවද ?

වත්තෙ වැටෙන පොල් අතු වත්ත පහල පතහෙ පෙ‍ඟෙන්න දාල හවසට හවසට වියන්න ගත්තෙත් වහලෙට බඳින්න විතරක් නොවෙයි. විකුණල අමතර මුදලක් සොයා ගන්නයි.

අම්ම හැම දෙයක්ම කලේ දරුවන්ට උගන්නන්න. හැමදාම පෙන්නල දුන්නෙ ඉගෙනීමෙ වටිනාකම.
ආපසු හැරිල බලද්දි අම්මගෙ බලපෑම නිසාම ජීවිතය ජය ගත්ත කියල හිතෙනව.

ඒත් අම්ම හැමදාම වි‍ඳෙව්ව. වැඩියෙන්ම මගේ කඩප්පුලිකම් වලට.

හතරෙ පංතියෙ ඉන්දැද්දි ළමයෙකුගෙ කම්මුලට ගල් කූරකින් ඇන්න දවසෙ තාත්ත ඉස්කෝලෙදිම දඬුවම් කළත් අම්ම ඒ ගැන හරියට කම්පා වුණා.

හතේ අටේ පංතිවල ඉගෙනගන්න කාලෙ අල්ලපු වත්තට පැනල කොකෝ ගෙඩි, කුරුම්බ කඩල අහුවෙලා දෙමාපියන් ඉස්කෝලෙට ගෙන්නුවමත් අම්ම මොන තරම් ශෝක වුණාද?

ඊට හපන් පවුලට ගැලපෙන්නෙ නැති කෙල්ලෙක් මං ජෝඩු කර ගනීවි කියල තිබුණ බය.

ඒකට නං හේතුව පහේ පංතියෙ ඉද්දි පද්මිට ලියුමක් දීල අහු වුණ එක. එදා ඉඳල අම්ම හිටියෙ සැකෙන්මයි.

හයේ හතේ ඉද්දි නිමාලි එක්ක යාළු වෙයි කියල අම්ම ඔත්තු බැලුව මතකයි. නිමාලිටත් තිබුණෙ පොඩිපහේ විසයක් නොවෙයිනෙ.

ඕ ලෙවල් කරද්දි පාරෙන් ඉස්සරහ ගෙදර සුමිත්‍රත්තෙක්ක යාළු වෙයි කියල අම්ම සැක කළා. හැබැයි කොයි තරම් පස්සෙන් උන්නත් සුමිත්‍ර එක්ක මාස ගාණක් පෙම් කෙලපු බව අම්ම දැනගත්තෙ බොහොම පස්සෙ කාලෙක පුතත් ලැබුණට පස්සෙ මමම කිව්ව වෙලාවෙ.

එදා අම්මගෙ මූණෙ ඇඳුණෙ හරිම උපහාසාත්මක හිනාවක්.

හවසට කඩේ තොටේ ගිහිං එන්න පමා වුණාම අම්ම පාර අද්දරට එන්න පුරුදු වුණේ එපා කියද්දි. මට ඉතිං ඒකට හරිම තරහයි. 
කරදඬු උස්මහත් වුණ ගැටයෙක් වෙච්චි කොට පස්සෙන් එන්න ගියාම ලැජ්ජ නැද්ද?

බඩේ අමාරුවකට බොන්න සෝඩ බෝතලයක් ගේන්න ටිකක් එහාට වෙන්න තියෙන කඩේට ගිහිං එන්න පමා වුණාම අම්ම පාර ළඟට ඇවිත් බලං උන්න එක ගැන තරහ ගිහිං මම සෝඩ බෝතලේ අම්මගෙ දෙපා අසල බෝක්කුවෙ ගහල කුඩු කළ හැටි සිහිපත් වෙද්දි අද නං හිතට කම්පාවක් දැනුණත් එදා ඒක වීර ක්‍රියාවක්.

විශ්වවිද්‍යාලෙ ඉන්න කාලෙ මාස ගාණක් ආරංචියක් නැති වුණාම අම්ම කරදර කරල තාත්තව පිටත් කරල එවනව පේරාදෙනියට. ලොකු පුතා හොඳින් ඉන්නවද කියල බලල එන්න. අද වගේ දුරකතන නැති ඒ කාලෙ පෝස්ට් කාඩ් එකක් එවන්නවත් වෙලාවකට මං කාරුණික වෙලා නැහැ කියල හිතෙනව.

ඒකෙ වේදනාව මට දැනෙන්න ගත්තෙ මගෙ පුතා මැලේසියාවෙ ඉගෙන ගන්න ගියාට පස්සෙ. මම හැමදාම කෝල් කළා. පුතාගෙ දුක සැප දැනගන්න. ඒවුණාට රටේ ඉඳලත් මගෙ අම්මට  එහෙම තියා මාස ගාණකට මං උන්නද මළා ද කියල දැනගන්න ක්‍රමයක් තිබුණෙ නැහැ.

අම්ම ඊළඟට කම්පා වුණේ මම නාවික හමුදාවට බැ‍ඳෙන්න තීරණය කළ දවසෙයි. ඔයාව හරියට නොකා නොබී විශ්වවිද්‍යාලෙ යවල ඉගැන්නුවෙ හමුදාවට බැ‍ඳෙන්නද කියල අම්ම ඇහුව. එදා ඇගේ ඇස් වල තිබුණ භීතිය අදත් මට මැවී පෙනෙනව.

ඒත් අම්මගෙ වාසනාවට මම යුද්දෙන් මැරුණෙ නැහැ. නැත්නම් එයා ජිවිත කාලෙම විඳවලම මැරිල යන්න ඉඩ තිබුණ.

මම හිතන්නෙ මම විවාහ වෙන්න හොයමින් උන්නෙ අම්මගෙ ඩුප්ලිකේට් එක. එහෙම කෙනෙක් මේ මුළු ලෝකෙම ඉන්න නැතිව ඇති.
ඊට ළං වෙන්න පුළුවන් කෙනෙක්වත් කවදාවත් ඉපදිලා නැතිව ඇති.

අම්මගෙ හිත රිදවපු අවස්ථා නම් ඉවරයක් නැහැ. ඒව ලියන්න ගියොත් වෙනමම පොතක් ලියන්න වෙනව.

මම විදෙස් රැකියාවට එද්දි මම මැරෙන කොට ඔයාට ළඟින් ඉන්න ලැබෙන්නෙ නෑ නේද කියල අම්ම ඇහුව.
අම්ම දැන්මම මැරෙන්නෙ නැහැ කියල මම කිව්ව.

ඒත් එයා මිය පරලොව ගියේ මම විදෙස් ගත වෙලා ඉද්දිම තමයි.

අවසන් හුස්ම පොද පිට කරද්දි මට අම්ම ළග ඉන්න වරම් ලැබුණෙ නැහැ.

ඒත් අන්තිම කාලෙ ඇගේ සාත්තුවට කෙනෙක් ළඟ රඳවමින් පමණක් නොවෙයි මිය පරළොව යන්න සතියකට කලිං ඇය අසනීප වෙලා ඉද්දි රෑ පුරා ළඟින් ඉඳන් සාත්තු කරමින් ඇගේ සිත සතුටු කරන්න නොලැබුණා නම් මට ජීවිත කාලෙම විඳවන්න වෙන්න ඉඩ තිබුණ.

ඒ යුතුකම ඉටු කිරීමේ තෘප්තියෙන් මම මාවම රවට ගන්නව වෙන්න පුළුවනි.

අම්ම අවසන් හුස්ම පොද යැව්ව කියල සත් සමුදුරෙන් එහා ඉඳන් චූටි මල්ලි කෝල් කරල කිව්ව මොහොතෙ අම්මට මම මොන තරම් ආදරේ කලාද කියල මට දැනෙන්න ගත්ත.

එදා තමයි අමමාට මම කොයි තරම් නං ආදරේ ද කියල දැනුණ දවස.....








22 comments:

  1. අම්මලා නැවත උපදින්නේ අපේ හිත්වල අවසන් හුස්ම පොද පිටකරලා එලොව ගියාට පස්සෙයි මට නම් හිතෙන්නේ. අම්මලා ගැන කොයිතරම් කිව්වත් කියෙව්වත් කියවා ඉවරකරන්නට බෑ . දෑසට කඳුලු ගෙන ආ මේ ලිවිල්ලෙන් පටන් ගත් නොකී කතා කියවනු රිසියෙන් ....

    ReplyDelete
    Replies
    1. දෑසට කඳුළු එන්න තරම් ඔබ සංවේදී බව හැ‍ඟෙනවා සමන්මලී...
      කඳුළු අතරින් බුද්ධිය අමතන්නයි මගේ පැතුම.....

      Delete
  2. රසිකොලොජිස්ට් - Rasikologist ගේ වටිනා කොමෙන්ටුව බ්ලොග් ලියවිල්ලට ඇති මගේ ආධුනික බව නිසා මැකී ගියා. තරහා අවසර...!
    ඒ වටිනා කොමෙන්ටුව ආයෙම දාන්න බැරි‍ද?

    ReplyDelete
    Replies
    1. කොහොමද එහෙම වුනේ? මටත් පොඩ්ඩක් වැරදිලා දෙවෙනි පාරටත් දැම්මා කලින් වතාවේ.

      හොඳයි ආපසු ලියන්නම්!

      Delete
  3. මෙය සංවේදී සටහනක්.

    මගේ අදහස නම්, අපේ දෙමව්පියන් අපට කළ කී දේ ගැන අප ණය ගෙවිය යුත්තේ අපේ දරුවන්ට හොඳ දෙමව්පියන් වීමෙන් බවයි. ලෝකය පැවතෙන්නේ ඒ නියාමය උඩයි. මෙය පේ-ඉට්-ෆෝර්වර්ඩ් නම් සිනිමා සිත්තම නරඹා මගේ සිතට ආ අදහසක්.

    ඔබේ පුතා ගැන මෙහි සඳහන් කර ඇති දෙයින් පෙනෙන්නේ ඔබ ඒ කර්තව්‍යය, එනම් ඉදිරි පරපුරට හොඳ දෙමාපියෙකු වීම, හොඳින් කරන බවයි.

    ඒ සමගම, පුතා ඔබ නිතර කතා කරන විට ඔහුගේ දුරකතනය බෝක්කුවේ ගසා නොකැඩූ නිසා ඔහු තම පියාට වඩා හොඳ අයෙක් බවත් කිව හැකියි!

    ReplyDelete
    Replies
    1. ඔව්....අලුත් පරම්පරාව අපට වඩා ගොඩක් ඉදිරියෙන්...

      Delete
  4. අම්මාගෙ උපන් දිනය අදයි. (මැයි 26) ජීවත්ව හිටියා නම් අදට අවුරුදු 78ක්.

    ReplyDelete
    Replies
    1. ඔව්...මල්ලී. මට සිහිපත් වුණා. මැයි 26 කියන්නෙ මට අමතක නොවන දවසක්.

      Delete
    2. කතෝලික අය වාර්ෂිකව දානයක් දෙන්නේ හෝ වෙනත් ආගමික සැමරුම් කරන්නේ නැද්ද?

      Delete
    3. අපේ ගම්පළාතෙ කිතුනු සංස්කෘතියෙ නම් දවස් තුනෙන්, දවස් හතෙන්, සමහර අය දවස් පහළවෙන්, මාස තුනෙන් ඉන්පස්සෙ වාර්ෂිකව දාන දෙනවා.. ඒ වගේම මිය ගිය අයගේ ආත්ම වෙනුවෙන් යාච්ඤා කරනවා.. දිව්‍ය පූජාවන් පවත්වනවා...

      විශේෂයෙන් නොවැම්බර් මාසයම වෙන් වෙලා තියෙන්නෙ මළගිය අය සිහිපත් කරල ඒ අයගෙ ආත්ම වෙනුවෙන් ආගමික වැඩ කරන්න.

      තවත් බොහොමයක් සංස්කෘතික අංග තියෙනවා මළවුන් සමරන්න.

      Delete
    4. ස්තුතියි තරුරසී,

      මේ කමෙන්ටුව හෙන්රිලා ගේ අම්මාගේ උපන් දිනය ගැන නිසා, මට මගේ මියගිය පියා ගේ උපන්දිනය සිහිවුණා. අම්මා සහ මල්ලිලා ඒ දිනයට වැඩිහිටි නිවසකට දානයක් දෙනවා.

      Delete
    5. උපන්දින වලදිත් පූජාවක් තියන එක, වැඩිහිටි නිවාසෙකට හරි ගෙදරදි හරි දානයක් දීම, දුප්පත් අයට වියළි ආහාර මල්ලක් දෙන එක වගේ වැඩ කරනවා..

      මා දන්නා අයිය කෙනෙක් එයාගෙ තාත්තගෙ තුන්මාසෙ දානෙට දුප්පත් ගෙදරකට විදුලිය අරන් දීල තිබුණා... ඒකත් හරිම හොඳ වැඩක් මට හිතෙන්නෙ.. ඒ දානමය පිනකමේ ආනිශංස ජීවිත කාලෙම පවතිනවන‍ෙ

      Delete
  5. ගිය අවුරුද්දෙ මේ කාලෙ බරපතල විදියට අම්ම අසනීපෙන් උන්න.. සුව කරගන්න ලැබේවි කියන විශ්වාසය නැති වෙන තරමට.. තාත්තගෙ නංගිල මල්ලිගෙ කඳුළු, සුසුම් මැදින් අපි මාස තුනක්ම අම්මගෙ අසනීපය එක්ක සටන් කළා... අන්තිමේ අපි දිනුවා...

    ඇත්තටම අයියේ ඒ දවස්වල හරියට දැණුනා අම්මට අපි කොයිතරම් ආදරේද? අපට අම්මව කොයි තරම් ඕනද කියන එක.... ඒ වගේම අම්මගෙයි තාාත්තගෙයි බැඳීම ආදරය කොයි තරම් බලවත්ද කියලත් දැණුනු අවස්ථාවක්...

    අම්මා කියන්නෙම ජීවිතයම තමයි..

    ReplyDelete
    Replies
    1. රසිකොලොජිස්ට්,
      අට දොහේ, තුන් මාසෙ, අවුරුද්දෙ දාන දෙනවා. හොදට කන්න බොන්න තියෙන අය එකතු වෙලා මළ ගිය අය සිහිකරන සාම්ප්‍රදායික නමට දෙන දානෙ වෙනුවට අපි සහෝදරයින් එකඟ වෙලා අම්ම්ගෙ අවුරුද්දෙ දානෙ වැඩිහිටි නිවාසයකට දුන්නා.
      මම හිතන්නෙ නැති බැරි අයට යමක් දෙන්න දානයක් එන කල්ම ඉන්න ඕනෙ නැහැ.

      Delete
    2. තරුරසී,
      ඔව්...අම්මා කියන්නේ ජීවිතයම තමයි.

      Delete
  6. අහම්බයකින් .ඔබේ බ්ලොග් සටහන කියවීමි....අම්මා කෙනෙක් තරමටම ඔබේ අකුරුද සුවඳය. මගේ අම්මා...සුවපත්ව..සවිමත්ව මා සමඟ හිඳිතත්...මට මෙය නොලියාම බැරිය....හෙන් රි අය්යේ...මට එළිවුන යාමයේ සිටන්.. රාත්‍රියේ නින්දට වැටෙන තෙක් දැනෙනා මහා බියක් වෙයි....මගේ අම්මා කුමකින් හෝ මට අහිමි වේයැයි...ඇය අසනීප වේයැයි අනියත බියකින් නිරතුරුව මසිත සැලී යයි. ..ඉතින් මට සුවපත් නින්දක්ද නොවේ.

    වසරකට පෙර තාත්තා සදහටම සමුගෙන ගියායින්..අම්මා කඩා වැටුනාය. එකල්හි නම් අම්මා ඇඩුවත්, සිනාසුනත්...දරාගැන්මේ වගකීම් කොටසක් තාත්තා වෙත පවරා උන්නු නමුත්..දැන් අම්මා තනිකඩ්ය....ඇගේ ඇස් පතුලේ කිමිදෙන කල මට පෙනෙන්නේ වේදනාවක්මය.

    ඉතින්...අම්මලා..අම්මලාමය...ඔබේ සටහන ඉහල සිට පහලටත්...පහල සිට ඉහලටත්..කියවීමි.

    ඔබත්..ඔබේ පන්හිදත්...බොහෝ කලක්..යෙහෙන් වැජඹේවා..

    ReplyDelete
    Replies
    1. Tharangani,
      මගේ සටහන ඔබේ සිත අවදි කළ බවක් හැඟෙනවා.
      ඔබේ මව දිගු කල් යෙහෙන් වැජඹේවා...

      Delete
  7. She will rest in pease dude. No worries.

    ReplyDelete