Wednesday, 10 August 2016

බුක්,බ්ලොග්, බ්ලුක් හා බොග්




ස්සර අපි කියෙව්වෙ පත්තර, සඟරා හා පොත්. ඒ කියන්නෙ News papers, Magazins & Books.

ඊළඟට අපි  පත්තර සඟරාවලට ලියන්න ගත්ත වගේම පොත් ලියන්නත් පටන් ගත්ත.

පස්සෙන් පහු පත්තර සඟරාවලට ලියන එක නැවතිලා පොත්ම ලියන්න ගත්ත. ඒ කියන්නෙ Books ම විතරක් වෙන්න ගත්ත.

කාලයක් දිගටම ඔහොම කරගෙන යද්දි පරිගණකය අපේ ජීවිත වලට සමීප වුණා. අපි ලියන්න දන්න එකම භාෂාව වෙච්චි සිංහල භාෂාවෙන් පරිගණකයේ කොටන්න පුළුවන් වුණාට පස්සෙ බ්ලොග්- ‍Blog ලියන්නත් පටන් ගත්ත.


බ්ලොග් කියන්නෙත් වෙනම ලෝකයක් බව ටිකෙන් ටික තේරෙන්න ගත්ත.

මුලින් අන්වර්ථ නාමයකින් බ්ලොග් ලිව්වට පස්සෙ නම හෙළිදරව් වෙන විදිහටම "නොකී කතා" ලියන්න හිතුව. හැබැයි ඒකෙන් කියවෙන්නෙ නෑ අන්වර්ථ නාමයන්ගෙන් නොලියම ඉන්නව කියල.

මේ අටුවා ටීකා ටිප්පනි ලියන්න ගත්තෙ පොත්, ඒ කියන්නෙ Book වගේම බ්ලොග්-Blog ලියන එක ගැන විිවධ කතා බහ ඇති වෙන නිසයි.

ඒකනෙ බ්ලුක්, ඒ කියන්නෙ Blook කියල වචනයකුත් ඇවිත් තියෙන්නෙ.



බ්ලුක්කාරයො කියන්නෙ තමන් ලිව්ව හෝ ලියන බ්ලොග් මුද්‍රිත මාධ්‍යයෙන් එළි දක්වන අයට. බ්ලොග් විතරක් ලිව්වම පිළිගැනීම ටිකක් අඩුයි වගේ අදහසකින්ද මංදා මේ බ්ලුක් එන්න ගත්තේ.

මොකද වැඩිවශයෙන් බුක් ලියන අය Book වල තියෙන ඒව බ්ලොග් වල පළ කරනව අඩුයිනෙ.

ඉතිං ඒ අව්වස්සෙ Books ගැන කරපු TV  වගේම පත්තර කතා බස්වලදී Blogs ගැන කිව්වෙ නෑ කියලත් චෝදනාවක් ආව. 

මේ කතාව ඇදල ගත්තෙ බ්ලොග් ලෝකයේ පකීර් රසික හරිශ්චන්ද්‍ර සූරියආරච්චි

හැබැයි බ්ලොග් ලෝකයේ පෙරළිකාර අදහස් දක්වන්නෙක් වන  මාතලන් මෙහෙම ලියල තිබුණ.

ඉතිං Books  වගේම Blogs ලියන නමුත්  Blooks  නම් ලියල නැති අනාගතයේදී නම් මේ ලියන "නොකී කතා" Blog එකෙන් Blook එකක් පළ කරන්න හිතන් ඉන්න ඒත් ලියන Book එකකින් Blog එකක් ලියන්න හිතුවෙ නැති පොත්කාරයෙක්/බලොග්කාරයෙක් විදිහට මට කල්පනා වෙන්නෙ එහෙම ලිව්වොත් ඒ ෂානරයට කියන නම මොකක් වෙයිද කියලයි.

Blog+Book = Blook වුණා වගේ Book+Blog= Bog කියල දාන්න වෙයි නේද? එතකොට කියන්න වෙන්නෙ බොග් කියලයි.

හැබැයි Bog නැත්නම් බොග් කියලත් වචනයක් භාවිතයෙ තියෙනව වුණාට ඒ තේරුමම මේකටත් ගැලපෙන්න ඉඩ තියෙනව.

කොහොමින් කොහොම වුණත් මගේ අදහස නම් Book අස්සෙ Blog ගැනවත් Blog අස්සෙ Book ගැනවත් පම්පෝරි ගහන්න ඕනෙ නෑ කියන එකයි.  

Blog වලින් Book ගහල Blook  කරද්දි වගේම Book වලින් Blog ලියල Bog  කරන දවසකට ඒව ගැන කතා කරමු නේද?


 


 කෙටිකතා එක්ක කවි   කියවන්න. මෙතැනට යන්න 


 


Friday, 29 July 2016

මං වැඩියෙන්ම කැමැති කෙටිකතාවට

ගේ පස්වැනි කෙටිකතා එකතුව ජනගත කරන්නට සියලු කටයුතු සූදානම් කෙරෙමින් පවතින මොහොතක මෙතෙක් ලියූ කෙටිකතා කිහිපයක් ගැන මෙන්ම මේ කෘතියේ එන කෙටිකතා ගැනත් කෙටි මතකයන්  අවදි කරන්නට සිතුවා.



මා මුලින්ම එළිදැක්වූ කෙටිකතා සංග්‍රහය වන්නේ "තිරිසන් රාත්‍රිය" යි. ඒ 1996 දී.

ඊට එහැමපිටින්ම පාදක වූයේ පේරාදෙණිය විශ්වවිද්‍යාල ජීවිතය ආශ්‍රිත අත්දැකීම්. 

මේ කෙටිකතා ලියැවී ඇත්තේ කිසියම් අමු ආකාරයකට යැයි පසු කලෙක මටම හැඟීගියත් ඒ සඳහා ඉල්ලුමක් තිබූ හෙයින් 2003 දී දෙවන මුද්‍රණයක්ද නිකුත් කළා. එයත් අද වෙළෙඳපොළේ නැහැ. මේ ඉල්ලුමට හේතුව සරසවි මතක යළි යළිත් සිහිපත් කිරීමේ නොස්ටැල්ජියාව කියා සිතෙනවා.

"තිරිසන් රාත්‍රිය" එළිදැක්වීම පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය කලාගාරයේදී පවත්වන්නට හැකි වූයේ එවකට මා එහි සේවය කරමින් සිටි නිසයි.

ප්‍රධාන දේශනය කරන්නට මහාචාර්ය සුචරිත ගම්ලත් බාරගෙන සිටියත් නියමිත දින ආසන්නයේ පැමිණීම ප්‍රතික්ෂේප කළේ පේරාදෙණියේ සිංහල දෙපාර්තමේන්තුව සමග ඇතිකරගෙන තිබූ විරසකය නිසාද නැතිනම් මට ජේ.වී.පී.කාරයෙකු ලෙස හංවඩු වැදී තිබුණ නිසාදැයි නොදන්නාමුත් මේ කාරණා දෙකම අඩුවැඩි ලෙස බලපෑ බව මට පසු කලෙක තේරුම් ගියේ සුචරිත ගම්ලතුන් සමඟ සමීප ඇසුරකට වැටුණාට පසුවයි.

ඉතා කෙටි දැනුම් දීමකින් දේශනය බාරගෙන මා පත් වූ අපහසුතාවෙන් මුදා ගත්තේ එවකට පැනිදෙණිය ඉංග්‍රීසි ගුරුවිද්‍යාලයේ විදුහල්පති වූද ප්‍රකට සාහිත්‍යධරයෙකු වූද හේමරත්න ලියනාරච්චියි.

නිවාඩු කාලයකදී කිසියම් ව්‍යාපෘතියක් සඳහා සරසවි නේවාසිකාගාරයක රැඳී සිටි තරුණයින් පිරිසක් අබිසරුලියක කැඳවාගෙන එන සිද්ධි දාමයක් රැගත් "තිරිසන් රාත්‍රිය" කෙටිකතාව කියැවූ මගේ සරසවි සගයෙකු පැවසුවේ "උඹ ලියන පොත් ගෙදර ගෙනියන්නෙ කෙ‍ාහොමද....ගෙදර ගිය ගමන් ගෑනියි, ළමයි ලොකු මහත් වුණාමයි කියෙව්වාම අපේ පටි රෝල්නෙ" කියාය.



දෙවන කෙටිකතා සංග්‍රහය "සරණාගත කඳවුරේ යුවතියගේ මල්වර මඟුල" නිකුත් වූයේ 1997 දී යි. මේ කෙටිකතා බොහොමයක් ලියැවුණේ මා නාවික හමුදා නිළධාරියෙකු ලෙස සේවය කරන කාලයේදී.

පොතේ නමින් එන කෙටිකතාව ලිවීමට පෙළැඹවීමක් ඇතිවුණේ ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයේ ඉංජිනේරු පාසලේ සේවය කරන අතරතුරදී කඳවුරේ උස් බිම් පෙදෙසක පිහිටුවා තිබූ සරණාගත කඳවුරක ජල ප්‍රශ්නයක් විසඳීමට ගිය මොහොතක අත්දුටු සිදුවීම් මතිනුයි.

මෙහි එන "සෙබළියෙකුගේ ප්‍රේමය" මගේ සමීපතම හිතවතෙකු ලද අත්දැකීමක් ඇසුරෙන් ලියැවූවක්. හමුදා සේවයේදී සෙබළියක හා නිළධාරියෙකු අතර ප්‍රේමයට තහංචි වැටුණද දළු ලා වැඩුණු ඔවුනගේ ප්‍රේමයේ මා සාක්ෂිකරුවෙකු වුණා.

එහි එන තවත් කතාවක් වූ “අභිසාරිකාවකගේ ස්වයංවරය“ මුලින්ම පළ වූයේ “නවලිය“ පත්තරේයි. එය කියැවූ  කාන්තාවක් උපාලි පුවත්පත් සමාගමට කතාකොට මා සේවය කරන තැන විමසා දැනගෙන දුරකතන ඇමතුම් දී මාව සම්බන්ධ කොටගෙන මා සොයා පැමිණියා.

එවකට මා සේවය කරමින් සිටියේ විවෘත විශ්වවිද්‍යාලයේයි. 

ඈ පැමිණ තිබුණේ ඇගේ ජීවන අත්දැකීම් පවසන්නටයි. 

“අයියෝ මං හිතුවෙ තලතුනා කෙනෙක් කියලයි. ඔයා තරුණ කෙනෙක්නෙ. දන්නවනං මං මේ ගමන එන්නෙත් නෑ. ඔයා කොහොමද මෙහෙම ලියන්නෙ“ කියා විමසූ ඇය අපේක්ෂාභංගත්වයට පත්ව සමුගෙන යන්න ගියා.

  "සරණාගත කඳවුරේ යුවතියගේ මල්වර මඟුල" කෙටිකතා එකතුව ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේ ග්‍රන්ථාධාර ව්‍යාපෘතියෙන් ප්‍රතික්ෂේප වූයේ මේ කෙටිකතාවල කිසිදු හරයක් නැති බව පවසමිනුයි.

එකල මේ ව්‍යාපෘතියට කෘති තෝරාගත්තේ අතයට ගනුදෙනු වලට බවට රාවයක් පැතිරුණා.

කෙසේ වතුදු "සරණාගත කඳවුරේ යුවතියගේ මල්වර මඟුල" කෙටිකතාව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය ඩිප්ලෝමාවේ දේශනවලදී විශ්ලේෂණය කළ බව ඇසීමෙන් මා නිරහංකාර සතුටක් ලැබුවා.

මේ පොතත් වෙළෙඳපොළේ නැහැ.



“නගරාන්තර ප්‍රේමය“ කෙටිකතාව මුලින් පළ වූයේ “ඉරිදා ලක්බිම“ පුවත්පතේයි. එහිම දිගුවක් ලෙස ලියැවුණ “ගැබ් ගැනීම“ත් සති කිහිපයක් ඇතුළත ඉරිදා ලක්බිමේම පළ වුණාම මට කාන්තාවන්ගෙන් විශාල වශයෙන් ප්‍රතිචාර ලැබෙන්න පටන් ගත්තා. කාන්තාවන් පමණක් නොව මගේ හිතමිතුරන් පවා දුරකතනයෙන් කතා කළා.

මහනුවර සිට දුරකතනයෙන් ඇමතූ කාන්තාවක් ඇයට දරුවන් නොමැති වීමේ අඳෝනාව මා සමඟ පවසා සිටියා. “ගැබ් ගැනීම“ කතාවේ අවසානයේදී ෂෙරිනුයි, ඉන්ද්‍රචාපයි ඉල්ලුව දේ මටත් ඉල්ලන්න ඕනේ...“ ඇය පවසද්දී ඒ කෙටිකතාවක් පමණක් බව කිව්වත් ඈ පිළිගන්න සූදානම් වුණේ නැහැ.

“නගරාන්තර ප්‍රේමය“ කෙටිකතා එකතුව 2005 වසරේදී නිකුත් වූයේ මා “ස්වර්ණවාහිනී“ රැකියාවෙන් ඉවත් වූ පසුවයි. මාධ්‍ය ආයතනයක වැඩ කරද්දී නිර්මාණකරණයට තරම් විවේකී මනසක් ඇති වන්නේ නැහැ.


මගේ සිව් වන කෙටිකතා එකතුව පළ වූයේ දිගු විරාමයකට පසුවයි.

ඒ විරාමයේදී මා වෙනත් නිර්මාණ වල යෙදී සිටියත් මා වඩාත් ඇලුම් කරන කෙටිකතාවෙන් මදක් ඈත් වුණා කිව්වොත් නිවැරැදියි.

කෙසේ වතුදු “නෙත්මා දකිනු පිණිසය“ නිකුත් වූයේ 2012 දෙසැම්බරයේදී. ඒ සමගම මා විදෙස් ගතවූ හෙයින් එහි ප්‍රචාරාත්මක මෙන්ම බෙදාහැරීමේ කටයුතුද අඩාල වුණා. 

“නෙත්මා දකිනු පිණිසය“ කියන්නේ සුවිශේෂී කතාවක්.

මෙහි ප්‍රධාන භූමිකාව රඟන “නෙත්මා“ යනුවෙන් මා නම් කරන කාන්තාව වසර 35 ක් තිස්සේ මට පමණක් ප්‍රේමකරන බව පවසනවා.

එහෙත් මේ දක්වා මා ඇය මුණගැසී නැහැ. ඈ ස්වාමියාගෙන් වෙන්ව සිටින දෙදරු මවක්. මා ලියන දේ කියවා වසර 35ක පටන් මට විටින් විට ලියුම් එවමින්, දුරකතනයෙන් කතා කරමින් තොරතුරු, දුකසැප විමසන ඇය මේ බ්ලොග් එක නොකියවන බව මට විශ්වාසයි. 

පොත නිකුත් වී කලකට පසු මා එය ඈ සේවය කරන පාසල වෙත තැපෑලෙන් යැව්වා.  මා තවමත් හරියටම නොදන්නා දරුණු රෝගයකට ලක්ව ඒ වන විට සිටි ඇය කවර මානසිකත්වයකින් කෙටිකතාව කියැවූවාදැයි මා දන්නේ නැහැ. 

මෙවර මා ලංකාවට පැමිණි පසු ඇය දුරකතනයෙන් කතා කළා. 

මැය මගේ ජීවිතයට මැදිහත් වූ ආකාරය “නෙත්මා දකිනු පිණිසය“ කෙටිකතාවේ යම් පමණකට සඳහන් වන නමුත් කෙටිකතාවේ බොහෝ තැන් මනසින් මවාගත් දේයි.

“නෙත්මා දකිනු පිණිසය“ කෙටිකතා සංග්‍රහයේ වන “බාලාංශ ප්‍රේමය“ කතාවේ පිළිකා රෝගයකින් මිය යන්නේ පාසලේ 5වන වසරේදී මා පෙම් හසුනක් දුන්  බාලිකාවයි.

බොහෝ කලකට පසු ඇය මට නැවත මුණගැසුණේ අප දෙදෙනාම උස්මහත් වූ දරුවන්ගේ දෙමාපියන් වූ පසුවයි. ඒ වන විටත් ඇය පියයුරු පිළිකා රෝගයට ලක්ව එක් පියයුරක් ශල්‍යකර්මයකින් ඉවත් කරගෙන සිටියා.

ඊටත් කෙටි කලකට පසු ඈ මියපරළොව ගිය බව මා දැනගත්තේ  නිවාඩුවකට ගමේ පැමිණි අවස්ථාවකයි.

 
“නිරුවත් ජීවිත“ නිකුත් වන්නේ “විල්ලරවාඩිය“ හා “දඩකඳවුර“ නවකතා දෙක රචනා කිරීමෙන් පසු එහි තෙවන අර්ධය ලියන්නට කල් ගන්නා අතරතුරයි. 

එහි එන බොහෝ කතා මගේ ජීවන අත්දැකීම් සමඟ බද්ධ වෙනවා.

ඒ ගැන පොතේ පෙරවදනේ මා මෙසේ සටහන් කළා.


“නිරුවත් ජීවිත“ කෙටිකතා සංග්‍රහය ජනගත කෙරෙන්නේ 2016 අගෝස්තු 04 වන බ්‍රහස්පතින්දා සවස 3.30 ට කොළඹ 07, ජාතික පුස්තකාල හා ප්‍රලේඛනසේවා මණ්ඩලයේ ශ්‍රවණාගාරයේදී.

එදාට සහභාගි වන්නැයි ලංකාවෙ ඉන්න හිතවත් බ්ලොග් රචකයින් ඇතුළු සහෘද හැමට මා හෘදයාංගමව ආරාධනා කරනවා.








 කෙටිකතා එක්ක කවි   කියවන්න. මෙතැනට යන්න







Tuesday, 19 July 2016

නවීකරණය විය යුතු ප්‍රජාතන්ත්‍රවාදය



මාස කීපයකට පෙර ප්‍රජාතන්ත්‍රවාදය ගැන ලිපියක් ලියන්නැයි කිසියම් ප්‍රකාශනයකින් මට ආරාධනාවක් ලැබුණා. එය මාර්තු මස වන විට පළ කරන බැවින් වෙනත් ආකාරයකින් ප්‍රසිද්ධ නොකරන්නැයි ඉල්ලා තිබුණා.

මේ වන විට මාර්තු පසු වී මාස 4ක් ඉක්ම ගොස් ඇති හෙයින් මගේ ලිපිය පළ නොවන්නේ නම් මා එය ප්‍රසිද්ධ කිරීමට සූදානම් බවත්, ඒ ගැන මා දැනුම්වත් කරන ලෙසත් ඉල්ලා සිටියත් ඔවුන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නැති තත්ත්වයක් යටතේ මා ලියූ ලිපිය මගේ බ්ලොගයේ පළ කරන්න තීන්දු කළා.



 “ප්‍රජාතන්ත්‍රවාදයෙහි දෝෂයන් පවතී. මන්දයත් මිනිසුන් දෝෂ සහගත වන බැවිනි.”

-          චෙකොස්ලොවැකියාවේ ප්‍රථම ජනාධිපති තෝමස් ගරිග් මසරික්. (Tomáš Garrigue Masaryk)




ප්‍රජාතන්ත්‍රවාදය යන්න ජනතාව විසින් රාජ්‍යයක් පාලනය කිරීම යනුවෙන් ඉතා සංක්ෂිප්තව අර්ථ නිරූපනය කළ හැකිය. මේ අර්ථ දැක්වීම තවදුරටත් විස්තීරණය කරන්නේ නම් ප්‍රජාතන්ත්‍රවාදය යනු රාජ්‍යයක ජනතාව වෙනුවෙන් වැඩි දෙනාගේ තැමැත්තෙන් පාර්ලිමේන්තුව හෝ ඒ ආකාරයේ වෙනයම් ජනතා නියෝජනයක් මහජන ඡන්දයකින් තෝරා පත් කර ගැනීම හා රාජ්‍යය පවත්වා ගෙන යාමේ තීන්දු තීරණ වලට ජනතාවට ඉඩකඩ සැලසීම ලෙස සඳහන් කළ හැකිය. 


මේ අනුව සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය යනු සුපිරි බලය ජනතාව වෙත තිබීමයි. ඔවුන් ‘සෘජු’ ලෙසින් හෝ කලින් කලට නියෝජිතයින් පත් කොට ගැනීම මගින් ‘සහභාගිත්ව’ ලෙසින් රාජ්‍යයේ පාලනයට හවුල් වීමයි.


තමන්ගේ ජීවිත වලට බලපාන සෑම සියලු කාරණාවකදීම අන් අතරමැදියෙකු  නොමැතිව නවීන තාක්ෂණය උපයෝගී කොට ගෙන එක් හෝ වෙනත් ආකාරයකින් එක් එක් පුරවැසියාගේ සක්‍රීය මැදිහත්වීම හා සෘජු කැමැත්තට අනුව තීන්දු ගැනීමේ හැකියාව ‘සෘජු’ ප්‍රජාතන්ත්‍රවාදයේදී තිබිය යුතුය.


‘සහභාගිත්ව’ ප්‍රජාතන්ත්‍රවාදයේදී සෑම පුරවැසියෙකුටම පරමාධිපත්‍යය ඇති නමුදු පුරවැසියා විසින් පූර්ව තෝරා ගැනීමකින් පත් කරගන්නා ලද ජනතා නියෝජිතයා හරහා අනියමින් දේශපාලන තීන්දු තීරණ ගනු ඇත.

දේශපාලන විද්‍යාඥ ලැරි ඩයමන්ඩ් (Larry Diamond) ට අනුව ප්‍රජාතන්ත්‍රවාදය ආකාර හතරකින් සමන්විත වේ.


1. නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම මගින් ආණ්ඩු මාරු කිරීමට සැකසූ දේශපාලන ක්‍රමවේදයක්

2. දේශපාලන මෙන්ම සමාජයීය ජීවිතයේදී ජනතාවගේ සක්‍රීය   සහභාගිත්වය

3.   පුරවැසියාගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම

4.  සෑම පුරවැසියෙකුටම නීතිය ඉදිරියේ සමාන අවස්ථා ලබා දීමේ නීති පද්ධති හා ක්‍රමවේද 


මෙම නිර්වචනයේ මූලික අඩංගුව වේ.


ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක මූලික අවශ්‍යතාව මතු වන්නේ රටක සංවර්ධනය හා ආර්ථික දියුණුව මගින් අත්‍යවශ්‍යයෙන්ම පුරවැසියාගේ ජීවන තත්ත්වය මෙන්ම නිදහස් ජීවන පැවැත්ම  ඉහළ දැමීම සහාය යන්න පවත්නා මූලික ප්‍රවාදයකි. එහෙත් මේ ලිපියේ අරමුණ වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ පමණින් සියලු ප්‍රශ්න විස‍ඳන්නට හැකි බව සිතීම යථාර්ථයෙන් ඈත බව පෙන්වා දීමය. 


බොහෝ පර්යේෂණාත්මක අධ්‍යයනයන් මගින් වුවද රටක ආර්ථික වර්ධනය හා ප්‍රජාතන්ත්‍රවාදී දර්ශකය අතර ධනාත්මක සම්බන්ධතාවක් සොයා ගෙන නොමැත.


බොහෝ සංවර්ධනය වන රටවල් ආඥාදායක පාලකයන්ගේ ග්‍රහණයේ පැවතුන අතර දුර්වල ආඥාදායකත්වයක් පැවැති දකුණු කොරියාව, චීනය වැනි රටවල් දරිද්‍රතාවෙන් මිදී ඉහළ සංවර්ධනයක් පෙන්නුම් කොට ඇත.

මේ තත්ත්වයන් යටතේ අඩු ඒක පුද්ගල ආදායම්ලාභී රටවල් අතරින් ඒකාධිපති පාලනයන් පවතින රටවල හා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයන් පවතින රටවල සංවර්ධන වේගය මැන බැලීම මගින් මේ පිළිබ දළ අදහසක් ලබා ගත හැකිය.


Economist Intelligence Unit මගින් ප්‍රකාශයට පත් කොට ඇති ප්‍රජාතන්ත්‍රවාදයේ දර්ශකය 2014 (Index of Democracy 2014) ට අනුව පෙළ ගස්වා ඇති රටවල් 167 අතරින් සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයේ ‍ඉහළින්ම වැජඹෙන්නේ නෝර්වේ රාජ්‍යයය.


ස්වීඩනය හා අයිස්ලන්තය අනුපිළිවෙළින් මීළඟට ලැයිස්තු ගත වෙද්දී ඕස්ට්‍රේලියාව 9 වන තැනත්, මහා බ්‍රිතාන්‍යය 16 වන තැනත් ලබයි. අමෙරිකා එක්සත් ජනපදය 19 වන ස්ථානයේය. මේ දර්ශකයේ ප්‍රංශයට හිමි වන්නේ 23 වන ස්ථානයයි. ඒ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය පවතින්නේ යැයි නම් කොට ඇති රටවල් 24 හි අවසානය වන කොස්ටාරිකා රාජ්‍යයට එක් පියවරක් ඉදිරියෙනි.


ඉංදියාව 27 වන තැන ගන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ දර්ශකය 2014 හි දෝෂ සහිත ප්‍රජාතන්ත්‍රවාදයක් පවතින රටවල් ගොන්නට අයත් වෙමිනි. මැලේසියාව හා සිංගප්පූරුව පිළිවෙළින් අත්පත් කරගන්නේ 65 හා  75 වන ස්ථානයන්ය. මේ කාණ්ඩයේ අවසන් රට වන්නේද සිංගප්පූරුවයි.


දෙමුහුන් (Hybrid) ප්‍රජාතන්ත්‍රවාදය පවතින්නේ යැයි නිර්ණය කොට ඇති රටවල් අතරට ගැනෙන ශ්‍රී ලංකාවට 87 වන ස්ථානය හිමි වෙද්දී රුසියාව හා චීනය පිළිවෙළින් 132 හා 144 වැනි ස්ථාන ලබමින් ඒකාධිපති පාලනයෙන් යුතු රටවල් ලෙස නම් ලබයි. 167 වන අවසාන රට වන්නේ උතුරු කොරියාවයි.


මේ දර්ශක ගත කිරීම 100%  නිවැරැදි, සාධාරණ හා යථාර්ථවාදී නොවන බව පෙනෙන නමුදු කිසියම් ආකාරයකට මින් මතු වන චිත්‍රය නොසළකා හැරිය නොහැකිය. 


ඒ අනුව ආර්ථික සංවර්ධනය අතරින් පෙරමුණේ තිබෙන රටවල් කිහිපයක් සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය භුක්ති විඳින්නා සේම තවත් රටවල් ගණනාවක් ආන්තික ඒකාධිපතිත්වයේ ග්‍රහණයට හසු වී ඇත.


ප්‍රජාතන්ත්‍රවාදයේ පවතින හිදැස් හා එකතැන පල්වීමේ ලක්ෂණ අනුව විවිධ දුර්වලතා මෙන්ම අඩුලුහුඬුකම් දක්නට හැකි වන්නා සේම රාජ්‍යයේ ජාතික අවශ්‍යතා අබිබවා තමන්ගේ සුඛවිහරණය පමණක් ඉලක්ක කොට ගත් ආඥාදායක පාලකයින් රජ කරන විටදී පවා සමස්ත ආර්ථිකය හා සංවර්ධනය හීන වන බවටද ලෝක ඉතිහාසය පාඩම් උගන්වා ඇත.


අවංක මෙන්ම ඥානවන්ත, එමෙන්ම දේශයට හා එහි වෙසෙන ජනතාවට ආදරය කරන ඉහළ හැකියාවන්ගෙන් යුතු ආඥාදායී පාලකයකු බලයට පත් වන රටක දේශපාලන නිදහස යටපත් වුවද ඒක පුද්ගල ආර්ථික වර්ධනය හා ජනජීවිතයේ පැවැත්ම සාපේක්ෂව බාධාවකින් තොරව ගලා යන්නේ ජාතික තලයේ සංවර්ධන ඉලක්ක ජය ගනිමිනි.


දේශහිතෛෂී ආඥාදායකයෙකුගේ ආධිපත්‍යයට හසු වූ රටවල පුරවැසියන්ගේ මානව අයිතිවාසිකම් ආරම්භයේදී  විශාල වශයෙන් කඩ වුවද සංවර්ධන ඉලක්කයන් ජය ගැනීමත් සමග මානව නිදහසට පැනවූ සීමා ඉවත් වූ ආකාරය දක්නට හැකිය.


ඒක පාක්ෂික ආඥාදායකත්වයට යටත් වූ චීනය, මැලේසියාව, සිංගප්පූරුව පමණක් නොව ඒක පුද්ගල ආඥාදායකත්වයකින් පාලනය වූ දකුණු කොරියාව, තායිවානය, චිලී දේශය වැනි රටවල් මීට උදාහරණ ලෙස ගත හැකිය.


එහෙත් ආඥාදායකත්වය යනු අවදානම් සහිත සූදුවකි. ඊට හේතුව සියල්ල එක් පුද්ගලයෙකුගේ සිතුවිලි අනුව තිරණය වන හෙයිනි. 


අනෙක් අතින් බලන කල ප්‍රජාතන්ත්‍රවාදය අවදානම් නොවන්නේ රාජ්‍යයක පැවැත්ම ජනතා අබිමතය පරිදි තීන්දු වන හෙයිනි. නමුත් නවීකරණය නොවන, එක තැන පල් වෙන ප්‍රජාතන්ත්‍රවාදයකින්ද රටකට සිදුවන සෙතක් නැත. ප්‍රජාතන්ත්‍රවාදය යන වදන ජප කරමින් සිටි පමණින් රටක් ඉදිරියට ගමන් කරන්නේ නැති බැවිනි.


ආඥාදායක පාලනයකදී විදෙස් ආයෝජන වලට ආකර්ශනයක් ඇති කරමින් වසර ගණනාවක් ඉදිරියට සැලසුම් සකස් කිරිමට හැකි වන්නේ පාලන තන්ත්‍රය ස්ථාවර බැවිනි. මේ යටතේ වැඩවර්ජන, කලකෝලහාල, අපරාධ රැල්ල සීමා කෙරෙමින් දැඩි නීති රීති යටතේ සමාජය පාලනය කෙරෙන බැවින් ආර්ථිකයේ මුල්‍යමය බිඳවැටීම්ද අවම වේ. ඉතා සීඝ්‍ර වේගයකින් සංවර්ධනය වූ බොහෝ රටවල් ඒ මට්ටමට ළං වූයේ විදෙස් ආයෝජන හරහාය.


එහෙත් සෑම මැතිවරණයකදීම ආර්ථික පරිසරය හා ප්‍රතිපත්ති වෙනස් කෙරෙන, මානව හිමිකම් යටතේ රජයේ ක්‍රියාවලීන්ට එරෙහි වීමට ඉඩ ලැබෙන, රාජ්‍ය ආයතන හා ප්‍රධානීන් රජයෙන් රජයට දාං ලෑල්ලේ ඉත්තන් මෙන් එහා මෙහා කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් නිතරම කුරුමානම් අල්ලන්නේ අවස්ථාවාදී තීන්දු තීරණ ගනිමින් මීළඟ මැතිවරණය ජය ගැනීමට හා එතෙක් පවත්වා ගෙන යාම සඳහාය. එවන් ආණ්ඩුවක් දීර්ඝ කාලීන සංවර්ධන ක්‍රියාවලීන් සැලසුම්කරන්නට උත්සුක වන්නේ නැත. අනෙක් අතට නිරන්තරයෙන් මැතිවරණ පැවැත්වීම සඳහා කාබාසිනියා කෙරෙන අති මහත් මුදල් සම්භාරය දුගී රටකට දරා ගන්නට නොහැකි තරම්ය.


අනෙක් අතට ජනහිතකාමී ආඥාදායකයෙකු මෙන් නොව ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ වලින් තේරී පත් වන්නේ සමාජ විරෝධී, අවස්ථාවාදී නියෝජිතයන් වන විට තත්ත්වය තවත් බැරෑරුම් වේ. මේ තත්ත්වය ශ්‍රී ලංකාව වැනි දුගී රටවල මහජන මුදල් මංකොල්ල කන ජනතාවම පත් කළ නියෝජිතයින්ගේ ක්‍රියාකලාපයන්ගෙන් මොනවට සඵුට වී ඇත.

මෙවන් සමාජ විරෝධී මහජන නියෝජිතයන් තෝරා පත් කර නොගැනීමට තරම් ජනතාව දේශපාලනිකව සවිඥානික වීම අවශ්‍ය වන්නා සේම සිදු වූ වරද නිවැරදි කර ගැනීමටද අවකාශ සැලසීම වැදගත්ය.


ප්‍රජාතන්ත්‍රවාදය නිරතුරුවම සුපරික්ෂාකාරී වීම මගින් වඩාත් සාධාරණ, වගකීම් සහිත හා කාර්යක්ෂම ලෙස දියුණු කර ගත යුතු ක්‍රමවේදයකි. එය කාලානුරූපව නවීකරණය වෙමින් ප්‍රතිසංස්කරණය විය යුතුය. මේ සඳහා විද්වතුන්, වෘත්තිකයන් මෙන්ම සිවිල් ක්‍රියාධරයන්ගේද මැදිහත් වීම අත්‍යවශ්‍යය.


ප්‍රජාතන්ත්‍රවාදය නවීකරණයට ලක් කිරීම සඳහා විවිධ රටවල ක්‍රියාත්මක වන විකල්ප දෙකක් මෙහි ලා සඳහන් කරන්නේ එය ඉහළ සාක්ෂරතාවකින් හෙබි ජනතාවක් වෙසෙන ශ්‍රී ලංකාව වැනි රටක අත්හදා බැලීමට සුදුසු බැවිනි. එමගින් ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ මැතිවරණ හරහා පත්වන ජනතා නියෝජිතයින්ට සිය ධූර කාලයේදී අන්තනෝමතික ලෙස හැසිරීමේ අවකාශ ගිලිහී යනු ඇත. 


මින් පළමු විකල්පය වනුයේ ඡන්ද පත්‍රිකාවේ “මේ කිසිවෙකුත් නොවේ” (Non Of The Above) යනුවෙන් කතිරය ගැසීමට අවස්ථාවක් දීම මගින් මැතිවරණයකදී ඒ ඒ දේශපාලන පක්ෂ විසින් සමාජ විරෝධී අපේක්ෂකයන් නම් කිරීම පිළිබඳ සිය අප්‍රසාදය පළ කරන්නට අවස්ථාව සැළසීමයි. දැනට ඡන්ද පොළට නොයා සිටීමෙන් හෝ ඡන්ද පත්‍රිකාව කටු ගා දැමීමෙන් පළ කෙරෙන විරෝධතාවට මෙමගින් වඩාත් සාධනීය විකල්පයක් ලැබෙනු ඇත. (මේ ලේඛකයා බොහෝ මැතිවරණ වලදී ක්‍රියා කොට ඇත්තේද මේ ආකාර දෙකට වීම උදාහරණයක් ලෙස සටහන් කරමි.)


“මේ කිසිවෙකුත් නොවේ” වෙනුවෙන් ලැබෙන ඡන්ද වෙනම ගණනය කළ යුතු අතර ප්‍රතිඵල ලෙස වෙනම ප්‍රකාශයට පත් කළ යුතුය. මෙය ක්ෂණික ප්‍රතිඵල ගෙන දෙන්නක් නොවූවද දීර්ඝ කාලීනව බලපෑමක් ඇති කරනු ඇත. එමගින් දැනට නාම යෝජනා ලබන්න දූෂණ චෝදනා ඇති, වංචනික ක්‍රියාවල නියැලුණු, අපරාධ වලට සම්බන්ධ වූ අපේක්ෂකයින් නිසා කළකිරීට පත්ව ඡන්ද පොළට යාමෙන් වැළකී සිටින දැනුම්වත්, අවස්ථාවාදී නොවන ඡන්දදායකයින් පිරිසක් මැතිවරණ ක්‍රියාවලියට එක් කොට ගැනීමට ඉඩකඩ සැලසනු ඇත. 


දෙවැනි විකල්පය වන්‍නේ මහජන ඡන්දයෙන්තේරී පත් වු පසු ජන මතයට පිටුපා, තම උදර පෝෂණය සඳහා පිල් මාරු කරන, දූෂණයේ යෙදෙන, වෙනත් කවර හෝ ආකාරයකින් ජනමතයට ද්‍රෝහී වන අපේක්ෂකයෙකු නියමිත ධූර කාලයට පෙර ඉවත් කිරීමේ අයිතිය පුරවැසියාට හිමි කර දීමය.


“ඉවත් කිරීමේ අයිතිය” (Right To Recall) ලෙස හැඳින්වෙන මේ ක්‍රමවේදයේදී කිසියම් අවස්ථාවක ඡන්දදායකයන්ගෙන් 50%  හෝ එවන් පුර්ව නිශ්චිත සංඛ්‍යාවකගේ අත්සන් සහිත පෙත්සමක් මගින් දැනුම් දුන් කල්හි එම ඉල්ලීම බලාත්මක කිරිම වෙයි. මෙවිට අදාළ මංත්‍රීවරයා ඉවත් කොට අතුරු මැතිවරණයක් මගින් සුදුස්සෙකු තෝරා පත් කර ගැනීමට අවස්ථාව සළසා දිය හැකිය. ජනතා පරමාධිපත්‍යය යන්න හිස් වචනයකට සීමා නොවී පුළුල් අර්ථයෙන් සක්‍රීය වන්නේ එවිටය.


මේ විකල්ප මගින් නුසුදුස්සන්ට අපේක්ෂකත්වය දීමේ ප්‍රවණතාවට බාධා ඇති වන්නා සේම, ජය ගත් කිසියම් අපේක්ෂකයෙකුට සමාජ විරෝධී කටයුතු කිරීමේදී දෙවරක් නොව තුන් වරක් නැවත සිතීම‍ට බල කෙරේ.


ප්‍රජාතන්ත්‍රවාදය යන්න නවීකරණය කොට වඩාත් අර්ථ ගැන්වීම සඳහා මෙවන් නව අදහස් හා ක්‍රියාමාර්ග හඳුන්වා දීම වැදගත් වන්නා සේම ඒ පිළිබඳ නිරන්තර අවධානයෙන් පසු වීමද ඉතා වැදගත්ය.


එසේ නොමැතිව ප්‍රජාතන්ත්‍රවාදය බලාත්මක කිරීමේ හුදු සටන් පාඨ මුරගෑ පමණින් රටක සංවර්ධනය බලාපොරොත්තු වීම විහිළුවකි.

-          





 
කෙටිකතා එක්ක කවි   කියවන්න. මෙතැනට යන්න



Monday, 13 June 2016

වළේ හූවෙන් අහිමි ජීවිත



මේ සංගදිය වුණේ හන්තාන අඩවියේ උපාධියට කඹුරන කාලෙදියි  ඕං.

කොටින්ම කිව්වොත් ශිෂ්‍යයා කාලෙදි.


ඒ කාලෙ සොකක්, ඩොකක් විතරක් නොවෙයි වළේ නාට්‍යයක් ප‍ෙන්නුවත් අපි එතැන ඇති. ඒ තරමටම ඇම්ම. ගාය.


සොක කිව්වෙ film society එකෙන් පෙන්නන වෘතාන්ත චිත්‍රපටියකට. Society කියන වචනෙ තමයි සොක වෙලා සොකෙන් පෙන්නන 
චිත්‍රපටිවලට සොක කිව්වෙ.


“අද සොක බලන්න යන්නෙ නැද්ද ?” කියල ඇහුවම ඕනෙ කෙනෙක් දන්නව කලාගාරෙ චිත්‍රපටයක් පෙන්නන බව. සොකට ගෙනාවෙ අපූර්ව විදෙස් චිත්‍රපට. අවුරුද්දටම ෆිල්ම් බලන්න කොටු කපන කාඩ් කෑල්ලක් ඒ කාලෙ හැටියට රුපියල් දහයකටද කොහෙද තමයි විකුණුවෙ.


ඩොක කිව්වෙ Documentary නැත්නම් වාර්තා චිත්‍රපටි වලට. ඩොක පෙන්නුවෙ නොමිලෙ. ගොඩක් කපල්ස් හවසට කම්මැලි හිතුණම ඩොකට ගියා.


වළ ගැන කියන්න ගෙහුං සොක, ඩොක ගැනනෙ කිව්වෙ.

අවුරුද්දකට වතාවක් වළ සතිය එනවනෙ. වළේ නාට්‍ය බලන්න නං අහල පහල ගං වලිනුත් පවුල් පිටිං එනව. ඒ මුදලට කොහෙන්වත් නාට්‍යයක් බලන්න බැරි නිසාම නොවෙයි. වළේ නාට්‍යයක් බලන එක අපූරු අත්දැකීමක් නිසා.


එක අතකින් එළිමහන් රංග පීඨයක, පිණි බාමින් නළු නිළියන් හා බොහොම සමීපව නාට්‍යයක් නරඹන එක වෙනස්ම අත්දැකීමක්.


අනෙක් අතට වළට ගේන්නෙ ඒ ඒ වසරෙ හොඳම වේදිකා නාට්‍ය තමයි. හූවක් නැතිව පේරාදෙනි වළේ නාට්‍යයක් පෙන්න ගන්න ලැබෙනව කියන්නෙ විශාල ජයග්‍රහණයක් විදිහටයි බොහොමයක් නාට්‍යකාරයො සළකන්නෙ.


සරච්චන්ද්‍ර වළ කියලත් හඳුන්වන පේරාදෙනි සරසවියෙ එළිමහන් රංග පීඨය පිහිටල තියෙන්නෙ ගලහ පාරෙ හිල්ඩා ඔබේසේකර නේවාසිකාගාරය ආසන්නයේමයි.


හිල්ඩ එකේ බැල්කනියට නැග්ගම පහළින් තියෙන වළ පේනව. රඟපානවත් පේනව. ඒත් සමහර වෙලාවට දෙබස් පැහැදිලිව ඇහෙන්නෙ නෑ.


මේ කියන දවසෙ පෙන්නන්න නියමිත වෙලා තිබුණෙ නාට්‍යකලාව පිළිබඳ පශ්චාත් උපාධිය දැරූ ලංකාවේ හිටිය එකම ආචාර්යවරයා වූ දිවංගත සාලමන් ‍ෆොන්සේකාගේ “අහිමි ජීවිත” නාට්‍යය.


කවුරුත් නාට්‍යය ගැන ලොකුවට බලාපොරොත්තු තියාගෙන උන්නෙ සාලමන් ෆොන්සේකා කියන්නෙ පිටරට ගිහිං නාට්‍යකලාව හදාරල ආව කෙනෙක් නිසයි.


ඔන්න නාට්‍ය දර්ශනය පටංගත්ත කියමුකෝ.


වළ පිරෙන්න සෙනග. ඉඩ නැතිවද, ගජේට සෙට් වෙන්නද මංදා සෑහෙන පිරිසක් වළෙන් එළියෙත් උන්නා.


නාට්‍ය නිවීහැනහිල්ලෙ වේදිකාගත වෙනවා.


වැඩි සද්දබද්ද තියෙන, දැඟලිල්ල තියෙන නාට්‍යයක් නොවුණ හංදා එච්චර ගෝ එකක් තිබුණෙ නෑ.


මෙන්න එකපාරටම උඩහින් මෙහෙම සද්දයක් ආව.


“තව ටිකාක් හයියෙන් ‍කිව්ව නාං........” කියල.


දෙබස් එතරම් සද්දෙට ඇහෙන්නෙ නැති නිසාද කොහෙද මීයකට පිම්බ වගේ සද්ද බද්ද නැතිව උන්න ප්‍රේක්ෂකාගාරය මදක් සලිත වුණා. කසුකුසුවක් මතු වුණා.


සුපුරුදු විදිහට තැනින් තැන  “ෂූ.....” සද්දයක් ආවම හැමෝම නිහඬ වුණා.


ටිකකින් ආහෙම උඩහින් හයියෙන් සද්දෙ ආවා. ඒ හඬ  නාට්‍යයේ දෙබස් අබිබවා පැතිරුණා.


“ ඇහෙන්නෙ නැතෝ...තව ටිකාක් හයියෙන් ‍කිව්ව නාං........”


ඒ එක්කම ප්‍රේක්ෂකාගාරයෙන් “ඒයි මෝඩයා.....” කියල එකෙක් කැගැහුවෙ උඩහින් සද්දෙ දාන එකාට.


ඒ එක්කම වළේ තැනින් තැන “කටවහපන් මෝඩයා...”, “ ඒයි මෝඩයා” වගේ දෙබස් සද්දෙට මතු වුණා.


ඒ එක්කම හැමෝම මොනාහරි කතා කරන්න පටන් ගත්ත නිසා විශාල ඝෝෂාවක් පැතිරුණා.


මේ ඝෝෂාව නවතන්න “ෂූ....” සද්දෙට පුළුවන් වුණේ නැහැ.


ඒ එක්කම "හූ......." සද්දෙකුත් ආව.


ආයෙ කියන්න දෙයක් ඇතැයි. කැම්පස් එකේ හූවක් ආවොත් ආයෙ ලේසියෙන් නවත්තන්න කියලයැ.


අර බණ්ඩාරනායක අගමැතිටත් හූ කිව්ව එකේ. 


හැබැයි බණ්ඩාරනායක නං කිව්වලු “ලොකු නරිය ආවම පොඩි නරි හූ කියන එක පුදුම වෙන්න දෙයක් නොවෙයි” කියල. එතකොට හූව කොහෙන් ගියාද නැති වුණාලු.

ඒත් සාලමන් ෆොන්සේකාට ඒ ඉවසිල්ල තිබුණෙ නෑ.


නළු නිළියො වේදිකාව පිටුපස ඉද්දි වේදිකාවට තනිවම ආව ආචාර්යතුමා කෝපයෙන් කෑ ගැහුවා.


“ මොකාද හූ කියන්නෙ. නාට්‍ය බලන්න බැරි උන් පලයව්. විශ්වවිද්‍යාලෙ කිව්වම මං හිතුවෙ බුද්ධියක් තියෙන උං ඉන්න තැනක් කියල. දැං බලද්දි මුං සේරම නරි”


ඔය වචනම නොවුණත් ඔය වගේ සද්දයක් දැම්ම.


ආයෙ මොන ජගතට කියන්නද...


මුළු වළම විතරක් නොවෙයි වළෙන් පිටතත්, හිල්ඩා ශාලාවෙත් එකම හූවකින් ගිගුම් දෙන්න පටංගත්තා.


ඊට පස්සෙ සක්කරය ආවත් හූව නවත්තනව බොරු.


නාට්‍ය නවත්තල අකුලං යනකල්ම හූව නැවතුණේ නෑ.


ඔන්න “අහමි ජීවිත” නාට්‍ය දර්ශනය අහිමි කොරගත්ත හැටි.


සේරම අවසන් වෙලා සාමකාමී වුණාමයි දැනගත්තෙ.

මුලින්ම කෑ ගහල තියෙන්නෙ හිල්ඩා ශාලාවෙ බැල්කනියට වෙලා නොමිලේ නාට්‍ය බලපු එකෙක්. මිනිහට උඩට ඇහෙන්නෙ නැති නිසයි “තව ටිකාක් හයියෙන් ‍කිව්ව නාං........” තියල සද්දෙ දාල තියෙන්නෙ.
ඒකටයි මෝඩයා කියල ප්‍රතිචාර දක්වල තියෙන්නෙ.


සාලමන් ෆොන්සේකා හිතල තියෙන්නෙ නාට්‍ය හොඳ නැති නිසා එතුමාට මෝඩය කිව්ව කියලයි.


ඒකයි තරහ ගිහිං වේදිකාවට ඇවිත් බනින්න පටංගෙන තියෙන්නෙ.


අන්තිමේට වුණේ සල්ලි වලට ටිකට් අරං නාට්‍යය බලන්න ආව අයට නාට්‍යය අහිමි වීමයි.


ඒකනෙ කියන්නෙ හූවක් නැතිව පේරාදෙනි වළේ නාට්‍යයක් පෙන්න ගන්න ලැබෙනව කියන්නෙ විශාල ජයග්‍රහණයක් කියල.







කෙටිකතා එක්ක කවි   කියවන්න. මෙතැනට යන්න 

Thursday, 2 June 2016

අසමජ්ජාතියෙකු දෙබරයකට ගල් ගැසීම



















හඳගම සුපුරුදු ලෙස සිංහල සිනමා දෙබරයට ගල් ගසා ඇත. ඒ ගල් පහර දරාගත නොහී විචාරකයන්ද, විචාරකයින් කියා ගන්නා අයද, බුද්ධිමතුන්ද, ප්‍රාමාණිකයන්ද නන් දොඩවන්නට පටන්ගෙන ඇත.

අයෙකුට අනුව  මේ  චිත්‍රපටය හොලිවුඩ් චිත්‍රපටයක කොපියකි. ඒ නම් අමුම අමු කෙප්පයකි. ඇස්, කන් විවර කොට  නරඹන කිසිවෙකුටත්  "Elegy"  හොලිවුඩ් චිත්‍රපටය හා "ඇගේ ඇස අග" අතර කිසිදු සමානකමක් නොපෙනෙනු ඇත.

තවත් අයෙකු පවසන්නේ චිත්‍රපටය නරඹද්දී තමන් නිරුවත් වූවා සේ දැනුණු බවය. නැතහොත් පපුවට වැදුණු පිහිපහරකින් තවමත් සිහිසුන්ව සිටින බවය. හඳගම ඔලුවටයි, පපුවටයි තඩිබෑමෙන් බෙහෙත් කොට සුව කළ නොහැකි තුවාලකාරයෙක් වූ බවය. තවත් කෙනෙකුට දැනී තිබුණේ තමන්ව උස්සා පොළොවේ ගැසූ සෙයකි.. නැතහොත් කන්නාඩිය ඉදිරිපිට සිටගෙන සිටින තමන්වම පෙනුණ බවය. සමහරු චිත්‍රපටයේ ෆැන්ටසිය තුළ ජීවත්වෙන අතර තවම ඇහැරී නැත.

අපේ රටේ විචාරක මෙන්ම වෙනත් අදහස් දැක්වීම්ද එසේය.

"මේ මගේ සඳයි", " තනි තටුවෙන් පියාඹන්න", "අක්ෂරය" පමණක් නොව "ඉනි අවන්" මගින්ද සිනමා බස හැසිරවීමේ කලාව ප්‍රගුණ කළ හඳගම  "ඇගේ ඇස අග" චිත්‍රපටයේදී ද එකී ගුණාංග රඳවා තබා ගැනීමට සමත්වීම සතුටට කරුණකි.

මම අශෝක හඳගමගේ චිත්‍රපට වලට බෙහෙවින් ඇලුම් කරන්නෙක් බව පැවසීමට මැලි නොවෙමි. "මේ මගේ සඳයි" චිත්‍රපටය නිර්මාණය කිරීමත් සමඟ  සිංහල සිනමාවේ තුන්වැනි විප්ලවකාරයා ලෙස සම්භාවනාවට පාත්‍ර වූ හඳගම "අක්ෂරය" චිත්‍රපටය මගින් සිංහල සිනමාවේ කඩයිමක් සනිටුහන් කළේය.

"අක්ෂරයේ"ම දිගුවක් ලෙස නිර්මාණය වී ඇති, නැතහොත් "අක්ෂරය" මතු කළ කතිකාව වෙනත් මානයකින් කරළියට ගෙන එන්නට වෙර දරන "ඇගේ ඇස අග" එකී නිර්මාණය මත තබා කියවන්නට උත්සහ දරමු.



අප ජීවත් වන්නේ වීදුරු ගෙවල් තුළ හෙළුවෙන් වෙසෙමින් ඒ බව පෙන්වන්නවුනට ඇතුළේ සිට ගල් ගසන සමාජයකය.

ප්‍රසිද්ධ මා‍ර්ගයක් අද්දර තම කාරය තුළ අඩ නිරුවත් ලිංගික චර්‍යාවක යෙදුණ ලංකාවේ අගවිනිසුරුවරයා, "අක්ෂරය" චිත්‍රපටයේ කෞතුකාගාර  මුරකරු, විනිශ්චයකාරියක  කටුගේ තුළදීම බිම පෙරළා ගෙන සංසර්ගයේ යෙදෙනු  දැකීමෙන් වියරු වැටෙන්නේ  එබැවිනි.

"අක්ෂරය" ආරම්භක ජවනිකාවලදී මවක් සිය පුත්‍රයා සමග නිරුවතින් නාන බේසමක සංවාදයේ යෙදී සිටින අයුරු පෙන්වීමෙන් සිංහල සිනමා දෙබරයට පත කළු ගලකින් පහර දුන් හඳගම, "ඇගේ ඇස අග" ආරම්භයේදීද වියපත් විශ්වවිද්‍යාල  මහාචාර්‍යවරයෙකුට  විදහා දක්වන ශිෂ්‍යාවකගේ නග්න සිරුර ප්‍රේක්ෂකයාට පෙන්වීමෙන් ලංකික සිනමා දෙබරයට ගල් කැටයකින් දමා ගසයි.

ඒ සමග තුෂ්නිම්භූත වන පිරිස නන්දොඩවන්නට පටන් ගන්නේය යනු  මගේ විශ්වාසයයි.

චිත්‍රපට ආරම්භක  ජවනිකාවේ මෙන්ම අවසන් ජවනිකාවේද වැසිබර මොහොතක රථයක වින්ඩ්ස්ක්‍රීනය හරහා ව‍යිපර්  බ්ලේඩ් අතරින් ලෝකය දකින්නට සලස්වන හඳගම, ඒ අතරතුර සමස්ත ධාවන කාලය පුරාම අපව සිනමා ශාලාවේ අසුන්මත ගල් කොට තබන්නට සමත් වෙයි.

මේ ලක්ෂණය හඳගමගේ වෙනත් චිත්‍රපට වලදීට වඩා ප්‍රේක්ෂකයා ඇඳබැඳ තබාගන්නා ලක්ෂණයකි. කාලය  හා අවකාශය පිළිබඳ සම්මත ව්‍යාකරණ පසෙක තබා සංස්කරණයේදී පිනුම් ඡේදන (Jump cut) භාවිතා කළ හඳගම ඉතා සුමට සංස්කරණ ලක්ෂ්‍යයන් තෝරා ගැනීමෙන් "ඇගේ ඇස අග" චිත්‍රපටයට ලබා දෙන්නේ වෙනස් සත්කාරයකි.

චිත්‍රපට ශාලාවට පැමිණ අසුන් ගන්නා ප්‍රේක්ෂකයාට දර්ශනය අවසාන වන තුරු විඩාවක් නොදැනෙන්නට, ෆැන්ටසියෙන් මිදෙන්නට ඉඩ නොදෙන තරම් හඳගමගේ සිනමාව ප්‍රබලය.

ඇඳේ පොරවන රෙද්දක සිදුරක් හරහා කැමරාව ගමන් කරවමින් පිටත ලෝකයට නිරාවරණය නොවූ රහස් ක්‍රියාවන් ගෙන හැර පෑම වැනි අවස්ථාවලදී හඳගමගේ නිර්මාණශීලීත්වය මොනවට කැපී පෙනේ.

කවදත් තිර පිටපතට මනා ලෙස සත්කාර  කරන (visual treatment), මා දනා පරිදි ස්ටෝරි බෝඩ්(story board) මගින් රූපරාමු නිශ්චය කරන අශෝක හඳගම සිද්ධි පුරුද්දන්නේ මුතු මාලයකට මුතුඇට අමුණනවා සේය.

එහෙත් අතරින් පතර හමු වන මෙන්ම චිත්‍රපටය පුරා වැටෙන දුර්වල හෙවනැලි කිහිපයක් නිසා මහාර්ඝ කෘතියක් (masterpiee) ලෙස නිමවෙන්නට පිඹුරුපත් සැකසූ චිත්‍රපටයට හානි සිදු වී ඇත.

මා දකින සුවිශේෂතා මෙන්ම නොගැලපීම් පෙන්වා දීමේ අරමුණ වන්නේ අප බෙහෙවින් ආදරය කරන සිනමාකරුවෙකුගෙන් හෙට දවසේ මහාර්ඝ කෘතියක් නිමවනු දැකීමේ අපේක්ෂාවය.  මගේ පෞද්ගලික විශ්වාසය වන්නේ ලාංකික සිනමාව තුළ අද දවසේ ඒ සඳහා ශක්‍යතාව ඇති එක්   අයෙකු වන්නේ හඳගම බවය. අනෙකා ප්‍රසන්න විතානගේය.

වයසින් මුහුකුරා ගිය, මහලු වයසේ යැයි පෙනුමින් අනුමාන කළ හැකි (මා එසේ පවසන්නේ මේ චරිතය රඟන නළුවාගෙන් ප්‍රකාශිත වයස අවුරුදු හැත්තෑපහක් වත් වන්නට ඇතැයි උපකල්පනය  කරමිනි) විශ්වවිද්‍යාල මහාචාරයවරයෙකු හා ප්‍රේමයෙන් බැඳෙන සරසවි ශිෂ්‍යාවකත්, ඒ හේතුවෙන් වික්ටෝරියානු සදාචාරයෙන් හික්මුණ පවුල් සංස්ථාව  තුළ නීතිමය බලය හිමි කසාද ගැහැනිය  මුහුණ දෙන ව්‍යාකූලත්වයත් ඉතා සූක්ෂමව  විදාරණය කරන්නට සමත් වන  හඳගම,  තමාගේම දියණිය මහාචාර්‍යවරයාගේ දියණිය   බවට පත්කොට ගනිමින් නව  යොවුන් තරුණියගේ  භූමිකාව මැනැවින් නිරූපනය කරයි.

මෙහිදී කිසියම් අවිශ්වසනීය බවක් පැන නගින්නේ ලංකාවේ විශ්වවිද්‍යාල කථිකාචාර්‍යවරයෙකු ලෙස සේවය කිරීමේ  උපරිම වයස්  සීමාව අවුරුදු හැටපහක් වීමේ තාක්ෂණික ගැටළුව නිසයි. සේවා දිගුවක් ලැබූවද  තවත් වසරක් දෙකක් රැඳී සිටින්නට  ඉඩ ලැබෙන  නමුදු මේ චරිතය සඳහා තෝරාගත් නළුවාගේ පෙනුම අනුව මේ අවුල  සාධාරණීකරණය වන්නේ නැත. ඉතා මැනැවින් සාත්වික අභිනයේ යෙදෙන "ප්‍රතිද්වන්ද්", "ජනශාතෲ", "15 පාර්ක් අවෙන්‍යු" වැනි බෙංගාල  චිත්‍රපට වල විශිෂ්ට රංගනයක  යෙදුණු ද්‍රිතිමන් චැටර්ජිගේ රංගනය පිළිබඳ සිහිපත්  කරමින් වුව සිද්ධි  දාමයේ මූලික හරයට මේ වයස්ගත පෙනුම නිසා  ඇතිවන සෘණාත්මක බලපෑම ගැන සඳහන් කිරීමට සිදු වේ.


කෙසේ වුවද ලාංකික සිනමාව  තුළ මේ  චරිතය රඟන්නට රංගනශිල්පියෙකු නොමැති වීමේ ඛේදවාචකය හමුවේ හඳගම  මේ විකල්පය කරා  යොමුවෙන්නට ඇතැයි තේරුම් ගනිමින් මේ නොගැලපිල්ලේ  එල්ලී සිටින්නට නොකැමැත්තෙමි.

"ඇගේ ඇස අග" චිත්‍රපටයේ මා වඩාත්ම ඇලුම් කරන රංගනයක යෙදෙන්නී සඳලීය. එවන් කුටුම්බයක් තුළ හුදෙකලා වන නව යොවුන් තරුණියගේ භූමිකාව සඳලී වටහා ගන්නා ආකාරයත්, එය ප්‍රතිනිර්මාණය කිරීමේ සූක්ෂමතාවත් අගය කළ යුතු වන්නේ වඩාත්ම මේ ඇයගේ ප්‍රථම සිනමා රංගනය වන බැවිනි.

ඇයට කැමරාව වගේ වගක් නැත. බොහෝ සෙයින් ඇයට රඟන්නට නියමිත වන්නේ බොහෝ කලක් ජීවත් වූ තමන් වෙසෙන නිවස තුළම වීම ඇගේ සැහැල්ලුව (relaxation) වර්ධනය වීමට හේතුවක් වන්නටද ඇත. 

සිය මවගේ ලෝකයෙන් දුරස්ව, තමන් සකසා ගත් නැතහොත් තෝරා ගත් ගර්භාෂයක් තුළ දවස ගෙවන මේ නව යොවුන් තරුණිය කතා කරන්නේ වචන කිහිපයක් වුවද, ඇගේ නිහඬතාව මුමුණන්නේ ඉහළ මධ්‍යම පාංතික පවුල් සංස්ථාවේ හරස්කඩක නිරන්තරයෙන් දෝංකාර දෙන ඛේදවාචකයයි.

තරුණ වියේ ආකර්ශනය සිහිපත් කොට දීම යන අරුතින් මෙන්ම සිය රංගන ජීවිතයේදී දැක්වූ අර්ථාන්විත ප්‍රතිභාව ගැන සළකා බැලීමේදී හෙළ සිනමාවේ මා අතිශයින් අගය කරන නිළිය වන ස්වර්ණාමල්ලවාරච්චි තෝරාගැනීම පිළිබඳ පුදුම නොවන නමුදු "ඇගේ ඇස අග" චිත්‍රපටයේ භූමිකාවට අවතීර්ණ වීමේදී මේ මහා රංගනවේදිනිය කිසියම් පසුබෑමකට ලක් වී ඇති සෙයක් පෙනේ.

මේ පිළිබඳ ෆේස්බුක් හි මා කළ කෙටි සඳහනකට ප්‍රති අදහසක් වූයේ ස්වර්ණා චරිතයට අවශ්‍ය පරිදි අවරංගනයක (underplay) යෙදුණු බවය. 

මෙහිදී මගේ තෙරුම් ගැනීම වන්නේ ඉතා සංකීර්ණ මනෝභාවයක් ප්‍රකට විය යුතු මහචාර්‍යවරයාගේ නීත්‍යනුකූල බිරිඳගේ චරිතයට ප්‍රවිශ්ට වීමේදී ස්වර්ණා කිසියම් පසුබෑමකට ලක් වී ඇති බවය. තමන්ගෙන් ගිලිහී යන, තමන්ගේ චුම්භක ක්ෂේත්‍රයෙන් විකර්ෂණය වන ස්වාමිපුරුෂයා තවදුරටත් සිය කුටුම්බය තුළ රඳවා ගැනීමේ අභියෝගාත්මක, දුෂ්කර අවස්ථාව  ජය ගැනීමේ චිත්‍යාභ්‍යන්තර සටනක යෙදෙන වයස් ගත කාන්තාවගේ චරිතය ස්වර්ණා වෙතින් විදාරණය නොවන බව කිව යුතුය.

සැමියා සමඟ ප්‍රේමයෙන් වෙළී සිටින තරුණිය සිය  පවුල රැකගැනීම සඳහා නිවසටම කැඳවා ගෙන එන්නට තරම් නිර්භීත වී ඇය සමග යහන්ගත වන්නැයි ඔහුට ආරාධන කරන, පුරුද්දට මෙන් බුදුන් වඳින එහෙත් තරුණ කාලේ එච්චර පන්සල් යන්න උනන්දු නොවන ලෙස සිය දියණියට අවවාද කරන, ප්‍රශ්නයට තමන්ම විසඳුම් සොයනවා සේ පෙනෙන ගැහැනියකගේ චරිත ස්වභාවය ඇය වටහා නොගැනීමේ වගකීමෙන් කොටසක් අධ්‍යක්ෂවරයාද බාර ගත යුතු බව මගේ විශ්වාසයයි.

වයස්ගත මහාචාර්‍යවරයා හා තරුණ සිසුවිය අතර පවතින සම්බන්ධයට හේතු ප්‍රත්‍ය කවරේදැයි අපට නොකියන හඳගම එය ප්‍රේක්ෂකයාගේ නැණ පමණින් වටහා ගන්නට ඉඩ හරී. එය අපූර්ව උපක්‍රමයක් වන්නේ මෙවැන් සබැඳියාවන් ඇති වීමට බලපාන නිශ්චිත හේතු කිසිවෙකුට තේරුම් ගැනීමට නොහැකි, තේරුම් ගැනීමට අවශ්‍යද  නොවන, ඒ ඒ පුද්ගලයාට හා ඔවුන්ගේ ජීවන රිද්මය සමඟ අත්‍යන්තයෙන් බැඳී පවත්නා බැවිනි.

සරසවි ශිෂ්‍යාවගේ චරිත නිරූපණයට තෝරාගෙන ඇති රිතිකා කොඩිතුවක්කු හැඟීම් ප්‍රකාශනයේදීත්, සැහැල්ලු එහෙත් අධිෂ්ඨානශීලී චරිත ස්වභාවයට අවතීර්ණ වීමේදීත් ප්‍රකට කරන්නේ මනා සංයමයකි. 

මහාචාර්‍යවරයාගේ  විශ්වවිද්‍යාල නිළකාමරයට පැමිණෙන අවස්ථාව, බිරිඳ ඇගේ අනාගත සිරුරට අපහාස කරන අවස්ථාව, පවුලේ දියණිය සමග රණඩු සරුවල් කරන ආස්ථාව ආදී බොහෝ දර්ශන වලදී ඇය සිනමාව සිය ග්‍රහණයට ගන්නී, ඉතා පළපුරුදු රංගන ශිල්පිනියක සේය.

එහෙත් ගැමි සරසවි ශිෂ්‍යාවකට අනුරූප වන රංගනයක් මෙන්ම වචන උච්ඡාරණයක්ද රිතිකා වෙතින් පිළිබිඹු නොවන්නේ සහජයෙන් හෝ භාවිතයෙන්  හුරු පුරුදු වී ඇති රිද්මයෙන් වියුක්ත වීමේ දුෂ්කරබව නිසාම යැයි හඟිමි. 

රිතිකා මේ චරිතයට මනාව ගැලපෙන්නියක හෙයින් මා යෝජනා කරන්නේ මේ සරසවි ශිෂ්‍යාව අන්ත ග්‍රාමීය පසුබිමකට ඇද නොදමන්නට තිබුණ බවය. ගමේදී සිය ගණනකට දානය උයා ඇති බව වැනි දෙබස් පැවසීමෙන් අධ්‍යක්ෂවරයා බලාපොරොත්තු වූයේ මේ සරසවි තරුණියගේ සමාජ ස්ථරය ගැන කියා පෑමට නම් එයම පරාවළල්ලක් බවට පත් වී ඇති බවය.

මහාචාර්‍යවරයා නිරන්තරයෙන් ඉංග්‍රීසි බස උසුරුවීම අප ප්‍රශ්න කරන්නේ නැත.  මීට ප්‍රධාන හේතුව ප්‍රධාන නළුවාට සිංහල උච්ඡාරණය නොහැකි වීම බව අප දන්නා නමුත් හඳගම එකී චරිතය ස්ථානගත කොට ඇත්තේ ඊට ගැලපෙන සමාජ පරිසරයකය. මහාචාර්‍ය බිරිඳ සිංහල-ඉංග්‍රීසි දෙබසින්ම කතා කිරීම සිය සැමියා හා එක පෙළට සිට ගැනීමට නොහැකි වීමෙන් ඈ පෙළන මානසික ව්‍යාධියක් විය හැකිය. ඇරත් මේ සමාජ ස්ථරයේ භාෂා විලාශය එසේය.

එවන් තතු යටතේ ජාත්‍යන්තර  පාසලක ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලබන දියණිය සිය පියා ඉංග්‍රීසියෙන් කතා කරන අවස්ථාවලදී පවා සිංහලෙන් පිළිතුරු දීම අප තේරුම් ගත යුත්තේ කෙසේද...?

අමෙරිකාවේ උසස් අධ්‍යාපනය හැදෑරූ සඳලීගේ ඉංග්‍රීසි උච්ඡාරණය ඉතා ඉහළ මට්ටමක ඇති බවට සැකයක් නැත. ඉන්දීය නළුවාට සිංහල උච්ඡාරණය අපහසු වන්නා සේ ලංකාවේ වෙනත් බොහෝ නිළියන්ට මෙන් සඳලීට ඉංග්‍රීසි බස හැසිරවීමේ අවුලක්  නොමැති තත්ත්වයක් යටතේ මේ චරිතය ඉඳහිට හෝ ඉංග්‍රීසියෙන් කතා කළා නම් වඩාත් සුදුසුය.


මා එසේ කියන්නේ අශෝක හඳගම සිංහල භාෂිත සිනමාවෙන් මිදී සිටින බැවිනි. ලාංකික සිනමාව ලෙස ලේබල් ගසන බොහෝ චිත්‍රපට සිංහල භාෂිත වෙද්දී  "ඇගේ ඇස අග" සිංහල උප සිරැසි හෝ නොමැතිව තිරගත වන්නේ එහෙයිනි.

"ඇගේ ඇස අග" චිත්‍රපටයේ ජවනිකා දෙකක් හිංදි සිනමාවේ ලක්ෂණ ප්‍රකට කරන්නේ යැයි පවසන විට බොහෝ දෙනෙකු මා හා උරණ වන බව මම දනිමි. එහෙත් මේ පිළිබඳ  චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා නැවත සිතා  බලන්නේ නම් මට ඒ ප්‍රමාණවත්ය.

දියණිය කාරය තුළදී බහින් බස් වී සිය පියාගෙන් කම්මුල් පහරක් වැදීමෙන් කෝපයට පත්ව වාහනයෙන් බැස දිව යන දර්ශනය සංස්කරණය වී ඇත්තේ හිංදි සිනමාවේ සුලබ දර්ශනයක ආකාරයෙනි.

මූලිකවම මේ ජවනිකාව දිගු වැඩිය. වාහන අතරින් දිව ගොස් රේල්පාරට සමාන්තරව මහ මග දිගේ තරුණියන් දෙදෙනා දිව යන දර්ශනය තවත්  කෙටි වූවා නම් යැයිද, රේල්පාර තිබුණේ මීට වඩා ආසන්නයේ වූවා නම් වඩාත් සුදුසු බවද කියන්නට සිදුවන්නේ බැරි බැරි ගාතේ ඔවුන් පසුපස ලුහු බඳින මහාචාර්‍යවරයා, තරුණිය විසින් දියණිය දුම්රිය අනතුරෙන් මුදවා ගනු ලබද්දීම එතැනට සැපත් වන්නේ හිංදි චිත්‍රපට වල ආකාරයට  බැවිනි. එසේ නොමැතිව කාලය හා අවකාශය  මෙන්ම තරුණියන් දෙදෙනාගේ දිවීමේ වේගය ගැන සළකා බැලීමේදී  ඔහු ඒ ආසන්නයට ඒමට වත් ඉඩක් නැත.

එහෙත් එකී දිව යාමේ දර්ශන රූ ගත කොට ඇති ප්‍රශස්ත ආකාරය පිළිබඳ කැමරා ශිල්පී චන්න දේශප්‍රිය ඇගයීමට ලක් කළ යුතුය. සමස්තයක් ලෙස චිත්‍රපටය   පුරාම
චන්නගේ නිපුනතාව  මොනවට පැහැදිලි වන බව කිව යුතුය.

මහාචාර්‍යවරයාගේ  පවුල් කුටුම්බයේ දෙදරා යාම මෙන්ම බිරිඳ හැරපියා ළාබාල තරුණියකට ආකර්ෂණය වීම කෙළවර මේ චරිත හතරම පන්සල් බිමට ගෙන ගොස් ආගමික සංස්ථාවේ  පවුරු පදනම් පුපුරුවා හරින්නට හඳගම ගන්නා දැනුම්වත් උත්සහය ලාංකික සිනමාවේ රැඩිකල් ප්‍රවේශයකි. 

එවන් 'අසමජ්ජාති' ප්‍රවේශයකට එළැඹීමට අවශ්‍ය ශක්තිය මෙන්ම පන්නරය ඇත්තේද හඳගමටමය.

එහිදී ඔවුන් එකිනෙකාට සම්මුඛ වන්නාසේම, ඔවුන්ගේ පවුලට සම්මුඛ වන දේශපාලකයාගේ විවාහක බිරිඳගේ ක්‍රියාකලාපය නිසා ඇතිවන්නා වූ ජංජාලය දනවන්නේ ඉමහත් උත්ප්‍රාසයකි. සිය ස්වාමිපුරුෂයා හා ඇසුරක් පවත්වාගෙන යන ගැහැනියක සුදුවතින් සැරසී පන්සල් භූමියේ සිටිනු දකින දේශපාලකයාගේ  බිරිඳ යකඩ පහන් වැටක් ඔසවාගෙන පහර දීමට දිව යන දර්ශනය එහි කූටප්‍රාප්තියයි.

එහෙත් ඉන් අනතුරුව සෙනඟ පොදි කෑමද, 'මහාචාර්‍ය වීරයා' ඒ අතරින් ඇවිද ගොස් වෙනත් පැත්තක වැටී සිටි තම ප්‍රේමවන්තිය නිරුපද්‍රිතව කැඳවාගෙන ඒමද, දේශපාලක ඇම්බැට්ටයින් අහසට වෙඩි තැබීමද ඇතුළත් ජවනිකාවද මට යළි සිහිපත් කරන්නේ හිංදි චිත්‍රපටයක අවසානයමයි.

"ඇගේ ඇස අග" වැනි විවාදාත්මක තේමාවක චිත්‍රපටයක් නිපදවමින් ලාංකික සිනමා දෙබරයට ගල් ගසන, ඒ ගල් කැබලි  වැදී ප්‍රේක්ෂකයා මෙන්ම විචාරකයාද තුවාල කරන්නට සමත් අශෝක හඳගම වැනි රැඩිකල් මෙන්ම දේශපාලනික සවිඥානික අධ්‍යක්ෂවරයෙකු චිත්‍රපටයේ අවසානය ගැන මෙන්ම සුළුවෙන් තැකිය හැකි යැයි කෙනෙකු පවසන්නට ඉඩ ඇති අඩුලුහුඬුකම් ගැනද මීට වඩා සැළකිලිමත් විය යුතුමය.


ඒ මීට ඉහතින්ද අප දක්වා ඇති පරිදි ලාංකික සිනමාවට මහාර්ඝ කෘතියක් එක් කිරීමේ ඉහළම හැකියාව ඇත්තේ හඳගමට බැවිනි.
අශෝක හඳගම





කෙටිකතා එක්ක කවි   කියවන්න. මෙතැනට යන්න