Powered By Blogger

Tuesday 23 June 2015

කවුද අප්පා දැනන් උන්නේ ජනාධිපති වෙයි කියලා......

වුරුදු කීපයකට කලින්, හරියටම කිව්වොත් අවුරුදු හතරකට මෙහා පැත්තෙ මම රස්සාව කරමින් උන්නෙ පුළතිසිපුර.

ඒ කියන්නෙ පොළොන්නරුවෙ. 


පොළොන්නරුව-සෝමාවතී මාර්ගය සංවර්ධනය කරන්නට කැබිනට් එක ගත්තු තීරණය මත මේ ව්‍යාපෘතිය බාර වුණේ පෞද්ගලික ඉංජිනේරු ඉදිකිරීම් සමාගමකට.

සදාචාරාත්මක  හේතු මත සමාගමේ නම මෙතැන සටහන් කරන්නෙ නැති වුණාට දන්නෝ දනිති.

මම ඒ දවස් වල ස්ථිර රැකියාවක් නැතිවයි උන්නෙ. සන්නිවේදනයට හා ප්‍රචාරාත්මක කටයුතු වලට සම්බන්ධ Free Lance වැඩ කර ගෙන ෂේප් එකේ එදා වේල හම්බකරගෙන උන්නෙ.


පුතත් මැලේසියාවෙ උපාධිය හදාරමින් උන්න නිසා ඔය එදා වේල සරල වුණේ නැහැ. එයාටම මාසෙකට ලංකාවෙ සල්ලි වලින් 75000 ක් විතර යවන්න සිද්ධ වෙලා තිබුණ.


ඔය අව්අස්සෙ තමයි මම නමින් සඳහන් නොකරන පෞද්ගලික ඉංජිනේරු ඉදිකිරීම් සමාගම අයිති අපේ ගම් පළාතෙම උපන් මිත්‍රයගෙ සහෝදරය අමෙරිකාවෙ ඉඳන් කෙටි නිවාඩුවකට ලංකාවට ආවෙ.


මේ සහෝදරය මගේ බඩ බැඳගත්තු යාළුවෙක්.


පහේ පංතියෙදි ගෑනු ළමේක්ට ලියුමක් දීල තාත්තට අහු වුණාට පස්සෙ ප්‍රාථමික අධ්‍යාපනය ලබපු පාසලෙන් අයින් කරගෙන මාව නාත්තන්ඩිය ධම්මිස්සර මහා විද්‍යාලෙට (දැන් නම් මධ්‍ය මහා විද්‍යාලය) 
දැම්ම  කාලෙ පටන්ම මේ මිත්‍රය මගේ පංතියෙ ඉගෙන ගත්ත විතරක් නොවෙයි විශ්වවිද්‍යාලෙට ගියෙත් එකටමයි.

මිත්‍රයව මම ගාමා කියල හඳුන්වන්නම් පහසුවටත් එක්ක.


"නොනිමි ගමන" (Endless Journey) නමින් කෙටි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරල ඒක අන්තර්ජාතික කෙටි චිත්‍රපට උළෙලකට තේරිලා මම අමෙරිකාවෙ හොලිවුඩ් වල කරක් ගැහුවට පස්සෙ තමන් අතින් ටිකට් අරගෙන දවස් ගානක් ගෙදර නවත්තගෙන මාව සැන් ෆ්‍රැන්සිස්කෝ පැත්තෙ සංචාරයකට එක්කං ගියෙත් මේ ගාමාම තමයි. 


ඔන්න ගාමා නිවාඩුවකට ලංකාවට ඇවිත් සුපුරුදු විදිහට මට දුරකතන ඇමතුමක් දුන්න දුකසැප අහන්න. 

මොන සැපක්ද... දුකම තමයි කියල මං කිව්ව.


මෙන්න බොලේ එයා මට ආරාධනාවක් කළා.


"අපේ මල්ලිගෙ කොම්පැණියට තමයි පොළොන්නරුව-සෝමාවතී මාර්ගය සංවර්ධනය කිරීමේ කොන්ත්‍රාත්තුව ලැබිල තියෙන්නෙ. මමත් ඒ කොම්පැණියෙ අධ්‍යක්ෂවරයෙක්." ගාමා කිව්ව.


ආරාධනාව තමයි මේ ව්‍යාපෘතියෙ කළමනාකාර තනතුර බාර ගැනීම.

මට හීන් දාඩිය දැම්ම. මම ඉගෙන ගත්තෙ නිෂ්පාදන ඉංජිනේරු විද්‍යාව. ලංකාවට ගැලපෙන්නෙ නැතිව වගේ වුණත් ඒක සම්පාත වෙන්නෙ යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාවට.

පාරවල් හදනව කියන්නෙ සිවිල් ඉංජිනේරු විෂයයක්. ඉතිං කොහොමද මේ තනතුර බාර ගන්නෙ.

මම මිත්‍රයට ඒ බව අවංකවම කිව්ව. "අයියෝ හෙන්රි.....ඕකත් කජ්ජක්ද....
මේ අට පාස් නැති කොම්පැණි අයිතිකාරයො ඔයිට වඩා ප්‍රොජෙක්ට් ලස්සනට කරන්නෙ. ඔයාට මේක කජ්ජක් නොවෙයි. ඔයාට මේ වැඩේ අගේට කරන්න පුළුවනි". ඔන්න ගාමා දුන්න උත්තරේ.

කිව්ව විදිහටම මේ විශාල අභියෝගයක් බව මට දැනුණ.


ලොකුම අභියෝගය වුණේ ගාමා අන්තිමට කිව්ව කතාවයි.


"මේ වැඩේට හොයා ගන්න අය ඕනෙ තරං ඉන්නව. ඒත් මේ වෙලාවෙ වඩා වැදගත් විශ්වාසවන්තකම. අපිට මේ වැඩේ ගොඩදාල දෙන්න."


වැඩේ ගොඩදාල දෙන්න කිව්ව කතාවෙ තේරුම මට ‍වැටහුණේ රස්සාවට ගිය මුල්ම දවසෙ.


ඒ වෙනකොටත් ව්‍යාපෘතිය වෙනුවෙන් මිලියන ගාණක් එහාට මෙහාට හුවමාරු වෙලා තිබුණ.කොහාටද කියල නං අහන්න එපා. ඒව නොකියන කතා.

හැබැයි මා ලියන්න යන්නෙ වර්තමාන ජනාධිපතිවරයාට සම්බන්ධ කාරණා නිසා සාධාරණයක් ඉටු වෙන්න මේ ගනුදෙනුවට එතුම ගෑවිලා නොසිටි බව කියන්න ඕනෙ. 

ඉතිං වැඩ පටන් ගන්න කලින්ම මිලියන ගාණක් බහිරවය ගිල්ල එකේ ව්‍යාපෘතියෙන් පාඩු නොවිඳින්න නම් ඉතාම අරපරෙස්සමින් මුදල් වියදම් කරන්න වගේම නාස්තිය, හොරකම් අවම කරන්නත් මගේ වගකීම වුණා.


කොහොමත් මුදල් ගනුදෙනු වලදි මං හරිම විවෘත වගේම කාටවත් පොලු තියන්නෙ නැති බව ඉතිහාසය සාක්ෂි දැරීම බොහෝ විට මා පිළිගැනීමට ලක් වෙන්න හේතුවක් වුණ අවස්ථා බොහොමයි.


එකක් තමයි විශ්වවිද්‍යාලයෙ අවසාන වසරෙදි රහස් පොලිස් අත්අඩංගුවට පත් වුණ වෙලාවෙදි සල්ලි එකතු කරල මුදල් ඇප බැන්ද සරසවි සගයන්ට රස්සාවක් ලැබුණ ගමන් ඒ මුදල් පියවීම.


ගාමාත් ඇප මුදල තැන්පත් කරල මාව රිමාන්ඩ් බන්ධනාගාරයෙන් නිදහස් කරගන්න මගේ මිත්‍රයන් සම්මාදම් කරද්දි ලොකු දායකත්වයක් කරල තිබුණ. ඒ කාලෙත් ගාමා අතේ මුදල් ගැවසුණා. අපේ ගම් පළාතෙ යමක් කමක් තියෙන උදවිය නිසා.


මුදල් සම්බන්ධව ලැබුණ තවත් රෙකමදාරුවක් තමයි වෙළඳ ප්‍රචාරණ මෙන්ම මුද්‍රණ හා ප්‍රකාශන ක්ෂේත්‍රයෙත් ජය කෙහෙලි නැංවූ ප්‍රේම් දිසානායක වරක් පැවසූ දේ.


90 දශකයෙ අග භාගයෙ මම "කලාත්මක ප්‍රකාශන" නමින් පොත් ප්‍රකාශන වැඩක් බොහොම සීරුවට කරගෙන ගියා.


මගේ පොත් වලට අමතරව හඳගමගෙ "අම්මා සහ සඳ එළිය", කාලිංගගෙ "70 දශකයේ ප්‍රේමය", විජිතගේ "පිප්පි" පරිවර්තන ත්‍රිත්වය එහෙම "කලාත්මක ප්‍රකාශන" ලෙසින් එළි දුටුවා.


මේ පොත් ණයට මුද්‍රණය කළේ ප්‍රේම්. මම ගණං හිලවු  තිතට වෙලාවට බේරුව නිසා ප්‍රේම් කිව්වෙ සල්ලි පස්සෙ බලා ගමු. අවශ්‍ය වැඩ කර ගන්න කියල.


කොහොමින් හරි එක වතාවක් නියමිත පරිදි මුදල් පියවන්න මට අමාරු නිසා ප්‍රේම් මුණ ගැහෙන්න ගියා.


"අයියෝ හෙන්රි තියෙන වෙලාවක දෙන්න. මට සිනමාකාරයො, නිෂ්පාදකවරු, ලේඛකයො, වැඩියෙන්ම පෝස්ටර් ගහගත්ත දේශපාලකයො පොලු තියල තියෙන විදිහට ඕක සුළු ගාණක්." ප්‍රේම් නම් වැළක් කියාගෙන ගියා.


අදටත් මගෙ පොත් ප්‍රකාශයට පත් කරන "සුරස" අධිපති ප්‍රේම් ළඟට විචිකිච්චාවක් නැතිව යන්න පුළුවන් මම හරියට ගනුදෙනු  බේරුව  නිසා.


ඉතිං ගාමාත් හිතන්න ඇත්තෙ මාටිය නොගහ මම අවංකව ව්‍යාපෘතිය ගොඩදායි කියලයි.


ඔන්න පොළොන්නරුවෙ නැවතිලා Senior Project Manager විදිහට වැඩ බාරගත්ත කියමුකෝ.....


ඔන්න දැං තමයි ගේම පටන් ගත්තෙ. 


පොළොන්නරුව අයිතිකාරය වුණේ මෛත්‍රිපාල සිරිසේන. එතන තිබුණෙ කොතැනත් වගේ බල අරගලයක්. 

නියෝජ්‍ය ඇමති සිරිපාල ගම්ලත්ට සිරිසේන ඔළුව උස්සන්නම දුන්නෙ නැහැ. දේශපාලන වශයෙන්.

ව්‍යාපාරික පැත්තෙන් නං ගම්ලත් පෙරමුණේ හිටිය. සිරිසේනගෙ සහෝදරයන්ගෙ "අරලිය" සහල් වලට වඩා බොහොම ඉහළින් ගම්ලත්ගෙ "නිපුන" සහල් ව්‍යාපාරය නැගල ගියා.

පාර හදන්න පටන් ගන්න කලින් ලොකු රාජ්‍ය උත්සවයක් සංවිධානය වුණා. ව්‍යාපෘතිය දියත් කිරීමේ උළෙල.

හොඳ හොඳ ජංජාල එතැනදි සිද්ධ වුණා. මම මුල් වතාවටයි දේශපාලකයො සහ දේශපාලන අරමුණුත් එක්ක ගැටෙන රැකියාවක් කරන්න ගත්තෙ.

මුලින්ම දැවැන්ත Cut out ප්‍රශ්නයක්. 

කොළඹින් සැළසුම් කරපු දැවැන්ත Cut out ගණනාවක් මහපාර දිගේ තැනින් තැන සවි කරන්න අරන් ආවෙ දවස් දෙකකට කලින් මහ රෑ. මාර්ග සංවර්ධන අධිකාරියෙන් එව්වට ඒවයෙ බරපැන කොම්පැනියෙන් තමයි.

මේ   Cut out වැඩි හරියක් ගැහුවෙ අපි සංවර්ධනය කරන්න පටන් ගත්තු පොළොන්නරුව-සෝමාවතී මාර්ගයෙ නොවෙයි. පුළතිසිපුරයේ තැනින් තැන. 

Cut out  වල ලොකුවටම තිබුණෙ මහින්දගෙ මූණත් තහඩුව. සිරිසේන, ගම්ලත්, නිර්මල ඇමතිවරුන්ගෙ විතරක් නොවෙයි නාමල්ගෙ මූණත් තහඩුත් එකම ප්‍රමාණයෙන් යටින් අලෝල තිබුණ. මුද්දර අලවන්නා වගේ.

පහුවදා උදේ මහා ජංජාලයක්. සිරිසේන ඇමතිවරයගෙ සම්බන්ධීකරණ ලේකම් මට කතා කළා. ලොක්කට මළ පැනල කිව්ව. වහාම Cut out ගලවන්න... අද රෑට අලුත් ඒව සවිකරන්න වෙනව කිව්ව.

පරණ Cut out  බිමට පාත් වුණා. අලුතින් සවි කළ Cut out වල මහින්ද ගෙ ලොකු ෆොටෝ එක ළඟින් සිරිසේනගෙත් ලොකු ෆොටෝ එකක් තිබුණ. මුද්දර වල අනෙක් මූණු තිබුණ.

බිමට බාපු ඒවයෙ සල්ලි අපරදෙ. 
නැතත් අපරාදෙ තමයි. එකකට රු.75000 ක් නෙ.

ඔන්න උත්සව දවසත් උදා වුණා.
උත්සවය සංවිධානය කරන්නෙ කොම්පනියෙන් නිසා වැඩසටහන් විස්තරය හා කතා අනුපිළිවෙළ කොළඹින් එවල තිබුණ.

උත්සවේට ආව ඇමති සිරිසේන වැඩසටහන් විස්තරේ ඉල්ලුව. එතුමාගෙ පෑන් පහරින් කථික ලැයිස්තුවෙ තිබුණ සිරිපාල ගම්ලත්ගෙ නම කැපිල ගොහිං තිබුණ.

ඒ මදිවට උත්සවය අවසානයේ පැවති නොනිළ සාදය හා දිවා ආහාර වේල තමන්ගෙ හෝටලයෙ නොගත්තොත් ඇමතිතුමාව සහභාගි කරගන්නට නොලැබෙයි කියල තවත් සහෝදරයෙක් මට කතා කරල කිව්ව.

යුද්දෙ පටන් ගත්තෙ ඊට පස්සෙ. පොළොන්නරුව පැත්ත පළාතෙ ගල්, වැලි, බොරළු ආධිපත්‍යය ඇමති සහෝදරයන්ටයි හිමි වෙලා තිබුණෙ.

විශේෂයෙන් කොහේ හරි බොරළු නිධියක් ඇත්නම් ඒක මිලදී ගන්න ලේසි වුණේ නැහැ. බල ආධිපත්‍යය ඉදිරියේ ඉඩම්ලභීන් පවා පස්සට ගියා.

අද රටේ ප්‍රධාන පුරවැසියා වන එදා ඇමතිවරයා සහෝදර සමාගමේ මගඩිවලට සම්බන්ධ නොවූ බවට නම් කිසිදු සැකයක් නැහැ. 

ඒ දවස්වල කොම්පැනියේ අයිතිකරු පඬුරුපාක්කුඩම් රැගෙන සුහද හමුවීම් වලට පොළොන්නරුවේ නිවසට ආ ගිය වෙලාවලදී දේශපාලකයන් සමඟ කවදත් බජනයට අකැමති මා පිටතට වී සිටියේ මතු දිනෙක එතුමා රාජ්‍ය නායකයා වනු ඇති බව සිහිනයෙන්වත් නොසිතූ නිසයි.



කවුද අප්පා දැනන් උන්නේ ජනාධිපති වෙයි කියලා.






Friday 12 June 2015

මැලේසියාවේදි සෙට් එක බේරන් ආ වගයි


ලාත් මැලේසියාවෙ සයිබර්ජයා හි විශ්වවිද්‍යාලයක ත්‍රිමාන සජීවීකරණය හා දෘෂ්‍ය ප්‍රයෝග පිළිබඳ විශේෂ උපාධියක් හදාරන්න යවන්න හිත හදාගත්තෙ අමාරුවෙන්.

අමාරුවෙන් හිත හදාගත්ත කියන්නෙ හේතු දෙකක් මත.

ඒ වන විටත් ඔහුගෙ වයස අවුරුදු 19 යි. ඒත් පියෙකුට අවුරුදු 19 ක පුතෙක් දැනෙන්නෙ පොඩි ළමයෙක් විදිහට.

අනෙක් කාරණේ එයා මගේ ජීවිතය බවට පත් වී තිබීම. තවමත් ඒ හැඟීමෙ වෙනසක් නැහැ.

ලංකාවෙ අධ්‍යාපන ක්‍රමය තුළ ඔහුගේ සහජ දක්ෂතා මෙන්ම හැකියාවන් ක්‍රමවත්ව අධ්‍යාපනික ශික්ෂණයකට අනුගත කරගන්න ඉඩක් නැති බව අපි කල් ඇතිවම තේරුම් ගත්ත.

ලංකාවෙ විශ්වවිද්‍යාල කිහිපයක ඉගෙන ගැනීමෙන් පමණක් නොව සේවය කිරීමෙන්ද පවතින ගිරාපෝතක, ඇටුවම් බැසූ අධ්‍යාපන රටාව ගැන මම හොඳින් තේරුම් අරගෙනයි හිටියෙ.

ඒ නිසාම සාමාන්‍ය පෙළ විභාගය අවසානයේ පාසල් අධ්‍යාපනය හමාර කරන්න කලාත් එකඟ වුණා. විදෙස්  විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න අවශ්‍ය සුදුසුකම වන Foundation Course එක කිරීම සඳහා.

නමුත් උසස් පෙළ නොකළොත් සමාජ පිළිගැනීමක් නැති වෙන බවටත්, යම් දිනෙක ලංකාවේ රැකියාවක් කරන විට වැඩිම අධ්‍යාපන සුදුසුකම ලෙස උසස් පෙළ අවශ්‍ය වේය යන භීතිකාවත් හේතුවෙන් තෝරාගත් විෂයයන් පෞද්ගලිකව හදාරා ඔහු උසස් පෙළ විභාගයට පෞද්ගලික අපේක්ෂකයෙකු ලෙස පෙනී සිටියා. 

ඒක සම්මත රටාව එක්ක බැලුවම රැඩිකල් තීරණයක්. උසස් පෙළ සඳහා පාසල් යන්නෙ නැතිව ඉදිරියට යාමක් ගැන හිතන්න වැඩි දෙනෙක් බය වුණ කාලෙක තමයි මේ තීරණයට එළැඹුණේ.

දැන් නම් ඉතිං සාමාන්‍ය පෙළ ලියල උසස් පෙළ අතහැරල Fondation Course එකකින් පස්සෙ විදෙස් උපාධියක් හැදෑරීම ගැන විචිකිච්චාව අඩුයිනෙ.

ඒත් මම කලාත්ගෙ දක්ෂතාවත්, කැපවීමත් ගැන විශ්වාසය ලංසුවට තියන්න තීරණය කළා.

මගේ චිත්‍රපට පිස්සුව ඔහුටත් වැළඳී තිබීම මා ඊට ධෛර්යමත් කළා. වෙන දෙමාපියන් දරුවන්ට බාළ වියේදී චිත්‍රපට නැරඹීමටත්, පරිගනක ක්‍රීඩා කිරීමටත් තහනම් නියෝග පනවද්දි මා එසේ නොකිරීමෙන් මේ ක්ෂේත්‍රය පිළිබඳ තමන්ගේ පිස්සුව වැඩි වූ බව පසු කලෙක ඔහු සඳහන් කළේ ගෞරවයක් විලසින්.

අද ඔහු තමන් ප්‍රගුණ කළ විෂයය ක්ෂේත්‍රයේ සුවිශේෂ දස්කම් දක්වද්දි මට ඇති වෙන සතුට, අභිමානය මෙන්ම ආත්ම තෘප්තිය ගැන ලියන්න වචන මදි.

ඔහු මැලේසියාවෙ විශ්වවිද්‍යාල නේවාසිකාගාරයේ නතර කොට මා ආපසු පැමිණියේ දින කිහිපයක් එකට ගත කිරීමෙන් පසුවයි.

ඒ වෙන්වීමේ මොහොත වැනි මගේ ජීවිතයේ වෙන්වීම පිළිබඳ කම්පනයක් ඇති වූ අවස්ථාවක් ඇත්තේම නැහැ.

ඒ දවස් කිහිපයේදී ඔහුට රටතොට හුරුකරමින් සංචාරයේ යෙදෙන්න මටත් අවකාශ උදා වුණා.

ඔහු සිටි නේවාසිකාගාර නිවාසය තුන් දෙනෙකුට වෙන් වුණා. අනෙක් දෙදෙනා වුණේ යේමන් ජාතික තරුණයෙක්, සහ නයිජීරියානුවෙක්.

දවස් 10 පමණ මේ නිවාසයේ ආලින්දයේ පුටු සැටිය වාස භවනය කොට ගැනීම ගැන ඔවුන් එරෙහි නොවීම මට පහසුවක් වුණා.

හැබැයි මේ යේමන් තරුණයා කෙටි කලක් ඇතුළත වෙනත් කාමරයක් සොයා ගෙන නික්ම ගියා.

මුසල්මානුවෙකු වන මේ යේමන් තරුණයා දැඩි ආගම්වාදියෙක්. දවසට කිහිප වතාවක් බිම පෙරළී ආගම යදින්නෙක්.

අතර මගකදී ගැහැනු ළමයෙකු මුහුණට මුහුණ හමුවුවොත් වහාම බිම බලා ගන්නට ඔහු පෙළඹෙන බව කලාත් මා සමග පැවසුවේ සදය උපහාසයෙන්.

ඒකට හේතුව සිතේ පව් පිරෙන්නට ඉඩ නොතැබීමලු.

අපේ සමාජයේ අත්දැකීම නම් ගැහැනු ළමයා බිම බලා ගැනීමයි නොවැ.

වරක් මේ තරුණයා විමසා තිබෙනවා කලාත් අදහන ආගම කුමක්දැයි කියා. තමන් ආගමක් අදහන්නේ නැති බවත්, කිසිදා අදහා නොමැති බවත් පැවසූ විට යේමන් තරුණයා පුතා දෙස බලා ඇත්තේ භයානක සතෙකු දෙස බලන ලීලාවෙන්.


පුංචි සන්දියේ පාසලේදී ළමුන් යක්කු ගැන කතා කියද්දී කලාත් විමසනවාලු යක්කු කියන්නේ මොක්කුද කියා.

බාළ වියේ සිටම යක්කු සහ දේවදූතයන් ගැනත්, අපාය හා ස්වර්ගය ගැනත් සංකල්ප පට්ට පල් බොරු බව මම ඔහුට කියා දී තිබුණා.

ඒ නිසා ඔහුට කවරදාකවත් යක්කුන්ට බයවෙන්න හේතුවක් තිබුණේ නැහැ.

අපේ මහගෙදරට පිටුපසින් අපේ වත්ත යා වෙන්නේ කනත්තකට බැවින් අපට යක්කු ඉන්නවා නම් දකින්නට හොඳට අවකාශ තිබුණා.

ඒ කනත්ත පැත්තේ එක යකෙක් වත් හිටියෙ නැහැනේ.

දැන් කියන්න ආ නොකී කතාවට බහිමු.

මා නිරන්තරයෙන් මැලේසියාවට ආව ගියා. හරියට නුවර කොළඹ යන්නා වගේ. ගුවන් ගමනට වෙලාවත් පැය පහක් විතරනෙ.


Air Asia නමින් වූ අඩු මිල ගුවන් සේවයක් දිනපතා මැලේසියාව බලා පිටත් වීම හරිම පහසුවක් වුණා. විශේෂ දීමනා කාලෙට ටිකට්පත් මිලදී ගත්තම ගමන් වාර දෙකටම ගෙවන්න වුණේ රු. 10,000 ටත් වඩා අඩු මුදලක්.

කලාත් දකින්න ගිය වාර වලදී අපි ක්වාලාලම්පුර් වලට අමතරව Batu Caves, Malakka, පුත්‍රජයා වැනි පෙදෙස් නරඹන්නට ගියා.

මලාකා කියන්නෙ ඓතිහාසික නගරයක් ලෙස සංචාරකයින් ආකර්ශනය කර ගත්තත් ඔවුන්ට තියෙන්නේ ඉතා කෙටි ඉතිහාසයක්.

අපේ රටේ ඓතිහාසික නගර අසලටවත් ළං වෙන්න නොහැකි වුණත් ඔවුන් දන්නවා හරියට මාර්කට් කරන්න.

කලාත් අවුරුද්දකට පස්සෙ පිටත නිවසක තවත් මිතුරන් කීප දෙනෙකු සමග නවතින්න ගියේ නේවාසිකාගාරයේ ආහාර තත්ත්වය ඒකාකාරී වුණ නිසාත්  එහි නීති-රීති වලින් මිදෙන්නට අවශ්‍ය වූ නිසා විය යුතුයි.

නේවාසිකාගාරයෙන් ඉවත් වෙන්න ඔන්න මෙන්න කියා තිබියදී ඔහුට පැපොල වැළඳුණා. 

ඒ බව දැනගත් මොහොතේ මට උන් හිටි තැන් අමතක වුණා. මෙවන් රෝගයක් හැදුණ විට කාමරයෙන් පිටතට යන්න බැහැ වගේම කෙනෙකුගෙන් උදව්වක් ඉල්ලන්නත් බැහැ. ඔහු ආහාර සපයා ගන්නේ කෙලෙසකදැයි මා කම්පාවට පත් වුණා. නයිජීරියානුවත්, ඔහුගේ ළබැඳි මැලේසියානු සගයෙකුත් ආහාර දොර ලඟට ගෙනැවිත් දී යන බව පැවසුවත් එය දිගටම බලාපොරොත්තු වෙන එක වැරැදි බව අපි තීරණය කළා.

තාත්තට එන්න පුළුවනි නම් හොඳයි. ලේසියෙන් එවන් ඉල්ලීම් නොකරන පුතා එසේ කිව්වේ පත් වී ඇති අසරණකම නිසාම බව මා තේරුම් ගත්තා.

වහාම මැලේසියාව බලා පිටත් වන්නට මා තීරණය කළේ ඒ නිසයි.

සාමාන්‍යයෙන් වීසා නිකුත් කරන්නට දින තුනක් ගන්නා තානාපති කාර්යාලය මගේ දුක්ගැනවිල්ල අසා එක් දිනකින් වීසා නිකුත් කළා.

කෙසේ හෝ සිව්වන දිනයේ උදේ පාන්දරින් මා ගුවන්ගත වුණා.

ඊට කලින් දා මට යන්නට නොහැකි වුණේ මට එරෙහිව අලුත්කඩේ උසාවියේ තිබූ නඩුවකට පෙනී සිටින්නට සිදු වී තිබූ නිසයි.

ඒ ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුව ක්‍රෙඩිට් කාඩ් පතක් සම්බන්ධව මට එරෙහිව පවරා තිබූ නඩුවක් සමතයකට පත් වන දිනය නිසා මා උසාවියට ඉදිරිපත් විය යුතුම වුණා. (අමෙරිකාවේ තරු පහේ හෝටලයක කාමරයකදී සිදුවූ අකරතැබ්බකට බලහත්කාරයෙන් ඔවුන් අය කරගෙන තිබූ මුදලක් මා නොගෙවා සිටීම නිසයි මේ අසාධාරණ නඩුව පවරා තිබුණේ - මේ ගැන වෙනම නොකී කතාවක් ලියැවෙනු ඇති.) 

මගේ සිහිය කොතරම් අවුල් වී තිබුණාද යත් නඩුව හමාර වී පිටතට පැමිණීමට ෂෝර්ට් කට් සොයන්න ගොස් වවුලන් හෙළුෑ දියාරු වසුරු පාත්තියක පය ලෙස්සා ගොස් ඇද වැටී මුළු සිරුරම පුරා බිත්තර සාරු වැනි වසුරු තවර ගත්තා.

මා නීතිඥයින්ගේ ඇඳුම් මාරු කරන කාමරයට කැඳවාගෙන ගොස් කමිසය සෝදා ගන්නට අවසර දුන්නේ කවුරුන්දැයි අද වන තුරු මා දන්නේ නැහැ.


වවුල් වසුරු ගඳ ගසන සේදූ එහෙත් ‍නොවේලුණ කමිසය හැඳ ගෙන ත්‍රීවීලරයකින් ගොස් පිටකොටුව බෝ ගස අසලින් ටී ෂර්ට් එකක් මිලදී ගෙන ඇඳ ගත්තා. මහත්තය මොකක්ද මේ ගඳ කියා ත්‍රීවීලර්කාරයා ඇහුවා නම් මතකයි.

මැලේසියාවේ ක්වාලාලම්පූර් ගුවන්තොටුපළ ඇතුළතම කෙළවරක අධිවේගී විදුලි දුම්රිය ආරම්භ වෙනවා. ගුවන් තොටුපොළ අද්දරින්ම බස් සේවා ආරම්භ වුණත් දුම්රිය ගමන ඉක්මන්. ගුවන් තොටුපොළ ක්වාලාලම්පූර් ලෙස නම් කළාට එය පිහිටා තිබෙන්නේ අගනගරයෙන් ගොඩාක් ඈතින්. හරියට කොළඹ ගුවන් තොටුපොළ කටුනායක පිහිටා තියෙන්න වගේ.

ක්වාලාලම්පූර් අග නගරය බලා දිවෙන මේ දුම්රියෙන් ගොස් පුත්‍රජයා දුම්රියපොළෙන් බහින්න වග බලාගන්න ඕනෙ. දුම්රිය නවත්තන්නෙ තත්පර කිහිපයයි. කිසිදු වෙනසක් නැතිව නියමිත මිනිත්තුවේදි වේදිකාවට ළඟා වෙන දුම්රිය එම මිනිත්තුව ඇතුළතම පිටත් වෙනවා.

එතැනින් ටැක්සියකින් යන එකයි ඉක්මන්. නැත්නම් බස් සේවයත් දුම්රිපොළෙන්ම පටන් ගන්නවා. 

ගුවන් යානයේදී මා මදක් වැඩියෙන් බියර් පානය කළේ හිතේ නොසන්සුන්තාව මග හරවා ගන්නත් එක්කයි. පුතා ළඟට ඉගිල්ලී යන්නට හැකි නම් කියා සිතෙන තරම් නොඉවසිල්ලකිනුයි මා උන්නේ.

මේ ලියන මොහොතේ වුවත් එදා දැනුණ කම්පනය හිතට නැගෙනවා.
 
පුත්‍රජයා දුම්රියපොළෙන් බහින මොහොත වන විට මා ඉවසාගත නොහැකි මුත්‍රා බරකින් සිටියා. දුම්රියේ දී ඊට පහසුකම් නැහැ.

මා ඉතා වේගයෙන් බරැති ගමන් මල්ලත් ඇද ගෙන ඉහළ මාලයේ තැන තැන ඇවිද්දේ වැසිකිළි පෙළ සොයා ගන්නටයි.

වැසිකිළි තියෙන ඉසව්ව මට මතක තිබුණත් මා එහි ගොස් තිබුණේ නැහැ.
මගේ සිතුවිලි පිරී තිබුණේ හැකි ඉක්මනින් පුතා දකින උවමනාවෙන් සහ මුත්‍රා බර සැහැල්ලු කරගැනීමේ උවමනාවෙන්. 

ඈතින් වැසිකිළි සංඥා පුවරුවක් දැකීමෙන් මා ප්‍රීතිප්‍රමෝදයට පත් වුණා.
ගමන් බෑගයත් ඇද ගෙනම මා එහි ඇතුළු වුණා.

කොහොමත් මැලේසියාවේ වැසිකිළි ඉතාමත්ම පිරිසිදුයි. බාහෝ දියුණු රටවල වගේම. 

ඇතුළු වන විටම කුඩා මේසයක් තබා තිබුණත් මට ඒ ගැන විමසිල්ලක් ඇති වුණේ නැහැ. එකම අරමුණ වුණේ බොක්ක පැලෙන්න එන බර හෑල්ලු කරගැනීම.

ලොකු කාමරයක කෙළවර බිත්තියේ කිරිගරුඩෙන් තැනූ කාණුවක් තිබුණා. එහි බිත්තියේ වතුර ටැප් සවිකොට තිබීමෙන් මට හැඟී ගියේ Urinals සවිකොට නැති නිසා මුත්‍රා බර හෑලු්ලු කොටගැනීමෙන් පසු බිම සෝදා හැරිමේ පහසුකමක් ලෙසයි.

මම හුස්ම තද කොටගෙන මුත්‍රා විද්දා. අන්තිම බිංදුවත් පිටවුණාම නිවන් දැක්ක වගේ...

ගමන් මල්ලත් ඇදගෙන පිටතට එන විට අනෙක් පසින් වෙනත් ඇතුළු වීමේ දොරටුවක් අසළ වැසිකිළි ලාංඡන දකින්නට ලැබුණා. 

මට මා පිටතට ආ ද්වාරය දෙස ආපසු හැරී බැලුණේ ඉබේටමයි.

මා මුත්‍රා කොට තිබුණේ මුසල්මානුවන් යාඥා කිරීමට පෙර පාද දෝවනය කරගන්නා ස්ථානයටයි. මා වැසිකිළිය ලෙස රැවටී ඇතුළු වී තිබුණේ ඔවුන්ගේ යාඥා ගෘහයටයි.

මා මුත්‍රා බරෙන් හෑල්ලු වන අතරතුර කිසිවෙකු හෝ පැමිණියේ නම් සිද්ධ වෙන්න තිබුණ දේ හිතාගන්නවත් බැහැ.

අනිවාර්ය ප්‍රහාරයකට මා ලක් වෙන බව නම් නියතයි. ඊට පසු සිරගත වීම. මොන තරම් කාලයකට සිර ගත කරාවිදැයි සිතා ගන්න බැරි මැලේසියානු නීතිය ගැන මා නොදන්නා නිසයි.

අඩුම තරමින් සෙට් එක බේරගන්න ලැබෙන එකකුත් නැහැ.

මා එතැනින් වහා පළා ගියේ ආපස්ස නොබලාමයි. ටැක්සියක නැගී පිටත්ව යද්දී පමණක් නොව නේවාසිකාගාරයට ඇතුළු වන තුරුම මා ආපසු හැරී බැලුවේ නම් නැහැ.

මා දැකීමෙන් කලාත්ගේ දෙනෙතෙන් හා සිනාවෙන් මතු වූ කෘතඥතාපූර්වක බව වටහා ගනු හැර වෙනදා මෙන් දෙදෙනා බදා වැළඳගෙන සෙනෙහස හා බැඳීම ප්‍රකාශ කරන්නට අපට ඉඩක් නොලැබුණේ ඔහුගේ සිරුර පුරා පුපුරා මතු වී තිබුණ පැපොල් රෝගයේ ලක්ෂණ හේතුවෙනුයි.



Saturday 6 June 2015

හා...හා...බෑ කියල බෑ...මේව C.O. ගෙ ඕඩර්ස්



රසවි අධ්‍යාපනය හමාර කොට හරියටම වසරක කාලයක් පෞද්ගලික ඉංජිනේරු වැඩබිමකත් පසුව ඉගෙන ගත් කම්මලේත් රැකියාව කළ මා අවුරුදු 5 ක කොන්තරාත්තුවක් මත නාවික හමුදාවේ ඉංජිනේරු නිළධාරියකු ලෙස සේවයට බැඳුණා.

මේ අහඹු මෙන්ම හදිසි තීරණය ගන්නට මා පෙළැඹවූ හේතු කාරණා වෙනත් නොකී කතාවකින් කියන්නට ඉඩ තබා නාවික හමුදා ජීවිතයේ මතක සටහන් ලියා තබන්නට කැමතියි.

මා වැඩි කලක් පුහුණුව ලැබුවේත්, අධිකාරි ලත් පසුව අනුයුක්ත කරනු ලැබුවේත් පසුකාලයේ මුහුදු කොටි විසින් ගිල්වා දමනු ලැබූ 'එඩිතර' නෞකාවේයි.

එය උතුරු ආරක්ෂණ කලාපයේ ( Surveillance Zone) හි මුර සංචාරයන්හි යෙදෙන ඩෝරා යාත්‍රා ඇතුළු අනෙක් කුඩා ප්‍රමාණයේ බෝට්ටු වලට අවශ්‍ය ඉන්ධන හා ආහාර ලබා දීමට දියත් කරන මව් නෞකාවක් ලෙසයි සැළකුණේ.

තලෛයිමන්නාරමේ සිට උතුරු-නැගෙනහිර මුහුදු කලාප ආවරණය කරමින් නිරන්තර ගමනේ යෙදෙමින්  'එඩිතර', අභීත', 'වික්‍රම' නෞකාවන්ට අමතරව කොළඹ නැව් තටාකාංගනයේ නිෂ්පාදිත 'ජයසාගර', 'සාගරවර්ධන' නෞකා ද්වයද, වැඩි කාලයක් නැංගුරම් ලා තබන 'කොටාමාරු' නම්වූ ජපානයෙන් මිලදී ගෙන තිබූ සුවිසල් නැවද මේ මව් නෞකා ගණයට අයත් වුණා. 

මේ 'කොටාමාරු' නැවේ ඉංජිනේරු නිලධාරියා ලෙස මා සේවය කරද්දී එහි අණ දෙන නිලධාරී ලෙස කටයුතු කළේ පසු කලෙක නාවික හමුදාපති ලෙස කටයුතු කළ සෝමතිලක දිසානායකයි.

සෝමතිලක දිසානායක උතුරු මුහුදේ සිට ලියූ කවියක් මුල් වරට 'දිවයින' පත්තරේ පළ වූයේ ඔහුගේ අකැමැත්තට එරෙහි වෙමින් මා එය චන්ද්‍රසිරි දොඩන්ගොඩට යැවීම නිසයි. පසුව ඔහු දිගටම කවි ලිව්වා.

ඉන්දු-ලංකා ගිවිසුමට අත්සන් කරන්නට පැමිණි ඉන්දීය අගමැති රජීව් ගාන්ධිට ප්‍රහාරයක් එල්ල කළ ‍විජිතමුණි රෝහණත් මේ 'කොටාමාරු'  නැවේ විදුලි තාක්ෂණ ශිල්පියෙකු ලෙස කටයුතු කළා මතකයි.

මා ඉංජිනේරු නිළධාරියා බැවින් සාමාන්‍යයෙන් සිදුවන පරිදිම ඔහුගේ අංශ ප්‍රධානියා (Divisional Officer) වුණා. 

මට මතකයි අවස්ථා කීපයකදීම මුළුතැන්ගෙයි ආහාර තත්ත්වය ගැන රෝහණ කචල් අදිනවා. 

සාමාන්‍යයෙන් හමුදා විනය තුළ ප්‍රශ්න කිරීම් නැහැ. නියෝග පිළිපැදීම පමණයි සිදුවන්නේ. ඉහළ නිළධාරියා වැරැදි තීරණයක් ගත්තත් ඊට එරෙහි වෙන්නට පෙර එය ක්‍රියාත්මක කළ යුතුයි. 

Comply & Complain.

ඒත් රෝහණගේ රණඩු සරුවල් වලට මට මැදිහත් වෙන්න සිද්ධ වුණා. මම ඔහුට අවවාද කළාම කිව්වේ "සර්....මට අසාධාරණය පෙන්නන්න බැහැ" කියල. අන්තිමේදි  ඔහුගෙ පෞද්ගලික ලිපි ගොනුවෙ වාර්ෂික ඇගයීම් සටහන් කරද්දි මේ බව සඳහන් කළා මතකයි.

මම කියා ගෙන ආවෙ 'එඩිතර' නැව ගැනනෙ. එකල 'එඩිතර' අණ දෙන නිලධාරී නැත්නම් කොමාන්ඩින් ඔෆිසර් (C.O.) වු‍ණේ කොමාන්ඩර් මුසාෆා. පේරාදෙනිය විශ්වවිද්‍යාලයෙ උපාධියක් හදාරා තිබුණ ඔහු එය සම්පූර්ණ කොට තිබුණාදැයි මා දන්නේ නැහැ.

මමත් පේරාදෙනියෙ බව දැන ගත්තම පුහුණු වන කාලයෙ ඉඳන්ම කිසියම් සුමට ආකාරයකින් (soft corner) මා දිහාවෙ බැලුවයි කියල හිතනව. මම එහෙම කියන්නෙ සෘජු බඳවා ගැනීම් යටතේ නිලධාරීන් ලෙස පැමිණි අප දෙස බොහෝ නිලධාරීන් බැලුවෙ වපර ඇහින් නිසා.
සැළකුවෙ රළු ආකාරයට නිසා.

නැත්නම් රැග් එකට කොමඩ් වල වතුර පොවාවියැ.

ආධුනිකයන්ට මුහුදෙ යාත්‍රා කරන මුල් අවස්ථාවෙදි සී සික් (Sea Sick) හැදෙන එක සාමාන්‍ය දෙයක්. නැව පැද්දෙන්න පැද්දෙන්න කරකැවිල්ලක් හැදෙනව. වමනෙ යන්න ගන්නව. ඒක වෙනස්ම අත්දැකීමක්. විස්තර කරන්න අමාරුයි. විඳින්නම ඕනෙ.

මම මුලින්ම 'එඩිතර' නැවට නැංගෙ හැන්දෑ ජාමෙක. මහ මුහුද මැදදි. ගොඩබිම ඉඳල සංචාරයෙ යෙදෙන වෙන බෝට්ටුවකින් තමයි ඒ ගමන ගියේ.

රාත්‍රි අහාරය ගන්න මාව නිලධාරීන්ගේ කෑම කාමරේට (Ward Room) කැඳවාගෙන ගියා. කොමාන්ඩර් මුසාෆා පොඩි ඩ්රින්ක් එකක් ගනිමින් රූපවාහිනිය නරඹමින් උන්න. නැවේ විධායක නිලධාරියා වූ පසු කලෙක නාවික හමුදාපතිවරයෙකු ලෙස සේවය කළ ජයනාත් කොළඹගේත් එතන හිටිය වගේ මතකයි.

මගෙන් පේරාදෙනියෙ විස්තර අහපු අණ දෙන නිලධාරීවරය එයා ගැනත් පොඩි පම්පෝරියක් ගහල කිව්ව තාම පුහුණු වීම් කාලෙ නිසා බොන්න දෙන්න විදිහක් නැහැ. ඒ නිසා කන්න කියල. (ටික දවසකට පස්සෙ නම් බොන්න ලැබුණ. නොබී කොහොමද මූද මැද්දෙ පැද්දි පැද්දි ඉන්නෙ)

කන්න තිබුණෙ බත්,පරිප්පු, පොල් සම්බල් එක්ක මූදු මාළු.

මූදෙදි ඉතිං මාළු වලින් හිඟයක් නැහැ නොවැ.  

අනවසරයෙන් මාළු අල්ලන උතුරෙ වගේම ඉන්දියානු ධීවරයොත් "සාමී...සාමී..." කියමින් දෑත් ඔසවාගෙන ඉස්සො, දැල්ලො කූඩ පිටින් බෝට්ටු වලට හළනවනෙ. ගොඩක් වෙලාවට ඒවට හිලව් වෙන්න පිටි, සීනි, පරිප්පු වගේ මුහුදෙදි අවශ්‍ය වෙන ආහාර ද්‍රව්‍ය ධීවරයන්ට ලැබෙනව. එහෙම නොදෙන අවස්ථාවලුත් නැත්තෙම නැහැ.

හොඳටම කුසගින්නෙ උන්නු මම බඩ පිරෙන්න බත් කෑව. කොහොමත් මම තාමත් බතුයි, පොල් සම්බලුයි කන්න හරිම මනාපයි.

කුණාටු තත්ත්වය වැඩි වෙලා නැව පැද්දෙන්න ගත්ත. ගෙම්බ උස්සල පොළොවෙ ගහන්නැහෙ උස් මුහුදු රැළි වලින් ඉහළට ඇදෙන නැව එක වරම පහළට ඇද වැටුණ.

මගෙ සී සික් ගතිය වැඩි වුණා. මටම මා පාලනය කර ගත නොහැකිව කාපු මුළු බත් පිඟානම ඔක්කාරෙට ඇවිත් කෑම මේසය පුරා වමනෙ විසිරුණා.

*******    *******    *******    *******    *******    *******

මේ මතකයන් අතර එකල නාවික හමුදාව තුළ ප්‍රචලිත වෙලා තිබුණ "හා...හා...බෑ කියල බෑ...මේව C.O. ගෙ ඕඩර්ස්..." කතාව ලියන්නයි ඔය අටුවා ටීකා ලිව්වෙ.

අපි 'එඩිතර' ඉන්න කා‍ලෙ 'වික්‍රම' නෞකාව අණ දෙන නිලධාරියා වුණේ කොමාන්ඩර් අමරවීර. අමරවීරගෙ සහෝදරය තමයි හිටපු පාර්ලිමේන්තු මංත්‍රී පියසිරි.

අමරවීර ප්‍රසිද්ධ මර්සි වැඩ වලට. 

මම කලින් සඳහන් කළානෙ ධීවරයන්ගෙන් මාළු කොල්ල කන විදිහ.  සමහර නැව් වල ඉන්න අය අහිංසක විදිහට එදිනෙදා පරිභෝජනයට ඉස්සො, දැල්ලො හා වෙනත් මාළු අරගත්තට 'වික්‍රම' නැවේ ඩෙක් එක පිරෙන්න ඉස්සො, කරවල දවල් ගිනි අව්වෙ වේලනව දකින්න පුළුවන්.

මොකද C.O. ගෙ ඕඩර්ස්නෙ...

හැබැයි මූහුද තරණය කරන ගමන් මාළු කොල්ල කනව විතරක් නම් බැරුවයැ.

ඩෙල්ෆ් දූපත කිට්ටුවෙන් යද්දි 'වික්‍රම' නැව අනිවාර්යයෙන්ම ඒ ඉසව්වෙ නැංගුරන් දානව. නැවේ තියෙන බෝට්ටු  මුහුදට බානව. මේ බෝට්ටු අරන් යන්නෙ සැක සහිත කොටි බෝට්ටු ලුහුබඳින්න, රාත්‍රි මුර සංචාරයට වුණාට C.O. ගෙ ඕඩර්ස් අනුව ඩෙල්ෆ් දූපත පැත්තටත් යනව.

ඩෙල්ෆ් දූපතේ අයිතිකාරයො නැති එළුවො හැම තැනම. කොහොමත් දෙමළ මිනිස්සු මෝටාර් ප්‍රහාර වලට බයේ ගම්බිම් අතෑරල ගියානෙ.

අයිතිකාරයො හිටියත් හමුදාවට එරෙහි වෙන්න කියලයැ.
ඇරත් C.O. ගෙ ඕඩර්ස්නෙ.

ඔන්න ඉතිං බෝට්ටුවෙන් යන නාවිකයො නිදැල්ලෙ ඉන්න එළුවන්ව රැහැන් පට දාල අල්ලගන්නව. බොහොම අමාරුවෙන්.

ඊළඟට තියෙන්නෙ බෝට්ටුවට දාගෙන නැවට ගේන එක.


ඉතිං එළුවො බෙල්ල ඇදගෙන බිම පෙරළෙනව. බය වෙලා කෑ ගහනව..
බෑ....බෑ....බෑ.....කියල.
බැරිම තැන එක නාවික සෙබළෙක් කිව්වලු......

"හා...හා...එළුවො .... බෑ කියල බෑ...මේව C.O. ගෙ ඕඩර්ස්..."


 




 


Tuesday 2 June 2015

කජුගහ මුදුණේ ටකේ බඳින්නේ.....

සික හරිශ්චන්ද්‍ර සූරියඅාරච්චි නම් වූ මගේ සරසවි සගයා නිතිපතා ලියන "රසිකොලොජි" බ්ලොග් එකේ මෑත සටහනක මෙ‍සේ ලියා තිබුණා.


හෙන්රි වර්ණකුලසූරිය යනු වෘත්තියෙන් මැවිසුරුවෙකි. විශ්ව විද්‍යාලයෙන් පිටවීමෙන් අනතුරුව කලක් නාවික හමුදාවේ ද සේවය කළ අයෙකි. වත්මනෙහි ද මැද පෙරදිග රටක මැවිසුරුවෙකු ලෙස සේවය කරන්නෙකි.

එහෙත්, එදා මෙදා අතරතුර ඔහු ගේ ජීවිතය කවි පොත්, කෙටිකතා පොත්, නවකතා, පුවත්පත්, ගුවන් විදුලිය සහ සිනමා සිත්තම් හරහා ඇදී ගිය විසිතුරු එකකි. ඒ දිවි මගෙහි දී ඔහුට හමුවූ අය බොහෝ ය. ඔහු ලැබූ අත්දැකීම් බොහෝ ය. ඒ ගැන නොකී කතා ඔහු කාලයක් තිස්සේ පුවත්පත් දෙකක තීරු ලිපි ලෙසින් අප හා බෙදා ගත් අතර පසුව එය ග්‍රන්ථයක් ලෙසින් ද ජනගත වුණි.

හෙන්රි වර්ණකුලසූරිය අරඹා ඇති "නොකී කතා" බ්ලොග් අඩවියේ තවමත් පළ වී ඇත්තේ ලිපි තුනක් පමණක් වුවද හෙන්රිගේ කැරැට්ටුව හොඳින් දන්නා මා මෙහි ඊළඟට ලිපියක් පළවෙන තුරු බලා සිටිනේනේ ඉතා උනන්දුවෙන් බව කිව යුතු ය.



වැරැදි අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිඵලයක් හැටියට වෘත්තියෙන් ඉංජිනේරුවකු බවට පත් වන්නට සිදු වුණත් ඉංජිනේරුවා හඳුන්වන්නට "මැවිසුරුවා" යනුවෙන් සිංහල වචනයක් ඇති බව මා දැනගත්තේ රසිකගේ සටහනෙන්.

ඒ නිසා මේ සටහන අමතක කොට දැමූවත් "මැවිසුරුවා" යන වචනය නම් කිසිදා අමතක වෙන එකක් නැහැ.

හෙන්රිගේ කැරැට්ටුව හොඳින් දන්නා නිසා "නොකී කතා"වක් පළවෙන තුරු රසික ඉතා උනන්දුවෙන් බලා සිටින බවයි අන්තිමේට සඳහන් කරල තිබුණේ.

ඉතිං ඒක දැක්කම හිතුණා  රසිකටත් අදාළ වෙන කැම්පස් කතා ලියන්න ඕනෙ කියලා මේ වතාවෙ  "නොකී කතා"වෙන්. එහෙම හිතුව විතරක් නං බැරියෑ...."රසිකොලොජි" බ්ලොග් එකේ කොමෙන්ටුවක් දාල ඒ බව සනාථ කළා.

"ඉල්ලං කාලා බලං ඉන්න එකයි ඇත්තේ" කියලයි මම කොමෙන්ටුව අවසන් කළේ. නිකං කින්ඩියට වගේ.

ඒකට රසිකගෙ උත්තරේ තවත් ටිකක් ඉල්ලං කන එකක්ම තමයි. කොහොමත් ඒ මිනිහගෙ හැටි. ඒ කාලෙ ඉඳන්ම ඉල්ලං කනව.

 "අපි බය වෙයි ඕවට. සොහොනෙ වුණත් ගෙවල් හදන්නම් !"

මමත් නිකං උන්නෙ නැහැ. ඒකටත් උත්තර දුන්නා මෙහෙම.

" හොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමෙටලුනේ..." කියලා.

‍හෙන්රිගෙ කැරැට්ටුව හොඳින් දන්නව කියන එකෙන් රසික අදහස් කරන්න ඇත්ත‍ෙ පටු සීමා මායිම් වල හිර නොවී, පුද්ගලවාදී නොවී ඇත්ත ඇති සැටියේ කියාපානවයි කියන එක නම් ඒ ප්‍රකාශය ගෞරවයක් විදිහටයි සළකන්නෙ.

රසිකට කෙලින්ම අදාළ නොවුණත් ඒ කාලෙ සිද්ධ වුණ මගේ ලිවීමේ කලාවට සම්බන්ධ කතාවක් මතක් වුණා. කැරැට්ටුව එළිවෙන ජාතියෙ කතාවක්.


මගේ පළමු කෙටිකතා සංග්‍රහයේ නම "තිරිසන් රාත්‍රිය". එහි එන
"තිරිසන් රාත්‍රිය" කෙටිකතාවට පාදක වෙන්නෙ විශ්වවිද්‍යාල නිවාඩු කාලෙක පිරිමි නේවාසිකාගාරයකට (අක්බාර්-නෙල් ශාලාවට) රාත්‍රියේ ඉතා රහසිගතව ගණිකාවක් රැගෙන ඒමේ සිද්ධියක්.

කතාවෙ විදිහට මේ සිද්ධිය වෙද්දි මා ඇතුළු මිතුරන් කීප දෙනෙකු නිවාඩු කාලෙක විශේෂ ව්‍යාපෘතියක් සඳහා නේවාසිකාගාරයේ ලැගුම් ගෙන ඉන්නවා.

ඇගේ පහස විඳින්නට යන අයට ඊට ඉඩක් ලැබෙන්නෙ නැත්තෙ මේ සුන්දර ගණිකාව කුස ගින්නෙන් හාමත්ව සිටිමේ හේතුවෙනුයි.

"තිරිසන් රාත්‍රිය" පළමු මුද්‍රණය නිකුත් වුණේ මා පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සේවය කරන අතරතුරයි. Arts Theatre (AT) නොහොත් කලාගාරයේ තමයි මේ පොත දොරට වැඩීමේ උත්සවය තිබුණේ.

මේ අවස්ථාවට මගෙ බැචාල කීප දෙනෙකුත් සහභාගි වුණා. විශ්වවිද්‍යාල ජීවිතයේ ලද අත්දැකීම් මත ලියැවුණ "තිරිසන් රාත්‍රිය" පොතේ එන කෙටිකතා මොනවාදැයි විපරම් කරන්නට ඔවුන් පෙළඹීම පුදුමයක් නොවෙයි. 

"තිරිසන් රාත්‍රිය" කෙටිකතාව ඊට කලින් "නවලිය" පත්තරේ පළ වෙලා තිබුණට ඒක කවුරුත් කියවලා තිබුණේ නැහැ. (මේ කෙටිකතාව පාදක කරගෙන එනමින්ම අපූරු කෙටිනාට්‍යයක් චන්දිම දෙල්පචිත්‍ර නාට්‍යකරුව වේදිකා ගත කළා.)

පොතේ පෙරවදන කියවපු දැන් ඔස්ට්‍රේලියාවෙ පදිංචි වෙලා ඉන්න එක බැචෙක් මූණ ඇඹුල් කරගත්ත. 

"යකෝ...තෝ ගම කාල. දැන් කොහොමද මං මේ පොත වයිෆ් අතට ගිහිං දෙන්නෙ. ගෑනි අද බලං ඉන්නෙ උඹේ පොත ගේන කල් කියවන්න...."

මගේ අතිජාත මිත්‍රය අවුල් වෙන්න හේතුව මේකයි. 

පෙරවදනෙ මම ස්තූති කරල තියෙනව මා සමග සරසවි ජීවිතයේ අත්දැකීම් බෙදා හදා ගත් බක්කා, මැක්කා, පූසා, ඉබ්බා, කුරුම්බයා, ඩොං
ඩොං, ගල් කොල්ලා, වැල් සිරා, ජිල්බු  ඇතුළු සත්ත්ව සමූහයාට කියල.

ඉතිං මේ කාඩ් (අනවර්ථ නාම) දන්නා භාර්යාවො, දරුවො හිතන්න පුළුවන් මෙයත් අර තිරිසන් රාත්‍රියෙ සිද්ධියට සම්බන්ධ එක්කෙනෙක්ද දන්නෙ නෑ කියල.

"මේකෙන් අපේ ගෑනුත් දැනගන්නව ඒ කාලෙ කැම්පස් එක ඇතුළට ගණිකාවො ගෙනාව කියල. තෝ ගම කාල"

ඔය වගේ ලියවිලි නිසාද දන්නෙ නැහැ රසික හෙන්රිගෙ කැරැට්ටුව ගැන ලියල තිබුණෙ.

රසික විශ්වවිද්‍යාලයට එන්නෙ මට වඩා අවුරුදු දෙකකට පස්සෙ. මම තුන්වන වසරට ළඟා වෙද්දි රසික ෆ්‍රෙෂෙක් (නවකයෙක්).

ඔය කාලෙ අපේ කවි හා වෙනත් නිර්මාණ පළ වුණේ ධර්මසිරි ගමගේ සංස්කරණය කළ "යොවුන් ජනතා" පත්තරේ. කමන්ගෙ නිර්මාණයක් ඉඳහිට පළ වුණත් සතිපතා පත්තරේ මිලදී ගත්තෙ නමින් පමණක් දැන සිටි අනෙකුන්ගෙ නිර්මාණ කියවන්න.

ඔය නම් අතර විටින් විට දකින්නට ලැබුණු නමක් තමයි රසික හරිශ්චන්ද්‍ර සූරියආරච්චි. 

මගෙ මතකය නිවැරදි නම් පේරාදෙනියෙ අපට කලින් ඉගෙන ගත්තු බණ්ඩාර ඇහැලියගොඩ (ප්‍රවීණ ගීත රචක) මට ලියුං කරදහියක් එවල තිබුණ එයා දන්න හඳුනන කෙනෙකුගෙ දරුවෙක් ඉංජිනේරු පීඨයට එනව. පොඩ්ඩක් අඳුනගෙන අවශ්‍ය උදව්වක් කරන්න කියල. ඉඳ හිට කවි එහෙමත් පත්තරේට ලියන රසික සූරියආරච්චි තමයි ඒ දරුව.

මමත් ඉතිං රැග් උණෙන් පෙළෙන කාලෙනෙ. දෙවෙනි වසරෙදි තමයි උණ වැඩිම. තෙවෙනි වසරෙදි ටිකක් උණ බැහැල. අන්තිම වසරෙදි නං ෆ්‍රෙෂාල, ෆ්‍රෙෂීල දිහා බලන්නෙවත් නැහැ.

ජ්‍යෙෂ්ඨ උත්තමයට නවකයෙක් මුණ ගැහුනම අහනව "මොකක්ද තොගේ නම... කොහෙ ඉඳංද තෝ ආවෙ කම්මලට" වගේ ප්‍රශ්න.

ඔන්න එහෙම අහද්දි තමයි රසිකව දැන අඳුනගත්තෙ. නැත්තං සිය ගානක් අස්සෙ කොහෙ හොයන්නද?

මේ මට මතක විදිහට අපි අතරෙ හුවමාරු වුණ මුල්ම දෙබස් කිපයක්.

"තොට කවි ලියන්න පුළුවන් නේද?"
" ඉඳ හිට ලියනව ජ්‍යෙෂ්ට උත්තමය"
"පත්තර වලටත් ලියනව නේද?"
"ඔව් ජ්‍යෙෂ්ට උත්තමය"
"එහෙනං කවි කියන්නත් පුළුවන් ඇතිනෙ. මෙන්න මේ කවි හයියෙන් කියවපං" 

ඒ දවස් වල අපේ කලිසම් සාක්කු වල රෙඩිමේඩ් කැම්පස් කවි තිබුණ. 

එදිරිවීර සරච්චන්ද්‍ර පිටරට ගිය තැන...
සිරිගුණයා අයිලින්ගේ කාමරයට පැන...
දෙන්ඩ පටන් ගති..දෙන්ඩ පටන් ගති
දණ බිම ඇණ ගෙන....
අති උත්තම ශුක්‍ර ධාතු සාරිය හැම තැන....