Powered By Blogger

Tuesday, 23 June 2015

කවුද අප්පා දැනන් උන්නේ ජනාධිපති වෙයි කියලා......

වුරුදු කීපයකට කලින්, හරියටම කිව්වොත් අවුරුදු හතරකට මෙහා පැත්තෙ මම රස්සාව කරමින් උන්නෙ පුළතිසිපුර.

ඒ කියන්නෙ පොළොන්නරුවෙ. 


පොළොන්නරුව-සෝමාවතී මාර්ගය සංවර්ධනය කරන්නට කැබිනට් එක ගත්තු තීරණය මත මේ ව්‍යාපෘතිය බාර වුණේ පෞද්ගලික ඉංජිනේරු ඉදිකිරීම් සමාගමකට.

සදාචාරාත්මක  හේතු මත සමාගමේ නම මෙතැන සටහන් කරන්නෙ නැති වුණාට දන්නෝ දනිති.

මම ඒ දවස් වල ස්ථිර රැකියාවක් නැතිවයි උන්නෙ. සන්නිවේදනයට හා ප්‍රචාරාත්මක කටයුතු වලට සම්බන්ධ Free Lance වැඩ කර ගෙන ෂේප් එකේ එදා වේල හම්බකරගෙන උන්නෙ.


පුතත් මැලේසියාවෙ උපාධිය හදාරමින් උන්න නිසා ඔය එදා වේල සරල වුණේ නැහැ. එයාටම මාසෙකට ලංකාවෙ සල්ලි වලින් 75000 ක් විතර යවන්න සිද්ධ වෙලා තිබුණ.


ඔය අව්අස්සෙ තමයි මම නමින් සඳහන් නොකරන පෞද්ගලික ඉංජිනේරු ඉදිකිරීම් සමාගම අයිති අපේ ගම් පළාතෙම උපන් මිත්‍රයගෙ සහෝදරය අමෙරිකාවෙ ඉඳන් කෙටි නිවාඩුවකට ලංකාවට ආවෙ.


මේ සහෝදරය මගේ බඩ බැඳගත්තු යාළුවෙක්.


පහේ පංතියෙදි ගෑනු ළමේක්ට ලියුමක් දීල තාත්තට අහු වුණාට පස්සෙ ප්‍රාථමික අධ්‍යාපනය ලබපු පාසලෙන් අයින් කරගෙන මාව නාත්තන්ඩිය ධම්මිස්සර මහා විද්‍යාලෙට (දැන් නම් මධ්‍ය මහා විද්‍යාලය) 
දැම්ම  කාලෙ පටන්ම මේ මිත්‍රය මගේ පංතියෙ ඉගෙන ගත්ත විතරක් නොවෙයි විශ්වවිද්‍යාලෙට ගියෙත් එකටමයි.

මිත්‍රයව මම ගාමා කියල හඳුන්වන්නම් පහසුවටත් එක්ක.


"නොනිමි ගමන" (Endless Journey) නමින් කෙටි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරල ඒක අන්තර්ජාතික කෙටි චිත්‍රපට උළෙලකට තේරිලා මම අමෙරිකාවෙ හොලිවුඩ් වල කරක් ගැහුවට පස්සෙ තමන් අතින් ටිකට් අරගෙන දවස් ගානක් ගෙදර නවත්තගෙන මාව සැන් ෆ්‍රැන්සිස්කෝ පැත්තෙ සංචාරයකට එක්කං ගියෙත් මේ ගාමාම තමයි. 


ඔන්න ගාමා නිවාඩුවකට ලංකාවට ඇවිත් සුපුරුදු විදිහට මට දුරකතන ඇමතුමක් දුන්න දුකසැප අහන්න. 

මොන සැපක්ද... දුකම තමයි කියල මං කිව්ව.


මෙන්න බොලේ එයා මට ආරාධනාවක් කළා.


"අපේ මල්ලිගෙ කොම්පැණියට තමයි පොළොන්නරුව-සෝමාවතී මාර්ගය සංවර්ධනය කිරීමේ කොන්ත්‍රාත්තුව ලැබිල තියෙන්නෙ. මමත් ඒ කොම්පැණියෙ අධ්‍යක්ෂවරයෙක්." ගාමා කිව්ව.


ආරාධනාව තමයි මේ ව්‍යාපෘතියෙ කළමනාකාර තනතුර බාර ගැනීම.

මට හීන් දාඩිය දැම්ම. මම ඉගෙන ගත්තෙ නිෂ්පාදන ඉංජිනේරු විද්‍යාව. ලංකාවට ගැලපෙන්නෙ නැතිව වගේ වුණත් ඒක සම්පාත වෙන්නෙ යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාවට.

පාරවල් හදනව කියන්නෙ සිවිල් ඉංජිනේරු විෂයයක්. ඉතිං කොහොමද මේ තනතුර බාර ගන්නෙ.

මම මිත්‍රයට ඒ බව අවංකවම කිව්ව. "අයියෝ හෙන්රි.....ඕකත් කජ්ජක්ද....
මේ අට පාස් නැති කොම්පැණි අයිතිකාරයො ඔයිට වඩා ප්‍රොජෙක්ට් ලස්සනට කරන්නෙ. ඔයාට මේක කජ්ජක් නොවෙයි. ඔයාට මේ වැඩේ අගේට කරන්න පුළුවනි". ඔන්න ගාමා දුන්න උත්තරේ.

කිව්ව විදිහටම මේ විශාල අභියෝගයක් බව මට දැනුණ.


ලොකුම අභියෝගය වුණේ ගාමා අන්තිමට කිව්ව කතාවයි.


"මේ වැඩේට හොයා ගන්න අය ඕනෙ තරං ඉන්නව. ඒත් මේ වෙලාවෙ වඩා වැදගත් විශ්වාසවන්තකම. අපිට මේ වැඩේ ගොඩදාල දෙන්න."


වැඩේ ගොඩදාල දෙන්න කිව්ව කතාවෙ තේරුම මට ‍වැටහුණේ රස්සාවට ගිය මුල්ම දවසෙ.


ඒ වෙනකොටත් ව්‍යාපෘතිය වෙනුවෙන් මිලියන ගාණක් එහාට මෙහාට හුවමාරු වෙලා තිබුණ.කොහාටද කියල නං අහන්න එපා. ඒව නොකියන කතා.

හැබැයි මා ලියන්න යන්නෙ වර්තමාන ජනාධිපතිවරයාට සම්බන්ධ කාරණා නිසා සාධාරණයක් ඉටු වෙන්න මේ ගනුදෙනුවට එතුම ගෑවිලා නොසිටි බව කියන්න ඕනෙ. 

ඉතිං වැඩ පටන් ගන්න කලින්ම මිලියන ගාණක් බහිරවය ගිල්ල එකේ ව්‍යාපෘතියෙන් පාඩු නොවිඳින්න නම් ඉතාම අරපරෙස්සමින් මුදල් වියදම් කරන්න වගේම නාස්තිය, හොරකම් අවම කරන්නත් මගේ වගකීම වුණා.


කොහොමත් මුදල් ගනුදෙනු වලදි මං හරිම විවෘත වගේම කාටවත් පොලු තියන්නෙ නැති බව ඉතිහාසය සාක්ෂි දැරීම බොහෝ විට මා පිළිගැනීමට ලක් වෙන්න හේතුවක් වුණ අවස්ථා බොහොමයි.


එකක් තමයි විශ්වවිද්‍යාලයෙ අවසාන වසරෙදි රහස් පොලිස් අත්අඩංගුවට පත් වුණ වෙලාවෙදි සල්ලි එකතු කරල මුදල් ඇප බැන්ද සරසවි සගයන්ට රස්සාවක් ලැබුණ ගමන් ඒ මුදල් පියවීම.


ගාමාත් ඇප මුදල තැන්පත් කරල මාව රිමාන්ඩ් බන්ධනාගාරයෙන් නිදහස් කරගන්න මගේ මිත්‍රයන් සම්මාදම් කරද්දි ලොකු දායකත්වයක් කරල තිබුණ. ඒ කාලෙත් ගාමා අතේ මුදල් ගැවසුණා. අපේ ගම් පළාතෙ යමක් කමක් තියෙන උදවිය නිසා.


මුදල් සම්බන්ධව ලැබුණ තවත් රෙකමදාරුවක් තමයි වෙළඳ ප්‍රචාරණ මෙන්ම මුද්‍රණ හා ප්‍රකාශන ක්ෂේත්‍රයෙත් ජය කෙහෙලි නැංවූ ප්‍රේම් දිසානායක වරක් පැවසූ දේ.


90 දශකයෙ අග භාගයෙ මම "කලාත්මක ප්‍රකාශන" නමින් පොත් ප්‍රකාශන වැඩක් බොහොම සීරුවට කරගෙන ගියා.


මගේ පොත් වලට අමතරව හඳගමගෙ "අම්මා සහ සඳ එළිය", කාලිංගගෙ "70 දශකයේ ප්‍රේමය", විජිතගේ "පිප්පි" පරිවර්තන ත්‍රිත්වය එහෙම "කලාත්මක ප්‍රකාශන" ලෙසින් එළි දුටුවා.


මේ පොත් ණයට මුද්‍රණය කළේ ප්‍රේම්. මම ගණං හිලවු  තිතට වෙලාවට බේරුව නිසා ප්‍රේම් කිව්වෙ සල්ලි පස්සෙ බලා ගමු. අවශ්‍ය වැඩ කර ගන්න කියල.


කොහොමින් හරි එක වතාවක් නියමිත පරිදි මුදල් පියවන්න මට අමාරු නිසා ප්‍රේම් මුණ ගැහෙන්න ගියා.


"අයියෝ හෙන්රි තියෙන වෙලාවක දෙන්න. මට සිනමාකාරයො, නිෂ්පාදකවරු, ලේඛකයො, වැඩියෙන්ම පෝස්ටර් ගහගත්ත දේශපාලකයො පොලු තියල තියෙන විදිහට ඕක සුළු ගාණක්." ප්‍රේම් නම් වැළක් කියාගෙන ගියා.


අදටත් මගෙ පොත් ප්‍රකාශයට පත් කරන "සුරස" අධිපති ප්‍රේම් ළඟට විචිකිච්චාවක් නැතිව යන්න පුළුවන් මම හරියට ගනුදෙනු  බේරුව  නිසා.


ඉතිං ගාමාත් හිතන්න ඇත්තෙ මාටිය නොගහ මම අවංකව ව්‍යාපෘතිය ගොඩදායි කියලයි.


ඔන්න පොළොන්නරුවෙ නැවතිලා Senior Project Manager විදිහට වැඩ බාරගත්ත කියමුකෝ.....


ඔන්න දැං තමයි ගේම පටන් ගත්තෙ. 


පොළොන්නරුව අයිතිකාරය වුණේ මෛත්‍රිපාල සිරිසේන. එතන තිබුණෙ කොතැනත් වගේ බල අරගලයක්. 

නියෝජ්‍ය ඇමති සිරිපාල ගම්ලත්ට සිරිසේන ඔළුව උස්සන්නම දුන්නෙ නැහැ. දේශපාලන වශයෙන්.

ව්‍යාපාරික පැත්තෙන් නං ගම්ලත් පෙරමුණේ හිටිය. සිරිසේනගෙ සහෝදරයන්ගෙ "අරලිය" සහල් වලට වඩා බොහොම ඉහළින් ගම්ලත්ගෙ "නිපුන" සහල් ව්‍යාපාරය නැගල ගියා.

පාර හදන්න පටන් ගන්න කලින් ලොකු රාජ්‍ය උත්සවයක් සංවිධානය වුණා. ව්‍යාපෘතිය දියත් කිරීමේ උළෙල.

හොඳ හොඳ ජංජාල එතැනදි සිද්ධ වුණා. මම මුල් වතාවටයි දේශපාලකයො සහ දේශපාලන අරමුණුත් එක්ක ගැටෙන රැකියාවක් කරන්න ගත්තෙ.

මුලින්ම දැවැන්ත Cut out ප්‍රශ්නයක්. 

කොළඹින් සැළසුම් කරපු දැවැන්ත Cut out ගණනාවක් මහපාර දිගේ තැනින් තැන සවි කරන්න අරන් ආවෙ දවස් දෙකකට කලින් මහ රෑ. මාර්ග සංවර්ධන අධිකාරියෙන් එව්වට ඒවයෙ බරපැන කොම්පැනියෙන් තමයි.

මේ   Cut out වැඩි හරියක් ගැහුවෙ අපි සංවර්ධනය කරන්න පටන් ගත්තු පොළොන්නරුව-සෝමාවතී මාර්ගයෙ නොවෙයි. පුළතිසිපුරයේ තැනින් තැන. 

Cut out  වල ලොකුවටම තිබුණෙ මහින්දගෙ මූණත් තහඩුව. සිරිසේන, ගම්ලත්, නිර්මල ඇමතිවරුන්ගෙ විතරක් නොවෙයි නාමල්ගෙ මූණත් තහඩුත් එකම ප්‍රමාණයෙන් යටින් අලෝල තිබුණ. මුද්දර අලවන්නා වගේ.

පහුවදා උදේ මහා ජංජාලයක්. සිරිසේන ඇමතිවරයගෙ සම්බන්ධීකරණ ලේකම් මට කතා කළා. ලොක්කට මළ පැනල කිව්ව. වහාම Cut out ගලවන්න... අද රෑට අලුත් ඒව සවිකරන්න වෙනව කිව්ව.

පරණ Cut out  බිමට පාත් වුණා. අලුතින් සවි කළ Cut out වල මහින්ද ගෙ ලොකු ෆොටෝ එක ළඟින් සිරිසේනගෙත් ලොකු ෆොටෝ එකක් තිබුණ. මුද්දර වල අනෙක් මූණු තිබුණ.

බිමට බාපු ඒවයෙ සල්ලි අපරදෙ. 
නැතත් අපරාදෙ තමයි. එකකට රු.75000 ක් නෙ.

ඔන්න උත්සව දවසත් උදා වුණා.
උත්සවය සංවිධානය කරන්නෙ කොම්පනියෙන් නිසා වැඩසටහන් විස්තරය හා කතා අනුපිළිවෙළ කොළඹින් එවල තිබුණ.

උත්සවේට ආව ඇමති සිරිසේන වැඩසටහන් විස්තරේ ඉල්ලුව. එතුමාගෙ පෑන් පහරින් කථික ලැයිස්තුවෙ තිබුණ සිරිපාල ගම්ලත්ගෙ නම කැපිල ගොහිං තිබුණ.

ඒ මදිවට උත්සවය අවසානයේ පැවති නොනිළ සාදය හා දිවා ආහාර වේල තමන්ගෙ හෝටලයෙ නොගත්තොත් ඇමතිතුමාව සහභාගි කරගන්නට නොලැබෙයි කියල තවත් සහෝදරයෙක් මට කතා කරල කිව්ව.

යුද්දෙ පටන් ගත්තෙ ඊට පස්සෙ. පොළොන්නරුව පැත්ත පළාතෙ ගල්, වැලි, බොරළු ආධිපත්‍යය ඇමති සහෝදරයන්ටයි හිමි වෙලා තිබුණෙ.

විශේෂයෙන් කොහේ හරි බොරළු නිධියක් ඇත්නම් ඒක මිලදී ගන්න ලේසි වුණේ නැහැ. බල ආධිපත්‍යය ඉදිරියේ ඉඩම්ලභීන් පවා පස්සට ගියා.

අද රටේ ප්‍රධාන පුරවැසියා වන එදා ඇමතිවරයා සහෝදර සමාගමේ මගඩිවලට සම්බන්ධ නොවූ බවට නම් කිසිදු සැකයක් නැහැ. 

ඒ දවස්වල කොම්පැනියේ අයිතිකරු පඬුරුපාක්කුඩම් රැගෙන සුහද හමුවීම් වලට පොළොන්නරුවේ නිවසට ආ ගිය වෙලාවලදී දේශපාලකයන් සමඟ කවදත් බජනයට අකැමති මා පිටතට වී සිටියේ මතු දිනෙක එතුමා රාජ්‍ය නායකයා වනු ඇති බව සිහිනයෙන්වත් නොසිතූ නිසයි.



කවුද අප්පා දැනන් උන්නේ ජනාධිපති වෙයි කියලා.






9 comments:

  1. තාක්ෂණික ප්‍රශ්නයක් නිසා මෙහි තිබුණ කොමෙන්ට් ඉවත්ව ගොසින්. ඒ ගැන මගේ කණගාටුව.
    මෙතැන් පටන් කොමෙන්ට් වලට නිදහස් ඉඩක් ඇත.

    ReplyDelete
  2. මම හිතන්නේ මිනිහ තවමත් දන්නේ නෑ එයා තමයි ජනාධිපති කියලා....

    ReplyDelete
  3. අළුතින් වැටිච්ච කමෙන්ට් බලන්ඩ ලින්ක් එක දිගේ ආවේ , ඔය කමෙන්ට් වලට වෙන වැඩේ මටත් වෙලා තියනවා කිහිපවරක් , අනේ මහත්තයෝ මේ කමෙන්ට් මොඩියුරේට් කරන එක නවත්තන්ඩ බැරිද , දවසක් දෙකක් පහුවෙලා මොඩියුරේට් වෙන්ඩ දාල , අළුත් පෝස්ට් වලට කමෙන්ට් කරන්ඩ නිදහස දෙන්ඩකො

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් මොඩරේට් නොකර ඉන්න තරමට මම කැමැතියි. ඒත් සමහරු පෞද්ගලික ප්‍රහාර එල්ල කරමින් මෙතන පහරන්න ගත්තු නිසා මොඩෙරේට් දැම්මා. තව ටිකක් මෙහෙම යං...

      Delete
  4. ඔය සහෝදර සමාගම පිච්චු කෙලිනවා කියල ලොක්ක දැනං හිටියෙම නැද්ද දන්නෑ නේද ?

    ReplyDelete
    Replies
    1. නොදැක්කා වගේ ඉන්න ඇති. බලං ගියාම කොයි සහෝදර සමාගමද පිස්සු කෙලින්නෙ නැත්තෙ...?

      Delete