Powered By Blogger

Monday 21 December 2015

පුතා එක්ක අමතක නොවන දවස්

ම්මා පිළිබඳ මතකය සටහන් කොට අවසන්  වෙනවාත් එක්කම පුතා මා සමග නිවාඩුවක් ගත කරන්න ආව එකෙන් හිතට සහනයක් වගේම ප්‍රබෝධයක් දැනුණා.




කලාත් එක්ක මේ වගේ බොහොම නිදහසින් ගත කරන්න විරාමයක් ලැබුණෙ බොහොම කලකින්. අවුරුදු ගණනාවකින්.

මට මතක විදිහට පුතා මැලේසියාවෙ ඉගෙන ගනිද්දි දැනට අවුරුදු හතරකට පහකට විතර කලින් අපි දෙන්න මැලේසියාවෙත්, සිංගප්පූරුවෙත් සංචාරයක් කළාට පස්සෙයි දවස් ගාණක් එක දිගට මෙහෙම ගත කළේ.

ලංකාවට නිවාඩුවට ගියාම නුගේගොඩ එයාගෙ ඇනෙක්ස් එකේ නැවතුණාට අපිට මෙහෙම නිදහසක් නෑ. එක්කෝ එයා බිසි. නැත්නම් මටත් කොයි තරම් නං ගමන් බිමන්ද...

කලාත් ගැන මගේ අතීත මතක කීපයක් අවදි කරන්න හිතුණ...නොකීම නොකී කතා...

ඊට කලින් එයාගෙ නිර්මාණ මෙතනින්  
http://kalath666.deviantart.com/

නැත්නම් මෙතනින් 
http://kal-art.blogspot.com/

බලන්න පුළුවන්.

කොහොමත් බොහෝ පිරිමි දරුවන් ටිකක් දඟයි තමයි. කලාත්ට කියලත් ඒකෙ වෙනසක් තිබුණෙ නැතත් සමහර දඟ වැඩ දැන් මතක් කරද්දිත් සුන්දරයි.

පුතා කුඩාම අවදියෙ මම වැඩ කළේ පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ. අපි කුලියට නැවතිලා උන්නෙ මගේ රාජකාරි ස්ථානයේ කම්කරු සේවිකාවකගෙ නිවසේ එක් පැත්තක.

සමහරු නිවසක් කුළියට ගන්න කොට අයිතිකාරයගෙ වංශෙ කබල් ගානව වුණාට මට කවදත් එහෙම උණක් තිබුණෙ නෑ. 

අධ්‍යයන කාර්‍ය මණ්ඩලයේ කෙනෙක් කම්කරු සේවිකාවකගෙ ගෙදරක නැවතිලා ඉන්න එක ගැන ඒ බව දන්න ටික දෙනෙක් වපරැසින් බලන්න ඇතත්, මට නං කිසිදු හැඟීමක් ඇති කළේ නැහැ.  

ඉතිං ඔය ගෙදර තනි කාමරයක අපි උන්නෙ. පුංචි ඉස්තෝප්පුවයි, කාමරෙයි, කුස්සි කෑල්ලයි.

විනී හෙට්ටිගොඩ, රෝහිත භාෂණ, කමල් පී. අලහකෝන් වගේ අපේ පුංචි කාමරෙයි, ඉස්තෝප්පු කෑල්ලෙයි නිදාගෙන තියෙන සහෘදයන්ට  මතක ඇති.

මම කියන්න ගියෙ පුතාගෙ සෙල්ලමක් ගැනනෙ. මිනිහ ඇඳේ ඉදන් හිටි පිනුම් ගහනව. එයාගෙ අම්ම මර බයේ ඉන්නෙ වැටිල තුවාලයක් කර ගනී කියල. මොකද ඔය කරන්නෙ..තුවාලයක් කර ගන්නද හදනෙ කියල සද්දෙ දානව.

මේකා අහන්නෙම නෑ. එකදවසක් ගහපු පිනුම වැරදිලා උඩින් ගිහිං ඇඳෙන් බිමට වැටුණ. හොඳ වෙලාවට ඔලුව, කොන්ද වදින්නෙ නැතිව කෙලින්ම පස්ස බිම ඉන්දුණා. දැන් එයා දන්නව පාරක් වදින්න ආසන්න බව කියන දේ නෑහුවට.

කොල්ල පටස් ගාල කිව්ව අම්මේ..දැක්කද මගෙ බල්ටි වැඩ කියල. ඉතිං පාරක් ගහන්නයැ..

ඔය ගෙදර ඉද්දිම තමයි ප්‍රේමදාස ජනධිපතිවරය බෝම්බෙන් ජීවිතක්ෂයට අත් වුණේ. ඒ ආරංචිය අහපු මම හූ තියල උඩ පැනල සතුට ප්‍රකාශ කරද්දි පුතත් මාව අනුකරණය කරන්න ගත්ත.

ඇයි තාත්තෙ උඩ පනින්නෙ කියල අහද්දි මම කියුව පේචපාච මැරුණෝ කියල. මොකද කළු සුදු ටී.වී. එකෙන් වුණත් දැකල දැකලම එපා වෙලා අපි ප්‍රේමදාසට අම්ම මෝ නැතිව බනිද්දි පුතා කිව්වෙ පේචපාච කියල. නම කියාගන්න බැරි නිසා.

ඊට පස්සෙ ටිකක් ඉඩකඩ තියෙන ගෙදරකට ගියා. ඒක අයිති වුණේ පුස්තකාල සහකාර කෙනෙක්ට. එහෙදි තමයි කොල්ල ප්ලාස්ටික් පිඟානක් ඔලුවෙ නමං, සාළුවක් කරේ දාගෙන සෝරෝ විදිහට රඟපාන්න ගත්තෙ.

එදා ඇඳෙන්  වැටුණම  දඬුවම් නොකළට මගේ ජීවිත කාලෙටම කලාත්ට පාරක් ගහල තියෙන්නෙ එහෙදි තමයි.

සීතලයි කියල නාන්න බෑ කියුවම පුතාගෙ අම්ම කියවන්න ගත්ත මේ බලන්නකො මේ ළමය නාවන්න දෙන්නෙ නෑ කියල. මම උන්නෙ වෙන මූඩ් එකක වෙන්න ඇති. අම්මත් එක්ක ආ කේන්තිය මං පිට කරගත්තෙ කෝටුවක් කැඩෙන්න පස්ස පැත්තට පහර දීල.

ඒ තමයි මම එයාට දඬුවමක් කළ එකම වතාව. මම එදා පමණක් නොවෙයි කාලයක් යන කල්ම කළ දේ ගැන විඳෙව්ව. මම මටම දඬුවම් කරගත්ත වගේ. අදටත් ඒ කම්පනය දැනෙනව.

ඊට පස්සෙ මට මතක් වෙන්නෙ කලාත්ගෙ පොත් කියවීමේ මෙන්ම කොම්පියුටර් වීඩියෝ ගේම් හා වීඩියෝ ෆිල්ම් පිස්සුව.

මේ කිසිම පිස්සුවකට අපි විරුද්ධ වුණේ නෑ. ඇති තරං ගේම් ගැහුව. ෆිල්ම් සී.ඩී. ගෙනත් දුන්න. Jumanji වගේ චිත්‍රපට  කීප වතාවක් බලන්න ඇති.

පාඩම් වැඩ අතපසු වෙද්දි කාලය පිළිබඳ යම් සීමා පැනෙව්වට මේ ඇබැහිවීම් තහනම් කළේ නෑ.
ගෙවල් වල බිත්ති හුණු කූරු චිත්‍ර වලින් වනසන එක තහනම් කළේ නෑ වාගෙම.

එයාගෙ හැකියාව මෙන්ම කැමැත්ත තේරුම් අරන් ලබා දුන් නිදහස ගැන අද අපට සතුටු වෙන්න පුළුවනි. අද සිනමාව ගැන වගේම පරිගණක සජීවීකරණය පිළිබඳ ඔහුගේ දැනීම බොහොම දියුණුයි.

ඉංජිනේරුවෙක් වූ නිසා මගේ පුතා ඉංජිනේරුවෙක් හෝ දොස්තරකෙනෙක් විය යුතුයි කියල කවදාවත්ම හිතුවෙ නෑ වගේම ඒ සඳහා පුතාගෙ අම්මගෙන් ලැබුණ පිටුබලයත් අගය කළ යුතුයි.

මා හැමදාම හිතන්නෙ තමන් කැමැති ක්ෂේත්‍රයක Genius කෙනෙක් වෙන්න පුළුවනි නම්, ඒ සඳහා ආත්ම විශ්වාසය තිබේ නම් සමාජය උඩ දාන රැකියාම සොයා යා යුතු නැති බවයි.

මට මතකයි කලාත් පුංචි කාලෙ Jurrasic Park චිත්‍රපටය බලන්න ගියා. ඩයනෝසරයන්ට වශී වුණත්, උං ගේ සමීප රූප වලටත්, Sound effects වලටත් බයේ මගෙ පපුවෙ මූණ සඟවා ගත් ඔහු අද සිනමාවේ දෘෂ්‍ය ප්‍රයෝග මෙන්ම 3D සජීවීකරණයත් සිය ජීවිකාව කරගෙන සිටිනවා.

ඊට අමතරව වීඩියෝ සංස්කරණය ඔහුට අනුව pocket money හොයන වැඩක්. වසර කීපයකට පෙර මා නිර්මාණය කළ සමන් ජයනාත්  ජිනදාසගේ " මද පවනින්" ගීතයේ රූපාවලිය සංස්කරණය කොට Colour correction කළේද කලාත්මයි.


මා නිර්මාණය කළ (නොනිමි ගමන-Endless Journey) කෙටි චිත්‍රපටයේ සංස්කරණ කටයුතු ඔහුට පැවරුවේ නැත්තේ ඒ වන විට ඔහු එම විෂයය පිළිබඳ පරිචයක් ලබා නොසිටි නිසයි.

ඒත් මා ලබන වසර මැද වන විට නිර්මාණය කරන්න පිඹුරුපත් සකසන කෙටි චිත්‍රපටයේ සංස්කරණයට අදාළ සියලු කටයුතු  මෙන්ම කැමරා අධ්‍යක්ෂණයත් කලාත්ට බාර කරන්න හිතාගෙන ඉන්නවා.

නමුත් එහි රංගන කාර්යයක් සඳහා තෝරාගනු ලැබුවොත් කැමරා කටයුතු ඔහුගෙන් ගිලිහෙනවා. රංගනය ඔහුගේ ඇඟේ තිබෙන බව මා දන්නේ කලාත් මැලේසියාවේ විශ්වවිද්‍යාලයේදී ශිෂ්‍ය නිර්මාණ වල හොඳින් රඟපා ඇති බව දැක තිබෙන නිසයි.








Saturday 12 December 2015

ආදරෙයි මම නුඹට......!


ම්මා අපෙන් සමුගෙන ගිහිං අදට වසර දෙකක්. 

මා නොකීකතා බ්ලොග් සටහන් ආරම්භ කළෙත් ඇය පිළිබඳ මතකය අවදි කරමින්. ඒක නිරායාසයෙන් ලියවුණ ලියවිල්ලක්.



ඒත් අද ලියන්නෙ එදා තරම් නිදහසේ නෙවෙයි. අද මට අම්ම නැති අඩුව වැඩියෙන් දැනෙන දවසක් නිසා වෙන්න ඇති.  

පවුලෙ උදවිය දාන මාන දීල අම්ම වෙනුවෙන් පිං පමුණුවන අද දවසෙ ඊට සහභාගි වෙන්නව නොහැකි වීමේ ආත්මානුකම්පාවකුත් දැනෙනව.

එක අතකට මැරෙන මොහො‍ෙතෙ ළඟ ඉන්න නොලැබුණ එකේ මේක මොකක්ද ?

අම්මට තිබුණෙ ලස්සන හිනාවක්. ඒක හරියට ඉනාවක් වගේ.

සමහර වෙලාවට අම්ම කරන වැඩ වලට තරහ ඇවිත් බැන්නමත් හිනා වුණේ එහෙමම තමයි.

මිය යන්න සතියකට කලිං අම්ම අසාධ්‍ය තත්ත්වෙන් උන්න නිසා බලන්න ගිහිං, ඇය යළි සුව අතට හැරුණාට පසු සමුගෙන එද්දි ගේ දොරකඩ හිටගෙන මා දිහාව බලා උන්නෙත් ඒ හිනාවෙන්ම තමයි.

මේ ගැන මතකය අවදි වෙද්දි මෙහෙම පද වැලක් කුරුටු ගෑවුණා....

ආදරෙයි මම නුඹට......!

කාලයට විහඟ තටු ඇවිත්
දෙවසරක් ගත වුණා සැබැයි
හරියටම අද වාගෙ දවසකදි
හීනයක් සේ ඇසුණා තමයි
යන්න ගියා යැයි නුඹ
ආයෙමත් නොඑන්නට....

පපු කුහරයේ සිරව
ගල් ගැසුණු සුසුම් පොද
අනන්ත වූ වා ගැබට
මුදා හළ මොහොතේදි
සත්තකයි දැනුණෙ මට
ආදරේදැයි කියා
කොයි තරම් මා නුඹට.... 

නිසල වූ නුඹෙ සිරුර
උඩු බැලිව තියෙන්නැති
මළගමට මා එද්දි
නුඹ එසේ නිදන්නැති
පස් මිටක් අතින් ගෙන
නුඹෙ සිරුර වසන්නැති
හිස්ම හිස් හැඟුමකින්
නුඹට සමු දෙන්න ඇති.....

ඒත් අද මට මතක
ටික දවසකට කලින්
නුඹ දකින්නට ඇවිත්
මා නික්ම ගිය මොහොත

මද දුරක් පා නගා
හැරී බලනා විටදි
දොරකඩට වාරු වී
බලා සිටි නුඹෙ බැල්ම

මට මතක එපමණය......

මියෙන ‍තෙක් මම සොයමි
සිහිනයෙන්වත් පතමි
සිනාවක් නගා ගෙන
බලා සිටි නුඹෙ මුහුණ......

(2015 උඳුවප් මහේ 13 දා )


අම්ම ගැන මතකය එක්ක අවදි වෙන මතක අතීතයෙන් බිඳක් සටහන් කරන්නට සිතුණා.

පුංචි සන්දියෙ මම කළුවරට මාර බයයි. මහ රෑ කුප්පි ලාම්පුව නිවුණොත් මම නින්දෙන් අවදි වෙලා මර හඬ දීල කෑ ගහනව. ඒ වෙලාවට තාත්ත සැරවැර වුණත් අම්ම කළේ මාව ඇගෙ තුරුළට ගන්න එක.

අපේ මහ ගෙදර තියෙන්නෙ සාන්ත අන්තෝනි පල්ලියට යාබදව.
ඒකට හේතුව පල්ලියට ඉඩම පරිත්‍යාග කරල තියෙන්නෙ මගෙ සීය වීම.

අපි ඒ දවස් වල දවසෙන් වැඩි හරියක් ගත කළේ පල්ලිය වත්තෙ. ආගම දහමට ලැදි නිසාම නෙවෙයි. කොලු නඩය එකතු වුණේ එතෙන්ට නිසා.

හවසට එල්ලෙ ගහද්දි තේ වෙලාවට අම්ම තේ බොන්න එන්න කතා කරනව වත්ත මැදට ඇවිත්. එන්නං කියල කිව්වට සෙල්ලම අස්සෙ අමතක වෙනව. අම්ම ටිකක් බලල තේ එක අරං වැට ළඟට එනව. කොල්ලෝ හිනා වෙනව.

මල්ලිලත් උන්නොත් ජෝගුවකටම හදන් එනව. ලැජ්ජාවෙ බෑ. ඒ හංද අම්ම කතා කළ ගමන් අපි දුවල ගිහිං තේ බීල එනව. එතකල් සෙල්ලම නවතිනව.

එක වතාවක් අමතක නොවෙන්න අම්මගෙන් පේර කෝටුවක් කැඩෙන කං පාර කෑවෙත් ඔය පල්ලියෙ ඉඳං කරපු කඩප්පුලි වැඩක් නිසා. මං හිතන්නෙ අම්ම මට එහෙම දඬුවම් කළ එකම දවස එදා තමයි.

ඒ පාසල් නිවාඩු කාලයේ මා දවසේ වැඩි කාලයක් ගත කළේ මට වඩා වැඩිමහලු මගේ ඥාති සොහොයුරෙකු සමගයි. කැටපෝල හදා ගෙන කුරුල්ලන්ට විදින්නටද, උණ බට තුවක්කු හදා ගෙන කිරිල්ල ගෙඩි වලින් අනෙකුන්ට ප්‍රහාර එල්ල කරන්නටද මා පුරුදු වූයේ එකලයි.

දවසක් මගේ ඥාති සොහොයුරා මට අපූරු යෝජනාවක් ගෙනාව.
"උපාලිය ඕනෑවට වැඩියි. මල්ලි ඔයාට කවි ලියන්න පුළුවනිනෙ. ඔයාගෙ අකුරුත් හොඳයිනෙ. අපි ඕකට හොඳ වස් කවියක් ලියමු."

"කොහෙද ලියන්නෙ?" මං පැනල දුන්නෙ වැඩේ ත්‍රිල් නිසයි.

"අපි පල්ලියෙ සිමෙන්ති බිමේ ලියමු. එතකොට එන හැමෝටම පේනවනෙ"

මට අද කවිය මතක නැහැ. ඒත් එවන් අපහාසාත්මක කවියක් මා කවරදාවත් ලියා නැති බව නං ටක්කෙටම කියත හැකි. 

මෙය ලිව්වේ බොරළු කැටයකින්. සිමෙන්ති පොළොවෙි එය පැහැදිලිව සටහන් වී තිබුණා.

මෙය දුටු උපාලිගේ මව කෙලින්ම අපේ ගෙදර ආවෙ "සර් කෝ" කියල අහගෙන.  තාත්ත ගෙදර උන්නෙ නෑ. හිටියනම් කොහොම හිටීද....

පල්ලියට ගිහිං කවිය කියවල ආව අම්ම මාව කනෙං අල්ලං ගිහිං ඒක මැකෙව්වෙ පේර කෝටු පාර දෙමින්. මැකුවට පස්සෙත් අ‍ායෙ මෙහෙම අසමජ්ජාති වැඩ කරනවද...කරනවද කිය කියා අහමින් පේර කෝටුව කුඩු වෙනකල් ගැහුව.

මගේ පස්ස පැත්ත වයිරං වැටුණ. පොක්කලං වගේ ඉදිමිලා ආව. අම්ම අඬ අඬ තෙල් ගාල තැව්ව. 

හැබැයි එදා ඒ දඬුවම දුන්නැයින් තමයි අද මම මෙතන ඉන්නෙ. නැත්තං අර ඥාති සොහොයුරා වගේ මාත් ගරාජ් එකක වැඩ කරයි.

මා දකින අම්මගේ සුවිශේෂ ගුණයක් වුණේ අප්‍රතිහත ධෛර්යය. පටන් ගත් දෙයක් ලේසියෙන් අත හරින්නෙ නැති එක.

අම්මගෙ පවුලෙ දරුවො නම දෙනයි. අම්ම තාත්ත දෙන්නම කලකට පෙර මිය පරලොව ගිහිං. අම්මලගෙ පවුලෙ අයගෙ ආයුෂ කෙටියි. මගෙත් එහෙම වෙන්න පුළුවනි කියල ගොඩක් වෙලාවට මට හිතෙනව.

ඉතිං අම්මලගෙ තාත්ත අන්තරා වෙද්දි ඉඩකඩම් දරුවන්ට ලියල තිබුණෙ නැති නිසා ඉඩම බූදල් වුණා. කාලයක් ගත වෙද්දි තැන තැන විසිරී සිටි අම්මගෙ සහෝදර සහෝදරියන්ට තමන්ගෙ අයිතිය ලබා ගන්න ඕනෙ වුණා. ඒත් බූදල් නඩුවකට යන්න කවුරුවත් ඉදිරිපත් වුණේ නැහැ.

අම්ම මේකට ඉදිරිපත් වෙද්දි අපි හිනා වුණා. 
නඩු යන්නෝ...වැනසෙන්නෝ....කිය කියා.

ඔයාලට කවද හරි තේරෙයි මේ ඉඩම් වල වටිනාකම. අම්ම එහෙම කියද්දි අපේ ගම් පැත්තෙ ඉඩකඩම් එතරම් ඉහළ මිලකට තක්සේරු වුණේ නැහැ. 

අපේ ඔලොක්කු කතා මැද්දෙ අම්ම තනිවම නීතිඥයින් හමු වෙන්න ගියා. නඩු දැම්ම. උසාවි ගියා. එක එක විරෝධතා නිසා නඩුව  කල් ගියා. අපි ලොකු මහත් වෙලා ගමෙන් පිටතට ගියා. අම්ම දිගටම අනෙක් සහෝදර සහෝදරියන්වත් එකතු කරගෙන නඩුවලට පෙනී හිටිය.

මට මතකයි මම විවාහ වුණාටත් පස්සෙ දවසක අම්මට කිව්ව නිකං බොරුවට ලෝයර්ස්ලට සල්ලි පුදන්නෙ නැතිව පැත්තකට වෙලා ඉන්න කියල. අම්ම හිනා වෙලා කිව්ව මේක මගෙ පිය උරුමෙ. ඒක මම ලබාගන්නව. ඔයාලටම කවද හරි තේරෙයි මේවයෙ වටිනාකම කියල.

කිව්වත් වගේ ඒකෙ වටිනාකම වැඩියෙන්ම දැනුණෙ මට. තාමත් දැනෙනනෙ මට. 

බූදල් නඩුව අවසන් වෙලා සහෝදරයින්ට ඉඩම් අයිති වුණා. අම්මගෙ කොටහ ලැබුණෙ මහපාර අද්දරින්. ඒක කොහොම වුණාද කියල මං දන්නෙ නැහැ. අම්ම ඉඩම මිලියන ගාණකට විකුණුව. 

මගෙ පුතා මැලේසියාවෙ විශ්වවිද්‍යාලෙකට යැව්වම විටින් විට සල්ලි අවශ්‍යතා එද්දි අම්මගෙ ස්ථාවර තැන්පතුව ඇපේට තියල සල්ලි ගන්න මට පුළුවන් වීම ලොකු හයියක් වුණා.

හැබැයි අම්ම කිසිම වෙලාවක කිව්වෙ නෑ ඔයාල මට හිනා වුණා නේද නඩු කියද්දි. දැන් ඔයාලටම එ් සල්ලි ඕන වුණා නේද කියල. 

අදටත් ඒ මුදල නොසොල්වා බැංකුවෙ තියෙන එක අපි කාටත් හයියක්.

අම්ම ගොඩක් කම්පා වුණේ එයාට ඕනෙ විදිහට මට දොස්තර කෙනෙකුගෙ දුවක් කරක‍ාර බන්දවල දෙන්න බැරි වුණ එකට. ඒ එයාගෙ තේරීම.

ජීවිතේ හරි පුදුමයි.

අම්මගෙ තේරීම හරි ගියේ නෑ වාගෙම මගෙ තේරීමත් ඵල දැරුවෙ නෑ. එක වතාවක් නං බැරුවයැ. දෙවතාවක්ම....

ඒක වෙනම කියන්න ඕනෙ නොකී කතාවක්.....!


Sunday 6 December 2015

වතුර එක්ක කොක කෝලා බීපු දවසක්




ර්මසිරි ගමගේ කියන්නෙ අපේ පරම්පරාවෙ කලාවට සම්බන්ධ වූ දැනට කලා නිර්මාණ වල යෙදෙන හෝ ඉන් සමුගෙන වෙනත් කාර්යයන්හි නියැලෙන බොහෝ දෙනෙකුට ගුරු දේවයෙකු පමණක් නොව පියෙකුද වූ නිහතමානී කලාකරුවෙක්..

ඒ නිසාම අප වෙත එතුමන් කෙරෙහි වූ භක්තිය මෙන්ම ගෞරවයද අපමණයි.

ඒ නිසාමයි අපි හැමෝම "ගමගේ සර්" කියා අමතන්න පුරුදු වෙලා උන්නෙ. 

"යොවුන් පහන් වැට" නමින් සංවිධානයක් බිහිකොට දීපව්‍යාප්තව විසිරී සිටි නිර්මාණශීලී යොවුන් දුහුනන් ඒකරාශී කරමින්, කලා ලොවේ දැවන්තයින්ගේ නොමසුරු ඇසුර අප වෙත ළඟා කරදෙන්න එතුමන් විශාල වෑයමක් නිරත වුණා.

වසර ගණනාවකට පසු මේ අංකුර තරුණයන් විවිධ මාධ්‍ය හරහා කරළියට පැමිණ තිබුණා.

නිහඬ, එහෙත් වචනයෙන් කියා නිම කළ නොහැකි අනුපමේය සේවයක් කළ ගමගේ සර් වෙනුවෙන් උපහාර උත්සවයක් පවත්වන්නට කවියෙකු හා ගීත රචකයෙකු ලෙස නමක් දිනාගත් බණ්ඩාර ඇහැළියගොඩ ගෙනා අදහසට අපේ දායකත්වය නොමසුරුව ලබා දුන්නා.

බණ්ඩාර එවකට ජනකලා කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කිරීම පහසුවක්ම වුණා. උපහාර උත්සවය තියන්නට අප ජනකලා කේන්ද්‍ර භූමියම තෝරා ගත්තා.

ඒ සමගම බොහෝ සැන්දෑ යාමයන් අප ගෙවා දැමුවේ ජනකලා කේන්ද්‍ර බිමේදී. මා ස්වර්ණවාහිනියේ සිට කෙලින්ම ආවේ එතැනටයි.

උත්සවය සවිධානය කිරීමේ සාකච්ඡා වලින් අනතුරුව මිතුරු සමාගම රෑ බෝ වන තුරු "සෙට්" වුණා.

සියල්ල මැනැවින් සංවිධානය කිරීමෙන් පසු උපහාර උත්සවයට දින දෙකකට පෙර පැවැති සැඳෑ කතාබහට ගමගේ සර්ටත් ඇරියුම් කරන්නට තීරණය කළේ වැඩසටහනේ කිසියම් අඩුපාඩුවක් ඇත්නම් ඒ ගැන දැන ගන්නා අටියෙන්.

රෑ හත පමණ වෙද්දී නිළ කතාබහ හමාර වුණා. 

පොඩ්ඩක් පානය කරලම යමු නේද....ගමගේ සර් ඇසුවා.
කට්ටියගෙ කට කණේ.

මගෙ වෑන් එකේ පිටිපස්සෙ සීට් එක යට බකාඩි බෝතලයක් ඇති. අනුරම ගිහිං අරං එනවද....සර් ඇහුවා.

අනුර බී.සෙනෙවිරත්න කවියා බෝතලේ අරං ආවා.

බණඩාරගෙ ෆ්‍රිජ් එකේ කොක කෝලා තිබුණා. 

ඉන්ද්‍රනාථ තේනුවර, අනුර බංඩාර රාජගුරු, විපුල හේවා වළිමුණි, ජගත් රණතුංග ඇතුළු අප පිරිස වීදුරු වලට බකාඩි දමාගෙන කොක කෝලා වක්කර ගත්තේ ගමගේ සර්ට පිං දෙමින්.

මා ඊට කලිං බකාඩි බීල තිබුණෙත් නෑ. අහල තිබුණට.
(තාමත් බකාඩි මගේ ප්‍රියතම පානයක්)

දැන් යටගිය රසකතා කියමින් කට්ටිය බකාඩි බොනවා. 

"තාම වදින්නෙ නෑනෙ."

"බකාඩි වදින්න ටිකක් වෙලා යනවා."

"මම නං මේ බකාඩි බොනවමයි."

"මාත් එහෙමයි මචං..."

මේ කතාබහ ගමගේ සර්ගෙ සවනට වැටුණා.

"අනුර...ඔයා කොතන තිබුණ බෝතලේද ගෙනාවෙ"

"පිටිපස්සෙ සීට් එක යට. දෙකක් තිබුණ. මම එකක් ගෙනාව."

"එහෙනං ගිහිං අනෙක් බෝතලෙත් ගේන්නකො"

අනුර ගියා අනෙක් බෝතලේ ගේන්න.

"බෝතල් දෙකක් තිබුණ කියන්නෙ අනෙක වතුර බෝතලේ..." සර් කිව්ව.

"එතකොට අපි මෙච්චර වෙලා බීල තියෙන්නෙ කෝක් එක්ක වතුරද..." තේනුවර කට ඇද කරගෙන ඇහුව.






Saturday 21 November 2015

අධිවේගී මාර්ගයක අංශක 180 ක් ආපස්සට



හු ගිය වතාවෙ ලංකාවට ගිහිං ආපසු එන්න දවසකට දෙකකට කලිං කුලී පදනමට ගත්ත කාර් එක සුළු පහේ අනතුරකට පත් වුණා.

වාහනේ දුන්න නිලාට call කරල කිව්වම Viber එකෙන් photo එකක් එවන්න කිව්ව හැරෙන තැපෑලෙන්.

Photo
එක දැක්ක නිලා හිටු ගාල ආපස්සට call කරන්න ගත්ත. "ගොඩක් damage නේද...buffer එක පුපුරල නේද..light එකට damage නැද්ද..."

Accident
එක වුණේ පොද වැස්සෙ. ඒ වගේම වැදුණ විදිහෙන් මම දැනගත්ත එච්චර ලොකු අලාභයක් නොවන බව.

මම වාහන reverse කරන විදිහ හරි ක්‍රමවත් කියල දන්න අඳුනන අය කියනව. ඒ හංද reverse එකේ ගද්දි accident වුණ එක ගැන මටත් පුදුමයි.

නුගේගොඩ පුතාගෙ annex එක ඉදිරිපිට පටු පාර හදමින් තිබුණ නිසයි දෙපැත්තෙ තියෙන ගේට්ටු දෙකක ඉඩ උපයෝගී කරගෙන කාර් එක හරවන්න හැදුවෙ. පොඩ්ඩක් අනුමානය වැරදිලයි තාප්පෙට අඩ තිබ්බෙ.

වාහනේ බාර දෙන්න ගියාම damage එක දෑහින් දැක්කට පස්සෙ නිලාගෙ ඇඟට පණක් ආව වගේ.

"Photo
දැක්කම මම හිතුවෙ ලොකු damage එකක් කියල. මේක පොඩි දෙයක්නෙ. "

එදා සිටන්ම මා අතින් වාහන accident වෙන්නෙ බොහොම හෙමින් පදවා ගෙන යද්දි තමයි. එක්කෝ හරවද්දි. නැත්නම් traffic එකේදි.

කොහොමත් සාමාන්‍යයෙන් අධික වේගෙන් රිය පදවන්නයි මම පුරුදු වෙලා තියෙන්නෙ. ඒක මටවත් හදාගන්න බැරි පුරුද්දක්. වේගය ඉක්මවා යනව මට පේන්නෙ නැත්තෙ සුක්කානම ඒ තරමටම අතට හුරු නිසාද මංද.

ඒ වගේම තමයි වාහනේ වේගෙන් පදවනව කියල කී දෙනෙක් නං ආඩපාළි කියල ඇද්ද. සමහරු කියා ගන්න බැරුව වාහනේට නැග්ග මෝඩකම කියල හිතන අවස්ථාත් ඕනෙ තරම් ඇති.

අවුරුදු ගාණකට ඉස්සර වෙච්චි එක සිද්ධියක්  නං මතකයි.

කොහෙ හරි ගමනක් ගිහිං එද්දි වේගෙ වැඩියි...අඩු කරන්න කියල පුතාගෙ අම්ම කකෙඳිරි ගාන්න පටං ගත්ත. පුතාට නං පුංචිකමටද කොහෙද වේගෙන් යන තරමට ත්‍රිල්.

ඒත් අම්ම ඒ අවදානම ගන්න කැමැති වෙන්නෙ නැහැනෙ.

වාහනේ පදවන කොට උපදෙස් දෙද්දි මටත් මළ පනින නිසා මම කළේ 'දැන්වත් ටිකක් හයියෙන් යං' කියන කල් ඉබ්බ යන්නැහෙ හැතැප්ම ගාණක් විස්සෙ තිහේ වේගෙන් හෙමීට කාරය පදවපු එකයි.

වාහනේට බල්ලො, පූසො නං අනන්තවත් අඩ තියල ඇති. එක වතාවක් හරකෙක් (කකුල් හතරෙ හො‍ඳේ) පැනල, side mirror  එක කැඩුණ මතකයි.

මුලින්ම කාර් licence ගන්න වුණේ MOTIVATION කියන NGO එකේ තාවකාලිකව වැඩ කරපු කාලෙ.

ජනසංනිවේදන පශ්චාත් උපාධිය කරන්න විශ්වවිද්‍යාල සේවයෙන් නිවාඩු අරං ඇවිත් ඉන්න ගමන් තමයි එතන වැඩ කළේ. අපි තොග වශයෙන් භාණ්ඩ මිලදී ගත්තම සාක්කුවට ගාණක් වැටෙනව කියල මම මුලින්ම දැනගත්තෙ එතනදි.

එතන රස්සාවට ඕනෙ වුණ නිසා තමයි කාර් licence ගත්තෙ. මා අතින් පළමු අනතුර සිද්ධ වුණෙත් MOTIVATION එකෙන් දුන්න වෑන් එකෙනුයි.

ඒකත් ගම කන කතාව.

රාගම ඉඳන් වත්තලට ආවෙ ලියවන පට්ටලයකින් වැඩක් කරගන්න. මම වෑන් එක බොහොම පරෙස්සමින් අරං ඇවිත් වැඩපොළ ඉදිරිපිට මීගමු-කොළඹ මාර්ගයට යාබදව නැවැත්තුව.

නවතල පට්ටලේ පැත්තට ගියා.

මිනිත්තුවක් ගියෙ නැහැ....චකබලාස් සද්දයක් ආව. නිකං වීදුරු ගොඩක් චප්ප වෙනව වගේ සද්දයක්.

මම හැරිල බලද්දි නවතපු තැන වෑන් එක නැහැ. මිනිස්සු වට වෙලා.

ගිහිං බැලින්නම් ජූලි හතයි. මම නුහුරු කමට ගිහිං තියෙන්නෙ gear neutral තියෙද්දි. Hand brake අදින්නෙ නැතිව.

වාහනේ ඉදිරියට ඇදී ගිහිං පාර අද්දර විකුණන්න ගොඩ ගහල තිබුණ විදුරු මාලු ටැංකි කිපයක් කුඩු කරගෙන ගිහිං නැවතිලා.

තොග වශයෙන් භාණ්ඩ මිලදී ගත්තම සාක්කුවට වැටුණ ගානෙන් තමයි අලාබෙ ගෙව්වෙ. නැත්තං මාසෙ වැටුපෙන් බාගයක් එතෙනන්ට දෙන්න වෙනව.

ඔයාකාර පොඩි පොඩි accident වුණාට කලින් කිව්ව වගේ carpet පාර වල හැටට හැටේ ගිහිල්ලත් බරපතළ අනතුරු සිද්ධ වෙලා නැහැ.

හැටට  හැටේ නොවෙයි, අධිවේගී මාර්ග වල එකසිය විස්සට ගිහිල්ලත්. බහරේන් ආවට පස්සෙ තමයි එහෙම පදවන්න අවස්ථා ලැබුණෙ. මෙහෙ තියන තරමක් highway.

අපේ ජීවිත වල විවිධ හැලහැප්පීම් එක්ක සමහර දේ අවිඥානිකව සිද්ධ වෙනව. සිහිකල්පනාව වෙනතක යොමු වුණාම දෛනිකව පුරුද්දට කරන දේවල් අංශුවකින් වෙනස් වෙන්න පුවවනි.

මම එහෙම කියන්නෙ වාහන පැදවීම අපි කරන්නෙ අවිඥානිකව නිසා. අපි වාහන පදවන්නෙ දැන් හරවන්න ඕනෙ, දැන් lane එක මාරු කරන්න ඕනෙ කියල හිත හිත නොවෙයිනෙ. ඒව සිද්ධ වෙන්නෙ ඉබේටම. හුරුවට.

මාස කිපයකට පෙර මේ කියන්න යන දවසෙත් වෙනද වගේම මම උදේ වැඩට යන්න වාහනේ highway එකට දැම්ම. 

එක තැනක් තියෙනව මගෙ ගමන් මාර්ගය තෝරගන්න lane කීපයක් cross කරන්න සිද්ධ වෙන.

මම හිතන්නෙ මගෙ වේගය අසුවෙ විතර ඉඳන් සීයට වැඩි වෙමින් තියෙන්න ඇති. 

මම වෙන වාහනයකට ඉස්සර කරමින් දකුණු පස කෙලවරට ගිහිං ඒ මං තීරුවෙ ඉඳන් වම් පස කෙළවර මං තීරුවට ධාවනය කළා. ඒක නොකළ යුතුම overtake කිරිමක්. ඒකයි කිව්වෙ අවිඥානිකව අපි යම් යම් දේ කරනව කියල මානසික තත්ත්වය අනුව.

මට වේගය පාලනය කරගන්න අමාරු වුණා.

මට දැනෙන්න ගත්ත වාහනය මගේ පාලනයෙන් තොරව වම් පසට ඇදී යනව. එහෙම තව මීටර් කීපයක් ගියොත් කෙලවරේ තියෙන විශාල බැම්මෙ වැදිල වාහනේ කුඩුපට්ටම් වෙන බව එක නිමේශයෙකදි මට දැනුණ.

මම තිරිංග පාගන අතරතුර සුක්කානම දකුණට කැපුව. අනතුරෙන් බේරෙන්න.

එක වරම වාහනය බැම්මෙ නොවැදි අංශක එකසිය අසූවක් ආපස්සට හැරුණ. ඒ තත්පරයෙන් කොටස තුළ මට කිසිම දෙයක් පෙනුණෙ නැහැ. 

වාහනය නැවතුණාම මම ඉදිරිය බැලුව. පිටිපස්සෙන් ආව වාහන කිපයක් මට මුහුණ ලා නවතන් ඉන්නව දැක්කෙ එවිටයි. ඒවයෙ උන්න රියැදුරෝ හිස් වල අත් ගසාගෙන ඉන්නව මම දැක්ක.

මම මොහොතක් ගල් වුණා.

ඉදිරියෙන් සමීපයෙන් ඉන්න රියැදුරා මට වාහනය හරවගන්න කියල අතිං සංඥා කළා.

මම හෙමීට රොබෝ කෙනෙක් වගේ වාහනය හරවගෙන අයින් කරල නැවැත්තුව.

ඒ මොහොතෙයි මට ජිවිත අවදානම දැනුණෙ. මම තවම පණ පිටිං නේද කියල දැනුණෙ.

මට එතනින් එහාට වාහනය පදවන්න ශක්තියක් තිබුණෙ නැහැ.

මම Viber තාක්ෂණයෙන් ලංකාවට කතා කළා. මගේ තිගැස්ම දුරකථන සංඥා ඔස්සේ සම්ප්‍රේෂණය වුණා.

ඊට පස්සෙ අඩුම වේගෙන් වාහන ධාවනය කරන දකුණු කෙළවරේ මං තීරුව දිගේ හැටේ වේගෙන් වාහනය පදවාගෙන වැඩට ගියා. මා සුරක්ෂිතව යන තුරුම Viber තාක්ෂණය cut නොවීම හිතට හයියක් වුණා.

අධිවේගී මාර්ගයක අංශක 180 ක් ආපස්සට වාහනය හැරිලත් තවමත් ජිවතුන් අතර නේද කියල මම තාමත් හිතනව.





Saturday 17 October 2015

මහාචාර්යවරයෙක් ප්‍රාණ ඇපයට ගත් පරාජිත ශිෂ්‍ය සටනක්


(ප්‍රථම වරට ලිඛිතව හෙළිදරව් කරන සත්‍ය කතාවක්)


80 දශකයේ මුල් භාගයේදී පේරාදෙනිය සරසවියේ පැවැතියේ අතිශය පීඩාකාරී පාලනයක්. විශේෂයෙන් ජේ.ආර්. ජයවර්ධනගේ විජයග්‍රාහී ආණ්ඩුව දැඩි ශිෂ්‍ය මර්දනයක් දියත් කොට තිබුණේ ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ සමාජවාදී ශිෂ්‍ය සංගමයට හිස ඔසවන්නට ඉඩ නොදීමේ අරමුණින්. ජ.වි.පෙ. ගැන කවරාකාරයේ විවේචන තිබෙන අයෙකුට වුවත් ඒ යුගයේ සරසවිය තුළ වූ අමනෝඥ රාජ්‍ය මැදිහත් වීමට එරෙහිව නැගී සිටින්නට ශක්තියක් තිබුණේ එකී දේශපාලන ව්‍යාපාරයට පමණක් බව අමතක කරන්නට නොහැකි බවයි මගේ කල්පනාව වන්නේ.

වාර්ෂිකව පැවැත්වෙන සරසවි ශිෂ්‍ය නිළවරණයෙන් සුපුරුදු ලෙස සමාජවාදී ශිෂ්‍ය සංගමය අති බහුතර ජයක් ලබනු නොරිසි පාලක පක්ෂය තම හිතවාදී සමවාදී ශිෂ්‍යයන් හෙවත් සරසවි බසින් පවසනවා නම් “ජුන්ටන්” උපයෝගී කොටගෙන ජයග්‍රහණයෙන් උද්දාමයට පත් ශිෂ්‍ය පෙළපාලියකට මාකස් ශාලාව අසලදී දැඩි ප්‍රහාරයක් එල්ල කළා.

මේ ප්‍රහාරයට විරුද්ධව පොදු ශිෂ්‍යයන් පංති වර්ජන, පිකටිං සංවිධානය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස වැරදිකරුවන් නිශ්චය කිරීම සඳහා පාලකයන් විසින් උදලාගම විනිසුරුවරයාගේ මූලිකත්වයෙන් යුතුව කොමිසමක් පත් කරනු ලැබුවා. එය “උදලාගම කොමිසම” නමිනුයි හැඳින්වුණේ.

කූප්‍රකට උදලාගම කොමිසමේ වාර්තාවට අනුව ප්‍රහාරය එල්ල කළ “ජුන්ටන්” නිවැරදිකාරයන් වී ප්‍රහාරයට ලක්වූවන්ගේ පංති තහනම් කෙරෙන කැකිල්ලේ තීන්දුවක් ක්‍රියාත්මක වුණා. පසු කාලයේ ජාතික තලයේ ජ.වි.පෙ. ක්‍රියාධරයෙකු මෙන්ම එවකට ඉංජිනේරු ශිෂ්‍යයෙකු වූ ආනන්ද ඉඩමේගම (ධම්මික මහත්තයා) ඇතුළු සත් දෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කරනු ලැබීම පොදු ශිෂ්‍යයන්ගේ සිත් සතන් තුළ කිසියම් ආකාරයකට පාලකයන්ට එරෙහි වෛරී හැඟීමක් ජනිත කරන්නට සමත් වුණා.

                               ධම්මික මහත්තයා නොහොත් ආනන්ද ඉඩමේගම

ඉන් අනතුරුව මේ අසාධාරණ පංති තහනම් කිරීම් හා ශිෂ්‍යභාවය අහෝසි කිරීම්වලට එරෙහිව නිරන්තරයෙන් විරෝධතා ව්‍යාපාර සංවිධානය වුණා. පිකටිං, පංති වර්ජන මෙන්ම අභියෝගාත්මක පෙළපාළි සරසවි දිවියේ සාමාන්‍ය එදිනෙදා අත්දැකීම් බවට පත් වෙන්නට වැඩි කලක් ගත වූයේ නැහැ.

මේ කිසිදු විරෝධතාවක් තඹේකට මායිම් නොකළ, සිසුන්ට පියෙකු විය යුතු යැයි මා විශ්වාස කරන, එහෙත් මැර පාලකයෙකු ලෙස නම් කරන්නට මා නොපැකිළෙන උපතුලපති පණ්ඩිතරත්න  දිනෙන් දින ශිෂ්‍ය මර්දනය දියත් කළේ විරෝධතාවේ යෙදෙන සිසුන් ඉවක් බවක් නොමැතිව දඩයම් කරමිනුයි.

මෙහි කූටප්‍රාප්තිය වූයේ ශිෂ්‍යයන් උපවාසයක් කරා තල්ලු කිරීමයි. මා කලින් සඳහන් කළ පිකටිං, පංති වර්ජන, පෙළපාළි වැනි විරෝධතා නිෂ්ඵල ප්‍රයත්නයන් බවට පත්වෙද්දී, සිසුන් උපවාස කරා යොමු වීම වැළැක්විය නොහැකියි. උපවාසය ආරම්භ කෙරුණේ සරසවි පරිපාලනය ඒකකය පිහිටි සනාතන මන්දිරයට යාබද කලා පීඨ ගොඩනැගිල්ලත්, ප්‍රධාන පුස්තකාලයත් යා කරන විවෘත කොන්ක්‍රීට් වහළය මත තැනූ අට්ටාලයකයි.

                                සනාතන මන්දිරය අසල උපවාසය කළ කොන්ක්‍රීට් වහළ

ශිෂ්‍යයන් හත්දෙනාගේ පංති තහනම ඉවත් කිරීමට බල කරමින් තවත් සිසුන් හත්දෙනෙකු උපවාසයට හිඳගත්තේ ජයග්‍රහණයකින් මෙපිට සටන අත්හරින්නේ නැති බවට සපථ කරමිනුයි. එහෙත් මේ උපවාසය ගැන නෑසූ කන් ඇතිව සිටින්නට පාලකයන් පියවර ගත්තේ සිය උද්දච්ඡභාවය ප්‍රකට කරමින් අන්තනෝමතික ආකාරයටයි.

මේ තත්ත්වය හමුවේ සමාජවාදී ශිෂ්‍ය සංගමය සමග ප්‍රයෝගිකව සම්බන්ධ නොවූ මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය සමග අනුගතව නොසිටි අප වැනි පොදු කාරණාවලදී ක්‍රියාකාරී වූ ශිෂ්‍යයන් ශිෂ්‍ය සටන වෙත  ආකර්ෂණය වුණා. විවිධ ඉසව් වල විසිරී සිටි සිසුසිසුවියන් කිසියම් සහෝදරාත්මක බැඳීමකින් එක් අරමුණක් වෙත සමීප කරන්නට ‍පාලකයන්ගේ අසාධාරණ මුණිවත බල කළා.

උපවාසය “මාරාන්තික උපවාසයක්” බවට අවතීර්ණ වූයේ ශිෂ්‍යයන් පමණක් නොව ආචාර්ය මණ්ඩලයේ බහුතරයක් උපතුලපතිවරයාගේ ක්‍රියා පිළිවෙත පිළිකුළින් හෙළා දකින තත්ත්වයක් යටතේදීයි.

මාරාන්තික උපවාසය දවසින් දවස ගෙවෙද්දී ශිෂ්‍යයන් අතර හැඟීම් ඇවිස්සෙන්න පටන් ගත්තා. මුළු සරසවියම එකා වන්ව පංති වර්ජනයකට අවතීර්ණ වූයේ මාරාන්තික උපවාසයත් සමගයි. දිනපතා අති දැවැන්ත පෙළපාළි සරසවි බිම ආක්‍රමණය කළා. ගලහ හංදියේ සිට සනාතන මන්දිරය දක්වා මොර දෙමින් විවිධ සටන් පාඨ කියමින් ඇදෙන පෙළපාළිවලට දිනෙන් දින එක් වෙන ශිෂ්‍ය සංඛ්‍යාව වර්ධනය වූයේ පාලකයන් වෙත භීතියේ සංඥාවක් ගෙන එමිනුයි.

අවසානයේ සරසවිය දින නියමයක් නොමැතිව වසා දමා ශිෂ්‍යයන්ට වහාම පිට වන ලෙස බල කෙරුණා. එහෙත් පොදු අරමුණක් වෙනුවෙන් මාරාන්තික උපවාසයක නියැලෙන සහෝදර සිසුන් අත්හැර ගම්බිම් කරා යන්නට වැඩිමනත් සිසුසිසුවියන් පෙළැඹුණේ නැහැ. පාලකයන්ගේ අණට එරෙහි වූ ඔවුන් සරසවි බිමේ කඳවුරු බැඳගත්තා.

බලහත්කාරයෙන් පොලිසිය සරසවි බිමට ඇතුළු වී උපවාසයේ යෙදෙන සිසුන් පැහැරගෙන යන්නට ඉඩ ඇති බවට ඇති වූ සැකය සිසුන් ජයගත්තේ විශ්වවිද්‍යාලයට අවතීර්ණ විය හැකි සියලු මාර්ග අවහිර කොට, ගස්වල අතු කපා බාධක යොදා සිය අණසකට නතුකොට ගැනීමෙනුයි. මේ මාර්ග බාධක දිවා රෑ නොතකා පැය විසිහතරේම සන්නද්ධව සුරැකීමට සිසුන් පියවර ගත්තා.

උපවාසයේ යෙදෙන සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින අවදානම් වෙද්දී ශිෂ්‍ය සංගම් සමග සාකච්ඡා පවා අත්හිටවූ උපකුලපතිවරයා සිය කාර්යාලයට පැමිණීමද සීමා කළා.

ඒ සමගම ශිෂ්‍යයන් ජිවිත අවදානමෙන් බේරා ගැනීම සඳහා පාලකයන්ට බල කෙරෙන දැඩි ක්‍රියාමාර්ගයකට යා යුතු යැයි ශිෂ්‍යසභා කාර්යාලය අසල පැවැති ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ සාකච්ඡාවකදී තින්දු වුණා. මාද ඊට සහභාගි වී සිටියේ දැඩි ආවේගශීලී හැඟීම් සමගයි. ඒ අනුව උපකුලපතිවරයා ප්‍රාණ ඇපයට ගෙන ඉල්ලීම් ලබාගැනීමට තීන්දු වුණා. ඉන් එහා විකල්පයක් අප ඉදිරියේ වූයේ නැහැ.

එදින දහවල් 12 ට පෙර උපකුලපතිවරයා සිය කාර්යාලයේදී අත් අඩංගුවට ගෙන අනතුරුව උපවාස ස්ථානය දක්වා බලහත්කාරයෙන් කැඳවාගෙන ඒමට තීන්දු වුණා. මෙය අතිශය වගකීම් සහිත, අවදානමෙන් යුතු කටයුත්තක් බව අප දැනගෙන උන්නා. ඒ සඳහා සූදානම් වුණා. සරසවිය පුරා විසිරී සිටි දහස් ගණනක් සිසුසිසුවියන් තමයි අපගේ ශක්තිය වු‍ණේ.

                    පේරාදෙනි සරසවි පච ගහ

උපකුලපතිවරයා ප්‍රාණ ඇපයට ගැනීමට සමගාමීව සනාතන මන්දිරය ඉදිරිපිට “පචගහ” අසලින් ආරම්භ වන දැවැන්ත පෙළපාළියක් සංවිධානය කෙරුණේ ‍පාලකයන්ගේ පමණක් නොව ශිෂ්‍යයන්ගේ අවධානයද වෙනතකට යොමු කිරීම සඳහායි. පෙළපාළිය ගලහ හංදියට වෙත ගමන් කොට උපවාස අට්ටාලය වෙත ආපසු පැමිණෙන කාලය අතරතුර ඉතා රහසිගත මෙහෙයුම ක්‍රියාත්මක කළ යුතුව තිබුණා.

නියමිත වේලාව වන විට උපකුලපතිවරයා එදින නොපැමිණෙන බවත්, එවකට විද්‍යා පීඨාධිපති වූ මහාචාර්ය ඩයස් වැඩබලන උපකුලපති ලෙස පණ්ඩිතරත්නගේ උපදෙස් ක්‍රියාත්මක කරන බවත් අපට ආරංචි වුණා.

පෙළපාළිය දැවැන්ත පිඹුරෙකු ඇදෙන්නා සේ කලාගාරය ඉදිරිපසින් අල්විස් වටරවුම  දෙසට ඇදෙන්නට පටන් ගත්තා. ඝෝෂාකාරී සටන්පාඨ වලින් මුළු සරසවි බිමම දෝංකාර දෙන්නට වුණා. මාරාන්තික උපවාසයේ යෙදෙන සිසුන්ගේ ජීවිත, අවදානමේ බවත් කිසිදු අහරක් හෝ පානයක් නොමැතිව පස්වන දිනයටත් ළඟා වන හෙයින් තව පමා වුවහොත් උපවාසය නැවතුණත් දීර්ඝ කාලීන ආබාධවලට ඔවුන් ලක්විය හැකි බවත් ජ්‍යෙෂ්ඨ වෛද්‍ය සිසුන් පැහැදිලි කළා.

ඒ මොහොතේ ඉතා දැඩි ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී‍මට මේ තත්ත්වය අපට බල කළා. ඒ අනුව උපකුලපතිවරයා වෙනුවට මහාචාර්ය ඩයස් අත්අඩංගුවට ගැනීමට තීන්දු වුණා. ඒ සඳහා පෙරමුණ ගත යුත්තේ කිසි ලෙසකින් මහාචාර්යවරයාට හඳුනාගත නොහැකි සිසුන් බවට කළ යෝජනාවට අනුව මාත් මා සමග නිෂ්පාදන ඉංජිනේරු විෂයයන් හැදෑරූ ‘ජැකා’ත් (‘ජැකා’ යන අනවර්ථ නාමය නිසා ඔහුගේ අනන්‍යතාව මේ ලිපියේදී සුරැකෙනු ඇති. දන්නෝ දනිති.) තවත් කිහිප දෙනෙකුත් ඊට මූලික වන්නට එකඟ වුණා. මහාචාර්ය ඩයස්ගේ රූපකාය අප නොහඳුනන හෙයින් විද්‍යා පීඨයේ ඔත්තුකරුවෙකු අපට පෙර එතුමාගේ කාර්යාලයට ගොස් එතුමන් එහි සිටින බව ස්ථිර කළා.

මමත් ‘ජැකා’ත් මට නමින් සිහිපත් නොවන තව දෙතුන් දෙනෙකුත් විද්‍යා පීඨාධිපති කාර්යාලයට ගොස් කෙටි දේශනයක් පැවැත් වූවේ මාරාන්තික උපවාසයේ යෙදෙන සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය හා ජීවිත අවදානම පැහැදිලි කරමින් වැඩ බලන උපකුලපතිවරයා ලෙස එතුමන්ගේ මැදිහත් වීමේ අවශ්‍යතාව අවධාරණය කරන්නටයි. එසේම මේ මොහොතේ උපවාස අට්ටාලය වෙත ගොස් අප පවසන කාරණා සියැසින් දැක බලාගැනීමේ වැදගත්කමත් අප අවධාරණය කළා.

මහාචාර්ය ඩයස් දැඩි භීතියකට පත්වුණා නිසැකයි. තමන්ට අප හා පැමිණෙන්නට නොහැකි බව එතුමන් පවසා සිටියා. එහෙත් අප පැමිණ සිටියේ අපගේ ඉලක්කය ජය ගැනීමට මිස හිස් අතින් ආපසු යන්නට නම් නොවේ. මාත් ‘ජැකා’ත් මහාචාර්යවරයා දෙපසින් ඔසවා ගත්තා. අප සූදානම් වූයේ ඔසවාගෙන වුව එතුමන් උපවාස අට්ටාලය වෙත රැගෙන යන්නටයි. තමන්ට ගැලවිමක් නොමැති බව තේරුම් ගත් මහාචාර්යවරයා තමන්ව බිමින් තබන ලෙසත්, අප හා එන්නට එකඟ බවත් පැවසූවා.

මේ වන විට පෙළපාළිය නමැති පිඹුරු රාජයා ගලහ පාර ඔස්සේ ආපසු පැමිණෙමින් තිබුණා. ඊට සමාන්තරව මහාචාර්ය ඩයස් ආරක්ෂක වළල්ලකට මැදි කොටගෙන අප ඉදිරියට ඇදුණේ විකල්ප මගක් ලෙස සරසවි ක්‍රීඩා භූමිය ඔස්සේ වැටී ඇති අඩිපාර දිගේයි. කිසිදු අතුරු හිංසාවකින් තොරව මහාචාර්යවරයා උපවාස භූමියට රැගෙන ඒම සඳහායි, පැහැර ගැනීමේ සංවිධායකයින් විසින් මේ ආරක්ෂක වළල්ල යොදා තිබුණේ. මේ වළල්ලෙන් රිංගා මහාචාර්යවරයාගේ වෘෂණ කෝෂ මිරිකන්නට තැත් කළ කඩප්පුලියෙකුව තග දමා ඉවත් කරන්නටත් සිදු වුණා.

                                       විද්‍යා පීඨයෙන් සනාතන මන්දිරයට

මහාචාර්යවරයා අට්ටාලය පිහිටි උස් ස්ථානයට ඉණිමගක් යොදාගෙන නැංවීම දක්වාම මමත්, ‘ජැකා’ත් දෙපසින් උන්නේ අප බාරගත් රාජකාරිය ඉතා නිවැරදිව ඉටු කරමිනුයි. මහාචාර්ය ඩයස් උපවාසකරුවන්ගේ සුවදුක් විමසන්නට උත්සුක වූයේ තමන්ගේ ජිවිතයත් අනතුරක නොවේදැයි භීතියෙන් යුතුව විය යුතුයි.

මහාචාර්යවරයා බේරාගැනීමේ මෙහෙයුම ආචාර්ය මණ්ඩලයේ මෙහෙයවීමෙන් සිදුවුණා. උපකුලපතිවරයා, යටත් වු බව ප්‍රකට කරමින් සියලු ඉල්ලිම් ලබා දෙන බවට ලිඛිත පොරොන්දු පත්‍රයක් එවා තිබුණා. උපවාසය නැවතුණා. මහාචාර්ය ඩයස් නිරුපද්‍රිතව ගෙදර ගියා. එවකට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වූ පසු කලෙක ජ.වි.පෙ. නායකයෙකු ලෙස ඝාතනයට ලක් වූ ඩී. එම්. ආනන්ද විජයග්‍රාහී කතාවක් පවත්වමින් සාමකාමිව විසිර යන ලෙස ඉල්ලා සිටියා.

විශ්වවිද්‍යාලය දින නියමයක් නැතිව වසා තිබූ හෙයින් පොදු ශිෂ්‍යයන් ප්‍රමුදිත මනසින් යුතුව ගෙවල් දොරවල් බලා පිටත් වුණා. පසුදා පිටත්ව යන අදහසින් රැඳී සිටි අප වැනි පිරිස මහ රෑ සරසවි බිම අත්පත් කොටගත් ආයුධ සන්නද්ධ පොලිස් බල ඇණියේ කාරුණික ආරක්ෂාව යටතේ මහ රෑ මහනුවර බස් නැවතුම වෙත බලහත්කාරයෙන්, එහෙත් කිසිදු විරෝධයක් නොමැතිව ගෙනැවිත් අතහැර දමනු ලැබුවා.

මාස ගණනාවකට පසු විභාග සඳහා සරසවිය විවෘත වෙද්දී උපකුලපතිවරයාගේ පොරොන්දු පත්‍රය කුණු කූඩයට විසිවී තිබුණා. පංති තහනම්, ශිෂ්‍යභාවය අහෝසි වීම් පෙරපරිදිම ක්‍රියාත්මක වුණා. පොදු ශිෂ්‍යයන් මෙන්ම සරසවියත් දැඩි නිහඩතාවක ගිලුණා. විභාග පැවැත්වුණා. අවසන් වසරේ සිටි අපේ සගයන් විසිරී ගියා.

කළු ජූලිය එළැඹුණා. ජ.වි.පෙ. භූගත වුණා. ශිෂ්‍ය නායකයන්ගේ කොඳු කඩාදමා තිබුණා. මා ඇතුළු කිහිප දෙනෙකුට රිමාන්ඩ් බන්ධනාගාර ගතවන්නට සිදුවුණා. අපට විරුද්ධව රහස් පොලිසිය පැවරූ නඩුව වසර කිහිපයකට පසු සාක්ෂි නොමැතිකමින් ඉවතට විසි වුණා.

සිද්ධියෙන් වසර එකහමාරකට පසු නාවික හමුදා නිළධාරියෙකු ලෙස මා බඳවා ගනිද්දී එම රහස් පොලිසියටම මට විරුද්ධව තමන් විසින්ම පවරනු ලැබූ නඩුවක් මහනුවර උසාවියේ තිබෙන බව සොයා ගන්නට ලැබුණේ නැහැ. 

(වාර්ෂික සමරු කළඹක පළ කරන්නට සරසවි මතක ලිපියක් ලියන්නට මා පෙළඹවූ කැනඩාවේ එඩ්මන්ටන්හි පදිංචි ඉංජිනේරු පත්මා රත්නායකට තුති පුදමි. මේ නොකී කතාව  සංශෝධන සහිතව මෑතදී මුලින් පළ වූයේ එහිය.)