Saturday, 17 October 2015

මහාචාර්යවරයෙක් ප්‍රාණ ඇපයට ගත් පරාජිත ශිෂ්‍ය සටනක්


(ප්‍රථම වරට ලිඛිතව හෙළිදරව් කරන සත්‍ය කතාවක්)


80 දශකයේ මුල් භාගයේදී පේරාදෙනිය සරසවියේ පැවැතියේ අතිශය පීඩාකාරී පාලනයක්. විශේෂයෙන් ජේ.ආර්. ජයවර්ධනගේ විජයග්‍රාහී ආණ්ඩුව දැඩි ශිෂ්‍ය මර්දනයක් දියත් කොට තිබුණේ ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ සමාජවාදී ශිෂ්‍ය සංගමයට හිස ඔසවන්නට ඉඩ නොදීමේ අරමුණින්. ජ.වි.පෙ. ගැන කවරාකාරයේ විවේචන තිබෙන අයෙකුට වුවත් ඒ යුගයේ සරසවිය තුළ වූ අමනෝඥ රාජ්‍ය මැදිහත් වීමට එරෙහිව නැගී සිටින්නට ශක්තියක් තිබුණේ එකී දේශපාලන ව්‍යාපාරයට පමණක් බව අමතක කරන්නට නොහැකි බවයි මගේ කල්පනාව වන්නේ.

වාර්ෂිකව පැවැත්වෙන සරසවි ශිෂ්‍ය නිළවරණයෙන් සුපුරුදු ලෙස සමාජවාදී ශිෂ්‍ය සංගමය අති බහුතර ජයක් ලබනු නොරිසි පාලක පක්ෂය තම හිතවාදී සමවාදී ශිෂ්‍යයන් හෙවත් සරසවි බසින් පවසනවා නම් “ජුන්ටන්” උපයෝගී කොටගෙන ජයග්‍රහණයෙන් උද්දාමයට පත් ශිෂ්‍ය පෙළපාලියකට මාකස් ශාලාව අසලදී දැඩි ප්‍රහාරයක් එල්ල කළා.

මේ ප්‍රහාරයට විරුද්ධව පොදු ශිෂ්‍යයන් පංති වර්ජන, පිකටිං සංවිධානය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස වැරදිකරුවන් නිශ්චය කිරීම සඳහා පාලකයන් විසින් උදලාගම විනිසුරුවරයාගේ මූලිකත්වයෙන් යුතුව කොමිසමක් පත් කරනු ලැබුවා. එය “උදලාගම කොමිසම” නමිනුයි හැඳින්වුණේ.

කූප්‍රකට උදලාගම කොමිසමේ වාර්තාවට අනුව ප්‍රහාරය එල්ල කළ “ජුන්ටන්” නිවැරදිකාරයන් වී ප්‍රහාරයට ලක්වූවන්ගේ පංති තහනම් කෙරෙන කැකිල්ලේ තීන්දුවක් ක්‍රියාත්මක වුණා. පසු කාලයේ ජාතික තලයේ ජ.වි.පෙ. ක්‍රියාධරයෙකු මෙන්ම එවකට ඉංජිනේරු ශිෂ්‍යයෙකු වූ ආනන්ද ඉඩමේගම (ධම්මික මහත්තයා) ඇතුළු සත් දෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කරනු ලැබීම පොදු ශිෂ්‍යයන්ගේ සිත් සතන් තුළ කිසියම් ආකාරයකට පාලකයන්ට එරෙහි වෛරී හැඟීමක් ජනිත කරන්නට සමත් වුණා.

                               ධම්මික මහත්තයා නොහොත් ආනන්ද ඉඩමේගම

ඉන් අනතුරුව මේ අසාධාරණ පංති තහනම් කිරීම් හා ශිෂ්‍යභාවය අහෝසි කිරීම්වලට එරෙහිව නිරන්තරයෙන් විරෝධතා ව්‍යාපාර සංවිධානය වුණා. පිකටිං, පංති වර්ජන මෙන්ම අභියෝගාත්මක පෙළපාළි සරසවි දිවියේ සාමාන්‍ය එදිනෙදා අත්දැකීම් බවට පත් වෙන්නට වැඩි කලක් ගත වූයේ නැහැ.

මේ කිසිදු විරෝධතාවක් තඹේකට මායිම් නොකළ, සිසුන්ට පියෙකු විය යුතු යැයි මා විශ්වාස කරන, එහෙත් මැර පාලකයෙකු ලෙස නම් කරන්නට මා නොපැකිළෙන උපතුලපති පණ්ඩිතරත්න  දිනෙන් දින ශිෂ්‍ය මර්දනය දියත් කළේ විරෝධතාවේ යෙදෙන සිසුන් ඉවක් බවක් නොමැතිව දඩයම් කරමිනුයි.

මෙහි කූටප්‍රාප්තිය වූයේ ශිෂ්‍යයන් උපවාසයක් කරා තල්ලු කිරීමයි. මා කලින් සඳහන් කළ පිකටිං, පංති වර්ජන, පෙළපාළි වැනි විරෝධතා නිෂ්ඵල ප්‍රයත්නයන් බවට පත්වෙද්දී, සිසුන් උපවාස කරා යොමු වීම වැළැක්විය නොහැකියි. උපවාසය ආරම්භ කෙරුණේ සරසවි පරිපාලනය ඒකකය පිහිටි සනාතන මන්දිරයට යාබද කලා පීඨ ගොඩනැගිල්ලත්, ප්‍රධාන පුස්තකාලයත් යා කරන විවෘත කොන්ක්‍රීට් වහළය මත තැනූ අට්ටාලයකයි.

                                සනාතන මන්දිරය අසල උපවාසය කළ කොන්ක්‍රීට් වහළ

ශිෂ්‍යයන් හත්දෙනාගේ පංති තහනම ඉවත් කිරීමට බල කරමින් තවත් සිසුන් හත්දෙනෙකු උපවාසයට හිඳගත්තේ ජයග්‍රහණයකින් මෙපිට සටන අත්හරින්නේ නැති බවට සපථ කරමිනුයි. එහෙත් මේ උපවාසය ගැන නෑසූ කන් ඇතිව සිටින්නට පාලකයන් පියවර ගත්තේ සිය උද්දච්ඡභාවය ප්‍රකට කරමින් අන්තනෝමතික ආකාරයටයි.

මේ තත්ත්වය හමුවේ සමාජවාදී ශිෂ්‍ය සංගමය සමග ප්‍රයෝගිකව සම්බන්ධ නොවූ මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය සමග අනුගතව නොසිටි අප වැනි පොදු කාරණාවලදී ක්‍රියාකාරී වූ ශිෂ්‍යයන් ශිෂ්‍ය සටන වෙත  ආකර්ෂණය වුණා. විවිධ ඉසව් වල විසිරී සිටි සිසුසිසුවියන් කිසියම් සහෝදරාත්මක බැඳීමකින් එක් අරමුණක් වෙත සමීප කරන්නට ‍පාලකයන්ගේ අසාධාරණ මුණිවත බල කළා.

උපවාසය “මාරාන්තික උපවාසයක්” බවට අවතීර්ණ වූයේ ශිෂ්‍යයන් පමණක් නොව ආචාර්ය මණ්ඩලයේ බහුතරයක් උපතුලපතිවරයාගේ ක්‍රියා පිළිවෙත පිළිකුළින් හෙළා දකින තත්ත්වයක් යටතේදීයි.

මාරාන්තික උපවාසය දවසින් දවස ගෙවෙද්දී ශිෂ්‍යයන් අතර හැඟීම් ඇවිස්සෙන්න පටන් ගත්තා. මුළු සරසවියම එකා වන්ව පංති වර්ජනයකට අවතීර්ණ වූයේ මාරාන්තික උපවාසයත් සමගයි. දිනපතා අති දැවැන්ත පෙළපාළි සරසවි බිම ආක්‍රමණය කළා. ගලහ හංදියේ සිට සනාතන මන්දිරය දක්වා මොර දෙමින් විවිධ සටන් පාඨ කියමින් ඇදෙන පෙළපාළිවලට දිනෙන් දින එක් වෙන ශිෂ්‍ය සංඛ්‍යාව වර්ධනය වූයේ පාලකයන් වෙත භීතියේ සංඥාවක් ගෙන එමිනුයි.

අවසානයේ සරසවිය දින නියමයක් නොමැතිව වසා දමා ශිෂ්‍යයන්ට වහාම පිට වන ලෙස බල කෙරුණා. එහෙත් පොදු අරමුණක් වෙනුවෙන් මාරාන්තික උපවාසයක නියැලෙන සහෝදර සිසුන් අත්හැර ගම්බිම් කරා යන්නට වැඩිමනත් සිසුසිසුවියන් පෙළැඹුණේ නැහැ. පාලකයන්ගේ අණට එරෙහි වූ ඔවුන් සරසවි බිමේ කඳවුරු බැඳගත්තා.

බලහත්කාරයෙන් පොලිසිය සරසවි බිමට ඇතුළු වී උපවාසයේ යෙදෙන සිසුන් පැහැරගෙන යන්නට ඉඩ ඇති බවට ඇති වූ සැකය සිසුන් ජයගත්තේ විශ්වවිද්‍යාලයට අවතීර්ණ විය හැකි සියලු මාර්ග අවහිර කොට, ගස්වල අතු කපා බාධක යොදා සිය අණසකට නතුකොට ගැනීමෙනුයි. මේ මාර්ග බාධක දිවා රෑ නොතකා පැය විසිහතරේම සන්නද්ධව සුරැකීමට සිසුන් පියවර ගත්තා.

උපවාසයේ යෙදෙන සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින අවදානම් වෙද්දී ශිෂ්‍ය සංගම් සමග සාකච්ඡා පවා අත්හිටවූ උපකුලපතිවරයා සිය කාර්යාලයට පැමිණීමද සීමා කළා.

ඒ සමගම ශිෂ්‍යයන් ජිවිත අවදානමෙන් බේරා ගැනීම සඳහා පාලකයන්ට බල කෙරෙන දැඩි ක්‍රියාමාර්ගයකට යා යුතු යැයි ශිෂ්‍යසභා කාර්යාලය අසල පැවැති ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ සාකච්ඡාවකදී තින්දු වුණා. මාද ඊට සහභාගි වී සිටියේ දැඩි ආවේගශීලී හැඟීම් සමගයි. ඒ අනුව උපකුලපතිවරයා ප්‍රාණ ඇපයට ගෙන ඉල්ලීම් ලබාගැනීමට තීන්දු වුණා. ඉන් එහා විකල්පයක් අප ඉදිරියේ වූයේ නැහැ.

එදින දහවල් 12 ට පෙර උපකුලපතිවරයා සිය කාර්යාලයේදී අත් අඩංගුවට ගෙන අනතුරුව උපවාස ස්ථානය දක්වා බලහත්කාරයෙන් කැඳවාගෙන ඒමට තීන්දු වුණා. මෙය අතිශය වගකීම් සහිත, අවදානමෙන් යුතු කටයුත්තක් බව අප දැනගෙන උන්නා. ඒ සඳහා සූදානම් වුණා. සරසවිය පුරා විසිරී සිටි දහස් ගණනක් සිසුසිසුවියන් තමයි අපගේ ශක්තිය වු‍ණේ.

                    පේරාදෙනි සරසවි පච ගහ

උපකුලපතිවරයා ප්‍රාණ ඇපයට ගැනීමට සමගාමීව සනාතන මන්දිරය ඉදිරිපිට “පචගහ” අසලින් ආරම්භ වන දැවැන්ත පෙළපාළියක් සංවිධානය කෙරුණේ ‍පාලකයන්ගේ පමණක් නොව ශිෂ්‍යයන්ගේ අවධානයද වෙනතකට යොමු කිරීම සඳහායි. පෙළපාළිය ගලහ හංදියට වෙත ගමන් කොට උපවාස අට්ටාලය වෙත ආපසු පැමිණෙන කාලය අතරතුර ඉතා රහසිගත මෙහෙයුම ක්‍රියාත්මක කළ යුතුව තිබුණා.

නියමිත වේලාව වන විට උපකුලපතිවරයා එදින නොපැමිණෙන බවත්, එවකට විද්‍යා පීඨාධිපති වූ මහාචාර්ය ඩයස් වැඩබලන උපකුලපති ලෙස පණ්ඩිතරත්නගේ උපදෙස් ක්‍රියාත්මක කරන බවත් අපට ආරංචි වුණා.

පෙළපාළිය දැවැන්ත පිඹුරෙකු ඇදෙන්නා සේ කලාගාරය ඉදිරිපසින් අල්විස් වටරවුම  දෙසට ඇදෙන්නට පටන් ගත්තා. ඝෝෂාකාරී සටන්පාඨ වලින් මුළු සරසවි බිමම දෝංකාර දෙන්නට වුණා. මාරාන්තික උපවාසයේ යෙදෙන සිසුන්ගේ ජීවිත, අවදානමේ බවත් කිසිදු අහරක් හෝ පානයක් නොමැතිව පස්වන දිනයටත් ළඟා වන හෙයින් තව පමා වුවහොත් උපවාසය නැවතුණත් දීර්ඝ කාලීන ආබාධවලට ඔවුන් ලක්විය හැකි බවත් ජ්‍යෙෂ්ඨ වෛද්‍ය සිසුන් පැහැදිලි කළා.

ඒ මොහොතේ ඉතා දැඩි ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී‍මට මේ තත්ත්වය අපට බල කළා. ඒ අනුව උපකුලපතිවරයා වෙනුවට මහාචාර්ය ඩයස් අත්අඩංගුවට ගැනීමට තීන්දු වුණා. ඒ සඳහා පෙරමුණ ගත යුත්තේ කිසි ලෙසකින් මහාචාර්යවරයාට හඳුනාගත නොහැකි සිසුන් බවට කළ යෝජනාවට අනුව මාත් මා සමග නිෂ්පාදන ඉංජිනේරු විෂයයන් හැදෑරූ ‘ජැකා’ත් (‘ජැකා’ යන අනවර්ථ නාමය නිසා ඔහුගේ අනන්‍යතාව මේ ලිපියේදී සුරැකෙනු ඇති. දන්නෝ දනිති.) තවත් කිහිප දෙනෙකුත් ඊට මූලික වන්නට එකඟ වුණා. මහාචාර්ය ඩයස්ගේ රූපකාය අප නොහඳුනන හෙයින් විද්‍යා පීඨයේ ඔත්තුකරුවෙකු අපට පෙර එතුමාගේ කාර්යාලයට ගොස් එතුමන් එහි සිටින බව ස්ථිර කළා.

මමත් ‘ජැකා’ත් මට නමින් සිහිපත් නොවන තව දෙතුන් දෙනෙකුත් විද්‍යා පීඨාධිපති කාර්යාලයට ගොස් කෙටි දේශනයක් පැවැත් වූවේ මාරාන්තික උපවාසයේ යෙදෙන සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය හා ජීවිත අවදානම පැහැදිලි කරමින් වැඩ බලන උපකුලපතිවරයා ලෙස එතුමන්ගේ මැදිහත් වීමේ අවශ්‍යතාව අවධාරණය කරන්නටයි. එසේම මේ මොහොතේ උපවාස අට්ටාලය වෙත ගොස් අප පවසන කාරණා සියැසින් දැක බලාගැනීමේ වැදගත්කමත් අප අවධාරණය කළා.

මහාචාර්ය ඩයස් දැඩි භීතියකට පත්වුණා නිසැකයි. තමන්ට අප හා පැමිණෙන්නට නොහැකි බව එතුමන් පවසා සිටියා. එහෙත් අප පැමිණ සිටියේ අපගේ ඉලක්කය ජය ගැනීමට මිස හිස් අතින් ආපසු යන්නට නම් නොවේ. මාත් ‘ජැකා’ත් මහාචාර්යවරයා දෙපසින් ඔසවා ගත්තා. අප සූදානම් වූයේ ඔසවාගෙන වුව එතුමන් උපවාස අට්ටාලය වෙත රැගෙන යන්නටයි. තමන්ට ගැලවිමක් නොමැති බව තේරුම් ගත් මහාචාර්යවරයා තමන්ව බිමින් තබන ලෙසත්, අප හා එන්නට එකඟ බවත් පැවසූවා.

මේ වන විට පෙළපාළිය නමැති පිඹුරු රාජයා ගලහ පාර ඔස්සේ ආපසු පැමිණෙමින් තිබුණා. ඊට සමාන්තරව මහාචාර්ය ඩයස් ආරක්ෂක වළල්ලකට මැදි කොටගෙන අප ඉදිරියට ඇදුණේ විකල්ප මගක් ලෙස සරසවි ක්‍රීඩා භූමිය ඔස්සේ වැටී ඇති අඩිපාර දිගේයි. කිසිදු අතුරු හිංසාවකින් තොරව මහාචාර්යවරයා උපවාස භූමියට රැගෙන ඒම සඳහායි, පැහැර ගැනීමේ සංවිධායකයින් විසින් මේ ආරක්ෂක වළල්ල යොදා තිබුණේ. මේ වළල්ලෙන් රිංගා මහාචාර්යවරයාගේ වෘෂණ කෝෂ මිරිකන්නට තැත් කළ කඩප්පුලියෙකුව තග දමා ඉවත් කරන්නටත් සිදු වුණා.

                                       විද්‍යා පීඨයෙන් සනාතන මන්දිරයට

මහාචාර්යවරයා අට්ටාලය පිහිටි උස් ස්ථානයට ඉණිමගක් යොදාගෙන නැංවීම දක්වාම මමත්, ‘ජැකා’ත් දෙපසින් උන්නේ අප බාරගත් රාජකාරිය ඉතා නිවැරදිව ඉටු කරමිනුයි. මහාචාර්ය ඩයස් උපවාසකරුවන්ගේ සුවදුක් විමසන්නට උත්සුක වූයේ තමන්ගේ ජිවිතයත් අනතුරක නොවේදැයි භීතියෙන් යුතුව විය යුතුයි.

මහාචාර්යවරයා බේරාගැනීමේ මෙහෙයුම ආචාර්ය මණ්ඩලයේ මෙහෙයවීමෙන් සිදුවුණා. උපකුලපතිවරයා, යටත් වු බව ප්‍රකට කරමින් සියලු ඉල්ලිම් ලබා දෙන බවට ලිඛිත පොරොන්දු පත්‍රයක් එවා තිබුණා. උපවාසය නැවතුණා. මහාචාර්ය ඩයස් නිරුපද්‍රිතව ගෙදර ගියා. එවකට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වූ පසු කලෙක ජ.වි.පෙ. නායකයෙකු ලෙස ඝාතනයට ලක් වූ ඩී. එම්. ආනන්ද විජයග්‍රාහී කතාවක් පවත්වමින් සාමකාමිව විසිර යන ලෙස ඉල්ලා සිටියා.

විශ්වවිද්‍යාලය දින නියමයක් නැතිව වසා තිබූ හෙයින් පොදු ශිෂ්‍යයන් ප්‍රමුදිත මනසින් යුතුව ගෙවල් දොරවල් බලා පිටත් වුණා. පසුදා පිටත්ව යන අදහසින් රැඳී සිටි අප වැනි පිරිස මහ රෑ සරසවි බිම අත්පත් කොටගත් ආයුධ සන්නද්ධ පොලිස් බල ඇණියේ කාරුණික ආරක්ෂාව යටතේ මහ රෑ මහනුවර බස් නැවතුම වෙත බලහත්කාරයෙන්, එහෙත් කිසිදු විරෝධයක් නොමැතිව ගෙනැවිත් අතහැර දමනු ලැබුවා.

මාස ගණනාවකට පසු විභාග සඳහා සරසවිය විවෘත වෙද්දී උපකුලපතිවරයාගේ පොරොන්දු පත්‍රය කුණු කූඩයට විසිවී තිබුණා. පංති තහනම්, ශිෂ්‍යභාවය අහෝසි වීම් පෙරපරිදිම ක්‍රියාත්මක වුණා. පොදු ශිෂ්‍යයන් මෙන්ම සරසවියත් දැඩි නිහඩතාවක ගිලුණා. විභාග පැවැත්වුණා. අවසන් වසරේ සිටි අපේ සගයන් විසිරී ගියා.

කළු ජූලිය එළැඹුණා. ජ.වි.පෙ. භූගත වුණා. ශිෂ්‍ය නායකයන්ගේ කොඳු කඩාදමා තිබුණා. මා ඇතුළු කිහිප දෙනෙකුට රිමාන්ඩ් බන්ධනාගාර ගතවන්නට සිදුවුණා. අපට විරුද්ධව රහස් පොලිසිය පැවරූ නඩුව වසර කිහිපයකට පසු සාක්ෂි නොමැතිකමින් ඉවතට විසි වුණා.

සිද්ධියෙන් වසර එකහමාරකට පසු නාවික හමුදා නිළධාරියෙකු ලෙස මා බඳවා ගනිද්දී එම රහස් පොලිසියටම මට විරුද්ධව තමන් විසින්ම පවරනු ලැබූ නඩුවක් මහනුවර උසාවියේ තිබෙන බව සොයා ගන්නට ලැබුණේ නැහැ. 

(වාර්ෂික සමරු කළඹක පළ කරන්නට සරසවි මතක ලිපියක් ලියන්නට මා පෙළඹවූ කැනඩාවේ එඩ්මන්ටන්හි පදිංචි ඉංජිනේරු පත්මා රත්නායකට තුති පුදමි. මේ නොකී කතාව  සංශෝධන සහිතව මෑතදී මුලින් පළ වූයේ එහිය.)




35 comments:

  1. We should be thanking you for sending the storey. It was received very well by the attendees, also matched our theme this year. Look forward to reading more from you.
    By the way, I tried to find what the 'pacha gaha' is from pera friends around here. None of them knew. We were guessing the other tree at the Science Faculty end of the Akbar Bridge.

    ReplyDelete
  2. අපේ ස්තුතිය ඔබට, හෙන්රි. නොකී කතාවක් වුවා සේම, එය නොදත් කතාවක් ද වූවා. සරසවියේ සටනුත් රසවත් බව දැනුනේ මේ ලිපිය අන් අයට කලින් දෙතුන් පාරක් කියෙව්වමයි. පච ගහ කියන්නේ මොකක්ද කියල අපි කීපදෙනෙක් හොයන්න උත්සහ කරා. කිසි කෙනෙක් ඒ ගැන දැනගෙන හිටියේ නෑ. අපි හිතුවේ පච ගහ කියන්නේ අක්බාර් පාලම කෙලවර තියෙන ඉබ්බා වගේ ගස කියල.

    ReplyDelete
    Replies
    1. පච ගහ තියෙන්නෙ ගෙම්බ කැන්ටිම අසල සනාතන මන්දිරය පැත්තට වෙන්න.

      Delete
    2. දෙය්යෝ සාක්කි !!!!

      ඔය පත්මා කියන ඉබ්බා වගේ ගහට කවදත් කීවේ; " *තු " ගහ කියලනේ :D

      Delete
  3. ඌණ පූර්ණයක් අවශ්‍යයි වගේ.

    එක්කො ඕනෑ නෑ.

    ReplyDelete
    Replies
    1. ඌන පූරණ දාමු...දාමු...

      Delete
  4. උඹලා වගේ ජෙප්පෝ ඉතුරු වුනෙත් ජේ ආර් ට පින්සිද්ද වෙන්න තමා මචෝ

    ReplyDelete
  5. ඒක අවසාන “සම්ප්‍රදායික ශිෂ්‍ය සටන“ කියලයි මටනම් හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති.අවසාන “සම්ප්‍රදායික ශිෂ්‍ය සටන“

      Delete
  6. මේ නොකී කතාව කියවනකොට මට අපි ඉන්න කාලෙ ජපුරෙ සිද්දි කිහිපයක් මතක් වුනා. ඒ ඉතා මෑතක. සිසුන්ගේ පන්ති තහනමට එරෙහිව දෙවරක්ම පරිපාලන ගොඩනැගිල්ල වටලා සිසුන් එහි කඳවුරු බැඳ ගත්තා.ඒ දවස් කිහිපය පරිපාලන ගොඩනැගිල්ලේ සිට උයාගෙන කෑවා.එතනම නිදාගත්තා.

    මේ කාලෙමයි අපේ බැච් එකේ අපවත්වූ හිමි නමක් ද ශිෂ්‍ය බාවය අහෝසි කර ගත්තේ. ඒ වනවිටත් උන්වහන්සේ අපවත් වී සිටියෙ.

    ReplyDelete
  7. මේක මේ හෙන ප්‍රණ ඇපකරු සිද්ධියක්නේ.

    විශ්වවිද්‍යාල පාලනධිකාරිය "බණ්ඩක්කා න්‍යායෙන්" වගේ ලස්සනට මග හැරලා ගිහින්නේ ප්‍රශ්නය.ඔය විශ්වවිද්‍යාල අචාර්ය,මහාචර්යාවරු තමනුත් විශ්ව විද්‍යාල ශිෂ්‍යවන්ව හිටියා කියන එක අමතක කරලා කටයුතු කරන එකේ පුදුමයකුත් නැහැ.සමහර දෙමව්පියෝ තමන්ගේ දරුවන් ගැන කටයුතු කරන්නෙත් ඒ විදියටනේ හරියට තමන්ට ළමා කාලයක්,තරුණ කාලයක් තිබ්බේ නැහැ වගේ නේ.

    ReplyDelete
    Replies
    1. වසර 10 ක් විශ්වවිද්‍යාල සේවයේ යෙදී සිටි අයෙකු ලෙස, විශ්වවිද්‍යාල අචාර්ය,මහාචර්යාවරු තමනුත් විශ්ව විද්‍යාල ශිෂ්‍යවන්ව හිටියා කියන එක අමතක කරලා කටයුතු කරන එක ගැන මටත් නම් පුදුමත් හිතෙනවා.තමයි.

      Delete
  8. එතකොට මහාචාර්ය ඩයස් ව පුටුවක ගැට ගසා එල්ලා තැබුවේ මේ අවස්ථාවේ නොවේද?. මහාචාර්ය ඩයස් ඉතා අහිංසක පුද්ගලයෙක්. මේ දේ නිසා ඔහුට නැවත මානසිකව පෙර තත්වයට පත්වෙන්න නොහැකි උනා.

    ReplyDelete
    Replies
    1. පුටුවක ගැට ගසා එල්ලා තැබුවේ නැත. එතුමන්ට කිසිදු ශාරීරික හිංසාවක් සිදු වූයේද නැත.

      Delete
  9. මම යන්න ඕනේ දැන්...
    පස්සේ කියවලා අදහස් දාන්නම්...
    ආසා හිතෙන මාතෘකාවක්... ඒත් වෙලාව දවල් 1.00 යි...

    ReplyDelete
    Replies
    1. හොඳමයි. කියවලාම මේ පැත්තට එන්න.

      Delete
  10. දැන් තමයි කියවලා ඉවර කරේ...
    කරපු වැඩේ නම් සුපිරියි...
    මගේ උත්තමාචාරය...

    උපාධිය ගන්ට අවුලක් වුණේ නෑනේ ඒ වැඩෙන්???

    ( මට ඔය කියන සුන්ඳර තැනට යන්න වරම් නැති වුණා හරියට හදපු ගාණක් අමුණන්ට අමතක වෙලා ගෙදර අරන් ආපු එකෙන්...)

    ReplyDelete
    Replies
    1. ආචාර්ය මණ්ඩලය සිසුන්ගේ මානසිකත්වය තේරුම් ගත් නිසාත් උපකුලපතිවරයාගේ උද්දච්ඡ බවට එරහි වූ නිසාත් උපාධිය ගන්ට අවුලක් වුණේ නෑ.

      Delete
  11. Thanks Henry for your Nokee Katha. Thanks to rejuvenate my memories happened quarter century ago. I was a Science faculty student during that time. I can recognise you in the photo. But I cannot recognised the others. I also participated for all these events but not in a prominent role as you. Lalith Wijerathne (paralel batch to Idame) from Science Faculty was another victim of Udalagama Commission and he was in the JVP polit bureau when he was killed by the UNP murderers. Hope to read another "Nokee Katha soon.

    ReplyDelete
    Replies
    1. Thanks Anonymous. You are correct. Lalith Wijeratne was a victim too.

      Delete
  12. ඉතාම වටිනවා. ඒ කාලෙ සිදුවූ දේවල් සිහිනෙන් ගෑ සුවදක් වගෙ. මේ තොරතුරු අනාගතයට හරිම ප්‍රයෝජනවත්. ඇත්තෙන්ම පසුකලෙක මහා විනාශයක් ලෙස අවසන් වූ සිදුවීම් දාමයේ මූල බීජ වැපිරුවෙ මේ විදියට බවයි පේන්නෙ.
    පාලකයන් පොඩ්ඩක්වත් නම්‍යශීලී වුනේ නෑ. එහි අවසානය ඛේදවාචකයක් වුනා.
    මතක් වෙද්දිත් කනගාටුයි.

    ReplyDelete
    Replies
    1. ඔබ නිවැරැදියි. පාලකයින්ගේ අනම්‍යශීලී බව නිසා සිදු වූ විනාශය බොහොමයි.

      Delete
  13. හැබෑවටම නොකී කතාවක්.

    ReplyDelete
  14. මෙයට සම්බන්ධ වූ අය අතුරුදන් නොවී නම් අරුමයක්...ඒ ගැනත් සඳහන් කළා නම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. අතුරුදන් වීම් සිදුවුණේ මීට පසු යුග වලයි. මීට සම්බන්ධ ඉඩමේගම, රංජිතන්, විජේරත්න වැනි අය පසු කාලීන භීෂණ යුගයේ අතුරුදන් වුණා.

      Delete
  15. චන්ඩි වර්ණකුලසුරිය

    ReplyDelete
    Replies
    1. චණ්ඩිද නොන්ඩිද මංදා...

      Delete
  16. මේක පස්සෙ මතුවුන අදහසක්.
    මේකෙ බාගයක් කියවද්දිම මට හිතුන (හෙඩිම නිසා නෙවේ, ඒ ගැන අවධානයක් තිබුනෙ නෑ) මේ සටන පරදින්න ඇති කියල. ඒ වගේම වැඩබලන කෙනා වෙනුවට නිත්‍ය වීසී ගත්ත නං හොඳයි කියල හිතුනෙම නැද්ද?

    ReplyDelete
    Replies
    1. නිත්‍ය කෙනා තමයි ගන්න ඕනෙ වුණේ. ඒත් ඒ මොහොත මග හැරිය නොහැකි තරම් තීරණාත්මක එකක් වුණා.

      Delete
  17. මට යන්තමින් මතක සිද්දියක් මේක. මේක වුනේ 82 නේද?

    ReplyDelete
    Replies
    1. සිද්ධ වුණේ 1983 මුල් භාගයේදී...

      Delete
    2. සිද්ධ වුණේ 1983 මුල් භාගයේදී...

      Delete
  18. මේ ලිපියේ ඇති අවුල් (ද.ද.සේ ගේ ලයිස්තුව)
    ====================================

    1. & 2.
    "දිනෙන් දින ශිෂ්‍ය මර්දනය දියත් කළේ විරෝධතාවේ යෙදෙන සිසුන් ඉවක් බවක් නොමැතිව දඩයම් කරමිනුයි.

    මෙහි කූටප්‍රාප්තිය වූයේ ශිෂ්‍යයන් උපවාසයක් කරා තල්ලු කිරීමයි."

    If I remember right, "daily hunting" of students. VC and the kitchen cabinet just waited hoping students would either give up or can possibly use thugs to chase away. It is difficult to say whether VC "pushed" the students towards fasting. "දිනෙන් දින ... දඩයම් කරමිනුයි" is an overstatement and "උපවාසයක් කරා තල්ලු කිරීමයි" cannot be substantiated.

    "නෑසූ කන් ඇතිව සිටින්නට පාලකයන් පියවර ගත්තේ"
    Very true!

    #3:
    "උපවාසය “මාරාන්තික උපවාසයක්” බවට අවතීර්ණ වූයේ ශිෂ්‍යයන් පමණක් නොව ආචාර්ය මණ්ඩලයේ බහුතරයක් උපතුලපතිවරයාගේ ක්‍රියා පිළිවෙත පිළිකුළින් හෙළා දකින තත්ත්වයක් යටතේදීයි."
    No, the seven guys entered the fast stating that they will not stop until 7 brothers are allowed to attend classes. There was no room for "උපවාසය “මාරාන්තික උපවාසයක්” බවට අවතීර්ණ ..."

    #4:
    "මාරාන්තික උපවාසය දවසින් දවස ගෙවෙද්දී ශිෂ්‍යයන් අතර හැඟීම් ඇවිස්සෙන්න පටන් ගත්තා. මුළු සරසවියම එකා වන්ව පංති වර්ජනයකට අවතීර්ණ වූයේ මාරාන්තික උපවාසයත් සමගයි."
    By the time the fast commenced, were there any lectures going on? All Faculties were on strike isn't it? Even medical, dental and veterinary students were with us.

    #5:
    "උපවාසයේ යෙදෙන සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින අවදානම් වෙද්දී ශිෂ්‍ය සංගම් සමග සාකච්ඡා පවා අත්හිටවූ උපකුලපතිවරයා සිය කාර්යාලයට පැමිණීමද සීමා කළා."
    Could the VC at all come to his office since the fast began? Wasn't everything done from Meewathura?

    #6:
    "එදින දහවල් 12 ට පෙර උපකුලපතිවරයා සිය කාර්යාලයේදී අත් අඩංගුවට ගෙන අනතුරුව උපවාස ස්ථානය දක්වා බලහත්කාරයෙන් කැඳවාගෙන ඒමට තීන්දු වුණා."
    Could the VC at all come to his office since the fast began? Wasn't everything done from Meewathura?

    #7:
    "උපකුලපතිවරයා ප්‍රාණ ඇපයට ගෙන ඉල්ලීම් ලබාගැනීමට තීන්දු වුණා. ඉන් එහා විකල්පයක් අප ඉදිරියේ වූයේ නැහැ. උපකුලපතිවරයා වෙනුවට මහාචාර්ය ඩයස් ... වැඩ බලන උපකුලපතිවරයා"
    Previous night VC was about to give in, but wasn't it the Dias in the kitchen cabinet that gave the "pointed torch" that they should hold on longer. Wasn't that the reason to grab him?

    #8:
    "මාස ගණනාවකට පසු විභාග සඳහා සරසවිය විවෘත වෙද්දී උපකුලපතිවරයාගේ පොරොන්දු පත්‍රය කුණු කූඩයට විසිවී තිබුණා."
    Certainly no. The day after Dias was grabbed, the news papers had headlines that students won (with pictures of Neville and Idamegama). But, the very day after (by when all students had left the campus), the Daily News headline said demands given under "duress" will not be honoured. It did not take "months", the very following day, we knew the consequences.

    #9:
    Also, it is worth mentioning how Professor Thurairajah demanding that he be given access to the ladder and climbing up to sit beside Dias. Later, VC purposely misinterpreting it to harass him.

    #10:
    The decision to grab Dias was not taken with many regular participants in the action committee present. Many participants from the Science and other faculties felt that JVP hijacked the struggle. They, therefore had not enthusiasm to do anything in the aftermath.

    Dias was a politically oriented kitchen cabinet member. I do not wonder whether he need to be mentioned with such "respect". Possibly, the fellow was eyeing the administrative post of becoming the VC. Enroute from Science Faculty to the concrete slab, "Lokaya" quite correctly pulled his ear and asked "තෝ නේද ඊලඟට VC වෙන්ඩ හදන්නේ?" ... and later said: "ආයි කවද උගෙ කනින් අදින්ඩද?"

    ReplyDelete
  19. I had the following to be added to DDS's list
    =============================================

    1. “ජුන්ටන්” උපයෝගී කොටගෙන ජයග්‍රහණයෙන් උද්දාමයට පත් ශිෂ්‍ය පෙළපාලියකට මාකස් ශාලාව අසලදී දැඩි ප්‍රහාරයක් එල්ල කළා.

    A couple of Samajavadi Sishya Sangamaya (SSS) students were asaulted a few days before the election. This incident at Marcus was not a one sided affair, it was a fight. I was there in that victory procession (as an outsider of course). I know that SSS were prepared for a fight as well. Idamegama carried his red flag attached to a 2x2 stick and said to me that he is ready for any thin thing that may happen.

    2. මේ ප්‍රහාරයට විරුද්ධව පොදු ශිෂ්‍යයන් පංති වර්ජන, පිකටිං සංවිධානය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස වැරදිකරුවන් නිශ්චය කිරීම සඳහා පාලකයන් විසින් උදලාගම විනිසුරුවරයාගේ මූලිකත්වයෙන් යුතුව කොමිසමක් පත් කරනු ලැබුවා. එය “උදලාගම කොමිසම” නමිනුයි හැඳින්වුණේ.

    This is clearly bullshit. On that night, SSS students went on a rampage and many UNP affiliated students were beaten up. How can Henry forget that? Some were spared as according to Idame they were "Laa Juntas".

    3. කූප්‍රකට උදලාගම කොමිසමේ වාර්තාවට අනුව ප්‍රහාරය එල්ල කළ “ජුන්ටන්” නිවැරදිකාරයන් වී ප්‍රහාරයට ලක්වූවන්ගේ පංති තහනම් කෙරෙන කැකිල්ලේ තීන්දුවක් ක්‍රියාත්මක වුණා.

    Again incorrect. I think five UNP a affiliated students were suspended as well. A non SSS student representative in my batch made this point very clear while we were picketing along Gampola Road.

    4. පාලකයන්ට බල කෙරෙන දැඩි ක්‍රියාමාර්ගයකට යා යුතු යැයි ශිෂ්‍යසභා කාර්යාලය අසල පැවැති ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ සාකච්ඡාවකදී තින්දු වුණා.

    That decision was therefore NOT taken by the PSU as a collective. I think it was a decision forced by the JVP proper on the likes of Lalith Wijeratarne who was the acting president, I guess as Wanasinghe was too suspended.

    5. ශිෂ්‍යසභා කාර්යාලය අසල පැවැති

    I have reasons to believe the PSU office was occupied by leaders from JVP proper and it was made out-of-bounds even to elected PSU batch representatives. That was the reason why this meeting was held outside the PSU office.

    6. එවකට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වූ පසු කලෙක ජ.වි.පෙ. නායකයෙකු ලෙස ඝාතනයට ලක් වූ ඩී. එම්. ආනන්ද

    DM Ananda was the convener of IUSF probably until 1981. In 1982, when we had the campain against Education White Paper, the convener was a Pushpakumara (?) from SJP Uni.

    To me, DM Ananda, if he spoke, was a JVP central committee figure and he should be there addressing students. I only remember, Lalith Wijeratne speaking with a Tamil translation.

    7. විභාග පැවැත්වුණා. අවසන් වසරේ සිටි අපේ සගයන් විසිරී ගියා.
    කළු ජූලිය එළැඹුණා. ජ.වි.පෙ. භූගත වුණා.

    It did not happen in that way at all.

    Your final exam was held four and half months after Black July. I met Henry at the faculty canteen for the last time in late November 1983 where we discussed his poem on May 11 incidents and reply by your batchmate Priyantha Abeywickrama.

    Furthermore, soon after the Dias incident Wanasinghe, Lalith Wijeratne and Idamegama were taken into custory and remanded at Bogambara. I went to see them. Henry's turn came four months later.

    ReplyDelete