Monday, 21 December 2015

පුතා එක්ක අමතක නොවන දවස්

ම්මා පිළිබඳ මතකය සටහන් කොට අවසන්  වෙනවාත් එක්කම පුතා මා සමග නිවාඩුවක් ගත කරන්න ආව එකෙන් හිතට සහනයක් වගේම ප්‍රබෝධයක් දැනුණා.




කලාත් එක්ක මේ වගේ බොහොම නිදහසින් ගත කරන්න විරාමයක් ලැබුණෙ බොහොම කලකින්. අවුරුදු ගණනාවකින්.

මට මතක විදිහට පුතා මැලේසියාවෙ ඉගෙන ගනිද්දි දැනට අවුරුදු හතරකට පහකට විතර කලින් අපි දෙන්න මැලේසියාවෙත්, සිංගප්පූරුවෙත් සංචාරයක් කළාට පස්සෙයි දවස් ගාණක් එක දිගට මෙහෙම ගත කළේ.

ලංකාවට නිවාඩුවට ගියාම නුගේගොඩ එයාගෙ ඇනෙක්ස් එකේ නැවතුණාට අපිට මෙහෙම නිදහසක් නෑ. එක්කෝ එයා බිසි. නැත්නම් මටත් කොයි තරම් නං ගමන් බිමන්ද...

කලාත් ගැන මගේ අතීත මතක කීපයක් අවදි කරන්න හිතුණ...නොකීම නොකී කතා...

ඊට කලින් එයාගෙ නිර්මාණ මෙතනින්  
http://kalath666.deviantart.com/

නැත්නම් මෙතනින් 
http://kal-art.blogspot.com/

බලන්න පුළුවන්.

කොහොමත් බොහෝ පිරිමි දරුවන් ටිකක් දඟයි තමයි. කලාත්ට කියලත් ඒකෙ වෙනසක් තිබුණෙ නැතත් සමහර දඟ වැඩ දැන් මතක් කරද්දිත් සුන්දරයි.

පුතා කුඩාම අවදියෙ මම වැඩ කළේ පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ. අපි කුලියට නැවතිලා උන්නෙ මගේ රාජකාරි ස්ථානයේ කම්කරු සේවිකාවකගෙ නිවසේ එක් පැත්තක.

සමහරු නිවසක් කුළියට ගන්න කොට අයිතිකාරයගෙ වංශෙ කබල් ගානව වුණාට මට කවදත් එහෙම උණක් තිබුණෙ නෑ. 

අධ්‍යයන කාර්‍ය මණ්ඩලයේ කෙනෙක් කම්කරු සේවිකාවකගෙ ගෙදරක නැවතිලා ඉන්න එක ගැන ඒ බව දන්න ටික දෙනෙක් වපරැසින් බලන්න ඇතත්, මට නං කිසිදු හැඟීමක් ඇති කළේ නැහැ.  

ඉතිං ඔය ගෙදර තනි කාමරයක අපි උන්නෙ. පුංචි ඉස්තෝප්පුවයි, කාමරෙයි, කුස්සි කෑල්ලයි.

විනී හෙට්ටිගොඩ, රෝහිත භාෂණ, කමල් පී. අලහකෝන් වගේ අපේ පුංචි කාමරෙයි, ඉස්තෝප්පු කෑල්ලෙයි නිදාගෙන තියෙන සහෘදයන්ට  මතක ඇති.

මම කියන්න ගියෙ පුතාගෙ සෙල්ලමක් ගැනනෙ. මිනිහ ඇඳේ ඉදන් හිටි පිනුම් ගහනව. එයාගෙ අම්ම මර බයේ ඉන්නෙ වැටිල තුවාලයක් කර ගනී කියල. මොකද ඔය කරන්නෙ..තුවාලයක් කර ගන්නද හදනෙ කියල සද්දෙ දානව.

මේකා අහන්නෙම නෑ. එකදවසක් ගහපු පිනුම වැරදිලා උඩින් ගිහිං ඇඳෙන් බිමට වැටුණ. හොඳ වෙලාවට ඔලුව, කොන්ද වදින්නෙ නැතිව කෙලින්ම පස්ස බිම ඉන්දුණා. දැන් එයා දන්නව පාරක් වදින්න ආසන්න බව කියන දේ නෑහුවට.

කොල්ල පටස් ගාල කිව්ව අම්මේ..දැක්කද මගෙ බල්ටි වැඩ කියල. ඉතිං පාරක් ගහන්නයැ..

ඔය ගෙදර ඉද්දිම තමයි ප්‍රේමදාස ජනධිපතිවරය බෝම්බෙන් ජීවිතක්ෂයට අත් වුණේ. ඒ ආරංචිය අහපු මම හූ තියල උඩ පැනල සතුට ප්‍රකාශ කරද්දි පුතත් මාව අනුකරණය කරන්න ගත්ත.

ඇයි තාත්තෙ උඩ පනින්නෙ කියල අහද්දි මම කියුව පේචපාච මැරුණෝ කියල. මොකද කළු සුදු ටී.වී. එකෙන් වුණත් දැකල දැකලම එපා වෙලා අපි ප්‍රේමදාසට අම්ම මෝ නැතිව බනිද්දි පුතා කිව්වෙ පේචපාච කියල. නම කියාගන්න බැරි නිසා.

ඊට පස්සෙ ටිකක් ඉඩකඩ තියෙන ගෙදරකට ගියා. ඒක අයිති වුණේ පුස්තකාල සහකාර කෙනෙක්ට. එහෙදි තමයි කොල්ල ප්ලාස්ටික් පිඟානක් ඔලුවෙ නමං, සාළුවක් කරේ දාගෙන සෝරෝ විදිහට රඟපාන්න ගත්තෙ.

එදා ඇඳෙන්  වැටුණම  දඬුවම් නොකළට මගේ ජීවිත කාලෙටම කලාත්ට පාරක් ගහල තියෙන්නෙ එහෙදි තමයි.

සීතලයි කියල නාන්න බෑ කියුවම පුතාගෙ අම්ම කියවන්න ගත්ත මේ බලන්නකො මේ ළමය නාවන්න දෙන්නෙ නෑ කියල. මම උන්නෙ වෙන මූඩ් එකක වෙන්න ඇති. අම්මත් එක්ක ආ කේන්තිය මං පිට කරගත්තෙ කෝටුවක් කැඩෙන්න පස්ස පැත්තට පහර දීල.

ඒ තමයි මම එයාට දඬුවමක් කළ එකම වතාව. මම එදා පමණක් නොවෙයි කාලයක් යන කල්ම කළ දේ ගැන විඳෙව්ව. මම මටම දඬුවම් කරගත්ත වගේ. අදටත් ඒ කම්පනය දැනෙනව.

ඊට පස්සෙ මට මතක් වෙන්නෙ කලාත්ගෙ පොත් කියවීමේ මෙන්ම කොම්පියුටර් වීඩියෝ ගේම් හා වීඩියෝ ෆිල්ම් පිස්සුව.

මේ කිසිම පිස්සුවකට අපි විරුද්ධ වුණේ නෑ. ඇති තරං ගේම් ගැහුව. ෆිල්ම් සී.ඩී. ගෙනත් දුන්න. Jumanji වගේ චිත්‍රපට  කීප වතාවක් බලන්න ඇති.

පාඩම් වැඩ අතපසු වෙද්දි කාලය පිළිබඳ යම් සීමා පැනෙව්වට මේ ඇබැහිවීම් තහනම් කළේ නෑ.
ගෙවල් වල බිත්ති හුණු කූරු චිත්‍ර වලින් වනසන එක තහනම් කළේ නෑ වාගෙම.

එයාගෙ හැකියාව මෙන්ම කැමැත්ත තේරුම් අරන් ලබා දුන් නිදහස ගැන අද අපට සතුටු වෙන්න පුළුවනි. අද සිනමාව ගැන වගේම පරිගණක සජීවීකරණය පිළිබඳ ඔහුගේ දැනීම බොහොම දියුණුයි.

ඉංජිනේරුවෙක් වූ නිසා මගේ පුතා ඉංජිනේරුවෙක් හෝ දොස්තරකෙනෙක් විය යුතුයි කියල කවදාවත්ම හිතුවෙ නෑ වගේම ඒ සඳහා පුතාගෙ අම්මගෙන් ලැබුණ පිටුබලයත් අගය කළ යුතුයි.

මා හැමදාම හිතන්නෙ තමන් කැමැති ක්ෂේත්‍රයක Genius කෙනෙක් වෙන්න පුළුවනි නම්, ඒ සඳහා ආත්ම විශ්වාසය තිබේ නම් සමාජය උඩ දාන රැකියාම සොයා යා යුතු නැති බවයි.

මට මතකයි කලාත් පුංචි කාලෙ Jurrasic Park චිත්‍රපටය බලන්න ගියා. ඩයනෝසරයන්ට වශී වුණත්, උං ගේ සමීප රූප වලටත්, Sound effects වලටත් බයේ මගෙ පපුවෙ මූණ සඟවා ගත් ඔහු අද සිනමාවේ දෘෂ්‍ය ප්‍රයෝග මෙන්ම 3D සජීවීකරණයත් සිය ජීවිකාව කරගෙන සිටිනවා.

ඊට අමතරව වීඩියෝ සංස්කරණය ඔහුට අනුව pocket money හොයන වැඩක්. වසර කීපයකට පෙර මා නිර්මාණය කළ සමන් ජයනාත්  ජිනදාසගේ " මද පවනින්" ගීතයේ රූපාවලිය සංස්කරණය කොට Colour correction කළේද කලාත්මයි.


මා නිර්මාණය කළ (නොනිමි ගමන-Endless Journey) කෙටි චිත්‍රපටයේ සංස්කරණ කටයුතු ඔහුට පැවරුවේ නැත්තේ ඒ වන විට ඔහු එම විෂයය පිළිබඳ පරිචයක් ලබා නොසිටි නිසයි.

ඒත් මා ලබන වසර මැද වන විට නිර්මාණය කරන්න පිඹුරුපත් සකසන කෙටි චිත්‍රපටයේ සංස්කරණයට අදාළ සියලු කටයුතු  මෙන්ම කැමරා අධ්‍යක්ෂණයත් කලාත්ට බාර කරන්න හිතාගෙන ඉන්නවා.

නමුත් එහි රංගන කාර්යයක් සඳහා තෝරාගනු ලැබුවොත් කැමරා කටයුතු ඔහුගෙන් ගිලිහෙනවා. රංගනය ඔහුගේ ඇඟේ තිබෙන බව මා දන්නේ කලාත් මැලේසියාවේ විශ්වවිද්‍යාලයේදී ශිෂ්‍ය නිර්මාණ වල හොඳින් රඟපා ඇති බව දැක තිබෙන නිසයි.








19 comments:

  1. Witnessed most through fb. Great!! Wish him all the very best!

    ReplyDelete
  2. ඔබ දෙදෙනාටම සුභපැතුම්

    ReplyDelete
  3. දරුවන් ඇගයීමට ලක්වුනාම ඔවුන් ඔවුන්ගේ ගමන ඉබේම යනවා. හෙන්රි වගේ කෙනෙක්ගේ ළමෙක් තමන්ගෙ අපාර හොයාගන්න එකත් පුදුමයක් නොවෙයි.
    මොනව වුනත් අයියටයි මල්ලිටයි සුභ පැතුම්...
    මොකද මම තාත්තෙක් කොහේවත් දැක්කේ නෑ කලත්ගේ අයියෙක් මිස...!

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ගොඩක් බලපෑම නැතිව එයාගෙ ගමන යන්න නිදහස දෙමින් අවශ්‍ය ප්‍රතිපාදන සැපයීමෙන් පුතා වඩාත් නිර්මාණාත්මක වුණා. බොහෝ දෙමාපියන් කරන වැරැද්ද තම තමන්ට ඕනෙ රාමුව ඇතුළෙ දරුවන් හිර කිරීම.
      අනෙක තාත්ත භූමිකාව අවශ්‍ය තැනට සීමා කරමින් මා ඔහුට සමීප මිතුරෙක් වෙන්නයි උත්සහ කළේ.

      Delete
  4. දෙන්නටම මගෙනුත් උණූසුම් සුබ පැතුම්.

    ReplyDelete
  5. පුත්‍රයා වැඩකාරයා වගේ....

    ReplyDelete
    Replies
    1. ඉස්සරහට වැඩ දාන පාටයි.

      Delete
  6. කොල්ලො දෙන්නට සුභපැතුම් අනාගතයට.. තාත්තා, පුතා බැඳීම ගැන කියන්න වචන නෑ.. මට ඉන්නෙත් ෆිට් තාත්තෙක්..

    ReplyDelete
    Replies
    1. කොල්ලො...? ඕ...යේස්..
      ඔව්..එහෙම සමීපව බැදුණම හරි ජොලි.
      අපේ කාලෙ එහෙම වුණේ නැහැ.
      ඇරත් මගෙ ජීවිතේ පෞද්ගලික අපේක්ෂාවන් එයාගෙ අනාගතය වෙනුවෙන් කප කළ බව පුතා දන්නව.
      එහෙම නොවෙන්න අද මම ගත කරන්නෙ වෙන ජීවිතයක්. වෙන රටක.

      Delete
  7. කවදහරි කවුරු හරි කියයි හෙන්රි කියන්නෙ කලත් ගෙ තාත්ත කියල
    යැස්..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම. ඒ දවස මා වඩාත් ආඩම්බරෙන් සතුටු වෙන දවසක්.

      Delete
  8. දරුවකු පිළිබඳව උදාන ගීයක්....දෙමව්පියනට මීට වඩා කවරනම් සතුටක්ද? පියා සහ පුත්‍රයා ..දෙදෙනාටම සුබ පැතුම්!!

    ReplyDelete