Powered By Blogger

Thursday 27 June 2019

ආයෙත් වතාවක් රැග්වීම

ආයෙත් වතාවක් රැග්වීම


මා ආලෝචනා අන්තර්ජාල සඟරාවට ලියන  නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු  නොකීකතා පෙළක් .




ලුතිනන් කොමාන්ඩර් අබේසේන තමයි අලුතින් බඳවාගත්  නිලධාරීන් කණ්ඩායමේ Divisional Officer නැතහොත් අංශ භාර නිලධාරියා වුණේ. නිලධාරීන්ගේ සිට නැවියන් දක්වා බඳවා ගන්නා හැම කණ්ඩායමකටම Divisional Officer කෙනෙක් බැගින් පත් කොට තිබුණා. පසුකාලීනව මාත් Divisional Officer කෙනෙක් විදිහට නැවියන් කණ්ඩායම් කිහිපයක්ම පුහුණු කළා. ඒ කතා පසුවට.
පුහුණුව කාලයේදී අපට යක්ෂයෙකු සේ පෙනුණත් මාස හයක  පුහුණුව අවසානයේ අපි රාජකාරි සඳහා විසිර යන විට ලුතිනන් කොමාණ්ඩර් අබේසේන  කොතරම් හිත හොඳ දක්ෂ නිලධාරියෙකුදැයි හැමෝම තේරුම් ගෙන තිබුණා. ඔහු විදුලි ඉංජිනේරුවරයකු වූ වුණා වගේම පසුකාලීනව නාවික හමුදාවේ විදුලි ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා බවටත් පත්වුණා.
උපාධිය හෝ වෙනත් සුදුසුකම් මත සෘජු බඳවා ගැනීමේ යටතේ නිලධාරීන් ලෙස නාවික හමුදාවට බැඳුණු නවක පිරිසට එරෙහිව කැඩෙට් නිලධාරීන් ලෙස බඳවා ගෙන තිබූ නිලධාරීන් තුළ විරෝධයක් තිබූ බව අප දැනගත්තේ ටික කලක් ගතවුණාට පසුවයි. සමහරු ඒ බව කෙලින්ම මුහුණට කිව්වා. “අපි කැඩෙට්ලා විදියට අවුරුදු කීපයක්  හොඳ හැටි කට්ට කාලා, Midshipman ඇඳලා ඊට පස්සේ Officer බැජ් පළඳින කොට වෙනම සෙට් එකක් අපිට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළට කෙලින්ම කඩා පහත් වෙනවට අපි විරුද්ධයි” කියලයි ඔවුන් කිව්වේ. ඒ කතාවේ සත්‍යයක් ඇති නමුත් පැමිණි විශ්වවිද්‍යාල උපාධිධාරීන් අවුරුදු තුනක් හෝ හතරක් මොන තරම් කට්ටක් කාලා ද එළියට එන්නේ කියලා ඔවුන් තේරුම් ගත්තේ නැහැ. ඒ එක්කම ඔවුන්ට තිබුණු තවත් ප්‍රශ්නයක් තමයි මෙසේ පැමිණෙන අය තමන්ට පෙර විවිධ තනතුරු වලට පත් වෙන්නට නියමිත වීම. එය සිදු වන්නේ ජ්‍යෙෂ්ඨත්වය අනුවයි.
ඒ කාලේ වැඩියෙන්ම අසාධාරණයට ලක් වුණා කියලා සිතුවේ දැනට නාවික හමුදාපතිව සිටින බදවා ගැනීම්  කණ්ඩායමේ Midshipman ලායි. ඔවුන් දැන සිටියා තමන් උප ලුතිනන් පටි පලඳින විට ඔවුන්ට ඉහළින් ලුතිනන් පටි පැලඳි නිලධාරීන් පිරිසක් පැමිණ සිටින බව.
පළමු දවසේ සිටම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අපව රැග් එකට බඳුන් කළා. සමහරු ලුතිනන් කොමාණ්ඩර් අබේසේනගේ බැච් එකේම අය බව පසු අපි දැනගත්තා. උදේ පාන්දර 5 ට අවදි වී අපට ශාරීරික ව්‍යායාම සඳහා යන්නට සිද්ධ වුණේ රාත්‍රියේ නිදිවරා රැග් එකට භාජනය වීමෙන් අනතුරුවයි.
නාවික හමුදා ස්වෙච්ඡා බලකායට බඳවා ගත් උපාධිධාරීන් කීප දෙනෙකුත් අප සමග පුහුණුවට අනුයුක්ත කොට අප වෙනුවෙන් වෙන් වූ නිවස්නයේම රැඳවූවා.
අපි හැමෝම පාහේ විශ්වවිද්‍යාල තුළ නවක වදයට ගොදුරු වී සිටියා පමණක් නොව හොඳ හැටි නවක වදය දුන් කණ්ඩායම්වලටද සම්බන්ධ වී සිටි පිරිසක්. සමහරු පට්ට රැග්කාරයෝ. ස්වේච්ඡා බලකායට බැඳී සිටි ජ්‍යෙෂ්ඨ කලා උපාධිධාරියෙක් වූ සෝමපාලත්, නිත්‍ය බලකායට මා මෙන්ම බැඳී සිටි වාණිජවේදී උපාධිධාරියෙකු රත්නසිරිත්, විද්‍යා උපාධිධාරියෙකු වූ සේනාරත්න වගේම මට වඩා වසරක් ජේෂ්ඨ ඉංජිනේරු උපාධිධරයකු වූ වන්නිආරච්චි හා මගේ බැචෙකු වූ මුණසිංහත් පේරාදෙනියෙන් උපාධිය ලබා තිබූ හෙයින් පේරාදෙණියට ආවේණික වූ රැග් ක්‍රමවේද දැන සිටියා.
අපි කතා වුණේ මුන් අපිට කොහොම රැග් කරන්නද අපිනෙ රැග් කප්පිත්තෝ කියලයි. ඒත් නාවික හමුදාවේ සිටි Cadet නිලධාරීන්ට අවශ්‍ය වුණේ රැග් එක මගින් අපව හඳුනා ගැනීමට වඩා අප කෙරෙහි ඔවුන් තුළ තියෙන ද්වේශය හා විරෝධතාව පිටකර හරින්නටයි. හැබැයි කොමඩ් එකට වැටුණු යතුරු කැරැල්ලක් ඒ තුළට අත දමා පිටතට ගන්නට මට අප්පිරියාවක් නැති වුණේ ත්‍රිකුණාමලයේ නාවික පුහුණුවේ මුල් දවස් කිහිපයේ ලද එවන් රැග් හේතුවෙනුයි.

ඉතිරිය  පහත link එකෙන් ආලෝචනා  අන්තර්ජාල සඟරාවෙන් කියවන්න.

Wednesday 26 June 2019

රැවුල සහමුලින්ම බෑවෙමි

මා ආලෝචනා අන්තර්ජාල සඟරාවට ලියන  නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු නොකීකතා පෙළක් ......



රැවුල සහමුලින්ම බෑවෙමි


මම පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ අක්බාර්-නෙල් ශාලාවේ පඩි පෙළ බසිමින් සිටියෙමි. ඒ මීට වසර තිස් පහකට පෙර විශ්වවිද්‍යාලයෙන් නික්මීමෙන් පසු තවත් වසරක් ගෙවුණු තැන දෙසැම්බර් මාසයේ එක්තරා දවසකදීය. මා නැවත පැමිණ සිටියේ මා අසමත් වීම හෝ පෙනී නොසිටීම නිසා නැවත ලියන්නට සිදු වී තිබූ දෙවන, තෙවන හා සිව්වන වසර වල පුනර් විභාගවලට පෙනී සිටීමටය.

අවසන් ප්‍රශ්න පත්‍රයටත් පිළිතුරු ලියා ගම රට බලා යන්නට තීරණය කොට බෑගයත් කරේ දාගෙන නේවාසිකාගාරයේ පඩිපෙළ බසිමින් සිටි මා හට සාධාරණත්වය වෙනුවෙන් සටන් වැද ශිෂ්‍ය භාවය අහෝසි කොට තිබූ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ආනන්ද ඉඩමේගම මුණගැසුණේ අහම්බෙනි. (ඉඩමේ ගැන බොහෝ කතා පසුවට)

ආ ගිය තොරතුරු මද වේලාවක් කතා කරමින් සිටි ඉඩමේ මගෙන් ඉල්ලීමක් කළේය. “හෙන්රි සහෝදරයා… කිසිම දෙගිඩියාවක් නැතුව නේවි එකේ නිලධාරි තනතුරට ඉල්ලුම් කරන්න……..”

ඉන් අනතුරුව ඔහු පැවසූ විස්තර සහ අනෙකුත් තොරතුරු මා මෙහි සටහන් කරන්නට උනන්දු වන්නේ නැත. ඊටත් වඩා ඒවා සටහන් කළ යුතුද නැත.

මා නාවික හමුදාවේ කෙටිකාලීන අධිකාරීලත් හමුදා නිලධාරින් බඳවා ගැනීමේ ඉල්ලුම් පත්‍රය යොමු කළේ ඉඩමේගමගේ ඉල්ලීමට එකඟ වූ නිසාය.

කොළඹ කොටුවේ නාවික හමුදා මූලස්ථානයේ පැවැති පළමු හා දෙවන සම්මුඛ පරීක්ෂණවලින් සමත් වූ මට තවදුරටත්  සිතන්නට අවකාශයක් තිබුණේ නැත. ජනවාරි 15 දා දෙමාපියන්ගේ ආශිර්වාදයක් නොමැතිව මගේම තීරණයක් පරිදි නාවික හමුදා උප ලුතිනන්වරයෙකු ලෙස වසර 5 ක කොන්තරාත්තුවක් පිට ශ්‍රී ලංකා නාවික හමුදා ඉංජිනේරු අංශයට බැඳුණෙමි.

අපිට ගෙන යන්නට නියම කොට තිබුණේ ඇඳුම් කිහිපයක් පමණි. කොට්ටයේ, මෙට්ටයේ තුවායේ සිට අන් සෑම සියලු දෙයක්ම නාවික හමුදාවෙන් සපයන බව අපට දන්වා තිබිණ.

මගේ කණ්ඩායමේ නිත්‍ය බලකායට සම්බන්ධ වන නිලධාරීන් පහළොස් දෙනෙකු හා ස්වේච්ඡා බලකායට සම්බන්ධ වන නිලධාරීන් කිහිප දෙනෙකුද  විය. අප සියලු දෙනාම පාහේ උපාධිධාරීන් හෝ උසස් ඩිප්ලෝමා හැදෑරූවන් වූහ. ඉහළ හමුදා නිලධාරියෙකුගේ ඥාතියෙකු වූ එක් අයෙකු පමණක් අපොස උසස් පෙළ හා කිසියම් පළපුරුද්දක් මත බඳවා ගෙන තිබිණ.

මා සමග පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු විෂයයන් හැදෑරූ ජ්‍යෙෂ්ඨයෙකු හා සමකාලීනයෙකුද, විද්‍යා උපාධිධරයෙකු හා අපට වඩා ජ්‍යෙෂ්ඨ වාණිජ උපාධිධරයෙකු ද විය. ඊට අමතරව කැලණිය, රුහුණ උපාධිධාරීන් මෙන්ම කටුබැද්ද ජාතික ඩිප්ලෝමාධාරින්ද විය.

අපට වාර්තා කරන්නට කියා දන්වා තිබුණේ කොච්චිකඩේ රංගල නාවික හමුදා කඳවුරටය. පළමුව අපේ කොණ්ඩා කෲ කට් කපා රැවුල් සහමුලින් කපා දමන ලදී. එදින දහවල් අපි හමුදා බත රස විඳීමු.
ඉතිරිය  පහත link එකෙන් ආලෝචනා  අන්තර්ජාල සඟරාවෙන් කියවන්න.
නැංගුරම-රැවුල සහමුලින් බෑවෙමි