Powered By Blogger

Monday 20 September 2021

Zoom සාහිත්‍ය කතිකාව

"පරිවර්තන සාහිත්‍යයේ සීමා මායිම්" මැයෙන් Zoom කතාබහක්...

ඔබටත් ආරාධනා.....!

 https://l.facebook.com/l.php?u=https%3A%2F%2Fus06web.zoom.us%2Fj%2F88963402364%3Fpwd%3DeGhvYmpMV05ZOEV6RFdWSEtYT0Q1Zz09%26fbclid%3DIwAR0zczp4TG14GYCTkpNcNqK-XX5Di2dP_w2PMeiLwCCwbH2NbsJ3gWvKHGs&h=AT19x7alA9ysVHxbQZmc_B42EKrcv6KxNkyS8k_2UvA9sXGW11pMarklxpx5ACb0rgJz4lLw89_g_f7YLR5-JRUgwWgxVvvr6sZjTG4uRJrXck7H_WmYDeZOuDLp73t5z1s&__tn__=-UK-R&c[0]=AT3SgQ_4QjWcE89cUY3hGfp94ifU7qSErHbu7nmVTv02UFXedn_OQd-pxpkD5pJpfKksOgtxpKSa0TGcFp3IqtxLDvGtfeNvihEh-iNOmvo6ieye7Dbrc2OpP9qvZI01NZjoyQcvfwYgvCoKS2BFMHTf

 


 

Friday 25 June 2021

වෙඩි වරුසා මැද නිවාඩු ආ හැටි

 

නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු  

නොකීකතා පෙළක්.

 වෙඩි වරුසා මැද නිවාඩුවට ගමේ ආ අවස්ථා බොහොමයක් වුණත් එකිනෙකට වෙනස් අවස්ථා තුනක් ගැන සඳහන් කරන්න හිතුවා.

මුහුදු ආවේක්ෂණ කලාපයේ නැව් වලට අනුයුක්ත වී සිටිද්දී නාවික හමුදා නිලධාරියෙකුට නිවාඩු ලබා ගම රට බලා ඒමේ ක්‍රම කිහිපයක් තිබුණා. නිලධාරියෙකුට කියා මා විශේෂයෙන් සඳහන් කළේ නාවික සෙබළෙකුට නැතහොත් නැවියෙකුට සාමාන්‍යයෙන් නිවාඩු එන්නට සිද්ධ වුණේ ත්‍රිකුණාමලය නාවික තටාකාංගන බලා එන යාත්‍රාවකින් පැමිණ එහි සිට ගොඩබිමින් කොළඹට එන Convoy එකකින් පැමිණීමයි. කොන්වෝයි එකක ආයුධ සන්නද්ධ ආරක්ෂක සෙබළුන් රැගත් ට්‍රක් හා ජීප් රථ වලින් සමන්විත බස් රථ කිහිපයක් වූවා.

නිලධාරීන් වැඩි වශයෙන් කොළඹ බලා පැමිණියේ ගුවන් මගින්. ඒ පලාලි හෝ ත්‍රිකුණාමලය චයින බේ ගුවන් කඳවුරු වල පිහිටි ගුවන් පථ හරහායි. ගුවන් යානයක ආසනයක් වෙන් කර ගන්නට ඉඩක් නොලැබුණු හදිසි අවශ්‍යතා වලදී නිලධාරීන්ටද කොන්වෝයි එකකින් කොළඹට එන්නට සිදු වුණා. කොහාමත් අප එවකට කණිෂ්ට නිලධාරීන් වූ බැවින් කල් තබා වෙන් කොටගෙන නොතිබුණේ නම් ගුවන් යානයක ඉඩ ලබා ගැනීම පහසු වුණේ නැහැ. ඊට හේතුව යුධ, නාවික හා ගුවන් හමුදා නිලධාරීන් පෞද්ගලික මෙන්ම රාජකාරි අවශ්‍යතා සඳහා නිරන්තරයෙන් කොළඹ බලා පියාසර කළ නිසයි.

කල් තබා වෙන් කළ ආසනයක් වුණත් උසස් නිලධාරියෙකුගේ හදිසි ගමනාගමනය වෙනුවෙන් කැප කරන්නට අපට සිදු වුණා. සමහර අවස්ථා වල කිසියම් ගුවන් යානයක් ඉලක්ක කර පලාලි ගුවන් හමුදා කඳවුරට චොප්ර් යානයෙන් (හෙලිකොප්ටරය චොප්ර් නමින්ද හැඳින් වෙනවා.) පැමිණියත් උසස් නිලධාරියෙකුගේ අවශ්‍යතා සඳහා යානයේ ආසනය පරිත්‍යාග කරන්නට සිදු වුවහොත් ඊළඟ යානය පිටත් වන තුරු එම ගුවන් හමුදා කඳවුරේ නවතින්නට සිදු වුණා.

වෙඩි වරුසා මැද නිවාඩු ලබා පැමිණීමේ පළමු අත්දැකීම මා ලැබුවේ “රක්ෂක” යාත්‍රාවේ ඉංජිනේරු නිලධාරියා ලෙස කටයුතු කළ අවධියේ, 1986 වසරේදී. මුහුදේ සිට පලාලි යන්නට පළමුව කරෙයිනගර් “එළාර” නාවික හමුදා කඳවුරට යායුතුයි. මා “රක්ෂක”  යාත්‍රාවේ සිට “හංසයා” බෝට්ටුව ගෙන්වා ගෙන “එළාර” නාවික කඳවුරට ගියා. ගුවන් හමුදා චොපර් එක එන්නේ “එළාර” කඳවුරටයි.

ගුවන් යානය පිටත් වීමට තිබුණ දවසට පෙර දිනයේ සවස් භාගයේ “එළාර” නාවික කඳවුරට ළඟා වූයේ චොපර් එක කොයි මොහොතක එන්නේදැයි කල් තබා කිව නොහැකි වූ නිසයි. ඊට හේතුව නිලධාරීන් රැගෙන යන හෙලිකොප්ටර් වලට ප්‍රහාර එල්ල කිරීමට කොටි උත්සහ කරන බැවින් ඒවා අහසට නැංවූයේ හදිසියේ වීමයි. පලාලි සිට චොපර් යානය එන බව විටෙක දැනුම් දුන්නේ පිටත් වූවාටද පසුවයි.

 
                                       හමුදා හෙලිකොප්ටරයක්

 ඕනෑම කඳවුරක රාත්‍රිය එළැඹුණු පසු වැඩමුරයේ නොසිටින නිලධාරීන් මධු පානයේ යෙදීම සාමාන්‍ය සිරිතක්. නැව් වල වගේම තමයි. හැබැයි ඒ ඇඟ රත් කරගෙන සුව නින්දක් ළඟා කර ගැනීමට විනා මත් වී අසිහියෙන් ඇද වැටෙන මට්ටමට නොවේ. නිවාඩු යාමට පැමිණි සහෝදර නිලධාරියෙකුට ඩ්‍රින්ක් එකක් ඔෆර් කිරීමත් සම්ප්‍රදායක් බවත් කිව යුතුයි. එක්තරා ආකාරයකට ආගන්තුක සත්කාරයක්.

ඒ අනුව මේ නිශ්චිත දවසේ “එළාර” කඳවුරේ රාජකාරි නිමා කොට සිටි නිලධාරීන් කිහිප දෙනෙකු සමඟ මා සතුටු සාමිචියේ යෙදී සිටියේ වෝඩ් රූම් එකේ බාර් එක අසලයි. ගෙවී ගිය දින ගණනාවක්ම කඳවුරට කොටි ප්‍රහාර එල්ල වූ බව ඔවුන් පැවසුවා. ඇක්ෂන් සටේෂන් සංඥා කළ විට මා රැඳිය යුතු ස්ථානය ගැන එතැන සිටි ඩියුටි ඔෆිසර් පැවසුවා.

( වෝඩ් රූම්- Ward room  යනු නිලධාරි නිවස්නයයි. සාමාන්‍යයෙන් වෝඩ් රූම් එකක මත්පැන් අලෙවි කරන බාර් එකක් තියෙනවා. මාසික වැටුපෙන් අඩු කරගැනීමේ පදනම මත ඒ මොහොතේ මුදල් නොගෙවා බාර් එකෙන් මත්පැන් ලබා ගත හැකියි. බිල වැටෙන්නේ ඇනවුම් කරන්නාටයි. ඇක්ෂන් ස්ටේෂන් - Action station යනු හදිසි සතුරු ප්‍රහාරයකදී ඊට මුහුණ දීම සඳහා සූදානම් වීමයි. කඳවුරක සිටින නිලධාරීන් එවන් අවස්ථාවකකටයුතු කළ යුතු ආකාරය හා රැඳිය යුතු ස්ථානය කල් තබා දන්නවා.)

නිවාඩු යන විට පෞද්ගලික ආරක්ෂාව සඳහා පිස්තෝලයක් රැගෙන යන්නට නිලධාරීන්ට අවසර ලැබුණා. ඒ අනුව මගේ බෑගයේ පිස්තෝලයක් තිබුණා. එහෙත් SMG, LMG, RPG, Hand Grenades වැනි අවි ප්‍රහාර ඉදිරියේ පිස්තෝලයකින් කුමක් කරන්නද ? ඒ නිසා ආමරියට ගොස් සබ් මැෂින් ගන් (SMG)  එකක් තාවකාලිකව ලබා ගත්තා.

අප කෙටි මධු පානය අහවර කොට ආහාර ගැනීමෙන් අනතුරුව නිදා ගන්නට කාමර වලට ගියා. විදුලි පහන් නිවා දමා සුළු වේලාවකට පසු නින්දත් නොනින්දත් අතර මනස දෝලනය වන මොහොතේ එක් වරම ඇක්ෂන් සටේෂන් සංඥාව රැගත් සයිරන් නළා හඬ නිකුත් වූයේ ඈතින් ඇසෙන වෙඩි හඬ සමඟයි. බොඩි ආමර් පැළැඳ ගෙන පතොරම් පිරවූ මැගසින් දැමූ පවුච් (Pouch- බඳෙහි බඳින කුඩා බෑග් විශේෂයක්) එල්ලා ගෙන නියමිත ස්ථානයට දිව ගොස් ඩවුන් යන්නට අපට ගත වූයේ නිමේශයක් පමණයි. දිව යන අතරම මැෂින් ගන් එක ලෝඩ් කරන්නට අප අමතක කළේ නැහැ.

වෙඩි හඬත් සමඟම RPG හෙවත් රොකට් ලෝන්චර් ප්‍රහාරත් එල්ල වෙන්න පටන් ගත්තා. අප ප්‍රහාරය සඳහා ඉදිරි පෙළට ගියේ නැහැ. ඒ සඳහා අනුයුක්ත කළ සෙබළුන් හා නිලධාරීන් සිටියා. අපට තිබුණේ තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගැනීමයි. ඇත්තෙන්ම එය ඉතා බිහිසුණු සටනක්. පැයක පමණ කාලයක් විටින් විට නිකුත් වූ වෙඩි හඬ කෙමෙන් තුනී වී ගියා. කඳවුරෙන් පිටත අහසට යැවූ Flare (ෆ්ලෙයාර් යනු ප්‍රදේශයක් සුළු වේලාවකට ආලෝකමත් කිරීම සඳහා ඉහළ අහසට යවන ආලෝක පුංජ විශේෂයක්) නැවතුණා.

සියල්ල සාමකාමී වී ඇක්ෂන් ස්ටේෂන් සමාප්ත වූ පසු අප දැනගත්තේ කඳවුරේ තුන්වන කම්බි වැට පිහිටි ආරක්ෂක වළල්ල බිඳ දැමීද සඳහා බඩගා ගෙන පැමිණි කොටි තරුණියන්ගේ මළ සිරු හමු වූ බවයි. ඔවුන් උත්සහ ගෙන තිබුණේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් සඳහා කඳවුරට ඇතුළු වීමටයි.

වෙඩි වරුසා මැද නිවාඩු ඒමේ අනෙක් අත්දැකීම ලැබුවේ කන්කසන්තුරේ වරාය අසල A 525 නෞකාවේ ඉංජිනේරු නිලධාරියා ලෙස රාජකාරි කරන අතරතුර පලාලි ගුවන් හමුදා කඳවුරට ගොස්  රත්මලාන ගුවන් හමුදා කඳවුර වෙත පියාසර කළ එක් අවස්ථාවකදී.

කන්කසන්තුරේ සිට පලාලි දක්වා චොපරයෙන් යාමට තිබුණේ කෙටි දුරක්.  එහෙත් ඒ ප්‍රදේශය කොටින්ගේ ග්‍රහණයට නතු වී තිබුණ නිසා ගමන අවදානම් සහගත වූවා. ගුවන් යානය පිටත් වීමට නියමිතව තිබුණේ දහවල් 11 ට පමණ. ඒ නිසා උදෑසන 8 ට පමණ මා පලාලි වෙත රැගෙන යාමට චොපර් එකක් කන්කසන්තුරේ වරාය අසලට ගොඩ බෑවා.

චොප්ර් එක ඉහළට ඔසවා සුළු මොහොතකින් වෙඩි ප්‍රහාර එල්ල වෙන්නට පටන් ගත්තා. ඒවා බර අවි නොව මෙෂින් ගන් බවයි පළපුරුදු ගුවන් හමුදා පියාසර නිලධාරියාගේ අදහස වූයේ. “මුං ඔය අපට ගහන්න නොවෙයි..වෙන ගේමකට වගේ සෙට් වෙන්නේ...” . යානාවේ දොර අසල වාඩි ලා සිටි ගුවන් සෙබළා බර අවියක් යොදා ගෙන බර්ස්ට් එකක් නිකුත් කළා. ඒ කියන්නේ ස්වයංක්‍රීය අවියකින් වෙඩි උණ්ඩ වැලක් නිකුත් කළා. ඉන් පසු ප්‍රතිප්‍රහාරයක් එල්ල වූයේ නැහැ.

නිලධාරියාගේ අනුමානය නිවැරැදි වූවා. අප ගුවන් හමුදා කඳවුරට ඇතුළු වී සුළු වේලාවකින් පලාලි ගුවන් හමුදා කඳවුරේ ධාවන පථය දෙසට ප්‍රහාර එල්ල වෙන්නට පටන් ගත්තා. ගුවන් හමුදාව ප්‍රතිප්‍රහාර එල්ල කළා. කොටි එල්ල කළ මෝටාර් ප්‍රහාර වලින් ධාවන පථයටද සුළු හානි සිදු වූවා.

සටන අවසාන වූයේ ගුවන් හමුදාවේ කෆිර්(Kafir) යානා අහසට නැග හතර අතේ බෝම්බ හෙළූ පසුවයි. නිවාඩු යන්නට සූදානම්ව සිටි ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට නිලධාරි නිවස්නයෙන් පිටතට නොයන ලෙස නියෝග කළ ගුවන් හමුදා නිලධාරීන් තත්ත්වය පාලනය කළේ “උං රනවේ එක පැත්තේ සෙල්ලං දැම්මට මෙහාට කිට්ටු කරන්න බැහැ. මේ පැත්ත ක්ලියර් කරලයි තියෙන්නේ” කියමිනුයි.

කෙසේ වුවද මේ ප්‍රහාර හා ප්‍රති ප්‍රහාර හමුවේ ගුවන් ගමන පමා වුණා. “ අද ඔයගොල්ලන් කොහොමත් කොළඹට යනවා. කොබ්බෑකඩුව සර් මේ ෆලයිට් එකේ යනවා. සර් අද කොළඹ ඉන්නම ඕනෑ..” දිවා ආහාරයෙන් පසු කෙටි දැනුම් දීමකින් අප පලාලි වලින් අහසට නැංගා.

“ මුං අද දවල් වාත කරේ කොබ්බෑකඩුව සර් ෆ්ලයි කරන බව දැනගෙන.

වෙඩි වරුසා මැද නිවාඩු ඒමේ අත්දැකීම් අතර වඩාත් බිහිසුණු කතාවක් තමයි දැන් සටහන් කරන්නේ. ඒ ත්‍රිකුණාමලය නාවික තටාකාංගනයේ සිට කොන්වෝයි එකකින් නිවාඩු පැමිණීමේදී.

 
                                     
හමුදා ගුවන් යානයක්

 ත්‍රිකුණාමලය නාවික කඳවුරේ සිට නිවාඩු ඒමේ එක් විදිහක් තමයි බෝට්ටුවකින් චයිනා බේ ගුවන් හමුදා කඳවුරට ගොස් එතැනින් ගුවන් හමුදා යානයකට ගොඩ වීම. එය ඉතාමත් ආරක්ෂිත වුණේ නාවික කඳවුර මෙන්ම ගුවන් හමුදා කඳවුරත් ආසන්නයේ කොටි ක්‍රියාකාරකම් නොතිබූ නිසයි. මේ කඳවුරු පිහිටා තිබුණු භූමි පෙදෙස් වලට අනුව ආරක්ෂාව ලබා දීම සාපේක්ෂව පහසු වුණා.

මා එවකට අනුයුක්ත කොට සිටි නාවික හා සමුද්‍රයීය විද්‍යා පීඨය පිහිටා තිබුණේ ත්‍රිකුණාමලය නාවික තටාකාංගන භූමියේයි. එහි සිට සතියකට කොන්වෝයි දෙකක් කොළඹ බලා පිටත් වුණා. කොළඹ යන ගමනේ දැඩි ආරක්ෂාවක් ලබා දුන්නේ හබරණ තෙක් පමණයි. ඒ දක්වා මන්කි බ්‍රිජ්, පාලම් පටාරු, තඹලගමුව, මුල්ලිපොතාන, කන්තලේ, කිතුල්උතුව, හතරැස්කොටුව වගේ ප්‍රදේශ වල විටින් විට කොටි ප්‍රහාර එල්ල වුණා. මට මතක හැටියට තඹලගමුවේදී කොටි බස් රථයකට නැග සිවිල් ජනතාව හතර අතේ වෙඩි තබා මරා දැමුවේත් මේ කාලයේ තමයි.

සුපුරුදු ලෙස උදේ 8 ට ත්‍රිකුණාමලය නාවික කඳවුරෙන් කොන්වෝයි එක පිටත් වුණා. ඉදිරියෙන්ම සන්නිවේදන පහසුකම් සහිත ජීප් රථයක් හා ආයුධ සන්නද්ධ ට්‍රක් රථ දෙකක් වූවා. ඊට පිටුපසින් බස් රථ තුනක්. නිවාඩු යන හමුදා සෙබළුන් හා නිලධාරීන් සිවිල් ඇඳුමින් සැරසී සිටියා. ඊට අමතරව අයුධ සන්නද්ධ සෙබළුන් සිව් දෙනා බැගින් එක් බස් රථයකට ආරක්ෂාව සැපයුවා. පිටු පසින් ආයුධ සන්නද්ධ ට්‍රක් රථයක් පැමිණියා. කිසියම් ප්‍රහාරයකට මුහුණ දීමේ සූදානම තිබුණත් කොයි කාගේ සිත් වලත් චකිතයක් නොවූවා යැයි කියන්නට බැහැ.

මේ ගමන් මාර්ගයේ වැඩි කොටසක් මාර්ගය දෙපස ඇත්තේ කැළෑවයි. මහා මාර්ගයේ නොවූවත් ඊට තදාසන්න සමහර ප්‍රදේශ කොටි ග්‍රහණයට නතුව තිබුණා. කිතුල්උතුවේදී අප ගමන් කළ කොන්වෝයි එක කොටින්ගේ ප්‍රහාරයකට ලක් වූවා. ඔවුන් මහ මගට නොපැමිණ කැළෑව තුළ සිට ප්‍රහාර එල්ල කළා. “එළාර” කඳවුරේදී මුහුණ දුන් ප්‍රහාරය මෙන් නොව මේ ප්‍රහාරයේ කිසියම් හුදෙකලා බවක් දැනුණා. ඊට හේතුව වන්නට ඇත්තේ සෙබළුන් සීමිත පිරිසක් හා ආයුධ සීමිත සංඛ්‍යාවක් සමඟ මරු කටට පැමිණ සිටීමයි.

වෙඩි හුවමාරු අතර නිරායුධ අප බසයේ සීට් අතර පහත් වී සිටියේ ලද උපදෙස් අනුවයි. බසයේ බඳට වෙඩි උණ්ඩ පතිත වෙද්දී මරණ භය ඇති නොවුණා කිව්වොත් බොරුවක්. ඇත්තටම එදා දරුණු ලෙස මරණ භය ඇති වූ දවසක්.

අවසානයේ වෙඩි හුවමාරුව නතර වූයේ ගුවන් හමුදා හෙලිකොප්ටරයක් පැමිණ සතුරන් පළවා හැරිය පසුවයි.

කොටි එදා කිතුල්උතුවේ මහමාර්ගය අසල පැති බෝම්බ අටවා තිබුණා නම් අද මේ සටහන ලියන්නට අප ජීවතුන් අතර නොසිටින්නට ඉඩ තිබුණා.

 

 

Sunday 13 June 2021

කොටමාරු වෙත මාරුවීමක්

 

නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු  

නොකීකතා පෙළක්.
 

A 525 නොහොත් කොටමාරු නෞකාව

“රක්ෂක” යාත්‍රාවේ මාස තුනක් රාජකාරි කිරීමෙන් අනතුරුව මා ඉංජිනේරු නිලධාරියා ලෙස A 525  ලෙසින් නිල වශයෙන් හැඳින් වූ, ජපානයෙන් කුලී  පදනමකට ලබා ගෙන තිබූ හෙයින් එහි මුල් නම වූ “කොටමාරු-KOTAMARU” ලෙස සාමාන්‍යයෙන් භාවිතා කළ විශාල නෞකාවට අනුයුක්ත කරනු ලැබුවා.

A 525  නැව තෙල්, වතුර හා ආහාර ගබඩාවක් ලෙස හැඳින්වීමේ වරදක් නැහැ. එය වැඩි වශයෙන්  කන්කසන්තුරේ වරායේ නැංගුරම් ලා තිබුණේ  නාවික යාත්‍රා හා බෝට්ටු වලට පැමිණ සිය අවශ්‍යතා සපුරා ගත හැකිවනු පිණිසයි. දවසකට වතාවක් ගැඹුරු මුහුදට යාත්‍රා කොට සේවා සැපයීමටත් A 525 නැව අමතක කළේ නැහැ. එහි එන්ජින් කාමරය විශාලයි. නැවේ තට්ටු තුනක් උසට එය විහිදී තිබුණා.

නියමිත දිනයේ මා උතුරු මුහුදේ සංචාරය කරමින් තිබූ “රක්ෂක” යාත්‍රාවෙන්ම කන්කසන්තුරේ වරායට පැමිණ A 525 නෞකාවට ගොඩ වුණා. නැව නැංගුරම් ලා තිබුණේ ජැටියට මදක් එපිටින් නිසා මට නැවට නගින්නට සිදු වූයේ ලණු හිණිමඟ දිගේයි. “රක්ෂක” යාත්‍රාව යාබද පැමිණි පසු නෞකාවෙන් හිණිමඟ පහළට හෙළනු ලැබුවා. සාමාන්‍යයෙන් එය හකුළා තබන්නේ අනවසරයෙන් යමෙකුට නැවට ගොඩ වෙන්නට නොහැකි වන ලෙසිනුයි.

ඉංජිනේරු නිලධාරියාට අමුත්තන් සඳහා ආලින්දයක් ඇතුළු සුවපහසු විශාල නිදන කාමරයක් හා ඊට යාබද  නාන කාමරයක් වෙන් කොට තිබුණා. එය මගේ කෙටි නාවික ජීවිතයේ ලැබුණු සුවපහසුම නවාතැනයි. හරියට මාස තුනක් විඳි කටුක ජීවිතයට හිලව් වන්නට සුපිරි අවස්ථාවක් ලැබුණා වගේ.

නෞකාවේ අණ දෙන නිලධාරියා වුණේ පසු කලෙක නාවික හමුදාපති ලෙස කටයුතු කොට අද්මිරාල් නිලයට පත් වූ කලාවට ලැදි නිර්මාණ ශිල්පියෙකු වූ එවකට ලුතිනන් කොමාන්ඩර් සෝමතිලක දිසානායකයි. නැවේ විධායක නිලධාරියා ලෙස කටයුතු කළේ නාවික හමුදා ස්වේචඡා සේවයට බැඳී මා සමඟම මූලික පුහුණුව ලැබූ කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකු වූ ලුතිනන් එම්.ඒ. රංජිත්. (රංජිත් පසු කලෙක මුහුදු ප්‍රහාරයකදී කොටින් අතින් ජීවිතක්ෂයට පත් වුණා.)

මා යටතේ සිටි එක් නාවික සෙබළෙකු ගැනද මෙහි ලා විශේෂයෙන් සඳහන් කිරීම වටිනවා. ඒ නාවික විදුලි කාර්මික ශිල්පී විජිත රෝහණයි. මා නැවේ ඉංජිනේරු නිලධාරියා හෙයින් රෝහණගේ අංශ භාර නිලධාරියා ලෙස මට කටයුතු කරන්නට ලැබුණා. ඔහුගේ ලිපි ගොනුව තිබුණේ මා භාරයේයි. ආහාර ප්‍රශ්නයක් සම්බන්ධව මුළුතැන්ගෙයි නැවියන් සමඟ ආරවුල් ඇති කර ගැනීම නිසා අවස්ථා කිහිපයකදී ඔහුට විනය පිළිබඳ වාචිකව අවවාද  කරන්නට මට සිදු වුණා.

අනතුරු ඇඟවීම් හා අවවාද නොතකා දිගින් දිගටම ඔහු විශ්වාස කරන සාධාරණත්වය වෙනුවෙන් අරගල කළ රෝහණ පිළිබඳ සටහනක් ඔහුගේ ලිපි ගොනුවට එක් කරන්නට මට සිදු වුණා. මගේ නාවික හමුදා ජීවිතයේදී මා යටතේ සේවය කරන්නෙකු පිළිබඳ තැබූ එකම සෘණාත්මක සටහන එයයි. රෝහණ ඒ තරමටම කරදරයක් වුණා. හමුදාව වැනි දැඩි විනයක් පවත්වාගෙන යන ආයතනයකට රෝහණ ගැලපුණේ නැහැ. ඒ බව සාක්ෂාත් කරමින් විජිත රෝහණ 1987 ජූනි මාසයේ ඉන්දීය අගමැති රජීව් ගාන්ධිගේ නිල සංචාරයක් අතරතුර පැවැති ආචාර පෙළපාළියේදී තුවක්කු බඳෙන් ප්‍රහාරයක් එල්ල කළා. (මේ ගැන විස්තර පසුවට)

A 525  නෞකාව රාත්‍රි මුර සංචාරයේ නොයෙදුණු හෙයින් සන්ධ්‍යා යාමයේ ඩෙක් එක මතට වී ව්‍යායාම කළ පසු අපට කරන්නට විශේෂ රාජකාරියක් නොවීය. නාවික හමුදා නිලධාරීන්ට මාසික කෝටාවක් ලෙස සැර මත්පැන් බෝතල් හා දුම්වැටි කාටුන් ලබා දුන්නේ මේ කාන්සිය මගහරවා ගන්නට විය යුතුය. තම හිතාදරයින්, නෑසියන් නොදකිමින්, ඊටත් එහා එකම මුහුණු උදේ හවා දකිමින් සති ගණනාවක් එක දිගට මුහුදේ සිටීම මානසික විඩාව ගෙන දෙන කාරණයක්.

නැවේ සිටි නිලධාරීන් තුන්දෙනා බොහෝ මැදියම් රාත්‍රීන් ගත කළේ සෝමපානයේ යෙදෙමිනුයි. නැවේ ප්‍රධානියා වූ ලුතිනන් කොමාන්ඩර් දිසානායක කලාවට ලැදි රසිකයෙකු පමණක් නොව නිර්මාණකරණයටද උනන්දු බව මා දැනගත්තේ මෙවන් සන්ධ්‍යා කතා බහකදී. මා පුවත්පත්වලට කවි කෙටිකතා ලියන බව පළමු දිනයේදීම රංජිත් පැවසුවේ බැචා අගය කරන්නට විය යුතුයි.

එවකට මා දිවයින, නවලිය පුවත්පත් වලට නිර්මාණ සපයමින් සිටියා. එහෙයින් එම නිර්මාණ පිටු සකසන්නන් කවුරුන්ද යන වගත් දැන සිටියා. අණ දෙන නිලධාරියා ලියා තිබූ කවියක් ඔහුටද නොදන්වා මම දිවයිනේ චන්ද්‍රසිරි දොඩන්ගොඩට තැපෑලෙන් යැව්වේ ඒ දැනහුඳුනුම්කම මතයි. මුහුදේ සිටියද තැපැල් සේවාව හොඳින් ක්‍රියාත්මක වුණා. සති දෙක තුනක් යන්නට මත්තෙන් නිවාඩු ගොස් පැමිණි නැවියෙකු සෝමතිලක දිසානායක නමින් පළ වූ මුහුදු ජීවිතය ගැන ලියැවුණු කවියක් පළ වූ ඉරිදා දිවයින පුවත්පතක් රැගෙන විත් තිබුණා. ඒ කවිය පළ වී තිබුණේ කවි පිටුවේ නොව වැඩි දෙනෙක් කියවන වෙනත් ලිපි අතර නිසා වඩාත් කැපී පෙනුණා.

පසු කාලයක සෝමතිලක දිසානායක නමින් පළ වූ නිර්මාණ මා කියැවූයේ පුවත්පත් වලිනුයි. සෝමතිලක දිසානායක යනු ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායකගේ සොහොයුරා බව මෙහිලා සඳහන් කිරීම වටිනවා.

A 525  නෞකාවේ සිටි මාස තුනක කාලය තුළ වූ සුවිශේෂී සිද්ධියක් පිළිබඳ  ලිවිය යුතුමයි.  මසකට ලැබුණ සැර මත්පැන් කෝටාව අපි තිදෙනාගේ පරිභෝජනයට ප්‍රමාණවත් වූයේ නැහැ. මත්පැන් පානය නොකරන හෝ ගෙදර ගෙන නොයන නැවියන්ගෙන් මිලදී ගත්තත් සමහර මාස අවසන් වූයේ මත්පැන් කඳුළක් බෙහෙතකටවත් සොයා ගන්නට ඉඩක් නැතිවයි.

එවන් අවාසනාවන්ත දවසක රංජිත් මගේ කාමරයට පැමිණියා.

“වැඩක් තියෙනවා. කරමුද ? CO ටවත් දැනගන්න බෑ. වැඩේ ඉවර වුණාම කියමු.” රංජිත්ගේ යෝජනාව වූයේ මගේ විශාල නාන කාමරයේ කෙළවරක පළතුරු වලින් මධ්‍යසාරය පෙරීමටයි.

“යකෝ තොපේ පැත්තෙනේ මේවා රටටම පෙරන්නේ..ඕක දන්නෙ නැද්ද..ඉඳහං මං පෙරන හැටි කියල දෙන්නං. උඹයි මායි එක් වුණාම මේක සිම්පල්.”

රංජිත් බොහෝ දුරට සිතා තිබුණා. තාක්ෂණ සහය ඉංජිනේරු නිලධරයා වන මගෙන්. මට ස්ටෝරුවෙන් තඹ බට හා බර්නර් එකක් ගෙන්වා ගැනීම කජ්ජක් නොවේ. භාජනයක් හා අවශ්‍ය පළතුරු සැපයීම රංජිත් බාර ගත්තා. රාත්‍රියේ ක්‍රියාන්විතය ආරම්භ කිරීමට තීන්දු වුණා.

“ බොන්න දේකුත් නැති හංදා CO රෑට කාපු ගමන් කාමරේට යයි. මං බඩු ටික මගේ කාමරේට ගෙන්න ගෙන තියන්නම්. උඹත් තාක්ෂණ උපකරණ ගෙන්වා ගනිං.”

පහුවදා උදෙන්ම රංජිත් මගේ කාමරයට ආවා. “ ඔය හැදෙන්නෙ බඩු ටොප් එකට” බිංදුව බැගින් වෑහෙන දියරයේ රස බැලූ රංජිත් ප්‍රීතියෙන් පිනා ගියා. “උඹට කරන්න තියෙන්නෙ ලිප දිගටම වැඩද කියල සැරෙන් සැරේ බලන එකයි. ඔය කොයිල් එක සීතල වෙන්න දිගටම වතුර ටැප් එක ඇරල තියපන්.”

නැවේ සමබරතාව රැක ගන්න ballast tank වලට පොම්ප කළ මුහුදු වතුර පාවිච්චි කළ නිසා වතුර අපතේ යාමක් ගැන සිතන්න අවශ්‍ය වුණේ නෑ. Sea water ටැප් එක දිගටම විවරව තැබුවා.

දවසකට පස්සේ බෝතලයක් පිරෙන්න පළතුරු සුවඳැති මධ්‍යසාර එකතු වුණා. රංජිත් හවස් වෙද්දි ගජරාමෙට පාටියක් සංවිධානය කළා. බෝට්ටු වලින් දීල ගිය ඉස්සන්, දැල්ලන් එකක් විවිධ මාළු වර්ග හදලා තිබුණා. ඒ දවස් වල ඉස්සන්, දැල්ලන් කාලාම ඇඟ් පලු දාලත් තිබුණා. ඌෂ්ණයට වැඩිකමට.

“කොහෙන්ද බෝතලයක් හොයා ගත්තෙ?” CO ඇහුවා.

“ස්ර්...බීල බලලම කියන්නකෝ කොහොමද කියලා”

“පංකාදු බීමක්නේ...උඹලා පෙරුවද?”

අපි ඇත්ත විස්තරේ කිව්වා.

“මේ පාර විතරයි. ආයෙ බෑ” ලුතිනන් කොමාන්ඩර් සෝමතිලක දිසානායක නොනිල තරවටුවක් කෙරුවා.

 

Monday 24 May 2021

ආදම්ගේ පාලම තරණය

 

නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු  

නොකීකතා පෙළක්.


                                                                        උතුරේ දූපත් 

වැල්වෙටිතුරේ ප්‍රහාරය අවසානයේ ඉතා සාමකාමී හා තැන්පත් ලෙසින් දියඹට ඇදුණු “රක්ෂක” යාත්‍රාව තොන්ඩමනාර්, මයිලඩි, කන්කසන්තුරේ, කීරිමලේ, දඹකොළපටුන, කෝවලම් පසු කොට එළුවෙයිතිව්, අනලෙයිතිව්, නයිනතිව්, පුන්කුඩතිව් හා ඩෙල්ෆ්ට් දූපත් අතරින් තලෙයිමන්නාරම බලා පිටත් වුණා.

ඉන්දියාව හා ලංකාව අතර ගොඩබිමේ දුරස්ථභාවය කෙමෙන් අඩු වීමත් සමඟ ඉන්දීය මුහුදු සීමාව ළං වෙන්නට වුණා. ඒ සමඟ මත්ෂ්‍ය කර්මාන්තයේ නිරත ධීවරයින් දියඹේ තැන තැන සුලභ වෙන්නට පටන් ගත්තා. ලංකාවේ ධීවරයින්ට මුහුදු යෑම තහනම් වුවත්, නොදැනුම්වත්කමින් හෝ හොඳ මාළු අයිනක් අල්ල ගන්නට හිතාමතා සිය දේශ සීමා පසු කොට ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වන ඉන්දීය ධීවරයින් පළවා හරින්නට නාවික හමුදාව කටයුතු කළා.

තමන්ට නාවික හමුදාවෙන් අනතුරක් නැති බව දැන සිටි ඉන්දීය ධීවරයින් කළේ නාවික යාත්‍රාවක් ඇස නොගැටේ නම් සිය කාර්යයේ රිසි සේ නියැලීමයි. යම් හෙයකින් නාවික යාත්‍රාවක් ළඟා වුවහොත් ඔවුන් කළේ තමන් ඇල්ලූ ඉස්සන්, දැල්ලන් හා වෙනත් මාළු පරිත්‍යාග කිරීමයි. “ෂාමී..ෂාමී..” කියමින් මාළු කූඩා ඔසවාගෙන සිටින ඔවුන් ගෙන් සමහරු මාළු ලබා ගත්තේ කප්පම් වශයෙන් නොවේ. ඊට සරිලන ආහාර ද්‍රව්‍ය හිලව්වට ලබා දෙමිනුයි. අපත් සමහර විටෙක එසේ මාළු ලබා ගත්තේ දින ගණනාවක් මුහුදේ ගතකිරීමේදී ඔවුනට අවශ්‍ය වන කිරිපිටි, සීනි හා වෙනත් ආහාර ලබා දෙමිනුයි. නමුත් මේ මාළු බෝට්ටු සුපරික්ෂා කිරීමට නැවියන් පියවර ගත්තේ මාළු අල්ලන මුවාවෙන් හොරබඩු හෝ ත්‍රස්තවාදීන්ට අවශ්‍ය ආයුධ ප්‍රවාහනයට ඉඩ තිබුණු නිසයි.

වාර කිහිපයක් මුහුදේ යාත්‍රා කරමින් ලද අත්දැකීම් මත සුක්කානම මගේ අතට හුරු වුණ පසු  අණ දෙන නිලධාරිවරයා මට තනිවම යාත්‍රාව පදවා ගෙන යාමට අවසර දී තිබුණා. එසේම නාවික මුහුදු සිතියම පරිශීලනය කරමින් යාත්‍රාව දියඹේ දියත් කිරීම මගේ දෛනික රාජකාරියේ කොටසක් වුණා. වඩාත් අවදානම් වූයේ විටෙක විසිරී තිබෙන ඉන්දියන් බෝට්ටු වල නොගැටී යාත්‍රාව පැද යාමයි.

නාවික සිතියම කියැවීම හා තේරුම් ගැනීම වෙනම කලාවක්. මුහුදු ගමන් මාර්ගය සිතියමේ සලකුණු කරමින් බාධක, ගල්පර මග හරිමින්, වෙරළේ සිට දුර පවත්වා ගනිමින්, මුහුදේ ගැඹුර නිරන්තරයෙන් සිතියම මගින් අධ්‍යයනය කරමින් ගිය ගමන එක්තරා ආකාරයක අභ්‍යාසයක් ලෙස හැඳින්වූවත් වරදක් නැහැ. මුහුදේ ගැඹුර සටහන් වී තිබුණේ ෆැදම්ස් (Fathoms)  වලින්. මුහුදේ ගැඹුර මනින්නේ ශබ්ද තරංග පතුළට යවමිනුයි. එය නම් කෙරෙන්නේ soundings ලෙසයි. Fathoms යන වදන බිහි වී ඇත්තේ ඈත අතීතයේ මිම්මක් මැනීමේ එක්තරා ක්‍රමවේදයකට අනුවයි. එනම් වැඩිහිටි පුද්ගලයෙකු දෑත් දෙපසට දිගු කළ විට ඔහුගේ මැද ඇඟිලි තුඩු දෙක අතර දිග ලෙසිනුයි. වර්තමානයේ මුහුදේ ගැඹුර මැනීම සඳහා echo sounder භාවිතා කෙරෙනවා. එහි අගය එන්නේ මීටර වලින්. ඒ අනුව තවදුරටත් ෆැදම්ස් අවශ්‍ය වන්නේ නැහැ.

 
 
නාවික සිතියමක ලංකාවේ උතුර

එක්තරා දවසක අලුයම් කාලයේ මා පදවා ගෙන ආ “රක්ෂක” වේග කාලතුවක්කු යාත්‍රාව (Fast Gun Boat- FGB) තලෙයිමන්නාරම ජැටියට ළඟා වෙමින් තිබුණා. ඒ වන විට පහළ bunk එකට වී විවේක ගන්මින් සිටි අණ දෙන නිලධාරී ලුතිනන් කොමාන්ඩර් ලක්ෂ්මන් ඉලංගකෝන්ට මා නැවියෙකු අතේ පණිවිඩයක් යැව්වේ පාලක මැදිරියට එන ලෙසයි. ඊට හේතුව නැවක් හෝ යාත්‍රාවක් ජැටියේ රඳවනවා (along side ගන්නවා) යන්න විශේෂ හුරුවකින් කළ යුතු කටයුත්තක් වූ නිසයි. කිසියම් ප්‍රමාද දෝෂයක් සිදු වුවහොත්  ජැටියේ ගැටී අනතුරක් වීමේ ඉඩකඩ වැඩි නිසා අණ දෙන නිලධාරීන් තමන්ම යාත්‍රාව ජැටියේ රැඳවීමට වගබලා ගත්තා.

මේ උදෑසන මට අණ දෙන නිලධාරීවරයාගෙන් පෙරලා පණිවිඩය ලැබුණේ තනිවම නැව ජැටියේ රඳවන ලෙසිනුයි. කිසියම් තිගැස්මක් ඇති වුවත් උදව්වට සිටි සුළු නිලධාරීට හා අනෙක් නැවියන්ට ඒ බව දැනෙන්නට ඉඩ නොතබා මා ඒ ක්‍රියාන්විතයට සූදානම් වුණා. ඇත්තෙන්ම එය මට ඒ මොහොතේ ක්‍රියාන්විතයක්.

“තම්මැන්නා...තම්මැන්නා...රක්ෂක කෝලිං ඕවර්...”

“රක්ෂක...රක්ෂක..තම්මැන්නා කෝලිං ඕවර්..”

“මේ රක්ෂක..අපට along side ඒම සඳහා ජැටිය සූදානම් කරන්න...ඕවර්...”

“ මේ තම්මැන්නා..රොජර්..ඕවර්...”

ශ්‍රී.ලං.නා.නෞ. තම්මැන්නා ලෙස නම් කළේ තලෙයිමන්නාරමේ පිහිටි නාවික කඳවුරයි. නැව් සේම ගොඩබිම වූ කඳවුරු පවා නාවික හමුදාව හැඳින්වූයේ ශ්‍රී ලංකා නාවික නෞකා (ශ්‍රී.ලං.නා.නෞ.) ලෙසිනුයි. ඉංග්‍රීසියෙන් Sri Lanka Navy Ship (SLNS) ලෙස හැඳින්වූවා.

අප ජැටියට ළඟා වන විට බොලාඩ් අසල නැවියන් සූදානම්ව රැඳී සිටියේ අපව සුරක්ෂිතව පිළිගන්නටයි. යාත්‍රාවේ port side එකේ ෆෙන්ඩර්ස් (fenders) පහතට හෙළනු ලැබුවා. යාත්‍රාව වටයක් කරකවා එහි දකුණු බඳ ( නාවික වදනින් port side එක) ජැටියට සමාන්තර වන සේ එන්ජිමේ වේගය පාලනය කරමින් මා සුක්කානම රඩරය (rudder) හසුරුවන්නට උපදෙස් දුන්නා. සුළඟේ වේගය ගැනත් සැළකිලිමත් වීම වැදගත් වුණේ එන්ජිම නියුට්‍රල් කළ විට දිය වැල ගලන දිශාවට යාත්‍රාව හෙමින් ඇදී යන (drift) නිසයි.

යාත්‍රාවේ බඳ ජැටියට හේත්තු වීමත් සමඟ සුළු තිගැස්මක් ඇති වුණා. ඒ සමඟ නැවියන් දිගු කඹ බොලාඩ් වල රඳවනු ලැබුවා. යාත්‍රාව සෙකුවර් (secure) කරන විට අණ දෙන නිලධාරීවරයා පාලක මැදිරියට ආවා.

Bravo Zulu (BZ).* I knew that you can do it”

කොහොමත් කඳවුරකට හෝ මව් නෞකාවකට ළගා වන විට අප කවුරුත් සම්පූර්ණ නිල ඇඳුමින් සැරසී සිටිය යුතු වුණා. මුහුදේදී හැමෝම ඇන්දේ නිල් යුනිෆෝර්ම් එකයි. සුපුරුදු ආචාර සමාචාර දක්වා අපි තම්මැන්නා කඳවුරට ඇතුළු වුණා. එය නිලධාරීන්ට සැහැල්ලු වන්නට අවස්ථාවක්. කඳවුරට ගෙන ආ ආහාර, ඉන්ධන ඇතුළු වෙනත් දුව්‍ය ගොඩබෑමෙන් අනතුරුව නැවියන්ද මොහොතකට රාජකාරි වලින් නිදහස් වුණා.

අප ආපසු මුහුදු ආරක්ෂණ කටයුතු වලට යාමට නියමිතව තිබුණේ සන්ධ්‍යා භාගයේදීයි. ඒ අතර විරාමයේදී ආදම් පාලම දකින්නට යන්නට අවස්ථාව ලැබුණා. ඩිංගි බෝට්ටු දෙකක නැගී අප කිහිප දෙනෙකු ඒ වෙත රැගෙන ගියේ කඳවුරේ අණ දෙන නිලධාරීවරයාගේ උපදෙස් මත තඳවුරේ නැවියන් විසිනුයි.

රාමේශ්වරම් දූපතේ (මේ දූපත පම්බන් දූපත ලෙසද හැඳින්වෙනවා.) ධනුෂ්කොඩි සිට මන්නාරම දූපතේ තලෙයිමන්නාරම දක්වා ගමනාගමනය සඳහා ඉන්දියාව හා ලංකාව යා කරමින් තැනූ රාමා සේතු, රාමාගේ පාලම නැතහොත් ආදම්ගේ පාලම ලෙස හැඳින්වූ පාලමේ නටබුන් ගල්වැටි මතින් ඇවිද යන්නට මා ලද සුවිශේෂී අවස්ථාව මේ මොහොතේ සිහිපත් කළ යුතුමයි. එය කලාතුරකින් කෙනෙකුට ලැබෙන අවස්ථාවක්. මේ පාලම ක්‍රිස්තු වර්ෂ 1480 දී පමණ සුළිසුළඟකට හසුවී විනාශ වන තුරු මේ පාලම හරහා දෙරට අතර ගමනාගමනය සිදු වූ බවයි පැවසෙන්නේ. නටඹුන් ලෙස ඉතිරි වී ඇති පාලමේ පාදමට අයත් ගල් වැටි මත ඇවිද යද්දී සමහර තැන් වල ගැඹුර මීටරයකටත් වඩා අඩු බව අප අත්දැකීමෙන් පසක් කොට ගත්තා.

 
නොගැඹුරු මුහුදේ ආදම්ගේ පාලම ගල් වැටිය

                                            ආදම්ගේ පාලම

ශ්‍රී ලංකාව දූපතක් වුවත් ඒ වටා නාවික ගමනාගමනය සිදු කළ නොහැක්කේ අභාවයට ගිය මේ පාලමට අයත් වූ  ගල් වැටි හා ගල් පර නිසයි. මන්නාරමට උඩින් තිබෙන නැවක් කොළඹට ගෙන ඒමට නම් වයඹ- බටහිර මුහුදු තීරය අතහැර උතුරු-ඊසාන-නැගෙනහිර- ගිණිකොණ-දකුණු- නිරිතදිග හා බටහිර මුහුදු තීර ඔස්සේ  යාත්‍රා කිරීමට සිදුවන්නේ මේ හේතුවෙනුයි. මා “එඩිතර” නෞකාවේ සිටියදී උතුරු මුහුදේ සිට කොළඹ නැව් තටාකාංගණයට පැමිණීම සඳහා සහභාගි වූ වෙහෙසකාරී මුහුදු ගමන මට සිහිපත් වුණා.

(*Bravo Zulu යනු නාවික භාෂාවෙන් Well done)