Monday, 9 January 2017

අනාදිමත් කාලයක පටන් සරසවි දිසාපාමොක්ලා පිළිබඳ අත්විඳි සත්‍යය




සරසවි දිසාපාමොක්ලා පිළිබඳ කැත සත්‍ය නිරූපිත ගීතයක්
________________________________________

අද නොකී කතාව අප හිතමිත්‍ර කලාකරුවෙකු හා ජනමාධ්‍යවේදියෙකු වන කපිල එම්. ගමගේ ලියූ සටහනක්.

සරසවි ශිෂ්‍යයෙකු මෙන්ම ආචාර්ය මණ්ඩල සාමාජිකයෙකු ලෙසද අප අත් විඳ ඇති මේ කුජීත ක්‍රියාවලිය ගැන නිර්මාණශීලී ලේඛිකාවක වන යනූෂා ලක්මාලි 2010 දී පමණ 
කැලණිය සරසවියේ උපාධි අපේක්ෂිකාවක ලෙස සිටියදී ඇය ලියූ "පාර" නවකතාවකටද පාදක කොට ගත්තා. මා ඒ ගැන විචාරයක්ද පුවත්පතකට සැපයූවා මතකයි.

සරසවි ඇදුරෙකු විසින්ම මෙවන් ගීතයක් ලිවීම වඩාත් අවධානයට යොමු විය යුතුයි.


මාජයේ සියුම් තැන් නිරාවරණය කොට ඒවා පොදු සමාජයේ පුරවැසියාගේ ඇස ගැටෙන්නට සලස්වා ඒ පිළිබඳ සමාජ දේශපාලන අවබෝධය ලබාදීම කලාකරුවාගේ පුරවැසි වගකීම වේ. එම නිසා වඩාත් යහපත් මානව දිවියක් වෙනුවෙන් ඔහු සිය අකුරු, හැඩතල හා රේඛා, සංගීත ස්වරයන් පමණක් නොව සියලු කලා භාවිතාවන් දිශාගත කළයුතු වේ. සංගීතය යන මහා සංස්කෘතික කලා ශානරයේ උප ශානරයක් වන ගීතය මානව සිත ආමාන්ත්‍රණය කිරීමට සමත් ඉසියුම් කලාවකි. එය බොහෝ අවස්ථාවල සමාජයීය කාරණා පාදක කරගනිමින් පොදු රසිකයා ඥාණනය කරණ ආකාරය අප දැක ඇත. ලොව පුරා මෙය මේ ආකාරයෙන් සිදුවන අතර මෑත කාලයේ ගීතය හුදු විනෝදායන උපකරණයක් ලෙස භාවිතයට ගැනීම වඩාත් ප්‍රබලව මතුවී පෙනේ. ලෝකයේ සියලු කලාවන් වෙළඳපොල ඉලක්ක කරගත් සංස්කෘතික කර්මාන්තයක් බවට පත්ව ඇති යුගයක, ලොව පුරා ඒ ඒ කලා ශානරයන් ඒකරූපි වන යුගයක ඉඳහිට හෝ සමාජ දේශපාලන අරමුණු ඉලක්ක කරගත් කලා නිර්මාණයක් ඇසුරු කරන්නට ලැබීම කලාවේ කාර්යභාරය පිළිබද වෙනත් විශ්වාසයක් තබා ඇති රසිකයාට සුළු අස්වැසිල්ලකි. ගීතය හුදු ප්‍රේමයම විලාපයන් බවට පත්වී, ප්‍රේමය නිසා කොඳු බිදගත් ගායක පරම්පරාවක් සමග ශ්‍රී ලාංකීය ගීතය වාණිජ මාධ්‍ය ලෝකයේ අතින් අත හුවමාරු වෙන යුගයක ඉතා අපූරු ගීතයක් නිර්මාණය වී ඇති ආකාරය අන්තර්ජාලය පරිහරණයේදී ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබුණි.

වරදකරුවන් විසින් සිය සිවිල් බලය පාවිච්චි කරමින් සගවා තබා ඇති අමිහිරි සත්‍යයක්, වින්දිතයන් ලෝ අපවාදයට බයේ සගවා ගන්නා සත්‍යයක් ඉතාමත් අපූරු වාග්මාලාවක් ඔස්සේ අසන්නට ප්‍රිය උපදවන සංගීත නිර්මාණයක් හා ගායන විලාසයක් ඔස්සේ අප ඉදිරියට රැගෙන එන මේ ගීතයේ පද රචකයා වන්නේ රුහුණු විශ්ව විද්‍යාලයේ කතිකාචාර්යවරයෙකු වන නන්දසිරි කිඹියහෙට්ටි වන අතර සංගීත හා තනු නිර්මාණය සමන්ත පෙරේරා ගෙනි. ගැයුම නූතන පරම්පරාවේ අපූරු කටහඩක් හිමි ගායිකාවක වන ශානිකා සුමනසේකර ගෙනි. 

ගීතය ඇරඹෙන්නේ මෙසේය.

දිසාපාමොක් ඇදුරුතුමනේ
තක්සලාවෙන් යන්න අවසර
හොඳම සිසුවිය නොවී මඟහැර
රැගෙන යන්නම් කුමරි බඹසර

ගිතයේ ස්ථායි කොටසින්ම රචකයා අපේ මනස අවදිකරයි. මේ කියවෙන්නේ විශේෂයෙන් අපගේ උසස් අධ්‍යාපන ආයතන තුළ රහසේ එහෙත් විශ්වවිද්‍යාල ප්‍රජාව හොඳින් දන්නා අමිහිරි සත්‍යයක් පිළිබඳවය. රචකයා සිය ස්ථායි කොටසේ අවසන් පද දෙකින් මේ කාරණය පිළිබඳ රසික මනස අවදි කරවයි.

හොඳම සිසුවිය නොවී මඟහැර
රැගෙන යන්නම් කුමරි බඹසර

සරසවියේදී හොඳම සිසුවිය වන්නට නම්, පන්ති සාමාර්ථයක් ලබන්නට නම්, කතිකාචාර්යවරියක ලෙස බැ‍‍ෙඳෙන්නට නම් ඇය සිය කුමරි බඹසර දිසාපාමොක්ට පිදිය යුතු වේ. බොහෝ සරසවිවල බොහෝ සිසුවියන් මුහුණපානා, එහෙත් නොකියනා සත්‍යය මෙයයි. නමුත් මෙහිදී රචකයා අප වෙත ගෙන එන සිසුවිය පවසන්නේ මම සාමාන්‍ය සිසුවියක ලෙසින් සරසවියෙන් පිටව යන්නම්, කුමරි බඹසර රැකි තරුණියක සේ කියාය.

ගිතයේ පළමු අන්තරා කොටස මෙවැනි සිදුවීම් වල ඇති අමානුෂික, සගවාගත් ජාගර බව රචකයා අපූරුවට මතු කරයි.

පුරා සූසැට කලා භූෂණ
රන් පදක්කම් දිනා ගෙල පළදන්
උපාධියෙ කළු කබායෙන්
කෙසේ සඟවම් රතු පලස්මත
තිබෙන කඩතොළු තැන් - තිබෙන කඩතොළු තැන්

රචකයා පවසන්නේ සරසවියේදී සියලු දේ ලබා ගත හැකි ඉහළම මිල නම් කුමරි බඹසර බවයි. එයින් දක්ෂකම් නොතිබුණද සූසැට කලාවන්ගෙන් දක්ෂයෙකු විය හැකිය. රන් පදක්කම් දිනිය හැකිය. එහෙත් ඒ වෙනුවෙන් අහිමි කරගන්නා සිය පිවිතුරු බව කළු කබාය හැඳ එළෙන රතු පලස් මතින් පියමැනීමෙන් පිළිසකර කරගත හැකිද? 

රතු පලස් වලින් වසා ඇත්තේ දුගඳ හමන කඩතොළු අසූචි වළවල්ය. ඉතා ප්‍රබල ලෙස මේ සිදුවිමේ ඇති අති අමානුෂික බව රචකයා රතුපලස් යට ඇති කඩතොළු තැන් වලින් සංකේතවත් කරයි.

ගීතය දෙවන අන්තරා කොටස සිය අත්දැකීම පරිපාකයට රැගෙන එන්නට රචකයා සමත් වෙයි. රසිකයා උපරිම ගිරිමුදුනට ඒ ඔස්සේ රැගෙන යයි.

උපදවා බැති පෙම් හැඟුම්
නොරිදවා ගුරු සිත අකුරු කරමින්
කෙලෙස අදහා ගනිම්දෝ
දෙවොළ ඇතුලේ පහන් සොරකම්
කරනබව දෙවියන් - දේවතා එලියෙන්

සාමාන්‍යයෙන් සිසුවෙකුට ගුරුවරයෙකු සම්බන්ධව ඇතිවන්නේ භක්ති පූර්වක ගෞරවයකි. සිසුවිය ගුරුවරයා දෙස බලන්නේ එලෙසිනි. නමුත් ගුරුවරයාගේ අරමුණ වෙන එකකි. එළියේ සමාජයේදී ඇයට සරසවිය යනු සිය ජීවිතයේ උද්දීප්ත අරමුණකි. එය දෙවොලකි. ගුරුවරුන් දෙවියන්ය. නමුත් ඇත්ත අත්දැකීමේදී ඇය විඳින්නේ ඊට හාත්පසින්ම වෙනස් අත්දැකීමකි. දෙවොල තුල වැඩවස්නා දෙවියන්ම දෙවොලේ පහන් සොරකම් කරන්නේයැයි කෙලෙස නම් අදහන්නේද? එය කරන්නේද දේවතා එළියෙනි. 

මෙය අපුර්වතම යෙදුමකි. ආචාර්යවරයා සිසුවියගේ කුමරි බඹසර බිලිගන්නේ සිය සිවිල් බලය පාවිච්චි කරමිනි. එය ඔහුගේ දේවතා එළියයි.

සමාජයේ බොහෝ තැන්වලදී කාන්තාවගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටින හා ලබාගන්නා සිවිල් බලැති පුරුෂයන් පිළිබඳ අප අසන්නට ලැබේ. විශ්වවිද්‍යාලය වැනි බුද්ධිමය සම්පත් ගැවසෙනා ස්ථාන ද එම ඛේදවාචකයෙන් ගැලවී නැත. එකම දේ එහි ඝණීභූත සිවිල් බලය භාවිතා කරමින් ඒ සියලු අවකල් ක්‍රියාවන් රතුපලස් වලින් වසා තැබීම පමණි. විශ්වවිද්‍යාල කතිකාචාර්යවරයෙක්ම සිය පද රචනයෙන් නිරාවරණ කරන්නේ මේ කල්කදුරු සත්‍යයයි.

සංගීත නිර්මාණය සුවිශේෂ අවධානයක් ඇතිවන නිර්මාණයක් නොවූවද, සමන්තගේ තනු හා සංගීත නිර්මාණය ගීතයේ උපයුක්ත අත්දැකීමට අසාධාරණයක් කර නොමැත. එහිදී සංගීතයට අමතරව ඔහු භාවිතා කරණ මිනිස් හඬක විලාපය සරසවි සිසුවියගේ හෘද අභ්‍යන්තරයේ වැලපීම අප වෙත ප්‍රක්ෂේපනය කරයි. ගොරහැඩි බවෙන් තොර සංගීතය නිසා මේ අත්දැකීමේ ඇති සියුම් වේදනාත්මක බව අපට විඳින්නට හැකිවීම පමණක්ම සමන්ත අත්දැකීම අවබෝධයෙන් සප්ත ස්වර බවට පෙරලා ඇතැයි සිතිය හැකිය.

ශානිකා සුමනසේකර නම් වූ නව පරපුරේ ගායිකාව සිය හැගීම්බර කටහඬින් මෙම අත්දැකීම අපූර්ව අරුත් ජනනය වන ලෙසින් ප්‍රතිනිර්මාණය කර ඇත. පසුතැවිල්ලට, වික්ෂෝපයට පත් සරසවි සිසුවියකගේ බාහිර සමාජයට නොපෙන්නනා අභ්‍යයන්තර විලාපය ඇගේ කටහඬ තුළ තැවරී ඇත. 

සමස්තයක් ලෙස ගත් කළ මෙම ගීතය අපට ඉඳහිට අසන්නට ලැබෙන අරුත් බර ගීතයකි.ප්‍රේම විලාපයන් ගහණ ගීත ලෝකයක, සිය ගීතය "හිට්" කරවීමට මාරාන්තික සටන් මෙහෙයවන රචකයින් හා ගායක ගායිකාවන් බහුල යුගයක, ඒ වෙනුවෙන් මාධ්‍යකරුවන් අල්ලස් ලබා ගන්නා යුගයක මෙවැනී ගීත අප සසල කරන්නේ ගීතයකින් සිදුවිය යුතු සමාජ ඥාණනය යම් තරමකින් හෝ ඉටු කරණ කලා නිර්මාණවල දුලබතාව නිසාම බව අවසන් වශයෙන් සටහන් කළයුතුය.

© කපිල එම්. ගමගේ


25 comments:

  1. පේරාදෙනි සරසවියේ ඩිමෝ කෙනෙක්, ආදුනික උප කතිකාචාර්ය, කතිකාචාර්ය සහ ජේශ්ට කතිකාචාර්ය වරයෙක් ලෙස සේවය කර ඇති මා ඔබේ ලිපියෙන් විස්තර කර ඇති භයානක තත්වය සත්යයක් බව පවසන්න කැමතියි...

    ඔයිටත් වඩා පිලිකුල් සහගත දූශන ක්‍රියා අපේ සරසවි තුල සිදු වෙනවා (ආචාර්ය මන්ඩලය පැත්තෙන්)

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම....මේ එක පැත්තක් විතරයි.

      Delete
  2. මං ලංකාවේ විශ්වවිද්‍යාලවලට විවිධාකාරයෙන් සම්බන්ධව වසර නමයක් පමණ සිටියා. නමුත් ඒ කිසිම තැනක දී මෙවැනි කතාවක, එනම් විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන්ට ඒවායේ ඇදුරන්ගෙන් ලිංගික බලපෑම් හෝ අතවර වෙන බවට, සේයාවක් හෝ මගේ කණට නම් වැටී නෑ.

    ඒ කාලේ මේ ආකාරයේ දේ සිදුවුණේ නැති ද?

    ReplyDelete
    Replies
    1. එහෙනම් රසික ඔබ ඇස් පියාගෙන ඉන්න ඇති. නැත්නම් ඔබ සිටි අධ්‍යයන ක්ෂේත්‍රයන්හි එවන් බලපෑම් නොවෙන්න ඇති.
      අපි (ඔබත් ඇතුළුව) ඉගෙනගන්නා කාලේ නලාව එල්ලන් හිටි නීල මාණික්‍යයක් ගැන කතා අහලවත් නැද්ද?

      Delete
    2. එහෙම නම් මහවැලියෙන් අනිත් පැත්තේ?

      Delete
    3. රසික නම් ඉතින් බබානෙ.
      කැළණියෙත් හිටියා නේද? මැත්ස් එකේද.
      කැළනියෙ සයන්ස් ෆැකල්ටියෙ හැම ඩිපාට්මන්ට් එකකම තියෙනවා ඕක.

      Delete
    4. ඕකට මොන ෆැකල්ටි බේද ද? ලිංග බේදය විතරයි.

      Delete
    5. හෙන්රි - අපේ කාලයේ මා දැනගෙන සිටිය යුතු කතාවක් වේ නම් ඊමේල් කරන්න.

      නලාවක් ගැන කියූ නිසයි මහවැලියෙන් එගොඩ කියා කීවේ.

      Delete
    6. ඇනෝ,

      මා 1991 සිට 1995 දක්වා කැලණිය විද්‍යා පීඨයේ ඉන්ඩ්‍රස්ට්‍රියල් මැනේජ්මන්ට් අංශයේ සේවය කළා.

      මේ ආකාරයේ කතා හෝ ඕපාදූප හෝ අසා නෑ. දැන සිටියා නම් මං ඒ ගැන බ්ලොගයේ ලියනවා නේ. මා බබෙකු නොවේ.

      හෙන්රි පවා ලියා ඇත්තේ වෙනකෙකු ගේ "ලූ" කතාවක් පමණයි.

      Delete
    7. මෙතැන 'ලූ' වුණාට ඊට වඩ දේ දන්නවා. නම් වශයෙන් ලියන්න බෑ. පේරාදෙනිය, කැලණිය හා කොළඹ අත්දැකීම් මටත් තියෙනවා. සිසුවකු ලෙස මෙන්ම රැකියාව කරද්දීත්.

      Delete
    8. රසික මාත් එක්ක තරහ වෙනෙන් නැත්නම් මෙහෙම දෙයක් කියන්න. මේක විවේචනයක් නෙමේ හොඳද. රසික දුටු වෙලේ (පාටියේදී) මට හිතුන දෙයක් තමයි රසික වැඩිය තැලිච්ච පොඩි වෙච්ච කෙනෙක් නොවන විත්තිය. එහෙම කෙනෙකුට මේ වගේ දේවල් දන ගණන් තියෙන අවස්ථා අඩුයි. නොකී කතා මා දන්නා පරිදි ටිකක අපි වගේ ගුටි කාල වතුර ලුණු එක්ක බීල , කට්ට කාල හැදිලා ඉන්නේ. අපි වගේ කට්ටියට ඕව අහුවෙනවා වැඩියි. මගේ අක්ක කෙන්කෙඋට මේ වගේ කතාවක් කිව්වොත් සිහියත් නැති වෙයි. රසික ඔයාට ඔප්පු කරනන් නම් දාන්න පුළුවන් වුනත් ඒවා නොකරන්නේ කිසියම් හේතුවක් නිසා කියල ඔබට තේරෙන්න ඕනේ.

      Delete
  3. යුනි අධ්‍යාපනය ගැන වැටහීමක් නැති වුනත්, මේ දේවල් පිලිබඳ එහෙන් මෙහෙන් අසා තිබේ. දොස්තරලාගෙ ලිංගික අල්ලස්, නොහොබිනා හැසිරීම් පිලිබඳ අහන්නත් ලැබෙනවා. ලොකු පුරාජේරු ගහන බටහිර රටවලත් එහෙමයි. ඒ පන්නයේ වැඩ යුනි තුල සිදුවීම මොන තරම් අපරාධයක්ද....
    අපූරු පද රචනාවක්. ගීතය නිදහසේ අහන්න ඕන.
    ////කෙලෙස අදහා ගනිම්දෝ
    දෙවොළ ඇතුලේ පහන් සොරකම්
    කරනබව දෙවියන් - දේවතා එලියෙ
    න්මෙ//////////
    න්න මේ කොටස ඉතාම අපූරුයි.

    ශානිකාගේ "දෝණි" ගීතයටත් මම කැමතියි.

    ReplyDelete
    Replies
    1. දෙවොලේ පහන් සොරකම් කරන්නෙම දෙවියෝම නේන්නං.

      Delete
  4. "විශ්වවිද්‍යාලය වැනි බුද්ධිමය සම්පත් ගැවසෙනා ස්ථාන" හක් හක් හා..... මෙතන තමා මේ ලිපියේ තියන එකම අසත්‍ය ප්‍රකාශය..

    විශ්වවිද්‍යාලය ඇතුලේ බුද්ධිය බොහොම විරලයි කියල කීවොත් සාමාන්‍ය මහජනතාව කියාවි එහෙම වෙන්න විදිහක් නැහැ කියල.. ඒත ඒක තමා සුදු අලියාගේ සත්‍ය ඇතුලාන්තය.. අවුරුදු දොළහක අත්දැකීමෙන් මේ කියන්නේ.. ලෝකයේ පිළිගත් උගතුන් තම තමුන්ගේ පුද්ගලික අරමුණු මුදුන්පත් කරගන්න හැසිරෙන ආකාරය ඉතාම නින්දිතයි.. ලජ්ජාසහගතයි.. සෝචනීයයි...පිළිකුල් සහගතයි...කොටින්ම කියනවානම් කුජීතයි..

    ReplyDelete
    Replies
    1. "විශ්වවිද්‍යාලය වැනි බුද්ධිමය සම්පත් ගැවසෙනා ස්ථාන" කියන අදහස නම් සංකේතාත්මකයි තමයි. ඔබට වගේම මටත් තියෙන අත්දැකීම් වලින් කියන්න පුළුවන් දැං ඉන්න ආචාර්යවරු වගේම විශ්වවිද්‍යාල අධයාපනයත් කුජීතයි. පේන්නැද්ද රෙදි ගලවගෙන සමහර ආචාර්යවරු නටන නෙයියාඩගං. ජනතාවට කොකා පෙන්න පෙන්න.

      Delete
  5. Meya sampoorna eththaki. Meth kale lankawe methiwaranayakadi desapalakayekuta caverssing yanna genu kenek hitiya senaga gode. Langata gihin belinam campus hitiya batchiyak 1991 vithara. Mokada karanne koheda inne ehuwama den ape vishwa vidyalema mahachaarrya wariyak kiuwa. Kawadawath genu kenekuta karadarayak wei kiyala hithanna beri Kurunegala peththe deshapalakayekuta Canverssing yanna kiuwa awe? (Mahacharrya wariyak? Deshapaluwekuta Canversing Yana?) "Ane meya party ekakadi apith ekka hondata hina wela katha kara ekai udau karanna hithuwe"Me ammandi yalu wela hitiya ape senior aiyata boot eka thibba. In passe aranchi una "--logy" Professorge car eke yanawa dekka kiyala biyagama peththedi. Brightiyek nowunath 1st class ekak thibuna. Staff. Den "PROF" deshapaluwanta kade yana. Thawa hondatama danna kathawak. Vidyawata alankarayak ekkala peththe Uni eke. Badulu district eke pradana pasalakata yana kaleth samarisi moolayan sahith nangi malliyek awa 1980--gananwala. Ethakota profek hitiya awasan kelle --siriya wardanaya karaganna. Eya samarisi. Ithin ketiyenma ara nangi mallith ada mahacharrya. Onna api hariyatama danna dewalin alpa maathrayak.

    ReplyDelete
  6. නොකී කතා මේක ලිව්ව එක හොඳයි. මගේ බ්ලොගයේ එක ලිපියක් මෙවැනි දෙයක් ගැන සඳහන් කලා. ප්‍රේමදාස මහතාට පක්ෂව පුවත් පත් වල ලිපි ලියු එක්තරා මහාචාර්ය කෙනෙක් ලන්ඩනයේදී මටත් තවත් යහළුවෙකුටත් තමන් ලංකාවේ සිසුවියන්ට විභාග ලකුණු දෙන විධිහ පැවසුවා. ඉතාම ජුගුප්සාජනක ලෙස. මම නම් විශ්වාස කලෙත් නැහැ. නමුත් වසර කිහිපයකට කලින් එහෙම වුනු ළමයෙකු මගේ යහළු ජනමාධ්‍ය වේදියකුට හමුවෙලා තිබ්බ. ඒ නිසා මු කියපුව ඇත්ත බව අපට වැටහුනා. බටහිර රටවලත් ගුරු ගෝල සම්බන්ධකම් තියනවා. සමහර වෙලාවට කලාතුරකින් ගැහැණු ළමයෙක් කැමැත්තෙන් ලකුණක් දාගන්න යන්න ඉඩ තිබෙනවා. නමුත් බලහත්කාරකමින් දේශපාලන හයියෙන් කරනවා අහල නැහැ. මේකා කොච්චර කට්ටද කියනවා නම් චන්ද්‍රික කාලෙත් බෙල්ල බේරාගෙන මහින්ද ගේ කාලේ තානාපතිකමකුත් ගත්ත. ඒ ගිය රටේ අසරණ වෙච්ඡ ගැහැණු ගැන කියන්න ඕනේ නැහැනේ.

    ReplyDelete
    Replies
    1. දන්නෝ දනිති වුණාට මේව හෙළිදරව් කරනව තියා එහෙම වෙනව කියලත් පිළිගන්න මැලිවෙන එකනෙ වැඩේ. අජිත් තමන් දන්න දෙයක් සඳහන් කළ එක හොඳයි.

      Delete
  7. නොකී කතා, මෙබඳු දේ ඇතැම් සෞන්දර්ය/කලා අධ්‍යනාංශ වල සිදුවන බව එම ස්ථාන වල උගත් මගේ හිතවත් මිතුරියන් පවසා තිබෙනවා.නමුත් හැම තැනම මේ දෙය සිදුවන්නේ නැහැ. මම උගත් මොරටුව විවි ඉංජිනේරු පීඨයේ මෙවැනි තත්වයක් නොමැති බව වගකීමෙන් යුතුව දන්වන්න කැමතියි.ඒ නිසා සමස්ත විශ්ව විද්‍යාල පද්ධතියේම මෙවන් දේ වන බව කීම ඇතැමුන්ට අපහාසයක්. විශේෂයෙන්ම, පළමු පන්ති සාමාර්ථයක්, හොඳම සිසුවාට පිදෙන සම්මානය ලැබූ සහ පසුව එහිම කථිකාචාර්ය තනතුරකටද බැඳුනු ඉතා සමීප මිතුරියක් මට සිටිනවා. ඒවා ලැබුණේ ඇගේ දක්ෂතාවයට මිස ඔවැනි දේ නිසා නොවෙයි.

    ReplyDelete
    Replies
    1. හැමදාම, හැමතැනම හැමවිටම කියා කොතැනකවත් ලියා නැහැ.

      Delete
    2. මොරටුව විශ්ව ව ඉද්යාලය සම්බන්ධයෙන් එවැනි දේ මමත් අසා නැහැ. නමුත් නවක වාදය සම්බන්ධ ප්‍රශ්න නම් දන්නවා . දැන් නෙමේ . අසූ ගණන් වල.

      Delete
  8. අවාසනාවට ඇත්ත කතාවක්.. :(

    ReplyDelete
    Replies
    1. මේව සහතික ඇත්ත මිත්‍ර..

      Delete
  9. ඕවා කොයි ෆැකල්ටිය ඇතුලෙත් අඩු වැඩියෙන් තියෙනවා

    ReplyDelete