Powered By Blogger

Friday 5 May 2017

“නිදහස් අධ්‍යාපනය“ සමඟම “අධ්‍යාපනයේ නිදහස“ සුරකිමු.





දැනට දශක කීපයකට පෙර පාසල් අධ්‍යාපනය ලබද්දී හා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙද්දී මුදල් ගෙවා අධ්‍යාපනය ලැබීම ගැන අප වෙත වූයේ අල්ප දැනීමකි. සාමාන්‍ය පෙළ දක්වා කිසිදු විෂයයක් (ශිෂ්‍යත්ව පංතිද ඇතුළුව) සඳහා අප පෞද්ගලික උපකාර පංති ගියේ නැත. සාමාන්‍ය පෙළ පවා ඉංග්‍රීසි හා විද්‍යාව විෂයයන්ට පමණක් කෙටිකාලීන පුණරීක්ෂණ පංතියකට ගියා මතකය. එසේ නොගියවුන්ද බොහෝය.

එකල සමහරුන් උසස් පෙළ සඳහා ටියුෂන් ගිය නමුදු මා මාස දෙක
 තුනකට වඩා පෞද්ගලික උපකාරක පංති වලට ගොස් නැත. අනතුරුව විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබුණේද වියදමකින් තොරවය.  නොමිලේය. 

 කාලයේ මුදල් ගෙවා ඉගෙන ගෙන උපාධි ලබාගන්නා විවෘත විශ්වවිද්‍යාල හෝ විදෙස් විශ්වවිද්‍යාල වල ශාඛා නොතිබූ අතර උසස් අධ්‍යාපනය සඳහා විදෙස් ගත වූයේද ශිෂ්‍යත්වලාභීන්ය. කොටින්ම මුදලින් "නිදහස්" අධ්‍යාපනයක් පමණක් අපගේ අත්දැකීම විය. 

මේ ඊනියා “නිදහස් අධ්‍යාපනය“ වෙනුවෙන් රටේ මුළුමහත් ජනතාව රජයට බදු ගෙවීමෙන් දායක වන බවක් සිතන්නට අපට පෙළැඹවීමක් ලැබුණේද නැත.

ඒ කාලයේ ආරම්භ කරන්නට උත්සහ කළ පෞද්ගලික වෛද්‍ය විශ්වවිද්‍යාලයට කිසිදු කොන්දේසියකින් තොරව දිවිහිමියෙන් එක හෙළා විරුද්ධ වන්නට අප පෙරමුණ ගත්තේ එවන් තතු යටතේය. වෛද්‍ය ශිෂ්‍යයින් පවා බලහත්කාරයෙන් සටන් පෙරමුණට කැඳවමින් පෞද්ගලික වෛද්‍ය විශ්වවිද්‍යාලයට එරෙහි සටන ජයගන්නට ශිෂ්‍ය ව්‍යාපාරයට සිදු වූයේ ජීවිත පූජාවෙනි.




වර්තමානය වන විට දරුවාට මොන්ටිසෝරි අධ්‍යාපනයේ සිටම ශිෂ්‍යත්වය ඇතුළු පාසලේ සියලුම විෂයයන් සඳහාත්, සාමාන්‍ය පෙළ/උසස් පෙළ විභාග සඳහාත්  මුදල් ගෙවා ටියුෂන් යන්නට සිදු වී ඇති අතර ඊනියා “නිදහස් අධ්‍යාපනය“ නාමයෙන් රජයේ විශ්වවිද්‍යාලයකට ඇතුළු වීමේ වරම් නොලැබූ විට මුදල් ගෙවා උසස් අධ්‍යාපනය ලැබීමට බෙහෙවින් අවස්ථා හිමි වී ඇත.  එනම් “අධ්‍යාපනයේ නිදහස“ යම් තරමකට ළඟා වී ඇත.

ගෙවී ගිය වසර ගණනාවක සිටම මෙරට දරුවනට මුදල් ගෙවා උසස් උධ්‍යාපනය ලබන්නට ඇති අවකාශ බොහෝය. රජයේ විශ්වවිද්‍යාල වල බාහිර උපාධි ටියුෂන්, විවෘත විශ්වවිද්‍යාලයේ විවිධ විෂයයන් යටතේ දුරස්ථ අධ්‍යාපනය, කොතලාවල වෛද්‍ය පීඨයේ වෛද්‍ය අධ්‍යාපනය, ලොව විවිධ රටවලට අනුබද්ධිත මෙරට හා විදෙස්ගතව විශ්වවිද්‍යාල උපාධි ලබාදෙන නියෝජිතායතන,මෙරට පිහිටවූ විදෙස් විශ්වවිද්‍යාල ශාඛා අගනුවර පමණක් නොව ප්‍රාදේශීය නගරද ආක්‍රමණය කොට ඇත. 

එසේම කෙලින්ම විදෙස් විශ්වවිද්‍යාලයකට ඇතුළු වී එරට නේවාසිකව, මුදලට අධ්‍යාපනය ලැබීමේ අවකාශ බොහෝය. එසේම ඉන් ඵල නෙලා ගන්නා දරුවන්ද බොහෝය.

අත මුදල් නැති බොහෝවුන්  ණය තුරුස් වී හෝ ඉඩකඩම් විකුණා හෝ තම දරුවන් වෙනුවෙන් වියදම් කරන බව නිසැකය. ඒ “අධ්‍යාපනයට ඇති නිදහසේ“ නාමයෙනි. 



මේ සියල්ල මෙසේ වසර ගණනාවක් සිදු වෙද්දී, ඒ ප්‍රවාහය ඉදිරියට යද්දී දැන් එක් වරම “සයිටම්“ විරෝධයක් හරහා පෞද්ගලික විශ්වවිද්‍යාල සටනක් දියත් කොට ඇත. 

මෙහි පෙරමුණ ගන්නේ  දොස්තරලා, වෛද්‍ය හා අනෙක් සිසුන් මෙන්ම දේශපාලන පක්ෂ කිහිපයකි.

නමුත් මේ සටන් නියමුවන්ගේ දරුවන්, සහෝදර සහෝදරයින් මෙරට ටියුෂන් අධ්‍යාපනයේ ඵල නෙලා ගත්තවුන්ය. මා ඉහත සඳහන් අනෙක් අධ්‍යාපන අවස්ථා ලදවුන්ය. ඉඩ ලද වහාම මුදල් ගෙවා එවන් අධ්‍යාපනය ලබන්නවුන්ගේ පවුල් වල සාමාජිකයින් “පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට“ පමණක්...... නැවත කියමි “පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට“ පමණක් විරුද්ධ මාරාන්තික සටනක් අරඹා ඇත. මෙය හුදෙක්ම කුහක, කිසිදු තර්කානුකූල පදනමක් නැති, තමන්ගේ බලය පෙන්නා වෛද්‍ය අධ්‍යාපනයේ පමණක් නිදහසට අකුල් හෙළන ඊනියා විරෝධයකි.

මේ විරෝධකරුවන් හෙළිදරව් කොට ජන විරෝධී “සයිටම්“ විරෝධය පරාජය කිරීම සාධාරණ, සමානාත්මක සමාජයක් අපේක්ෂා කරන්නවුන්ගේ යුතුකමකි. වගකීමකි.

සයිටම් එක පමණක් අයිටම් එක කොට නොගෙන මොන්ටිසෝරියේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා සියලු පෞද්ගලික මුදල් අයකොට උගන්වන ආයතන හා පාඨමාලා නිසි නියාමනයකට පත් කරන්නට රජයට බල කරනු හැර එක් පෞද්ගලික විශ්වවිද්‍යාලයක් පමණක් “අහෝසි කරනු“ කියා සටන් කිරීම අමනකමක් පමණය. 

එපමණක් නොවේ... ලංකාවේ ආංඩුවේ වෛද්‍ය පීඨ හා වෙනත් උපාධි පාඨමාලාවන්ද ඒවායේ ආචාර්ය මණ්ඩලයද නිසි නියාමනයකට යටත් කළ යුතුව ඇත.