Powered By Blogger

Monday 17 April 2017

කාගෙ කාගෙත් කිල්ලෝට වල "කුණු"

 'කුණු' තමන්ගේ පර්යේෂණ විෂය පථය අයත් කොට ගත්, ‍ එසේම සිය පශ්චාත් උපාධිය (මාස්ටර්ස්)  කසල කළමණාකරණය හා ලෑන්ඩ් ෆිලින්ග් ගැනත්, ආචාර්ය උපාධියෙනුත් තරමක ප්‍රමාණයක් ඒ ගැන පර්යේෂණ කිරීමෙනුත්  පර්යේෂණ පතිකා කිහිපයක්ම ලියා පලකර ඇති අපගේ මිතුරියක් වන දැනට ඕස්ට්‍රේලියාව පදිංචි මුද්‍රා ජයලත් ෆේස්බුක් හි පළ කළ මේ අදහස් සමග මගේ අදහස් කිහිපයක්ද මෙවර නොකී කතාවට ඇතුළත් වෙනවා.



"අවාසනාවකට වගේ අපේ රටට හා අපේ මිනිසුන්ට කුණු යනු කුණුමය. 


ඒවා ගැන කතා කරන අයත් කුණුගොඩවල්ය. නිල මැස්සෝය. 

හැකි ඉක්මනින් ඒවා කොහේට හරි තල්ලු කර දමනු හැර ඒ ගැන ඉන් එහාට හිතන්නටවත් උවමනාවක් නැත. මේ සා විසාල කුණු කඳු නිපදවන්නේ තමුන්ම බව කිසි කෙනෙකුට නිච්චියක් නැත. 
කසල කළමනාකරණය ගැන වගේ වගක් නැත.

 
කසල කළමනාකරණයේ ප්‍රාථමිකම අවදියේවත් එනම් recycle කිරීමේදීවත් අප ලෝක මට්ටමට තබා අවම තත්ත්වයටවත් ළඟා වී නැත. 


අප තවම ඉන්නෙ එහි ප්‍රාග් ඓතිහාසික යුගයේ, එනම් dumping අවධියේය. 

නමුත් ලෝකය අප පසුකොට බොහෝ දුර ගොස්ය.  

කසල කළමනාකරණයේ ප්‍රාථමිකම අවස්තාව වන recycling පවා දැන් සැලකෙන්නේ least preferred විදිහටය. 
 
recycle ----> reuse ----> reduce -----> rethink දක්වා ලෝකය ගමන් කරමින් සිටී. අප තවමත් dumping යුගයේය. එහිත් අවිධිමත්ම ලෙසය.

 
කසල කළමනාකරණය හැදෑරිය යුතු විද්‍යාවක්ය. තාක්ෂණයක්ය. කලාවක්ය. සාමූහික වැඩ පිළිවෙලක්ය. ජනසමාජයක මූලිකම අවශ්‍යතාවයකි. විශාල ආයෝජනයක් අවැසි කර්මාන්තයකි. 
 
Land filling යනු අතිශය සංකීර්ණ ක්‍රියාදාමයකි. land filling සඳහා සුදුසු බිම් තෝරා ගැනීම, ඒවායින් පරිසරයට (විශේෂයෙන් භූගත ජලයට) වන හානි අවම කිරීම, landfill liner එක ඩිසයින් කිරීම, landfill එක තුල ඇතිවන වායූන් හා leachate කලමනාකරණය, landfill එක මැනේජ් කිරීම, ආදී සියලු දේ ඉතා කල්පනාකාරිව, ඉංජිනේරු හා පරිසර විද්‍යානුකූලව කලයුතු දෑය.

 
මේවා ගැන දැනුම ඇති විද්‍යාඥයන්, ඉංජිනේරුවන්, පරිසරවේදීන්, නගරනිර්මාණ ශිල්පීන් ඕනෑතරම් ලංකාවේ ඉන්න බව රහසක් නෙවේ. එසේනමුත්, සියල්ලම දේශපාලනීකරණය වී, කුණුවී ඇති රටක, කුණු ගැන කුමණ කතාවක්ද?

 
ඒවා නිසිලෙස කළමනාකරණය නොකළ වැරැද්දට අපි හැමෝම තනි තනිව මෙන්ම සාමූහිකව වගකිව යුතුය.

 
ඉංජිනේරු වරුනි, පරිසර විද්‍යාඥවරුනි, මේ ඔබගේ වාරයයි! 


කසල කළමනාකරණය ගැන ප්‍රායෝගික හා ඉක්මන් වැඩපිලිවෙලක අවශ්‍යතාවය රජයට මෙන්ම මහජනයාට තදින් දැනෙන සේ බලකිරීමට කාලය ඕනෑවටත් වඩා දැන් එළඹ ඇත. 

කරුණාකර එය, හිතහොඳ මිනිස්සු ටිකක් එකතුවී කරන පිටිකිරි, තේකොල, සනීපාරක්ෂක තුවා එකතු කිරීමකින් පමණක් වැසීයන්නට ඉඩ දෙන්න එපා."

මේ සමුද්‍රාගේ ආයාචනයයි.

 එය වෘත්තීයවේදිනියකගේ අවංක ආයාචනයකි.

මේ ආයාචනය පාදක කොටගෙන, ඇයගේ ඉල්ලීමට ගරු කරමින් මගේ දැක්ම ලියා තබමි.

විවිධ මත පළ කරන්නවුන්ගේ අදහස් කීපයක් මුලින්ම:

"කසල  කළමනාකරණයේ  පිරමීඩයක් තියෙනවා. 
1.reduce 
2. Reuse 
3. Recycled 
4. Waste to enegy 
5. Dispose 


ඔය විදිහට තමා ප්‍රමුඛතා ලයිස්තුව හැදෙන්නේ . ලෝකයේ තත්‍ත්වය ගත්තම පළවෙනි දෙවනි පියවර වලින් කුණු ප්‍රශ්නය 75% ට වඩා විසඳ ගන්නවා. ඒත් ලංකාව ඒ තත්‍ත්වය ට එනව තියා එන්න හිතලවත් නෑ. මේ තාම තෝරන්නේ අවසාන මට්ටමේ අඩුම ප්‍රමුඛත්වයක් දිය යුතු පියවර. අනාගතේට  නෙවෙයි ඒක දැනටම ලොකුම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ.."
(උපුටා ගැනීමකි.)

"ඉතිහාසය පුරා කොළඹ නගර සභාව පුරුදුව සිටියේ එකතු කරගන්නා කුණු කොහේ හෝ තෝරාගත් පිටියක ගොඩගසන්නටය. එක තැනක ඉඩ මදිවූ විට කුණු පිටිය ලෙස වෙනත් තැනක් තෝරාගැනුණි. අද අපට බ්ලූමැන්ඩල් හා සේදවත්තේ දකින්නට ලැබෙන්නේ කලකට පෙර නගර සභාව ගොඩ ගැසූ කුණු කන්දවල්ය. දැනට වසර ගනනාවක සිට ප්‍රධාන වශයෙන්ම කුණු ගෙන යනු ලබන්නේ මීතොටමුල්ලටය. මේ වන විට මීතොටමුල්ලේ ගොඩ ගැසී ඇති කුණු ප්‍රමාණය ටොන් මිලියන ගනනක් වන අතර කුණුකන්ද පසුගිය දිනවල මීටර් 200කටත් වඩා ඉහලට ගොඩ ගැසී තිබුණි. අලුත් අවුරුදුදා අහිංසක මිනිසුන් පිරිසකගේ හිස මතට කඩාවැටුණේ එසේ ගොඩ ගැසී ඇති කුණු වලින් කොටසකි. මෙවන් හදිසි අනතුරක් සිදු නොවූනත් කුණු කන්දෙන් නිකුත්වන අපිරිසුදු වායු හා පොලව යට ජලය අපිරිසිදු වීම නිසා පළාතේ ජනතාවගෙන් 90% කටවත් විවිධ ලෙඩ රෝග සෑදෙන බව රාජ්‍ය නොවන සංවිධාන මගින් කළ පරීක්ෂණ වලින් දැනටමත් සොයාගෙන ඇත."
(උපුටා ගැනීමකි.)

"කොළඹ හා තදාසන්න නගරවල කුණු බැහැර කිරීමේ ප්‍රශ්ණයට පිලිතුරක් සෙවීමට ලෝක බැංකුව නාගරික සංවර්ධන අමාත්‍යාංශය සමඟ එක්වී අධ්‍යයනයක නිරත විය. ලෝකයේ අනෙක් රටවල මේ ප්‍රශ්ණයට සොයාගෙන ඇති විවිධ විසඳුම් මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

එම අධ්‍යයනයේ ප්‍රථිපලය වූයේ සමාන්‍යයෙන් යෝජනා කරණු ලබන කුණු දහනය කිරීම, කුණු වලින් පොහොර හෝ විදුලිය නිපදවීම වැනි කිසිදු ක්‍රමයකින් මෙම ගැටලුවට නිසි පිලිතුරක් නොලැබෙන බවයි. අවසාන විසඳුම ලෙස යෝජනා වූයේ ආසියාවේ බොහෝ දියුණු රටවල් විසින් භාවිත කරනු ලබන කුණු සනීපාරක්ෂක ප්‍රමිතීන්ට යටත්ව බැහැර කිරීමේ ක්‍රමවේදයයි. මෙහිදී සිදුවන්නේ යමි පිටියක කුණු විවෘතව ගොඩගසනවා වෙනුවට ඒ වෙනුවෙන්ම සැකසූ ස්ථානයක විද්‍යාත්මක ක්‍රමයකට අසුරාලීමයි. මේ තුළින් විෂවායු හා අපිරිසුදු ජලය පරිසරයට එක්වීම වළක්වා ගත හැකිය. දකුණු කොරියාව මෙම ක්‍රමය ඉතා සාර්ථකව ක්‍රියාත්මක කරන රටකි.

මීලඟ අභියෝහය වූයේ සනීපාරක්ෂක ප්‍රමිතීන්ට යටත්ව කුණු බැහැර කිරීම සඳහා සුදුසු ස්ථානයක් තෝරා ගැනීමයි. ඒ අනුව පුත්තලමේ කුරුක්කාල් ප්‍රදේශයේ කලකට පෙර සිමෙන්ති නිශ්පාදනයට ලයිම් ගල් ගැනීම සඳහා හාරා තිබුන විශාල වලවල් සහිත හෙක්ටයාර් 30ක පමණ විශාල භූමි භාගයක් මේ කටයුත්තට සුදුසු බව නිර්දේශ විය. මෙම ව්‍යාපෘතියෙන් පරිසරයට වන බලපෑම පිළිබඳ කළ ශක්‍යතා අධ්‍යයනයකින් පසු මේ පිළිබඳ යෝජනාවක් රජයට ඉදිරිපත් කරණ ලදී.

එම යෝජනාවේ අන්තර්ගතය සරලව මෙසේය.

සනීපාරක්ෂක ක්‍රමවේදයකට අනුව කුණු බැහැර කිරීම සඳහා පුත්තල කුරුක්කාල් ප්‍රදේශයේ හඳුනාගෙන ඇති හෙක්ටයාර් 30ක භූමිය දැනට කොළබ විවිධ තැන්වල ගොඩගැසී ඇති ටොන් මිලියන ගනණාවක්වූ කුණු සියල්ලත් අනාගතයේ වසර පනහක පමන කාලයක් පුරා එකතුවන කුණු බැහැර කිරීමටත් ප්‍රමාණවත්ය. මේ ස්ථානය පිහිටා ඇත්තේ කොළඹින් කිලෝමීටර 170ක් පමණ දුරින් නිසා කුණු ප්‍රවාහණය කරනු ලබන්නේ දුම්රියෙනි. මේ සඳහා විශේෂයෙන්ම ගෙන්වූ අඩි 20 කන්ටේනර් වල අසුරන ලද කුණු මීතොටමුල්ලේ සිට කුරුක්කාල් දක්වා දුම්රියෙන් ප්‍රවාහනය කරනු ලබන අතර මීතොටමුල්ල භාවිත කරනු ලබන්නේ මෙම ක්‍රියාවලියේදී දිනක හෝ දෙකක කුණු පමණක් එකතුවන අතරමැදි ස්ථානයක් ලෙස පමණි. මීතොටමුල්ලේ දැනට ගොඩ ගැසී ඇති ටොන් මිලියන ගනණාවක කුණු වලින් නිදහස් වීමට මේ අනුව ප්‍රදේශවාසීනට හැකි වෙයි."
(උපුටා ගැනීමකි.)


මා මෙම උපුටා දැක්වීම් කරන්නේ තවමත් විවිධ මතවාද ගැටෙනු විනා වෘත්තිමය ආකාරයට ප්‍රශ්නයට පිළිතුරු සොයනවාදැයි සැකයෙනි.

තවමත් අවසන් විසඳුම සේ දකින්නේ කොහේ හෝ තැනක කසල කඳු ගොඩගැසීමය. 

බ්ලූමැන්ඩල් ගිනි ගන්නා විට මීතොටමුල්ලටත්, මීතොටමුල්ල කඩා වැටෙන විට තවත් තැනකටත් කුණු ඇදීමෙන් තොර විසඳුමක් නැතිද...

වෘත්තීයවේදීන්ගේ දැනුම හා පළපුරුද්ද අවශ්‍ය වන්නේ මෙතැනදීය. කුණු ප්‍රවාහනයෙන් ලැබෙන ධන ඉල්ලමට පිටුපානා දේශපාලුවන් අපට, රටට ලැබෙන්නේ කවදාද...

ඝන අපද්‍රව්‍ය කළමනාකරණය අද වෙනම විෂයයකි. එය ලෝක මට්ටමින් බොහෝ දැනුම් සම්භාරයකට උරුමකම් කියයි. සමුද්‍රා ඉතා නිවැරදිව කියන පරිදි කසල කළමනාකරණයේ ප්‍රාථමිකම අවදියේවත් එනම් recycle කිරීමේදීවත් අප ලෝක මට්ටමට තබා අවම තත්ත්වයටවත් ළඟා වී නැත. 

ප්‍රතිචක්‍රීයකරණය පවා යල් පැන ගිය ලෝකයේ තවමත් අප සිටින්නේ dumping මත වහල් වෙමිනි.

Dump කළ යුත්තේ කුණුද, හරිහැටියට කුණු ප්‍රශ්නය කළමනාකරණය කර ගත නොහී ගොං අමන  තීරණ ගන්නවුන්ද  යන්න අනාගතයේ ජනතාව තීරණය කළ යුතුය.



Sunday 2 April 2017

ලයිෆ් එකට එරෙහිවූ Life


යිෆ් ටී.වී. චැනලය ආරම්භ කිරීමට බොහෝ දේ කැප කොට දල්වා ගත් බලාපොරොත්තු සුන් වී යාම පැත්තකින් තැබුවත් රැකියාවකට බඳවා ගත් පිරිසක් පිළිබඳ වගකීම් විරහිතව කටයුතු කිරීමට නොහැකි හෙයින් අර්ථපතියන් කට්ටි පනින්නට උත්සහ කරන හෙයින් මේ අවනඩුව මාධ්‍ය ඉදිරියේ නිරාවරණය කරන්නට තීරණය කළා.

ඒ වෙනුවෙන් වූ ප්‍රථම පියවර ලෙස මා හා සාකච්ඡාවක් කළ ප්‍රියන්ත ලියනගේටත්, "සත්හඬ" පුවත්පතේ 'සිහිනය' අතිරේකයේ සංස්කාරක විමල් කැටිපෙආරච්චිටත් ස්තූතියි.

පුවත්පතක ඇති සීමිත ඉඩකඩ හේතුවෙන් සංක්ෂිප්තව පළ කළ සාකච්ඡාවේ අසංක්ෂිප්ත මුල් පිටපත මේ සමඟ සමාජගත කරන්නේ සිද්ධිය වඩාත් නිරවුල්ව පැහැදිලි කිරීම සඳහායි.
  



1.     * හෙන්රිගේලයිෆ්’ එකේ  පළහිලව්වමොකක්ද?

මූලිකව සෞඛ්‍යයට අදාළ දැනුම බෙදා දෙන ලෙඩ රෝග සම්බන්ධ වෛද්‍ය උපදෙස්  ලබා දෙන වෙබ් හා සැටලයිට් රූපවාහිනී චැනල් එකක් ආරම්භ කරන්න වෛද්‍යවරුන් කිහිප දෙ‍නෙක් එක්ක වෙනත් වෘත්තිකයන් සූදානමින් ඉන්න බව විදේශයේ සිට කෙටි නිවාඩුවකට ලංකාවට ආව වෙලාවක මගෙ මිත්‍රයෙක් කිව්ව. 

ඒ දැනට අවුරුද්දකටත් එහා කාලෙකදි. සීමිත පිරිසකගෙන් යුතු නිෂ්පාදන කණ්ඩායමක් යම් යම් වැඩසටහන් හදන්න උත්සහ කරන බවත්, ඊට නායකත්වය දෙන්න කෙනෙකු සොයන බවත් මගේ හැකියාවන් දන්න කෙනෙක් විදිහට මේ සඳහා මගේ නම යෝජනා කළ බවත් වැඩි දුරටත් ඔහු පවසා සිටිය.

එහෙම කිව්වම මට මා තුළ වන සහජ උවමනාව එළියට පැන්න. ඒ ශ්‍රව්‍ය-දෘශ්‍ය කලාමාධ්‍යයන් එක්ක වසර ගණනාවක් නිර්මාණශිල්පියෙක් වගේම පරිපාලකයෙක් විදිහට ලද අත්දැකීම්  එක්කයි. 

වෘත්තිකයන් කිහිප දෙනෙකු ආයෝජනය කරනව නං ව්‍යාපාරිකයෙකු එක්ක කටයුතු කරනවාට වඩා පහසුවක් වෙයි කියල මම හිතුව. ‍ කොහොමත් පසුගිය වසරෙ මැද භාගයේ මම විදෙස් රැකියා කොන්ත්‍රාත්තුව අහවර වෙලා ලංකාවට එන්න සූදානමින් සිටීම මේ යෝජනාව සළකා බලන්නට මාව පෙළඹුවා. මේ සඳහා වෛද්‍ය ප්‍රියන්ත බංඩාර මූලික වෙන නිසා දිගින් දිගටම ඔහු සමඟ ඊ මේල් මගින් හා දුරකතනයෙන් සම්බන්ධ වුණා.

මා මේ සඳහා ව්‍යාපෘති වාර්තාවක් සකස් කරන්න පොරොන්දු වී විදෙස්ගත වුණා. කෙසේ හෝ ගිය අවුරුද්දේ මාර්තු වන විට මගේ ව්‍යාපෘති වාර්තාව ගැන ඔවුන් ඉතා සතුටට පත්වෙන බව දැන්වූවා. එහි යෝජනා වූ මුදල් ආයෝජනය කරන්නට වැඩපිළිවෙළක් ඇති බවත් හැකි නම් අප්‍රේල් මාසයේ වැඩ පටන් ගන්නට සූදානම් බවත් ඔවුන් පැවසුවා. 

ඒත් මා විදේශයේ සිට මේ වගකීම දරන්නට සූදානම් වුණේ නැහැ.
ජූනි මාසයේ අග ලංකාවට පැමිණි මා කිසිදු වැටුපක් නොලබා මේ වෙනුවෙන් වෙහෙසුණේ සියල්ල සකස් කොට වැඩට බහින්නටයි. ඒ වන විට පෙර කී නිෂ්පාදන කණ්ඩායම හිටියේ නැහැ. මට අවශ්‍ය පිරිස සොයාගන්නැයි වෛද්‍ය ප්‍රියන්ත බංඩාර ඉල්ලා සිටියා. ඒ අනුව කොට්ටාව ප්‍රදේශයේ බද්දට ගත් නිවසක් කාර්යාලය ලෙස පවත්වා ගෙන යන්නට අපට ලබා දුන්නා.

සවර්ණවාහිනීයේ සේවය කරන කාලයේ පටන් මගේ හිතවතෙකු වූ, පසු කාලීනව වාර්තා හා අධ්‍යාපනික වීඩියෝ වැඩසටහන් නිර්මාණයේදී මට විවධාකාරයෙන් සහය වූ ජ්‍යෙෂ්ඨ රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදක ජයන්ත අමරසිංහත්, රූපවාහිනී වැඩටහන් වලට දායක වන්නට කැමැත්තක් නැති සිනමාව සමඟ කටයුතු කරන මගේ පුතා කලාත් වර්ණකුලසූරියත් පමණයි මගේ සහයට හිටියේ.

අනතුරුව සැප්තැම්බර් මාසයේ සිට මා වැටුප් ලබන රැකියාවකට පැමිණියා. ලයිෆ් ටී.වී. ප්‍රධාන විධායක නිලධාරී හා වැඩසටහන් අධ්‍යක්ෂ කියන තනතුරු දෙකටම. එහෙම කළේ තව කෙනෙකුට ගෙවන්න දැනට අමාරුයි. ආයතනය දියුණු වෙද්දි තව කෙනෙක් ගනිමු කියන එකඟතාව මත.

ඉතා කෙටි කලක් තුළ රූපවාහිනී පටිගත කිරීමේ මැදිරියක් අප නිර්මාණය කළා. ඒ සඳහා තාරක බැද්දගේ, උදේනි සුබෝධි වැනි ක්ෂේත්‍රයේ හසල දැනුම් ඇත්තවුන් මෙන්ම වෙනත් රූපවාහිනී නාලිකාවල වැඩ කරන මෙහි නම් සඳහන් කළ නොහැකි ප්‍රවීණ කැමරාශිල්පීන්ගේ ස්වෙච්ඡා සහයද ලැබුණේ පෞද්ගලිකව මට කරන උදව්වක් හැටියටයි. 

ඒ කිසිවක් අප මිල කළේ නැහැ. හැමෝම එක් වූයේ හොඳ වැඩක් කරමු යන අවංක චේතනා පෙරදැරිවයි. මා මේ තොරතුරු සඳහන් කළේ මොනතරම් කැපවීමකින් ලයිෆ් ටී.වී. ආරම්භ කරන්නට මා උර දුන්නාද කියා පැහැදිලි කරන්නටයි.

මගේ යෝජනාව වුණේ සෞඛ්‍යයට අදාළ වෛද්‍ය වැඩසටහන් පමණක් නොව මනසට සුව දෙන මෙන්ම දැනුම හා රසාස්වාදය වඩවන වෙනත් වැඩසටහන්ද අවශ්‍ය බවයි. එයට එකඟතාව පළ වූ නිසා මගේ පෞද්ගලික හිතවත්කම් මත මෙරට සිටින නිර්මාණශීලී වැඩසටහන් මෙහෙයවන්නන් සම්බන්ධ කොට ගන්නට මට හැකි වුණා. 

බුද්ධදාස විතානාච්චි, මොහාන් රාජ් මඬවල, අජිත් ගලප්පත්ති, කපිල එම්. ගමගේ, නදී වාසලමුදලිආරච්චි, මේධා ජයරත්න, ප්‍රසන්නජිත් අබේසූරිය, රුක්මාල් නිරෝෂ් වැන්නවුන් දෙවරක් නොසිතා ඊට එකඟ වුණේ එහැමපිටින්ම මා පිළිබඳ විශ්වාසයෙන්. එසේම බාහිර වැඩසටහන් නිෂ්පාදකවරුන් ලෙස ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇත්තවුන්ද මා ලයිෆ් ටී.වී. වෙත සම්බන්ධ කොට ගත්තා. 

වෛද්‍යවරුන් සම්බන්ධ කොට දීම අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටින වෛද්‍යවරුන් වන කොළඹ ජාතික රෝහලේ දොස්තර ප්‍රියන්ත බංඩාර, දොස්තර ජයරුවන් බංඩාර මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අධ්‍යක්ෂ දොස්තර ලාල් පනාපිටියත් බාරගත්තා.

දොස්තර ප්‍රියන්ත බංඩාර තමන් ජනාධිපති මාධ්‍ය ඒකකය සමඟ සමීපව කටයුතුකරන බවට පම්පෝරි ගැසූ නිසාත්, දොස්තර ලාල් පනාපිටිය අමාත්‍යාංශයේ ඉහළ තනතුරක් දැරූ නිසාත්, බොහෝ විට අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් පැවැත්වූයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අධ්‍යක්ෂ කාර්යාලයේදී නිසාත් මා ඔවුන්ව දැඩි සේ විශ්වාස කළා.

මා කැමරාශිල්පීන්, සංස්කරණ ශිල්පීන්, අංගරචනා ශිල්පීන් හා නිෂ්පාදකවරුන් බඳවා ගත්තා. වැඩි දෙනෙක් තමන් කරමින් සිටි රැකියා වලින් ඉවත්ව ලයිෆ් ටී.වී. සමඟ සම්බන්ධ වුණා.  මේ අනුව මා අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කළ වැඩසටහන් මැදිරියේ මෙන්ම බාහිරව නිෂ්පාදනය කිරීමට උත්සුක වූයේ දෙසැම්බර් මාසයේ මුල් භාගයේදී ඩයලොග් හා පියෝ ටී.වී. හි මෙන්ම වෙබ් චැනල් එකක් මගින්ද විකාශ කටයුතු ආරම්භ කිරීමේ අපේක්ෂාවෙන්.

එහෙත් හදිසියේ ඔවුන් දැන්වූයේ දෙසැම්බර් මාසය අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගැනීමට නුසුදුසු මාසයක් බවට මතයක් ඇති බැවින් තවත් වැඩසටහන් නිෂ්පාදනය කොට ජනවාරි මාසයේම ආරම්භ කරමු කියායි.

මා මිත්‍යා විශ්වාස මත පදනම්ව කටයුතු නොකරන නිසා වෛද්‍යවරුන් වැනි විද්‍යාත්මක ඥානයෙන් තටයුතු කළ යුතු පිරිසක් එවායේ එල්බ ගෙන සිටීම ගැන විමතියට පත් වුවත් ඊට විරුද්ධ වූයේ නැහැ.

දෙසැම්බර් මැද වන විට මට කිසියම් අර්බුදයක් දැනෙන්නට පට න් ගත්තා. ගිවිසගත් පරිදි කලින් අනුමත කළ මුදල් ගෙවීම් පවා නිසි වේලාවට ආයතනයට ලැබුණේ නැහැ. මැදිරි වැඩසටහන් ඉදිරිපත් කරන්නන්ට මෙන්ම බාහිර නිෂ්පාදන කටයුතු සඳහාත් ගෙවීම් සීමා වෙන්න ගත්තා. සමහර අවස්ථාවල මා අතින් ගෙවා පසුව පියවා ගන්නටත් සිදු වුණා. මේ තත්ත්වය ගැන මා දැඩි විරෝධය පළ කළේ කිසිවෙකුටත් ණය ගැති වීමට මා කිසිසේත්ම සූදානම් නොවූ නිසයි.

දෙසැම්බර් මාසය අවසන් වන විට සමහර වැඩසටහන් ඉදිරිපත් කරන්නන්ට මා අතින් ගෙවූ මුදල් යළි ලැබෙන එක නැවතුණා. ඒ අනුව මුදල් ලැබෙන තුරු වැඩසටහන් නිෂ්පාදනය නවතා දමන්නට මා තීරණය කළා. ඒ අනුව ජනවාරි මාසයේ විකාශය ආරම්භ කළ නොහැකි බවත්, දෙන්නං කාසි ක්‍රමය නවතා මුදල් ආයෝජනය කරන තුරු ඉදිරියට යා නොහැකි බවත් මා ඔවුන්ට අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් වලදී කියා හිටියා.

ඉක්මනින් මුදල් ලබා දෙන බවත්, එතෙක් වැඩසටහන් සැලසුම් කරන ලෙසත් ඒ හැම විටම දොස්තර ප්‍රියන්ත බංඩාරත්, දොස්තර ලාල් පනාපිටියත් සපථ කළා. ආයතනයට මා සම්බන්ධ වීමේදී යෝජිත මුදල් දැන් නැත්තේ ඇයිදැයි විමසද්දී මට වැටහී ගියේ ඔවුන්ගේ, විශේෂයෙන් දොස්තර ප්‍රියන්ත බංඩාරගේ වැරැදි මුදල් කළමනාකරණය නිසා ඒ මුදල් මිට පෙර ගත් ණයක් පියවීමට යොදා ගත් බවයි.

ඒ සමඟම දෙසැම්බර් වැටුප ලැබුණේ නැහැ. සේවක මණ්ඩලය ඉදිරියේත්, බාහිර සේවා සඳහා ගෙවීම් ලබා ගන්නට පැමිණි සේවාදායකයන් ඉදිරියේත් මා දැඩි අපහසුතාවකට පත් වුණා. අඩුම තරමින් විදුලි හා දුරකතන බිල් ගෙවන්නටත් මුදල් ලැබුණේ නැහැ. ‍

එතකොට ඔබ කියන්නෙ අද වෙද්දි ලයිෆ් තියෙන්නෙ මාරයො අතේ කියලද?

වෛද්‍යවරු කියන්නෙ කිසියම් සමාජ වගකීමක් තිබිය යුතු වෘත්තිකයන් ලෙසයි මා කටයුතු කරන්නෙ. ඔවුන් ජරාජීර්ණ දේශපාලකයන් හෝ තුට්ටු දෙකේ මුදලාලිල විදිහට ක්‍රියාකළ යුතු නැහැ. 

රත්තරං බඩු උගස් ගන්නා ව්‍යාපාර කරන බිස්නස් කාරයන් වුණත් මේ

තරම් පහත් තත්ත්වෙට වැටෙන්නෙ නෑ කියල මං අත්දැකීමෙන් දන්නව.

ඔව්...ලයිෆ් ටී.වී. එක තියෙන්නෙ මාරයො අතේ කිව්වොත් මා විරුද්ධ වෙන්නෙ නෑ. එක අතකට ගත්තොත් රෝගීන්ගෙ ලයිෆ් තියෙන්නෙත් මාරයො අතේ වෙන අවස්ථාවන් අපි අත්විඳිනවනෙ. මම මෙහෙම කියන්නෙ කිසිම ද්වේශයකින් නොවෙයි. 

තමන් කරමින් සිටි රැකියා දාල ලයිෆ් ටී.වී. එකේ රස්සාවට ආව තරුණ පිරිස මාසෙ පඩි නැතිව, බෝඩිං වලට ගෙවාගන්න බැරිව, කොටින්ම බත් පැකට් එකක් ගන්න පිච්චියක් නැතිව දෙතුන් දෙනා එක බත් පත බදාගෙන කනව දකිද්දි මං ඒ ගැන කියල බලපෑම් කළා. 

මාගේ වැටුප පමා කළත් අඩුම ගානෙ ස්ටාෆ් එකේ පඩිනඩි ගෙවන්න කියල. දොස්තර බංඩාරගෙ ක්ෂණික දුරකථන ප්‍රතිචාරය වුණේ “ඔය කාලකණ්නින්ට ඔය තරං පඩි හදිස්සිද” කියල. මට දැනුණෙ විශාල කලකිරිමක්. මං ඇහුව “ඒ විදිහට කතා කරන්න එපා. ඒ ළමයි අසරණයි. ඔය ගොල්ලන්ට ආංඩුවෙ පඩි එක දවසක් පහු වුණොත් අනික් දවසෙ ස්ට්‍රයික් කරන්නෙ නැද්ද කියල”. මම කොහොමත් වෙනත් හේතුවක් නිසා මගේ දුරකතනයට එන හා යන ඇමතුම් පටිගතවෙන්න ඇරල නිසා ඒ හඬපටි මා ළඟ තියෙනව.

ඊට පස්සෙ දෙසැම්බර් වැටුප දෙනව කියල ජනවාරි අග ආයතනයට ආව දොස්තර බංඩාර සල්ලි මෙච්චරයි තියෙන්නෙ කියල කොටසක් දුන්න. ඒකෙන් අනෙක් අයගෙ වැටුප් යම්තම් ගෙව්ව. එදා එන්න බැරි වුණ කෙනෙකුට හැරෙන්න. මටත් වැටුපෙන් බාගෙකට වඩා අඩුවෙන් ලැබුණ. සල්ලි ප්‍රශ්නයක් තියෙනව සතියෙන් දෙකෙන් ඒ ප්‍රශ්න විසඳගෙන නැවත විවෘත කරන කල් වැඩට එන්න එපා කියල ආයතනයෙ යතුරු අරං ගියා.

ඊට පස්සෙ මං දිගින් දිගටම ඇමතුම් ගත්ත. දොස්තරල දෙන්නම ටිකක් ඉවසන්න අපි ඉක්මනට පටන් ගන්නව කිව්ව. මටවත් ස්ටාෆ් එකේ අනෙක් අයටවත් වෙන තැනකට යන්න විදිහක් නෑ. දවසින් දවස පොරොන්දු දෙනව විතරයි. ජනවාරි වැටුප ගෙව්වෙත් නෑ. මගෙ අතිං වැඩසටහන් ඉදිරිපත් කළ අයට  ගෙවූ මුදල් පියවූයෙත් නෑ. බාහිර නිෂ්පාදකයන් ලක්ෂ ගණන් වියදම් කරල බලන් ඉන්නව. ඒ අයටවත් දුරකතනයෙන් උත්තර දෙන්නෙවත් නෑ. ඒ අය සමඟ කොන්ත්‍රාත්තු අත්සන් කළේ ආයතන ප්‍රධානිය විදිහට මමයි.

මම ගොඩක් ඊ මේල් වලින් ගනුදෙනු කළා. නීතිමය අවශ්‍යතා ඉදිරියේ සාක්ෂි අවශ්‍ය නිසා. ඒ හැමවිටම දොස්තර පනාපිටිය කියන්නෙ දවස් කීපයක් ඉන්න. නැවත පටන් ගන්නව කියලයි. 

ඒත් ඔය අතරෙදි මට ආරංචි වුණා මා කැමැත්තෙන් ඉවත් වෙලා කියමින් දොස්තර බංඩාර  වෙන අයට වැඩසටහන් කරන්න කතා කරන බව. මේක පුංචි ක්ෂේත්‍රයක් නිසා යටින් ගේම් ගහන්න අමාරුයි. ඔය අතරෙ අපේම දන්න අඳුනන අය හොරෙන් වැඩසටහන් කරන්න කැමති වෙලා තිබුණ. මං කෙලින්ම ඇහුව මාව අනවශ්‍ය නම් කියන්න. මම බලෙන් ඉඳලත් නෑ. ඉන්නෙත් නෑ. ඒත් හිඟ වැටුප් ගෙවන්න. මට විතරක් නොවේ අනෙක් අයටත්. මං ඇප වෙච්චි බාහිර නිෂ්පාදකයින්ගෙ ගෙවීම් කරන්න කියල. එහෙම එකක් නෑ කියමින් යටින් ගේම් දෙන දොස්තරලට විරුද්ධව ගත හැකි ක්‍රියාමාර්ග ගන්න මා තීරණය කළා. මා වෙනුවෙන් පමණක් නොවෙයි රැකියාව අහිමිව, වැටුප් නොලබා අසරණ වී සිටින අනෙක් අය වෙනුවෙනුත්.

මේ අතර මට දැනගන්න ලැබෙනව දොස්තර බංඩාර සේවකයන්ට පොලු තියල කප් ගහල තියෙන්නෙ කියල. මීට පෙර දෙවතාවක්ම ටී.වී. චැනල් එකක් පටන් ගන්න කියල වැඩ අරං මාධ්‍යකරුවන් කණ්ඩායම් දෙකක් වැටුප් නොගෙවා දොට්ට දමා ඇති බවත් මට කතා කළ ඒ අයම කිව්ව.

එක්කෙනෙක් පරිසරය පිළිබඳ වීඩියෝ වැඩසටහන් කරන ලසන්ත වරුසවිතාන ඇතුළු කණ්ඩායම.  අනෙක් අය තමයි තමන්ගෙ මඟුල් මුද්ද පවා උගස් තබා ලයිෆ් ටී.වී. එකේ මට කලිං වැඩකරල තියෙන මෙවන් ශ්‍රී චතුරංග ඇතුළු කණ්ඩායම. එතන ඉන්නව මාස හතර පහ වැඩ කරල වැටුප් නොලබපු ළමයි.

ඉතිං මෙහෙම දොස්තරලට මාරයො කිව්වට වරදක් නෑ.


* මේ වෙද්දි ඔබ ලයිෆ් එක දිනාගන්න අරන් තියෙන ක්‍රියාමාර්ග මොනවද?

මට පළමුව ලොකු වගකීමක් තියෙනව මා බඳවාගත් ශිල්පීන්ට සාධාරණයක් ඉෂ්ට කරල දෙන්න. ඔවුන්ට දෙසැම්බර් මාසෙන් පස්සෙ මේ වෙන තෙක් කිසිදු දීමනාවක් ලැබිල නෑ. අඩුම තරමින් වැඩ කළ කාලයට අපි කිසිවෙකුටත් සේවක අර්ථසාධක මුදල් ගෙවල නෑ. වැඩසටහන් ඉදිරිපත් කරන්නන්ට මා අතින් ගෙවූ මුදල් මෙන්ම මගේ වැටුප ගෙවලත් නෑ. බාහිර නිෂ්පාදකයන්ට අත්සන් කළ ගිවිසුම් ප්‍රකාර ගෙවීම් කරල නැහැ.

වැටුප් හා අර්ථසාධක මුදල් ලබා ගන්න නීතිමය ප්‍රතිපාදන මා අධ්‍යයනය කළා. ඒ අනුව කම්කරු දෙපාර්තමේන්තුවට මගේ පැමිණිල්ල කළා. සියලු සේවකයන්ගේ විස්තරත් ඉදිරිපත් කළා. කම්කරු නීතියෙන් ගැලවෙන්න ‍ ලේසි නෑ. එයින් සහනයක් නොලැබුණොත් වෙනත් අධිකරණ ක්‍රියාමාර්ග වලට යනව. සේවක අයිතිවාසිකම් වෙනුවෙන් අපි සටන් කළ යුතුයි. නිහඬව ඉන්නව කියන්නෙ මේ ක්‍රියාවලිය දිගටම කරගන්න අනුබල දෙනව කියන එකයි.

මා මේ විස්තර මාධ්‍ය වලට නිරාවරණය නොකොට අභ්‍යන්තරව විසඳගන්නයි බැලුවෙ. ඒත් වැටුප් නොගෙවා තාවකාලිකව වසා දමා දැන් මාස තුනක් ගෙවෙන්න ළඟයි. කම්කරු දෙපාර්තමේන්තුව පැමිණිල්ල විභාග කරන්න එන්න කියල දැන්වුවවම දොස්තරල කට්ටි පැන්න. ඊට පස්සෙයි මම මාධ්‍යයන්ට කතා කරන්න තීරණය කළේ. අඩුම තරමින් මේ සෙල්ලම තවත් පිරිසකට නොවෙන්න සමාජය දැනුම්වත් කිරීම වැදගත් කියල හිතුව නිසා.

සමාජයේ වෙනත් දූෂණ, අක්‍රමිකතා 

වෙනුවෙන් හඬ නගන මාධ්‍ය ආයතන වල 

සේවකයින්ට තමන්ට

සිදුවන අසාධාරණයන් ඒ තුළම විඳදරා ගැනීමේ

ප්‍රවණතාවක් තමයි අප බොහෝ විට 

අත්විඳින්නේ. 

ඒ යුගය නිමා කල යුතු යැයි මා සිතනවා.



Saturday 1 April 2017

ලයිෆ් ටී.වී. අවුලට ඌණ පූරණයක්....

ලයිෆ් ටී.වී. අවුලට ඌණ පූරණයක්....


මම මාධ්‍ය ආයතන  කීපයක සේවය කළා.  නමුත් එකකින්වත් මාව අයින් කරල නෑ. නැත්නම් අයින් කරන කල් එල්ලිලා ඉඳල නෑ. ඒකට හේතුව මට පවතින්න පුළුවන් බවට දැඩි ආත්ම විශ්වාසයක් තිබීම.

මම අවුරුදු 10 ක විශ්වවිද්‍යාල සේවයෙන් ඉවත් වෙලා ස්වර්ණවාහිනියට එද්දි හිතවතුන් කිව්වෙ නැවත හිතා බලන්න කියලයි. විශ්වවිද්‍යාලය වගේ තැනක රැකියාව ලබා ගන්න ඒ තරම් ලේසි නෑ නේද කියලයි. 

මට ලැබුණ අවස්ථාවෙන් මම ඒ අවදානම ගත්ත. හැබැයි අවුරුදු 5 

ඉවරවෙලා ලොකු දීමනාවක් එක්ක අයින් වෙන්න නීතිමය ආවරණ 

තියෙද්දි ඊට මාස තුන හතරකට කලිං එක දවසක හදිසි තීරණයක් මත මං

ස්වර්ණවාහිනියෙන් ඉවත් වුණා. එතකොට මගෙ වැටුප ආව වගේ හතර

ගුණයකට ආසන්නයි. එහෙම ගෙව්වෙ මගෙ රාජකාරියට තිබූ කැපවීම

නිසා. මාව එතැනට ඕනෙ නිසා. 

ඒත් අයිතිකාරය අනෙක් ලොක්කන්ට දාන පාට් මට දාන්න ආව. රස්සාව

බේරගන්න ආත්ම ගරුත්වය පාවා දෙන්න  මා සූදානම් වුණේ නෑ.

එච්.ඩී. ප්‍රේමරත්න, රොස්මන්ඩ් සේනාරත්න, හේම නලින් වගේ සහෝදර

පරිපාලකයින් කිව්ව ආයෙ පාරක් හිතන්න. අපිට ඔයාව ඕනෙ කියල.

නලින් දුකට කවියකුත් ලියල මගෙ මේසෙ උඩින් තියල ගියා. ජැක්සන්

කිව්වෙ “ඕක හෙට මට වෙන්න පුළුවන්. මමත් කොයි මොහොතෙ

මෙතනින් යයිද කියන්න බෑ. උඹ හරි තීරණය ගනිං” කියල.

ඊට පස්සෙ ජේ.වී.පී. එකේ වී එෆ්. එම්. එක දරුවෙක් වාගෙ මුල ඉඳන් හදල දාල ගියේ මගේ අදීනත්වය වෙනුවෙන්. මාර්කටිං ටීම් එකට පක්ෂෙ තීන්දු ගන්න අය යට වුණාට මං ඒකට සූදානම් වු‍ණේ නෑ. 

අර්ථපතියන් පරිපාලනය දන්නෙ නැත්නම් දන්න අයට කරන්න දෙන්න ඕනෙ. අපි සියල්ල දත් කියල හිතුවට ජේ.වී.පී. එකට සුරුට්ටු කඩයක්වත් කරගන්න බෑ කියල ඡෝදනා ආවෙ අනවශ්‍ය ඇඟිලි ගැසීම් කරන්නත්, නොදන්න විෂයයක් ගැන ඉහළින් තීන්දු තීරණත් ගන්නත් ගිහිං රේඩියෝව විකුණන්න වුණාට පස්සෙ.

ලයිෆ් ටී.වී. වුණත් මං එක්ක අවුලක් හදාගෙන ඇති. ඒත් අයින් කරල නෑ. නොකරලත් නෑ. මං අයින් වෙලා කියල ප්‍රචාරය කරන්නෙ අයින් වෙනවට කැමැත්තෙන් බව මං දන්නව.

මීට මූලික වුණ දොස්තර බංඩාරට ඕනෙ විදිහටම මං වැඩකරන්න සූදානම් වුණේ නැහැ. 

එයත් හිතං ඉන්නෙ දොස්තරකම  විතරක් නොවේ මීඩියාත් දන්නව කියල. ජනාධීපති ලේකම් කාර්යාලයෙ මීඩියා එ‍කේ වැඩවලට යනව කියල  පංපෝරි ගගහ තමන්ට ඕනෙ දේ මා ලවා කරවගන්න හැදුව. 

මම කිව්වෙ එහෙම නං මට මේ තරං ගෙවන්නෙ නැතිව රූකඩයක් ගන්න කියලයි. එහෙම ටී.වී. චැනල් කරන්න බෑ. මේක ලොකු වගකීමක්. අපි සෙල්ලං කරන්නෙ ලොකු මුදලක් එක්ක. මං හිතන්නෙ ලක්ෂ ගණනක වැටුපක් ගෙව්වට මම ආයතනවල අයිතිකාරයන්ට ඕනෙ විදිහට වැඩ කරන්න සූදානම් නෑ. 

ඒ අයගෙ අවශ්‍යතාව ඉටු කරල දෙන්න මම බැඳී ඉන්නව තමයි. ඒත් ඒ මගෙ ක්‍රමේට. මගෙ අනන්‍යතාව සල්ලිවලට පාවල දෙන්නෙ නෑ. මට යන්න වෙන්නෙ ඒ නිසා වෙන්න ඇති.

හැබැයි එළියට බැහැල ගිය මට මේ දක්වා වැරදිලා නෑ. මට අගයක්, වටිනාකමක් තියෙනව.

ප්‍රාග්ධනය හැසිරෙන නරුම ස්වරූපය අපි බොහෝ කල් අත්විඳල තියෙනව. 

ප්‍රාග්ධනය හැසිරෙන බලාධිකාරයේ ස්වරූපයත් දන්නව. 


මේ අතර මට දැනගන්න ලැබෙනව දොස්තර බංඩාර සේවකයන්ට පොලු තියල කප් ගහල තියෙන්නෙ කියල. මීට පෙර දෙවතාවක්ම ටී.වී. චැනල් එකක් පටන් ගන්න කියල වැඩ අරං මාධ්‍යකරුවන් කණ්ඩායම් දෙකක් වැටුප් නොගෙවා දොට්ට දමා ඇති බවත් මට කතා කළ ඒ අයම කිව්ව. එක්කෙනෙක් පරිසරය පිළිබඳ වීඩියෝ වැඩසටහන් කරන ලසන්ත වරුසවිතාන ඇතුළු කණ්ඩායම.  අනෙක් අය තමයි තමන්ගෙ මඟුල් මුද්ද පවා උගස් තබා ලයිෆ් ටී.වී. එකේ මට කලිං වැඩකරල තියෙන මෙවන් ශ්‍රී චතුරංග ඇතුළු කණ්ඩායම. එතන ඉන්නව මාස හතර පහ වැඩ කරල වැටුප් නොලබපු ළමයි.

ඒත් මේ සිස්ටම් එක ඇතුළෙ කම්කරු ආරවුල් විසඳන්න ක්‍රමවේදයක් හැදිල තියෙනව. ඒත් ඒ අතරින් රිංගා යන්න සිදුරු නැත්තෙ නෑ. අනෙක රාජ්‍ය ආයතන වෙලාවකට හරිම උදාසීනයි. තමන්ගෙ බලය පාවිච්චි කරන්න පැකිළෙන ස්වභාවක් තියෙනව. 

ඒත් නිදිකිරන කම්කරු ආරවුල් විසඳන ආයතනය අවදි කරගෙන මේ සටන ගෙනියනව. බැරි වුණොත් ඉහළ අධිකරණයකට යන්න වුණත් මා පැකිළෙන්නේ නැහැ. ඒ අසාධාරණයට ලක් වූ සේවක පිරිසට සාධාරණයක් ඉටුවනු පිණිස හා ඉදිරියේදි මේ උගුලෙ අහුවෙන්න නියමිත පිරිසට අනතුරු අඟවා කල් තබා බේරා ගනු පිණිසයි.


ලයිෆ් ටී.වී.දොස්තරලට ‍ප්‍රශ්නය ගොඩින් බේර ගන්න

තාමත් කල් තියෙනව. එහෙම කැමති නම් එහෙම. 

නැතිනම් තව බොහෝ ක්‍රියාමාර්ග  අප ඉදිරියේ

තියෙනව.


ඉතිරිය ඉදිරියට.....