Powered By Blogger

Tuesday 20 December 2022

පේරාදෙනිය ප්‍රහාරය

 

 
 
 

පේරාදෙණිය විශ්වවිද්යාලයේ සිදුවූ ආසන්නතම සිදුවීම පිළිබඳ කතා නොකරන පැත්තක් අද ශ්රී ලංකාදීප පත්තරේ පළ වී තියෙනවා දැක්කා. එම වාර්තාවෙන් මා තේරුම් ගත් කාරණා කිහිපයක් මෙලෙස සටහන් කරන්නට කැමතියි.
======================
 
මෙම සිද්ධියේ කේන්ද්රස්ථානය වන්නේ විශ්වවිද්යාලයේ සරච්චන්ද්ර එළිමහන් රංග පීඨය අසලින් යන මාවතයි. ඉකුත් 10 දා රෑ 10 කණිසමට ඒ අසල නවතා තිබූ යතුරුපැදි දෙකක් එක්තරා බීමත් පුද්ගලයෙකු ගේ කාරයේ ගමන් මාර්ගයට බාධාවක් වූ නිසා එම බීමත් පුද්ගලයා එම යතුරුපැදි පෙරලා ඒවාට අලාභ කරනවා. 
 
එසේ අනතුරක් සිද්ධ කොට පලා යාමට ඒ පුද්ගලයා උත්සාහය කළත් ඒ සමඟම එහි ළඟාවන සිසුන් එම බීමත් පුද්ගලයා සමග ආරවුලක් ඇති කරගන්නවා.
 
මේ බීමත් පුද්ගලයා තමන් අතින් එම යතුරුපැදි වලට සිදු වූ හානිය ලබාදෙන්ට සිසුන් ඉදිරියේ පොරොන්දු වෙනවා. මේ බීමත් පුද්ගලයා කවුරුන්දැයි හෙළිදරව් වන්නේ ඔහු විශ්වවිද්යාල ආචාර්යවරයෙකුගේ නිල නිවාසයට ඇතුළු වීමත් සමගයි. ඔහු මහාචාර්ය සේනාරත්නගේ පුත්රයා බව ඒ සමඟම එළිදරව් වෙනවා.
 
විශාල සිසුන් සංඛ්යාවක් මේ නිවාසය වටලා පහර දෙනවා. ඔවුන් එතන රැඳීමත් සමඟම විශ්වවිද්යාලයේ පරිපාලනය එතැනට පැමිණෙනවා. පොලිසිය කැඳවන්නේ ඉන්පසුවයි. පොලිසිය පැමිණි පසුව එම බීමත් පුද්ගලයා මාංචු දමා රැගෙන ගොස් රෝහල් ගත කරනවා. එහෙත් පැය කිහිපයකින් ඔහුව ආපසු නිවසට එවා තිබෙනවා. මාංචු දමා අත්අඩංගුවට ගත් පුද්ගලයකු එසේ එම රාත්රියේදීම ආපසු නිවසට එවීම සිසුන් ප්රශ්න කරනවා.
මේ සම්බන්ධයෙන් හා බීමත්ව අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් මෙම බීමත් පුද්ගලයාට විරුද්ධව සිසුන් පොලිසියට පැමිණිලි කර තියෙනවා. මේ පිළිබඳ කිසිදු පරීක්ෂණයක් සිදු නොකළ පොලීසිය කර තිබෙන එකම දෙය නම් පැමිණිලි කරන්නට ගිය සිසුන් බීමත්ව සිටිනවා දැයි පරීක්ෂා කිරීමයි. 
(ඉතිහාසයේ පටන් පොලිසිය ක්රියා කරන්නේ මේ ආකාරයෙන් වන නිසා ඒ ගැන මා නම් කිසිසේත්ම පුදුම වන්නේ නෑ.)
 
සිද්ධියට සම්බන්ධ යැයි සිසුන් දොළොස් දෙනෙකුගේ ශිෂ්යභාවය තහනම් කොට තිබුණත් ඔවුන් අතරින් එක් සිසුවෙකු එම අවස්ථාවේ විශ්වවිද්යාලයේ රැඳී සිට නැහැ. 
 
මෙයින් හැඟෙන්නේ විශ්වවිද්යාල පරිපාලනයට අවශ්ය සිසුන් ගේ නාම ලේඛනයක් ඉදිරිපත් කොට ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි. ( මෙවැනි ක්රියා විශ්වවිද්යාල පරිපාලනය සිදුකරන බව මා සිසුවෙකු මෙන්ම ආචාර්යමණ්ඩලයේ සාමාජිකයෙකු ලෙසද අතීත සිද්ධි කිහිපයකදී අත්දැකීම් ලබා තිබෙනවා.)
 
එම සිසුන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබෙනවා.
මේ පිළිබඳ මාධ්යයට ප්රකාශයක් කරන විශ්වවිද්යාලයේ නියෝජ්ය උපකුලපතිවරයා සඳහන් කරන්නේ මෙම සිසුන් පසුගිය දෑවුරුද්ද තුළ මාර්ගගත අධ්යාපනය ලබූ විශ්වවිද්යාල ජීවිතය පිළිබඳව අවබෝධයක් නැති සිසුන් පිරිසක් බවයි. ඔවුන්ට විශ්වවිද්යාලයේ ආචාරධර්ම පිළිබඳ අවබෝධයක් නැතැයිද, ඔවුන් පසුගිය අරගලයට සම්බන්ධ ව සිට ඉන් පන්නරය ලැබූ පිරිසක් විය හැකි බවටද ඔහු තවදුරටත් සැක පළ කරනවා.
සේරම කුණු බේරුවල බොක්කට කියන්නා සේ මේ සිසුන් අරගලයට සම්බන්ධ කිරීම නම් විහිළු සහගතයි.
 
(මේ සිද්ධිය ගැන ජනප්රිය මත ප්රධාන මාධ්යයන් ඔස්සේ තලුමරන බැවින් මෙහි ලා සඳහන් කරන්නේ නෑ.)
 

ඉන්දීය නාවික යුධ යාත්‍රා පළවා හැරීම

 

 

නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු  

නොකීකතා පෙළක්.
 
(මෙවන් කතා පෙළක් රැගත් "සිඳු රළ මැද" කෘතිය eBook ලෙස ළඟදීම නිකුත් වේ.)
 

A 525 නෞකාවේ ඉංජිනේරු නිලධාරියා ලෙස සේවය කිරීමෙන් අනතුරුව මා අනුයුක්ත කරනු ලැබුවේ ත්‍රිකුණාමලයේ නාවික හා සමුද්‍රයීය විද්‍යා පීඨයේ ඉංජිනේරු පාසල වෙතටයි. කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය බලා පිටත් වන ආසන්නතම නෞකාව හෝ යාත්‍රාව කුමක්දැයි විමසීමේදී දැනගන්නට ලැබුණේ ඒ වන විට උතුරු මුහුදේ ආවේක්ෂණ කලාපයේ රඳවා තිබූ මා මීට පෙර සේවය කළ “එඩිතර” නෞකාව දින දෙකකින් සිය මුර සංචාර කාලය අවසන් කොට ත්‍රිකුණාමලය බලා පිටත් වන බවයි.

ඒ අනුව කොටමාරු නොහොත් A 525 නෞකාවට සමුදුන් මා “එඩිතර” නෞකාව වෙත ගියේ ඩෝරා යාත්‍රාවකින්. එය සිදු වූයේ සවස් භාගයේ ඩෝරා යාත්‍රාව කන්කසන්තුරේ පැත්තේ කරක් ගසන බව නාවික හමුදා සංඥා ඔස්සේ දැනගෙන එහි අණදෙන නිලධාරී එවකට ලුතිනන් කොමාන්ඩර් ප්‍රසන්න රාජරත්න‌ගෙන් A 525 අණදෙන නිලධාරී ලුතිනන් කොමාන්ඩර් සෝමතිලක දිසානායක කළ ඉල්ලීමට ලද ප්‍රතිචාර මතයි.

මා එසේ “එඩිතර” නෞකාවට ගියේ 1987 ජුනි මස 02 වැනිදා බව සඳහන් කරන්නේ එක්තරා ඓතිහාසික සිදු වීමක් එදින සිදු වූ මතකය නිසයි. ඒ රාත්‍රියේ “එඩිතර” නෞකාව කන්කසන්තුරේට නුදුරින් උතුරු මුහුදේ නැංගුරම් ලා තිබුණා. මා නැවට ගොඩ බස්සන්නට ආ ලුතිනන් කොමාන්ඩර් රාජරත්න‌ත් “එඩිතර” නැවට නැංගේ සුළු විවේකයක් ගන්නයි. ප්‍රධාන මව් නෞකාවකට alongside ආ විට මද වේලාවක් විවේක ගනිමින් ඇඟපත සෝදාගෙන නැවුම් මානසිකත්වයක් ඇති කරගැනීම කුඩා යාත්‍රාවල සේවය කරන නිලධාරීන්ගේ පුරුද්දක්. සමහර විට එළැඹෙන රාත්‍රිය නිදිවර්ජිතව කොටි බෝට්ටු ලුහු බඳිමින් ගෙවා දමන්නට සිදු වේදැයි අවිනිශ්චිතයි.

මේ රාත්‍රියේ පළවා හරින්නට සිදු වූයේ කොටි බෝට්ටු නොව ඉන්දීය යුධ නෞකායි. ඒ සිද්ධිය ඇසින් දකින්නට නැත්නම් එහි සාක්ෂිකාරයෙකු වන්නට මට අවස්ථාව ලැබුණේ එදා “එඩිතර” නෞකාවේ රාත්‍රිය ගත කළ නිසයි.

මේ වන විට වඩමාරච්චි නිදහස් කරගැනීමේ Operation Liberation සටන ඇවිලෙමින් තිබුණා. එවකට ජාතික ආරක්ෂක ඇමති ලලිත් ඇතුලත්මුදලි දේශපාලන නායකත්වය ලබා දුන් මේ සටන මෙහෙයෙව්වේ ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුවයි.  

1987 ජුනි මස 02 වැනිදා සවස All India Radio මගින් ප්‍රචාරය කර තිබුණේ ශ්‍රී ලංකාවේ උතුරුකරයේ ජනතාවගේ ආරක්ෂාව සහ පෝෂණය උදෙසා සහල් සහ පරිප්පු ඇතුළු වියළි ආහාර මෙන්ම බෙහෙත් ද්‍රව්‍ය රැගත් ඉන්දීය බෝට්ටු 25 කින් රතු කුරුස සංගමයේ හා ජාත්‍යන්තර නිරීක්ෂකයන්ගේ අනුදැනුම මත තමිල්නාඩුවේ රාමේෂ්වරම් තොටුපොළේ සිට අපේ මුහුදු සීමාව දෙසට එන බවයි. 

ඒ වන විට “එඩිතර” නෞකාවේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළේ එවකට ලුතිනන් කොමාන්ඩර් සුරාජ් මුණසිංහයි. සාමාන්‍යයෙන් සිදුවන පරිදි නිලධාරීන් කිහිපදෙනෙකු නැවේ වෝඩ්රූම් (Ward Room) ලෙස හැඳින්වෙන නිලධාරීන්ට පමණක් මා වූ කොටසේ සප්පායම් වෙන්නට සූදානමින් සාමිචියේ යෙදෙමින් සිටියා.

මේ අතර උතුරේ නාවික හමුදා ආඥාපති ජෙනරාල් ලෙස කටයුතු කළ කොමඩෝර් මොහාන් සමරසේකරගෙන් රහසිගත උපදෙස් සංඥාවක් ලැබී තිබුණා. ඉන් කියැවුණේ ජාත්‍යන්තර මුහුදු සීමාව සමීපයට පැමිණ සිටින ආහාර රැගත් ඉන්දීය බෝට්ටු සමූහය ආපසු හරවා යවන ලෙසයි. අප සැවොම අණදෙන නිලධාරියා පසුපසින් ඉහළ මහලේ බ්‍රිජ් (Bridge) එක වෙත ගියා. එතැන තමයි නැවේ පාල මැදිරිය තිබුණේ.

“එඩිතර” නැවේ අණදෙන නිලධාරී සුරාජ් මුණසිංහ ගුවන්විදුලි සංඥා මගින් බෝට්ටු රැකවල් ලා පැමිණි ඉන්දීය යුධ නෞකා ඇමතුවා. ඔවුන් පිළිතුරු දුන්නා. ඒ මොහොතේ එකී රාජතාන්ත්‍රික කටයුත්තට ඉතා කල්පනාකාරී ලෙස හා සංයමයෙන් යුතුව එසේම සෘජු ලෙස මුහුණ දිය යුතු වුණා. ලුතිනන් කොමාන්ඩර් සුරාජ් මුණසිංහ පැවසුවේ තමන්ට රජයෙන් ලැබී තිබෙන උපදෙස් පරිදි එම බෝට්ටු වලට ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීමට ඉඩ දිය නොහැකි බවයි.

අපි හැමෝම සිටියේ දැඩි පීඩනයකින්. ඉන්දීය නාවික හමුදාවේ එකී Fleet එකේ අණදෙන නිලධාරියාගේ උද්දච්ඡ පිළිතුර වූයේ තමන් පැමිණ සිටින්නේ ඉන්දීය රජයේ නියෝග මත නිසා පැමිණි රාජකාරිය ඉටු කරන්නට සිදු වන බවයි.

“එඩිතර” නැවේ අණදෙන නිලධාරියා තත්ත්වය පැහැදිලි කොට උතුරේ නාවික හමුදා ආඥාපති ජෙනරාල්ගෙන් උපදෙස් පැතුවා. ඒ අවස්ථාවේ එවකට නාවික හමුදාපති වයිස් අද්මිරාල් H.A. සිල්වා, ඒකාබද්ධ මෙහෙයුම් අණදෙන නිලධාරී ජෙනරාල් සිරිල් රණතුංග හා ජාතික ආරක්ෂක ඇමති ලලිත් ඇතුලත්මුදලි නාවික හමුදා සංඥා පද්ධතිය සමඟ සම්බන්ධ වී සිටියා. (එසේ සම්බන්ධ වී සිටි බව මා දැනගත්තේ පසු කාලයේදී)

ඉන්දීය බෝට්ටු දේශ සීමාව පසු කොට ලංකා මුහුදුට ඇතුළු වන්නේ නම් වෙඩි තබා පළවා හරින ලෙසට අණ ලැබුණා. මේ බව “එඩිතර” නැවේ අණදෙන නිලධාරියා ඉන්දීය නාවික හමුදා කණ්ඩායමේ අණදෙන නිලධාරියාට දැනුම් දුන්නා. “එඩිතර” නැව තිබුණේ මුහුදු සීමාවට තරමක් දුරින්. ඒ හැරත් එවන් ප්‍රහාරයක් එල්ල කිරීමේ ශක්‍යතාවක් “එඩිතර” නැවට තිබුණේ නැහැ. එය ප්‍රහාරක නෞකාවක් නොවේ.

“මං ගිහිං වෙඩි තියන්න සූදානම් බව පෙන්නන්නං. ක්‍රොස් කළොත් මං ෆයර් කරනවා” කියමින් ඊශ්‍රායලයේ නිෂ්පාදිත ඩෝරා අධිවේගී යාත්‍රාවට නැගුණු එහි අණදෙන නිලධාරී ලුතිනන් කොමාන්ඩර් රාජරත්න‌ දේශ සීමාව වෙත ගියා. ඔහුත් ඉන්දීය නිලධාරීන් අමතා කතා කොට වෙඩි තබන බව කිව්වේ ඊට සූදානම් බව සහතික කරමින්. මට මතක විදිහට ප්‍රදේශයේ රාජකාරි කරමින් සිටි තවත් ඩෝරා යාත්‍රාවක්ද සහයට පැමිණියා.

ඇත්තටම එය කුමකින් කුමක් සිදු වේදෝයි නිශ්චය කළ නොහැකි අවදානම් සහගත අවස්ථාවක්.

ඒ මොහොතේ සිදු වන සුළු අතපසුවීමකින් රටවල් දෙකක් අතර යුද්ධයක් ආරම්භ වීමට ඉඩ තිබුණා. එසේ සිදු වූවා නම් ලංකාව සුන්නත් දූලි වෙනවා. ඉන්දීය යුධ ශක්තිය ඉදිරියේ අපිට සිදු වන්නේ යටත් වෙන්නයි.

කෙසේ වුවත් ඉන්දීය කණ්ඩායමේ නියමුවන් ඉන්දීය රජයේ උපදෙස් පැතුවා නියතයි. ඒ අනුව ලැබුණු උපදෙස් මත පැය 3 ½ ක් මුහුදේ රස්තියාදු වූ ඉන්දීය බෝට්ටු පෙරළා සිය රටටම ගියා. එය ඉන්දියාව ගත් උපක්‍රමශීලී පියවරක් බව අප වටහා ගත්තේ දින දෙකකට පසුවයි.

ජයග්‍රහණයේ සව්දිය පිරූ “එඩිතර” නෞකාව පසු දා අළුයම ත්‍රිකුණාමලය නාවික කඳවුර බලා පිටත් වුණා.

1987 වසරේ ජූනි 4 වැනිදා ඉන්දීය රජය ශ්‍රී ලංකා රජය වෙත නිවේදනයක් නිකුත් කරනු ලැබුවා. එහි සඳහන් වුණේ යාපනයේ ජනතාවට ගුවනින් සහනාධාර ලබාදෙන බව යි. බැංගලෝරයෙන් පිටත් වුණු, ආහාර රැගත් ඇන්ටනෝව් 32 ගුවන් යානා 5ක්, මිරාජ් ප්‍රහාරක යානා හතරක ආධාරය ද සමගින් ලංකා ගුවන් සීමාව ආක්‍රමණය කළා. එහි දී ඉන්දියාව නිවේදනය කළේ ඔවුන්ගේ ගුවන් යානාවලට වෙඩි තැබීමක් සිදු කළොත් පෙරළා වෙඩි තැබීමට පසුබට නොවන බව යි. 

 

 

සවස 3.15 ට පැරෂුට් මගින් ආහාර ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය උතුරු භුමියට හෙලීමට කටයුතු කළ ඉන්දියාව එසේ කරන බව ඉන්දියාවේ මහ කොමසාරිස්වරයාට දන්වා තිබුණේ සවස 2.30 ටයි. ත්‍රිවිධ හමුදාපතිවරු කැඳවූ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ඉන්දියාවේ පියවරට කිසිදු ලෙසකින් බාධා නොකරන ලෙසට නියෝග කොට තිබුණා.

ත්‍රිකුණාමලයේ නාවික තටාකාංගණයේ නිලධාරි නිවස්නයට වී අපි දැඩි කම්පනයෙන් යුතුව මධුවිතක රස වින්දා.