Powered By Blogger

Sunday 28 January 2024

VVIP ලොක්කා දුටු පොලිස්කාරයා පැන දුවයි.

 

ලකට පෙර සිදුවූ මේ කතාව මට කිව්වේ පොලිසියේ නිලධාරියෙක්මයි. මේ ඔහු කිව්ව ආකාරයමයි.
දවස්වල කොළඹ පුත්තලම් පාරේ කොච්චිකඩේ මා ඔය පාලම ගාව පොලිස් බැරියර් එකක් තිබුණා. එතනින් යන බොහෝ වාහන පරීක්ෂා කළා. මොකෝ යුද්ධෙ කාලෙනෙ.(වාහන පරීක්ෂා නොකළත් බැරියරේ තවමත් තියෙනවා.)
 
ඔතන රාලහාමිලා දෙතුන් දෙනෙක් රාජකාරි කරනවා. දවසක් මහ රෑ පුත්තලම පැත්තට යන කාර් එකකට නවත්තන්න එක රාලහාමි කෙනෙක් සංඥා කළේ VVIP වාහනයක් බව නොදැන. ඇරත් ඒ දවස්වල VVIP වගේම VIP වාහන ගියෙත් ඉස්සරහින් පස්සෙන් ගාඩ් වෙහිකල් එක්ක. මේ තනි කළු කාර් එකක්.
 
කාර් එක අයින් කරලා නැවැත්තුවා. රාලහාමි රියැදුරු ආසනේ ගාව හිට ගත්තම වීදුරුව මදක් පාත් වුණා. රාලහාමි මොනාත් අහන්න කලින් රියැදුරු මෙහෙම කිව්වා.
"මේ VVIP වාහනයක්.."
 
රාලහාමිට කතාව ඇල්ලුවේ නෑ. VVIP නං ගාඩ් එකක් තියෙන්න එපැයි. එක්කෝ මූ බොරු කියනවා. නැත්තං මූ හොර ගමනක් යනවා. රාලහාමිට පොඩි පාට් එකක් දාන්න හිතුණා. 
 
"VVIP නං කෝ ගාඩ් එක. හරි වාහනේ VVIP කියමුකො. කවුද VVIP.? තමුසෙ මාව අන්දන්න නේද යන්නෙ?" රාලහාමි පාට් එකක් දැම්මා.
 
"ඔය හාදයට මේ පැත්තෙන් එවන්න.." පිටුපස සීට් එකෙන් ගැඹුරු හඬක් ඇහුණා.
"අන්න සර් කතා කරනවා. එහා පැත්තෙන් යන්න.." රියැදුරු කිව්වා.
පිටුපස්සෙ වීදුරුව පාත් වුණා. අපේ රාලහාමි සැකේට පිටිපස්සෙ සීට් එකට එබුණා.
"මමයි යන්නෙ. අඳුන ගත්ත නේද? එහෙනං රාලහාමි අපි යඤ්ඤං.."
රාලහාමිට තරු පෙනුණා. සැලියුට් එකක් ගහන්න අත උස්සන්න කල්පනා වෙද්දි කාරෙක වේගෙන් ඇදිලා ගියා. අපේ හාදයා බය වුණ පාර පණ එපා කියලා පොලිසියට දුවගෙන ආවා.
මිනිහට කතා කරගන්න බැරි වුණා. මං ඇහුවා මොකෝ තමුසෙ බැරියර් රාජකාරි දාලා ආවේ කියලා.."සර්...සර්...ජ..ජ.." රාලහාමි ගොත ගහන්න පටන් ගත්තා.
 
ඒ යුද්ධ කාලෙ එතුමා මහ රෑ ඔහොම ගියේ ආරච්චිකට්ටුවට. පොඩි හොර ගමනක්. මං ඒ බව දැනගත්තෙ අපේ ලොක්කගෙන්. ලොක්ක කිව්වේ මාසෙකට විතර වතාවක් එතුමා ඔය ගමන යනවා කියලා. දැන් නං එහෙම දකින්න ගිය කෙනා ඉන්නෙ කැනඩාවෙලු. 
 
මට මේ කතාව ඊයේ පෙරේදා වෙච්චි හයිවේ අනතුරක් එක්ක මතක් වුණා.
 

Sunday 21 January 2024

ගෙරිමස් කන එකා පලයාං....

 


"නොකී කතා", "කී නොකී කතා", "එකී මෙකී නොකී කතා" නමින් ලියූ කතා පෙළේ ඊළඟ සීසන් එක "නොකී අතුරු කතා" නමින් ලියන්න හිතුවා.
මේ සිද්ධිය වෙද්දි මගේ වයස අවුරුදු 12 ක් 13 ක් විතර ඇති. ඒ දවස්වල අපි පදිංචි නිවසේ පළල පොඩ්ඩක් වැඩි කරන්න අත්තිවාරම් කෑල්ලක් දාලා තිබුණේ. 
 
මේ අත්තිවාරමේ කොනක හූනියමක් වළ දා තිබිලා අම්මා හොයා ගත්තා. ඒක මිනි ඔළුවක් හා තව අකුරු හා ලකුණු කෙටූ තඹ තහඩු කෑල්ලක්. මේක එක්කෝ විහිළුවට කළ දෙයක්. නැතිනං සිරාවටම පවුල හැඳිගෑවිලා යන්න කරපු හූනියමක් බව වැඩිහිටියන් තීරණය කළා.
 
තාත්තා හූනියම්, මන්ත්ර ගුරුකම්, සාස්තර ගැන විශ්වාස නොකළත් අම්මා විශ්වාස නොකළේම නෑ. ඒ හංදා අම්මා මේ ගැන අවබෝධයක් තියෙනවා කියලා හිතන අයගෙන් උපදෙස් පැතුවා.
 
විවිධ උපදෙස් ලැබුණා. හූනියම කපන්න, කරපු එකා පෙන්නුම් කරගන්න සාස්තරකාරයෙක් හමු වෙන්න, අංජනමක් යවන්න, හූනියම බල විරහිත කරන්න ආරක්ෂාවක් කරන්න යනාදී වශයෙන්.
මේ සඳහා සුදුසු කට්ටඬි ඉන්න තැන්, සාස්තරකාරයෝ ඉන්න තැන්. කපුවො ඉන්න තැන් ගැනත් ඔවුන් අම්මා දැනුම්වත් කළා.
 
අවසානයේ හැඳල ප්‍රදේශයේ ඉන්න සාත්තරකාරයෙක් මුණ ගැහී අපල දෝෂ ගැන විමසන්න තාත්තා එකඟ වුණේ අම්මගේ පෙරැත්තය ඉහවහා ගිය කන්දොස්කිරියාව හංදාමයි.
 
දවසක් පාන්දරින් අපි කොළඹ බස් එකකින් වත්තලට ගොස්, හෝටලයකින් උදේට කෑම කාලා(ඒක හොඳටමතකයි. පාන් එක්ක පරිප්පු හොදි. -ඒ කාලෙ හෝටලේකින් කන්නේ කලාතුරකින් ගමනක් ගියොත් තමයි.), හැඳල බස් එකකින් ගිහිං මග සලකුණු අනුව සෑහෙන දුරක් පයින් ගිහිං උදෙන්ම සාස්තර කියන තැනට ළඟා වුණා.
 
පෝලිමක් තිබුණා. මිනිස්සු තැන් තැන්වල ඇනබාගෙන උන්නා. යන්න කලිං තාත්තා මෙහෙම උපදෙස් දුන්නා.
කවුරු විස්තර ඇහුවත් කිසිම දෙයක් කියන්නෙ නෑ. ආවෙ කොහෙන්ද, ආව කාරණාව මොකක්ද , කරන රස්සාව ගැන, පවුලේ විස්තර මොනවත් කියන්නෙ නෑ. කිව්වත් බොරු තමයි කියන්නේ.
 
කිව්වත් වගේ සාස්තර අහන්න ආපු කෙනෙක් අපට ළං වුණා. වංහුං අහන්න ගත්තා. ම්හ්...අම්මවත්, තාත්තවත් උත්තර නෑ. ඕනෑවට එපාවට බොරු හලනවා.
"මහත්තුරු ඈතක වගේ..'
"ඔව්..ගොඩක් ඈත.."
"කොයි පළාතෙද ආයිබං"
"කුලියාපිටියෙනුත් එහා.."
"එහෙනං ඈත. හෙට්ටිපොළ පැත්තෙද?"
"ඊටත් එහා.."
නාත්තන්ඩියේ ඉඳං අපිට එන්න ගතවුණේ පැය දෙකක් විතර. ඒත් තාත්තා කිව්වේ පාන්දර 4 ඉඳං ආවා කියලා.
"මොකක්ද කාරණාව..මළගිය පරාණකාර දෝෂයක්ද..කවුරු හරි අතුරුදන් වෙලාද.."
"ඒවා කපු මහත්තය කියයිනෙ..දිවැසින් කියනවලු නේද?"
"ඔව්..ඔව්..ටක්කෙට කියනවා.."
"දරුමල්ලො මෙච්චරයි වෙන්ටෑ..."
"නෑ පුංචි දුව තියල ආවේ.."
අපට නංගිලා නෑ. තාත්තා කෙබර අතාරින බව පුංචි මටත් තේරුණා. විස්තර අහගත්තු කෙනා නොපෙනී ගියා.
 
"ඕං..රීං...කට්ටූ..
ඔය හෙට්ටිපොළ පැත්තෙන් ආව දරුපවුල ආවනං"
පැය දෙකකට විතර පස්සෙ අපේ වාරය ආවා.
ඒත් තාත්තා ඇතුළට ගියේ නෑ. මොකෝ අපි හෙට්ටිපොළ පැත්තෙ නොවෙයිනෙ.
 
ආයෙම කපු තැන කතා කළාම විස්තර අහ ගත්තු කෙනා ඇවිත් අන්න ඔයගොල්ලන්ට කතා කරනවා. ඇයි ඇතුළට යන්නැත්තෙ ඇහුවා.
තාත්තයි, අම්මයි අපිවත් අරං ඇතුළට ගියා. ආවතේවකාරයෙක් තාත්තට සපත්තු ගලවලා යන්න කිව්වා. 
 
"කතා කරාම එක පාර එන්න බැරිද?"
"අපි හෙට්ටිපොළ නොවෙයි නිසා ආවෙ නෑ." තාත්තා ඔලොක්කුවට වගේ කිව්වා.
"පුංචි දුව ගෙදර තියල නේද ආවෙ"
"දුවෙක් නෑ...මෙච්චරයි ඉන්නෙ.."
කපු තැන අවුල් වුණා. මිනිහ දැනගන්න ඇති මූ නං ගල් ඉබ්බෙක්. අරූට කියල තියෙන්නෙ බොරු කියලා.
මිනිහ තාත්තගෙ කටින් ගන්න ප්‍රශ්න ඇහුවා. තාත්තා කිව්වේ ඒක දැනගන්න තමයි ආවේ කියලා.
කපුවා මායං වුණා. දෙයියන්ට කිව්වා. පරල වෙවී ප්‍රශ්න ඇහුවා.
හැමේකටම තාත්තා කිව්වේ ඒක දැනගන්න තමයි ආවේ කියලා. 
 
"තමුං හරක් මස් කනවද"
තාත්තා ඔව් කිව්වා.
"ගෙරිමස් කන එකා පලයාං...." කපුවා සාත්තර නොකියන්න කොනක් අල්ලගත්තා.
කපුවා කෑගහපු සද්දෙට අපි උඩ ගිහිං බිම වැටුණා.
"ගෙරිමස් කන එකා පලයාං...."
 
මූ හොරෙක් කිව්ව තාත්තා අපිවත් ඇදගෙන එළියට ආවේ අම්මටත් දෙස් තියමින්.
"මං කිව්වනෙ. මුං හොරු කියලා.."
 
ඊළඟට තාත්තා තවත් පරල වුණා. තාත්තගේ සපත්තු ජෝඩුව උස්සලා.
"කපුව බොරු කරනව මදිවට මෙතන ඉන්න උං දාගෙන ආව සපත්තුත් හොරකම් කරනවා..මේව හොර ගුහා.."
එහෙම කෑගහලා තාත්තා අපිත් එක්ක ආපහු එන්න පිටත් වුණා.
 
"හරක් මස් කාලා එන්න හොඳ නෑ..කිලි වදිනවා.. කපු මහත්තයට තරහ ගියේ ඒකනේ. නැත්තං මෙතන සාස්තරේ ටක්කෙට කියනවා.." පෝලිමේ හිටි කෙනෙක් අනෙක් අයට කිව්වා. 
 
පොඩ්ඩක් නොසන්සුන් වෙලා තිබුණ පෝලිමේ උන්නු අය ආයෙම සාමකාමීව සාත්තර අහන්න යොමු වුණා. 
 
අම්මට බැණ බැණ තාත්තා ගෙදර ගියා. ගෙදර ගිය මං අර හූනියන් තහඩුව අරං ගලක තියලා තව ගලකින් තලලා හූනියම කැපූ බව ප්‍රකාශයට පත් කළා.

Tuesday 16 January 2024

ගිලෙන්න ගියාම වැල්පොටවල් වලත් එල්ලෙනවා...

 



ලකට පෙර තැබූ සටහනක් කෙටි කොට ආයෙම ලියන්න හිතුණේ කිසියම් කාරණයකට අප හිතවත් ඉංජිනේරු මහාචාර්යවරයෙක් අංජනමක් බලන්න කට්ටඬියෙක් හොයාගෙන යන බව කිව්වමයි.

කොහොමටත් ගස්, ගල් වන්දනා කළේ නැති මං පුංචි කාලෙ දෙමාපියන් පුරුදු කරපු පිළිම වන්දනාවත් නැවැත්තුවා. ඒ එක්කම නැකැත්, වෙලාවල්, ලග්න පලාපල, අංජනම් බැලීම්, සාස්තර ඇසීම යනාදී විද්‍යාවෙන් අර්ථකථනය නොවන මිත්‍යා හුරුපුරුදු වලින් මිදුණා.

කාර් එකක් ගත්තම දෙහි, මිරිස් එල්ලන් කතරගම ගිහිල්ලත් නෑ. පොල් ගහලත් නෑ.
වාහනේ පිළිම, කොන්ත එල්ලන් යන්නෙත් නෑ.
පාර අයිනෙ තියෙන කානික්ක කැටවලට, පිං කැටවලට සල්ලි දාන්නෙත් නෑ. රාහුකාලෙ බලන්නෙත් නෑ. ආසිරි පැන් ඉහ ගන්නෙත් නෑ. පිරිත් නූල් ගැටගහන්නෙත් නෑ. සුර, බොරලික්කං එල්ල ගන්නෙත් නෑ. පන්සල්, පල්ලි දැක්කම ආසනෙන් නැගිටින්නෙත් නෑ.

මේ ටික ලිව්වෙ ඒවා විශ්වාස කරන අය විවේචනය කරන්න, හෙලා දකින්න නොවේ.

ඉහතින් සඳහන් කළ මගේ මිතුරා තවත් මිතුරියකගේ උපදෙස් මත වෙනත් මිතුරෙකු වෙනුවෙන් ඒ ගමන යනව කිව්වම හිතුණේ මිනිස්සු ගිලෙන්න ගියාම වැල්පොටවල් වල වුණත් එල්ලෙනවා නේද කියලයි.


Monday 8 January 2024

දිල්හානි රෙද්ද උස්සන ජවනිකාව

 

 


මා සහය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ අශෝක හඳගම ගේ "මේ මගේ සඳයි" චිත්‍රපටය රූගත කිරීමේදී ලද අත්දැකීම් අනුසාරයෙන් චිත්‍රපටය රූගත කිරීමේ පසුබිමේ සැගවුණ රසවත් කතා විටින් විට කතා කෝච්චියෙන් ඉදිරිපත් කළා. ඒ කතා පෙළේ අවසන් කතාව......

 අද කතාවට පාදක වන්නේ දිල්හානි ඒකනායක ගේ රඟපෑම් ඇසුරින් ලද රසවත් අත්දැකීම්...

චිත්‍රපටය ආරම්භයේ දිල්හානි සාය උස්සා සෙබළෙකුට ස්ත්‍රී නිමිත්ත පෙන්වන්නේ මරණයෙන් බේරීමට. ඒ දර්ශනය රූගත කිරීම වෙනස් අත්දැකීමක්.

පසු අවස්ථාවක දිල්හානි බිම පෙරලා ගෙන සංසර්ගයේ යෙදෙන දර්ශනය රූගත කිරීමත් වෙනස්ම අත්දැකීමක්. 

මේ අත්දැකීම් මෙවර කතා කෝච්චියේ පෙල ගස්වා තියෙනවා. 

 දිල්හානි රෙද්ද උස්සන ජවනිකාව