Friday, 12 June 2015

මැලේසියාවේදි සෙට් එක බේරන් ආ වගයි


ලාත් මැලේසියාවෙ සයිබර්ජයා හි විශ්වවිද්‍යාලයක ත්‍රිමාන සජීවීකරණය හා දෘෂ්‍ය ප්‍රයෝග පිළිබඳ විශේෂ උපාධියක් හදාරන්න යවන්න හිත හදාගත්තෙ අමාරුවෙන්.

අමාරුවෙන් හිත හදාගත්ත කියන්නෙ හේතු දෙකක් මත.

ඒ වන විටත් ඔහුගෙ වයස අවුරුදු 19 යි. ඒත් පියෙකුට අවුරුදු 19 ක පුතෙක් දැනෙන්නෙ පොඩි ළමයෙක් විදිහට.

අනෙක් කාරණේ එයා මගේ ජීවිතය බවට පත් වී තිබීම. තවමත් ඒ හැඟීමෙ වෙනසක් නැහැ.

ලංකාවෙ අධ්‍යාපන ක්‍රමය තුළ ඔහුගේ සහජ දක්ෂතා මෙන්ම හැකියාවන් ක්‍රමවත්ව අධ්‍යාපනික ශික්ෂණයකට අනුගත කරගන්න ඉඩක් නැති බව අපි කල් ඇතිවම තේරුම් ගත්ත.

ලංකාවෙ විශ්වවිද්‍යාල කිහිපයක ඉගෙන ගැනීමෙන් පමණක් නොව සේවය කිරීමෙන්ද පවතින ගිරාපෝතක, ඇටුවම් බැසූ අධ්‍යාපන රටාව ගැන මම හොඳින් තේරුම් අරගෙනයි හිටියෙ.

ඒ නිසාම සාමාන්‍ය පෙළ විභාගය අවසානයේ පාසල් අධ්‍යාපනය හමාර කරන්න කලාත් එකඟ වුණා. විදෙස්  විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න අවශ්‍ය සුදුසුකම වන Foundation Course එක කිරීම සඳහා.

නමුත් උසස් පෙළ නොකළොත් සමාජ පිළිගැනීමක් නැති වෙන බවටත්, යම් දිනෙක ලංකාවේ රැකියාවක් කරන විට වැඩිම අධ්‍යාපන සුදුසුකම ලෙස උසස් පෙළ අවශ්‍ය වේය යන භීතිකාවත් හේතුවෙන් තෝරාගත් විෂයයන් පෞද්ගලිකව හදාරා ඔහු උසස් පෙළ විභාගයට පෞද්ගලික අපේක්ෂකයෙකු ලෙස පෙනී සිටියා. 

ඒක සම්මත රටාව එක්ක බැලුවම රැඩිකල් තීරණයක්. උසස් පෙළ සඳහා පාසල් යන්නෙ නැතිව ඉදිරියට යාමක් ගැන හිතන්න වැඩි දෙනෙක් බය වුණ කාලෙක තමයි මේ තීරණයට එළැඹුණේ.

දැන් නම් ඉතිං සාමාන්‍ය පෙළ ලියල උසස් පෙළ අතහැරල Fondation Course එකකින් පස්සෙ විදෙස් උපාධියක් හැදෑරීම ගැන විචිකිච්චාව අඩුයිනෙ.

ඒත් මම කලාත්ගෙ දක්ෂතාවත්, කැපවීමත් ගැන විශ්වාසය ලංසුවට තියන්න තීරණය කළා.

මගේ චිත්‍රපට පිස්සුව ඔහුටත් වැළඳී තිබීම මා ඊට ධෛර්යමත් කළා. වෙන දෙමාපියන් දරුවන්ට බාළ වියේදී චිත්‍රපට නැරඹීමටත්, පරිගනක ක්‍රීඩා කිරීමටත් තහනම් නියෝග පනවද්දි මා එසේ නොකිරීමෙන් මේ ක්ෂේත්‍රය පිළිබඳ තමන්ගේ පිස්සුව වැඩි වූ බව පසු කලෙක ඔහු සඳහන් කළේ ගෞරවයක් විලසින්.

අද ඔහු තමන් ප්‍රගුණ කළ විෂයය ක්ෂේත්‍රයේ සුවිශේෂ දස්කම් දක්වද්දි මට ඇති වෙන සතුට, අභිමානය මෙන්ම ආත්ම තෘප්තිය ගැන ලියන්න වචන මදි.

ඔහු මැලේසියාවෙ විශ්වවිද්‍යාල නේවාසිකාගාරයේ නතර කොට මා ආපසු පැමිණියේ දින කිහිපයක් එකට ගත කිරීමෙන් පසුවයි.

ඒ වෙන්වීමේ මොහොත වැනි මගේ ජීවිතයේ වෙන්වීම පිළිබඳ කම්පනයක් ඇති වූ අවස්ථාවක් ඇත්තේම නැහැ.

ඒ දවස් කිහිපයේදී ඔහුට රටතොට හුරුකරමින් සංචාරයේ යෙදෙන්න මටත් අවකාශ උදා වුණා.

ඔහු සිටි නේවාසිකාගාර නිවාසය තුන් දෙනෙකුට වෙන් වුණා. අනෙක් දෙදෙනා වුණේ යේමන් ජාතික තරුණයෙක්, සහ නයිජීරියානුවෙක්.

දවස් 10 පමණ මේ නිවාසයේ ආලින්දයේ පුටු සැටිය වාස භවනය කොට ගැනීම ගැන ඔවුන් එරෙහි නොවීම මට පහසුවක් වුණා.

හැබැයි මේ යේමන් තරුණයා කෙටි කලක් ඇතුළත වෙනත් කාමරයක් සොයා ගෙන නික්ම ගියා.

මුසල්මානුවෙකු වන මේ යේමන් තරුණයා දැඩි ආගම්වාදියෙක්. දවසට කිහිප වතාවක් බිම පෙරළී ආගම යදින්නෙක්.

අතර මගකදී ගැහැනු ළමයෙකු මුහුණට මුහුණ හමුවුවොත් වහාම බිම බලා ගන්නට ඔහු පෙළඹෙන බව කලාත් මා සමග පැවසුවේ සදය උපහාසයෙන්.

ඒකට හේතුව සිතේ පව් පිරෙන්නට ඉඩ නොතැබීමලු.

අපේ සමාජයේ අත්දැකීම නම් ගැහැනු ළමයා බිම බලා ගැනීමයි නොවැ.

වරක් මේ තරුණයා විමසා තිබෙනවා කලාත් අදහන ආගම කුමක්දැයි කියා. තමන් ආගමක් අදහන්නේ නැති බවත්, කිසිදා අදහා නොමැති බවත් පැවසූ විට යේමන් තරුණයා පුතා දෙස බලා ඇත්තේ භයානක සතෙකු දෙස බලන ලීලාවෙන්.


පුංචි සන්දියේ පාසලේදී ළමුන් යක්කු ගැන කතා කියද්දී කලාත් විමසනවාලු යක්කු කියන්නේ මොක්කුද කියා.

බාළ වියේ සිටම යක්කු සහ දේවදූතයන් ගැනත්, අපාය හා ස්වර්ගය ගැනත් සංකල්ප පට්ට පල් බොරු බව මම ඔහුට කියා දී තිබුණා.

ඒ නිසා ඔහුට කවරදාකවත් යක්කුන්ට බයවෙන්න හේතුවක් තිබුණේ නැහැ.

අපේ මහගෙදරට පිටුපසින් අපේ වත්ත යා වෙන්නේ කනත්තකට බැවින් අපට යක්කු ඉන්නවා නම් දකින්නට හොඳට අවකාශ තිබුණා.

ඒ කනත්ත පැත්තේ එක යකෙක් වත් හිටියෙ නැහැනේ.

දැන් කියන්න ආ නොකී කතාවට බහිමු.

මා නිරන්තරයෙන් මැලේසියාවට ආව ගියා. හරියට නුවර කොළඹ යන්නා වගේ. ගුවන් ගමනට වෙලාවත් පැය පහක් විතරනෙ.


Air Asia නමින් වූ අඩු මිල ගුවන් සේවයක් දිනපතා මැලේසියාව බලා පිටත් වීම හරිම පහසුවක් වුණා. විශේෂ දීමනා කාලෙට ටිකට්පත් මිලදී ගත්තම ගමන් වාර දෙකටම ගෙවන්න වුණේ රු. 10,000 ටත් වඩා අඩු මුදලක්.

කලාත් දකින්න ගිය වාර වලදී අපි ක්වාලාලම්පුර් වලට අමතරව Batu Caves, Malakka, පුත්‍රජයා වැනි පෙදෙස් නරඹන්නට ගියා.

මලාකා කියන්නෙ ඓතිහාසික නගරයක් ලෙස සංචාරකයින් ආකර්ශනය කර ගත්තත් ඔවුන්ට තියෙන්නේ ඉතා කෙටි ඉතිහාසයක්.

අපේ රටේ ඓතිහාසික නගර අසලටවත් ළං වෙන්න නොහැකි වුණත් ඔවුන් දන්නවා හරියට මාර්කට් කරන්න.

කලාත් අවුරුද්දකට පස්සෙ පිටත නිවසක තවත් මිතුරන් කීප දෙනෙකු සමග නවතින්න ගියේ නේවාසිකාගාරයේ ආහාර තත්ත්වය ඒකාකාරී වුණ නිසාත්  එහි නීති-රීති වලින් මිදෙන්නට අවශ්‍ය වූ නිසා විය යුතුයි.

නේවාසිකාගාරයෙන් ඉවත් වෙන්න ඔන්න මෙන්න කියා තිබියදී ඔහුට පැපොල වැළඳුණා. 

ඒ බව දැනගත් මොහොතේ මට උන් හිටි තැන් අමතක වුණා. මෙවන් රෝගයක් හැදුණ විට කාමරයෙන් පිටතට යන්න බැහැ වගේම කෙනෙකුගෙන් උදව්වක් ඉල්ලන්නත් බැහැ. ඔහු ආහාර සපයා ගන්නේ කෙලෙසකදැයි මා කම්පාවට පත් වුණා. නයිජීරියානුවත්, ඔහුගේ ළබැඳි මැලේසියානු සගයෙකුත් ආහාර දොර ලඟට ගෙනැවිත් දී යන බව පැවසුවත් එය දිගටම බලාපොරොත්තු වෙන එක වැරැදි බව අපි තීරණය කළා.

තාත්තට එන්න පුළුවනි නම් හොඳයි. ලේසියෙන් එවන් ඉල්ලීම් නොකරන පුතා එසේ කිව්වේ පත් වී ඇති අසරණකම නිසාම බව මා තේරුම් ගත්තා.

වහාම මැලේසියාව බලා පිටත් වන්නට මා තීරණය කළේ ඒ නිසයි.

සාමාන්‍යයෙන් වීසා නිකුත් කරන්නට දින තුනක් ගන්නා තානාපති කාර්යාලය මගේ දුක්ගැනවිල්ල අසා එක් දිනකින් වීසා නිකුත් කළා.

කෙසේ හෝ සිව්වන දිනයේ උදේ පාන්දරින් මා ගුවන්ගත වුණා.

ඊට කලින් දා මට යන්නට නොහැකි වුණේ මට එරෙහිව අලුත්කඩේ උසාවියේ තිබූ නඩුවකට පෙනී සිටින්නට සිදු වී තිබූ නිසයි.

ඒ ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුව ක්‍රෙඩිට් කාඩ් පතක් සම්බන්ධව මට එරෙහිව පවරා තිබූ නඩුවක් සමතයකට පත් වන දිනය නිසා මා උසාවියට ඉදිරිපත් විය යුතුම වුණා. (අමෙරිකාවේ තරු පහේ හෝටලයක කාමරයකදී සිදුවූ අකරතැබ්බකට බලහත්කාරයෙන් ඔවුන් අය කරගෙන තිබූ මුදලක් මා නොගෙවා සිටීම නිසයි මේ අසාධාරණ නඩුව පවරා තිබුණේ - මේ ගැන වෙනම නොකී කතාවක් ලියැවෙනු ඇති.) 

මගේ සිහිය කොතරම් අවුල් වී තිබුණාද යත් නඩුව හමාර වී පිටතට පැමිණීමට ෂෝර්ට් කට් සොයන්න ගොස් වවුලන් හෙළුෑ දියාරු වසුරු පාත්තියක පය ලෙස්සා ගොස් ඇද වැටී මුළු සිරුරම පුරා බිත්තර සාරු වැනි වසුරු තවර ගත්තා.

මා නීතිඥයින්ගේ ඇඳුම් මාරු කරන කාමරයට කැඳවාගෙන ගොස් කමිසය සෝදා ගන්නට අවසර දුන්නේ කවුරුන්දැයි අද වන තුරු මා දන්නේ නැහැ.


වවුල් වසුරු ගඳ ගසන සේදූ එහෙත් ‍නොවේලුණ කමිසය හැඳ ගෙන ත්‍රීවීලරයකින් ගොස් පිටකොටුව බෝ ගස අසලින් ටී ෂර්ට් එකක් මිලදී ගෙන ඇඳ ගත්තා. මහත්තය මොකක්ද මේ ගඳ කියා ත්‍රීවීලර්කාරයා ඇහුවා නම් මතකයි.

මැලේසියාවේ ක්වාලාලම්පූර් ගුවන්තොටුපළ ඇතුළතම කෙළවරක අධිවේගී විදුලි දුම්රිය ආරම්භ වෙනවා. ගුවන් තොටුපොළ අද්දරින්ම බස් සේවා ආරම්භ වුණත් දුම්රිය ගමන ඉක්මන්. ගුවන් තොටුපොළ ක්වාලාලම්පූර් ලෙස නම් කළාට එය පිහිටා තිබෙන්නේ අගනගරයෙන් ගොඩාක් ඈතින්. හරියට කොළඹ ගුවන් තොටුපොළ කටුනායක පිහිටා තියෙන්න වගේ.

ක්වාලාලම්පූර් අග නගරය බලා දිවෙන මේ දුම්රියෙන් ගොස් පුත්‍රජයා දුම්රියපොළෙන් බහින්න වග බලාගන්න ඕනෙ. දුම්රිය නවත්තන්නෙ තත්පර කිහිපයයි. කිසිදු වෙනසක් නැතිව නියමිත මිනිත්තුවේදි වේදිකාවට ළඟා වෙන දුම්රිය එම මිනිත්තුව ඇතුළතම පිටත් වෙනවා.

එතැනින් ටැක්සියකින් යන එකයි ඉක්මන්. නැත්නම් බස් සේවයත් දුම්රිපොළෙන්ම පටන් ගන්නවා. 

ගුවන් යානයේදී මා මදක් වැඩියෙන් බියර් පානය කළේ හිතේ නොසන්සුන්තාව මග හරවා ගන්නත් එක්කයි. පුතා ළඟට ඉගිල්ලී යන්නට හැකි නම් කියා සිතෙන තරම් නොඉවසිල්ලකිනුයි මා උන්නේ.

මේ ලියන මොහොතේ වුවත් එදා දැනුණ කම්පනය හිතට නැගෙනවා.
 
පුත්‍රජයා දුම්රියපොළෙන් බහින මොහොත වන විට මා ඉවසාගත නොහැකි මුත්‍රා බරකින් සිටියා. දුම්රියේ දී ඊට පහසුකම් නැහැ.

මා ඉතා වේගයෙන් බරැති ගමන් මල්ලත් ඇද ගෙන ඉහළ මාලයේ තැන තැන ඇවිද්දේ වැසිකිළි පෙළ සොයා ගන්නටයි.

වැසිකිළි තියෙන ඉසව්ව මට මතක තිබුණත් මා එහි ගොස් තිබුණේ නැහැ.
මගේ සිතුවිලි පිරී තිබුණේ හැකි ඉක්මනින් පුතා දකින උවමනාවෙන් සහ මුත්‍රා බර සැහැල්ලු කරගැනීමේ උවමනාවෙන්. 

ඈතින් වැසිකිළි සංඥා පුවරුවක් දැකීමෙන් මා ප්‍රීතිප්‍රමෝදයට පත් වුණා.
ගමන් බෑගයත් ඇද ගෙනම මා එහි ඇතුළු වුණා.

කොහොමත් මැලේසියාවේ වැසිකිළි ඉතාමත්ම පිරිසිදුයි. බාහෝ දියුණු රටවල වගේම. 

ඇතුළු වන විටම කුඩා මේසයක් තබා තිබුණත් මට ඒ ගැන විමසිල්ලක් ඇති වුණේ නැහැ. එකම අරමුණ වුණේ බොක්ක පැලෙන්න එන බර හෑල්ලු කරගැනීම.

ලොකු කාමරයක කෙළවර බිත්තියේ කිරිගරුඩෙන් තැනූ කාණුවක් තිබුණා. එහි බිත්තියේ වතුර ටැප් සවිකොට තිබීමෙන් මට හැඟී ගියේ Urinals සවිකොට නැති නිසා මුත්‍රා බර හෑලු්ලු කොටගැනීමෙන් පසු බිම සෝදා හැරිමේ පහසුකමක් ලෙසයි.

මම හුස්ම තද කොටගෙන මුත්‍රා විද්දා. අන්තිම බිංදුවත් පිටවුණාම නිවන් දැක්ක වගේ...

ගමන් මල්ලත් ඇදගෙන පිටතට එන විට අනෙක් පසින් වෙනත් ඇතුළු වීමේ දොරටුවක් අසළ වැසිකිළි ලාංඡන දකින්නට ලැබුණා. 

මට මා පිටතට ආ ද්වාරය දෙස ආපසු හැරී බැලුණේ ඉබේටමයි.

මා මුත්‍රා කොට තිබුණේ මුසල්මානුවන් යාඥා කිරීමට පෙර පාද දෝවනය කරගන්නා ස්ථානයටයි. මා වැසිකිළිය ලෙස රැවටී ඇතුළු වී තිබුණේ ඔවුන්ගේ යාඥා ගෘහයටයි.

මා මුත්‍රා බරෙන් හෑල්ලු වන අතරතුර කිසිවෙකු හෝ පැමිණියේ නම් සිද්ධ වෙන්න තිබුණ දේ හිතාගන්නවත් බැහැ.

අනිවාර්ය ප්‍රහාරයකට මා ලක් වෙන බව නම් නියතයි. ඊට පසු සිරගත වීම. මොන තරම් කාලයකට සිර ගත කරාවිදැයි සිතා ගන්න බැරි මැලේසියානු නීතිය ගැන මා නොදන්නා නිසයි.

අඩුම තරමින් සෙට් එක බේරගන්න ලැබෙන එකකුත් නැහැ.

මා එතැනින් වහා පළා ගියේ ආපස්ස නොබලාමයි. ටැක්සියක නැගී පිටත්ව යද්දී පමණක් නොව නේවාසිකාගාරයට ඇතුළු වන තුරුම මා ආපසු හැරී බැලුවේ නම් නැහැ.

මා දැකීමෙන් කලාත්ගේ දෙනෙතෙන් හා සිනාවෙන් මතු වූ කෘතඥතාපූර්වක බව වටහා ගනු හැර වෙනදා මෙන් දෙදෙනා බදා වැළඳගෙන සෙනෙහස හා බැඳීම ප්‍රකාශ කරන්නට අපට ඉඩක් නොලැබුණේ ඔහුගේ සිරුර පුරා පුපුරා මතු වී තිබුණ පැපොල් රෝගයේ ලක්ෂණ හේතුවෙනුයි.



10 comments:

  1. තාක්ෂණික ප්‍රශ්නයක් නිසා මෙහි තිබුණ කොමෙන්ට් ඉවත්ව ගොසින්. ඒ ගැන මගේ කණගාටුව.
    මෙතැන් පටන් කොමෙන්ට් වලට නිදහස් ඉඩක් ඇත.

    ReplyDelete
  2. Aagam sambandawa mata eththeth obe mathayamayi. Anthima siddiyanam +++

    ReplyDelete
  3. අන්තිම සිද්ධිය මතක් වෙද්දිත් ඇඟ සීතල වෙනවා.

    ReplyDelete
  4. ඔබ ආදරණීය පියෙක්.ඔබ වන් පියෙක් ලැබූ පුතා වාසනාවන්තයි.......
    නොකී කතාව අපූරුයි...භයංකාරයි.... ත්‍රාසජනකයි... වගේම හාස්‍යජනකයි.....

    ReplyDelete
  5. මෙවන් පුතෙකු ලද පියෙකුද වාසනාවන්තයි..

    ReplyDelete
    Replies
    1. අනේ බං උඹ වගේ පියෙක් ලබන්න උඹේ පුතා කොච්චර අවසනාවන්තද හැබෑටම...

      Delete
    2. අම්මද බොල....ජීවිතේට දරුවෙක් ජාතක කරල නැති පොන්නයෙකුට හරි, දරුවෙක් වදල නැති වඳ එකියෙක්ට හරි පිය පුතු බැඳීම් දැනෙන්නෙ නැහැ. ඒ නිසා එහෙම උං වලිගෙ උස්සං තප්පුලන්න ගියාම තමන්ගෙ පුක පේන්න ගන්නව.

      Delete
    3. My father is very much adorable to me. No one will understand the strength of the bond between us. He has done more than whatever he can to uplift my life by sacrificing his life and still doing same.

      Delete