අද ලියන්නෙ වේදනාබර මතකයක්. අවුරුදු 50 ට එහා අතීත මතක සටහනක්.
මා 5 ශ්‍රේණිය දක්වා ඉගෙන ගත්තෙ ගෙදර ඉඳං පාගමනින් යන්න පුළුවන් තරම් ළඟින් තිබුණු අල්ලපු ගමේ ඉස්කෝලෙට. 6 ශ්‍රේණිය ඉඳං නාත්තන්ඩියේ ධම්මිස්සරේට ඇතුළු කළා.
අපේ තාත්තත් ගුරුවරයෙක් වූ නිසා පාසලට දාගන්න අමාරු වුණේ නෑ. ඒ කාලෙ ප්‍රින්සිපල් සෝමරත්න සර්.
මාව ඉස්කෝලෙට ඇතුළත් කරන්න ඩෙස්කයක් හා පුටුවක් අරං යන්න සිද්ධ වුණා. ඉස්කෝලෙ ගේට්ටුව ගාව ඩෙස්කය හා පුටුව තියාගෙන ඉද්දි තාත්තා හඳුනන ගුරුවරයෙක් තමන්ගේ දියණිය එක්ක ඩෙස්කයක් හා පුටුවක් අරගෙන ආවා. (උස්සගෙන නොවේ. ගොන් කරත්තවලින් ගෙනාවේ.)
තාත්තලා දෙන්නා කතා බහ කරමින් ඉද්දි කෙලි පොඩිත්ති මා එක්ක උකුළු මුකුළු කළා. දෙන්නම වැටිල තිබ්බෙ 6 ඒ පංතියට. එයාගෙ නම නිමාලි ඩෙස්මා. (හැමෝම කිව්වෙ ඩෙස්මා කියල වුණාට පහු කාලෙදි මම කිව්වෙ නිමාලි කියලා.) කළු කෙල්ලෙක් වුණත් නිමාලි හරිම ආකර්ශනීයයි.
අපි දෙන්නා හරිම හිතවත් වුණා. තාත්තලගේ හිතවත්කම අපිටත් ආරෝපණය වුණා. පාසල් වෙලාවෙන් පස්සෙ අපි මුණගැහුණෙ ගෙවල් වලදි. නිමාලිව බයිසිකලේ පොල්ලෙ ඉන්දවගෙන එයාගෙ තාත්තා ඉඳහිට අපේ ගෙදර පහුකරන් යද්දි ආව ගියා. ඒ වෙලාවට මං කුල්මත් වුණා.
අපේ තාත්තා සතියකට දවස් දෙකක් හවස පළුවැල්ගාල සාරානන්ද පිරිවෙනේ උගන්නන්න ගියා. මාවත් බයිසිකලේ තියං ඒ ගියේ නිමාලිලගේ ගෙවල් ඉස්සරහින්. සමහරදාට ආපහු එද්දි තාත්තා ඒගොල්ලන්ගෙ ගෙදරට ගොඩ වෙනවා. ඒ වෙලාවට නිමාලි දොර රෙද්ද අතරින් එබී බලලා මට කොංචි කරනවා. ඔන්න මං ආයෙම කුල්මත් වෙනවා.
7 ශ්‍රේණියේ ඉද්දි අධ්‍යාපන සියවස වෙනුවෙන් පාසල් අතර සාහිත්‍ය තරඟ පැවැත් වුණා. ඉංග්‍රීසි භාෂාවෙන් කියවීම හා ලිවීම තරඟ වලට පාසල නියෝජනය කරන්න තේරුණේ අපි දෙන්නා. කාන්තා, පිරිමි අංශවලින්. අපි දෙන්නම ඉංග්‍රීසි වලට දක්ෂයි. අපි දෙන්නටම ප්‍රථම ස්ථාන ලැබුණා.
කලාප තරඟ තිබුණේ කටුනේරිය මහා විද්‍යාලයේ. ධම්මිස්සරේ ඉඳං ටිකක් ඈත. අපිව තරඟ වලට පාසලෙන් කැඳවාගෙන ගියා වගේම හවසට ඉවරවෙද්දි අපව කැඳවාගෙන යන්න වැඩිහිටියන්ට එන්න කියලා තිබුණා.
අපි දවල් කෑමට යමක් අරං ගියා.
කෑම වෙලාවෙ නිමාලි එයාගෙ සීනිසම්බල් සැන්විච් පාන් පෙත්තක් මටත් දුන්නා. ඒ සැන්විච් රහ තාම දැනෙනවා වගේම අදටත් සීනිසම්බල් සැන්විච් කන්න මං හරිම ආසයි. ඒත් එදා දැනුණු රහ ආයෙම දැනිල නෑ.
ඒ එක්කම මගේ හිතේ නිමාලි ගැන ප්‍රේමනීය හැඟීමක් ඇති වුණා. ඇය අයිති කරගැනීමේ, ඇය එක්ක කවදා හෝ විවාහ වීමේ සුන්දර හීන දැක්කා. හැමදාම පන්තියෙදි හමු වුණත් ඇයට ආදරය ප්‍රකාශ කරන්න ශක්තියක් මට තිබුණේ නෑ. තාත්තලා යහළුවන් නිසා මං බය වුණා.
හැබැයි නිමාලි දැක්කම මගේ ඇඹරිල්ල වැඩි වෙන්නැති. මං එහෙම හිතන්නෙ අපේ අම්මටත් අපි දෙන්නගේ කොමල උකුළු මුකුළු ඉව වැටිලා තිබුණු බව පහු කාලෙක දැනගත්තමයි.
දවසක් මගේ සමීපතම ඥාති සොහොයුරියක් මගෙන් මෙහෙම ඇහුවා. " මල්ලි ඩෙස්මා එක්ක යාළු වෙලා උන්න නේද?"
"අනේ නෑ අක්කෙ. අපි හොඳ යාළුවො.."
"නැත්තෙ මොකෝ..මට ඒ දවස්වල ඔයාලගෙ අම්ම කිව්ව ලොකු ළමය ඩෙස්ම එක්ක යාළුයි වගේ. පොඩ්ඩක් හොයලා බලන්න කියලා.."
කාලය ගලා ගියේ අපේ ජීවිතවල බොහෝ වෙනස්කම් සිදු කරමින්. උසස් පෙළ කරන්න ජෝශප් වාස් කොලීජියට යාමත් එක්ක අපි අපේ දර්ශන පථයෙන් ඈත් වුණා. ඊට පස්සෙ කලාතුරකින් මගතොටදි අපි මුණගැහුණා. එපමණයි. අපේ ජීවිතවලට වෙනත් අය ළං වුණා. සම්බන්ධ වුණා.
අද නිමාලි අවසන් ගමන් යනවා. අවමඟුල වෙන්නප්පුවේ. අවුරුදු කීපයක් ඈ බ්‍රෙස්ට් කැන්සර් එකකින් පීඩා වින්දා. මං ඉන්නෙ කොළඹ. ඒ වගේම මට අද දුරගමන් යන්න බෑ. දුර්වල සෞඛ්‍ය තත්ත්වයකින් පෙළෙන නිසා හා ඊට ප්‍රතිකාර ලබන නිසා. අද හවස ගිහිං හෙට ආපහු එන්න අමාරුයි.
ඈ කලින් ගියා. යන්න වුණාම කාටත් යන්න වෙනවා. හැබැයි අර සැන්විච් රස හැමදාම දැනේවි.
(මගේ "විල්ලරවාඩිය" නවකතාවේ මා ආදරය කළ "නිමාලි" කෙනෙක් ඉන්නවා.)