අම්මා අපෙන් සමුගෙන ගිහිං අදට වසර දෙකක්.
මා නොකීකතා බ්ලොග් සටහන් ආරම්භ කළෙත් ඇය පිළිබඳ මතකය අවදි කරමින්. ඒක නිරායාසයෙන් ලියවුණ ලියවිල්ලක්.
ඒත් අද ලියන්නෙ එදා තරම් නිදහසේ නෙවෙයි. අද මට අම්ම නැති අඩුව වැඩියෙන් දැනෙන දවසක් නිසා වෙන්න ඇති.
පවුලෙ උදවිය දාන මාන දීල අම්ම වෙනුවෙන් පිං පමුණුවන අද දවසෙ ඊට සහභාගි වෙන්නව නොහැකි වීමේ ආත්මානුකම්පාවකුත් දැනෙනව.
එක අතකට මැරෙන මොහොෙතෙ ළඟ ඉන්න නොලැබුණ එකේ මේක මොකක්ද ?
අම්මට තිබුණෙ ලස්සන හිනාවක්. ඒක හරියට ඉනාවක් වගේ.
සමහර වෙලාවට අම්ම කරන වැඩ වලට තරහ ඇවිත් බැන්නමත් හිනා වුණේ එහෙමම තමයි.
මිය යන්න සතියකට කලිං අම්ම අසාධ්‍ය තත්ත්වෙන් උන්න නිසා බලන්න ගිහිං, ඇය යළි සුව අතට හැරුණාට පසු සමුගෙන එද්දි ගේ දොරකඩ හිටගෙන මා දිහාව බලා උන්නෙත් ඒ හිනාවෙන්ම තමයි.
මේ ගැන මතකය අවදි වෙද්දි මෙහෙම පද වැලක් කුරුටු ගෑවුණා....
ආදරෙයි මම නුඹට......!
කාලයට විහඟ තටු ඇවිත්
දෙවසරක් ගත වුණා සැබැයි
හරියටම අද වාගෙ දවසකදි
හීනයක් සේ ඇසුණා තමයි
යන්න ගියා යැයි නුඹ
ආයෙමත් නොඑන්නට....
පපු කුහරයේ සිරව
ගල් ගැසුණු සුසුම් පොද
අනන්ත වූ වා ගැබට
මුදා හළ මොහොතේදි
සත්තකයි දැනුණෙ මට
ආදරේදැයි කියා
කොයි තරම් මා නුඹට....
නිසල වූ නුඹෙ සිරුර
උඩු බැලිව තියෙන්නැති
මළගමට මා එද්දි
නුඹ එසේ නිදන්නැති
පස් මිටක් අතින් ගෙන
නුඹෙ සිරුර වසන්නැති
හිස්ම හිස් හැඟුමකින්
නුඹට සමු දෙන්න ඇති.....
ඒත් අද මට මතක
ටික දවසකට කලින්
නුඹ දකින්නට ඇවිත්
මා නික්ම ගිය මොහොත
මද දුරක් පා නගා
හැරී බලනා විටදි
දොරකඩට වාරු වී
බලා සිටි නුඹෙ බැල්ම
මට මතක එපමණය......
මියෙන තෙක් මම සොයමි
සිහිනයෙන්වත් පතමි
සිනාවක් නගා ගෙන
බලා සිටි නුඹෙ මුහුණ......
(2015 උඳුවප් මහේ 13 දා )
අම්ම ගැන මතකය එක්ක අවදි වෙන මතක අතීතයෙන් බිඳක් සටහන් කරන්නට සිතුණා.
පුංචි සන්දියෙ මම කළුවරට මාර බයයි. මහ රෑ කුප්පි ලාම්පුව නිවුණොත් මම නින්දෙන් අවදි වෙලා මර හඬ දීල කෑ ගහනව. ඒ වෙලාවට තාත්ත සැරවැර වුණත් අම්ම කළේ මාව ඇගෙ තුරුළට ගන්න එක.
අපේ මහ ගෙදර තියෙන්නෙ සාන්ත අන්තෝනි පල්ලියට යාබදව.
ඒකට හේතුව පල්ලියට ඉඩම පරිත්‍යාග කරල තියෙන්නෙ මගෙ සීය වීම.
අපි ඒ දවස් වල දවසෙන් වැඩි හරියක් ගත කළේ පල්ලිය වත්තෙ. ආගම දහමට ලැදි නිසාම නෙවෙයි. කොලු නඩය එකතු වුණේ එතෙන්ට නිසා.
හවසට එල්ලෙ ගහද්දි තේ වෙලාවට අම්ම තේ බොන්න එන්න කතා කරනව වත්ත මැදට ඇවිත්. එන්නං කියල කිව්වට සෙල්ලම අස්සෙ අමතක වෙනව. අම්ම ටිකක් බලල තේ එක අරං වැට ළඟට එනව. කොල්ලෝ හිනා වෙනව.
මල්ලිලත් උන්නොත් ජෝගුවකටම හදන් එනව. ලැජ්ජාවෙ බෑ. ඒ හංද අම්ම කතා කළ ගමන් අපි දුවල ගිහිං තේ බීල එනව. එතකල් සෙල්ලම නවතිනව.
එක වතාවක් අමතක නොවෙන්න අම්මගෙන් පේර කෝටුවක් කැඩෙන කං පාර කෑවෙත් ඔය පල්ලියෙ ඉඳං කරපු කඩප්පුලි වැඩක් නිසා. මං හිතන්නෙ අම්ම මට එහෙම දඬුවම් කළ එකම දවස එදා තමයි.
ඒ පාසල් නිවාඩු කාලයේ මා දවසේ වැඩි කාලයක් ගත කළේ මට වඩා වැඩිමහලු මගේ ඥාති සොහොයුරෙකු සමගයි. කැටපෝල හදා ගෙන කුරුල්ලන්ට විදින්නටද, උණ බට තුවක්කු හදා ගෙන කිරිල්ල ගෙඩි වලින් අනෙකුන්ට ප්‍රහාර එල්ල කරන්නටද මා පුරුදු වූයේ එකලයි.
දවසක් මගේ ඥාති සොහොයුරා මට අපූරු යෝජනාවක් ගෙනාව.
"උපාලිය ඕනෑවට වැඩියි. මල්ලි ඔයාට කවි ලියන්න පුළුවනිනෙ. ඔයාගෙ අකුරුත් හොඳයිනෙ. අපි ඕකට හොඳ වස් කවියක් ලියමු."
"කොහෙද ලියන්නෙ?" මං පැනල දුන්නෙ වැඩේ ත්‍රිල් නිසයි.
"අපි පල්ලියෙ සිමෙන්ති බිමේ ලියමු. එතකොට එන හැමෝටම පේනවනෙ"
මට අද කවිය මතක නැහැ. ඒත් එවන් අපහාසාත්මක කවියක් මා කවරදාවත් ලියා නැති බව නං ටක්කෙටම කියත හැකි.
මෙය ලිව්වේ බොරළු කැටයකින්. සිමෙන්ති පොළොවෙි එය පැහැදිලිව සටහන් වී තිබුණා.
මෙය දුටු උපාලිගේ මව කෙලින්ම අපේ ගෙදර ආවෙ "සර් කෝ" කියල අහගෙන. තාත්ත ගෙදර උන්නෙ නෑ. හිටියනම් කොහොම හිටීද....
පල්ලියට ගිහිං කවිය කියවල ආව අම්ම මාව කනෙං අල්ලං ගිහිං ඒක මැකෙව්වෙ පේර කෝටු පාර දෙමින්. මැකුවට පස්සෙත් අායෙ මෙහෙම අසමජ්ජාති වැඩ කරනවද...කරනවද කිය කියා අහමින් පේර කෝටුව කුඩු වෙනකල් ගැහුව.
මගේ පස්ස පැත්ත වයිරං වැටුණ. පොක්කලං වගේ ඉදිමිලා ආව. අම්ම අඬ අඬ තෙල් ගාල තැව්ව.
හැබැයි එදා ඒ දඬුවම දුන්නැයින් තමයි අද මම මෙතන ඉන්නෙ. නැත්තං අර ඥාති සොහොයුරා වගේ මාත් ගරාජ් එකක වැඩ කරයි.
මා දකින අම්මගේ සුවිශේෂ ගුණයක් වුණේ අප්‍රතිහත ධෛර්යය. පටන් ගත් දෙයක් ලේසියෙන් අත හරින්නෙ නැති එක.
අම්මගෙ පවුලෙ දරුවො නම දෙනයි. අම්ම තාත්ත දෙන්නම කලකට පෙර මිය පරලොව ගිහිං. අම්මලගෙ පවුලෙ අයගෙ ආයුෂ කෙටියි. මගෙත් එහෙම වෙන්න පුළුවනි කියල ගොඩක් වෙලාවට මට හිතෙනව.
ඉතිං අම්මලගෙ තාත්ත අන්තරා වෙද්දි ඉඩකඩම් දරුවන්ට ලියල තිබුණෙ නැති නිසා ඉඩම බූදල් වුණා. කාලයක් ගත වෙද්දි තැන තැන විසිරී සිටි අම්මගෙ සහෝදර සහෝදරියන්ට තමන්ගෙ අයිතිය ලබා ගන්න ඕනෙ වුණා. ඒත් බූදල් නඩුවකට යන්න කවුරුවත් ඉදිරිපත් වුණේ නැහැ.
අම්ම මේකට ඉදිරිපත් වෙද්දි අපි හිනා වුණා.
නඩු යන්නෝ...වැනසෙන්නෝ....කිය කියා.
ඔයාලට කවද හරි තේරෙයි මේ ඉඩම් වල වටිනාකම. අම්ම එහෙම කියද්දි අපේ ගම් පැත්තෙ ඉඩකඩම් එතරම් ඉහළ මිලකට තක්සේරු වුණේ නැහැ.
අපේ ඔලොක්කු කතා මැද්දෙ අම්ම තනිවම නීතිඥයින් හමු වෙන්න ගියා. නඩු දැම්ම. උසාවි ගියා. එක එක විරෝධතා නිසා නඩුව කල් ගියා. අපි ලොකු මහත් වෙලා ගමෙන් පිටතට ගියා. අම්ම දිගටම අනෙක් සහෝදර සහෝදරියන්වත් එකතු කරගෙන නඩුවලට පෙනී හිටිය.
මට මතකයි මම විවාහ වුණාටත් පස්සෙ දවසක අම්මට කිව්ව නිකං බොරුවට ලෝයර්ස්ලට සල්ලි පුදන්නෙ නැතිව පැත්තකට වෙලා ඉන්න කියල. අම්ම හිනා වෙලා කිව්ව මේක මගෙ පිය උරුමෙ. ඒක මම ලබාගන්නව. ඔයාලටම කවද හරි තේරෙයි මේවයෙ වටිනාකම කියල.
කිව්වත් වගේ ඒකෙ වටිනාකම වැඩියෙන්ම දැනුණෙ මට. තාමත් දැනෙනනෙ මට.
බූදල් නඩුව අවසන් වෙලා සහෝදරයින්ට ඉඩම් අයිති වුණා. අම්මගෙ කොටහ ලැබුණෙ මහපාර අද්දරින්. ඒක කොහොම වුණාද කියල මං දන්නෙ නැහැ. අම්ම ඉඩම මිලියන ගාණකට විකුණුව.
මගෙ පුතා මැලේසියාවෙ විශ්වවිද්‍යාලෙකට යැව්වම විටින් විට සල්ලි අවශ්‍යතා එද්දි අම්මගෙ ස්ථාවර තැන්පතුව ඇපේට තියල සල්ලි ගන්න මට පුළුවන් වීම ලොකු හයියක් වුණා.
හැබැයි අම්ම කිසිම වෙලාවක කිව්වෙ නෑ ඔයාල මට හිනා වුණා නේද නඩු කියද්දි. දැන් ඔයාලටම එ් සල්ලි ඕන වුණා නේද කියල.
අදටත් ඒ මුදල නොසොල්වා බැංකුවෙ තියෙන එක අපි කාටත් හයියක්.
අම්ම ගොඩක් කම්පා වුණේ එයාට ඕනෙ විදිහට මට දොස්තර කෙනෙකුගෙ දුවක් කරකාර බන්දවල දෙන්න බැරි වුණ එකට. ඒ එයාගෙ තේරීම.
ජීවිතේ හරි පුදුමයි.
අම්මගෙ තේරීම හරි ගියේ නෑ වාගෙම මගෙ තේරීමත් ඵල දැරුවෙ නෑ. එක වතාවක් නං බැරුවයැ. දෙවතාවක්ම....
ඒක වෙනම කියන්න ඕනෙ නොකී කතාවක්.....!
ගොඩක් සන්වේදී කතාවක් මචන්
ReplyDeleteජය වේවා!!!!
ස්තූතියි ...ඔබටත් ජයවේවා ...
Deleteසංවේදී කතාවක්. වෙලාවකට හිතෙනව මොකක්ද මේ ජීවිතේ කියල.
ReplyDeleteමට තව දෙයක් මතක් වුනා ඔබේ මහගෙදර ගැන කියද්දි.
කොළබ කුලියාපිටි පාර අයිනෙම පල්ලිය ගාව ගෙදර නේද . මම වැරදීමකින් දවසක් ඔබේ මහ ගෙදර ගියා. මට මතකයි එදා හිටියෙ තරුණ කාන්තාවක් ,කුඩා දියණියක් හා මහළු කාන්තාවක්. අවුරුදු පහලොවකට විතර ඉස්සර. ඉඩමෙන් වැඩි කොටසක් පල්ලියට වගෙ තමා පෙනුනෙ.
වැරදීමකින් කිව්වෙ මට යන්න ඕන වුනේ වෙන තැනකට. පාර කියපු කෙනාට වැරදිලා මට පෙන්නුවෙ ඔබේ ගෙදරට යන පාර. වැරදුන බව දැනගත්තත් තෙහෙට්ටුව නිසා කයියක් ගහල ආපු ගමන නොගිහින් කෙළින්ම ගෙදර ගියා.
මේකත් නොකී කතාවක් වගේ.
Deleteඅවුරුදු පහළොවකට පස්සෙ දන්නෙ ඔබ අපේ මහගෙදරට ගිහිං තියෙන බව. අම්ම ගැන නැවත නොලීවනං ඒ කතාව නොකී කතාවක්ම වෙන්න ඉඩ තිබුණ.
කයියක් ගහල ආව කියන්නෙ ආගන්තුකයව සාදරයෙන් පිළිගන්න ඇතැයි සිතනව.
අවුරුදු 15 ට කලිං කියන්නෙ අම්මගෙ වයස 62 විතර. ඒ ඉන්න ඇත්තෙ අම්ම වෙන්න ඇති. පුංචි දුවක් නම් ලොකු මල්ලිගෙ දූ වෙන්න ඕනෙ. ජීවිතේ බොහෝ දුෂ්කර මොහොතවල් පන්න ගන්න මට ශක්තියක් වුණ ලොකු නෑණ වෙන්න ඕනෙ එතන හිටි තරුණ කාන්තාව.
බොහම සන්වේදී කාරණා මේ දේවල්.. තුවාලේ තියන මනුස්සයටයි තුවාලෙ වේදනාව දැනෙන්නෙ.... හෙන්රි අයියා... sorry for your loss....
ReplyDeleteතුවාලෙ තියෙන කෙනාට තමයි වේදනාව. ඒ වේදනාව බෙදාගන්න මනුස්සයින් ඉන්න එක හිතට හයියක් සජ්ජා....
Deleteබොහෝ විට පුතෙකු හා මවක් අතර ඇත්තේ දැඩි ළෙන්ගතු බවක්.විශේෂයෙන් ම වැඩිමහල් පිරිමි දරුවා හා මව අතර ඇත්තේ ආදරණීය වූ බැදීමක්.ඔබ හා මව අතර ඇත්තේ එතැනිනුත් ඔබ්බට ගිය ආදරයක් බවයි මෙය කියවන විට මට දැනෙන්නේ. බොහෝ සංවේදි වියමනක්. මා අදහන දහමට අනුව පතන්නම් ඇයට නිවන් සුව!
ReplyDeleteඔබේ තේරුම් ගැනීම නිවැරදියි. බොහෝ විට වැඩිමහල් පිරිමි දරුවා හා මව අතර බැඳීම වැඩියි තමයි. වැඩිමහල් දියණිය හා පියා අතරත් එහෙම බව අත්දැකීමෙන් දන්නව ඇති නේද?
Deleteස්තූතියි.
නුවර වීදි යටකරගෙන
ReplyDeleteනින්දා වැහි වැගිරුන දා
බිරිඳකගේ සෙනෙහෙ ගියා
යෝධ ඇලේ නැම්මේ
ඔබෙ සෙනෙහස සුවඳ දිදී
දැනුනා මට අම්මේ...
හදවතේ දෝංකාර දෙන ගීතයක්.
Delete//එදා ඒ දඬුවම දුන්නැයින් තමයි අද මම මෙතන ඉන්නෙ. නැත්තං අර ඥාති සොහොයුරා වගේ මාත් ගරාජ් එකක වැඩ කරයි.// මටත් ඔය වගේම මතකයක් තමයි මම මුලින්ම බ්ලොග් එකේ ලියුවේ..
ReplyDeletehttp://kalahitha.blogspot.com/2014/08/blog-post.html
ජිවිතේ කලබලත් එක්ක මේ දවස් වල මටත් අම්ම සැහෙන්න 'මිස්' වෙනවා.. හැබැයි පවුලේ බඩපිස්සා විදිහට අම්මයි මායි අතරේ හොඳ සම්භන්දයක් තාමත් තියෙනවා.. මගේ එකම ප්‍රාර්ථනය 'පස්සේ කණගාටු නොවී ඉන්න' වැඩකරන එක.. සංවේදී සටහනක්.. ඔබේ මවට 'සුභ ගමන්'!!!
ගොඩක් අයගෙ අත්දැකීම් එක වගේ.
Deleteඅම්මලාට දුර පේනවා අපිට වඩා හොඳට.
ReplyDeleteඅපිට පෙනෙද්දි පෙරහැර ගිහිං
Deleteසංවේදී සටහනක්,....මගේ පියා මියගොස් ලබන ජනවාරි මසට වසර දෙකකි, අම්මා මහගෙදරය, මම අරාබියේය, ජිවිතේ හැටි...
ReplyDeleteජීවිතේ පුදුමාකාරයි. විටෙක ළං කරනවා වගේම විටෙක ඈතට තල්ලු කරනවා. ඒත් අපි ජීවිතේට මුහුණ දෙනවා.
Deleteබොහොම ආදරනීය සහ සංවේදී සටහනක්.
ReplyDeleteපහුගිය දාක මාත් විනාඩි විස්සක් විතර අම්ම එක්ක කතාකර කර ආව ට්‍රැෆික් ස්ට්‍රෙස් එක යන්න. ඇත්ත්ටම අර සෑම සාර්ථක මිනිහෙක් පිටිපස්සෙ ඉන්නවය කියන ගැහැණිය අම්ම වෙන්නත් බැරිද කියල හෙන්‍රිගෙ කතාව ඇහුවම හිතුනෙ.
ලංකාවෙ ඉන්න කොට නං අම්මට කතා කරන්නෙ ඉඳ හිට. අම්මටත් ඕනෙ වෙලාවක කතා කරන්න පුළුවන් බව දන්න නිසා අවිඥානිකව ඒ යුතුකම මග හැරුණද කියලත් හිතෙනව. ඒත් ඉඩ ලැබෙන හැම වෙලාවකම අම්ම බලන්න ගියා. ඒත් රට ආවට පස්සෙ හැම සිකුරාදාම දවල් අම්ම මං කතා කරන කල් බලන් උන්න වගේම මමත් අනිවාර්යයෙන් කතා කළා.
Deleteගෙදර නඩුහබ කියන්නෙ ඒ වෙලාවට. මල්ලිලත් ඒ ගොල්ලන්ට පාලනය කර ගත නොහැකි වුණ අම්ම පිළිබඳ නඩු මට කල් ඇතිව කියන නිසා ඒවත් විසඳන්න වුණා. අන්තිම කාලෙ මං කියන දේ විතරයි පිළිගත්තෙ. නැත්තං එයාට ඕනෙ විදිහට තමයි වැඩ.
එක ලෙඩේකට දොස්තරල තුන් දෙනෙකුගෙන් බේත් අරං තිබුණ කිව්වම.
හරිම සංවේදී කතාවක් හෙන්රි මහත්මයා
ReplyDeleteඇත්තටම මව් පියන් ගේ අගය දැනෙන්නේ ඔවුන් අපෙන් වෙන් වී ගිය පසුයි. ඉන්නකොට සැබෑ වටිනාකම පෙනෙන්නේ නැහැ.
මා සියලු පාඨකයන්ගෙන් ඉල්ලාසිටින්නේ ඔබේ මවුපියන් ජීවත්වසිටින්නේනම් ඔවුන් වෙනුවෙන් හැකි සෑමවිටකම කැපවෙමින් ඔවුන්ට උපරිමයෙන් සලකන්න. ඔවුන් හැකි සෑමවිටකම සතුටින් තබන්න. නැතිනම් ඔවුන් ඔබ හැරගිය පසු දැඩි ලෙස පසු තැවීමට වන බව සිකුරුයි.
ඇත්තෙන්ම ඔව්....එකඟයි.
Delete//මට අද කවිය මතක නැහැ.// කවියෙකුගේ කළල අවදිය. අපරාදෙ මතක නැත්තේ.
ReplyDelete//දොස්තර කෙනෙකුගෙ දුවක්// මේක ටිකක් වෙනස් කැමැත්තක්. ගොඩක් වෙලාවට හොයන දොස්තර දුවක් වෙනුවට දොස්තර කෙනෙකුගෙ දුවක්.
නැහැ...කවුරු හරි දොස්තරකෙනෙකුගෙ නොවෙයි. දන්න හඳුනන දොස්තරකෙනෙකුගෙ දුවක් ගැන ආ යෝජනාවක්.
Deleteඔබතුමාගේ නැසීගිය මවු තුමියට නිවන් සැප ප්‍රාර්ථනා කරනවා. අපි කාටත් කවදාක හරි සියලම අතෑරල යන්න වෙනවාමයි. ලෝක ධර්මතාවයට පිටුපාන්න අපි කාටවත් බැහැ .
ReplyDeleteඇත්ත. ස්තූතියි ප්‍රාර්ථනයට.
Delete