Powered By Blogger

Monday, 25 January 2021

මුහුදු පුහුණුවෙන් පසු යළි විසිර යාම තෙක්…

 

නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු  

නොකීකතා පෙළක්.
 

එඩිතර නෞකාවේ මාසයක පමණ මුහුදු පුහුණුවෙන් පසු නාවික හා සමුද්‍රයීය විද්‍යා පීඨයේ දෙවෙනි හා අවසන් අදියර පුහුණුව සඳහා නැව් වල හා විවිධ ආයතන වල සිටි අප සියලු දෙනාවම නැවත ත්‍රිකුණාමලයට කැඳවනු ලැබුවා.

සැපයුම් අංශයේ පුහුණු වන නිලධාරීන් යාපනයේ “එළාර” කඳවුර හා ත්‍රිකුණාමලයේ නාවික කඳවුර වෙත අනුයුක්ත කොට තිබූ අතර විධායක හා ඉංජිනේරු අංශවල පුහුණු වන නිලධාරීන් අනුයුක්ත කොට තිබුණේ නෞකා හා ප්‍රහාරක යාත්‍රා වෙතයි.

 

 අප යළිදු එක් වූයේ විසිර යාමේ පෙළපාළිය සඳහා පුහුණුව ලබන අතර තුර මාසයක කාලයක් ලැබූ ප්‍රායෝගික පුහුණුව සිද්ධාන්ත සමඟ ගලපා ගැනීමටයි. එළැඹී මාස කිහිපය අප ඉතා අවිවේකී වූවා සේම මුල් වටයට වඩා කිසියම් නිදහසක්ද භුක්ති වින්දා.

මා ඊට හේතුව ලෙස දකින්නේ අප ක්‍රමක්‍රමයෙන් නාවික හමුදා ජීවිතයට හුරු වෙමින් සිටීමයි. ඒ අනුව උසස් නිලධාරීන් ඉදිරියේ හැසිරිය යුතු ආකාරයත්, ඔවුන් හා ගනුදෙනු කළ යුතු ආකාරයත් අප ගෙවී ගිය කාලයේ ඔවුන් සමඟම හැල හැප්පිමෙන් අවබෝධ කොට ගෙන තිබුණා.

එසේම නෞකා හා ආයතන වලට අනුයුක්තව සිටීම නිසා නාවික හමුදාවේ නිලධාරීන් විශාල ප්‍රමාණයක් අපට මුණ ගැසී තිබුණා.

විද්‍යා පීඨයේ ගුරුවරුන්ගේ භූමිකාව රඟන නිලධාරීන් හා පුහුණුව ලබන නිලධාරීන් අතර වූ දුරස්ථභාවයට හාත්පසින්ම වෙනස් සමීප සබැඳියාවක්, විශේෂයෙන් නෞකා හා ප්‍රහාරක යාත්‍රා වල පුහුණුව ලබද්දී ඒවායේ නිලධාරීන් හා පුහුණු වන නිලධාරීන් අතර ඇති වුණේ නිරායාසයෙන්.

ආවේක්ෂණ කලාපයේ නෞකාවක හෝ ප්‍රහාරක යාත්‍රාවක එක දිගට දිවා රෑ දින ගණන්, සති ගණන් රැඳෙනවා යනු ජීවිතයත්, මරණයත් අතර දෝලනය වන කාලයක්, මරණ බිය කා හටත් පොදුයි. එය උසස් නිලධාරියෙකුද, පුහුණු වන නිලධාරියෙකුද කියා වෙනසක් නැති හැඟීමක්.

කොයි මොහොතේ මුහුදු කොටි ප්‍රහාරයක් ඇති වේද? කොයි මොහොතේ “floating bomb” වල නැව වැදී පුපුරා යාවිද යනාදී ලෙස අවිනිශ්චිත ගමනක තමයි යෙදෙන්න සිදුවී තිබුණේ. ඒ වන විට කුඩා බෝට්ටුවක් දෙකක් මුහුදු කොටි ප්‍රහාර වලින් දියබත් වී තිබුණා.

කෙසේ වුවත් විසිර යාමේ පෙළපාළිය දවසේ අධිකාරිලත් නිලධාරීන් ලෙස නාවික හමුදා සේවයට එක් වන තුරු ඉහළ නිලධාරීන් අපව අතේ දුරින් තබා ගැනීමට උත්සාහ කළේ පැවති සම්ප්‍රදාය අනුව බව මගේ විශ්වාසයයි.

අප සමඟ විසිර යාමට නියමිත තවත් කණ්ඩායම් දෙකක් සිටියා. එකක් කැඩෙට් බඳවා ගැනීම් යටතේ නාවික හමුදාවට එක් වී “midshipmen” ලෙස පුහුණුවෙමින් සිටි පිරිසයි. මෑත යුගයේ නාවික හමුදාපති ධූර දැරූ රියර් අද්මිරාල්වරුන් වන රණසිංහ හා සින්නයියා සිටියේ ඒ කණ්ඩායමේ. දැනට නාවික හමුදාපති ධූරයේ කටයුතු කරන රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අපට පසුව විසිර යන කණ්ඩායමට අයත් වුණා.
 

 
 
ඉතිරිය  පහත link එකෙන් ආලෝචනා  අන්තර්ජාල සඟරාවෙන් කියවන්න. 




 

Monday, 11 January 2021

ආවේක්ෂණ කලාපයේ “හොර බඩු” වල්ලම

 

නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු  

නොකීකතා පෙළක්.
 
 මැදියම් රැයේ උතුරු මුහුදේ, ආවේක්ෂණ කලාපයේ, කන්කසන්තුරේ ආසන්න මුහුදේ කුඩා බෝට්ටු විශේෂයක් වූ Cougher යාත්‍රාවකට වී උස් පහත් වෙමින් නැගෙන දිය රළ හා පොර බදමින් සීතලේ ගැහෙමින් පාවෙමින් ගත කරමින් මා ලද අත්දැකීම් යමෙකුට ජීවිත කාලයක් තුළ ලැබෙන සුවිශේෂී අත්දැකීම් බව මාගේ විශ්වාසයයි.
 Cougar යාත්‍රාවක්
 

සප්ත මහා සාගරයේ ඉතා කුඩා ආලෝක පුංජයක් සේ රේඩාර් යන්ත්‍රයෙන් අපගේ චලනය දෙස බලා සිටි “එඩිතර” නැවේ කපිතාන්වරයා විටින් විට රේඩියෝ සංඥා මගින් අප ඇමතුවේ නිරුපද්‍රිතව රාජකාරිය කරනවාදැයි දැන ගැනීමටයි.

ඊට පෙර හා පසු අවස්ථාවල මා ද පාලක මැදිරියට වී වෙනත් නිලධාරීන් මැදියම් රැයේ පැය දෙකක් එසේ මුහුදේ ආවේක්ෂණ රාජකාරි වල යෙදෙනු දැක තිබුණ නිසා එය ඉතා වගකීම් සහිත කටයුත්තක් බව දැන සිටියා.

තමා යටතේ සිටින නිලධාරීන් ප්‍රතිවාදීන්ගේ මරු කටක් වන් මුහුදු ගමන් මාර්ගයක් අසල රඳවා තැබීම නිරීක්ෂණය කිරීම මව් නෞකාවේ රැදී සිටි නැවේ අණදෙන නිලධාරී කොමාන්ඩර් රසී(z)ක්, විධායක නිලධාරී ලුතිනන් කොමාන්ඩර් ජයනාත් කොළඹගේ, ඉංජිනේරු නිලධාරී සුනිල් සාන්ත වැන්නවුන් වෙත වූ, වගකීමක් වූවා සේම තමන්ට ලැබී ඇති උපදෙස් අකුරට පිළිපදිමින් ප්‍රතිවාදියාගේ ග්‍රහණයට හසු නොවී හෝ ප්‍රතිවාදියාට පළා යන්නට ඉඩ නොදී පැවරුණු රාජකාරිය නිසි පරිදි ඉටු කිරීම කූගර් යාත්‍රාවේ සිටි ප්‍රධාන සුළු නිලධාරී, නාවික සෙබළ හා පුහුණුවන උප ලුතිනන්වරයෙකු වූ මගේ ද වගකීමක් වුණා.

අප අසලින් කිසියම් යාත්‍රාවක් ඇදී යනු නිරීක්ෂණය කරනු ලැබුවේ එවන් අවස්ථාවකයි. අපට අණ ලැබුණේ එකවරම flare එකක් දල්වා කුඩා යාත්‍රාව කවරක් දැයි නිශ්චය කරගෙන ඊට අනතුරු සංඥා කරමින් ළඟා වන ලෙසයි.

පරිසරය ඒකාලෝක කරමින් විහිදුණු ආලෝක ධාරාවෙන් අප දුටුවේ වල්ලම් යාත්‍රාවක් අප පසුකොට වේගයෙන් ඉවතට ඇදෙන්නට උත්සාහ කරන බවයි. එහි පුද්ගලයින් සිව් දෙනෙකු සිටිනු නිරීක්ෂණය කළ හැකි වුණා. ඔවුන් අත පෙනෙන්නට ආයුධ නොතිබූ නමුදු උපක්‍රමශීලී ලෙස ආයුධ සඟවා ගෙන සිටින ත්‍රස්තවාදීන්ද නැතහොත් ඉන්දියාවේ සිට contraband නොහොත් නීති විරෝධී ලෙස භාණ්ඩ ප්‍රවාහනය කරන සංවිධානාත්මක මුහුදු සොරුන් දැයි අපට එකවර නිශ්චය කර ගැනීමට හැකි වූයේ නෑ.

 

“සර්… කොයිකටත් සූදානම් ශරීරෙ කියලා ඇඟිල්ල ට්‍රිගර් එකේ තියා ගන්න. මම ෆයර් කිව්වේ නැත්නම් පුල් කරන්නෙපා. මේ හොරබඩු කියලයි මට හිතෙන්නෙ. ඒත් කොටිත් මෙහෙම යන අවස්ථා තියෙනවා.” ප්‍රධාන සුළු නිලධාරී මට උපදෙස් දුන්නා. ඇත්තටම මා මේ මෙහෙයුම සඳහා ආධුනිකයෙක් පමණයි. කොන්ට්‍රබෑන්ඩ් යන වචනය පවා මා ඉගෙන ගත්තේ මෙවන් මුහුදු මෙහෙයුම් නිසායි.

මාළු අල්ලන්නට මුහුදේ ගැවසෙන වල්ලම් දිවා කාලයේ දැක තිබුණත්, රාත්‍රී අඳුරේ පළා යන වල්ලමක් හඹා යන ප්‍රථම අත්දැකීම නිසා කිසියම් නුහුරු චකිතයක් මගේ සිත වෙළා ගත්තා.

ඉතිරිය  පහත link එකෙන් ආලෝචනා  අන්තර්ජාල සඟරාවෙන් කියවන්න.
 
 
 


Sunday, 20 December 2020

ධම්මික පැණියේ ප්‍රෝඩාකාරී භ්‍රෂ්ටයා

 




නෙත් එෆ්.එම්. "බැලුම්ගල" වැඩසටහනින් 2013 මාර්තු මාසයේ ප්‍රචාරය වූ ධනපාල කපුවාගේ පැටිකිරිය මෙන්න. 
 
 
මෙවන් තවත් වැඩසටහනක් ප්‍රචාරය වී ඇත. ඒ වැඩසටහනේ තවත් ප්‍රෝඩාකාරී සෙල්ලම් ගැන කියා ඇත. 
 
 2020 දී ධමමික නමින් මතු වූයේ මේ භ්‍රෂ්ටයාය. රට කරවන ඇත්තන් රැවටුණේ මේ කපටියාටය.
 
එපමණක් නොව මේ හාදයාට රැවටුණු අය අතර උගතුන්, වෛද්‍යවරුන් ඉංජිනේරුවන්, පරිපාලකයින් ඇතුළු විශාල පිරිසක් වේ.
මේ හඬ පටයේ ධනපාල කපුවාගේ සහ අගතියට පත් පන්සලේ හාමුදුරුවන් ඇතුළු ගම්මුන්ගේ කතා ඇතුළත්ය.
 
අද දවසේ මේ වැඩසටහන සඟවා තැබුවද කල් තබා මෙවන් හොරදෙටුවෙකු ගැන සමාජයට හෙළි කළ "නෙත්" නාළිකාවට ස්තූතියි.


 
 
 

Tuesday, 15 December 2020

මධ්‍යම රාත්‍රියේ ගැඹුරු මුහුදේ මෙහෙයුමක්

 

නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු  

නොකීකතා පෙළක්.
 
 

 

එක් දිනෙත රාත්‍රී ආහාරයෙන් පසු Ward Room එකේ සාමිචියේ යෙදෙමින් සිටි කපිතාන්වරයා “Get ready to go to the Sea” යනුවෙන් මට මුහුදට යන්නට සුදානම් වන්නැයි නියෝග කළා.

එවිට වෙලාව රාත්‍රී 10 ට පමණ වුණා. මට කිසිවක් සිතා ගත නොහැකි වුණා. කොමාන්ඩර් රසී(Z)ක් පවසා සිටියේ අප ඒ වන විට නැංගුරම් ලා සිටි උතුරු මුහුදු මාර්ගය ආශ්‍රිතව ඉන්දියාවේ සිට හොර බඩු ගෙන ඒම සේම කොටි ත්‍රස්තවාදීන් ආයුධ ප්‍රවාහනය සිදු කරන නිසා කූගර් (Cougher) බෝට්ටුවේ නැගී රෙකී (Reccy) සංචාරයක් යන ලෙසයි.

හිස සිට දෙපා දක්වා නියමිත ඇඳුමින් සැරසුණු මට T 56 රයිෆලයක්ද, වෝකි ටෝකියක්ද, බොඩි ආර්මර්ද අවි ගබඩාවෙන් නිකුත් කරනු ලැබුවා. මේ නුහුරු අත්දැකීම ලබන්නට මා පිටත් වූයේ ප්‍රධාන සුළු නිලධාරියා (Chief Petty Officer) හා තවත් නාවික සෙබළෙකු සමඟයි.

ප්‍රධාන සුළු නිලධාරියා මට උපදෙස් දුන්නේ අපට කූගර් බෝට්ටුවෙන් ගොස් ඩ්‍රිෆ්ට් (drift) වෙමින් නැතහොත් එන්ජිම නවතා පාවෙමින් සිටින්නට සිදු වන බවයි. දුම්වැටියක් හෝ දල්වන්නට අපට අවසර තිබුණේ නැහැ. ඊට හේතුව ප්‍රතිවාදියා අප සිටින බව තේරුම් ගන්නට එය හේතුවක් වීමයි.

 
 
 
 
 
 
ඉතිරිය  පහත link එකෙන් ආලෝචනා  අන්තර්ජාල සඟරාවෙන් කියවන්න.
 
 
 
 
 

Monday, 14 December 2020

වෙද්දු

 

 


පේ ගම් වල විවිධාකාර වෙද්දු සිටියෝය. සිටින්නෝය. අපේ අත්තලා, මුත්තලා, අම්මලා, තාත්තලා, නැන්දලා, මාමලා ඔය කොයි කවුරුත් එක එක වෙද්දුන්ගෙන් බෙහෙත් ගත්තෝය.

මා කුඩා අවදියේ අල්ලපු ගමේ සිටි සර්පවෙදා සර්පයින් දෂ්ඨ කිරීමට බෙහෙත් කිරීම ගැන අතිශය ප්‍රසිද්ධය. සර්පයා අල්ලාගෙන එන්නැයි කියන සර්පවෙදා, රෝගියාට සර්පයාව දත් වලින් හපා ඉස්ම බොන්නයි නියෝග කරන බව මා අසා ඇත. එසේ පොළඟෙකු හැපූ පසු ලෙඩා සුව වුවත් සර්ප විෂට ලෙඩාගේ දත් හැලුණු බව අපේ අම්මලා කියනවා මට මතකය.

ලෙඩා මළත් බඩ සුද්දයි කියනවා ඇත්තේ එවැනි සිද්ධි වලටය. ඒ කතාව ජනප්‍රවාදයේ එන්නේ කක්ක ගල් වී වෙදා ළඟට ගිය ලෙඩාට බඩ යන්නට දුන් බෙහෙත් වලින් ලෙඩා මළත් බඩ සුද්ද වන නිසාය.

සර්ප වෙද්දු, හරක් වෙද්දු, හන්දි වෙද්දු, කැඩුම් බිඳුම් වෙද්දු, සර්වාංග වෙද්දු යනාදී වශයෙන් වෙද්දු නම් බොහෝය. මව් එළදෙනගෙන් වැඩියෙන් කිරි බිව් වසු පැටවාගේ අංග ජාතයට පණුවන් ගැසූ පසු හරක් වෙදා පැමිණ කළේ වසු පැටවා බිම පෙරළාගෙන ගල්පොයියක් උඩ අංගජාතය තබා පොල්කට්ටකින් තැලීමය. එවිට කිරිපාට පණුවන් හතර අතේ විසිරුණා මට මතකය.

අපේ අම්මාට හරකෙක් ඇන ඉල ඇටයක් බිඳුනු වෙලේ තෙල් බේත් සාත්තුව කරන්නට දුර ඈත අත්තනගල්ලේ කැඩුම් බිඳුම් වෙදා සොයාගෙන ගියා මට මතකය. බිඳුනු ඇටය ඇදේට පෑස්සුන හෙයින් එය බිඳ යළිත් පාස්සන්නට සිදු වුණාද මතකය.

තාත්තා කිව්වේ ඌ නම් යකාගෙ වෙදෙක් කියාය. සමහර වෙද්දුන්ට ගම්මු කිව්වේ ඕකා හොර වෙදා කියාය. සමහරු පුරුද්දට බේත් කළ අතර සමහරු ඉවට බේත් කළහ. තවත් සමහරු මෙලෝ සංසාරෙක දෙයක් නොදැන ඔහේ හිතට එන බේත් කළහ. විටෙක ඒවායින් රෝගය සුව වූ අතර තවත් විටෙක ලෙඩ්ඩු මළහ. හැබැයි ඒ අතරම පාරම්පරිකව ලබාගත් ඥානය මත බෙහෙත් කරන වෙද්දුද සිටියහ.

සමහර වෙද්දුන්ට කිව්වේ ඕකා නම් රටේ වෙදා කියාය. රටේ වෙද්දු අතර පාරම්පරික වෙද්දු, ආයුර්වේද වෙද්දු පමණක් නොව ඩිස්පැන්සරි එකේ සිටි බටහිර බෙහෙත් කරන වෙද්දුද වූහ. ඔය ටවුමෙ ඉන්න වෙදා ඉස්පිරිතාලෙ බෙහෙත් කලවම් කරපු හාදයා කියා තාත්තා කියනවා මට මතකය. හැබැයි ඒ වෙද්දුන් ගෙන්ද මිනිස්සු බේත් ගත්හ.

ඉස්පිරිතාලෙ ඇටෙන්ඩන් කෙනෙක් ලෙස රස්සාව කළ අපේ ඥාතියෙක් දැනටත් තුවාල වලට බේත් දමන වෙදකම කරන්නේය. තුවාල මසා බෙහෙත් දමන්නේය. මිනිසුන් සොයා ගෙන එන්නේ හෙදියක වූ දියණිය නොව ඇටෙන්ඩන් වූ තාත්තාවය. පොලීසියෙන් පහර දී ඔලුව පැලුණු පසු ඉස්පිරිතාලෙට ගෙන යන්නට බැරි ලෙඩ්ඩු පවා පොලිසියේ අය අරගෙන එන්නේ මේ වෙද ඥාතියා වෙතටය.

ගමේ පොළට ගියාමත් නානාප්‍රකාර වෙද්දුය. නැත්නම් වෙදුන්ගේ නියෝජිතයෝය. එක පැත්තක තෙල් බේත්ය. තවත් පැත්තක කල්කය, චූර්ණය, අරිෂ්ඨය. ඒ අතර විවිධාකාර පැණිය. අරකට හොද පැණි ය.. මේකට හොඳ පැණි ය..කෝකටත් හොඳ පැණි ය.. කොටින්ම කියතොත් පැණි විමානයක්ය.

අපේ ගම් වැසියන් චිරාත් කාලයක සිට පුරුදුව සිටින්නේ මෙවැනි වෙද්දුන් ගෙන් බෙහෙත් ගන්නටය. විටෙක දැන දැනත් ඔවුන් යන්නේ හොර වෙද්දුන් ළඟටය. ඕකා රටේ වෙදා.. ඕකා හොර වෙදෙක්… ඕකා මිනිමරු වෙදෙක් යනාදී නම්බුනාම දෙමින් වුවද බොහෝ ගැමියන් යන්නේ ඒ වෙද්දු ලඟටමය.

ඒ අපේ රටේ ගැමියන්ගේ අනන්‍යතාවයද කියා සියාතුට සිතෙන වාර අනන්තය. මේ දවස් වල හතර අතේ බිහිවෙන පැණිකාරයින් දකින විට ද සිතෙන්නේ එසේමය. වැඩේ කියන්නේ ඒ අනන්‍යතාවය රට කරවන මහත්තැන්ලාටද බෝවී තිබීමය.

මෙතෙක් කාලයක් ඒ වෙද්දු තමන්ගේ බෙහෙත් විකුණුවේ නොනිල අන්දමින් තැන්තැන්වලය. ඒවා හට නිල රාජ්‍ය අනුග්‍රහයක් නොලැබුණු නිසා කිසියම් අකරතැබ්බක් සිදුවුවහොත් වගකීම බාර ගන්නට සිද්ධ වුණේද වෙදා හොයාගෙන ගිය ලෙඩාටමය.

වෙද්දු බෙහෙත් සොයා ගන්න එක හොඳය. ඒවා නිවැරදි ප්‍රතිකාර බවට පත්වෙනවා නම් ඊටත් වඩා හොඳය. හැබැයි එහෙම වෙන්නට පෙර, එසේ ප්‍රතිකාරවලින් සුව වෙනවාදැයි සොයා ගන්නටත් කලින් රට කරවන කවුන්සිලේ ඇත්තෝ පැණිය බීගෙන බීගෙන යන එක තරම් විකාරයක් තවත් නැත්තේය.

 

ඊටත් වඩා කොමඩියක් වන්නේ “පැණියක් බීවම මොකෝ වෙන්නේ” කියා කටහැකර ඇත්තෙක් කවුන්සිලේ ගෝරනාඩු කිරීමය. උන්නැහේ හිතනවා ඇත්තේ මොන ගූ ගොඩක් දියකර දුන්නත් පැණි රහ නම් ඒක ඇඟට හොඳ වෙන්න එපැයි කියාය.

 

සෙස්ස පස්සට…