Powered By Blogger

Thursday 29 April 2021

ආරක්ෂක වළල්ලේ ප්‍රහාරක යාත්‍රාවක මාස තුනක්

 

නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු  

නොකීකතා පෙළක්.
 
 
නාවික හමුදාවේ සන්නිවේදන කටයුතු සිදු වුණේ සංඥා පණිවිඩ මගින් බව මීට පෙර අවස්ථාවක මා සඳහන් කළා පමණක් නොව ඒ ගැන කිසියම් විග්‍රහයක්ද කළා. බොහෝ විට අප උදෑසන රාජකාරි සඳහා වාර්තා කරන විටම මේ සංඥා කියවීමට පුරුදුව සිටියා. ඒක හරියට වර්තමානයේ විද්‍යුත් තැපෑල බලන්නට හුරු වී සිටිනවාට වෙනස් වන්නේ නෑ.
 
සමහර හදිසි වැදගත්කමක් ඇති සංඥා Priority ලේබලය සහිතව නිකුත් වුණා. එහි වන ප්‍රමුඛතාව මත එවන් සංඥා ඊට අනුයුක්ත නැවියන් නිලධාරීන්ගේ අතටම ගෙනැවිත් දුන්නා.
 
එක් උදෑසනක මා අතට පත් වූ එවන් සංඥාවකින් නාවික හමුදා නිලධාරීන්ට දන්වා යවා තිබුණේ නම් කළ නුදුරු දිනක සිට මා ශ්‍රී ලංකා නාවික නෞකා "රක්ෂක" හි ඉංජිනේරු නිලධාරියා ලෙස පත්කොට ඇති බවයි.
 
සාමාන්‍යයෙන් Chinese Gunboat ලෙස හැඳින්වූ වේග ප්‍රහාරක යාත්‍රා (Fast Gun Boat- FGB) වලට වෙනම ඉංජිනේරු නිලධාරියෙකු පත් කිරීමේ සම්ප්‍රදායක් තිබුණේ නැහැ. එසේම ඉන් පසු "කොටමාරු" ලෙස හැඳින්වූ ආහාර හා ඉන්ධන ගබඩාවක් වූ නෞකාවටද මා අනුයුක්ත කළේත් විවිධ නෞකා හා බෝට්ටු පිළිබඳ මට කෙටිකාලීන අත්දැකීම් ලබා ගන්නට ඉඩ සලසනුවස් බව මා දැනගත්තේ නාවික හා සමුද්‍රයීය විද්‍යා පිඨයේ ඉංජිනේරු පාසලේ උගන්වන්නට අනුයුක්ත කළ විටයි.
 
ඒ ගැන කතා පසුවට තබා "රක්ෂක" යාත්‍රාවේ ලද අත්දැකීම් ලියා තබන්නට කැමැතියි.  
 
                Fast Gun Boat- රක්ෂක
 

ඒ වන විට “රක්ෂක” යාත්‍රාව රඳවා ඇත්තේ කවර මුහුදු ප්‍රදේශයකදැයි මා සොයා බැලුවා. ඉන් අදහස් කළේ උතුරු හෝ නැගෙනහිර මුහුදේද, නැතහොත් ත්‍රිකුණාමලයේ නාවික තටාකාංගණයේද කියා දැනගැනීමයි. මේ යාත්‍රා හා නැව් එදිනෙදා නඩත්තු කටයුතු සඳහා මෙන්ම කෙටි විවේකයන් සඳහාත් ත්‍රිකුණාමලයේ නාවික තටාකාංගණයේ රඳවා තැබීම සාමාන්‍යයෙන් සිදු වුණා. එසේම යාත්‍රාවේ අණදෙන නිලධාරියාට නිවාඩු ලබා ගැනීමටත් මේ අවස්ථාව උපකාරී වුණා.

 

“රක්ෂක” යාත්‍රාව ඒ වන විට ත්‍රිකුණාමලයේ නාවික තටාකාංගණයේ රඳවා ඇති බවත්, මා ඊට අනුයුක්ත වී දින කිහිපයකින් උතුරු ආරක්ෂක වළල්ලේ රාජකාරි සඳහා පිටත්ව යාමට නියමිත බවත් මා දැන ගත්තා. ඒ නිසා “එඩිතර” නොකාවෙන් සමුගත් මා ත්‍රිකුණාමලය බලා යන ඩෝරා යාත්‍රාවකට නැගී ඉතා කෙටි කාලයකින් එහි ළඟා වුණා.

 

සාමාන්‍යයෙන් නැවක් ත්‍රිකුණාමලය ජැටියේ නවතා ඇති විට දහවල් දවසේ නඩත්තු කටයුතු අධීක්ෂණය කිරීමෙන් අනතුරුව ඊට අනුයුක්ත නිලධාරීන් රාත්‍රිය ගත කරන්නට ගොඩබිම වූ නිලධාරි නිවස්නයට යන්නට පුරුදුව සිටියා. ඒ අනුව රාත්‍රියේ ත්‍රිකුණාමලයට ළඟා වූ මා ද D Block ලෙස හැඳින් වූ නිලධාරි නිවස්නයේ රැඳුණා.

 

“රක්ෂක” යාත්‍රායේ අණදෙන නිලධාරියා නැතහොත් C.O. (Commanding Officer) ලෙස කටයුතු කරන්නේ ලුතිනන් කොමාන්ඩර් ලක්ෂ්මන් ඉලංගකෝන් බව මා දැන සිටියා. මා “එඩිතර” නොකාවට අනුයුක්තව සිටිද්දී උතුරු මුහුදේ සංචාරය අතරතුර තෙල් හා වතුර ලබා ගැනීමට “රක්ෂක” යාත්‍රාව alongside පැමිණි විට මද විවේකයක් ගන්නට “එඩිතර” නෞකාවට නැගුණු ලුතිනන් කොමාන්ඩර් ඉලංගකෝන් මට කීපවරක් මුණ ගැසී තිබුණා.  

 

ලුතිනන් කොමාන්ඩර් ලක්ෂ්මන් ඉලංගකෝන්ද ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබා නාවික හමුදාවට ඍජු බඳවා ගැනීම් යටතේ සම්බන්ධ වූවෙකු නිසා අප අතර කිසියම් බැඳීමක් තිබුණා වියයුතු යැයි මට බොහෝ විට කල්පනා වී තියෙනවා. කැඩෙට් බඳවා ගැනීම් යටතේ නාවික හමුදාවට බැඳුණු නිලධාරීන් විටෙක අප දෙස වපැරසින් බැලුවත් ඍජු බඳවා ගැනීම් යටතේ අධිකාරිලත් නිලධාරීන් අතලොස්ස ඊට වඩා වෙනස් වුණා.

 

මා පසුදා “රක්ෂක” යාත්‍රාවේ සේවයට වාර්තා කරන විට එහි අණදෙන නිලධාරියා නිවාඩු ගොස් තිබුණා. ඒ වෙනුවට වැඩ බලමින් සිටියේ විධායක නිලධාරියා වූ ට්‍රැවිස් සිනන්යියා බවයි මගේ මතකය. ට්‍රැවිස් 2017 වසරේ ඉතා කෙටි කාලයකට නාවික හමුදාපති ලෙස පත්වී අද්මිරාල් නිලයට උස්ස වීම ලැබ විශ්‍රාම ගියා.

 

මා නිල වශයෙන් “රක්ෂක” යාත්‍රාවේ සේවයට වාර්තා කළා. එහි සේවය කරන සුළු නිලධාරීන් හා නැවියන් දැන හඳුනා ගැනීමට ඒ දවස් කීපය මහෝපකාරී වුණා. නාවික තටාකාංගණයේ ඉංජිනේරු දෙපාර්තමේන්තුව යටතේ සිදු කෙරුණු periodic maintenance කටයුතු වලට දායක වීමෙන් එම යාත්‍රාවල එන්ජින් හා වෙනත් යන්ත්‍ර පිළිබඳ අවබෝධයක් ලබා ගත්තා.

 

“රක්ෂක” යාත්‍රාවේ සේවය කළ කෙටි කාලය තුළ මා ලද සුවිශේෂී අත්දැකීමක් වන්නේ ඉංජිනේරු කටයුතු වලට අමතරව නැවක් පැදවීමටත්, තනිවම ජැටියකට alongside ගෙන යාමටත් ලද අවස්ථාවයි. ලුතිනන් කොමාන්ඩර් ඉලංගකෝන් ඒ සඳහා නිර්භයව, මා පිළිබඳ දැඩි විශ්වාසයෙන් ලබා දුන් අවස්ථාව මා අද ද සිහිපත් කරන්නේ ඉමහත් ආශ්වාදයෙන්.
 
 

 
 

2 comments:

  1. සර් රක්ෂක Fast Gun Boat- FGB එකක් වෙන්නෝනි නේ? 1 IPC, 2 CPC,3 FGB, 4 FAC(FAF4), 5 Auxiliary, 6 OPV, 7 FMV, 8 Landing craft වගේ තමයි මතක.

    ඉලංගකෝන් සර් මේක කියෙව්වොත් මතක් වෙයි :)

    ReplyDelete
    Replies
    1. හප්පේ...FGB නේනනං...ඔන්න නිවැරදි කළා.

      Delete