1966 වසරේදී තිරගත වූ සිරි ගුණසිංහ අධ්යක්ෂණය කළ “සත් සමුදුර” චිත්රපටයේ රඟපාමින් අහම්බයෙන් සිංහල සිනමාවට පිවිසි ස්වර්ණා මල්ලවාරචචි ඉන් අනතුරුව “හන්තානේ කතාව”, “නිම්වළල්ල”, “තුං මං හන්දිය”, “අහස් ගව්ව”, “මාතර ආච්චි”වැනි චිත්රපට කිහිපයක රඟපා සිංහල සිනමාවෙන් අතුරුදන් වූවාය.
ස්වර්ණා සම්මුඛ සාකච්ඡාවකදී මෙසේ කියා තිබිණ.
“ මට එහෙම ඉල්ලුමක් තිබුණේ නෑ. මාව කලින් කරපු චිත්රපට ටිකට ගත්තෙත් දැන හැඳුනුම්කම් නිසා. තුං මං හන්දියට ගත්තේ මහගම සේකර යාළුකමට. සෙනරත් යාපා හන්තානේ කතාවට ගත්තේ පත්තරේ ගිය මගේ පින්තූරයක් දැකලා. එයාට ඕනෑ වෙලා තිබුණේ කෙට්ටු නිළියක්. ධර්මසේන පතිරාජ අහස් ගව්වට මාව ගත්තෙත් අපි හොඳ යාළුවො නිසා. මාතර ආච්චි චිත්රපටයට සතිස්චන්ද්ර මාව ගත්තෙත් දවසක් අපි කට්ටිය බස් එකක ගිහින් ඇතිවෙච්ච යාළුකමට... ඇත්තටම සත් සමුදුරෙන් පසු ඉල්ලුමකින් නෙවෙයි ඒ චිත්රපට ලැබුණේ.”
එවකට සිංහල සිනමා අධ්යක්ෂවරු ඉල්ලා සිටියේ කෙට්ටු නිළියන් නොවේ. පුෂ්ටිමත් ලළනාවන්ය. ඔවුන් ප්රමුඛත්වය දුන්නේ රංගනයේ දක්ෂතාවට වඩා ඇහැට කනට පෙනෙන පෙනුමටය.
ඒ හේතුවෙන් විදෙස්ගත වූ ස්වර්ණාගේ සිංහල සිනමාවේ පළමු යුගය අවසන් විය.
1973 දී ස්වර්ණා විදේශගත වූවාය.
එංගලන්තයේත්, ඕස්ට්රේලියාවෙත් විවිධ වෘත්තීන් හී යෙදුණ ඇය ආපසු ලංකාවට පැමිණියේ 1978 දීය. ඒ ප්රධාන චරිතය නිරූපණය කළ ජෝ අබේවික්රමගෙන් ලද ඇරියුමකට අනුව “සිංහබාහු” චිත්රපටයේ රඟපෑම සඳහාය. එය ස්වර්ණාගේ රංග කලා ජීවිතයේ දෙවැනි යුගයක ඇරඹුම ලෙස සටහන් කළ හැකිය. එසේ ආරාධනා ලැබ නැවත නොපැමිණෙන්නට සිංහල සිනමාවේ විශිෂ්ටතම රංගනවේදිය අපෙන් ගිලිහෙන්නට ඉඩ තිබිණ.
එදා මෙදා තුර සිංහල සිනමාවේ ස්වභාවික ලස්සනක් ඇති සුන්දරම නිළිය ස්වර්ණා මල්ලවාරචචි බව මගේ මතයයි.
පුනරාගමනයෙන් පසු ඇය රංගනයෙන් දායක වූ චිත්රපට සංඛ්යාව ඉමහත්ය. ඉන් ඇගේ විශිෂ්ටතම රංගනයන් ඇතැයි මා දකින චිත්රපට පමණක් මෙහි ලා සඳහන් කරමි.
“හංස විලක්”, “දඩයම”, “සුද්දිලගේ කතාව”, “කැඩපතක ඡායා”, “සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා”, “මී හරකා”, “භව දුක”, “භව කර්ම”, “චන්න කින්නරී”, “අනන්ත රාත්රිය” එම චිත්රපටයි.
ඒ හැරෙන්නට ඇගේ රංග ප්රතිභාව ඉස්මතු නොවූ, අපතේ ගිය චිත්රපට මෙන්ම ඇයට රඟන්නට තරම් භූමිකාවක් නැති දියාරු චිත්රපට වලද ස්වර්ණා පෙනී සිටියාය.
හන්තානේ කතාවේ සිට හංස විලක් දක්වාත්, දඩයමේ සිට අනන්ත රාත්රිය දක්වාත් ස්වර්ණා මල්ලවාරච්චි සිය අනන්යතාව ප්රකට කළාය. අවසානයේ මේ නහින දෙහින කාලයේ "රාණි" සිනමා පටයේදී ස්වර්ණාට ස්වර්ණා මල්ලවාරච්චි අහිමි වී ඇත. අශෝක හඳගම ස්වර්ණාව නැති භංග කොට මනෝරාණි සරවනමුත්තු උපද්දා ඇත.
"රාණි" චිත්රපටයේ ස්වර්ණා නොදුටුවෙමි. මනෝරාණි දුටුවෙමි.
සමස්ථ චිත්රපටයම ඇය සිය ග්රහණයට ගත් සෙයකි.
No comments:
Post a Comment