Powered By Blogger

Saturday, 2 January 2016

බ්‍රා එකක් කළ හදියක්

බ්‍රා එකක් කළ හදියක් මතක් වුණේ ඊයෙ පෙරේදා බ්‍රා එකක් හංද වෙච්චි අලකලංචියත් එක්කයි.

විශ්වවිද්‍යාලයේ දෙවෙනි වසරෙදී නේවාසික පහසුකම් අත්හිටුවන්න පටන් ගත්තෙ අපි විශ්වවිද්‍යාලයට ගිය අලුතමයි. 

පළමු වසරෙ පේරාදෙනියෙ අක්බාර්-නෙල් ශාලාවෙ නේවාසිකව උන්න අපට දෙවන වසරෙ පිටත නවාතැන් ගන්න වෙනව කියල කලින්ම දැනුම් දීල තිබුණ.

මේ වෙද්දි ගොඩක් ජ්‍යෙෂ්ඨ උත්තමයො නවක වදයෙන් පස්සෙ ෆ්‍රෙෂාල වෙච්චි අපිත් එක්ක කුළුපග වෙලා උන්න නිසා ඒ අය නැවතිලා උන්න ගෙවල් වල කාමර අපට සෙට් කළා.

සමහර නවාතැන් වලට යන්න ලොකු ඉල්ලීමක් තිබුණ. ඒකට හේතු වුණේ ගෙදර ඉන්න කාන්තා පක්ෂයකින් ලැබුණ ධනාත්මක ප්‍රතිචාරත් එක්කයි.

සමහරුන් නවාතැනින්ම දවල් බත් එකත් ඔතාගෙන එද්දි හොරෙන් බිත්තරයක් හෙම බත් මුලට වැටෙන තැන් එහෙමත් තිබුණ.

දවල්ට එහෙම වෙන්නෙ රෑට වෙහෙස වෙලා හාංසි වුණ දවසට කියලත් සමහරු කිව්ව.

එහෙම ගෙවල් වලට  ඉල්ලුම වැඩි වුණා.

මොන හේතුවක් හංදද මංදා අපට එහෙම තැනක් සෙට් වුණේ නැහැ. එහෙම හොයන්න උනන්දු වුනෙත් නෑ. ඒ කාලෙ අපි ඕවට බයයි.

සමහරුන්ට බෝඩිං බත් කන්න ගිහිං ඒ තැන් වලින්ම කරකාර බැඳගන්නත් සිද්ධ වෙලා තිබුණ නිසා බය තවත් වැඩි වෙන්න ඇති.

ධම්මිස්සරෙන් ආව පාලිතත්, ජෝශප් වාස් එකෙන් මා එක්කම ආව සරතුත් කාමර හොයන්න පටන් ගත්තෙ එකටමයි.

අපිට මාතරින් ආව පියසේනත් එකතු වුණා. පියසේන පස්සෙන් පහු ප්‍රියන්ත බවට පත් වුණත් මේ කාලෙ පියසේනම තමයි.

අපි පැණිදෙනියෙන් පටන් අරං අඟුනාවල, කොස්සින්න පැත්ත සිසාරා කාමර හොයන්න පටන් ගත්ත. දවස් ගාණක් එක දිගට ඇවිදල හෙම්බත් වෙලා උන්නෙ.

දන්න කියන අයගෙ  හෝඩුවා වලට ගිය තැන් පවා අපේ හිතට ඇල්ලුවෙ නෑ. හතර දෙනෙකුට එක තැනකින් හොයනව කියන එකත් ලේසිපාසු කාරියක් වුණේ නෑ. මොකද ඒ වෙනකොට කාමර කුලියට දෙන්න කැම්පස් අවට ගම්වල උදවිය පුරුදු වෙලා උන්නෙ නැති  නිසා.

අපි ඇවිදගෙන යන ගමන් ටිකක් පිළිවෙළක් තියෙනව වගේ පෙනෙන ගෙවල් වලට තට්ටු කරල නිකමට අහන්න පටන් ගත්ත කාමර හෙම කුලියට දෙනවද කියල.

තට්ටු කරන්නාට දොර ඇරේ කියල කතාවක් තියෙන්න වගේ අපටත් ගෙදරක දොර අහම්බෙන් ඇරුණ.

මේක ඒ පැත්තෙ හැටියට තරමක්  විශාල ගෙයක්. නිකං වලව් පෙනුමක් තිබුණෙ. ඕනෙ එකක් කියල අපි දොරට තට්ටු කළා.

ගේ අයිතිකාරය එතරම් වයස කෙනෙක් නොවෙයි. අපි උවමනාව කිව්වම පොඩ්ඩක් ඉන්න කියල ගේ ඇතුළට ගියා. සතර කන් මංත්‍රණයක් සිද්ධ වුණා.

ඒ ගොල්ල අලුත බැඳපු ජෝඩුවක්. අලුත කිව්වට අලුතමත් නොවේ. අතදරුවෙක් උන්න. 

භාර්‍යා තොමෝ එළියට  ආවෙ කවුද මේ කැම්පස් ගොබිලො ටික කියල බලන්න වෙන්නැති.

උන්දැව දැක්කම අපි මොහොතකට ගල් වුණා. ලස්සන කාන්තාවක්. අපි හතර දෙනා ඇස් වලින් එකිනෙකා සමග එකඟ වුණා. ආයෙ මොනා අහන්නද...මේ සිරියාකාන්තාව උදේට දැක්කත් මදැයි.

ඔන්න අපි එකිනෙකට යාබද ඉස්සරහ කාමර දෙකක පදිංචි වුණා.

පළවෙනි අවුරුද්දෙත් පාලිත මගෙ රූමා වුණ නිසා මෙවරත් අපි ඒ විදිහටම ඉන්න හිතාගෙන උන්නෙ.

මේ සුන්දර කාන්තාව හරිම කරුණාවන්තයි වගේම ලජ්ජාශීලී කෙනෙක්. අපි නානකාමරයට යන වෙලාවට විතරයි ගේ මැද්දෙන් ගියෙ. ඒ වෙලාවට උන්දැ එළිපහළියට නොයන්න වග බලා ගත්ත.

මෙහෙම සතියක් හමාරක් ගත වුණා. ගෘහමූලික අපට බොහොම හිතවත් වුණා. අපිත් බෝ පැල වගේ හොඳ හැසිරීමෙන් අපේ වැඩක් කරගෙන මේ අයට කරදරයක් නොවෙන්න උන්න.

එක දවසක් රෑ මම මගෙ පොත්පත් වගයක් පිළිවෙළකට තියන්න හිතල අපට දීල තිබුණ කැබිනෙට්ටුව අස්පස් කරන්න ගත්ත.

මළකෙලියයි. මෙන්න යටම ලාච්චුවෙ බ්‍රා එකක්. පත සයිස් බ්‍රා එකක්.

අපි වහාම නේවාසික සංගමය කැඳවල අටකන් මංත්‍රණයක් කළා. අපේ කාමරේ බ්‍රා එකක් තිබීම ලොකු අවුලකට මුල බව තමයි හැමෝගෙම අදහස වුණේ.

හතර දෙනාගෙ අදහස් සම්පිණ්ඩනය කළාම මෙහෙමයි කියැවුණේ.

1. මේ බ්‍රා එක අනිවාර්යයෙන්ම ගෙදර ඇත්තිගේය.

2. එය ගොඩාක් පරණ නැති බව පෙනෙන නිසා (මේ බව තීරණය කළේ       එකිනෙකා වෙන වෙනම සිදුකළ සියුම් පරීක්ෂාවකින් අනතුරුවය.) මෑතක් වන තුරු අඳිමින් සිටින්නට ඇත.

3. මේ තත්ත්වය යටතේ බ්‍රා එක කාමරයේ තිබීම ඉතා අනතුරුදායකය. විශේෂයෙන් අප දේශන වලට ගිය අතරතුර ගෘහමූලිකයා කාමරයට ඇවිත් යමක් සොයන්න ගොස් සඟවා ඇති බ්‍රා එක දැක්කොත් මෙය පවුලේ ප්‍රශ්නයක් වනු ඇත.
සැමියා නැති අතර බිරිඳ නේවාසික තරුණයන්ගේ කාමරයට පැමිණ තිබේ. ඒ මදිවාට කාමරයේදී බ්‍රා එක ගලවා තිබේ. එය එසේ මෙසේ කාරණයක් නොවේ. 

මෙය මෙතරම් කලබල විය යුතු නැති සරල කාරණයක් සේ අද දවසේ පෙනෙුනද එදා අපි සැබැවින්ම කළබල වුණා. 80 දශකයේදී නොවැ.

ඒ කාලෙ බ්‍රා එකක් කියන්නෙ වැල් පොයින්ට් එකක් නෙ. දැන්න නං ඔය stage වලටත් විසි කරන්නෙ. 

බ්‍රා එකක් ලාච්චුවක තිබී හමු වූ බව කියා අයිතිකාරයන්ට ලබා දීම එක විසඳුමක් බව කියවුණත් ඒ සඳහා කිසිවෙකුත් ඉදිරිපත් වුණේ නෑ.

එසේ නම් මෙය පිටතට ගෙන ගොස් අතුරුදන් කළ යුතු බව තමයි අවසානයට තීන්දු කළේ. එය කරන්නට සිදු වුණේත් මටම තමයි. ඊට හේතුව බ්‍රා එක නමැති සර්පයා සොයා ගත්තේ මා විසින් වීමයි.

ඒ කාලේ ෂොපිං උර තිබුණෙ නෑ. දැං කාලෙ වගේ කැම්පස් ළමයි school bag අරං නොවෙයිනෙ දේශන වලට ගියේ. ෆයිල් කවරෙ දෙකට නමා ගත්ත. ගියා. 

අසංක වගේ අය ෆයිල් කවරෙ ගෙනාවෙත් නෑ. half sheet දෙක තුනක් හතරට නවල කලිසං සාක්කුවෙ දාගෙන අ‍ාවෙ.

ඉතිං බ්‍රා එක පිටතට නොපෙනෙන්න ගෙනියන එකයි ඊළඟ ප්‍රශ්නෙ වුණේ.

මොකද ස්ත්‍රී පාර්ශවය දැක්කොත් හිතයි මූ මේනියා කාරයෙක්. බ්‍රා එක හොරකං කරන්න ඇති කියල.
පිරිමි පාර්ශවය දැක්කොත් බලයි තමන්ගෙ බිරිඳගෙ බ්‍රා එක කොහෙන්ද මූ ළඟ කියල.

අන්තිමේදි ලොකු ව්‍යායාමයකින් පස්සෙ කඩදාසි කොළ වල ඔතල, පරණ brown paper උරයක දාල, උරේ ගම් ගාල අලවල තමයි ගෙදරින් එළියට අරං ගියේ. නිකං නොවෙයි තුන් දෙනෙකුගෙ ගාඩ් පිට. කෑමදාසයි, ලුබ්බයි, මී හරකයි තමයි තුන්දෙනා. (කැම්පස් කාඩ්  දැම්මෙ අපේ සමකාලීනයො නමින් දන්නෙ නැති නිසා. නැතිව මේ නිකං කින්ඩියට වගේ නං නොවෙයි ඕං)

පාර්සලය අරං ගියේ හරියට පංසලට පිරිකර ගෙනියන්න වගේ. පල්ලියෙ පූජාවට පඬුරු ගෙනියන්න වගේ බොහොම සාන්තදාන්ත විලාශයෙන්. කාටත් සැක නොහිතෙන්න.

ඒත් ඒක විසි කළේ කුරුඳුවත්ත හරියෙ වංගුවෙ තිබුණ කුණු ගොඩකට.






කෙටිකතා එක්ක කවි කියවන්න. මෙතැනට යන්න.

Monday, 21 December 2015

පුතා එක්ක අමතක නොවන දවස්

ම්මා පිළිබඳ මතකය සටහන් කොට අවසන්  වෙනවාත් එක්කම පුතා මා සමග නිවාඩුවක් ගත කරන්න ආව එකෙන් හිතට සහනයක් වගේම ප්‍රබෝධයක් දැනුණා.




කලාත් එක්ක මේ වගේ බොහොම නිදහසින් ගත කරන්න විරාමයක් ලැබුණෙ බොහොම කලකින්. අවුරුදු ගණනාවකින්.

මට මතක විදිහට පුතා මැලේසියාවෙ ඉගෙන ගනිද්දි දැනට අවුරුදු හතරකට පහකට විතර කලින් අපි දෙන්න මැලේසියාවෙත්, සිංගප්පූරුවෙත් සංචාරයක් කළාට පස්සෙයි දවස් ගාණක් එක දිගට මෙහෙම ගත කළේ.

ලංකාවට නිවාඩුවට ගියාම නුගේගොඩ එයාගෙ ඇනෙක්ස් එකේ නැවතුණාට අපිට මෙහෙම නිදහසක් නෑ. එක්කෝ එයා බිසි. නැත්නම් මටත් කොයි තරම් නං ගමන් බිමන්ද...

කලාත් ගැන මගේ අතීත මතක කීපයක් අවදි කරන්න හිතුණ...නොකීම නොකී කතා...

ඊට කලින් එයාගෙ නිර්මාණ මෙතනින්  
http://kalath666.deviantart.com/

නැත්නම් මෙතනින් 
http://kal-art.blogspot.com/

බලන්න පුළුවන්.

කොහොමත් බොහෝ පිරිමි දරුවන් ටිකක් දඟයි තමයි. කලාත්ට කියලත් ඒකෙ වෙනසක් තිබුණෙ නැතත් සමහර දඟ වැඩ දැන් මතක් කරද්දිත් සුන්දරයි.

පුතා කුඩාම අවදියෙ මම වැඩ කළේ පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ. අපි කුලියට නැවතිලා උන්නෙ මගේ රාජකාරි ස්ථානයේ කම්කරු සේවිකාවකගෙ නිවසේ එක් පැත්තක.

සමහරු නිවසක් කුළියට ගන්න කොට අයිතිකාරයගෙ වංශෙ කබල් ගානව වුණාට මට කවදත් එහෙම උණක් තිබුණෙ නෑ. 

අධ්‍යයන කාර්‍ය මණ්ඩලයේ කෙනෙක් කම්කරු සේවිකාවකගෙ ගෙදරක නැවතිලා ඉන්න එක ගැන ඒ බව දන්න ටික දෙනෙක් වපරැසින් බලන්න ඇතත්, මට නං කිසිදු හැඟීමක් ඇති කළේ නැහැ.  

ඉතිං ඔය ගෙදර තනි කාමරයක අපි උන්නෙ. පුංචි ඉස්තෝප්පුවයි, කාමරෙයි, කුස්සි කෑල්ලයි.

විනී හෙට්ටිගොඩ, රෝහිත භාෂණ, කමල් පී. අලහකෝන් වගේ අපේ පුංචි කාමරෙයි, ඉස්තෝප්පු කෑල්ලෙයි නිදාගෙන තියෙන සහෘදයන්ට  මතක ඇති.

මම කියන්න ගියෙ පුතාගෙ සෙල්ලමක් ගැනනෙ. මිනිහ ඇඳේ ඉදන් හිටි පිනුම් ගහනව. එයාගෙ අම්ම මර බයේ ඉන්නෙ වැටිල තුවාලයක් කර ගනී කියල. මොකද ඔය කරන්නෙ..තුවාලයක් කර ගන්නද හදනෙ කියල සද්දෙ දානව.

මේකා අහන්නෙම නෑ. එකදවසක් ගහපු පිනුම වැරදිලා උඩින් ගිහිං ඇඳෙන් බිමට වැටුණ. හොඳ වෙලාවට ඔලුව, කොන්ද වදින්නෙ නැතිව කෙලින්ම පස්ස බිම ඉන්දුණා. දැන් එයා දන්නව පාරක් වදින්න ආසන්න බව කියන දේ නෑහුවට.

කොල්ල පටස් ගාල කිව්ව අම්මේ..දැක්කද මගෙ බල්ටි වැඩ කියල. ඉතිං පාරක් ගහන්නයැ..

ඔය ගෙදර ඉද්දිම තමයි ප්‍රේමදාස ජනධිපතිවරය බෝම්බෙන් ජීවිතක්ෂයට අත් වුණේ. ඒ ආරංචිය අහපු මම හූ තියල උඩ පැනල සතුට ප්‍රකාශ කරද්දි පුතත් මාව අනුකරණය කරන්න ගත්ත.

ඇයි තාත්තෙ උඩ පනින්නෙ කියල අහද්දි මම කියුව පේචපාච මැරුණෝ කියල. මොකද කළු සුදු ටී.වී. එකෙන් වුණත් දැකල දැකලම එපා වෙලා අපි ප්‍රේමදාසට අම්ම මෝ නැතිව බනිද්දි පුතා කිව්වෙ පේචපාච කියල. නම කියාගන්න බැරි නිසා.

ඊට පස්සෙ ටිකක් ඉඩකඩ තියෙන ගෙදරකට ගියා. ඒක අයිති වුණේ පුස්තකාල සහකාර කෙනෙක්ට. එහෙදි තමයි කොල්ල ප්ලාස්ටික් පිඟානක් ඔලුවෙ නමං, සාළුවක් කරේ දාගෙන සෝරෝ විදිහට රඟපාන්න ගත්තෙ.

එදා ඇඳෙන්  වැටුණම  දඬුවම් නොකළට මගේ ජීවිත කාලෙටම කලාත්ට පාරක් ගහල තියෙන්නෙ එහෙදි තමයි.

සීතලයි කියල නාන්න බෑ කියුවම පුතාගෙ අම්ම කියවන්න ගත්ත මේ බලන්නකො මේ ළමය නාවන්න දෙන්නෙ නෑ කියල. මම උන්නෙ වෙන මූඩ් එකක වෙන්න ඇති. අම්මත් එක්ක ආ කේන්තිය මං පිට කරගත්තෙ කෝටුවක් කැඩෙන්න පස්ස පැත්තට පහර දීල.

ඒ තමයි මම එයාට දඬුවමක් කළ එකම වතාව. මම එදා පමණක් නොවෙයි කාලයක් යන කල්ම කළ දේ ගැන විඳෙව්ව. මම මටම දඬුවම් කරගත්ත වගේ. අදටත් ඒ කම්පනය දැනෙනව.

ඊට පස්සෙ මට මතක් වෙන්නෙ කලාත්ගෙ පොත් කියවීමේ මෙන්ම කොම්පියුටර් වීඩියෝ ගේම් හා වීඩියෝ ෆිල්ම් පිස්සුව.

මේ කිසිම පිස්සුවකට අපි විරුද්ධ වුණේ නෑ. ඇති තරං ගේම් ගැහුව. ෆිල්ම් සී.ඩී. ගෙනත් දුන්න. Jumanji වගේ චිත්‍රපට  කීප වතාවක් බලන්න ඇති.

පාඩම් වැඩ අතපසු වෙද්දි කාලය පිළිබඳ යම් සීමා පැනෙව්වට මේ ඇබැහිවීම් තහනම් කළේ නෑ.
ගෙවල් වල බිත්ති හුණු කූරු චිත්‍ර වලින් වනසන එක තහනම් කළේ නෑ වාගෙම.

එයාගෙ හැකියාව මෙන්ම කැමැත්ත තේරුම් අරන් ලබා දුන් නිදහස ගැන අද අපට සතුටු වෙන්න පුළුවනි. අද සිනමාව ගැන වගේම පරිගණක සජීවීකරණය පිළිබඳ ඔහුගේ දැනීම බොහොම දියුණුයි.

ඉංජිනේරුවෙක් වූ නිසා මගේ පුතා ඉංජිනේරුවෙක් හෝ දොස්තරකෙනෙක් විය යුතුයි කියල කවදාවත්ම හිතුවෙ නෑ වගේම ඒ සඳහා පුතාගෙ අම්මගෙන් ලැබුණ පිටුබලයත් අගය කළ යුතුයි.

මා හැමදාම හිතන්නෙ තමන් කැමැති ක්ෂේත්‍රයක Genius කෙනෙක් වෙන්න පුළුවනි නම්, ඒ සඳහා ආත්ම විශ්වාසය තිබේ නම් සමාජය උඩ දාන රැකියාම සොයා යා යුතු නැති බවයි.

මට මතකයි කලාත් පුංචි කාලෙ Jurrasic Park චිත්‍රපටය බලන්න ගියා. ඩයනෝසරයන්ට වශී වුණත්, උං ගේ සමීප රූප වලටත්, Sound effects වලටත් බයේ මගෙ පපුවෙ මූණ සඟවා ගත් ඔහු අද සිනමාවේ දෘෂ්‍ය ප්‍රයෝග මෙන්ම 3D සජීවීකරණයත් සිය ජීවිකාව කරගෙන සිටිනවා.

ඊට අමතරව වීඩියෝ සංස්කරණය ඔහුට අනුව pocket money හොයන වැඩක්. වසර කීපයකට පෙර මා නිර්මාණය කළ සමන් ජයනාත්  ජිනදාසගේ " මද පවනින්" ගීතයේ රූපාවලිය සංස්කරණය කොට Colour correction කළේද කලාත්මයි.


මා නිර්මාණය කළ (නොනිමි ගමන-Endless Journey) කෙටි චිත්‍රපටයේ සංස්කරණ කටයුතු ඔහුට පැවරුවේ නැත්තේ ඒ වන විට ඔහු එම විෂයය පිළිබඳ පරිචයක් ලබා නොසිටි නිසයි.

ඒත් මා ලබන වසර මැද වන විට නිර්මාණය කරන්න පිඹුරුපත් සකසන කෙටි චිත්‍රපටයේ සංස්කරණයට අදාළ සියලු කටයුතු  මෙන්ම කැමරා අධ්‍යක්ෂණයත් කලාත්ට බාර කරන්න හිතාගෙන ඉන්නවා.

නමුත් එහි රංගන කාර්යයක් සඳහා තෝරාගනු ලැබුවොත් කැමරා කටයුතු ඔහුගෙන් ගිලිහෙනවා. රංගනය ඔහුගේ ඇඟේ තිබෙන බව මා දන්නේ කලාත් මැලේසියාවේ විශ්වවිද්‍යාලයේදී ශිෂ්‍ය නිර්මාණ වල හොඳින් රඟපා ඇති බව දැක තිබෙන නිසයි.








Saturday, 12 December 2015

ආදරෙයි මම නුඹට......!


ම්මා අපෙන් සමුගෙන ගිහිං අදට වසර දෙකක්. 

මා නොකීකතා බ්ලොග් සටහන් ආරම්භ කළෙත් ඇය පිළිබඳ මතකය අවදි කරමින්. ඒක නිරායාසයෙන් ලියවුණ ලියවිල්ලක්.



ඒත් අද ලියන්නෙ එදා තරම් නිදහසේ නෙවෙයි. අද මට අම්ම නැති අඩුව වැඩියෙන් දැනෙන දවසක් නිසා වෙන්න ඇති.  

පවුලෙ උදවිය දාන මාන දීල අම්ම වෙනුවෙන් පිං පමුණුවන අද දවසෙ ඊට සහභාගි වෙන්නව නොහැකි වීමේ ආත්මානුකම්පාවකුත් දැනෙනව.

එක අතකට මැරෙන මොහො‍ෙතෙ ළඟ ඉන්න නොලැබුණ එකේ මේක මොකක්ද ?

අම්මට තිබුණෙ ලස්සන හිනාවක්. ඒක හරියට ඉනාවක් වගේ.

සමහර වෙලාවට අම්ම කරන වැඩ වලට තරහ ඇවිත් බැන්නමත් හිනා වුණේ එහෙමම තමයි.

මිය යන්න සතියකට කලිං අම්ම අසාධ්‍ය තත්ත්වෙන් උන්න නිසා බලන්න ගිහිං, ඇය යළි සුව අතට හැරුණාට පසු සමුගෙන එද්දි ගේ දොරකඩ හිටගෙන මා දිහාව බලා උන්නෙත් ඒ හිනාවෙන්ම තමයි.

මේ ගැන මතකය අවදි වෙද්දි මෙහෙම පද වැලක් කුරුටු ගෑවුණා....

ආදරෙයි මම නුඹට......!

කාලයට විහඟ තටු ඇවිත්
දෙවසරක් ගත වුණා සැබැයි
හරියටම අද වාගෙ දවසකදි
හීනයක් සේ ඇසුණා තමයි
යන්න ගියා යැයි නුඹ
ආයෙමත් නොඑන්නට....

පපු කුහරයේ සිරව
ගල් ගැසුණු සුසුම් පොද
අනන්ත වූ වා ගැබට
මුදා හළ මොහොතේදි
සත්තකයි දැනුණෙ මට
ආදරේදැයි කියා
කොයි තරම් මා නුඹට.... 

නිසල වූ නුඹෙ සිරුර
උඩු බැලිව තියෙන්නැති
මළගමට මා එද්දි
නුඹ එසේ නිදන්නැති
පස් මිටක් අතින් ගෙන
නුඹෙ සිරුර වසන්නැති
හිස්ම හිස් හැඟුමකින්
නුඹට සමු දෙන්න ඇති.....

ඒත් අද මට මතක
ටික දවසකට කලින්
නුඹ දකින්නට ඇවිත්
මා නික්ම ගිය මොහොත

මද දුරක් පා නගා
හැරී බලනා විටදි
දොරකඩට වාරු වී
බලා සිටි නුඹෙ බැල්ම

මට මතක එපමණය......

මියෙන ‍තෙක් මම සොයමි
සිහිනයෙන්වත් පතමි
සිනාවක් නගා ගෙන
බලා සිටි නුඹෙ මුහුණ......

(2015 උඳුවප් මහේ 13 දා )


අම්ම ගැන මතකය එක්ක අවදි වෙන මතක අතීතයෙන් බිඳක් සටහන් කරන්නට සිතුණා.

පුංචි සන්දියෙ මම කළුවරට මාර බයයි. මහ රෑ කුප්පි ලාම්පුව නිවුණොත් මම නින්දෙන් අවදි වෙලා මර හඬ දීල කෑ ගහනව. ඒ වෙලාවට තාත්ත සැරවැර වුණත් අම්ම කළේ මාව ඇගෙ තුරුළට ගන්න එක.

අපේ මහ ගෙදර තියෙන්නෙ සාන්ත අන්තෝනි පල්ලියට යාබදව.
ඒකට හේතුව පල්ලියට ඉඩම පරිත්‍යාග කරල තියෙන්නෙ මගෙ සීය වීම.

අපි ඒ දවස් වල දවසෙන් වැඩි හරියක් ගත කළේ පල්ලිය වත්තෙ. ආගම දහමට ලැදි නිසාම නෙවෙයි. කොලු නඩය එකතු වුණේ එතෙන්ට නිසා.

හවසට එල්ලෙ ගහද්දි තේ වෙලාවට අම්ම තේ බොන්න එන්න කතා කරනව වත්ත මැදට ඇවිත්. එන්නං කියල කිව්වට සෙල්ලම අස්සෙ අමතක වෙනව. අම්ම ටිකක් බලල තේ එක අරං වැට ළඟට එනව. කොල්ලෝ හිනා වෙනව.

මල්ලිලත් උන්නොත් ජෝගුවකටම හදන් එනව. ලැජ්ජාවෙ බෑ. ඒ හංද අම්ම කතා කළ ගමන් අපි දුවල ගිහිං තේ බීල එනව. එතකල් සෙල්ලම නවතිනව.

එක වතාවක් අමතක නොවෙන්න අම්මගෙන් පේර කෝටුවක් කැඩෙන කං පාර කෑවෙත් ඔය පල්ලියෙ ඉඳං කරපු කඩප්පුලි වැඩක් නිසා. මං හිතන්නෙ අම්ම මට එහෙම දඬුවම් කළ එකම දවස එදා තමයි.

ඒ පාසල් නිවාඩු කාලයේ මා දවසේ වැඩි කාලයක් ගත කළේ මට වඩා වැඩිමහලු මගේ ඥාති සොහොයුරෙකු සමගයි. කැටපෝල හදා ගෙන කුරුල්ලන්ට විදින්නටද, උණ බට තුවක්කු හදා ගෙන කිරිල්ල ගෙඩි වලින් අනෙකුන්ට ප්‍රහාර එල්ල කරන්නටද මා පුරුදු වූයේ එකලයි.

දවසක් මගේ ඥාති සොහොයුරා මට අපූරු යෝජනාවක් ගෙනාව.
"උපාලිය ඕනෑවට වැඩියි. මල්ලි ඔයාට කවි ලියන්න පුළුවනිනෙ. ඔයාගෙ අකුරුත් හොඳයිනෙ. අපි ඕකට හොඳ වස් කවියක් ලියමු."

"කොහෙද ලියන්නෙ?" මං පැනල දුන්නෙ වැඩේ ත්‍රිල් නිසයි.

"අපි පල්ලියෙ සිමෙන්ති බිමේ ලියමු. එතකොට එන හැමෝටම පේනවනෙ"

මට අද කවිය මතක නැහැ. ඒත් එවන් අපහාසාත්මක කවියක් මා කවරදාවත් ලියා නැති බව නං ටක්කෙටම කියත හැකි. 

මෙය ලිව්වේ බොරළු කැටයකින්. සිමෙන්ති පොළොවෙි එය පැහැදිලිව සටහන් වී තිබුණා.

මෙය දුටු උපාලිගේ මව කෙලින්ම අපේ ගෙදර ආවෙ "සර් කෝ" කියල අහගෙන.  තාත්ත ගෙදර උන්නෙ නෑ. හිටියනම් කොහොම හිටීද....

පල්ලියට ගිහිං කවිය කියවල ආව අම්ම මාව කනෙං අල්ලං ගිහිං ඒක මැකෙව්වෙ පේර කෝටු පාර දෙමින්. මැකුවට පස්සෙත් අ‍ායෙ මෙහෙම අසමජ්ජාති වැඩ කරනවද...කරනවද කිය කියා අහමින් පේර කෝටුව කුඩු වෙනකල් ගැහුව.

මගේ පස්ස පැත්ත වයිරං වැටුණ. පොක්කලං වගේ ඉදිමිලා ආව. අම්ම අඬ අඬ තෙල් ගාල තැව්ව. 

හැබැයි එදා ඒ දඬුවම දුන්නැයින් තමයි අද මම මෙතන ඉන්නෙ. නැත්තං අර ඥාති සොහොයුරා වගේ මාත් ගරාජ් එකක වැඩ කරයි.

මා දකින අම්මගේ සුවිශේෂ ගුණයක් වුණේ අප්‍රතිහත ධෛර්යය. පටන් ගත් දෙයක් ලේසියෙන් අත හරින්නෙ නැති එක.

අම්මගෙ පවුලෙ දරුවො නම දෙනයි. අම්ම තාත්ත දෙන්නම කලකට පෙර මිය පරලොව ගිහිං. අම්මලගෙ පවුලෙ අයගෙ ආයුෂ කෙටියි. මගෙත් එහෙම වෙන්න පුළුවනි කියල ගොඩක් වෙලාවට මට හිතෙනව.

ඉතිං අම්මලගෙ තාත්ත අන්තරා වෙද්දි ඉඩකඩම් දරුවන්ට ලියල තිබුණෙ නැති නිසා ඉඩම බූදල් වුණා. කාලයක් ගත වෙද්දි තැන තැන විසිරී සිටි අම්මගෙ සහෝදර සහෝදරියන්ට තමන්ගෙ අයිතිය ලබා ගන්න ඕනෙ වුණා. ඒත් බූදල් නඩුවකට යන්න කවුරුවත් ඉදිරිපත් වුණේ නැහැ.

අම්ම මේකට ඉදිරිපත් වෙද්දි අපි හිනා වුණා. 
නඩු යන්නෝ...වැනසෙන්නෝ....කිය කියා.

ඔයාලට කවද හරි තේරෙයි මේ ඉඩම් වල වටිනාකම. අම්ම එහෙම කියද්දි අපේ ගම් පැත්තෙ ඉඩකඩම් එතරම් ඉහළ මිලකට තක්සේරු වුණේ නැහැ. 

අපේ ඔලොක්කු කතා මැද්දෙ අම්ම තනිවම නීතිඥයින් හමු වෙන්න ගියා. නඩු දැම්ම. උසාවි ගියා. එක එක විරෝධතා නිසා නඩුව  කල් ගියා. අපි ලොකු මහත් වෙලා ගමෙන් පිටතට ගියා. අම්ම දිගටම අනෙක් සහෝදර සහෝදරියන්වත් එකතු කරගෙන නඩුවලට පෙනී හිටිය.

මට මතකයි මම විවාහ වුණාටත් පස්සෙ දවසක අම්මට කිව්ව නිකං බොරුවට ලෝයර්ස්ලට සල්ලි පුදන්නෙ නැතිව පැත්තකට වෙලා ඉන්න කියල. අම්ම හිනා වෙලා කිව්ව මේක මගෙ පිය උරුමෙ. ඒක මම ලබාගන්නව. ඔයාලටම කවද හරි තේරෙයි මේවයෙ වටිනාකම කියල.

කිව්වත් වගේ ඒකෙ වටිනාකම වැඩියෙන්ම දැනුණෙ මට. තාමත් දැනෙනනෙ මට. 

බූදල් නඩුව අවසන් වෙලා සහෝදරයින්ට ඉඩම් අයිති වුණා. අම්මගෙ කොටහ ලැබුණෙ මහපාර අද්දරින්. ඒක කොහොම වුණාද කියල මං දන්නෙ නැහැ. අම්ම ඉඩම මිලියන ගාණකට විකුණුව. 

මගෙ පුතා මැලේසියාවෙ විශ්වවිද්‍යාලෙකට යැව්වම විටින් විට සල්ලි අවශ්‍යතා එද්දි අම්මගෙ ස්ථාවර තැන්පතුව ඇපේට තියල සල්ලි ගන්න මට පුළුවන් වීම ලොකු හයියක් වුණා.

හැබැයි අම්ම කිසිම වෙලාවක කිව්වෙ නෑ ඔයාල මට හිනා වුණා නේද නඩු කියද්දි. දැන් ඔයාලටම එ් සල්ලි ඕන වුණා නේද කියල. 

අදටත් ඒ මුදල නොසොල්වා බැංකුවෙ තියෙන එක අපි කාටත් හයියක්.

අම්ම ගොඩක් කම්පා වුණේ එයාට ඕනෙ විදිහට මට දොස්තර කෙනෙකුගෙ දුවක් කරක‍ාර බන්දවල දෙන්න බැරි වුණ එකට. ඒ එයාගෙ තේරීම.

ජීවිතේ හරි පුදුමයි.

අම්මගෙ තේරීම හරි ගියේ නෑ වාගෙම මගෙ තේරීමත් ඵල දැරුවෙ නෑ. එක වතාවක් නං බැරුවයැ. දෙවතාවක්ම....

ඒක වෙනම කියන්න ඕනෙ නොකී කතාවක්.....!


Sunday, 6 December 2015

වතුර එක්ක කොක කෝලා බීපු දවසක්




ර්මසිරි ගමගේ කියන්නෙ අපේ පරම්පරාවෙ කලාවට සම්බන්ධ වූ දැනට කලා නිර්මාණ වල යෙදෙන හෝ ඉන් සමුගෙන වෙනත් කාර්යයන්හි නියැලෙන බොහෝ දෙනෙකුට ගුරු දේවයෙකු පමණක් නොව පියෙකුද වූ නිහතමානී කලාකරුවෙක්..

ඒ නිසාම අප වෙත එතුමන් කෙරෙහි වූ භක්තිය මෙන්ම ගෞරවයද අපමණයි.

ඒ නිසාමයි අපි හැමෝම "ගමගේ සර්" කියා අමතන්න පුරුදු වෙලා උන්නෙ. 

"යොවුන් පහන් වැට" නමින් සංවිධානයක් බිහිකොට දීපව්‍යාප්තව විසිරී සිටි නිර්මාණශීලී යොවුන් දුහුනන් ඒකරාශී කරමින්, කලා ලොවේ දැවන්තයින්ගේ නොමසුරු ඇසුර අප වෙත ළඟා කරදෙන්න එතුමන් විශාල වෑයමක් නිරත වුණා.

වසර ගණනාවකට පසු මේ අංකුර තරුණයන් විවිධ මාධ්‍ය හරහා කරළියට පැමිණ තිබුණා.

නිහඬ, එහෙත් වචනයෙන් කියා නිම කළ නොහැකි අනුපමේය සේවයක් කළ ගමගේ සර් වෙනුවෙන් උපහාර උත්සවයක් පවත්වන්නට කවියෙකු හා ගීත රචකයෙකු ලෙස නමක් දිනාගත් බණ්ඩාර ඇහැළියගොඩ ගෙනා අදහසට අපේ දායකත්වය නොමසුරුව ලබා දුන්නා.

බණ්ඩාර එවකට ජනකලා කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කිරීම පහසුවක්ම වුණා. උපහාර උත්සවය තියන්නට අප ජනකලා කේන්ද්‍ර භූමියම තෝරා ගත්තා.

ඒ සමගම බොහෝ සැන්දෑ යාමයන් අප ගෙවා දැමුවේ ජනකලා කේන්ද්‍ර බිමේදී. මා ස්වර්ණවාහිනියේ සිට කෙලින්ම ආවේ එතැනටයි.

උත්සවය සවිධානය කිරීමේ සාකච්ඡා වලින් අනතුරුව මිතුරු සමාගම රෑ බෝ වන තුරු "සෙට්" වුණා.

සියල්ල මැනැවින් සංවිධානය කිරීමෙන් පසු උපහාර උත්සවයට දින දෙකකට පෙර පැවැති සැඳෑ කතාබහට ගමගේ සර්ටත් ඇරියුම් කරන්නට තීරණය කළේ වැඩසටහනේ කිසියම් අඩුපාඩුවක් ඇත්නම් ඒ ගැන දැන ගන්නා අටියෙන්.

රෑ හත පමණ වෙද්දී නිළ කතාබහ හමාර වුණා. 

පොඩ්ඩක් පානය කරලම යමු නේද....ගමගේ සර් ඇසුවා.
කට්ටියගෙ කට කණේ.

මගෙ වෑන් එකේ පිටිපස්සෙ සීට් එක යට බකාඩි බෝතලයක් ඇති. අනුරම ගිහිං අරං එනවද....සර් ඇහුවා.

අනුර බී.සෙනෙවිරත්න කවියා බෝතලේ අරං ආවා.

බණඩාරගෙ ෆ්‍රිජ් එකේ කොක කෝලා තිබුණා. 

ඉන්ද්‍රනාථ තේනුවර, අනුර බංඩාර රාජගුරු, විපුල හේවා වළිමුණි, ජගත් රණතුංග ඇතුළු අප පිරිස වීදුරු වලට බකාඩි දමාගෙන කොක කෝලා වක්කර ගත්තේ ගමගේ සර්ට පිං දෙමින්.

මා ඊට කලිං බකාඩි බීල තිබුණෙත් නෑ. අහල තිබුණට.
(තාමත් බකාඩි මගේ ප්‍රියතම පානයක්)

දැන් යටගිය රසකතා කියමින් කට්ටිය බකාඩි බොනවා. 

"තාම වදින්නෙ නෑනෙ."

"බකාඩි වදින්න ටිකක් වෙලා යනවා."

"මම නං මේ බකාඩි බොනවමයි."

"මාත් එහෙමයි මචං..."

මේ කතාබහ ගමගේ සර්ගෙ සවනට වැටුණා.

"අනුර...ඔයා කොතන තිබුණ බෝතලේද ගෙනාවෙ"

"පිටිපස්සෙ සීට් එක යට. දෙකක් තිබුණ. මම එකක් ගෙනාව."

"එහෙනං ගිහිං අනෙක් බෝතලෙත් ගේන්නකො"

අනුර ගියා අනෙක් බෝතලේ ගේන්න.

"බෝතල් දෙකක් තිබුණ කියන්නෙ අනෙක වතුර බෝතලේ..." සර් කිව්ව.

"එතකොට අපි මෙච්චර වෙලා බීල තියෙන්නෙ කෝක් එක්ක වතුරද..." තේනුවර කට ඇද කරගෙන ඇහුව.






Saturday, 21 November 2015

අධිවේගී මාර්ගයක අංශක 180 ක් ආපස්සට



හු ගිය වතාවෙ ලංකාවට ගිහිං ආපසු එන්න දවසකට දෙකකට කලිං කුලී පදනමට ගත්ත කාර් එක සුළු පහේ අනතුරකට පත් වුණා.

වාහනේ දුන්න නිලාට call කරල කිව්වම Viber එකෙන් photo එකක් එවන්න කිව්ව හැරෙන තැපෑලෙන්.

Photo
එක දැක්ක නිලා හිටු ගාල ආපස්සට call කරන්න ගත්ත. "ගොඩක් damage නේද...buffer එක පුපුරල නේද..light එකට damage නැද්ද..."

Accident
එක වුණේ පොද වැස්සෙ. ඒ වගේම වැදුණ විදිහෙන් මම දැනගත්ත එච්චර ලොකු අලාභයක් නොවන බව.

මම වාහන reverse කරන විදිහ හරි ක්‍රමවත් කියල දන්න අඳුනන අය කියනව. ඒ හංද reverse එකේ ගද්දි accident වුණ එක ගැන මටත් පුදුමයි.

නුගේගොඩ පුතාගෙ annex එක ඉදිරිපිට පටු පාර හදමින් තිබුණ නිසයි දෙපැත්තෙ තියෙන ගේට්ටු දෙකක ඉඩ උපයෝගී කරගෙන කාර් එක හරවන්න හැදුවෙ. පොඩ්ඩක් අනුමානය වැරදිලයි තාප්පෙට අඩ තිබ්බෙ.

වාහනේ බාර දෙන්න ගියාම damage එක දෑහින් දැක්කට පස්සෙ නිලාගෙ ඇඟට පණක් ආව වගේ.

"Photo
දැක්කම මම හිතුවෙ ලොකු damage එකක් කියල. මේක පොඩි දෙයක්නෙ. "

එදා සිටන්ම මා අතින් වාහන accident වෙන්නෙ බොහොම හෙමින් පදවා ගෙන යද්දි තමයි. එක්කෝ හරවද්දි. නැත්නම් traffic එකේදි.

කොහොමත් සාමාන්‍යයෙන් අධික වේගෙන් රිය පදවන්නයි මම පුරුදු වෙලා තියෙන්නෙ. ඒක මටවත් හදාගන්න බැරි පුරුද්දක්. වේගය ඉක්මවා යනව මට පේන්නෙ නැත්තෙ සුක්කානම ඒ තරමටම අතට හුරු නිසාද මංද.

ඒ වගේම තමයි වාහනේ වේගෙන් පදවනව කියල කී දෙනෙක් නං ආඩපාළි කියල ඇද්ද. සමහරු කියා ගන්න බැරුව වාහනේට නැග්ග මෝඩකම කියල හිතන අවස්ථාත් ඕනෙ තරම් ඇති.

අවුරුදු ගාණකට ඉස්සර වෙච්චි එක සිද්ධියක්  නං මතකයි.

කොහෙ හරි ගමනක් ගිහිං එද්දි වේගෙ වැඩියි...අඩු කරන්න කියල පුතාගෙ අම්ම කකෙඳිරි ගාන්න පටං ගත්ත. පුතාට නං පුංචිකමටද කොහෙද වේගෙන් යන තරමට ත්‍රිල්.

ඒත් අම්ම ඒ අවදානම ගන්න කැමැති වෙන්නෙ නැහැනෙ.

වාහනේ පදවන කොට උපදෙස් දෙද්දි මටත් මළ පනින නිසා මම කළේ 'දැන්වත් ටිකක් හයියෙන් යං' කියන කල් ඉබ්බ යන්නැහෙ හැතැප්ම ගාණක් විස්සෙ තිහේ වේගෙන් හෙමීට කාරය පදවපු එකයි.

වාහනේට බල්ලො, පූසො නං අනන්තවත් අඩ තියල ඇති. එක වතාවක් හරකෙක් (කකුල් හතරෙ හො‍ඳේ) පැනල, side mirror  එක කැඩුණ මතකයි.

මුලින්ම කාර් licence ගන්න වුණේ MOTIVATION කියන NGO එකේ තාවකාලිකව වැඩ කරපු කාලෙ.

ජනසංනිවේදන පශ්චාත් උපාධිය කරන්න විශ්වවිද්‍යාල සේවයෙන් නිවාඩු අරං ඇවිත් ඉන්න ගමන් තමයි එතන වැඩ කළේ. අපි තොග වශයෙන් භාණ්ඩ මිලදී ගත්තම සාක්කුවට ගාණක් වැටෙනව කියල මම මුලින්ම දැනගත්තෙ එතනදි.

එතන රස්සාවට ඕනෙ වුණ නිසා තමයි කාර් licence ගත්තෙ. මා අතින් පළමු අනතුර සිද්ධ වුණෙත් MOTIVATION එකෙන් දුන්න වෑන් එකෙනුයි.

ඒකත් ගම කන කතාව.

රාගම ඉඳන් වත්තලට ආවෙ ලියවන පට්ටලයකින් වැඩක් කරගන්න. මම වෑන් එක බොහොම පරෙස්සමින් අරං ඇවිත් වැඩපොළ ඉදිරිපිට මීගමු-කොළඹ මාර්ගයට යාබදව නැවැත්තුව.

නවතල පට්ටලේ පැත්තට ගියා.

මිනිත්තුවක් ගියෙ නැහැ....චකබලාස් සද්දයක් ආව. නිකං වීදුරු ගොඩක් චප්ප වෙනව වගේ සද්දයක්.

මම හැරිල බලද්දි නවතපු තැන වෑන් එක නැහැ. මිනිස්සු වට වෙලා.

ගිහිං බැලින්නම් ජූලි හතයි. මම නුහුරු කමට ගිහිං තියෙන්නෙ gear neutral තියෙද්දි. Hand brake අදින්නෙ නැතිව.

වාහනේ ඉදිරියට ඇදී ගිහිං පාර අද්දර විකුණන්න ගොඩ ගහල තිබුණ විදුරු මාලු ටැංකි කිපයක් කුඩු කරගෙන ගිහිං නැවතිලා.

තොග වශයෙන් භාණ්ඩ මිලදී ගත්තම සාක්කුවට වැටුණ ගානෙන් තමයි අලාබෙ ගෙව්වෙ. නැත්තං මාසෙ වැටුපෙන් බාගයක් එතෙනන්ට දෙන්න වෙනව.

ඔයාකාර පොඩි පොඩි accident වුණාට කලින් කිව්ව වගේ carpet පාර වල හැටට හැටේ ගිහිල්ලත් බරපතළ අනතුරු සිද්ධ වෙලා නැහැ.

හැටට  හැටේ නොවෙයි, අධිවේගී මාර්ග වල එකසිය විස්සට ගිහිල්ලත්. බහරේන් ආවට පස්සෙ තමයි එහෙම පදවන්න අවස්ථා ලැබුණෙ. මෙහෙ තියන තරමක් highway.

අපේ ජීවිත වල විවිධ හැලහැප්පීම් එක්ක සමහර දේ අවිඥානිකව සිද්ධ වෙනව. සිහිකල්පනාව වෙනතක යොමු වුණාම දෛනිකව පුරුද්දට කරන දේවල් අංශුවකින් වෙනස් වෙන්න පුවවනි.

මම එහෙම කියන්නෙ වාහන පැදවීම අපි කරන්නෙ අවිඥානිකව නිසා. අපි වාහන පදවන්නෙ දැන් හරවන්න ඕනෙ, දැන් lane එක මාරු කරන්න ඕනෙ කියල හිත හිත නොවෙයිනෙ. ඒව සිද්ධ වෙන්නෙ ඉබේටම. හුරුවට.

මාස කිපයකට පෙර මේ කියන්න යන දවසෙත් වෙනද වගේම මම උදේ වැඩට යන්න වාහනේ highway එකට දැම්ම. 

එක තැනක් තියෙනව මගෙ ගමන් මාර්ගය තෝරගන්න lane කීපයක් cross කරන්න සිද්ධ වෙන.

මම හිතන්නෙ මගෙ වේගය අසුවෙ විතර ඉඳන් සීයට වැඩි වෙමින් තියෙන්න ඇති. 

මම වෙන වාහනයකට ඉස්සර කරමින් දකුණු පස කෙලවරට ගිහිං ඒ මං තීරුවෙ ඉඳන් වම් පස කෙළවර මං තීරුවට ධාවනය කළා. ඒක නොකළ යුතුම overtake කිරිමක්. ඒකයි කිව්වෙ අවිඥානිකව අපි යම් යම් දේ කරනව කියල මානසික තත්ත්වය අනුව.

මට වේගය පාලනය කරගන්න අමාරු වුණා.

මට දැනෙන්න ගත්ත වාහනය මගේ පාලනයෙන් තොරව වම් පසට ඇදී යනව. එහෙම තව මීටර් කීපයක් ගියොත් කෙලවරේ තියෙන විශාල බැම්මෙ වැදිල වාහනේ කුඩුපට්ටම් වෙන බව එක නිමේශයෙකදි මට දැනුණ.

මම තිරිංග පාගන අතරතුර සුක්කානම දකුණට කැපුව. අනතුරෙන් බේරෙන්න.

එක වරම වාහනය බැම්මෙ නොවැදි අංශක එකසිය අසූවක් ආපස්සට හැරුණ. ඒ තත්පරයෙන් කොටස තුළ මට කිසිම දෙයක් පෙනුණෙ නැහැ. 

වාහනය නැවතුණාම මම ඉදිරිය බැලුව. පිටිපස්සෙන් ආව වාහන කිපයක් මට මුහුණ ලා නවතන් ඉන්නව දැක්කෙ එවිටයි. ඒවයෙ උන්න රියැදුරෝ හිස් වල අත් ගසාගෙන ඉන්නව මම දැක්ක.

මම මොහොතක් ගල් වුණා.

ඉදිරියෙන් සමීපයෙන් ඉන්න රියැදුරා මට වාහනය හරවගන්න කියල අතිං සංඥා කළා.

මම හෙමීට රොබෝ කෙනෙක් වගේ වාහනය හරවගෙන අයින් කරල නැවැත්තුව.

ඒ මොහොතෙයි මට ජිවිත අවදානම දැනුණෙ. මම තවම පණ පිටිං නේද කියල දැනුණෙ.

මට එතනින් එහාට වාහනය පදවන්න ශක්තියක් තිබුණෙ නැහැ.

මම Viber තාක්ෂණයෙන් ලංකාවට කතා කළා. මගේ තිගැස්ම දුරකථන සංඥා ඔස්සේ සම්ප්‍රේෂණය වුණා.

ඊට පස්සෙ අඩුම වේගෙන් වාහන ධාවනය කරන දකුණු කෙළවරේ මං තීරුව දිගේ හැටේ වේගෙන් වාහනය පදවාගෙන වැඩට ගියා. මා සුරක්ෂිතව යන තුරුම Viber තාක්ෂණය cut නොවීම හිතට හයියක් වුණා.

අධිවේගී මාර්ගයක අංශක 180 ක් ආපස්සට වාහනය හැරිලත් තවමත් ජිවතුන් අතර නේද කියල මම තාමත් හිතනව.