Powered By Blogger

Tuesday, 22 March 2016

අනූ නමයෙන් බේරුණ "අනූවේ පරපුර"


"අනූවේ පරපුර" පිළිබඳ මතකය අලුත් වුණේ සුනිල් මාධව ප්‍රේමතිලක උපහාර උළෙල ගැන විවිධ කතාබහ කියැවීමත් එක්කයි.

80 දශකයේ හෝ ඊට පසු ඉපදුණ පරම්පරාවට, නාමික නිදහසින් පසු මේ දක්වා රටේ ඇතිවූ භීෂණයන් ගැන අත්දැකීම් නැති වීම තේරුම් ගත හැකි වුවත්, බොහෝ අය හැසිරෙන්නේ සියල්ල දත් විලසින්.

ඒ නිසාම මේ කතා බහට පෙර මතකයන් හාරා අවුස්සන්නට හිතුණා.

83 දී දෙමළාට විරුද්ධව ජාත්‍යාල ප්‍රහාර එල්ල කළේ යූ.ඇන්.පී. එකේ සිරිල් මැතිව් ප්‍රමුඛ ජේ.ආර්. ජනාධිපතිවරයාගේ හුරතල්ලු. ඒත් අන්තිමේට මේ නිහීන ප්‍රහාර වල වගකීම ජේ.වී.පී. එක මතින් යවා පක්ෂය තහනම් කළේ එක ගලකින් කුරුල්ලෝ දෙදෙනෙක් බිම දාගන්නටයි..

ජනතා විමුක්ති පෙරමුණ යටි බිම් දේශපාලනයට බලහත්කාරයෙන් තල්ලු කොට  දමන්නේ ඒ සමගයි.

එසේ නොවන්නට ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසය ලියැවෙනු ඇත්තේ එහැම පිටින්ම වෙනස් ආකාරයකින්.

උතුරේ සිදු කළ මානව විරෝධී හමුදා මෙහෙයුම් ඉදිරියේ සිය බලපරාක්‍රමය විදහා හළ ඉංදියාව මුහුදෙන් එවා බැරිම තැන අහසින් පරිප්පු දමා ජේ.ආර්. සිය අණසකට නතු කොට ගත්තා.

උතුරේ දෙමළ ජනතාවට පරිප්පු ඇතුළු ආහාර ආධාර රැගෙන එමින් තිබූ යුධ නෞකා ජේ.ආර්. ගේ නියෝග මත එවකට ලුතිනන් කොමාන්ඩර් තනතුරේ සිටි  රාජරත්න පළවා හරිද්දී නාවික හමුදා නිළධාරියෙකු ලෙස මට උතුරු ආරක්ෂක වළල්ලේ  ඒ ආසන්නයේම වූ මව් නෞකාවක සිටිමින්  සිද්ධිය  නිරීක්ෂණය කරන්නට වරම් ලැබුණා

ඉංදීය හමුදාව උපක්‍රමශීලීව ආපසු හැරී යාම  වරදවා වටහා ගැනීමෙන් ජයපැන් බිවූ අයට තරු පෙනුණේ පසුදා දේශ සීමා බලහත්කාරයෙන් තරණය කරමින්   ඉංදීය යුධ ගුවන් යානා මගින් ආහාර මළු  උතුරේ ගම්මාන වලට හෙළීමෙන් නොනැවතී, රජීව් ගාන්ධි පැමිණ  හොම්බෙන් ගොස් සිටි ජේ. ආර්. සමග ඉංදු-ලංකා  ගිවිසුම අත්සන් කොට ඉංදීය සාම සාධක  හමුදාව  අතට උතුරේ හමුදා පාලන බලය අත්පත්  කොට දීමත් සමගයි.

උතුරේ සටන් තීව්‍ර වෙද්දී, ඉංදීය සාම සාධක හමුදාව දෙමළාට එරෙහි අමානුෂික මෙහෙයුම් දියත් කරද්දී, දේපොළ මංකොල්ල කමින් කාන්තාවන් දූෂණය කරද්දී ලංකා රජය සිය සිංහල හමුදා දකුණට කැඳවූයේ දකුණේ කැරැල්ල මැඩ පැවැත්වීමටයි. 




මාසික වැටුපට රස්සාව කරන ලංකා රාජ්‍ය හමුදා සිය සුපුරුදු භීෂණය දකුණේ මුදා හරිද්දී, ජනාධිපති ධූරයට පත් ප්‍රේමදාස පැවසුවේ තමන් භාර ගන්නේ දෙකොණ ඇවිළුණ විලක්කුවක් බවයි.

මේ සමගම ජනතා විමුක්ති පෙරමුණත්, එහි සෘජු පාලනයෙන් මිදී මුදා හළ වෘක රැලක් සේ කටයුතු කළ එහිම දිගුවක් වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයත් ඉංදීය විරෝධී සටන් දියත් කළේ ජනතා ආකර්ෂණය දිනා ගනිමිනුයි.

දෙමළාට විරුද්ධව භීෂණය දියත් කළ සිංහල හමුදාව, සිංහලයාට එරෙහිව ගහලයෙකුගේ භූමිකාවට  අවතීර්ණ වෙමින් ගෙවල් වල නිදා සිටි තරුණයන් පවා පැහැර ගෙන ගොස් දස වද දී මරා දමන, අතුරුදන් කරන තත්ත්වයකට පත් වුණා.

එකල කවන්ධ මළ සිරුරු මහ මග අද්දර ටයර් සෑයන්හි දැවෙනු මෙන්ම ගංගා වල පාවී යනු සුලබ දසුනක් වුණා.












පැන්සල්, පෑන් වලින් ඇන කණ් අඩි පසාරු කරන, අත් පා වල නියපොතු උගුල්ලන, ලිඟුව මේස ලාච්චු වලට දමා වසන, අධෝමුඛයට එස්ලෝන් බටයක් යවා කටු කම්බියක් බස්සා බටය ඉවතට අදින, මිරිස් ගෝනි, වතුර ටැංකි වල හිස ඔබා හුස්ම හිර වෙන්නට හරින, නිරුවතින් එල්ලා යටි පතුල් වලට පහර දී අත් පා බැඳ ධර්ම චක්‍රයේ ගසන, තරුණියන් දූෂණය කරන ආකාරයේ මෙකී නොකී දස වද බන්ධන දෙන්නට සමහර හමුදා පුද්ගලයන් පසු බට වුණේ නැහැ.






සන්නද්ධ කැරැලි වලින් බලය ලබා ගන්නට උත්සහ කරන බොහෝ ව්‍යාපාර වලට සිදු වන්නා සේම නායකත්වය විනාශ කරන මොහොතේම එකී ව්‍යාපාරය වළ පල්ලට යනු දකුණේ මෙන්ම උතුරේ අරගල වලදී සාක්ෂාත් වුණා.

රෝහණ විජේවීර  ප්‍රාණය නිරුද්ධ වන්නට පෙර සොහොන් ගත කිරීමෙනුත්, වේලුපි‍ලලේ ප්‍රභාකරන් කලපුවකදී මරා දැමීමෙනුත් සන්නද්ධ ව්‍යාපාර දෙකක් යුධමය වශයෙන් අඩපණ කරන්නට රාජ්‍ය හමුදා සමත් වුණා.






88-89 ධවල භීෂණය ලෙස හඳුන්වන ප්‍රේමදාස ජනාධිපතිවරයාගේත්, රනිල් අගමැතිවරයාගේත් අනුදැනුම මත මුදා හල භීෂණය නිමා වන්නට කලක් ගත වෙද්දී ඊට සම්බන්ධව සිටි මෙන්ම හිතවාදීව සිටි, අනූනවයෙන් දිවි බේරා ගත් තරුණ පරම්පරාවක් තැන තැන හුදෙකලාව විසිරී සිටියා. 

ඉතා රහසිගත ආකාරයට තරුණයන්  සම්බන්ධතා ගොඩ නගා ගත්තේ එකිනෙකා පිළිබඳ සැකයෙන්. ඊට හේතුව වුණේ කොටසක් ගෝනිබිල්ලන් ලෙස කටයුතු කරමින් තමන් සමග එකට සිටි පිරිසක් පාවා දෙමින් සිටි නිසයි. තම දිවි බේරා ගැනීම සඳහා හමුදා වල සුරතලුන් බවට පත් වී අත්අඩංගුවට ගත් හෝ පැහැර ගත් සගයින් හෙළිදරව් කළ නිසයි.

මේ උණුසුම පහව යන්නටත් මත්තෙන්  "අනූවේ පරපුර" නමින් සාහිත්‍ය, කලාව පිළිබඳ කතිකාවතක යෙදෙන සංවිධානයක් ඇරැඹෙන්නේ 90 දශකයේ මුල් භාගයේදී.


ඊට මුල පිරෙන්නේ ධර්මසිරි ගමගේ කලාකරුවාණන්ගේ මූලිකත්වයෙන් සංවිධානය වූ කොග්ගල පැවැති තෙවන "යොවුන් පහන් වැට" සාහිත්‍ය සමුළුවේදී.


කිසිදු ආකාරයක දේශපාලන මතවාදීමය පදනමක් නොතිබූ  "යොවුන් පහන් වැට" සාමාජිකයන් ඉන් එහා වූ දැනුම්වත් කලාලැදි පිරිසක් බවට රූපාන්තරණය කිරීමේ වැදගත්කම අහුමුළු වල කතා බහ කෙරෙන්නට ගත්තා.


මීට මූලික වුණේ දකුණේ අරගලය හා අවියෝජනීය බද්ධව සිටි "අපේ කාලයේ ගෝරකි" ලෙස නම් ලැබූ විරෝධාකල්ප තරුණ කවියෙකු වූ චන්ද්‍රකුමාර වික්‍රමත්නයි. කමල් පී. අලහකෝන් නමැති කවියා මෙන්ම නාට්‍යකාරයාද ඊට එක් වුණා.


අනූවේ පරපුරේ අපි ඒදවස් වල දිවයින පත්තරේ සුනිල් මාධව ප්‍රේමතිලක සංස්කරණය කළ " 8 වෙනි පිටුව"ට කවි හා වෙනත් නිර්මාණ ලිව්වේ පුදුමාකාර ආශ්වාදයකින්.

චන්දරේගේ නිර්මාණ එහි නිතර පළ වුණා.

එවන් එක කවියක් මට මතකයට එන්නේ මෙහෙමයි. හිස් තැන පුරවා අඩුපාඩු ඇත්නම් සමාව භජනය කරත්වා.

"එකම අපායක අප සැම දැවෙන සඳ
වෙනම අපායක ඉන්නට පතයි නුඹ
................................................
කඳුළ කඳුළමයි කාගේ වුණත් මට"

"අනූවේ පරපුර" නමින් සංවිධානයක් පිහිටුවා ගැනීමේ මූලික සාක්ච්ඡාව පැවැත්වුණේ මට මතක හැටියට තරුණ බෞද්ධ සංගමයට හෝ මහා බෝධි සමාගමට අයත් පිටකොටුවේ ගොඩනැගිල්ලකයි.

එතැන සිටි අප කිහිප දෙනා අතර වික්‍රමරත්න, අලහකෝන්ට අමතරව හඳගම, වීරසිංහ, රෝහණ, ලලිත් වැන්නන්ද මේ සාකච්ඡාවට එක් වී සිටියා.

සංවිධානයේ ලිපිනය වුණේ කටුබැද්ද, ලක්ෂපතියේ මා නැවතී සිටි කුලී නිවසයි. එය අයත් වුණේ විදෙස් ගතව සිටි මොරටුව විශ්වවිද්‍යාල ආචාර්‍යවරයෙකුටයි.

"අනූවේ පරපුර" වැඩ වලට දයාසේන ගුණසිංහ, සුනිල් මාධව, සුනිල් ආරියරත්න, නන්දා මාලනී, රත්න ශ්‍රී විජේසිංහ, මොනිකා රුවන් පතිරණ වැනි කලාකරුවන්ගෙන් ලැබුණේ නොමද සහයක්.

අපි හාහාපුරා කියා වැඩ ඇල්ලුවේ දීප ව්‍යාප්ත "කාව්‍ය රචනා තරඟයක් හා වැඩමුළුවක්" සංවිධානය කිරීමෙන්.
එය පැවැත්වුණේ මොරටුව සර්වෝදය මූලස්ථාන බිමේදී.

මේ සඳහා එවකට එහි ලොක්කෙකු වූ හර්ෂ කුමාර නවරත්නගෙන් අවසර ලබාගන්නට දැනට අමෙරිකාවේ වෙසෙන දක්ෂ රංගන ශිල්පියෙකු වන ලින්ටන් සේමගේ උදව් කළා. ප්‍රවීණ කවියෙකු වන එවකට ශිෂ්‍යයෙකු ලෙස සර්වෝදයේ නැවතී සිටි තිඹිරියාගම බංඩාරත් අපට උදව් වුණා.

මා සහය අධ්‍යක්ෂණයෙන් සම්මාදම් වූ හඳගමගේ " මේ මගේ සඳයි" චිත්‍රපටය රූ ගත කරද්දී ලිංටන් ළඟින් ඇසුරු කරන්නට ලැබුණත් මා අධ්‍යක්ෂණය කළ "නොනිමි ගමන" කෙටි චිත්‍රපටය සමග ලොස් ඇන්ජලීස් ගිය වෙලාවේ එහි සිටි ලිංටන් සම්බන්ධ කර ගන්නට අවකාශ සැලසුණේ නැහැ.

දැනට ජර්මනියේ වෙසෙන සමාජ ක්‍රියාකාරිකයෙකු වන රෝහිත භාෂණ අබේවර්ධන ලියූ "ගම, මකුළ හා මම" නම් වූ කවිය තරඟයේ ප්‍රථම ස්ථානය ලැබුවේ විනිශ්චය කළ තිදෙනා වන දයාසේන ගුණසිංහ, සුනිල් ආරියරත්න, මොනිකා රුවන්පතිරණ තිදෙනාගේ ඒකමතික තේරීමෙනුයි.

භාෂණ "ලක්දිව" පුවත්පතේ කවිපිටුව සංස්කරණය කරන්නට සුනිල් මාධව විසින් තෝරාගනු ලැබුවේ මේ ජයග්‍රහණයෙන් ලද පිළිගැනීම නිසා වෙතැයි සිතනවා. කොහොමත් ඔහු දක්ෂ කවියෙක්.

අනතුරුව නන්දන වීරසිංහගේ "ගිං ගඟේ විලාපය", දයාසේන ගුණසිංහගේ "කේතුමතී හෝටලයේ රාත්‍රියක්", සුනිල් මාධවගේ "හඬනු මැන නිදහස" වැනි කෘති ජනගත කිරීමේ උත්සව "අනූවේ පරපුර" සංවිධානය කරද්දී නව පරම්පරාවක් තුඹසට ඇදෙන වේ රැළක් සේ සතර දිග් භාගයෙන් පැමිණ කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ අතුරු සිදුරු නැතිව පිරෙන්නට වුණා.

සත්‍යපාල ගල්කැටිය වැනි පිරිස් පවා හිතාමතා හෝ විහිළුවට මෙන් "අනූවේ පරපුර" කියන්නෙ "අනූ නමයෙන් බේරුණ පරපුර"  කියා තැන තැන දොඩද්දී තත්ත්වය නරක අතට හැරුණා.

"අනූවේ පරපුර" පසුපස රහස් පොලිසිය සමීප වන බවත්, වෙනම ෆයිල් එකක් විවෘත කර ඇති බවත් දැනගන්නට ලැබීමත් සමග අපි මදක් පසු බැස්සේ 'පියවරක් පසුපසට, පියවර දෙකක් ඉදිරියට' න්‍යාය අනුගමනය කරමිනුයි.

එතෙක් නාවල, විවෘත විශ්වවිද්‍යාලයේ සේවය කරමින් සිටි මා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවයට යාමත් සමග කොළඹ සෙල්ලම් වලට තිත වැටුණා.






කෙටිකතා එක්ක කවි   කියවන්න. මෙතැනට යන්න


























"


















Sunday, 6 March 2016

අභීත පත්තරකාරයෙකුවූ මානවහිතවාදියා


සුනිල් මාධව ප්‍රේමතිලක ගැන අටුවා ටීකා ලියන්න යන එක  තේරුමක් නැහැ කියල හිතෙන්නෙ ඔහු ගැන බොහෝ දේ ලියැවිලා තියෙන නිසාත්, ‍සමාජය ගැන සවිඥානිකව ඉන්න බොහෝ දෙනා ඔහු ගැන දන්නා නිසාත්.

ඒත් සුනිල් මාධව ගැන මේ මොහොතෙ සඳහනක් නොකර ඉන්න මගෙ හිත දෙන්නෙ නැත්තෙ සුනිල් අයිය වෙනුවෙන් ඔහුගේ ජීවන අත්දැකීම් පොතක් විදිහට එළි දකින මොහොතක ඊට සහභාගි වීමේ වරම් අහිමි වීමේ කම්පාවත් එක්කයි.


සති කිපයකට පෙර  සුනිල් අයියාගේ දුකසැප බලන්නට කදමලු අත දරාගෙන ගිය මොහොතේ මගෙන් මෙහෙම ඇසුවා.

"මචං වර්ණෙ...උඹ කවදද ආපහු යන්න‍ෙ...?"

සුනිල් අයියා මට කවදත් කතා කළේ 'වර්ණෙ' කියලයි. මගේ නමේ මුලට තියෙන විදෙස් ඌරුවෙ 'හෙන්රි' නමට ඔහු එතරම් කැමැත්තක් නැතිවා වෙන්න ඕනෙ. මට 'වර්ණෙ' නමින් අමතන එකම පුද්ගලයාත් ඔහුම තමයි.

ඒකට මං මොනවා කරන්නද? මම දාගත්ත නමක් නොවෙයිනෙ.

"ඇයි සුනිල් අයිය එහෙම ඇහුවෙ"

"නෑ මචං මගෙ ජීවිත කතාව එළි දකින්නෙ මාර්තු 10. උඔ එදාට ඉන්නම ඕනෙ එකෙක්. අසංගි කියල පොඩි කෙල්ලෙක් බං මේ ලොකු වැඩේ සංවිධානය කරන්නෙ"

ඇත්ත. එදාට ඉන්නම ඕනෙ එකෙක් වුණාට මට ඉන්න වෙන්නෙ නැති බව මා කීව. ඇත්තටම පුළුවන් කමක් තියෙනව නං මං නොයිඳ ආපහු එන්නෙ නෑ.

ඒත් අපේ ජීවිත අපට ඕනෙ විදිහට හසුරුවන්න වරම් නෑ.


සුනිල් මාධව සමග සමීප ඇසුරේ අලගිය, මුලගිය තැන් එහෙන් මෙහෙන් සටහන් කළ "නොකී කතා" පොතේ පිටපතක් පිරිනැමුව මොහොතේ සුනිල් අයිය මාව බදා වැළඳ ගත්තේ සුපුරුදු සෙනෙහසින්.

පිටු පෙරලන්න නොහැකිව වෙව්ලන අතින් පොත අතපත ගාද්දී මම පොතේ පිටු පෙරලමින් ඔහුට උදව් වුණා. 


සුනිල් මාධව සංස්කරණය කළ දිවයින පත්තරේ "අටවෙනි පිටුව"ට ලිව්වත් මා මුලින්ම ඔහුව මුණ ගැහුණේ ඊට වසර කිහිපයකට පසුව "ලක්මිණ" පත්තරේ පටන් ගත්තාට පසුව බව මෙන්ම ඒ හමුව හා ඉන්පසු අප අතර වූ සබැඳියාව ගැන මා "නොකී කතා" පොතේ සුනිල් මාධව ප්‍රේමතිලක වෙනුවෙන් වෙන් කළ පරිච්ඡේදයේ සටහන් කොට ඇති නිසා ඒ ගැන වැඩිමනත් ලියන්නේ නැහැ.

සුනිල් මාධව සෙවනේ මහගිරිදඹ තරණය කළ බෙහෝ දෙනෙකු අතින් ඉටුවිය යුතු සද්කාර්යයක් අසංගි අංජු විජේසූරිය නම් වූ රසිකාවිය කරටගෙන සිටිද්දී ඒ වෙනුවෙන් කළ හැක්කේ හැකි සෑම දෙනාම මේ අවස්ථාවට සහභාගිවීම කියලයි මට හිතෙන්නේ.

මේ සද්කාර්යය ගැන තැන තැන කියවෙන විවිධ කතාබහට අසංගි සොයුරිය ෆේස්බුක්හි දැක්වූ ප්‍රතිචාරය මෙසේ ගෙනහැර දක්වන්නට කැමැතියි.

++++++++++++++++++++++++++++++++++++++++++
සහෝදරවරුනි.. ඉතාම කෙටියෙන් පැහැදිලිව කිවයුතු යමක් ඇත. මෙම
උපහාරය දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් මඟින් සංවිධානය
කරන්නක් නොවේ.
නමුත් පක්ෂ බේදයකින් තොරව පුද්ගලිකව සියල්ලන් මට මේ විටත් විවිධ කාර්‍යන්හිදී සහය පළකර ඇත.හදවත් ඇත්තන් සහ සුනිල් මාධව ප්‍රේමීන් ලෙස ඔවුන්ගේ සහය ලබාගත්තා මිස දේශපාලන මතය මත ලබාගත් සහයක් නොවේ.

මෙහි නිවේදන කටයුතු කිරීමට අසංක සායක්කාර සම්බන්ධවන පමණින්, සංවිධාන කටයුතුවලට නලින්ද සංජීව ලියනගේ සහය දෙන පමණින් මෙය පෙරටුගාමී සමාජවාදී පක්ෂය මඟින් සංවිධානය කරන්නක් බව සිතා සිටින්නන් පිළිබඳව කණගාටු වෙමි. ඔවුන් දෙදෙනාම පෙරටුගාමීන් බව සත්‍යකි. නමුත් මේ සඳහා මා ඔවුන්ගේ සහය ලබාගත්තේ පුද්ගලිකව සුනිල් අයියා පිළිබඳව ඔවුන් තුළ ඇති හිතෛෂීභාවය හේතුවෙනි. මෙය මාගේ පුද්ගලික මුදලින් සහ මගේ හිතමිතුරන්ගේ සහයෙන් සිදුකරන්නක් මිස වෙනයම් පක්ෂයක හෝ කණ්ඩායමක ක්‍රියාවක් නොවේ.

හදවත් ඇති පෙරටුගාමීයෝත් හදවත් ඇති ජවිපෙ සහෝදරවරුනුත් මේ සඳහා දේශපාලනික මතය පසෙකලා පුද්ගලිකව මට සහය දුන් අතර එසේ දුන් හා දෙන සහය ඉතා අගයකොට සළකමි.
සුනිල් අයියා යනු ජවිපෙ සහෝදරත්වයටත්, පෙරටුගාමීන්ටත් පමණක් නොවේ මෙරට තුළ සියලු මානවහිතවාදීන්ට පෙරගමන්කරුවෙකු වූ චරිතයකි.එබැවින් සුනිල් අයියා සිය 50 වසරක මාධ්‍ය ජීවත අත්දැකීම් අතීතාවලෝකනය කරන මොහොතේ, ඔහු විසින්ම ලියූ සිය මාධ්‍ය ජීවිත අත්දැකීම් සහිත "නොනිමි ජීවිත කතාව" එළිදක්වන මොහොතේ, ඔහු වෙත ජනතා උපහාර පිරිනැමීමට සියලු සුනිල් මාධව ප්‍රේමීන් එක්විය යුතුබව මඟේ හැඟීමයි.
මෙම උළෙල යම්කිසි දේශපාලන පක්ෂයක් විසින් සංවිධානය කරනවා යැයි වැරදි වැටහීමකින් යුතුව, මීට සහය පළකිරීමෙන් හා සහභාගීවීමෙන් වැළකී සිටින සියලු මාධ්‍ය ආයතන, සංවිධාන සහ දේශපාලන කණ්ඩායම් වලට එම වැරදි වැටහීම ඉවත්කරගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
එසේ වැරදි වැටහීමකින් යුතුව මෙම උළෙල වර්ජනය කිරීමට උත්සහ කිරීමෙන් පැහැදිලිවම ප්‍රකට වන්නේ, වත්මන් සමාජ දේශපාලන ව්‍යාපාර තුළින් සහෝදරත්වය සහ මානුෂිකත්වය ගිලිහී ගොස් ඇතිබවයි.
එසේ ගිලිහී යන මානුෂිකත්වය සහ සහෝදරත්වය යළි අවුලුවාලමින්, පුබුදුවාලමින් "සුනිල් අයියා" වෙනුවෙන් ,ඔහුගේ 50 වසරක සමාජ හා මාධ්‍ය මෙහෙවර උදෙසා උපහාර පිදීමට මා හා අත්වැල් බැඳගන්නා මෙන් මෙම උළෙලේ සංවිධායක ලෙස සියලු සුනිල් මාධව ප්‍රේමීන්ට හෘදයාංගමව ඇරයුම් කරමි!!
ඔබ
වර්ණ වශයෙන් රතු, කහ, කොළ හෝ නිල් විය හැක..
වෙනත් වර්ණයක් ද විය හැක..
එහෙත් එහැම වර්ණධාරියෙකුගේම හදවත රතු යැයි මම හඟිමි..
ඒ ලෙයෙහි රතයි..
සුනිල් අයියා දරන්නේ අන්න ඒ රතයි..
ඉතින් වර්ණහරණය කර ඔබත් එන්න..
සුනිල් අයියාගේ හදවත දකින්න..
මේ සත්‍යවාදියෙකු සිය අඩසියවසක මාධ්‍ය සැමරුම් අතීතාවලෝකනය කරන මොහොතයි..
එතැනට ඔබේ වර්ණයන් රැගෙන ආ යුතු නැත..
මන්ද ඒ මනුෂ්‍යත්වය වර්ණවත් කළ සුනිල් අයියාගේ සැදෑව බැවිනි..

අසංගි විජේසූරිය
++++++++++++++++++++++++++++++++++++++++++

සුනිල් මාධව ප්‍රේමතිලකට ආදරය අැවැසි මොහොතක කුහක දේශපාලන
පාට කන්නාඩි පසෙකලා, පංගුපේරු ඉවතලා, සුනිල් අයියාගේ භාවිතයේ හෝ පෞද්ගලික ජීවිතයේ කෝන්තර හුවා දක්වන්නේ නැතිව මාර්තු 10 දා කොළඹ මහජන පුස්තකාලයට මොහොතකට ගොඩවදිනවා කියන්නේ මරණය පෙනි පෙනී එක්තරා අඳුරු යුගයක සුවහසක් ජනතාවගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් අභීතව පෑන මෙහෙයවූ සෙන්පතියෙකුට දක්වන

අනුපමේය ලෙන්ගතුකමක්.....

කළගුණ සැළකීමක්.......








කෙටිකතා එක්ක කවි   කියවන්න. මෙතැනට යන්න

Thursday, 28 January 2016

පොලිසිය ගැන බලු කතා





















මේ දවස් වල පොලීසිය ගැන එක එක විදිහෙ කතා ඇහෙද්දි පොලිසියට සම්බන්ධ නොකී කතා දෙක තුනක් මතක් වුණා. 

මේවා සමාජයෙ සිද්ධ වෙන, අහන දකින පත්තර වල යන විදිහෙ කතා වුණාට මට පෞද්ගලිකව ලැබුණු අත්දැකීම් නිසා කියල දාන්නම්.

ලංකාවෙ පොලිසිය බලු නොවටී කියන්නෙ නිකම්ම නොවෙයි. බලු කතා කියන එක පොලිස් බල්ලන්ටත් අපහාසයක්.

පොලිස් සුනඛයො තව හොඳයි. අඩුම ගානෙ කන්න දෙනවට, රැකබලා ගන්නවට හිලව්වට හොරෙක් හතුරෙක් ඉව කරල හරි අල්ලල දෙනව.

ඒත් පොලිස්කාරයන්ගෙ වේෂයෙන් ඉන්න පොලිස් බල්ලො අපේ බදු මුදල් වලින් පඩි අරගෙන, ඒ මදිවට අපිටම අංචිය අදිනව.

ඒ හංද මේ ලියවිල්ලෙ පොලිස් බල්ලො කියන්නෙ සුනඛයින්ට නොවෙයි ඕං.

(අර මාධ්‍ය සදාචාරයට අනුව මෙහෙම කියන්නෙ හැමෝටම නොවෙයි...හොඳ අයත් ඉන්නව කියල ලිව්වෙ නැත්තෙ මට මුණගැහිල තියෙන උංගෙන් 90% ක්ම ඒ වර්ගයෙ නිසයි. මේ හොඳට ඉන්න ඈයො පොලිසියට බැඳිල ටික කාලෙකින් බලු වෙනව. ඇස්පනාපිටම.)

තමංගෙ දේශපාලන කාර්‍යාලය ඇතුළෙ තමං හදාගත්ත උසාවියක නඩු අහන්න තරං නීතිවිරෝධී වැඩක් කළ හිරුණිකා පෝරුවට ගෙනියන්න වගේ සීරුමාරුවට උසාවියට වඩම්මන් යන පොලිසියම තමයි, මහ රෑ ගෙවල්වල තියෙන සාද වලට කඩං පැනල පිනට අරක්කු ඉලල්ල දුන්නෙ නැතිවුණාම තරුණයෙක්ව ගහල, කපල මරා දාන්නෙත්.

මේ කතාව ඒකට  හුරුව ලබාගන්න විදිහ ගැන කියවෙන එකක්.

1. දැනට අවුරුදු පහ හයකට කලිං මම හිතවත් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකුගෙ චිත්‍රපටයක් මුදාහරින මොහොතෙ ඒකෙ මංගල දර්ශනයට අදාළ කටයුත්තකට සම්බන්ධ වෙලා උන්න.

මේ චිත්‍රපටයෙ නිෂ්පාදන අංශයෙ ලොකු වගකීමක් තිබුණ නෝන කෙනෙකුගෙ කාර්යාලයේ තමයි මේ වැඩ කරමින් උන්නෙ. 

කැලණි සරසවියෙ ඉගෙනගනිමින් හිටිය ගෑනු ළමයි වගේකුත් පාර්ට් ටයිම් වැඩ විදිහට එතන අපට සහයෝගය දුන්න. 

එක දවසක් නපුරු ආරංචියක් ආව.

අර නෝන මහත්තයගෙ සහෝදරියක් ගේ ඇතුළෙ මරා දාල.

අපි වහාම තොටළඟ පැත්තෙ ගෙදරට පිටත් වුණා.

එතන එකම මළගෙයක්.

සමාජයේ වැදගත් රස්සාවන් කරමින් උන්න මේ පවුල එක රැයින් නිහීනයෙකු විනාශ කරල.

සිද්ධිය හිතාගන්න බැරි ප්‍රහේලිකාවක්.

සිද්ධිය මෙහෙමයි.

මහත්තය වැඩ ඇරිල ගෙදර ඇවිත් තියෙන්නෙ අඳුරු වැටෙන්න ඔන්න මෙන්න. ඒ වෙලාවෙ නෝනම තමයි ස්වයංක්‍රීය ස්විචය ඔබල rolling gate එක ඇරල තියෙන්නෙ. 

මහත්තය ඇවිල්ල ටිකකිං ආයෙම එලියට යද්දි වයසක අම්මයි දුවයි පහළ තට්ටුවෙ tv බලමින් ඉඳල තියෙන්නෙ. 
නෝන උඩ තට්ටුවෙ ඇඳුම් මදිමින් උන්නෙ.

මට මතක විදිහට පැය බාගෙකට වැඩි කාලෙකට පස්සෙ අම්ම හොයාගෙන දුව එද්දි ඇඳ උඩ අඩ නිරුවතින් මරා දාල.

ඉන්පසු ඇති වුණ තතත්වයන් මම විග්‍රහ කරන්න යන්නෙ නෑ.

මිනීමරුවව පොලිසිය හොයාගත්ත ඉතා කෙටි කාලෙකින්. ඒ අතින් පොලිසිය දක්ෂයි. කොහොමත් සල්ලි බාගෙ තියෙන, සමාජයේ පිළිගැනීමක් තියෙන අයගෙ ඒවට ක්ෂණික ප්‍රතිචාර.

මිනීමරුව පොළොන්නරුව පැත්තෙ ඉඳන් ගොඩනැගිලි ඉදිකිරීම් වල අත් උදව්වට ආව කුලීකාරයෙක්.

ඒකත් කෙටියෙන් කියන්නම්කො.

මේ හාදය එක්ක ඔය නෝන එකම දවසයි කතා කරල තියෙන්නෙ. ඒත් හාදය පාරෙ යද්දි බැල්කනියෙ ඉඳං.

නෝන හවසට වැඩ ඇරිල ඇවිල්ල බැල්කනියට වෙලා ටිකක් ඉන්නවලු. සමාන්‍යයෙන් වැඩ ඇරිල ගෙදර එන්නෙ එකම වෙලාවට හංද බැල්කනියට යැවෙන්නෙත් එකම වෙලාවට වෙන්නැතිනෙ.

මේ හාදය වැඩ ඇරිල යන්නෙත් ඔය වෙලාවට. සමහර විට නෝනව බලන්න ඒ වෙලාවටම එතනින් ගියාමද දන්නෙ නෑ කියල හිතෙන්නෙ කතාව ඇහුවමයි.

මේ පුද්ගලයට නෝන පිළිබඳ සිතක් පහළ වෙලා. දවස් ගාණක් පෙරුම්පුරල එක දවසක් වචන කීපයක් කතා කරල. කතා කරන්න ඕනෑවට පරණ බඩු විකුණන්න තියෙනවද හරි ඒ වගේ දෙයක් ගැන හරි අහල.

නෝන ඉතිං හිතේ අවුලක් නැතිව හොඳින්, සුහදව උත්තර දීල. කවුද හිතන්නෙ එහෙම එකෙක් මෙහෙම හිතයි කියල.

අනතිමේදි නෝන එක්ක බුදිය ගන්න තියෙන ආසාව මේ කතා බහෙන් පස්සෙ පිස්සුවක් වෙච්චි මේ හාදය එළියෙ රැකගෙන ඉඳල මහත්තය පිටතට යන්න ගේට්ටුව උස්සපු ටිකට වත්තට රිංගගෙන තියෙනව.

ඊට පස්සෙ කොහොමින් හරි උඩ තට්ටුවට පැනගෙන නෝන ඇඳුම් මදින කාමරයට ගිහිං ආයුධයක් පෙන්නල බය කරල මරාදාල, දූෂණය කරල හීං සිරුවෙ වත්තෙ අනෙක් පැත්තෙ පාළු ඉඩමට පැනල පළා ගිහිං.

පොළොන්නරුවේ ගමට ගිහිං මොකුත් නොවුණ වගේ ඉද්දි අලල් ගත්තෙ අරං ගිය ෆෝන් එකට වෙන සිම් එකක් දාල පාවිච්චි කරන්න ගත්ත නිසා ෆෝන් එක තියෙන ඉසව්ව trace කරලයි.

ඊට පස්සෙ මේ හාදයම තමයි උඩින් ලියල තියෙන සිද්ධිය වුණ ආකාරය වමාරන්න ගත්තෙ.

පොලිසිය මේකව කොළඹ ගෙනැවිත් ඉතා හොඳින් සංග්‍රහ කරල සියල්ල ගැන ප්‍රකාශයක් ගත්ත. ඒ විස්තරේ මුගෙ හඬින්ම පටිගත කළා.

අම්මවයි, බිරිඳවයි ගෙන්නල මූ ඉස්සරහම රෙකෝර්ඩ් එක දාල අහන්න සැලැස්සුව. මූ ඒ අය ඉදිරියෙ වරද පිළිගත්ත.

නඩු නෑ. උසාවි නෑ. හිර ගෙවල් නෑ. එල්ලුම් ගස් නෑ.

මූව අල්ලපු වත්තෙ කෙසෙල් පඳුරක් ළඟ හංගපු ආයු‍ධය
පෙන්නන්න එක්ක ගිහිං, මිනිමරුව පොලිස්කාරයන්ට බෝම්බයකින් ගහන්න ගියාම ආත්මාරක්ෂාව සඳහා වෙඩි තියල මරා දාල chapter එක close කළා. 

හැමෝම සතුටු වුණා. පොලිසියෙ ලොක්ක පොර වුණා.

මාව නං කොර වුණා. ඒක බලු වැඩක් නොවෙයිද.

----------------------------------------------------------------------------------

2.  පොලිසිය සල්ලි වලින් වගේම භාණ්ඩ වලිනුත් පගා, කප්පන් ගන්නවනෙ.

මස් කඩේට ගියාම හොඳම මස් කුට්ටිය අරං යනව. අපිට ඇහෙන්න සල්ලි එමින් ගමන් දෙන්නං කියනව. තැබෑරුමට ගිහින් අරක්කු බෝතල් නිකං හරි නිකංම වගේ පොඩි ගාණකට හරි ගන්නව.

පාරෙ වාහන පදවද්දි හැංගිලා ඉඳල පාරට පැනල අල්ලගෙන ගාන කපනව.

අවුරුදු ගාණකට කලිං ඔහොම වැඩක් වුණා. අපි නුවර ඉඳං කොළඹ එමින් උන්නෙ. කඩුගන්නාවෙදි මම විදපු ගල අස්සෙන් කාර් එක දැම්ම. මෙන්න බොලේ පොලිස්කාරයෙක් අත දැම්ම.

මම කාර් එක ටිකක් ඇතින් නවතල ආපස්සට ඇවිදගෙන ආව. වැරැද්ද මට පැහැදිලි කළා. මම ඒක දැනන් උන්නෙ නැහැ කීවම නොදැන සිටීම නීතිය ඉදිරියේ රැකවරණය ලබන්න හේතුවක් නොවන බව මට කියා දුන්න.

දඬුවම දඩයක්. දඩ කොලේ ලියන්න ලයිසන් එක ඉල්ලුව. මම මා ගැන පොර ටෝක් එකක් දුන්න. ඒ කාලෙ වැඩ කළේ ස්වර්ණවාහිනියෙ නිසා එහෙම කතා කළාම ෂේප් වෙන්න පුළුවනි. "අදට යන්න දෙන්නම්. අපිටත් වැරැද්දක් වුණාම ඕකෙ නොදා චාන්ස් එකක් දෙන්නෙ නැතැයි" ඔය වගේ දෙයක් කියල යවනව.

මේ පොර නං එක්කෝ දඩයක් ගහනව. නැත්නං ගාණක් කපනව.

මොකද පොලිස්කාරය කිව්ව මං මෙතන ඉන්නෙම ඔතනින් දාන අයව අල්ලන්නම තමයි කියල.

හරි නං කරන්න තිබුණෙ ගලට කලිං ඉඳල එතනින් දාන්න යන අයව නවත්තන එකනෙ. කරන්න යන්නෙ බලුවැඩක් කියල මට හිතුණ.

ඉන්න පර්ස් එක අරං එන්නං කියල ටිකක් ඉදිරියෙන් තිබුණ කාර් එකට නැංග මම කඩුගන්නාව පල්ලමේ හැටට හැටේ නොවෙයි සීයට සීයේ වේගෙන් ඇද්ද ඇදිල්ලක්....මාවනැල්ලට ගිහිනුයි වේගය අඩු කළේ.

පස්ස ෂීට් එකේ උන්න පුතණ්ඩිය ඇරල යං තාත්තේ කිය කිය ඔත්තු බැලුවෙ පොලිසිය පස්සෙන් පන්නනවද කියල බලන ගමන්මයි.

--------------------------------------------------------------------------------

3.  මේ කතාව සිද්ධ වුණේ මාස ගාණකට කලිං.

ලංකාවට ගියාම මං කොළඹ ඉන්නව නං නවතින්නෙ පුතා එක්ක, නුගේගොඩ.

එහෙම දවසට උදේට කෑම ගන්න මං එන්නෙ නාවල පාරෙ අලුතෙන් හදපු පාර්ක් එක ළඟින් පාගොඩ පාරට හැරෙන විකල්ප මාර්ගයට ඇතුළු වෙන හංදිය ළඟ කඩේට.

එතන පදික වේදිකාව පළලයි. පාර බ්ලොක් වෙන නිසා පාර අයිනෙ නවත්තන්නෙ නැතිව පොඩ්ඩක් පේව්මන්ට් එකට වෙන්න වාහන නවත්තල මිනිස්සු කෑම අරං යනව.

මාත් එහෙම නැවැත්තුව. කෑම අරං එද්දි හංදියෙ ට්‍රැෆික් කොන්ට්‍රෝල් කරපු රාළහාමි කාර් එක ළඟ.

යනකොටම සද්දෙ දාන්නගත්ත. මම වැරැද්ද මොකක්ද ඇහුව. "පදිකවේදිකාව අවහිර කිරීම."

"අනෙක් වාහනත් නවත්තනවනෙ." මම කිව්ව. "දැන් තියෙන්නෙ මේකනෙ. කෝ දෙන්න ලයිසන් එක."

මම පොලිස්කාරයන්ට ලේසියෙන් ලයිසන් එක දෙන්නෙ නෑ. ලයිසන් එක දුන්න ගමං අපි බලු වෙනවනෙ.

මං රට ඉඳං ආව බවත්, දවස් දෙකකින් යන බවත්, තව ටිකකින් අසනීපෙන් ඉන්න තාත්ත බලන්න ගමේ යන බවත් නඩු දැම්මොත් උසාවි එන්න නං වෙන්නෙ නැති බවත් මම කිව්ව.

කරන්න දෙයක් නෑ.... උසාවි දාන්නම වෙනව කියල ලයිසන් එක ඉල්ලුවෙ මා එක්ක සෙල්ලං කරන්න එන්න එපා. නීතිය කාටත් එකයි කියල පාරම්බාමින්.

මම කිව්ව "එහෙනම් ලියන්න. මට ලයිසන් ඕනෙ වෙන්නෙ තව මාස ගාණකින් ආයෙ ලංකාවට ආවමනෙ. එතකොට ගන්නං" කියල.

ලයිසන් එක අරං බයික් එක ළඟට යන්න කිව්ව පොලිස්කාරය ට්‍රැෆික් කොන්ට්‍රෝල් වැඩේ පටං ගත්ත. හිතාමතාම මාව රස්තියාදු කළේ මට වැඩේ එපා කරවන්න කියල තේරුණේ පැය කාලකට විතර පස්සෙ ඇවිත් කිව්ව දෙයින්.

ලයිසම අතට ගත්ත පොලිස්කාරය කියනව "ඕකට ඉතිං ගොඩක් රස්තියාදු වෙන්න වෙනව. රට යන්නත් තියෙවනෙ. මං ගෙවන්නං වෙන වරදක් දාල. මේ වරදට නං උසාවිම තමයි. මහත්තය දාහක් දීල යන්න" කියල.

මෙච්චර වෙලා නීති කතා කළ එකාගෙ තුප්පහි වැඩේ ගැන මට මළ පැන්න. හරි උඹට දෙන්නං කියල මම හිතාගත්ත.

මගෙ අතේ තියෙන්නෙ පන්සීයයි කිව්වම මිනිහ කිව්ව මොනා කරන්නද ඒකට හරියන්න වරදක් ලියල දඩේ ගෙවන්නං කියල. 

ලයිසන් එකයි, බලපත්‍රය අස්සට දාපු සල්ලියි බයික් එකේ සීට් එක උඩින් තියන්න කිව්ව. මම එහෙම කළා. මොනවද කුරුටු ගගා ඉඳල ලයිසන් එකයි, බලපත්‍රයයි මට දෙද්දි පන්සීය දඩකොල ලියන පොත ඇතුළෙ.

කොහොමත් උදේට වෙලාවට කන්න බැරි වුණාම  මළ පනින මම කාර් එකට නැගල කෙලින්ම ගියෙ මිරිහාන පොලිසියට.

ක්‍රාෂ්...ගාල ගේට්ටුව ළඟ කාර් එක බ්‍රේක් ගැහුවම කොස්තාපල් දුවගෙන ආව. "මම ආවෙ පොලිසියට විරුද්ධ පැමිණිල්ලක් කරන්න. ලොකු මහත්තයගෙ ඔෆිස් එක කොහෙද...?" බඩගින්නෙ මළෙන්ම මං ඇහුව. ප්‍රශ්න මොනාත් නෑ. තැන පෙන්නල, කාර් එක පාර්ක් කරන තැනත් පෙන්නල බැරියර් පොල්ල ඉස්සුව.

මිරිහාන පොලිසියේ HQI දේශබන්දු, පාර්ලිමේන්තු රාජකාරි සඳහා පිටත් වෙන්න ඔන්න මෙන්න. මම එතන හිටිය පොලිස් කාන්තාවකට කිව්වා පොලිසියට විරුද්ධව පැමිණිල්ලක් කරන්න අවශ්‍යයයි කියල.

හැරෙන තැපෑලෙන් කැඳවීමක් ලැබුණ. දේශබන්දු අර මම මුලින් කිව්ව 10% ට අයිති කෙනෙක්.

විස්තරේ කිව්වා. Ex Navy Officer බවත් කිව්වා. රාළහාමිට ඒ බව කිව්වෙ නැද්ද ඇහුවා. මම පුරවැසියෙක් විදිහට එහෙම කියන්නෙ නෑ කිව්වා.

Traffic OIC ට එන්න කිව්වා. මේ හිටපු හමුදා නිළධාරියෙක්. මොකාද අතන duty ඇහුවා. ජයන්ත කිව්වා. කළු කෙට්ටු එකාද කියල මගෙන් ඇහුවා. ඔව් කිව්වා.

"ඔය හුත්තිගෙ පුතාව දැන් ගෙන්නල මේ මහත්තයගෙ සල්ලි ඉල්ලල දීල මං එනකල් මෙතන තියන්න" කිව්වා.

Traffic OIC මාව එක්කන් ගිහිං ජයන්තගෙ අම්ම මෝ ඇරියා. වහාම පොලිසියට වාර්තා කරන්න කිව්වා. "මම කිව්ව මට දඬුවම් කරන්න අවශ්‍ය නෑ. සල්ලි ඕනෙත් නෑ. මම උදේට කාලත් නෑ. පුතත් බඩගිනෙ. මම යන්නම්. "ජයන්ත රාළහාමිට අවවාද කරන්න" කියල.

අපෝ බෑ. ලොක්ක මගෙ ඔළුව කයි. සමාවෙලා පොඩ්ඩක් ඉන්න කිව්වා.

ජයන්ත ආව. මාව දැක්කම uniform එකේ චූ ගිය ගානයි.

"කැරි හුත්තිගෙ පුතෝ මේ සර්ගෙන් ගත්ත 500 දීපන් " කිව්වා. 

ජයන්ත බය වෙලා, ගල්බීත වුණා. සල්ලි සාක්කුවෙන් ගත්ත. "මම ආවෙ පගාව ආපහු ගන්න නොවෙයි. මට කතා කරපු විදිහයි, රස්තියාදු කරපු විදිහයි වැරැදියි කියන්නයි මට ඕනෙ."

" මේ ඉන්නෙ අපට වඩා වැදගත් uniform එකක් ඇන්ද මහත්තයෙක්. බලුවැඩ කරන්න එපා."

" මට කිව්ව නං හමුදාවෙ උන්න බව මං මේක ගන්නෙ නෑ"

"මං මොකටද ඔහේට කියන්නෙ මගෙ පැටිකිරිය...මමත් මේ රටේ තවත් පුරවැසියෙක්" මම කිව්වා.

"ඈ පරයො කොයි පොතේද තියෙන්නෙ දඩත් ගහල පොලිස්කාරයම දඩේ ගෙවන්න කියල. බලුවැඩ කරන්න කලිං මිනිස්සු කවුද කියල බලපං"

Traffic OIC ගෙ අවවාදයේ අනෙක් පැත්ත වුණේ "බලුවැඩ කරපං...මිනිස්සු කවුද කියල බලල" කියන එකද කියල හිත හිත මං ගෙදර ගියා.




කෙටිකතා එක්ක කවි   කියවන්න. මෙතැනට යන්න


Tuesday, 19 January 2016

මදැයි බැලුවා රජගෙදර පරෙවියෝ



පේ සුමිතුරු රසිකගේ රසිකලොජිස්ට් බ්ලොගයේ අලුත්ම ලියැවිල්ල කියවද්දි තමයි දශක ගණනාවකට පෙර පාසල් වියේ ටියුෂන් කතාවක් මතක් වුණේ.

ටියුෂන් ගැන ලියූ රසිකගෙ බ්ලොගය මෙතැනින්.

ටියුෂන් කතාවට එන්න පාසල් වියේ නොකී කතා මැද්දෙන්ම පියවර තියන්නම්කො.

මම මුලින්ම ඉස්කෝලෙ ගියේ අපේ අල්ලපු ගමේ ප්‍රාථමික පාසලට.  හලා/ කොට්ටරාමුල්ල රජයේ කණිෂ්ඨ පාසලට.

තාත්ත තමයි ඉස්කෝලෙ ඉංග්‍රීසි සර්. ඉතිං ළමයි ඉස්සරහ පංතියෙදි මම තාත්තට කතා කළේ සර් කියල.

මට double promotion එකක් ලැබිල හෝඩියෙ පංතියෙ ඉන්නෙ නැතිව පංතියක් ඉහළට ගියාට වයස අඩුයි කියල දෙකේද, තුනේද ඉද්දි එක පංතියක අවුරුදු දෙකක් තිබ්බ.

ඒකෙන් වුණේ හතරෙ පංතිය වෙද්දි ලව් පිස්සුව ගහපු එක. මොකද ලස්සන හුරුබුහුටි කෙල්ලක් තමයි ඒ පංතියෙ පළවෙනිය වෙමින් උන්නෙ. මම ආව ගමන් මම කප් එක ගත්තනෙ. ඒට පස්සෙ අපි දෙන්න අතරෙ තමයි තරඟෙ පංතියෙන් පළවෙනිය වෙන්න.

තරඟෙත් එක්කම  ලව් පිස්සුවත් ගැහුව. මුලිං මුලිං පොඩි පොඩි දේවල් අහ දැන ගත්ත. දෙන්නට දෙන්න කෑම හුවමාරු කර ගත්ත. 

ඉස්සර නොමිලේ දෙන පාන් කන්න අපි පංතියෙ ළූණු මිරිසක් හදා ගන්නව. එක එක්කෙනා ගෙවල් වලින් ළූණු ගෙඩියක්, අමු මිරිස් කරලක් ගේනව. බ්ලේඩ් තලේකින් තමයි කපන්නෙ.

අර දැරිවි තමයි රසට ළූනු මිරිස හදන්නෙ. පංතියෙ අපි ඉඳගෙන උන්නෙත් එක ළඟමද කොහෙද.

පහේ පංතියෙදි මම ඔය දැරිවිට ලව් ලෙටර් එකක් දීල පංති බාර මිස්ට අහු වෙලා තාත්ත අතට පත් වුණා. එයා මට කැමැත්තෙන් උන්නෙ. ලියුම පොත් අස්සෙ ගහ ගත්තට එයා දිහා ඇහැ ගහගෙන උන්න දුෂ්ටයෙක් පංති බාර මිස්ට කේලම කිව්ව.

මේ සිද්ධිය යන්තමින් අම්මාට වැඩියෙන් ආදරේ කළ දවස බ්ලොග් එකේ සඳහන් කරල තියෙනව.

කොහොමින් හරි මාව හයේ පංතියෙ ඉඳන් වහාම ක්‍රියාත්මක වන පරිදි නාත්තන්ඩිය ධම්මිස්සර මහා විද්‍යාලයට (අද මධ්‍ය මහා විද්‍යාලය) අතුළත් කළේ ඔය ලියුම් හුටපටේ හංද කියල මම දැනගත්තෙ පස්සෙන් පහු කාලෙක.

ධම්මිස්සරේට අපේ තාත්තලාගෙ කාලෙ කිව්වෙ "බයිඩිංගල්" එක කියල. ඒකට හේතුව Bilingual කියන වචනෙ සිංහලෙන් උසුරුවපු විදිහ කියල දැනගත්තෙ ඉංග්‍රීසිය දිවේ තොලේ ගෑවෙන ගත්තට පස්සෙ.

ධමිස්සරේදි අර තරං වැඩ දාන්න බැරි වුණත් පතියෙ පස් වෙනිය මට්ටමට එන්න පුළුවන් වුණා. ටිකෙන් ටික.

කරන තරමක් කඩප්පුලි වැඩ කළේ ඔය කාලෙ තමයි. 

හයේ පංතිය තිබ්බෙ ඉස්කෝලෙ වත්ත පිටිපස්සෙ කෙළවරේ මුත්‍රා ගඳ එන ටොයිලට් පේළිය කිට්ටුව. ඒ ටොයිලට් දවසකට එක වතාවකවත් හේදුවද මංද.

ගඳ දැනෙන්නෙ පංතියෙ ඉද්දි විතරයි. චූ කරන්න ගියාම අතුළෙ බිත්ති වල ඇඳල තියෙන හෙළුවැලි රූප දැක්කම මොන ගඳක්ද. ගිය කාරණේත් අමතක වෙනව.

ඔතන පිටිපස්සෙ තිබුණෙ විශාල පොල් වත්තක්. 

උපාධිධාරී භෞතික විද්‍යා  ගුරුවරයෙකු ලෙස සේවය කොට බිස්නස් වැඩ සඳහා කල් තබා විශ්‍රාම ගිය චන්දරේ, ගුරුසේවයේ යෙදෙමින් රසායන විද්‍යා පංති පවත්වන ප්‍රදේශයේ ප්‍රසිද්ධ ටියුෂන් ගුරුවරයෙකු වන ලලිත්, අමෙරිකාවේ පදිංචි ඉංජිනේරුවෙකු වන ගාමිණී, අධ්‍යාපන සේවයට අනුයුක්තව විදුහල්පතිවරයෙකු ලෙස රැකියාව කළ කීර්ති, අධ්‍යාපනය කඩා ඉහිරුවා ගත් පියරත්න ඇතුළු අපේ කල්ලියේ කීප දෙනා හොරෙන් කුරුම්බා කඩාගෙන කෑවේ ඔය වත්තෙනුයි.

හතේ පංතිය තිබුණෙ මහා මාර්ගයෙන් අනෙක් පස පිහිටි පාසල් බිමේ. ඒ පැත්තෙ එක් පසෙක වූ තාප්පෙන් එපිට වත්තට පැන කොකෝවා ගෙඩි කඩන්නට ගොස් මුරකාරයට අසු වී උප විදුහල්පතිගෙන් ඉල්ලන් කෑවෙත් ඒ කාලෙ තමයි.

අටේ පංතියෙ ඉද්දි ඉර සල්ලි සූදු කෙළින්න ගොස් ප්‍රින්සිපල් ගෙන් දඬුවම් ලබා දෙමාපියන් ගෙන්වා පාසලෙන් ඉවත් කරන බවට අවසන් නිවේදනය ලැබුවට පස්සෙ තමයි ටිකක් කඩප්පුලි වැඩ පාලනය වුණේ.

ප්‍රින්සිපල් අපිව  හැඳින්වුවෙ ඉඟුරු කල්ලිය කියල. 

සමාන්‍ය පෙළ කරද්දි ටිකක් එහායින් තියෙන මරඳ ළඳු කැලේට රිංගල සිගරැට් බිව්ව වගේ හොර වැඩකට එහා දෙයක් කළේ නෑ.

ඉඟුරු කල්ලිය සීසීකඩ විසිරුණේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලත් එක්කයි. 


අපිව පාසලේ තියාගන්න විදුහල්පතිවරය ප්‍රතික්ෂේප කළා. පළමු වර විභාගය සමත් වූ කීර්ති කුලියාපිටිය සෙන්ට්‍රල් එකට ගියා. මම මීගමුවෙ හරිශ්චන්ද්‍ර මහා විද්‍යාලයට ඇතුළත් වුණා.

හරිශ්චන්ද්‍රෙ උන්නෙ මාස තුනයි. ගණිතය කිරිකජු වගේ වුණ, සමාන්‍ය පෙළ ගණිතයට D ගත්ත මට උගන්නන කිසිම දෙයක් තේරෙන්නෙ නැති වුණා. ජනප්‍රිය ගුරුවරයෙකු වූ අබේරත්න සර් තමයි ගණිතය ඉගැන්නුවෙ. මම ප්‍රශ්නෙ සර්ට කිව්ව. එතකොටයි තේරුණේ මම ඇනගෙන කියල.

හරිශ්චන්ද්‍රෙ සාමාන්‍ය පෙළට Advance Maths උගන්නල. එතැනින් එහාට තමයි උසස් පෙළට උගන්නන්නෙ. Advance Maths ගැන අහලවත් නොතිබුණ මට උසස් පෙළ අරහංම වුණා.

ඒ අවුරුද්ද ගන්ධබ කාලයක්. තාත්ත ඉංග්‍රීසි ගුරුවරයෙකු වුණත්, පිරිවෙනකත්, නිවසේත් පංති පැවැත්වුවත් මම ඉංග්‍රීසි වලට ටියුෂන් ගියා. ටියුෂන් පංතිය තිබුණෙ නාත්තන්ඩිය ලූර්දු විද්‍යාලයෙ. සති අන්තයෙ.

මුලින්ම තැපැල් නයින්ටි එකක් පදින්න ගිහිං ලූර්දු ඉස්කෝලෙ වගා කරමින් තිබුණ පොල් තවානක් ඇතුළට වැට කඩාගෙන ගියෙත් ඔය පංතියට යද්දිමයි.

කවදාවත් ඉගෙන ගෙන නොතිබුණ Advance Maths තනියෙම ඉගෙනගෙන, ඉංග්‍රීසිත් එක්ක ආයෙම සාමාන්‍ය පෙළ ලිව්වෙ ඊළඟ අවුරුද්දෙ උසස් පෙළට ඇතුළු වෙන තුරු කාලයෙන් ප්‍රයෝජනය ගන්නයි.

ඔය අස්සෙ ගමේම කෙල්ලෙක් එක්ක යාළු වෙලා උන්නට ඒක මේ ඉගෙනීමෙ වැඩ වලට  බධාවක් කරගත්තෙ නෑ. ලියුම් ටිකක් හුවමාරු වුණා විතරයි. වැඩිම වුණොත් වත්ත පහළදි එක වතාවක් තත්පර ගාණකට මූණ ඉම්බ විතරයි. මගේ "දඩ කඳවුර" අලුත් නවකතාවෙ  ඔය සිද්ධිය වර නගල තියෙනව.



දෙවෙනි වතාවෙ සාමාන්‍ය පෙළ වඩාත් හොඳ ප්‍රතිඵල අරගෙන උසස් පෙළ කරන්න වෙන්නප්පුව ජෝශප් වාස් කොලීජියට ඇතුළු වෙන්න ලැබුණෙ මගේ මාම කෙනෙකු වන එකල ප්‍රසිද්ධ ගායකයෙකු වූ අයිවෝ ඩෙනිස්ගෙ සොහොයුරා ඒ පාසලේ ගුරුවරයෙකු ලෙස සේවය කරමින් සිටීම නිසයි.

ප්‍රින්සිපල්, පැන්ටලියන් සර් අවදානමක් ගෙන ඉඟුරු කල්ලියෙ හය දෙනාවම පංතියට බාරගත්තෙ කඩප්පුලි වැඩ කරල පාසලකින් නෙරපා හැරියට අපේ ප්‍රතිඵල අනුව පාසලට ආලෝකයක් වෙයි කියල හිතලද, වරෙල්ලකො මා එක්ක ඒ සෙල්ලම් හරි යන්නෙ නෑ කියල හිතලද දන්නෙ නෑ.

කොහොමින් හරි අපි පරණ සෙල්ලං දැම්මෙ නෑ. ඉඳහිට ඉස්කෝලෙ කට් කරල කුලියාපිටිය ශ්‍රී මහල් එකට ගිහිං බයිස්කෝප් එකක් බැලුව නං තමයි.
"රත්‍රං අම්මා" බැලුවෙ ගෙදරට හොරෙන් ඉස්කෝලෙ කට් කරල.

අපි ඉගෙනීමත් හොඳින් කළා. ඉගෙන ගන්න ගමං රසායන විද්‍යාව උගන්නන්න කැම්පස් අවුට් වුණ ගමන් අලුතෙන් පත් වෙලා ආව දමයන්ති මිස්ටත් හිතෙන් ලව් කළා.

ශුද්ධ ගණිතය ඉගැන්වූ ජස්ටින් සර්, ව්‍යාවහාරික ගණිතය ඉගැන්වූ (අපේ හතුරා වූ) රණවීර සර් ගාණක් හදන්න දීල කෙලින්ම ආවෙ පිටිපස්සෙම පේළියෙ උන්න අපේ කල්ලිය ගාවටයි. හේතුව තමයි ගාණක් දීල අනෙක් පැත්ත හැරෙද්දි අපේ කල්ලිය ගාණ හදල ඉවර  වීම.

 (රණවීර සර් අපේ සුන්දර හතුරෙක් වුණේ දමයන්ති මිස් එක්ක නිතරම කතාබහ කරමින් සිටීම නිසයි. මම විවෘත විශ්වවිද්‍යාලයේ සේවය කරද්දි පැවැත්වූ ගුරු විභාගයකට රණවීර සර් ලියන්න ආව වෙලේ මම විභාග පරීක්ෂකවරයෙක් විදිහට හමු වුණාම සර් හරිම ආඩම්බර වුණා)

ඔන්න උසස් පෙළ පංතියට ආව ගමන් ටියුෂන් රැල්ලට අපිත් අහු වුණා. චන්දරේ එහෙම රසායන විද්‍යා ටියුෂන් ගන්න කොළඹත් ගියා.

අපි මීගමුවෙ ටියුෂන් යන්න පටන් ගත්ත.

ඒ කාලෙ ඉඳන්ම මට චිත්‍රපට පිස්සුව. උසස් පෙළ පංතියෙ ඉද්දි ගෙදරින් අවසර ඇතිව වෙන්නප්පුව ශ්‍රී ලංකා හෝල් එකේදි බලපු "දුහුළු මලක්" තමයි මගෙ චිත්‍රපට පිස්සුව ඩබල් ට්‍රිබල් කළේ.

බොඳ මීදුම් කඳුරැල්ලේ- "දුහුළු මලක්"

ටියුෂන් ගියත් උණ පුරුකෙ දාලවත් බලු නකුටෙ ඇද අරින්න බෑ කිව්ව වගේ පංති නැති දවස් වල පංති තියනව කියල ගෙදරට බොරු කියල ෆිල්ම් හෝල් ගානෙ රිංගුව. පංති කට් කළේ නම් නෑ.

මේ විදිහට බලන්න ගිය චිත්‍රපටයක් තමයි "රජගෙදර පරෙවියෝ". 

නීල බිඟු කැල-"රජගෙදර පරෙවියෝ"

"රජගෙදර පරෙවියෝ" හොරෙන් බලන්න ගිහිං ඇවිත් නිකන් ඉන්න බැරිව චිත්‍රපටයෙ කෑලි අපේ සුමිත් අයිය එක්ක වර්ණනා කළා. අපේ අම්මගෙ අක්කගෙ පුතා. ඒ දවස් වල මගේ හොඳම යාළුව. මට අවුරුද්දක් කලිං පේරාදෙනි කැම්පස් ගිහිං වාණිජ උපාධියක් අරං දැන් ධීවර සංස්ථාවෙ ලොක්කෙක්.

සුමිත් අයියට යාළුකමට වඩා නෑදෑකමයි, ලෙන්ගතුකමයි ඉස්සරහට පනින්න ඇති. මල්ලි ඉගෙනීම කඩාකප්පල් කර ගනී කියල හිතන්න ඇති.

අයිය හැරෙන තැපෑලෙන් අම්මට ගින්න දුන්න. 

අම්ම තාත්තාට ගින්න ට්‍රාන්ස්ෆර් කළා. 

තාත්ත  මගෙ ටියුෂන් තහනම් කළා.

ප්‍රතිඵලය වුණේ ගමේ පළමු ඉංජිනේරුව බිහිවීම.







කෙටිකතා එක්ක කවි   කියවන්න. මෙතැනට යන්න.

Friday, 8 January 2016

කුමාර් ගුණරත්නම් නිදහස් කරනු......!




"කුමාර් ගුණරත්නම් නිදහස් කරනු....! "
යනුවෙන් ලියා තබමින් කුමාර මහත්තයා නැතහොත් ගැමුණු මෙන්ම ගුණ්ඩා ලෙස අප දන්නා නොයෙල් නමින් පෙනී සිටි කුමාර් ගුණරත්නම් පිළිබඳ, පෞද්ගලික ඇසුරෙන් දුරස්ථ වූ එහෙත් එක් හෝ වෙනත් ආකාරයකින් සමීප මතකයන් සටහන් කරන්නේ දේශපාලන සිරකරුවෙකු ලෙස ඔහු සිරගත කොට දින 50 ක් ගෙවෙන මොහොතකයි.

                **********************************************************
                                                                        කුමාර් ගුණරත්නම්


මා මේ නොකීකතාව ලියන්නේ බොහෝ සීමා මායිම් හා ස්වයංවාරණ මධ්‍යයේයි. ඊට හේතුව පැවැති හා පවත්නා පාලනයන් පිළිබඳ මා වෙත විශ්වාසයක් නොමැති විමයි. ඒ නිසා මේ මොහොතේ කිව යුතු දේ පමණක් කියා, සෙස්ස පස්සට......

ප්‍රේමදාස වැනි දරුණු ගණයේ මිනීමරු පාලකයෙකුගේ පාලන සමයේදීද ජීවිතය බේරාගන්නට වරම් ලද අනූනවයෙන් බේරුණ "අනූවේ පරපුරේ" අප අද එදාට වඩා පරිණතයි. මරණය දක්වාම එළිදරව් නොකෙරෙන බොහෝ මතක සිත තුළ තැන්පත් වි තියෙනවා. ඒවා නොකියනම කතා තමයි.

("අනූවේ පරපුර" යනු 90 දශකයේ මුල් භාගයේදී කොළඹ ආශ්‍රිතව ක්‍රියාකාරී වූ සාහිත්‍ය-කලාව වෙනුවෙන් දායකත්වය සැපයූ සංවිධානයක්. එහි මුල් ලිපිනය මා එවකට පදිංචිව සිටි කටුබැද්දේ, ලක්ෂපතියේ නිවහනේ ලිපිනය බව පමණක් දැනට ලියා තබන්න කැමැතියි. අනූවේ පරපුර ගැන නොකී කතා පසුවට.)

ප්‍රේමකුමාර් ගුණරත්නම් මට සම්බන්ධ වන ආකාර කිහිපයක් වෙනවා. එහෙත් මා නිරත දේශපාලන ක්‍රියාවලියේදී කිසිදු විටෙක මා ඔහු සමග ගනුදෙනු කොට නැහැ.

මා ගුණ්ඩා ගැනත් ගුණ්ඩා මා ගැනත් අසා, දැන සිටියත් අප මුහුණට මුහුණ මුණ ගැසුණේ භීෂණය පහව ගොස් බොහෝ කලකට පසුව, එනම් 90 දශකයේ අග භාගයේදී.

ඒ බොරැල්ලේ ඇල්විටිගල මාවතේ අප පවත්වා ගෙන ගිය "විශ්ව අධ්‍යයන කේන්ද්‍රය" නම් වූ පෞද්ගලික ආයතනයේදීයි.

පරිගනක අධ්‍යාපනය මුල් කොටගත් මේ ආයතනයේ ගුවන්විදුලිය, වීඩියෝකරණය, ඡායාරුපශිල්පය, ස්ක්‍රීන් මුද්‍රණය,  වැනි විෂයයන් සඳහාද දේශන හා පංති පැවැත් වුණා.

විශ්වවිද්‍යාලයෙන් අධ්‍යයන නිවාඩු ලැබ කොළඹ පදිංචිව සිටි එකල මා එහි පාඨමාලා බාරව කටයුතු කරද්දී ආයතනයේ අර්ථපතිත්වය දැරුවේ මා සුමිතුරු පාලිතයි. (මීට පෙර ලියූ "බ්‍රා එකක් කළ හදියක්" නොකී කතාවේ මගේ රූමා මයි.)
"බ්‍රා එකක් කළ හදියක්" බලන්න මෙතනින්.
http://nokieekatha.blogspot.com/2016/01/blog-post_2.html

88-89 ධවල භීෂණයේදී දෙපැත්තෙන්ම ආ මරණීය තර්ජන හමුවේ ස්විට්සර්ලන්තයට පළා ගොස් කලක් වාසය කොට සමහරුන් මෙන් එහි ගල් නොවී නැවත මව් බිමට ආ පාලිත කියන්නේ චම්පාගේ අයියා.

                                චම්පා සහ ගුණ්ඩා

චම්පා කියන්නේ නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලයේ අපොස සාමාන්‍ය පෙළ දක්වාම මගේ සිංහල ගුරුතුමිය වූ චන්ද්‍රාවතී ගුරුමෑණියන්ගේ දියණියයි. 

එසේම ගුණ්ඩාගේ බිරිඳයි.


මා ලියූ පළමු නවකතාව වන "ඝාතනයට පෙර" 3 වන මුද්‍රණය පිරිනැමුවේද චන්ද්‍රාවතී ගුරු මෑණියන්ටමයි.



අපට සිංහල පමණක් නොව ඉංග්‍රීසි ද උගැන්වූ චන්ද්‍රාවතී ගුරුතුමිය සැබැවින්ම අපට සැළකුවේ තමන්ගේම දරුවන්ට වගේ. බොහෝ විවේකී වේලාවන්හිදී පාලිතලාගේ නිවසට ගොස් අල්ලාප සල්ලාපයේ යෙදෙන්නට අප පුරුදු වී සිටියා. පවුලේ දරුවන් අපේම සහෝදර සහෝදරියන් මෙන් වුණා.

එහෙයින්ම ඒ පවුලට බැඳුණු ප්‍රේමකුමාර ගුණරත්නම්ට පවුලේ අය අමතන 'ගුණ්ඩා' නමින්ම අමතන්නට මා කැමැතියි.

විශ්ව අධ්‍යයන කේන්ද්‍රයට ගුණ්ඩා පැමිණියේ කුමන කාරණයකටදැයි සිහිපත් නොවුණත් පරිගනක ආශ්‍රිත කිසියම් කටයුත්තකට විය යුතුයි. 

ඒ වන විටත් ගුණ්ඩා ජනතා විමුක්ති පෙරමුණේ  දේශපාලන මණ්ඩලයේ සිටි බව මා දැනගෙන සිටියා. ඒත් ඒ ප්‍රචලිත තලයේ නොවෙයි. ඔහුට ප්‍රසිද්ධියේ නායකත්වයේ කටයුතු කිරීමට හැකියාවක් නොතිබීම තේරුම් ගත හැකියි.

ජවිපෙ රට පුරා ආරම්භ කළ අධ්‍යයන මධ්‍යස්ථාන වලට "විශ්ව" නම යොදා ගත්තේ පාලිතගේ එකඟතාව මතයි. මේ නම යෙදුවේ මා බැවින් ජවිපෙ ඉල්ලීම ගැන පාලිත මා සමග සාකච්ඡා කළා. මට මේ නම යොදන්න වචන සොයමින් උදව් කළේ කලක් පුවත්පත් කලාවේදියෙකු ලෙස කටයුතු කළ, "වේදිකාව" සඟරාවේ සංස්කාරකවරයා වූ, දැන් ගමට වී ඉංග්‍රීසි ටියුෂන් පංති පවත්වන මැනුවෙල් ජයසේකරයි.

ඒ වන විට විශ්ව අධ්‍යයන කේන්ද්‍රයේ කටයුතු වලින් මෙන්ම විශ්වවිද්‍යාල සේවයෙන්ද මා ඉවත් වී ස්වර්ණවාහිනියට සම්බන්ධ වී හමාරයි.

ගුණ්ඩා යනු 80 ගණන් වල අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ (අන්තරේ) කැඳවුම්කරු ලෙස කටයුතු කළ පේරාදෙණියේ අපට වසරක් පහළ කණ්ඩායමේ ඉංජිනේරු උපාධි අපේක්ෂකයෙකු වූ රංජිතම් ගුණරත්නම්ගේ සොහොයුරායි. එකල ඉඩමේගමලා, රංජිතම්ලා තමයි ශිෂ්‍යයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියේ මෙන්ම පාලකයන් සමග කේවල් කළේ.

ගුණ්ඩාත් ඔහුගේ අයියා මෙන්ම ඉංජිනේරු පීඨයේ සිසුවෙකු ලෙස තේරී පේරාදෙණියටම ආවා. ඒ වන විට අප විශ්වවිද්‍යාල ජිවිතයෙන් සමුගෙන අවසන් නිසා හමුවීමක් සිදු වුණේ නැහැ.

කොටින්ම ගුණ්ඩා ත්‍රිකුණාමල ප්‍රදේශය බාර ජවිපෙ නායකයා ලෙස කටයුතු කරද්දී මා සිටියේ ත්‍රිකුණාමලය නාවික කඳවුරේ. ඉඩමේගමලා....මා මුණ ගැසෙන්නට එද්දී ගුණ්ඩා හමු වී ආවාදැයි මා දන්නේ නැහැ. කවදාවත් ඒ ගැන විමසුවේත් නැහැ.

(ස්වයං වාරණය.........xxxxxxxxx)

ඉංදීය සාම සාධක හමුදාවට එරෙහිව ජවිපෙ දියත් කළ භූමි සටන් වලදී ගුණ්ඩාගේ දායකත්වය ඉමහත්. ඒ කොළඹ සිට කරන විරෝධතා වලින් එහා ගිය මාරාන්තික සටනක්. ඒ කාලයේ දේශපාලන නායකත්වය විසින් ආංඩුවේ හමුදා කඳවුරු තුළ ගාල් කරනු ලබද්දී වීරයින් සේ වැජඹුණ ඉංදීය සාම සාධක හමුදාවට මාරාන්තික ප්‍රහාර එල්ල වූ බව නම් මතකයි.

අනුවේ දශකය ආරම්භ වන්නේ අනූනවයෙන් බේරුණු පරපුරක් සීසීකඩ විසිරී සිටින අති අවදානම් හා භයංකර තත්ත්වයක් යටතේයි. මිනීමරු ප්‍රේමදාස 93 මැයි පළමුවෙනිදා බෝම්බයෙන් ඉල්ලං කෑමෙන් පසුවයි සමාජය තුළ වූ මරණ බිය පහව ගියේ.

ඊට පෙර සිටම සිරි අයියා විදේශයේ සිට පක්ෂය යළි එක මිටකට ගොනු කරන්නට වෙහෙසෙද්දී නන්දන, සේනාධීර, දේශප්‍රිය, කුලරත්න වැන්නවුන් සමගත් අවසානයේ වීරවංශලා සමගත් සම්බන්ධතා ඇතිකර ගනිමින් ලංකාවේ වැඩ කොටස ඉටු කිරිමට නායකත්වය දුන්නේ ගුණ්ඩායි.

1994 දී ජවිපෙ, ජාතිය ගලවා ගැනිමේ පෙරමුණ යටතේ මහමැතිවරණයට තරඟ කරද්දී මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමේ නියමුවා වූයේද ගුණ්ඩායි. ඔහුගේ බිරිඳ චම්පා, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඡන්දය ඉල්ලුවා. ඇය රූපවාහිනී කාලය ලබාගෙන කතා කරනවා මට මතකයි. හම්බන්තොටින් පළමු ජවිපෙ සමාජිකයා ලෙස ගලප්පත්ති පාර්ලිමේන්තුවට එන්නේද මේ මැතිවරණයේදී.

2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ දිනවිම සඳහා ජවිපෙ ඉටු කළ කාර්යභාරයත්, ඉන් අනතුරුව පාලන බලය හා සම්බන්ධ වීමත් අරභයා පැන නැගුණ සංවාදයත් සමග ජවිපෙ දෙදරන්නට පටන් ගත්තේ එතෙක් ජවිපෙ අදිසි නායකයා වූ ගුණ්ඩා ඉවතට තල්ලු වෙමිනුයි. 

වර්තමානයේ ජවිපෙ නායකයන් ප්‍රේමකුමාර් ගුණරත්නම් කෙනෙකු පක්ෂය ගොඩ නැගුවා යන්න කෙසේ වෙතත් පක්ෂයේ සිටියාද කියාත් අමතක බව පවසන විට අපට දෙකොනින් හිනා යනවා.

ප්‍රජාතන්ත්‍රවාදය නමැති සටකපට මන්ත්‍රණය මතුරමින් දේශපාලන නිදහස ස්ථාපිත කරනවා කියන යහපාලකයන් පවා දේශපාලන සිරකරුවෙකු වූ ගුණරත්නම් තව දුරටත් සිරභාරයේ තබා ගනිද්දී සිවිල් සංවිධාන හා අනෙකුත් දේශපාලන පක්ෂ හා ක්‍රියාකාරීන් ගොළුවතක් රැකීම නම් ඛේදවාචකයක්.







කෙටිකතා එක්ක කවි   කියවන්න. මෙතැනට යන්න.