"අනූවේ පරපුර" පිළිබඳ මතකය අලුත් වුණේ සුනිල් මාධව ප්‍රේමතිලක උපහාර උළෙල ගැන විවිධ කතාබහ කියැවීමත් එක්කයි.
80 දශකයේ හෝ ඊට පසු ඉපදුණ පරම්පරාවට, නාමික නිදහසින් පසු මේ දක්වා රටේ ඇතිවූ භීෂණයන් ගැන අත්දැකීම් නැති වීම තේරුම් ගත හැකි වුවත්, බොහෝ අය හැසිරෙන්නේ සියල්ල දත් විලසින්.
ඒ නිසාම මේ කතා බහට පෙර මතකයන් හාරා අවුස්සන්නට හිතුණා.
83 දී දෙමළාට විරුද්ධව ජාත්‍යාල ප්‍රහාර එල්ල කළේ යූ.ඇන්.පී. එකේ සිරිල් මැතිව් ප්‍රමුඛ ජේ.ආර්. ජනාධිපතිවරයාගේ හුරතල්ලු. ඒත් අන්තිමේට මේ නිහීන ප්‍රහාර වල වගකීම ජේ.වී.පී. එක මතින් යවා පක්ෂය තහනම් කළේ එක ගලකින් කුරුල්ලෝ දෙදෙනෙක් බිම දාගන්නටයි..
ජනතා විමුක්ති පෙරමුණ යටි බිම් දේශපාලනයට බලහත්කාරයෙන් තල්ලු කොට දමන්නේ ඒ සමගයි.
එසේ නොවන්නට ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසය ලියැවෙනු ඇත්තේ එහැම පිටින්ම වෙනස් ආකාරයකින්.
උතුරේ සිදු කළ මානව විරෝධී හමුදා මෙහෙයුම් ඉදිරියේ සිය බලපරාක්‍රමය විදහා හළ ඉංදියාව මුහුදෙන් එවා බැරිම තැන අහසින් පරිප්පු දමා ජේ.ආර්. සිය අණසකට නතු කොට ගත්තා.
උතුරේ දෙමළ ජනතාවට පරිප්පු ඇතුළු ආහාර ආධාර රැගෙන එමින් තිබූ යුධ නෞකා ජේ.ආර්. ගේ නියෝග මත එවකට ලුතිනන් කොමාන්ඩර් තනතුරේ සිටි රාජරත්න පළවා හරිද්දී නාවික හමුදා නිළධාරියෙකු ලෙස මට උතුරු ආරක්ෂක වළල්ලේ ඒ ආසන්නයේම වූ මව් නෞකාවක සිටිමින් සිද්ධිය නිරීක්ෂණය කරන්නට වරම් ලැබුණා
ඉංදීය හමුදාව උපක්‍රමශීලීව ආපසු හැරී යාම වරදවා වටහා ගැනීමෙන් ජයපැන් බිවූ අයට තරු පෙනුණේ පසුදා දේශ සීමා බලහත්කාරයෙන් තරණය කරමින් ඉංදීය යුධ ගුවන් යානා මගින් ආහාර මළු උතුරේ ගම්මාන වලට හෙළීමෙන් නොනැවතී, රජීව් ගාන්ධි පැමිණ හොම්බෙන් ගොස් සිටි ජේ. ආර්. සමග ඉංදු-ලංකා ගිවිසුම අත්සන් කොට ඉංදීය සාම සාධක හමුදාව අතට උතුරේ හමුදා පාලන බලය අත්පත් කොට දීමත් සමගයි.
උතුරේ සටන් තීව්‍ර වෙද්දී, ඉංදීය සාම සාධක හමුදාව දෙමළාට එරෙහි අමානුෂික මෙහෙයුම් දියත් කරද්දී, දේපොළ මංකොල්ල කමින් කාන්තාවන් දූෂණය කරද්දී ලංකා රජය සිය සිංහල හමුදා දකුණට කැඳවූයේ දකුණේ කැරැල්ල මැඩ පැවැත්වීමටයි.
මාසික වැටුපට රස්සාව කරන ලංකා රාජ්‍ය හමුදා සිය සුපුරුදු භීෂණය දකුණේ මුදා හරිද්දී, ජනාධිපති ධූරයට පත් ප්‍රේමදාස පැවසුවේ තමන් භාර ගන්නේ දෙකොණ ඇවිළුණ විලක්කුවක් බවයි.
මේ සමගම ජනතා විමුක්ති පෙරමුණත්, එහි සෘජු පාලනයෙන් මිදී මුදා හළ වෘක රැලක් සේ කටයුතු කළ එහිම දිගුවක් වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයත් ඉංදීය විරෝධී සටන් දියත් කළේ ජනතා ආකර්ෂණය දිනා ගනිමිනුයි.
දෙමළාට විරුද්ධව භීෂණය දියත් කළ සිංහල හමුදාව, සිංහලයාට එරෙහිව ගහලයෙකුගේ භූමිකාවට අවතීර්ණ වෙමින් ගෙවල් වල නිදා සිටි තරුණයන් පවා පැහැර ගෙන ගොස් දස වද දී මරා දමන, අතුරුදන් කරන තත්ත්වයකට පත් වුණා.
එකල කවන්ධ මළ සිරුරු මහ මග අද්දර ටයර් සෑයන්හි දැවෙනු මෙන්ම ගංගා වල පාවී යනු සුලබ දසුනක් වුණා.


පැන්සල්, පෑන් වලින් ඇන කණ් අඩි පසාරු කරන, අත් පා වල නියපොතු උගුල්ලන, ලිඟුව මේස ලාච්චු වලට දමා වසන, අධෝමුඛයට එස්ලෝන් බටයක් යවා කටු කම්බියක් බස්සා බටය ඉවතට අදින, මිරිස් ගෝනි, වතුර ටැංකි වල හිස ඔබා හුස්ම හිර වෙන්නට හරින, නිරුවතින් එල්ලා යටි පතුල් වලට පහර දී අත් පා බැඳ ධර්ම චක්‍රයේ ගසන, තරුණියන් දූෂණය කරන ආකාරයේ මෙකී නොකී දස වද බන්ධන දෙන්නට සමහර හමුදා පුද්ගලයන් පසු බට වුණේ නැහැ.
සන්නද්ධ කැරැලි වලින් බලය ලබා ගන්නට උත්සහ කරන බොහෝ ව්‍යාපාර වලට සිදු වන්නා සේම නායකත්වය විනාශ කරන මොහොතේම එකී ව්‍යාපාරය වළ පල්ලට යනු දකුණේ මෙන්ම උතුරේ අරගල වලදී සාක්ෂාත් වුණා.
රෝහණ විජේවීර ප්‍රාණය නිරුද්ධ වන්නට පෙර සොහොන් ගත කිරීමෙනුත්, වේලුපිලලේ ප්‍රභාකරන් කලපුවකදී මරා දැමීමෙනුත් සන්නද්ධ ව්‍යාපාර දෙකක් යුධමය වශයෙන් අඩපණ කරන්නට රාජ්‍ය හමුදා සමත් වුණා.
88-89 ධවල භීෂණය ලෙස හඳුන්වන ප්‍රේමදාස ජනාධිපතිවරයාගේත්, රනිල් අගමැතිවරයාගේත් අනුදැනුම මත මුදා හල භීෂණය නිමා වන්නට කලක් ගත වෙද්දී ඊට සම්බන්ධව සිටි මෙන්ම හිතවාදීව සිටි, අනූනවයෙන් දිවි බේරා ගත් තරුණ පරම්පරාවක් තැන තැන හුදෙකලාව විසිරී සිටියා.
ඉතා රහසිගත ආකාරයට තරුණයන් සම්බන්ධතා ගොඩ නගා ගත්තේ එකිනෙකා පිළිබඳ සැකයෙන්. ඊට හේතුව වුණේ කොටසක් ගෝනිබිල්ලන් ලෙස කටයුතු කරමින් තමන් සමග එකට සිටි පිරිසක් පාවා දෙමින් සිටි නිසයි. තම දිවි බේරා ගැනීම සඳහා හමුදා වල සුරතලුන් බවට පත් වී අත්අඩංගුවට ගත් හෝ පැහැර ගත් සගයින් හෙළිදරව් කළ නිසයි.
මේ උණුසුම පහව යන්නටත් මත්තෙන් "අනූවේ පරපුර" නමින් සාහිත්‍ය, කලාව පිළිබඳ කතිකාවතක යෙදෙන සංවිධානයක් ඇරැඹෙන්නේ 90 දශකයේ මුල් භාගයේදී.
ඊට මුල පිරෙන්නේ ධර්මසිරි ගමගේ කලාකරුවාණන්ගේ මූලිකත්වයෙන් සංවිධානය වූ කොග්ගල පැවැති තෙවන "යොවුන් පහන් වැට" සාහිත්‍ය සමුළුවේදී.
කිසිදු ආකාරයක දේශපාලන මතවාදීමය පදනමක් නොතිබූ "යොවුන් පහන් වැට" සාමාජිකයන් ඉන් එහා වූ දැනුම්වත් කලාලැදි පිරිසක් බවට රූපාන්තරණය කිරීමේ වැදගත්කම අහුමුළු වල කතා බහ කෙරෙන්නට ගත්තා.
මීට මූලික වුණේ දකුණේ අරගලය හා අවියෝජනීය බද්ධව සිටි "අපේ කාලයේ ගෝරකි" ලෙස නම් ලැබූ විරෝධාකල්ප තරුණ කවියෙකු වූ චන්ද්‍රකුමාර වික්‍රමත්නයි. කමල් පී. අලහකෝන් නමැති කවියා මෙන්ම නාට්‍යකාරයාද ඊට එක් වුණා.
අනූවේ පරපුරේ අපි ඒදවස් වල දිවයින පත්තරේ සුනිල් මාධව ප්‍රේමතිලක සංස්කරණය කළ " 8 වෙනි පිටුව"ට කවි හා වෙනත් නිර්මාණ ලිව්වේ පුදුමාකාර ආශ්වාදයකින්.
චන්දරේගේ නිර්මාණ එහි නිතර පළ වුණා.
එවන් එක කවියක් මට මතකයට එන්නේ මෙහෙමයි. හිස් තැන පුරවා අඩුපාඩු ඇත්නම් සමාව භජනය කරත්වා.
"එකම අපායක අප සැම දැවෙන සඳ
වෙනම අපායක ඉන්නට පතයි නුඹ
................................................
කඳුළ කඳුළමයි කාගේ වුණත් මට"
"අනූවේ පරපුර" නමින් සංවිධානයක් පිහිටුවා ගැනීමේ මූලික සාක්ච්ඡාව පැවැත්වුණේ මට මතක හැටියට තරුණ බෞද්ධ සංගමයට හෝ මහා බෝධි සමාගමට අයත් පිටකොටුවේ ගොඩනැගිල්ලකයි.
එතැන සිටි අප කිහිප දෙනා අතර වික්‍රමරත්න, අලහකෝන්ට අමතරව හඳගම, වීරසිංහ, රෝහණ, ලලිත් වැන්නන්ද මේ සාකච්ඡාවට එක් වී සිටියා.
සංවිධානයේ ලිපිනය වුණේ කටුබැද්ද, ලක්ෂපතියේ මා නැවතී සිටි කුලී නිවසයි. එය අයත් වුණේ විදෙස් ගතව සිටි මොරටුව විශ්වවිද්‍යාල ආචාර්‍යවරයෙකුටයි.
"අනූවේ පරපුර" වැඩ වලට දයාසේන ගුණසිංහ, සුනිල් මාධව, සුනිල් ආරියරත්න, නන්දා මාලනී, රත්න ශ්‍රී විජේසිංහ, මොනිකා රුවන් පතිරණ වැනි කලාකරුවන්ගෙන් ලැබුණේ නොමද සහයක්.
අපි හාහාපුරා කියා වැඩ ඇල්ලුවේ දීප ව්‍යාප්ත "කාව්‍ය රචනා තරඟයක් හා වැඩමුළුවක්" සංවිධානය කිරීමෙන්.
එය පැවැත්වුණේ මොරටුව සර්වෝදය මූලස්ථාන බිමේදී.
මේ සඳහා එවකට එහි ලොක්කෙකු වූ හර්ෂ කුමාර නවරත්නගෙන් අවසර ලබාගන්නට දැනට අමෙරිකාවේ වෙසෙන දක්ෂ රංගන ශිල්පියෙකු වන ලින්ටන් සේමගේ උදව් කළා. ප්‍රවීණ කවියෙකු වන එවකට ශිෂ්‍යයෙකු ලෙස සර්වෝදයේ නැවතී සිටි තිඹිරියාගම බංඩාරත් අපට උදව් වුණා.
මා සහය අධ්‍යක්ෂණයෙන් සම්මාදම් වූ හඳගමගේ " මේ මගේ සඳයි" චිත්‍රපටය රූ ගත කරද්දී ලිංටන් ළඟින් ඇසුරු කරන්නට ලැබුණත් මා අධ්‍යක්ෂණය කළ "නොනිමි ගමන" කෙටි චිත්‍රපටය සමග ලොස් ඇන්ජලීස් ගිය වෙලාවේ එහි සිටි ලිංටන් සම්බන්ධ කර ගන්නට අවකාශ සැලසුණේ නැහැ.
දැනට ජර්මනියේ වෙසෙන සමාජ ක්‍රියාකාරිකයෙකු වන රෝහිත භාෂණ අබේවර්ධන ලියූ "ගම, මකුළ හා මම" නම් වූ කවිය තරඟයේ ප්‍රථම ස්ථානය ලැබුවේ විනිශ්චය කළ තිදෙනා වන දයාසේන ගුණසිංහ, සුනිල් ආරියරත්න, මොනිකා රුවන්පතිරණ තිදෙනාගේ ඒකමතික තේරීමෙනුයි.
භාෂණ "ලක්දිව" පුවත්පතේ කවිපිටුව සංස්කරණය කරන්නට සුනිල් මාධව විසින් තෝරාගනු ලැබුවේ මේ ජයග්‍රහණයෙන් ලද පිළිගැනීම නිසා වෙතැයි සිතනවා. කොහොමත් ඔහු දක්ෂ කවියෙක්.
අනතුරුව නන්දන වීරසිංහගේ "ගිං ගඟේ විලාපය", දයාසේන ගුණසිංහගේ "කේතුමතී හෝටලයේ රාත්‍රියක්", සුනිල් මාධවගේ "හඬනු මැන නිදහස" වැනි කෘති ජනගත කිරීමේ උත්සව "අනූවේ පරපුර" සංවිධානය කරද්දී නව පරම්පරාවක් තුඹසට ඇදෙන වේ රැළක් සේ සතර දිග් භාගයෙන් පැමිණ කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ අතුරු සිදුරු නැතිව පිරෙන්නට වුණා.
සත්‍යපාල ගල්කැටිය වැනි පිරිස් පවා හිතාමතා හෝ විහිළුවට මෙන් "අනූවේ පරපුර" කියන්නෙ "අනූ නමයෙන් බේරුණ පරපුර" කියා තැන තැන දොඩද්දී තත්ත්වය නරක අතට හැරුණා.
"අනූවේ පරපුර" පසුපස රහස් පොලිසිය සමීප වන බවත්, වෙනම ෆයිල් එකක් විවෘත කර ඇති බවත් දැනගන්නට ලැබීමත් සමග අපි මදක් පසු බැස්සේ 'පියවරක් පසුපසට, පියවර දෙකක් ඉදිරියට' න්‍යාය අනුගමනය කරමිනුයි.
එතෙක් නාවල, විවෘත විශ්වවිද්‍යාලයේ සේවය කරමින් සිටි මා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවයට යාමත් සමග කොළඹ සෙල්ලම් වලට තිත වැටුණා.
කෙටිකතා එක්ක කවි කියවන්න. මෙතැනට යන්න
"





















