Powered By Blogger

Monday, 10 May 2021

ගන් බෝට් ජීවිතය

 

නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු  

නොකීකතා පෙළක්.
 

 
 
චීනයේ නිෂ්පාදිත විවිධ ප්‍රමාණයෙන් යුතු කාලතුවක්කු සවි කළ වේගවත් බෝට්ටු fleet එකක් එකල නාවික හමුදාව සතුව තිබුණා. ඒවා නම් කොට තිබුණේ "සූරයා", "වීරයා", "ජගතා", "රක්ෂක" වැනි නම් වලින්. මේ යාත්‍රා වල ඉදිරිපස මෙන්ම පසුපසත් තුවක්කු සවි කොට තිබුණා. 

 

මා අනුයුක්ත කළ "රක්ෂක" යාත්‍රාව උතුරු මුහුදේ සංචාරය සඳහා පිටත් වුණේ නැගෙනහිර මුහුදු තීරය ඔස්සේයි. කලින් මා අනුයුක්ත කොට තිබූ "එඩිතර" නෞකාව මෙන් නොව "රක්ෂක" යාත්‍රාව බරෙන් හා ප්‍රමාණයෙන් අඩු වූ නිසා රළු ගැඹුරු මුහුදේ දී ගමනාගමනය පෙර මෙන් පහසුවක් වූයේ නැහැ. නිදාගන්නට සිදු වූයේ පහළ bunk එකකයි. නිරන්තරයෙන් එහා මෙහා පැද්දෙද්දී ආහාර පවා ගන්නට සිදු වූයේ පිඟාන දෑතින් බදාගෙනයි. නැතිනම් නැව පැද්දෙන එක් නිමේශයකදී ආහාර පිඟාන මේසයෙන් බිමට ලිස්සා යනවා. වතුර ගබඩා කරන්නට තිබුණේ කුඩා ටැංකියක නිසා ඉතා අරපරෙස්සමින් වතුර පාවිච්චි කළ යුතු වුණා. උදෑසන ශරීරකෘත්‍යයෙන් පසු පිරිසිදු වන්නටත්, මුහුණ කට දොවා ගන්නටත් එක වතුර බාල්දියකට වඩා පාව්ච්චි කරන්නට ඉඩක් තිබුණේ නැහැ. නාවික රැවුල වවමින් සිටි නිසා ඒ සඳහා වතුර උවමනා වූයේ නැහැ.

 

රේඩාර් යන්ත්‍රයෙන් ගොඩබිමට ඇති දුර නිරීක්ෂණය කරමින්, මුහුදු සිතියම අනුව නාවික මුහුදු මාර්ගය නිශ්චය කරගනිමින්, සතුරු යාත්‍රා ගැනත් අවධානය යොමු කරමින් යාත්‍රාව දියඹේ පදවාගෙන යන අණ දෙන නිලධාරියාට උදව් කරමින් නැවක් පදවාගෙන යාමේ ශාස්ත්‍රය යම් තරමකින් හෝ මා උගෙන ගත්තේ එවකට ලුතිනන් කොමාන්ඩර් ලක්ෂ්මන් ඉලංගකෝන්ගේ කාරුණික යොමු කිරීම මතයි. ඒ මුහුදු ගමන පිටත් වෙද්දී විධායක නිලධාරියා නිවාඩු ලබා සිටියා.

 

මා එම කාර්යයන් කරන ආකාරය ගැන නිරීක්ෂණය කරමින් උපදෙස් දෙන අතර විටෙක ප්‍රධාන සුළු නිලධාරීයා හා මා කෙරෙහි විශ්වාසය තබා අපට සුක්කානම බාර දී පහළ bunk එකකට වැදී විවෙික ගන්නට යන්නට පවා ඔහු නිර්භීත වුණා. එය නිර්භිතකමක් ලෙස මා සලකන්නේ බොහෝ අණ දෙන නිලධාරීන් එසේ කිරීමට පැකිළුණ නිසයි.

 

අප බොහෝ සේ ක්‍රියාශීලී වූයේ රාත්‍රී කාලයේදීයි. දහවල කෙටි නින්දක් දමන්නට අප පුරුදු වූවා. ඇත්තෙන්ම උතුරු මුහුද සක්‍රීය වූයේ රාත්‍රි කාලයේදී. ඒ හොර බඩු වල්ලම් මෙන්ම ආයුධ ප්‍රවාහනය කරන කොටි බෝට්ටු සංචරණය කළේ රාත්‍රී කාලයේදී බැවිනුයි.

 

ත්‍රිකුණාමලය නාවික තටාකාංගණයේ සිට ගමන ආරම්භ කළ "රක්ෂක" යාත්‍රාව නිලාවෙලි, කුච්චවේලි, පුල්මුඩේ, කෝකිලායි, මුලතිව්, චුණ්ඩිකුලම් වෙරළ තීරයට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ වැල්වෙටිතුරේ දෙසට යාත්‍රා කරමින් තිබුණා. එකල එකී මුහුදු තීරයේ මාළු ඇල්ලීම තහනම් කොට තිබුණ හෙයින් කිසියම් බෝට්ටුවක් මුහුදේ දක්නට ලැබීම සතුරු අනතුරක් ලෙස නිශ්චය කළ යුතු වුණා. 

 

අතුරු මුහුදට යාත්‍රා කරන විට සියලු කාලතුවක්කු සීරුවෙන් තබා තිබූ අතර රාත්‍රි කාලයේ නම් රේඩාර් යන්ත්‍රයෙන් හා Night vision binoculars මගිනුත්, දිවා කාලයේ නම් යාත්‍රාවේ ඉදිරිපස ඩෙක් එකේ රැඳුණු රැකවලෙකුගේ දුරේක්ෂයෙනුත් අවට නිරීක්ෂණය කරනු ලැබුවා.

 

එක් දහවලක වැල්වෙටිතුරේ මුහුදු සීමාව පසු කරයත්ම වෙරළේ වූ බෙහොට්ටු කිහිපයක චලනය රැකවලා නිරීක්ෂණය කොට අපට දැන්වූවා. අප වහාම ඒ අවස්ථාවේ විවේකීව පහත මාලයේ සිටි අණ දෙන නිලධාරීවරයාට ඒ බව දන්වා යැව්වා. වහාම පාලක මැදිරියට දිව ආ ඔහු දුරේක්ෂයකින් නිරීක්ෂණය කරමින් පැවසුවේ කොටි කිසියම් ප්‍රහාරයකට සූදානම් වනවා විය වුතු බවයි. ඒ සමඟම action station (ක්‍රියාක්මක වීම සඳහා සියල්ලන්ටම කරන නිවේදනය)සංඥාව නිකුත් කළා.

 

ඒ එක්කම ඒ ඒ කාලතුවක්කුව වෙත නම් කොට තිබූ සෙබළුන් ආරක්ෂිත ජැකැට්ටු (body armour) පැළඳ ගෙන ස්ථානගත වුණා. වෙරළට සමාන්තරව ඇදෙමින් තිබූ යාත්‍රාව ක්ෂණයෙන් වෙරළ දෙසට හරවන්නට අණ කළ අණ දෙන නිලධාරීවරයා සියල්ලන්ටම ප්‍රහාරය සඳහා සූදානම් වන ලෙස දැන්වූවා. මා අත වූයේ sub machine gun (SMG) එකක්. එවන් අවස්ථාවල හැම කෙනෙක්ම ආයුධ සන්නද්ධ වීම අත්‍යවශ්‍ය කරුණක් වූයේ තමන්ගේ ආරක්ෂාව සලසාගත යුතු වූ නිසයි.

අණ දෙන නිලධාරියාගේ සැකය තහවුරු කරමින් වෙරළේ සිටි කොටි ත්‍රස්තවාදීන් “රක්ෂක” යාත්‍රාව දෙසට වෙඩි තියන්නට පටන් ගත්තා. ඊට ප්‍රතිප්‍රහාර ලෙස යාත්‍රාවේ කුඩා අවියකින් ප්‍රහාරයක් දියත් වුණා. ඒ සමඟම ත්‍රස්තවාදීන් ඊට මදක් එපිටින් වූ තට්ටු ගොඩනැගිල්ලක් වෙත දිව යනු පෙනුණා. එතැන් සිට LMG (Long Machine Gun) ප්‍රහාර නිකුත් වෙන්නට පටන් ගත්තා.

 

“රක්ෂක” යාත්‍රාවේ aft deck එකේ වූ බර කාලතුවක්කු වලින් ප්‍රහාර එල්ල කිරීමට අණ නිකුත් වීමත් සමඟ එක එල්ලේ නිකුත් වූ කාලතුවක්කු උණ්ඩ වලින් පැරණි තට්ටු ගොඩනැගිල්ල දූලි වළාවන් අහසට නංවමින්  කැබලි වී බිම ඇද වැටුණා. 

 

මේ වන විට ප්‍රහාරය පිළිබඳ ගුවන් සංඥා නිකුත් වී තිබුණ හෙයින් මේ පණිවුඩය ගුවන් හමුදා ප්‍රහාරක බල ඇණිය වෙත සම්ප්‍රේෂණය වී ගුවන් හමුදා ප්‍රහාරක යානා වැල්වැටිතුරේ වෙත ළඟා වී තිබුණා. සතුරන්ට විරුද්ධ ප්‍රහාරය අවසන් කළේ ගුවන් හමුදාවයි.

“Rogger, Well done. Operation successfully completed..”  ගුවන සිසාරා හඬ නැගුණා.

 

ඉන්පසු අප තලෙයිමන්නාරම දක්වා යන ගමන ආරම්භ කළා.

 

 
 
 
 

 
 
 
 
 

Thursday, 29 April 2021

ආරක්ෂක වළල්ලේ ප්‍රහාරක යාත්‍රාවක මාස තුනක්

 

නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු  

නොකීකතා පෙළක්.
 
 
නාවික හමුදාවේ සන්නිවේදන කටයුතු සිදු වුණේ සංඥා පණිවිඩ මගින් බව මීට පෙර අවස්ථාවක මා සඳහන් කළා පමණක් නොව ඒ ගැන කිසියම් විග්‍රහයක්ද කළා. බොහෝ විට අප උදෑසන රාජකාරි සඳහා වාර්තා කරන විටම මේ සංඥා කියවීමට පුරුදුව සිටියා. ඒක හරියට වර්තමානයේ විද්‍යුත් තැපෑල බලන්නට හුරු වී සිටිනවාට වෙනස් වන්නේ නෑ.
 
සමහර හදිසි වැදගත්කමක් ඇති සංඥා Priority ලේබලය සහිතව නිකුත් වුණා. එහි වන ප්‍රමුඛතාව මත එවන් සංඥා ඊට අනුයුක්ත නැවියන් නිලධාරීන්ගේ අතටම ගෙනැවිත් දුන්නා.
 
එක් උදෑසනක මා අතට පත් වූ එවන් සංඥාවකින් නාවික හමුදා නිලධාරීන්ට දන්වා යවා තිබුණේ නම් කළ නුදුරු දිනක සිට මා ශ්‍රී ලංකා නාවික නෞකා "රක්ෂක" හි ඉංජිනේරු නිලධාරියා ලෙස පත්කොට ඇති බවයි.
 
සාමාන්‍යයෙන් Chinese Gunboat ලෙස හැඳින්වූ වේග ප්‍රහාරක යාත්‍රා (Fast Gun Boat- FGB) වලට වෙනම ඉංජිනේරු නිලධාරියෙකු පත් කිරීමේ සම්ප්‍රදායක් තිබුණේ නැහැ. එසේම ඉන් පසු "කොටමාරු" ලෙස හැඳින්වූ ආහාර හා ඉන්ධන ගබඩාවක් වූ නෞකාවටද මා අනුයුක්ත කළේත් විවිධ නෞකා හා බෝට්ටු පිළිබඳ මට කෙටිකාලීන අත්දැකීම් ලබා ගන්නට ඉඩ සලසනුවස් බව මා දැනගත්තේ නාවික හා සමුද්‍රයීය විද්‍යා පිඨයේ ඉංජිනේරු පාසලේ උගන්වන්නට අනුයුක්ත කළ විටයි.
 
ඒ ගැන කතා පසුවට තබා "රක්ෂක" යාත්‍රාවේ ලද අත්දැකීම් ලියා තබන්නට කැමැතියි.  
 
                Fast Gun Boat- රක්ෂක
 

ඒ වන විට “රක්ෂක” යාත්‍රාව රඳවා ඇත්තේ කවර මුහුදු ප්‍රදේශයකදැයි මා සොයා බැලුවා. ඉන් අදහස් කළේ උතුරු හෝ නැගෙනහිර මුහුදේද, නැතහොත් ත්‍රිකුණාමලයේ නාවික තටාකාංගණයේද කියා දැනගැනීමයි. මේ යාත්‍රා හා නැව් එදිනෙදා නඩත්තු කටයුතු සඳහා මෙන්ම කෙටි විවේකයන් සඳහාත් ත්‍රිකුණාමලයේ නාවික තටාකාංගණයේ රඳවා තැබීම සාමාන්‍යයෙන් සිදු වුණා. එසේම යාත්‍රාවේ අණදෙන නිලධාරියාට නිවාඩු ලබා ගැනීමටත් මේ අවස්ථාව උපකාරී වුණා.

 

“රක්ෂක” යාත්‍රාව ඒ වන විට ත්‍රිකුණාමලයේ නාවික තටාකාංගණයේ රඳවා ඇති බවත්, මා ඊට අනුයුක්ත වී දින කිහිපයකින් උතුරු ආරක්ෂක වළල්ලේ රාජකාරි සඳහා පිටත්ව යාමට නියමිත බවත් මා දැන ගත්තා. ඒ නිසා “එඩිතර” නොකාවෙන් සමුගත් මා ත්‍රිකුණාමලය බලා යන ඩෝරා යාත්‍රාවකට නැගී ඉතා කෙටි කාලයකින් එහි ළඟා වුණා.

 

සාමාන්‍යයෙන් නැවක් ත්‍රිකුණාමලය ජැටියේ නවතා ඇති විට දහවල් දවසේ නඩත්තු කටයුතු අධීක්ෂණය කිරීමෙන් අනතුරුව ඊට අනුයුක්ත නිලධාරීන් රාත්‍රිය ගත කරන්නට ගොඩබිම වූ නිලධාරි නිවස්නයට යන්නට පුරුදුව සිටියා. ඒ අනුව රාත්‍රියේ ත්‍රිකුණාමලයට ළඟා වූ මා ද D Block ලෙස හැඳින් වූ නිලධාරි නිවස්නයේ රැඳුණා.

 

“රක්ෂක” යාත්‍රායේ අණදෙන නිලධාරියා නැතහොත් C.O. (Commanding Officer) ලෙස කටයුතු කරන්නේ ලුතිනන් කොමාන්ඩර් ලක්ෂ්මන් ඉලංගකෝන් බව මා දැන සිටියා. මා “එඩිතර” නොකාවට අනුයුක්තව සිටිද්දී උතුරු මුහුදේ සංචාරය අතරතුර තෙල් හා වතුර ලබා ගැනීමට “රක්ෂක” යාත්‍රාව alongside පැමිණි විට මද විවේකයක් ගන්නට “එඩිතර” නෞකාවට නැගුණු ලුතිනන් කොමාන්ඩර් ඉලංගකෝන් මට කීපවරක් මුණ ගැසී තිබුණා.  

 

ලුතිනන් කොමාන්ඩර් ලක්ෂ්මන් ඉලංගකෝන්ද ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබා නාවික හමුදාවට ඍජු බඳවා ගැනීම් යටතේ සම්බන්ධ වූවෙකු නිසා අප අතර කිසියම් බැඳීමක් තිබුණා වියයුතු යැයි මට බොහෝ විට කල්පනා වී තියෙනවා. කැඩෙට් බඳවා ගැනීම් යටතේ නාවික හමුදාවට බැඳුණු නිලධාරීන් විටෙක අප දෙස වපැරසින් බැලුවත් ඍජු බඳවා ගැනීම් යටතේ අධිකාරිලත් නිලධාරීන් අතලොස්ස ඊට වඩා වෙනස් වුණා.

 

මා පසුදා “රක්ෂක” යාත්‍රාවේ සේවයට වාර්තා කරන විට එහි අණදෙන නිලධාරියා නිවාඩු ගොස් තිබුණා. ඒ වෙනුවට වැඩ බලමින් සිටියේ විධායක නිලධාරියා වූ ට්‍රැවිස් සිනන්යියා බවයි මගේ මතකය. ට්‍රැවිස් 2017 වසරේ ඉතා කෙටි කාලයකට නාවික හමුදාපති ලෙස පත්වී අද්මිරාල් නිලයට උස්ස වීම ලැබ විශ්‍රාම ගියා.

 

මා නිල වශයෙන් “රක්ෂක” යාත්‍රාවේ සේවයට වාර්තා කළා. එහි සේවය කරන සුළු නිලධාරීන් හා නැවියන් දැන හඳුනා ගැනීමට ඒ දවස් කීපය මහෝපකාරී වුණා. නාවික තටාකාංගණයේ ඉංජිනේරු දෙපාර්තමේන්තුව යටතේ සිදු කෙරුණු periodic maintenance කටයුතු වලට දායක වීමෙන් එම යාත්‍රාවල එන්ජින් හා වෙනත් යන්ත්‍ර පිළිබඳ අවබෝධයක් ලබා ගත්තා.

 

“රක්ෂක” යාත්‍රාවේ සේවය කළ කෙටි කාලය තුළ මා ලද සුවිශේෂී අත්දැකීමක් වන්නේ ඉංජිනේරු කටයුතු වලට අමතරව නැවක් පැදවීමටත්, තනිවම ජැටියකට alongside ගෙන යාමටත් ලද අවස්ථාවයි. ලුතිනන් කොමාන්ඩර් ඉලංගකෝන් ඒ සඳහා නිර්භයව, මා පිළිබඳ දැඩි විශ්වාසයෙන් ලබා දුන් අවස්ථාව මා අද ද සිහිපත් කරන්නේ ඉමහත් ආශ්වාදයෙන්.
 
 

 
 

Tuesday, 23 March 2021

බෑ කියලා බෑ… CO ගෙ ඕඩර්ස්…

 

නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු  

නොකීකතා පෙළක්.
 

මාස දෙකක් පමණ කොළඹ රැඳී සිටිමින් නැව් තටාකාංගනයේ දී නඩත්තු හා අලුත්වැඩියා කටයුතු සම්පූර්ණ කළ “එඩිතර” නෞකාව නැවතත් උතුරු මුහුදේ ආවේක්ෂණ කලාපය බලා දියත් කළා. මේ උතුරේ කොටි සංවිධානය නැවතත් ක්‍රියාත්මක වෙන්නට පටන් ගනිමින් තිබූ අවධියයි. මුහුදු කොටින්ගේ පාවෙන බෝම්බ (floating bombs) පිළිබඳ භීතිකාවද මතු වුණා.

 ඒ වන විට මා වැඩමුරයකදී එන්ජින් කාමරයේ රාජකාරි භාර ප්‍රධානියා ලෙස කටයුතු කිරීමට අවශ්‍ය පුහුණුව ලබා තිබුණා. දවස පැය හතරේ වැඩමුර වලට වෙන් කළේ අධික උෂ්ණත්වයෙන් යුතු එන්ජින් කාමරයේ එත දිගට ඊට වඩා කාලයක් රැඳී සිටීම අපහසු නිසයි.

නිරන්තරයෙන් එක් එක් යන්ත්‍රෝපකරණ වල විවිධ දත්ත ලබා ගෙන සටහන් කළ යුතු වුණා. විශේෂයෙන් පීඩන හා උෂ්ණත්ව මීටර දෙස ඇස ගසා සිටීම අත්‍යවශ්‍යයයි.  එමෙන්ම නුහුරු ශබ්ද ඇති වන්නේද යන්න පිළිබඳත් කන් යොමා සිටීම අවශ්‍ය වුණා. ඒ සඳහා නිරන්තරයෙන් එන්ජින් කාමරය වටා ඇවිද යන්නට සිදු වුණා. එය විශාල වගකීමක්. නැවක් නිරුපද්‍රිතව sail කරනවා යනු තාක්ෂණිකව බොහෝ සෙයින් සැලකිලිමත් විය යුතු කාරණයක්.

ඒ සඳහා විවිධ තරාතිරම් වල නැවියන් අනුයුක්ත කොට සිටියා. ඉංජිනේරු අංශයට සම්බන්ධ ආර්ටිෆයිසර් (Artificer) කෙනෙකු, සුළු නිලධාරී (Petty Officer) කෙනෙකු හෝ නායක නැවි (Leading Seaman) කෙනෙකුට අමතරව ඉන්ජිනේරු හා විදුලි කාර්මිකයෙකුද මේ වැඩමුරයකට නම් කෙරුණා. ඒ අතරට පුහුණු වන නැවියන්ද වූවා. රාජකාරි වැඩමුරයේදී තේ පානයට හෝ එන්ජින් කාමරයට සම්බන්ධ තට්ටු දෙකෙන් පහළට නොයන්නට අප වග බලා ගත්තා. තේ රාජකාරි ස්ථානයටම ලැබුණා. ඒ සඳහා වැඩමුරයේ සිටින කණිෂ්ඨයෙකු යොදා ගත්තේ අන් කිසිවෙකුටත් එන්ජින් කාමරයට යන්නට අවසර නොතිබූ නිසයි. ඒ අනුව එන්ජින් කාමරයට ඇතුළු වීමට යොදා ගන්නා බිම් ගෙයක් වැනි පටු කොරිඩෝරය හරහා නොයන්නට රාජකාරියට යොදා නැති කිසිවෙකුත් උත්සහ කළේ නැහැ. එන්ජින් කාමරය යනු එක්තරා ආකාරයකට දෙවොලක් ලෙස හඳුන්වන්නට මා මැලි වන්නේ නැහැ.

දීර්ඝ කාලයක් මුහුදේ ගත කරන නාවික දිවිය එක්තරා ආකාරයකට ඒකාකාරි වන්නා සේම තවත් ආකාරයකට මොහොතින් මොහොත වෙනස් අත්දැකීම් ලැබෙන එකක් බව කිව හැකියි. විශේෂයෙන් කොටි ක්‍රියාකාරකම් හේතුවෙන් වූ අනාරක්ෂිත බව නිසා ඒකාකාරිත්වය තුරන් වුණා. ආරක්ෂක වළල්ලේ රඳවා ඇති කුඩා නෞකා හා බෝට්ටු මව් නෞකාවක් වූ “එඩිතර” වෙත නිරන්තරයෙන් පැමීණීමත් සමඟ වෙනත් පිරිස් සමඟ කටයුතු කරන්නට ලැබීමත් දවස අලුත් කරන්නට සමත් වුණා.

කුඩා නෞකා හා බෝට්ටු පැමිණ Alongside  රැඳවූයේ හිඟව ඇති පානීය ජලය, ආහාර හා තෙල් ලබා ගැනීමටත්, නිලධාරීන්ට ස්නානය කොට කිසියම් විවේකයක් ලබා ගැනීමටත් එක්කයි. කුඩා නැව් හා බෝට්ටු වල ගබඩා පහසුකම් අවම නිසා “එඩිතර” වැනි මව් නෞකා කිහිපයක් ආවේක්ෂණ කලාපයේ රැඳවූයේ එවන් සේවා සඳහායි. රාත්‍රී මුර සංචාරය කරමින් සතුරු බෝට්ටු ගැන රේඩාර් යන්ත්‍රය මගින් විමසිලිමත් වී ඒ වෙත ප්‍රහාරක යාත්‍රා යොමු කිරීමත් තවත් රාජකාරියක් වුණා.


නැවක භාවිතා වන රේඩාර් තිරයක්

රේඩාර් තිරයෙන් දකින කුඩා ආලෝක පුංජ දෙස ඇස ගසාගෙන සිට ඒවා නිසල වස්තූන්ද, මාළු බෝට්ටුද, හොරබඩු වල්ලම්ද, කොටි ප්‍රහාරක යාත්‍රාද යන්න අනුමාන කිරීමට විශේෂඥ දැනුමක් අවශ්‍ය වුණා. මට ඒ දැනුම ලබා ගන්නට කෙටි කාලයක් ගත වුණත් නැවේ කපිතාන් ලෙස කටයුතු කළ කොමාන්ඩර් රසීක් මෙන්ම විධායක නිලධාරී ලෙස කටයුතු කළ ලුතිනන් කොමාන්ඩර් ජයනාත් කොළඹගේ මට ඒ සඳහා අවකාශ ලබා දුන්නේ එන්ජින් කාමරයේ වැඩමුර නැති අවස්ථාවල පාලක මැදිරියට ගෙන්වාගෙන රේඩාර් යන්ත්‍රය නිරීක්ෂණය කිරීමේ රාජකාරිය බාර දීමෙනුයි.

දවල් දවස ගැඹුරු මුහුද මෙන්ම යුද ක්‍රියාකාරිත්වයද කිසියම් නිශ්චල බවක් ඉසිලුවා. සමහර කුඩා බෝට්ටු අනවසරයෙන් මාළු අල්ලන්නට දේශ සීමාව පසු කොට ආ ඉන්දීය ධීවරයින්ගෙන් ලැබුණු ඉස්සන්, දැල්ලන් වැනි මාළු වර්ග අපටත් ගෙනත් දුන්නා. වැරදීමෙන් දේශ සීමා පසු කොට පැමිණෙන ඉන්දීය ධීවරයින් අත් අඩංගුවට නොගෙන පළවා හැරියේ ඔවුන් ඇල්ලූ මාළු කොටසක් ලබා ගෙන ඊට හිලව්වට පිටි, සීනි වැනි ආහාර දුව්‍ය ලබා දීමෙනුයි. ඒ ආහාර ඔවුන්ට ඉතා වටිනා දේ වුණා. (Gun Boat එකක රාජකාරි කරද්දී ඒ ගැන ලද අත්දැකීම් පසුවට.)

මෙසේ ලද ඉස්සන්, දැල්ලන් නැවේ ඩෙක් එකේ අතුරා වේලා ගත්තා. ඒ නිසා  රාත්‍රී සෝමපානයේදී අවශ්‍ය කටගැස්මෙන් හිඟයක් ඇති වූයේ නැහැ. ඒ වගේම සමහර නෞකාවල ප්‍රධානීන් ඩෙල්ෆ්ට් දූපතට බෝට්ටු යවා නිදැල්ලේ ජීවත් වෙන එළුවන් අල්ලාගෙන මස් කළා.

ඒ සඳහා එකල ප්‍රසිද්ධියක් ඉසිලුවේ එවකට “වික්‍රම” නෞකාවේ කපිතාන්ව සිටි කොමාන්ඩර් අමරවීරයි. ඔහු එකල දකුණේ ඇමතිවරයෙකු වූ අමරවීරගේ සහෝදරයායි. ඔහු එළුවන් මැරීමට තම සෙබළුන් ඩෙල්ෆ්ට් දූපතට යැවීම ගැන නම් දරා තිබුණා. වතාවක් එසේ ගිය නාවික සෙබළුන් මන්ද ගසා එළුවන් අල්ලා ගත්තත් ඒ සතුන් බෑ…බෑ.. කියමින් පස්සට අදින්නට පටන් ගෙන තියෙනවා. කොහොමත් එළුවන් එහෙමනේ.

එවිට සෙබළෙක් කිව්වාලු…”එළුවෝ..බෑ..කියලා බෑ.. මේ  C.O.  ගේ ඕඩර්ස්…”

C.O. ලෙස හැඳින්වූයේ කොමාන්ඩින්ග් ඔෆිසර් යි. Commanding Officer  කෙටියෙන් හැඳින්වූයේ C.O. යනුවෙනුයි. නැවේ කපිතාන් තමයි කොමාන්ඩින්ග් ඔෆිසර් වූයේ.




 

Saturday, 13 March 2021

කොළඹ නැව් තටාකාංගනයේ නව අත්දැකීම්…

 

නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු  

නොකීකතා පෙළක්.

නැවක් වරායකට ඇතුළු කරනවා යනු තවත් කෙනෙකුට ජීවිත කාලයේදී ලබා ගත හැකි වෙනස්ම  අත්දැකීමක්. දියකඩනය පසු පසුකොට වරාය තුළට නැවක් ගෙන එන්නේ ටග් (Tug)  යාත්‍රාවල උදව්වෙනුයි. ටග් යාත්‍රාව අවශ්‍ය වන්නේ නැව නිවැරදි ආකාරයට මැනුවර් (Manoeuvre) කිරීමටයි. මැනුවර්  කරනවා යන්නෙන් අදහස් කරන්නේ මේ වේ ගමන්මග නිසි පරිදි සකස් කිරීමයි.

ටග් බෝට්ටුවක් මගින් නැවක්  මැනුවර් කරන්නේ තල්ලු කිරීමෙන් හෝ ඇද ගෙන යාමෙන්. වරායක් තුළදී නැවේ එන්ජින් යන්ත්‍ර ක්‍රියාත්මක කරන්නේ නෑ. නැව ජැටියක් කරා නිරුපද්‍රිතව ගෙන යන්නේත්, ජැටියෙන් පිටතට ගෙන මුහුදට යොමු කරන්නේ ටග් යාත්‍රා මගිනුයි. ඒ ආකාරයෙන් එඩිතර නෞකාව කොළඹ නැව් තටාකාංගයේ (Colombo Naval Dockyard) ජැටියක ආරක්ෂිතව රැඳවූවා.

අලුත්වැඩියා සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා නැව ඩොක්(dock) කිරීම සිදුවුණා. ඒ කියන්නේ විශාල තටාකාංගනයකට නැව බස්සවා සම්පූර්ණයෙන් වතුර හිස් කොට නැවේ බඳ සම්පූර්ණයෙන් නිරාවරණය කිරීමයි. ඒ අනුව එතෙක් වතුරට යට වී තිබූ වෙන්කර නෞකාවේ හල්(hull) එක පිටතට පැහැදිලිව දිස් වෙන්න පටන් ගත්තා. නැව් බඳේ සහ නැවේ මතුපිට ඩෙක් එකේ තීන්ත සම්පූර්ණයෙන් සූරා ඉවත් කොට තවත් තීන්ත ලේයර් කිහිපයක් ආලේප කරන්නට නියමිත වුණා. ඊට අමතරව නොව තුළ විවිධ ස්ථානය නැවත පිළිසකර කරා. 



නැවක් dry dock හි රඳවා ඇති අයුරු

“එඩිතර”  නෞකාව උතුරු මුහුදේ බෝට්ටුවලට අවශ්‍ය තෙල් ප්‍රවාහනය කළ නිසා නැවේ තෙල් ටැංකි කුහර විශාල ප්‍රමාණයක් තිබුණා. ඒවා නැවේ බඳේ එක් කොටසක වංකගිරියක් සේ විවිධ අත විහිදී තිබුණා. නැවේ මතුපිට ඩෙක් එකේ තිබෙන කුඩා කුහරයකින් ඇතුට බැස එකී ටැංකියෙන් ටැංකියට බඩගාගෙන, දණගාගෙන ගමන් කොට ඒවායේ තත්ත්වය පරික්ෂා කරන්නට ලැබීම මගේ ජීවිතේ ලද අහඹු අත්දැකීමක්. ඒ බව මා විශේෂයෙන් සදහන් කරන්නේ සාමාන්‍යයෙන් අඳුරු කුටි තුළ, සිර වු ඉඩකඩක වැඩි වෙලාවක් රැඳෙන්නට මට නොහැකි නිසයි.

 

ඉතිරිය  පහත link එකෙන් ආලෝචනා  අන්තර්ජාල සඟරාවෙන් කියවන්න. 






 

 

 

Monday, 22 February 2021

එඩිතර නෞකාවෙන් උතුරේ ආවේක්ෂණ කලාපයට

 

නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු  

නොකීකතා පෙළක්.
 

මා “එඩිතර” නෞකාවේ රාජකාරි සඳහා වාර්තා කළේ සුදෝ සුදු නාවික නිලධාරී ඇඳුම හැඳගෙනයි. සුදු තොප්පිය, සුදු කමිසය, කලිසම හා බඳ පටිය, සුදු සපත්තු හා මේස් වලින් සැරසුණ විට “කිරි කොකා” වැනි පෙනුමක් තිබුණා. ඒ වන විට අප අධිකාරි ලත් නිසා උර පටි පැළඳුවා. පහළ නිලයන් අප දුටු විට සැලියුට් ගැසූ අතර අපද ඉහළ නිලධාරීන් දුටු විට සැලියුට් ගැසුවා.

එසේම ජැටියේ සිට ගැන්ග් වේ (Gang Way ) හරහා නැවේ ක්වාටර් ඩෙක් (Quarter deck) නොහොත් පසු පස කොටසට ගොඩවීමට පෙර නැවට ආචාර සමාචාර දැක්වීම සඳහා සැලියුට් ගැසිය යුතු වුණා.

මා ඊට පෙර “එඩිතර” නෞකාවේ පුහුණුව ලබා තිබූ නිසාත්, ඊට අනුයුක්ත නිලධාරීන් හා නැවියන්  දැන හඳුනාගෙන තිබූ නිසාත් සිතේ කිසිදු චකිතයක් තිබුණේ නෑ. 

මා සේවයට වාර්තා කරන විට නැවේ කපිතාන් ලෙස කටයුතු කළ කොමාන්ඩර් රසීක් නිවාඩු ගොස් සිටියා. නැවේ ප්‍රධාන විධායක නිලධාරියා වූ ලුතිනන් කමාන්ඩර් සුනිල් සාන්තද නිවාඩු ගොස් සිටියේ නැව උතුරු මුහුද බලා පිටත් වීමට පෙර නැවත සේවයට වාර්තා කිරීම සඳහායි. නැවේ වැඩ බලන කපිතාන් ලෙස සිටියේ ප්‍රධාන විධායක නිලධාරියා වූ එවකට ලුතිනන් කොමාන්ඩර් ජයනාත් කොළඹගේ. (වර්තමානයේ විදෙස් අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කරන අද්මිරාල් කොළඹගේ.)

නියමිත දිනයේ අප රැගත් නැව ත්‍රිකුණාමලය නාවික තටාකාංගනයෙන් පිටත් වී නැගෙනහිර මුහුදු තීරය ඔස්සේ උතුරු මුහුදේ ආවේක්ෂණ කලාපය බලා පිටත් වුණා. කිරිකොකෙකු සේ නැවේ සේවයට වාර්තා කළ මා එතැන් පටන් නීල වර්ණ ඇඳුමට මාරු වුණා. බෙරේට් කැප් එක, කමිසය හා කලිසම හා බෙල්ට් එකත්, මේස් යුගලයත් නිල් පාටින් වූ අතර කළු සපත්තු පැළඳීම නියම වුණා.

ත්‍රිකුණාමලයෙන් පිටත් වූ අපි නිලාවෙලි, මුලතිව් හරහා බෙංගාල බොක්ක ඔස්සේ පේදුරුතුඩුව ප්‍රදේශය බලා ගමන් කළා.

 

ඉතිරිය  පහත link එකෙන් ආලෝචනා  අන්තර්ජාල සඟරාවෙන් කියවන්න.