Powered By Blogger

Wednesday, 22 January 2025

අවසානයේ හඳගම ස්වර්ණාව නැති භංග කළේය.

 

1966 වසරේදී තිරගත වූ සිරි ගුණසිංහ අධ්යක්ෂණය කළ “සත් සමුදුර” චිත්රපටයේ රඟපාමින් අහම්බයෙන් සිංහල සිනමාවට පිවිසි ස්වර්ණා මල්ලවාරචචි ඉන් අනතුරුව “හන්තානේ කතාව”, “නිම්වළල්ල”, “තුං මං හන්දිය”, “අහස් ගව්ව”, “මාතර ආච්චි”වැනි චිත්රපට කිහිපයක රඟපා සිංහල සිනමාවෙන් අතුරුදන් වූවාය. 
 
ස්වර්ණා සම්මුඛ සාකච්ඡාවකදී මෙසේ කියා තිබිණ.
 
“ මට එහෙම ඉල්ලුමක් තිබුණේ නෑ. මාව කලින් කරපු චිත්රපට ටිකට ගත්තෙත් දැන හැඳුනුම්කම් නිසා. තුං මං හන්දියට ගත්තේ මහගම සේකර යාළුකමට. සෙනරත් යාපා හන්තානේ කතාවට ගත්තේ පත්තරේ ගිය මගේ පින්තූරයක් දැකලා. එයාට ඕනෑ වෙලා තිබුණේ කෙට්ටු නිළියක්. ධර්මසේන පතිරාජ අහස් ගව්වට මාව ගත්තෙත් අපි හොඳ යාළුවො නිසා. මාතර ආච්චි චිත්රපටයට සතිස්චන්ද්ර මාව ගත්තෙත් දවසක් අපි කට්ටිය බස් එකක ගිහින් ඇතිවෙච්ච යාළුකමට... ඇත්තටම සත් සමුදුරෙන් පසු ඉල්ලුමකින් නෙවෙයි ඒ චිත්රපට ලැබුණේ.”
 
එවකට සිංහල සිනමා අධ්යක්ෂවරු ඉල්ලා සිටියේ කෙට්ටු නිළියන් නොවේ. පුෂ්ටිමත් ලළනාවන්ය. ඔවුන් ප්රමුඛත්වය දුන්නේ රංගනයේ දක්ෂතාවට වඩා ඇහැට කනට පෙනෙන පෙනුමටය.
ඒ හේතුවෙන් විදෙස්ගත වූ ස්වර්ණාගේ සිංහල සිනමාවේ පළමු යුගය අවසන් විය. 
 
1973 දී ස්වර්ණා විදේශගත වූවාය.
 
එංගලන්තයේත්, ඕස්ට්රේලියාවෙත් විවිධ වෘත්තීන් හී යෙදුණ ඇය ආපසු ලංකාවට පැමිණියේ 1978 දීය. ඒ ප්රධාන චරිතය නිරූපණය කළ ජෝ අබේවික්රමගෙන් ලද ඇරියුමකට අනුව “සිංහබාහු” චිත්රපටයේ රඟපෑම සඳහාය. එය ස්වර්ණාගේ රංග කලා ජීවිතයේ දෙවැනි යුගයක ඇරඹුම ලෙස සටහන් කළ හැකිය. එසේ ආරාධනා ලැබ නැවත නොපැමිණෙන්නට සිංහල සිනමාවේ විශිෂ්ටතම රංගනවේදිය අපෙන් ගිලිහෙන්නට ඉඩ තිබිණ. 
 
එදා මෙදා තුර සිංහල සිනමාවේ ස්වභාවික ලස්සනක් ඇති සුන්දරම නිළිය ස්වර්ණා මල්ලවාරචචි බව මගේ මතයයි.
 
පුනරාගමනයෙන් පසු ඇය රංගනයෙන් දායක වූ චිත්රපට සංඛ්යාව ඉමහත්ය. ඉන් ඇගේ විශිෂ්ටතම රංගනයන් ඇතැයි මා දකින චිත්රපට පමණක් මෙහි ලා සඳහන් කරමි.
“හංස විලක්”, “දඩයම”, “සුද්දිලගේ කතාව”, “කැඩපතක ඡායා”, “සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා”, “මී හරකා”, “භව දුක”, “භව කර්ම”, “චන්න කින්නරී”, “අනන්ත රාත්රිය” එම චිත්රපටයි. 
 
ඒ හැරෙන්නට ඇගේ රංග ප්රතිභාව ඉස්මතු නොවූ, අපතේ ගිය චිත්රපට මෙන්ම ඇයට රඟන්නට තරම් භූමිකාවක් නැති දියාරු චිත්රපට වලද ස්වර්ණා පෙනී සිටියාය.
 
හන්තානේ කතාවේ සිට හංස විලක් දක්වාත්, දඩයමේ සිට අනන්ත රාත්රිය දක්වාත් ස්වර්ණා මල්ලවාරච්චි සිය අනන්යතාව ප්රකට කළාය. අවසානයේ මේ නහින දෙහින කාලයේ "රාණි" සිනමා පටයේදී ස්වර්ණාට ස්වර්ණා මල්ලවාරච්චි අහිමි වී ඇත. අශෝක හඳගම ස්වර්ණාව නැති භංග කොට මනෝරාණි සරවනමුත්තු උපද්දා ඇත.
 
 
"රාණි" චිත්රපටයේ ස්වර්ණා නොදුටුවෙමි. මනෝරාණි දුටුවෙමි. 
සමස්ථ චිත්රපටයම ඇය සිය ග්රහණයට ගත් සෙයකි.
 

Friday, 10 January 2025

රිළා වඳුරු අලි කරදරේ

 

 

දේවහූව ප්රදේශයේ දිවිගෙවන නිලූකා ශ්යාමලී කුමාරතුංග ගෙවිලිය අලින්ගෙන් හා වඳුරන්ගෙන් ඔවුන්ගේ වගාවට සිදුවන හානිය ගැන කිව්වේ හරිම වේදනාවෙන්.
 
"අපිට සතුටුයි අපේ ජනාධිපතිතුමා උපන්නෙ මේ ප්රදේශයේ. එතුමන්ට ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑ මේ වඳුරු කරදරේ හා අලි කරදරේ ගැන.
 
මං පොල් පැල 185ක් යටි වගාව දැම්මා ඒ සේරම අලි විනාශ කළා. වඳුරො ඇවිත් ගෙඩි සිය ගාණක් බිම දාල විනාශ කළා.
අපි ජීවත්වෙන්න රජයේ ආධාර අවශ්ය නෑ. ගොවිතැනෙන් අපිට ජීවත් වෙන්න පුළුවන්.
 
ඒත් අපි ඉල්ලන්නෙ මේ අලි වඳුරු කරදරෙන් අපිව බේරල දෙන්න කියලයි"
 
 

Wednesday, 18 December 2024

ඉංග්‍රීසි ගැන අවංක කතාවක්...

 


පාසල් අධ්යාපනයෙන් අපිට හරි ඉංග්රීසි දැනුමක් ලැබුණෙ නෑ. ප්රදේශයේ ප්රසිද්ධ ඉංග්රීසි ගුරුවරයෙක් වුණත්, තාත්තගේ පංතියේ ඉඳගෙන උන්නත් 56 සිංහල පමණයි බයිලෙන් ඔද වැඩුණු අපිට ඉංග්රීසි අරහං වුණා. සා.පෙළ සම්මානයක් ගත්තත් එහෙමට ඉංග්රීසි දැනුමක් තිබුණෙ නෑ. 
 
නොසිතූ පරිදි විශ්වවිද්යාලයේ ඉංජිනේරු උපාධිය හදාරන්න තේරුණත් ඉංග්රීසියෙන් උගන්නන බව දැනන් උන්නෙත් නෑ.
 හුටා..!
 
පළමු වසරේ එක් විෂයයක් හැර සියලුම අධ්යයන කටයුතු ඉංග්රීසියෙන් කරන්න වුණා.
හැබැයි තාත්තා බලෙන් පොවපු ඉංග්රීසි දැනුමක් තිබුණු නිසාද කොහෙද විශ්වවිද්යාලයේ ඉංග්රීසි ටෙස්ට් එක සමත් වුණා. අසමත් අයට වෙනම ඉංග්රීසි ඉගැන්වූවා.
 
දේශන ඉංග්රීසියෙන්, පොත්පත් ඉංග්රීසියෙන්, නෝට්ස් ඉංග්රීසියෙන්, ප්රැක්ටිකල් කළේ හා ඇසයින්මන්ට් ලිව්වේ ඉංග්රීසියෙන්, විහාග ප්රශ්න පත්ර ඉංග්රීසියෙන්, උත්තර ලිව්වෙත් ඉංග්රීසියෙන්, කර්මාන්ත පුහුණු වාර්තා ඉංග්රීසියෙන්, ඊට අදාළ වයිවා ඉංග්රීසියෙන්.
 
නාවික හමුදාවේ ඉංජිනේරු නිලධාරියෙකු ලෙස බැඳී ගෙවුණු වසර 5 ක සියලු ලිපි කටයුතු හා ඉහළ නිලධාරීන් සමඟ කතා ඉංග්රීසියෙන්, අවුරුදු 2 1/2 ක් ත්රිකුණාමලයේ ඉංජිනේරු පාසලේ ඉගැන්වූවේ ඉංග්රීසියෙන්.
 
අනතුරුව විවෘත විශ්වවිද්යාලයේ හා පේරාදෙනිය විශ්වවිද්යාලයේ දේශන පැවැත්වූයේ ඉංග්රීසියෙන්. ප්රශ්න පත්ර හැදුවේත් ඉංග්රීසියෙන්.
 
විදෙස් ගතවී වසර 4 ක් රස්සාව කරද්දී කතාබහ ඉංග්රීසියෙන්, වාර්තා ලිව්වෙ ඉංග්රීසියෙන්. 
 
ලෝක බැංකු ව්යාපෘති වල වැඩ කරමින් වාර්තා ලිව්වේ (දැන් Chat GPT එකෙන් හදන්න පුළුවන්), පවර්පොයින්ට් ප්රෙසන්ටේෂන් කළේ, කරන්නේ ඉංග්රීසියෙන්. ඔවුන් එක්ක කතිකාවේ යෙදෙන්නේ ඉංග්රීසියෙන්.
 
සාහිත්ය පොත් ඉංග්රීසියෙන් කියවනවා. කීපයක් පරිවර්තනය කළා. 
 
ඉංග්රීසියෙන් සවන් දී තේරුම් ගන්න පුළුවන්. 
 
හැබැයි ඉංග්රීසි ෆිල්ම් වල ඉංග්රීසි උප සිරැසි නැතුව හැම උච්ඡාරණයක්ම එකවර තේරුම් ගන්න බෑ.
 
ඉංග්රීසියෙන් අදහස් හුවමාරු කරගන්න පුළුවන්.
 
ඉංග්රීසියෙන් උගන්වන්න පුළුවන්.
 
ඉංග්රීසියෙන් ලියන්න පුළුවන්. (සුපිරි නොවේ.)
 
ඉංග්රීසියෙන් ඉදිරිපත් කිරීම් කරන්න පුළුවන්.
 
හැබැයි වේදිකාවක ඉංග්රීසියෙන් කථාවක් පවත්වන්න බෑ. 
 
අපේ අධ්යාපනය සකස් විය යුත්තේ ඒ බැරි කොටසත් පුළුවන් වෙන විදිහට. පාසල් වල පළමු වසරේ සිටම තෝරාගත් විෂයයන් ඉංග්රීසියෙන් පමණක් උගන්වන්න පටන්න ගන්න ඕනෑ. හැබැයි ඒකට ඉංග්රීසියෙන් උගන්නන්න හා කතා කරන්න පුළුවන් ගුරුවරුත් ඕනෑ.
 

Monday, 16 December 2024

වල් සත්තු, වගා හානි, වන්දි ගෙවීම් හා ගුරුකම සෙල්ලමට ගැනීම

 


මෙවර කතා කෝච්චියෙන් දැවෙන මාතෘකා තුනක් ගැන මගේ අදහස්.

1. වල් සත්තු වගා හානි කරද්දී ගොවියා බකන් නිලං ඉන්න ඕනෙද?
2. හානි වලට වන්දි ගෙවිය යුත්තේ වී ගොවියාට විතරද? සල්ලි වලට විකුණන, ලාභ ලබන වී වලට රටේ ජනතාවගේ මුදලින් වන්දි ගෙවන්න ඕනෙද?
3. උපාධිධාරීන් කියන්නේ ගුරු සෙවයට බඳවා ගන්න පුහුණු කළ අය නොවේ. ගුරු වෘත්තියට වටිනාකමක් දෙමු.

වල් සත්තු, වගා හානි, වන්දි ගෙවීම් හා ගුරුකම සෙල්ලමට ගැනීම

Wednesday, 27 November 2024

සාහිත්‍ය සම්මාන ගැනයි...

 

රාජ්ය සාහිත්ය සම්මාන දිනූ හා නිර්දේශ වූ වැඩි දෙනා අප පෞද්ගලිකව දන්නා අයයි.
 
මා ඔවුන්ට සුබ පැතුවේ නැත. විශේශයෙන් සුබ පතන්නට තරම් දෙයක් නොවේ යැයි මගේ විශ්වාසයයි. එහෙයින් කිසිවෙකුත් ඒ ගැන හිතේ කහටක් තබා ගත යුතු නැත.
 
මා 90 ගණන් වල පැවැති ජනතා සාහිත්ය උලෙළ හැර වෙනත් කිසිදු සාහිත්ය සම්මාන උත්සවයකට සහභාගි වී නැත. සහභාගි වීමේ උනන්දුවක්ද නැත.
 
සම්මාන සමඟ මුදල් දෙන්නේ නම් බාර ගන්නට පැකිළෙන්නේ නැති වුවත් සම්මානය කරේ තබාගෙන යන්නේද නැත. සම්මාන ලැබීම මට විශේෂ සතුටක් නොවේ. මන්ද මෙරට සම්මාන යනු කල්ලිවාදී, අවස්ථාවාදී, පුද්ගලවාදී කෙමනක් බව ඕනෑවටත් වඩා තේරුම් කරගෙන සිටින බැවිනි.
අතරින් පතර ඉතා නිවැරැදිව, සුදුසුම කෘතියට සම්මාන දෙන අවස්ථා නැත්තේ නොවේ. බොහෝ විට ඒවා අහම්බය.
 
ඒත් සමහර සම්මාන දෙන්නේ කතුවරයාගේ නමටය. 
 
විනිශ්චය කරුවෝ පොත් සියල්ල කවරයෙන් කවරය කියවා සම්මාන දෙන්නේ නැති බව ප්රත්යක්ෂය. සමහර සම්මාන ප්රදානයට කලින් දවසේ රාත්රියේ වෙනස් කළ අවස්ථා ඇත. සමහර සම්මාන දේසපාලකයින්ගේ පෑන් පහරින් අහෝසි වූ අවස්ථාද ඇත. විනිශ්චය මණ්ඩල මේවාට නිහඬව සිටින්නේ තමන්ට ඉදිරියේ මේ අවස්ථාව ගිලිහේ යැයි බියෙනි. හැමදා එකම කණ්ඩායමක් සාහිත්ය කෘති විනිශ්චයට වරම් ලබා ගන්නේ මේ දීන බව නිසාය.
 
සම්මාන ලැබූ සැමගේ සතුට හා එක් වෙමි. 
 
එක් අයෙකුට සුබ පතනවා යනු නිර්දේශවූ අනෙක් අය පහත් කොට සැලකීමකි. අනෙක් අතට හැමෝටම සුබ පැතුම් කියා ලිවීමද විකාරයකි.
මන්ද සාහිත්යකරණය යනු රේස් එකක් නොවන බැවිනි. හොඳ කෘති අගය කිරීම වෙනම වැඩකි. එය සංදර්ශනයක් හෝ ප්රතිඵල නිකුත් කරන විභාගයක් නොවිය යුතුය. 
 
පුනරුදයේ නව රජයේ බලධාරීන් ඉදිරියේදී මේ බව තේරුම් ගෙන දේශපාලන මැදිහත් වීමකින් තොරව කලා කෘති අගය කරනවා නම් අගනේය.
 
- ලේඛක හෙන්රි වර්ණකුලසූරිය
 
(මේ සමඟ අමුණා ඇති සේයාරුවේ ඇති සම්මාන මොනවාදැයි නොහඳුනමි.)