Powered By Blogger

Saturday, 21 November 2015

අධිවේගී මාර්ගයක අංශක 180 ක් ආපස්සට



හු ගිය වතාවෙ ලංකාවට ගිහිං ආපසු එන්න දවසකට දෙකකට කලිං කුලී පදනමට ගත්ත කාර් එක සුළු පහේ අනතුරකට පත් වුණා.

වාහනේ දුන්න නිලාට call කරල කිව්වම Viber එකෙන් photo එකක් එවන්න කිව්ව හැරෙන තැපෑලෙන්.

Photo
එක දැක්ක නිලා හිටු ගාල ආපස්සට call කරන්න ගත්ත. "ගොඩක් damage නේද...buffer එක පුපුරල නේද..light එකට damage නැද්ද..."

Accident
එක වුණේ පොද වැස්සෙ. ඒ වගේම වැදුණ විදිහෙන් මම දැනගත්ත එච්චර ලොකු අලාභයක් නොවන බව.

මම වාහන reverse කරන විදිහ හරි ක්‍රමවත් කියල දන්න අඳුනන අය කියනව. ඒ හංද reverse එකේ ගද්දි accident වුණ එක ගැන මටත් පුදුමයි.

නුගේගොඩ පුතාගෙ annex එක ඉදිරිපිට පටු පාර හදමින් තිබුණ නිසයි දෙපැත්තෙ තියෙන ගේට්ටු දෙකක ඉඩ උපයෝගී කරගෙන කාර් එක හරවන්න හැදුවෙ. පොඩ්ඩක් අනුමානය වැරදිලයි තාප්පෙට අඩ තිබ්බෙ.

වාහනේ බාර දෙන්න ගියාම damage එක දෑහින් දැක්කට පස්සෙ නිලාගෙ ඇඟට පණක් ආව වගේ.

"Photo
දැක්කම මම හිතුවෙ ලොකු damage එකක් කියල. මේක පොඩි දෙයක්නෙ. "

එදා සිටන්ම මා අතින් වාහන accident වෙන්නෙ බොහොම හෙමින් පදවා ගෙන යද්දි තමයි. එක්කෝ හරවද්දි. නැත්නම් traffic එකේදි.

කොහොමත් සාමාන්‍යයෙන් අධික වේගෙන් රිය පදවන්නයි මම පුරුදු වෙලා තියෙන්නෙ. ඒක මටවත් හදාගන්න බැරි පුරුද්දක්. වේගය ඉක්මවා යනව මට පේන්නෙ නැත්තෙ සුක්කානම ඒ තරමටම අතට හුරු නිසාද මංද.

ඒ වගේම තමයි වාහනේ වේගෙන් පදවනව කියල කී දෙනෙක් නං ආඩපාළි කියල ඇද්ද. සමහරු කියා ගන්න බැරුව වාහනේට නැග්ග මෝඩකම කියල හිතන අවස්ථාත් ඕනෙ තරම් ඇති.

අවුරුදු ගාණකට ඉස්සර වෙච්චි එක සිද්ධියක්  නං මතකයි.

කොහෙ හරි ගමනක් ගිහිං එද්දි වේගෙ වැඩියි...අඩු කරන්න කියල පුතාගෙ අම්ම කකෙඳිරි ගාන්න පටං ගත්ත. පුතාට නං පුංචිකමටද කොහෙද වේගෙන් යන තරමට ත්‍රිල්.

ඒත් අම්ම ඒ අවදානම ගන්න කැමැති වෙන්නෙ නැහැනෙ.

වාහනේ පදවන කොට උපදෙස් දෙද්දි මටත් මළ පනින නිසා මම කළේ 'දැන්වත් ටිකක් හයියෙන් යං' කියන කල් ඉබ්බ යන්නැහෙ හැතැප්ම ගාණක් විස්සෙ තිහේ වේගෙන් හෙමීට කාරය පදවපු එකයි.

වාහනේට බල්ලො, පූසො නං අනන්තවත් අඩ තියල ඇති. එක වතාවක් හරකෙක් (කකුල් හතරෙ හො‍ඳේ) පැනල, side mirror  එක කැඩුණ මතකයි.

මුලින්ම කාර් licence ගන්න වුණේ MOTIVATION කියන NGO එකේ තාවකාලිකව වැඩ කරපු කාලෙ.

ජනසංනිවේදන පශ්චාත් උපාධිය කරන්න විශ්වවිද්‍යාල සේවයෙන් නිවාඩු අරං ඇවිත් ඉන්න ගමන් තමයි එතන වැඩ කළේ. අපි තොග වශයෙන් භාණ්ඩ මිලදී ගත්තම සාක්කුවට ගාණක් වැටෙනව කියල මම මුලින්ම දැනගත්තෙ එතනදි.

එතන රස්සාවට ඕනෙ වුණ නිසා තමයි කාර් licence ගත්තෙ. මා අතින් පළමු අනතුර සිද්ධ වුණෙත් MOTIVATION එකෙන් දුන්න වෑන් එකෙනුයි.

ඒකත් ගම කන කතාව.

රාගම ඉඳන් වත්තලට ආවෙ ලියවන පට්ටලයකින් වැඩක් කරගන්න. මම වෑන් එක බොහොම පරෙස්සමින් අරං ඇවිත් වැඩපොළ ඉදිරිපිට මීගමු-කොළඹ මාර්ගයට යාබදව නැවැත්තුව.

නවතල පට්ටලේ පැත්තට ගියා.

මිනිත්තුවක් ගියෙ නැහැ....චකබලාස් සද්දයක් ආව. නිකං වීදුරු ගොඩක් චප්ප වෙනව වගේ සද්දයක්.

මම හැරිල බලද්දි නවතපු තැන වෑන් එක නැහැ. මිනිස්සු වට වෙලා.

ගිහිං බැලින්නම් ජූලි හතයි. මම නුහුරු කමට ගිහිං තියෙන්නෙ gear neutral තියෙද්දි. Hand brake අදින්නෙ නැතිව.

වාහනේ ඉදිරියට ඇදී ගිහිං පාර අද්දර විකුණන්න ගොඩ ගහල තිබුණ විදුරු මාලු ටැංකි කිපයක් කුඩු කරගෙන ගිහිං නැවතිලා.

තොග වශයෙන් භාණ්ඩ මිලදී ගත්තම සාක්කුවට වැටුණ ගානෙන් තමයි අලාබෙ ගෙව්වෙ. නැත්තං මාසෙ වැටුපෙන් බාගයක් එතෙනන්ට දෙන්න වෙනව.

ඔයාකාර පොඩි පොඩි accident වුණාට කලින් කිව්ව වගේ carpet පාර වල හැටට හැටේ ගිහිල්ලත් බරපතළ අනතුරු සිද්ධ වෙලා නැහැ.

හැටට  හැටේ නොවෙයි, අධිවේගී මාර්ග වල එකසිය විස්සට ගිහිල්ලත්. බහරේන් ආවට පස්සෙ තමයි එහෙම පදවන්න අවස්ථා ලැබුණෙ. මෙහෙ තියන තරමක් highway.

අපේ ජීවිත වල විවිධ හැලහැප්පීම් එක්ක සමහර දේ අවිඥානිකව සිද්ධ වෙනව. සිහිකල්පනාව වෙනතක යොමු වුණාම දෛනිකව පුරුද්දට කරන දේවල් අංශුවකින් වෙනස් වෙන්න පුවවනි.

මම එහෙම කියන්නෙ වාහන පැදවීම අපි කරන්නෙ අවිඥානිකව නිසා. අපි වාහන පදවන්නෙ දැන් හරවන්න ඕනෙ, දැන් lane එක මාරු කරන්න ඕනෙ කියල හිත හිත නොවෙයිනෙ. ඒව සිද්ධ වෙන්නෙ ඉබේටම. හුරුවට.

මාස කිපයකට පෙර මේ කියන්න යන දවසෙත් වෙනද වගේම මම උදේ වැඩට යන්න වාහනේ highway එකට දැම්ම. 

එක තැනක් තියෙනව මගෙ ගමන් මාර්ගය තෝරගන්න lane කීපයක් cross කරන්න සිද්ධ වෙන.

මම හිතන්නෙ මගෙ වේගය අසුවෙ විතර ඉඳන් සීයට වැඩි වෙමින් තියෙන්න ඇති. 

මම වෙන වාහනයකට ඉස්සර කරමින් දකුණු පස කෙලවරට ගිහිං ඒ මං තීරුවෙ ඉඳන් වම් පස කෙළවර මං තීරුවට ධාවනය කළා. ඒක නොකළ යුතුම overtake කිරිමක්. ඒකයි කිව්වෙ අවිඥානිකව අපි යම් යම් දේ කරනව කියල මානසික තත්ත්වය අනුව.

මට වේගය පාලනය කරගන්න අමාරු වුණා.

මට දැනෙන්න ගත්ත වාහනය මගේ පාලනයෙන් තොරව වම් පසට ඇදී යනව. එහෙම තව මීටර් කීපයක් ගියොත් කෙලවරේ තියෙන විශාල බැම්මෙ වැදිල වාහනේ කුඩුපට්ටම් වෙන බව එක නිමේශයෙකදි මට දැනුණ.

මම තිරිංග පාගන අතරතුර සුක්කානම දකුණට කැපුව. අනතුරෙන් බේරෙන්න.

එක වරම වාහනය බැම්මෙ නොවැදි අංශක එකසිය අසූවක් ආපස්සට හැරුණ. ඒ තත්පරයෙන් කොටස තුළ මට කිසිම දෙයක් පෙනුණෙ නැහැ. 

වාහනය නැවතුණාම මම ඉදිරිය බැලුව. පිටිපස්සෙන් ආව වාහන කිපයක් මට මුහුණ ලා නවතන් ඉන්නව දැක්කෙ එවිටයි. ඒවයෙ උන්න රියැදුරෝ හිස් වල අත් ගසාගෙන ඉන්නව මම දැක්ක.

මම මොහොතක් ගල් වුණා.

ඉදිරියෙන් සමීපයෙන් ඉන්න රියැදුරා මට වාහනය හරවගන්න කියල අතිං සංඥා කළා.

මම හෙමීට රොබෝ කෙනෙක් වගේ වාහනය හරවගෙන අයින් කරල නැවැත්තුව.

ඒ මොහොතෙයි මට ජිවිත අවදානම දැනුණෙ. මම තවම පණ පිටිං නේද කියල දැනුණෙ.

මට එතනින් එහාට වාහනය පදවන්න ශක්තියක් තිබුණෙ නැහැ.

මම Viber තාක්ෂණයෙන් ලංකාවට කතා කළා. මගේ තිගැස්ම දුරකථන සංඥා ඔස්සේ සම්ප්‍රේෂණය වුණා.

ඊට පස්සෙ අඩුම වේගෙන් වාහන ධාවනය කරන දකුණු කෙළවරේ මං තීරුව දිගේ හැටේ වේගෙන් වාහනය පදවාගෙන වැඩට ගියා. මා සුරක්ෂිතව යන තුරුම Viber තාක්ෂණය cut නොවීම හිතට හයියක් වුණා.

අධිවේගී මාර්ගයක අංශක 180 ක් ආපස්සට වාහනය හැරිලත් තවමත් ජිවතුන් අතර නේද කියල මම තාමත් හිතනව.





Saturday, 17 October 2015

මහාචාර්යවරයෙක් ප්‍රාණ ඇපයට ගත් පරාජිත ශිෂ්‍ය සටනක්


(ප්‍රථම වරට ලිඛිතව හෙළිදරව් කරන සත්‍ය කතාවක්)


80 දශකයේ මුල් භාගයේදී පේරාදෙනිය සරසවියේ පැවැතියේ අතිශය පීඩාකාරී පාලනයක්. විශේෂයෙන් ජේ.ආර්. ජයවර්ධනගේ විජයග්‍රාහී ආණ්ඩුව දැඩි ශිෂ්‍ය මර්දනයක් දියත් කොට තිබුණේ ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ සමාජවාදී ශිෂ්‍ය සංගමයට හිස ඔසවන්නට ඉඩ නොදීමේ අරමුණින්. ජ.වි.පෙ. ගැන කවරාකාරයේ විවේචන තිබෙන අයෙකුට වුවත් ඒ යුගයේ සරසවිය තුළ වූ අමනෝඥ රාජ්‍ය මැදිහත් වීමට එරෙහිව නැගී සිටින්නට ශක්තියක් තිබුණේ එකී දේශපාලන ව්‍යාපාරයට පමණක් බව අමතක කරන්නට නොහැකි බවයි මගේ කල්පනාව වන්නේ.

වාර්ෂිකව පැවැත්වෙන සරසවි ශිෂ්‍ය නිළවරණයෙන් සුපුරුදු ලෙස සමාජවාදී ශිෂ්‍ය සංගමය අති බහුතර ජයක් ලබනු නොරිසි පාලක පක්ෂය තම හිතවාදී සමවාදී ශිෂ්‍යයන් හෙවත් සරසවි බසින් පවසනවා නම් “ජුන්ටන්” උපයෝගී කොටගෙන ජයග්‍රහණයෙන් උද්දාමයට පත් ශිෂ්‍ය පෙළපාලියකට මාකස් ශාලාව අසලදී දැඩි ප්‍රහාරයක් එල්ල කළා.

මේ ප්‍රහාරයට විරුද්ධව පොදු ශිෂ්‍යයන් පංති වර්ජන, පිකටිං සංවිධානය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස වැරදිකරුවන් නිශ්චය කිරීම සඳහා පාලකයන් විසින් උදලාගම විනිසුරුවරයාගේ මූලිකත්වයෙන් යුතුව කොමිසමක් පත් කරනු ලැබුවා. එය “උදලාගම කොමිසම” නමිනුයි හැඳින්වුණේ.

කූප්‍රකට උදලාගම කොමිසමේ වාර්තාවට අනුව ප්‍රහාරය එල්ල කළ “ජුන්ටන්” නිවැරදිකාරයන් වී ප්‍රහාරයට ලක්වූවන්ගේ පංති තහනම් කෙරෙන කැකිල්ලේ තීන්දුවක් ක්‍රියාත්මක වුණා. පසු කාලයේ ජාතික තලයේ ජ.වි.පෙ. ක්‍රියාධරයෙකු මෙන්ම එවකට ඉංජිනේරු ශිෂ්‍යයෙකු වූ ආනන්ද ඉඩමේගම (ධම්මික මහත්තයා) ඇතුළු සත් දෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කරනු ලැබීම පොදු ශිෂ්‍යයන්ගේ සිත් සතන් තුළ කිසියම් ආකාරයකට පාලකයන්ට එරෙහි වෛරී හැඟීමක් ජනිත කරන්නට සමත් වුණා.

                               ධම්මික මහත්තයා නොහොත් ආනන්ද ඉඩමේගම

ඉන් අනතුරුව මේ අසාධාරණ පංති තහනම් කිරීම් හා ශිෂ්‍යභාවය අහෝසි කිරීම්වලට එරෙහිව නිරන්තරයෙන් විරෝධතා ව්‍යාපාර සංවිධානය වුණා. පිකටිං, පංති වර්ජන මෙන්ම අභියෝගාත්මක පෙළපාළි සරසවි දිවියේ සාමාන්‍ය එදිනෙදා අත්දැකීම් බවට පත් වෙන්නට වැඩි කලක් ගත වූයේ නැහැ.

මේ කිසිදු විරෝධතාවක් තඹේකට මායිම් නොකළ, සිසුන්ට පියෙකු විය යුතු යැයි මා විශ්වාස කරන, එහෙත් මැර පාලකයෙකු ලෙස නම් කරන්නට මා නොපැකිළෙන උපතුලපති පණ්ඩිතරත්න  දිනෙන් දින ශිෂ්‍ය මර්දනය දියත් කළේ විරෝධතාවේ යෙදෙන සිසුන් ඉවක් බවක් නොමැතිව දඩයම් කරමිනුයි.

මෙහි කූටප්‍රාප්තිය වූයේ ශිෂ්‍යයන් උපවාසයක් කරා තල්ලු කිරීමයි. මා කලින් සඳහන් කළ පිකටිං, පංති වර්ජන, පෙළපාළි වැනි විරෝධතා නිෂ්ඵල ප්‍රයත්නයන් බවට පත්වෙද්දී, සිසුන් උපවාස කරා යොමු වීම වැළැක්විය නොහැකියි. උපවාසය ආරම්භ කෙරුණේ සරසවි පරිපාලනය ඒකකය පිහිටි සනාතන මන්දිරයට යාබද කලා පීඨ ගොඩනැගිල්ලත්, ප්‍රධාන පුස්තකාලයත් යා කරන විවෘත කොන්ක්‍රීට් වහළය මත තැනූ අට්ටාලයකයි.

                                සනාතන මන්දිරය අසල උපවාසය කළ කොන්ක්‍රීට් වහළ

ශිෂ්‍යයන් හත්දෙනාගේ පංති තහනම ඉවත් කිරීමට බල කරමින් තවත් සිසුන් හත්දෙනෙකු උපවාසයට හිඳගත්තේ ජයග්‍රහණයකින් මෙපිට සටන අත්හරින්නේ නැති බවට සපථ කරමිනුයි. එහෙත් මේ උපවාසය ගැන නෑසූ කන් ඇතිව සිටින්නට පාලකයන් පියවර ගත්තේ සිය උද්දච්ඡභාවය ප්‍රකට කරමින් අන්තනෝමතික ආකාරයටයි.

මේ තත්ත්වය හමුවේ සමාජවාදී ශිෂ්‍ය සංගමය සමග ප්‍රයෝගිකව සම්බන්ධ නොවූ මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය සමග අනුගතව නොසිටි අප වැනි පොදු කාරණාවලදී ක්‍රියාකාරී වූ ශිෂ්‍යයන් ශිෂ්‍ය සටන වෙත  ආකර්ෂණය වුණා. විවිධ ඉසව් වල විසිරී සිටි සිසුසිසුවියන් කිසියම් සහෝදරාත්මක බැඳීමකින් එක් අරමුණක් වෙත සමීප කරන්නට ‍පාලකයන්ගේ අසාධාරණ මුණිවත බල කළා.

උපවාසය “මාරාන්තික උපවාසයක්” බවට අවතීර්ණ වූයේ ශිෂ්‍යයන් පමණක් නොව ආචාර්ය මණ්ඩලයේ බහුතරයක් උපතුලපතිවරයාගේ ක්‍රියා පිළිවෙත පිළිකුළින් හෙළා දකින තත්ත්වයක් යටතේදීයි.

මාරාන්තික උපවාසය දවසින් දවස ගෙවෙද්දී ශිෂ්‍යයන් අතර හැඟීම් ඇවිස්සෙන්න පටන් ගත්තා. මුළු සරසවියම එකා වන්ව පංති වර්ජනයකට අවතීර්ණ වූයේ මාරාන්තික උපවාසයත් සමගයි. දිනපතා අති දැවැන්ත පෙළපාළි සරසවි බිම ආක්‍රමණය කළා. ගලහ හංදියේ සිට සනාතන මන්දිරය දක්වා මොර දෙමින් විවිධ සටන් පාඨ කියමින් ඇදෙන පෙළපාළිවලට දිනෙන් දින එක් වෙන ශිෂ්‍ය සංඛ්‍යාව වර්ධනය වූයේ පාලකයන් වෙත භීතියේ සංඥාවක් ගෙන එමිනුයි.

අවසානයේ සරසවිය දින නියමයක් නොමැතිව වසා දමා ශිෂ්‍යයන්ට වහාම පිට වන ලෙස බල කෙරුණා. එහෙත් පොදු අරමුණක් වෙනුවෙන් මාරාන්තික උපවාසයක නියැලෙන සහෝදර සිසුන් අත්හැර ගම්බිම් කරා යන්නට වැඩිමනත් සිසුසිසුවියන් පෙළැඹුණේ නැහැ. පාලකයන්ගේ අණට එරෙහි වූ ඔවුන් සරසවි බිමේ කඳවුරු බැඳගත්තා.

බලහත්කාරයෙන් පොලිසිය සරසවි බිමට ඇතුළු වී උපවාසයේ යෙදෙන සිසුන් පැහැරගෙන යන්නට ඉඩ ඇති බවට ඇති වූ සැකය සිසුන් ජයගත්තේ විශ්වවිද්‍යාලයට අවතීර්ණ විය හැකි සියලු මාර්ග අවහිර කොට, ගස්වල අතු කපා බාධක යොදා සිය අණසකට නතුකොට ගැනීමෙනුයි. මේ මාර්ග බාධක දිවා රෑ නොතකා පැය විසිහතරේම සන්නද්ධව සුරැකීමට සිසුන් පියවර ගත්තා.

උපවාසයේ යෙදෙන සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින අවදානම් වෙද්දී ශිෂ්‍ය සංගම් සමග සාකච්ඡා පවා අත්හිටවූ උපකුලපතිවරයා සිය කාර්යාලයට පැමිණීමද සීමා කළා.

ඒ සමගම ශිෂ්‍යයන් ජිවිත අවදානමෙන් බේරා ගැනීම සඳහා පාලකයන්ට බල කෙරෙන දැඩි ක්‍රියාමාර්ගයකට යා යුතු යැයි ශිෂ්‍යසභා කාර්යාලය අසල පැවැති ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ සාකච්ඡාවකදී තින්දු වුණා. මාද ඊට සහභාගි වී සිටියේ දැඩි ආවේගශීලී හැඟීම් සමගයි. ඒ අනුව උපකුලපතිවරයා ප්‍රාණ ඇපයට ගෙන ඉල්ලීම් ලබාගැනීමට තීන්දු වුණා. ඉන් එහා විකල්පයක් අප ඉදිරියේ වූයේ නැහැ.

එදින දහවල් 12 ට පෙර උපකුලපතිවරයා සිය කාර්යාලයේදී අත් අඩංගුවට ගෙන අනතුරුව උපවාස ස්ථානය දක්වා බලහත්කාරයෙන් කැඳවාගෙන ඒමට තීන්දු වුණා. මෙය අතිශය වගකීම් සහිත, අවදානමෙන් යුතු කටයුත්තක් බව අප දැනගෙන උන්නා. ඒ සඳහා සූදානම් වුණා. සරසවිය පුරා විසිරී සිටි දහස් ගණනක් සිසුසිසුවියන් තමයි අපගේ ශක්තිය වු‍ණේ.

                    පේරාදෙනි සරසවි පච ගහ

උපකුලපතිවරයා ප්‍රාණ ඇපයට ගැනීමට සමගාමීව සනාතන මන්දිරය ඉදිරිපිට “පචගහ” අසලින් ආරම්භ වන දැවැන්ත පෙළපාළියක් සංවිධානය කෙරුණේ ‍පාලකයන්ගේ පමණක් නොව ශිෂ්‍යයන්ගේ අවධානයද වෙනතකට යොමු කිරීම සඳහායි. පෙළපාළිය ගලහ හංදියට වෙත ගමන් කොට උපවාස අට්ටාලය වෙත ආපසු පැමිණෙන කාලය අතරතුර ඉතා රහසිගත මෙහෙයුම ක්‍රියාත්මක කළ යුතුව තිබුණා.

නියමිත වේලාව වන විට උපකුලපතිවරයා එදින නොපැමිණෙන බවත්, එවකට විද්‍යා පීඨාධිපති වූ මහාචාර්ය ඩයස් වැඩබලන උපකුලපති ලෙස පණ්ඩිතරත්නගේ උපදෙස් ක්‍රියාත්මක කරන බවත් අපට ආරංචි වුණා.

පෙළපාළිය දැවැන්ත පිඹුරෙකු ඇදෙන්නා සේ කලාගාරය ඉදිරිපසින් අල්විස් වටරවුම  දෙසට ඇදෙන්නට පටන් ගත්තා. ඝෝෂාකාරී සටන්පාඨ වලින් මුළු සරසවි බිමම දෝංකාර දෙන්නට වුණා. මාරාන්තික උපවාසයේ යෙදෙන සිසුන්ගේ ජීවිත, අවදානමේ බවත් කිසිදු අහරක් හෝ පානයක් නොමැතිව පස්වන දිනයටත් ළඟා වන හෙයින් තව පමා වුවහොත් උපවාසය නැවතුණත් දීර්ඝ කාලීන ආබාධවලට ඔවුන් ලක්විය හැකි බවත් ජ්‍යෙෂ්ඨ වෛද්‍ය සිසුන් පැහැදිලි කළා.

ඒ මොහොතේ ඉතා දැඩි ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී‍මට මේ තත්ත්වය අපට බල කළා. ඒ අනුව උපකුලපතිවරයා වෙනුවට මහාචාර්ය ඩයස් අත්අඩංගුවට ගැනීමට තීන්දු වුණා. ඒ සඳහා පෙරමුණ ගත යුත්තේ කිසි ලෙසකින් මහාචාර්යවරයාට හඳුනාගත නොහැකි සිසුන් බවට කළ යෝජනාවට අනුව මාත් මා සමග නිෂ්පාදන ඉංජිනේරු විෂයයන් හැදෑරූ ‘ජැකා’ත් (‘ජැකා’ යන අනවර්ථ නාමය නිසා ඔහුගේ අනන්‍යතාව මේ ලිපියේදී සුරැකෙනු ඇති. දන්නෝ දනිති.) තවත් කිහිප දෙනෙකුත් ඊට මූලික වන්නට එකඟ වුණා. මහාචාර්ය ඩයස්ගේ රූපකාය අප නොහඳුනන හෙයින් විද්‍යා පීඨයේ ඔත්තුකරුවෙකු අපට පෙර එතුමාගේ කාර්යාලයට ගොස් එතුමන් එහි සිටින බව ස්ථිර කළා.

මමත් ‘ජැකා’ත් මට නමින් සිහිපත් නොවන තව දෙතුන් දෙනෙකුත් විද්‍යා පීඨාධිපති කාර්යාලයට ගොස් කෙටි දේශනයක් පැවැත් වූවේ මාරාන්තික උපවාසයේ යෙදෙන සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය හා ජීවිත අවදානම පැහැදිලි කරමින් වැඩ බලන උපකුලපතිවරයා ලෙස එතුමන්ගේ මැදිහත් වීමේ අවශ්‍යතාව අවධාරණය කරන්නටයි. එසේම මේ මොහොතේ උපවාස අට්ටාලය වෙත ගොස් අප පවසන කාරණා සියැසින් දැක බලාගැනීමේ වැදගත්කමත් අප අවධාරණය කළා.

මහාචාර්ය ඩයස් දැඩි භීතියකට පත්වුණා නිසැකයි. තමන්ට අප හා පැමිණෙන්නට නොහැකි බව එතුමන් පවසා සිටියා. එහෙත් අප පැමිණ සිටියේ අපගේ ඉලක්කය ජය ගැනීමට මිස හිස් අතින් ආපසු යන්නට නම් නොවේ. මාත් ‘ජැකා’ත් මහාචාර්යවරයා දෙපසින් ඔසවා ගත්තා. අප සූදානම් වූයේ ඔසවාගෙන වුව එතුමන් උපවාස අට්ටාලය වෙත රැගෙන යන්නටයි. තමන්ට ගැලවිමක් නොමැති බව තේරුම් ගත් මහාචාර්යවරයා තමන්ව බිමින් තබන ලෙසත්, අප හා එන්නට එකඟ බවත් පැවසූවා.

මේ වන විට පෙළපාළිය නමැති පිඹුරු රාජයා ගලහ පාර ඔස්සේ ආපසු පැමිණෙමින් තිබුණා. ඊට සමාන්තරව මහාචාර්ය ඩයස් ආරක්ෂක වළල්ලකට මැදි කොටගෙන අප ඉදිරියට ඇදුණේ විකල්ප මගක් ලෙස සරසවි ක්‍රීඩා භූමිය ඔස්සේ වැටී ඇති අඩිපාර දිගේයි. කිසිදු අතුරු හිංසාවකින් තොරව මහාචාර්යවරයා උපවාස භූමියට රැගෙන ඒම සඳහායි, පැහැර ගැනීමේ සංවිධායකයින් විසින් මේ ආරක්ෂක වළල්ල යොදා තිබුණේ. මේ වළල්ලෙන් රිංගා මහාචාර්යවරයාගේ වෘෂණ කෝෂ මිරිකන්නට තැත් කළ කඩප්පුලියෙකුව තග දමා ඉවත් කරන්නටත් සිදු වුණා.

                                       විද්‍යා පීඨයෙන් සනාතන මන්දිරයට

මහාචාර්යවරයා අට්ටාලය පිහිටි උස් ස්ථානයට ඉණිමගක් යොදාගෙන නැංවීම දක්වාම මමත්, ‘ජැකා’ත් දෙපසින් උන්නේ අප බාරගත් රාජකාරිය ඉතා නිවැරදිව ඉටු කරමිනුයි. මහාචාර්ය ඩයස් උපවාසකරුවන්ගේ සුවදුක් විමසන්නට උත්සුක වූයේ තමන්ගේ ජිවිතයත් අනතුරක නොවේදැයි භීතියෙන් යුතුව විය යුතුයි.

මහාචාර්යවරයා බේරාගැනීමේ මෙහෙයුම ආචාර්ය මණ්ඩලයේ මෙහෙයවීමෙන් සිදුවුණා. උපකුලපතිවරයා, යටත් වු බව ප්‍රකට කරමින් සියලු ඉල්ලිම් ලබා දෙන බවට ලිඛිත පොරොන්දු පත්‍රයක් එවා තිබුණා. උපවාසය නැවතුණා. මහාචාර්ය ඩයස් නිරුපද්‍රිතව ගෙදර ගියා. එවකට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වූ පසු කලෙක ජ.වි.පෙ. නායකයෙකු ලෙස ඝාතනයට ලක් වූ ඩී. එම්. ආනන්ද විජයග්‍රාහී කතාවක් පවත්වමින් සාමකාමිව විසිර යන ලෙස ඉල්ලා සිටියා.

විශ්වවිද්‍යාලය දින නියමයක් නැතිව වසා තිබූ හෙයින් පොදු ශිෂ්‍යයන් ප්‍රමුදිත මනසින් යුතුව ගෙවල් දොරවල් බලා පිටත් වුණා. පසුදා පිටත්ව යන අදහසින් රැඳී සිටි අප වැනි පිරිස මහ රෑ සරසවි බිම අත්පත් කොටගත් ආයුධ සන්නද්ධ පොලිස් බල ඇණියේ කාරුණික ආරක්ෂාව යටතේ මහ රෑ මහනුවර බස් නැවතුම වෙත බලහත්කාරයෙන්, එහෙත් කිසිදු විරෝධයක් නොමැතිව ගෙනැවිත් අතහැර දමනු ලැබුවා.

මාස ගණනාවකට පසු විභාග සඳහා සරසවිය විවෘත වෙද්දී උපකුලපතිවරයාගේ පොරොන්දු පත්‍රය කුණු කූඩයට විසිවී තිබුණා. පංති තහනම්, ශිෂ්‍යභාවය අහෝසි වීම් පෙරපරිදිම ක්‍රියාත්මක වුණා. පොදු ශිෂ්‍යයන් මෙන්ම සරසවියත් දැඩි නිහඩතාවක ගිලුණා. විභාග පැවැත්වුණා. අවසන් වසරේ සිටි අපේ සගයන් විසිරී ගියා.

කළු ජූලිය එළැඹුණා. ජ.වි.පෙ. භූගත වුණා. ශිෂ්‍ය නායකයන්ගේ කොඳු කඩාදමා තිබුණා. මා ඇතුළු කිහිප දෙනෙකුට රිමාන්ඩ් බන්ධනාගාර ගතවන්නට සිදුවුණා. අපට විරුද්ධව රහස් පොලිසිය පැවරූ නඩුව වසර කිහිපයකට පසු සාක්ෂි නොමැතිකමින් ඉවතට විසි වුණා.

සිද්ධියෙන් වසර එකහමාරකට පසු නාවික හමුදා නිළධාරියෙකු ලෙස මා බඳවා ගනිද්දී එම රහස් පොලිසියටම මට විරුද්ධව තමන් විසින්ම පවරනු ලැබූ නඩුවක් මහනුවර උසාවියේ තිබෙන බව සොයා ගන්නට ලැබුණේ නැහැ. 

(වාර්ෂික සමරු කළඹක පළ කරන්නට සරසවි මතක ලිපියක් ලියන්නට මා පෙළඹවූ කැනඩාවේ එඩ්මන්ටන්හි පදිංචි ඉංජිනේරු පත්මා රත්නායකට තුති පුදමි. මේ නොකී කතාව  සංශෝධන සහිතව මෑතදී මුලින් පළ වූයේ එහිය.)




Thursday, 8 October 2015

ස්විට්සර්ලන්තයේ දී ආ මංගල යෝජනාව ........බුදු අම්මෝ.......!

නොනිමි ගමන (Endles Journey) නමින් කෙටි චිත්‍රපටයක් හදන්න අහම්බෙන් ආ චාන්ස් එකෙන් අමෙරිකාවටත්, ස්විට්සර්ලන්තයටත් යන්න වීසා ලැබුණ එක එක්තරා අතකට මා ලැබූ භාග්‍යයක්. කොදෙව්වෙන් එහා දියුණු ලෝකයක් තියෙන බව දැනගත්තෙ ඒ ගමන් වලින් නිසා.

නොනිමි ගමන කෙටි චිත්‍රපටය මෙතනින් බලන්න.

Endless Journey

ස්විස්ටර්ලන්ත ගමන ගැන 2013 දී මුද්‍රිත නොකී කතා පොතේ සඳහන් වුණාට මේ කතාව එතැන ලියවුණේ නැහැ.




පරමාණු පර්යේෂණායතනය පිහිටි ප්‍රංශ දේශසීමාවේ පිහිටි CERN ප්‍රදේශයේ පැවැත්වූ Cineglobe කෙටි හා වාර්තා චිත්‍රපට උළෙල අවසන් වෙලා දුරකතනයෙන් පාර අහගෙන මම ජිනීවා පංසලට ගියේ තවලම ධම්මික ලොකු හාමුදුරුවො දවස් කීපයක් පංසලේ නැවතිලා රටතොට බලාගෙන යන්න කියල කළ ආරාධනය පිළිගනිමිනුයි.

හාමුදුරුවො කියාපු ගමන් මග කඩදාසියක ඇඳගෙන විදුලි දුම්රියෙන් වගේම ට්‍රෑම් බස් එකෙනුත් ඇවිත් Mc Donald එක ළඟ හෝල්ට් එකෙන් බැස්ස.



සෙමෙන් හිම කැටිති පතිත වෙමින් තිබූ ඒ උදෑසන මා ගමන් මල්ලක් උර දරාගෙන තවත් ගමන්බෑගයක් බිම දිගේ ඇදගෙන පංසල සොයා ගමන් කළා. පැවසූ මග සලකුණු අනුව ගමන් කළත් වංකගිරියක මෙන් හැම අතටම විහිදුණ මං මාවත් හේතුවෙන් මා කරකවා අත හැරි ගානට වැටුණා.



මහමග හමුවන්න්ගෙන් විමසුවත් කිසිදු පිළිතුරක් ලැබුණේ නැහැ. මගේ ආසියාතික ඉංග්‍රීසි උච්ඡාරණය ඔවුන්ට නොතේරෙනවාදෝයි කුකුසක් ඇති වුණේ ලිපිනය කියා මග ‍විමසද්දී හැමෝම පාහේ  මා අසන දේ නොතේරෙන බවට හස්ත සංඥාවෙන් ඉඟි කළ නිසයි.

පංසලට ගියාමයි දැනගත්තේ ප්‍රංශ බස කතා කරන ඔවුන් තමන්ගේ භාෂාව ගැන ආඩම්බර වන නිසා ඉංග්‍රීසි තේරුණත් පිළිතුරු නොදෙන බව.


එවකට පංසල පිහිටි ගොඩනැගිල්ල

බොහෝ වේලාවක් පංසල වටේ කරක් ගසා තැන හොයා ගන්නා විට මා හිම වැස්සෙන් තෙත බරිත වී සීතලෙන් වේවලමින් සිටියා. ලොකු හාමුදුරුවන්  මා පැමිණෙන බස් නැවතුමට පොඩි හාමුදුරුවන් තවත් දායකයෙකු සමග යවා තිබුණත් මා ඔවුන් නොදැකයි එතැනින් නික්මී තිබුණේ.

ස්විට්සර්ලන්තයේදී මෙන්ම "නොනිමි ගමන" රැගෙන අමෙරිකාවට ගිය විටදීද ලැබූ අත්දැකීම් ඉදිරියේදී ඉඩ ලැබෙන පරිදි නොකී කතාවලින් සටහන් කරන්නට ඉටා ගෙන අද කියන්නට යන මංගල යෝජනාව ගැන කියන්නම්.

හදිසියේ මේ කතාව සිහිපත් වුණේ ජිවිතේ අවසාන කාලය ලංකාවෙන් පිට වෙනත් යුරෝපීය දියුණු රටක ගත කරන්නට ඇත්නම් කියා සිතෙන මොහොතකයි.

දේශපාලනිකව මෙන්ම සමාජයීය වශයෙන් ලංකාවේ සිද්ධ වෙන ඉතා නොදියුණු පසුගාමී සිද්ධීන් හා චර්යාවන් ඇහෙන දකින විට මේ සිතුවිල්ල නිතැතින්ම ඇති වෙනවා. විදෙස් අධ්‍යාපනය ලැබ ලංකාවේම දිවි ගෙවන්නට උනන්දු වන මගේ පුතාගෙන්ද දියුණු රටකට සංක්‍රමණය වෙන්නැයි ඊයේ පෙරේදා මා ඉල්ලා සිටියේත් මේ මානසිකත්වයෙනුයි.

වසර ගණනාවකට පෙර අපේ සමහර සරසවි සගයන් කළා සේ නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, අමෙරිකාව හෝ කැනඩාව වැනි රටකට වෘත්තිමය සුදුසුකම් මත සංක්‍රමණය වන්නට අවකාශ තිබුණත් මොළය පෑදෙන විට පමා වැඩියි. 

අමෙරිකාවට මෙන්ම ස්විට්සර්ලන්තයට වීසා ලැබුණු විටදී සමහරු කිව්වේ "පැනපං" කියායි. ලින්ටන් සේමගේ චිත්‍රපට උළෙලකට සහභාගි වෙන්නට අමෙරිකාවට ගිය වෙලේ පැනල තිබුණෙ ඒ දවස්වලමයි.

ස්විට්සර්ලන්තයට නං පනින්නම කියලයි උපදෙස් ලැබුණේ. 

මානසිකව මෙන්ම සමාජ පැවැත්මෙන්ද සුපිරි නිදහසක් භුක්ති විඳින්නට හැකි, 'ජනතාවට ආංඩුව කරන උන් රැක බලාගන්නට සිදු වන නොව ආංඩුවෙන් ජනතාව රැක බලාගන්නා' එවන් රටක ජීවත් වෙන්න ලැබෙන එක නම් වාසනාවක්ම තමයි. 

කොහොමත් පනින අදහස මා බාර ගත්තේ නැහැ. ඒ වන විටත් උපන් බිමෙන් ගලවා ගත නොහැකි ලෙස මුල් ඇදී තිබුණා. අද වන විට නම් බොහෝ පැරැණි මුල් දිරා ගිහින්. යනවනම් යන්නේ නොදිරූ ඉතිරි මුල් ගලව‍ා ගෙනම තමයි.

(කොහොමත් ඒ දවස් වල යන තැනක පුතා රැගෙන යා හැකි වුණත් මා හා අවියෝජනීයව බැඳී සිටි අම්මා අතැර යන්නට මගේ සිත් දුන්නේ නැහැ. කොළඹ හෝ නුවර සිට ඉඳ හිට දකින්නට ගියත් රටෙන් පිට ගියා නම් ඈ කම්පා වන බව මා දැනගෙන උන්නා. ඒත් අවසානයේ තාවකාලිකව හෝ මා විදෙස් ගත වූ පසු අම්මා ජීවිතයෙන් සමුගැනීම වේදනාකාරී අත්දැකීමක් වුණා. 
අම්මා ගැන ලියූ නොකී කතාව )

වටේම ගිහිං ගෙටම එන්නැහෙ කියන්න ගත්ත කතාව ඉවර කරන්නම්.

ජිනීවා පංසලේදි මට හමු වුණා දෙමළ ජාතිකයෙක්. නම වෙනෙකක් වුවත් චන්ද්‍රන් කියල ලියන්නම්.

යාපනේ දෙමළ නොවෙයි. හලාවත පැත්තෙ කෙනෙක්. ස්විට්සර්ලන්තයට පැනල ගිහිං අවුරුදු පහක් වෙලා. අලුත බැන්ද බිරිඳ ලංකාවෙ. ඔහු සිටියෙ ඇය තමන් වෙත ගෙන්වා ගත නොහැකි ‍ශෝකයෙන් පෙළෙමිනුයි.

චන්ද්‍රන් මා සමග නගරය පුරා ඇවිද්දා. මට බොහෝ උදව් උපකාර කළා. 
අතරමං නොවී බොහෝ තැන් දැක බලාගත්තෙ ඔහුගෙ උදව්වෙන්. ඒක හාමුදුරුවන්ටත් පහසුවක් වුණා.

නැත්නං "යං මහත්තය දවස් කීයද ඉන්නෙ මෙහෙ" කිය කියා හාමුදුරුවො මාව බොහෝ තැන්වල රැගෙන ගිය බව සඳහන් කරන්නෙ තවලම ධම්මික ලොකු හාමුදුරුවන්ටයි, සුජාත පොඩි හාමුදුරුවන්ටයි කෘතඥතාපූර්වකවයි.

මගේ විස්තර දැනගත් චන්ද්‍රන් ඉතා රහසිගත යෝජනාවක් කළා.

ඒ එක විදිහක මඟුල් යෝජනාවක්. 

චන්ද්‍රන්ගෙ යෝජනාව වුණේ කලින් දැනන් උන්න නම් ඔහුගේ බිරිඳ සමග හොරාට විවාහ වුණ බවට සහතිකයක් රැගෙන ඇය සමග එන්නට වීසා ඉල්ලුම් කරන්නට මට උපදෙස් දෙන්නට තිබුණ බවයි.

ඒ වන විටත් පමා නැති බව පැවසූ ඔහු නැවත වෙනත් Film Festival එකකට හෝ ආරාධනා ලැබුණොත් ඒ උත්සාහය ගන්නට යෝජනා කළා. ඇය "නොනිමි ගමන" කෙටි චිත්‍රපටයේ සම නිෂ්පාදිකාවක් ලෙස හෝ End Title දමා ගත්තොත් තානාපති කාර්යාලය සැක නොසිතනු ඇති බව චන්ද්‍රන්ගේ අදහස වුණා.

"ඔයාට තියෙන්නෙ එයත් එක්ක මෙහෙට එන්න විතරයි. ඊට පස්සෙ එයා අතුරුදන් වෙනව. ඔයාට තියෙන්නෙ ආපහු යන්න විතරයි.  නැත්නම් ඔයාටත් අතුරුදන් වෙන්න පුළුවනි. මම ඔයාවත් settle වෙනකල් බලා ගන්නම්. මේ වැඩේට මම ලංකාවෙ රුපියල් ලක්ෂ දහයක් දෙනව"

මම ඊට උනන්දු වුණේ නැහැ. එහෙම පැන්න නං ඔය පැන්න ගොඩක් උදවිය වගේ මමත් මේ වෙනකොට ස්විට්සර්ලන්තය හෝ ප්‍රංශය වගේ රටක....!





Sunday, 27 September 2015

විල්ලරවාඩියෙන් දඩ කඳවුරට

විල්ලරවාඩියෙන් දඩ කඳවුරට පිම්මක් පනින්න සෑහෙන වෙහෙසක් දරන්න සිද්ධ වුණා. විදෙස් රටක ඉඳන් සෝදුපත් බලමින්, ලංකාවෙ ඉඳන් බලන සෝදුපත් එක්ක සංසන්ධනය කරමින් දත්ත සම්ප්‍රේෂණය කරන එක ලේසි වුණේ නැහැ. 

පෙන්වා දෙන වැරැදි අඩුපාඩු හදමින් නැවත නැවත සංස්කරණය කරන්න වෙද්දි මම හිතන්නෙ මං යම් තරමකට ඉවසීම ප්‍රගුණ කළා.

නොකී කතා බ්ලොග් සටහන මාසයකින් යාවත්කාලීන වුණේ නැහැ වගේම බ්ලොග් ලෝකයට එබිකම් කරන්නත් විරාමයක් ලැබුණෙ නැහැ.

අනෙක් අතට ගත්තම බ්ලොග් සටහන් ලියන්න වෙනද හිතට ලැබෙන උත්තේජනය ඇති වුණෙත් නැහැ. බ්ලොග් එක ලියන්න උත්තේජනයක් එන්න ඕනෙ කියන කතාව ඇතුළෙ තවත් දිග කතාවක් තිබුණත් ඒක නං "නොකී කතාවක්" විතරක් නොවෙයි "නොකියන කතාවක්" වෙයි.


කොහොමින් හරි රසිකගෙ බ්ලොග් සටහන බලන්න කියල  "දසත සැරිසර"  http://dasathasarisara.blogspot.com/   උදේ පාන්දරම දැනුම්වත් කළාමයි මේකත් දැක්කෙ.

විල්ලරවාඩිය ගැන පොත නිකුත් වෙලා අවුරුද්දකට පස්සෙ ලියනව කියල ඇහුවම සතුටක් දැනුණ. අනෙක පොත මිලදී ගත්තු සමහරුන් තාම නොකියවා පොත් රාක්කෙට කරල ආරක්ෂා කරන බව දැනගත්තම තවත් සතුටු හිතුණ.

මමත් ඒ වගේම ලෝබකමට පොත් ගොඩගහන් ඉන්න නිසා. අපි කවුරුත් එක වල්ලෙ පොල් වාගේ.....

මෙන්න රසිකගේ අවංක අදහස් :
http://rasikalogy.blogspot.com/2015/09/henry-warnakulasuriyas-villaravadiya.html?showComment=1443406657284#c7011968540665990143

වෘත්තියෙන් ඉංජිනේරුවෙකු සහ හිටපු නැවියෙකු වන හෙන්රි වර්ණකුලසූරිය, මීට පෙර "ඝාතනයට පෙර" නමින් නවකතාවක් ද, "තිරිසන් රාත්‍රිය", "සරණාගත කඳවුරේ යුවතියක ගේ මල්වර මගුල", "නගරාන්තර ප්‍රේමය" සහ "නෙත්මා දකිනු පිණිසය" යන කෙටිකතා සංග්‍රහ ද, සිනමා විචාර සහ සමාජ විචාර පොත් කිහිපයක් ද ලියා පළ කර ඇති පළපුරුදු ලේඛකයෙකි. ඔහු චිත්‍රපට සහාය අධ්‍යක්‍ෂණය කර ඇති (මේ මගේ සඳයි), කෙටි චිත්‍රපටයක් ද අධ්‍යක්‍ෂණය කර ඇති, සිනමාවේදියෙකු ද වේ.

ඒ සියල්ලටම වඩා වැදගත් කාරණය නම් හෙන්රි වර්ණකුලසූරිය අපේ සහෘද බ්ලොග්කරුවෙකු වීමයි.

විල්ලරවාඩිය නවකතාව ගැන ලියන්නට අරඹන විටම මගේ මතකයට ආවේ මා කියවා ඇති වෙනත් සුවිශේෂී නවකථා කිහිපයකි.

එයින් මුල් නවකථා ත්‍රිත්වය වන්නේ දකුණේ පැරණි සිංහල ගැමි සමාජය, නාගරික දේශීය ධනපති සමාජය දක්වා වර්ධනය වීමේ කතන්දරය හුදී ජන පහන් සංවේගය සඳහා සටහන් කිරීම පිණිස මාර්ටින් වික්‍රමසිංහ විසින් රචනා කරන ලද ගම්පෙරළිය, කලියුගය සහ යුගාන්තය යි.

දෙවෙනුව මා සිහියට නැගුණේ ලංකාවේ සිංහල බහුතර මැද පන්තියේ කතන්දරය ලේඛන ගත කරමියි සිතා, ගුණදාස අමරසේකර විසින් ලියා ඇති "අ.පො.ස. වර්ගයේ" ගමනක මුල, මැද, අග වාර්තා පොත් පෙළයි.

අප කියවා ඇති අති බහුතරක් නවකථා පොත් ලියවී ඇත්තේ එකී සිංහල ගැමි පසුබිමකින් යුතු සමාජයෙන් උපන් වස්තු බීජ මුල් කරගෙන බව නොරහසකි. වරදත්ත වැනි ඓතිහාසික පසුබිමකින් යුතු ග්‍රන්ථ දෙක තුනක් හැරුණු විට, ජී.බී. සේනානායක විසින් ලියන ලද සියලුම නවකථා ද මේ සමාජ ස්තරය මත පදනම්ව ගෙතුණු ඒවා ය.

ඒ සම්මත සමාජ කඩතුරාවෙන් ඔබ්බට ගිය ගිය මා කියවූ මුල්ම නවකතාව වූයේ කුලසේන ෆොන්සේකා ගේ පාලම යට කෘතියයි. එහි සමාජ පසුබිම, සිදුවීම් සහ චරිත මට ඉතා ආගන්තුක වූ අතර එනිසා ම, මා පාලම යට කියවා ලැබුයේ අපමණ වින්දනයකි.

ඒ වින්දනය තවත් තීව්‍ර ආකාරකින් මා ලද්දේ මංජුල වෙඩිවර්ධන ගේ බත්තලංගුණ්ඩුව කියවීමෙනි. ඒ කතාව පසුබිම් වී තිබුණු පරිසරය, සමාජ කණ්ඩායම, එහි ආ චරිත, ඔවුන් ගේ චර්යාවන් යනාදී සියලු දේම මට ආගන්තුක විය. මංජුල වෙඩිවර්ධන ගේ කාව්‍යමය භාෂා හැසිරවීම තුළින් මැවෙන චමත්කාරය ද මුසු කරගෙන මා බත්තලංගුණ්ඩුව රස වින්දේ තලු මරමිනි.

ගමයි, පන්සලයි, කුඹුරයි, හන්දියේ කඩයයි ගැන ලියවුණු නොස්ටැල්ජික් හැඟීම් දනවන නවකථා කියවා හුරු පුරුදු මගේ සිතේ බත්තලංගුණ්ඩුව නවකතාවට ඇති වුණු කැමැත්ත විස්තර කළ හැක්කේ, අපට වෙනස් වූ පරිසරය, සමාජය, චරිත පසුබිම් කරගෙන ලියවුණු රුසියානු, ඉංගිරිසි ඇතුළු විදේශීය නවකථා කියවීමට අදටත් සිංහල පාඨකයින් තුළ ඇති නොනිමි ආශාව හා සසඳමින් පමණි.

බත්තලංගුණ්ඩුව කියවා මා ලද ආකාරයේ ම යම් ප්‍රමාණයක වින්දනයක් මම හෙන්රි වර්ණකුලසූරිය ගේ විල්ලරවාඩිය කියවා ලදිමි. ඒ වින්දනය ආගන්තුක චමත්කාරය ලෙස හඳුන්වා දීමට කැමැත්තෙමි.

විල්ලරවාඩිය නවකථාවේ කියවෙන්නේ ලංකාවේ වයඹ දිසාවේ ගමක වාසය කරන ප්‍රධාන වශයෙන් කතෝලික ආගමිකයින් පිරිසක ගේ එදිනෙදා ජීවිතය හැලහැප්පීම් සහිතව ගෙවී යන ආකාරයයි.

ඒ විස්තර මගින් මා වැන්නන්ට ආගන්තුක චමත්කාරය ලබා දෙනවාට අමතරව හෙන්රි වර්ණකුලසූරිය තම විල්ලර වාඩිය කෘතිය හරහා ලංකාවේ සමාජ දේශපාලන වාතාවරණය 1947 සිට 1967 දක්වා වෙනස් වූ හැටි පිළිබඳ ඔහුගේ කියවීම අපට විස්තර කරයි. එය මේ නවකතාවේ ඉතා වැදගත් අංගයක් වන්නේ, නැවතත්, ඒ විපර්යාසයන්ට මුහුණ දෙන ජන කොටසේ ඇති සුවිශේෂීත්වය නිසා ය.

අනියම් සබඳකම්, තහනම් ආදර කතා ඇතුළු විල්ලරවාඩියේ එන ශෘංගාරාත්මක සිදුවීම් ද, විශේෂයෙන් ම ඒවා විස්තර කර තිබෙන සරල ආකාරය ද මා සිත ගත්තේ ය.

නවකතාවක් ලෙසට විල්ලරවාඩියේ ඇති එක දුර්වලකමක් ලෙස විචාරකයින් විසින් පෙන්වා දී තිබුණේ එහි චරිත රාශියක් විස්තරාත්මකව දක්වා ඇතිමුත්, ඒ චරිත සෑහෙන සංඛ්‍යාවකින් කථාවේ ගලායාමට හෝ කථාවේ මූලික කොටස්වලට එතරම් බලපෑමක් නොමැති වීමයි. ඊට අමතරව, මේ චරිත සියල්ලේම ආගන්තුක වූ නම් කතාව කියවන අතර මතකයේ රඳවා ගැනීම ද අසීරු බව කියවිණි.

මේ චරිතවල නම් පිළිබඳ ප්‍රශ්නය නම් රුසියානු නවකථා කියවද්දී මට ද ඇති වන්නකි. එහිදී තත්වය වඩාත් දරුණු වෙන්නේ මුල් නම සහ මුලු නමට අමතරව, සුරතල් නම්වලිනුත් රුසියානු චරිත විවිධ තැන්වල දී හැඳින්වෙන නිසා ය.

චරිත වැඩිවීමද ප්‍රශ්නයක් මුත්, දැනටමත් හෙන්රි වර්ණකුලසූරිය විල්ලරවාඩියෙන් ඇරඹුවේ ඈදුතු නවකථා කිහිපයක් බවට සාධක පහළ වී ඇති නිසා, විල්ලරවාඩියේ එන සුලු චරිත පසු නවකථාවල දී ප්‍රධාන භූමිකා ගනු ඇතැයි සිතමි.

මා මේ ලිපියේ මුල් කොටසේ සඳහන් කළ ගමනක නවකථා මාලාවේ දී එහි කතෘ ගුණදාස අමරසේකර, ලංකාවේ මධ්‍යම පන්තියේ ඉතිහාසය අපට කියන්නේ ලංකා ඉතිහාසයට තම ප්‍රලාප හිතුමතේට ඔබ්බවා විකෘති කරමිනි. ඒ කතා මාලාවේ ඇතැම් නවකථා හුදෙක් වාර්තා පමණක් ම වේ.

විල්ලරවාඩිය නවකථාවෙන් ආවරණයවන කාල වකවානුව තුළ ලංකා දේශපාලනයේ සිදුවෙන දේ විස්තර කිරීමේ දී, හෙන්රි වර්ණකුලසූරිය, මට වැටහුණු පරිදි නම්, ගුණදාස අමරසේකර කර ඇති ආකාරයේ විකෘති කිරීම් සිදුකර නොමැති බව කිව යුතුය.

අප දන්නා ඉතිහාසය තුළ දිවයන විල්ලරවාඩියේ දෙවන කොටස වන දඬ කඳවුර අන්තර්ගතයේ ද ඒ සීලය රැකීමට හෙන්රි වර්ණකුලසූරියට හැකි වී තිබෙනු ඇතැයි මම උදක්ම බලාපොරොත්තු වෙමි.

-රසිකොලොජිස්ට්



දඩ කඳවුර අන්තර්ගතයෙදී ඒ සීලය බින්දද කියල හොයා ගන්න වෙන්නෙ ඉතිං කියවලම තමයි.











Friday, 28 August 2015

වර්ණපාල Method නොහොත් සරම ඔළුවෙ.....පුක එළියෙ....

දේශපාලන සංධානයක මහලේකම් විදිහට නම් කිරීමත් සමග මෙතෙක් ආ ගිය අතක් දකින්නට නැතිව සිටි මහාචාර්ය විශ්වා වර්ණපාල කරළියට ඇවිත්.

ටයි කෝට් දාගෙන උසාවි ගානෙ බඩ ගාමින් මහලේකම් තනතුරේ අයිතිය ඉල්ලා දේශපාලන අපතයින් සමග ගාල් වෙලා ඉන්න මහාචාර්යවරයා දැක්කම දුකක් එක්කම හිනාවකුත් ඇති වුණා, පරණ කතා මතක් වෙලා.

පරණ කතාවක් නිසා නොයෙක් අය මේ කතාව අහල ඇති. කියවල ඇති. ඒ නිසා නොඇසූ කතාවක් නොවුණත් අලුතෙන් කියවන ටික දෙනෙකුට හරි නොකී කතාවක් විදිහට දැනෙයි.

අපි පේරාදෙනි විශ්වවිද්‍යාලයට ගිය අලුතම මේ වර්ණපාල මෙතඩ් එක ගැන දැන ගත්තෙ ජ්‍යෙෂ්ට උත්තමයින්ගෙනුයි. 

කැම්පස් එකේදි කරත්තයක් දක්කන්න ඕනෙ නං, ටිකක් ග්‍රාම්‍ය විදිහට කියනව නං බඩුවක් දාගන්න ඕනෙ නං (මානවිකාවන්ට බඩුව කියන එකට විරුද්ධ වුණත් මාර බඩුවක් තමයි කියල අපටත් නොදැනුවත්වම කියවෙනවනෙ.) ඒකට විවිධ ක්‍රම තියෙන බව අපට මේ ජ්‍යෙෂ්ට උත්තමයින් කියා දුන්න.

ඒ අතරින් වඩාත් ප්‍රචලිත වගේම නිර්මාණශීලී ක්‍රමවේදය තමයි වර්ණපාල මෙතඩ්.

මම දන්න විදිහට විශ්වා වර්ණපාල ඔය මෙතඩ් එකෙන් දාගත්ත මානවිකාව එක්ක තමයි විවාහ වෙලා දරුමල්ලන් හදල දිවි මගේ මෙතෙක් දුර ඇවිත් තියෙන්නෙ.

පේරාදෙනිය වගේ කැම්පස් එකකට ගිය එකේ උරචක්කරමාලාවකුත් කරේ එල්ල ගත්තම පොඩි ගතියක් තියෙනවනෙ. හවසට ගත කරන පාළු ජීවිතේට ගැම්මක් එනවනෙ. හරියට පෙළවහක් කරගත්ත වගේ තමයි ඉතිං. කන්නෙ එකට, බොන්නෙ එකට, යන්නෙ එකට, ඉන්නෙ  එකට, පාඩම් කරන්නෙ එකට, වළ බහින්නෙ එකට........ආයෙ ඉතිං නාස් ලණුව වැටුනම ගැලවිල්ලක් නෑ.

වර්ණපාල ශිෂ්‍යයටත් තමන්ගෙ වසරෙම ඉගෙන ගන්න ගෑනු ළමේක් ගැන, කැම්පස් භාෂාවෙන් කියනව නං බැචියෙක් ගැන අදහසක් ආව කියමුකො.

ඉතිං ඔන්න සුපුරුදු විදිහට ට්‍රයි කරන්න පටන් ගත්ත.

හිච් වෙනකල් ඉතිං හිත දිනා ගන්න විවිධ උපක්‍රම භාවිතා කරනවනෙ.

සමහරුන්ට නං අහන පමාවෙන් බඩුව වැටෙනව. සමහරුන්ට එක එක විදිහෙ දේවල් කරමින් හිත දිනාගන්න වෙනව. 

උදේ හොස්ටල් එකේ ඉඳන් කැන්දන් ඇවිත් හවසට නිරුපද්‍රිතව ගෙනිහිං ඇරීම, කැන්ටිමේදි එක ළඟ ඉඳන් බොන්න කන්න ඕනෙ නිසා තේ සහ ආහාර ඉඳං ඉන්න පුටුව ළඟටම ගෙනැවිත් දීම, නොතේරන පාඩම් කියා දීම, කඩේ තොටේ පොළේ යෑම,  විවිධ පක්කලි සර්විස් කිරීම යනාදී වශයෙන් මෙකී නොකී විවිධාකාර උප්පරවැට්ටි යොදලත් කැමති කරගන්න බැරි වෙන අවස්ථා එමටයි.

ඒ වුණාට සමහරුන්ට නං පතාගෙන ආව වගේ මේ ඇහුව මේ වැටුණ.

තවත් සමහරුන්ට නං දෙකක්ම පොසිටිව් වගේ පෙනුනට අන්තිමේට එකක්වත් වැටෙන්නෙ නැහැ.

සමහරු පළමු වෙනි අවුරුද්දෙ පටන් ගන්න සෙට් කරගැනීමේ ව්‍යාපෘතිය ජයගන්නනෙ අන්තිම අවුරුද්දෙ. නැත්නං අවුට් වුණාටත් පස්සෙ. හැබැයි එහෙම සෙට් වෙන ජෝඩුවලට පස්සෙන් පහු හිතෙනව ඇති නේද අපරාදෙ කැම්පස් ආදරේ මිහිර විඳගත්තෙ නැත්තෙ කියල.

Lovers lane එ‍කේ ඇවිදල Kissing bend එකේදි හාද්දක් දීල Gym එක පිටිපස්සෙ ගලක් කපාගන්න තිබුණ චාන්ස් එකනෙ අතහැරිල තියෙන්නෙ.

වර්ණපාල උන්නැහෙත් ඉතිං තමන්ගෙ හිත ගිය මානවිකාවට පොඩි ට්‍රයි පාරක් දාල බලන්න ඇති. නෑ......කිසිම අනුකූලතාවක් නැහැ. කොටින්ම කියනව නං කිසිම තාවයක් නැහැ.

මේකට වෙන බැචාලගෙන් බැචීලගෙන් උදව් ගන්න ගියොත් කාඩ් වදින හංදද කොහෙද වර්ණපාල ලොක්ක තමන්ටම ආවේණික ක්‍රමයක් අත්හදා බැලුව.

වර්ණපාල ඉඳල තියෙන්නෙ හිල්ඩා ඔබේසේකර නේවාසිකාගාරයෙ. සංඝමිත්ත, රාමනාදන් නේවාසිකාගාරවල ඉන්න ගෑනු ළමයින්ට දේශන වලට යන්න වෙන්නෙ හිල්ඩා එක ඉස්සරහින්ම තමයි.



ඔන්න ඉතිං තමන් හිත දිනාගන්න උත්සහ කරන ගෑනු ළමය එන වෙලාවට හිල්ඩා එගේ බැල්කනියට එන වර්ණපාල සරමෙන් ඔළුව වහගෙන පාරෙ යන අදාළ කෙනාට ඇහෙන්න කෑ ගහනවලු...

" ංආාාාා....වර්ණපාලට ලව් නේද......ඊයෙ ලෙක්චර්ස් වලදි 
වර්ණපාල ළඟින්ම ඉඳන් නේද උන්නේ....." කියල.

මෙහෙම අහන්නෙ වර්ණපාල කලිං දවසෙ කොහොම හරි අර ළමය ළඟින්ම ඉඳගෙන දේශන වලට සවන් දීලයි.

වහාම සරමෙන් කලිසමට බහින අපේ පොර කඩාගෙන ලෙක්චර්ස් යනවලු. එදත් ළඟින්ම ඉඳ ගන්නවලු. දවල්ට තේ බොද්දිත් අසල ගැවසෙනවලු.

හවස දේශන ඉවර වෙද්දිම පිඹගෙන හොස්ටල් එකට යන වර්ණපාල කලිසමෙන් සරමට මාරු වෙලා ගෑනු ළමය එනකල් බලන් ඉඳල කෑ ගහනවලු.

" ංආාාාා...... අදත් වර්ණපාල ළඟම ඉඳං නේද ලෙක්චර්ස් ඇහුවේ.....තේ බොන්න යන්නෙත් එකට නේද......වර්ණපාලට ලව් නේද........අපට බොරු එපා නංගී..."

මෙහෙම දවස්, සති ගණං වර්ණපාල උදේට උදේට කලිං දවසෙ වෙච්චි දේවලුයි, හවසට හවසට දවල් වෙච්චි දේවලුයි පාර යන ගෑනු ළමයට ඇහෙන්න කෑ ගහල කියනවලු.

ඊට පස්සෙ වර්ණපාලම අර ගෑනු ළමය මුණ ගැහුනම අහනවලු  අපේ අසමජ්ජාතියො ඔයාට මං ගැන එක එක දේවල් කියල කෑ ගහනව ඇහුණද කියල...
ඉතිං ගෑනු ළමය අනුකම්පාවටම කැමති වෙන්න ඇති නේද ?

මේ හැම වෙලාවෙම එදා සරම උස්සල ඔළුවෙ ඉඳං වහගෙන උන්න, අද ටයි කෝට් දාගෙන උසාවි ගානෙ යන වර්ණපාලගෙ පස්ස එළියෙ තියෙන්න ඇති නේද කියල හිතුණම තමයි මේ කතාව නොකී කතාවට දාන්න හිතුණෙ.

ටයි කෝට් දැම්මට වැඩක් නැහැ. පුක එළියෙ නං.