Powered By Blogger

Tuesday 24 November 2020

කොපි කැට් කලාව

 



ලා නිර්මාණ කොපි කිරීම පිළිබඳ ඉතිහාසය බොහෝ ඈතට යන්නක්. Copycat (කොපිකැට්) යනුවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් වචනයක් බිහි වී ඇත්තේ ද මේ නිසායි.

චිත්‍ර, මූර්ති, සිනමාව, ගීත, කවි, කෙටිකතා, නවකතා යනාදී විවිධ කලාංගයන්ට අදාළ නිර්මාණ කොපි කිරීම නැතහොත් අනුන්ගේ නිර්මාණ හොරා ගෙන තමන්ගේ සේ සමාජගත කිරීමේ ගඳ ගසන ඉතිහාසය යළි ගොඩ ගැනීම මේ රචනාවේ අරමුණ නොවෙයි.


තමන් යතුරු ලියනයට බාරගත් නවකතාවක් පොතේ නම වෙනස් කොට තමන්ගේ නමින් ප්‍රකාශකයෙකු ලවා එළිදක්වා වංචා කිරීමට අධිකරණයෙන් වරදකරුවෙකු වූ ප්‍රසිද්ධ පත්තරකාරයෙකුගේ නම ලේඛනාගාරයේ ලියාපදිංචියෙන් ඉවත් කළේ 60 දශකයේ මුල් භාගයේදී.


කලෙක ගුවන් විදුලි ගීත රචනා බැංකුවට ආධුනිකයින් යැවූ නිර්මාණ ප්‍රවීනයින් තම නමින් ගායකයින් ලවා ගායනා කළ බවට චෝදනා නැගුණා. තරඟ සඳහා හෝ කියවන්නට ලැබුණ චිත්‍රපට තිර රචනා ප්‍රවීනයින් විසින් මංකොල්ල කනු ලැබූ බවටද චෝදනා එල්ල වූ අවස්ථා තිබුණා.


එපමණක් නොවේ තමන්ගේ නවකතාවක් ඇසුරෙන් නිෂ්පාදනය කළ චිත්‍රපටයට වෙනෙකෙකු ලියූ ගීත තමන්ගේ නමින් ලේබල් ගසා ගත් ප්‍රසිද්ධ සිංහල උපකාර පංති ගුරුවරයෙකු ලියූ තිරනාටකයක්ද තවත් උන් සොරකම් කිරීමේ අත්දැකීම් අප කියවා තියෙනවා. 


විශිෂ්ට චිත්‍රපටයකට හෙළ කව්, ගී අරණේ දැවැන්තයා ලියූ ගීතයක් තමන්ගේ නමින් ලේබල් ගසා ගත් මහාචාර්ය චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් ගැනද, ජ්‍යෙෂ්ඨ ජන වහර පර්යේෂකයෙකුගේ පර්යේෂණ සොරා ගෙන තමන්ගේ පොත් වලට යොදා ගත් ලේඛක ප්‍රකාශකයෙක්, හෙළ කලා ලොව මුදුන් මල් කඩක් වන් නිර්මාණකරුවන්ගේ පොත් පිටින් හොරෙන් මුද්‍රණය කොට විටෙක උසාවි ගොස් වැරදි කරුවන් වූ බවද, උසාවි නොගිය සොරකම් එසේම ඉතිහාසයේ වැලි තලාවට යට වූ බවද ප්‍රචලිතයි.


වාමාංශික යැයි කියන දේශපාලන පක්ෂයක් වෙනුවෙන් පෙනී සිටිමින්  “ඇත්ත මිනිස්සු” ලෙස තමන් හඳුන්වාගත් කලාවට සම්බන්ධ විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් අභාවප්‍රාප්ත ප්‍රකට​ පරිවර්තිකාවක සහ ලේඛිකාවක මෙන්ම පරිපාලන නිලධාරිනියක ගුවන්විදුලියේ කළ කතා පෙළක් තමන්ගේ නමින් මුද්‍රණය කොට අසුවී උසාවියෙන් මෑතදී වරදකරුවෙකු වුණා. 


මෙලෙස නිර්මාණ මංකොල්ලකනවා යැයි කියන්නේ වෙනත් කෙනෙකු කළ නිර්මාණයක් එම තැනැත්තාගේ අනුමැතියක් ඇතිව හෝ නැතිව තමන්ගේ කාර්යයක් තුළ ඒ ගැන සඳහන් නොකොට ඉදිරිපත් කිරීමයි. මෙයට ප්‍රකාශයට පත් කරන ලද හා නොලද සියලුම අත්පිටපත්, මුද්‍රිත දේ මෙන්ම ඉලෙක්ට්‍රොනික මාධ්‍යද ඇතුළත් වෙනවා. 

මේ ලිපිය  ලියන්නට පදනම වැටුණේද එවන් කොපිකැට් කලාවක් නිසා තමයි. අවසර ගෙන පරිවර්තනය කළාදැයි නොදන්නා විදෙස් නවකතාවක සිංහල පරිවර්තනයෙන් තෝරාගත් ජේද තමන්ගේ ස්වතන්ත්‍ර නිර්මාණයකට ගෙඩි පිටින් කොපි ඇන්ඩ් පේස්ට් (copy and paste) කිරීම ගැන මෑතකදී එම කෘතියට සම්මාන ලැබූ වැඩිහිටි ලේඛිකාවක් ගැරහුම් ලැබුවා. 

ඒ පමණක් නොවෙයි ඇයට හිමි වූ සම්මාන හා මුදල් ආපසු ලබා ගත යුතු බවට පොත නොකියවූ අය පවා ඝෝෂා කළා.


ඇය එම සම්මානය හා මුදල් ආපසු හරවා යැවූ බව අසන්නට ලැබෙනවා. එය ඇත්තක් වෙන්න පුළුවන්. මන්ද ඒ හැම සියලු ඝෝෂාවන් අහවර වුණා. ඒ කියන්නේ යටි අරමුණ සම්මාන වලට කෙලවීමයි. 


දැන් අපට හිතෙන්නේ සමාජ මාධ්‍ය හරහා විශාල ඝෝෂාවක් කළේ ලැබූ සම්මාන ආපසු හැරවීමට මිස මේ හරහා සිදු වූ, සිදු වෙමින් පවතින අගතිගාමී ක්‍රියාවලිය ආපසු හැරවීමට නොවන බවයි. 


සම්මාන ආපසු හැරවූ පසු කටපුකවල් වහගෙන ඉඳීමෙන් අපට ගම්‍ය වන්නේ එවැන්නක්. එසේ නොවී මින් ඉදිරියට එවන් කොපිකැට් කිරීම් සිදු නොවීමට අවශ්‍ය මතවාදීමය හා භාවිතමය කතිකාවක් ගොඩ නැගීම සිදු නොවීම ඛේදවාචකයක්.


අපට නම් කොපි කිරීම නිර්මාණකරුවෙකුගේ පැවැත්මට කිසිසේත්ම සුදුසු කාරණාවක් නොවෙයි. කොටින්ම කොපි කැට්ලා නිර්මාණකරණයට නුසුදුසුයි.


ඒත් සම්මාන බොරුහිල පස්සේ ගොස් සම්මාන ආපසු හරවා නිහඬ වීමත් තවත් බොරුහිලක්.


අන්තිමේට අහන්නට වෙන්නේ ලේඛක චෞරත්වයට (Plagiarism) වඩා “සම්මාන බොරුහිල ලොකුද?” කියලයි.

 

සෙස්ස පස්සට…

 

3 comments:

  1. link

    මේ පෝස්ට් එකම වෙන නමකින් ඉහත දැක්වූ ලින්ක් එකේ තියෙනවා. ඒකත් කොපියක්ද?

    ReplyDelete
    Replies
    1. ලිපිය නොවේ...නම හොරකං කරලා...වැඩේ මාට්ටු නේ...

      Delete
  2. මගේ බ්ලොග් එකේ නාසා වීඩියෝ එකක් සිංහලට පරිවර්තනය කරලා දැම්මා. "අද" කියළා තියෙන පත්තරයේ ගෙඩි පිටින් ඒක දැම්මා, එක ඇලපිල්ලක් පමණක් එකතු කරළා. ලෝක විනාශය සිදු නොවුනේ ඇයි කියන මාතෘකාවෙන් ඒ වීඩියෝව තිබුණේ. මෙතැන මට තර්ක කරන්න බැරි කාරණයක් තිබුණා. මේ වීඩියෝ එක පොදු වස්තුවක් නිසා.

    ReplyDelete