Powered By Blogger

Friday 6 January 2023

මේ මොන ලබ්බක්ද?



සුදු රැවුලාගේ ලබ්බෙ කතාව හංදා අපේ පොඩි කාලේ අහපු ලබ්බෙ තොවිලෙ කතාව මතක් උනා. දන්නැති අය කියවන්න. දන්න අය නම් ඉතින් කියවලා වැඩක් නැහැනෙ.

ඔන්න මෙහෙමයි ලබ්බෙ තොවිලෙ කතාව පටන් ගන්නේ. එක ගමක ගමරාළ කෙනෙකුයි, ගමමහගේ කෙනෙකුයි, ගම පුතෙකුයි, ගම දුවෙකුයි හිටියා. ගමමහගේ හදිසියේම අසනීප වුණා. මේ අසනීපයට ලබ්බෙ තොවිලයක් කරමු කියලා ගමේ දැනුමැත්තෝ යෝජනා කළාට පස්සේ ගමරාළ කිව්වා අපි එහෙනම් තොවිලයක් කරමු කියලා. ඉතින් මේ තොවිලය කරන්න වෙන්නේ ලොකු ලබ්බක් ගෙනල්ලා ඒක ඇතුළෙ.

ඉතින් ගමේ ඉන්න මිනිස්සු රට පුරා ගිහිල්ලා කීපදෙනෙකුට ඉන්න පුළුවන් විශාල ප්රමාණයේ ලබ්බක් හොයාගෙන ආවා. ඇවිල්ලා මේ ලබ්බෙ කවුළුවක් කපලා ඇට, මද ටික අයින් කරලා ගමමහගේයි, ගමරාලයි ගම පුතයි, ගම දුවයි මේක ඇතුළට යැව්වා.
තොවිලෙ සතියක් කරන්න ඕනේ කිව්ව නිසා සතියක් කන්න අවශ්ය කෑම බීම අඩුම කුඩුම මේ ලබ්බ ඇතුළට දාලා ලබ්බේ දොර වැහුවා. ඊට පස්සේ මේකේ ඇතුළේ ඉන්න කට්ටිය තොවිලේ පටන් ගත්තා.

ඩෙන්න ඩෙනා ඩෙන ඩෙන ඩෙන ඩෙනා ඩෙනෝ..
ඩංකුටු කුටු..ඩංකුටු කුටු...
ඩෙන්න ඩෙනා ඩෙන ඩෙන ඩෙනා ඩෙනෝ... මෙහෙම කපුව කියෝමින්, අතවැසියෝ බෙර, තම්මැට්ට ගහමින් තොවිලෙ පටන් ගත්තාම ගමමහගේ මායම් වෙන්න පටන් ගත්තා.

දවසක් දෙකක් තොවිලෙ යන අතරතුර මහ වැස්සක් වැටෙන්න පටන් ගත්තා. මේ වැස්ස වැහැලා වැහැලා වැහැලා වැහැලා ගංවතුර ගැලුවා. මේ ගංවතුර එන්න එන්න වැඩි වෙලා ලබ්බ ගම මැද්දෙන් පාවෙන්න ගත්තා. ගංවතුරෙන් පාවෙමින් ගිය ලබ්බ ගමේ කෙළවරේ තිබුණු දොළට වැටුණා. දොළ දිගේ පාවෙලා පාවෙලා ගිය ලබ්බ ඇළට වැටුණා. ඇළ දිගේ පාවෙලා පාවෙලා පාවෙලා ගිය ලබ්බ ගඟට වැටුණා. ගඟ දිගේ පාවෙලා පාවෙලා පාවෙලා ගිය ලබ්බ මුහුදට වැටුණා.

තාමත් ගම ගෙදර කට්ටිය එක දිගට නොනිදා තොවිලෙ නටනවා. ඒ අතර කනවා. බොනවා. වැස්සක් වැහැලා ගංවතුර ගලලා තමන් දැන් ඉන්නේ මුහුදේ කියලා මේ කට්ටිය දන්නෙ නෑ.
ලබ්බ මුහුදේ පාවෙලා පාවෙලා යන කොට විශාල මාළුවෙක් ඇවිත් ලබ්බ ගිල්ලා. දැන් ලබ්බ තියන්නෙ මාළුවාගේ බඩ ඇතුළේ. ඒ කට්ටිය දන්නෑ තමන් ඉන්නෙ මාළුවෙක්ගේ බඩ ඇතුළෙ කියලා. මේ අව්වස්සේ විශාල බෝට්ටුවක් ඇවිල්ලා මාළුවව අල්ලගත්තා. බොහොම අමාරුවෙන් ඇදගෙන ගොඩ ගෙනාවා. මේ තරම් විශාල මාළුවෙක් ලැබුණයි කියලා ගම පුරා ප්රචාරය ගියා. මාළුවා මිලදී ගත්තු මුදලාලි මාළුවාගේ බඩ පැලුවා. එතකොටයි දන්නේ බඩේ ලබ්බක් තියෙන බව.

මෙච්චර විශාල ලබ්බක් කොහොමද මාළුවගේ බඩට ආවේ කියලා කල්පනා කරපු කට්ටිය මේ බව ඒ ගම් පළාතේ නායකයාට දන්නවා යැව්වා. අවසානයේ මේ තොරතුර රජ්ජුරුවන්නේ කනටත් ගියා. රජ්ජුරුවෝ සහපිරිවර එක්ක ආවා මේ විශාල ලබ්බ බලන්න. රජ්ජුරුවෝ අණ කළා මේ ලබ්බෙන් ලබු කිරිබත් හදලා රටටම කන්න දෙමු කියලා. ඒ අනුව ලබ්බ පැලුවා.

අන්න එතකොට ඩෙන්න ඩෙනා ඩෙන ඩෙන ඩෙනා ඩෙනෝ...
ඩෙන්න ඩෙනා ඩෙන ඩෙන ඩෙනා ඩෙනෝ
කියමින් තොවිල් කාරයොයි, ගමරාළයි ගමමහගෙයි, ගම පුතයි, ගම දුවයි ලබ්බ මැද්දෙන් එළියට ආවා. මේ වෙනකොට ගමමහගෙගේ අසනීපය හොඳටම හොඳ වෙලා.
තමන් විශ්මයට පත් කළ ගම පවුලට රජ්ජුරුවෝ ගම්වරයක් එක්ක තෑගි බෝග දීලා තාන්නමාන්නත් දුන්නා.
ලබ්බෙන් රටම ලබු කිරිබත් කෑවා.

ඔන්න ඕකට තමයි ලබ්බ කියන්නේ.

ඊට සියවස් ගාණකට පස්සෙ මේ ලබ්බ ගැන කිව්ව සුදු රැවුලාව පිනට රජවෙච්චි රටේ පිං රජ්ජුරුවෝ අල්ලලා හිරේ දැම්මා.

ලබ්බෙ තොවිලේ කතාව මෙතෙකින් නිමි. ~

5 comments:

  1. සුදුරැවුල් මහතැන්ගේ වැඩෙත් ඉතින්... තොයිලයක් නැටුව වගේ තමයි. රටට සෙතක් නැතිවට

    ReplyDelete
  2. සේපාල් අමරසිංහගේ සීයායි ජෙවිපේ හිටපු නායක සෝමවංශ අමරසිංහ සහෝදරයාගේ තාත්තයි අයියයි මල්ලියි.

    නෑ කම අනුව සේපාලගේ බාප්පා කෙනෙක් තමයි සෝමවංශ.

    ReplyDelete
  3. අපේ තාත්ත පොඩි කාලේ කියල දුන්න කතාවක්. අර මනුස්සය නම් ඉල්ලන් කෑව

    ReplyDelete
  4. මෙතන තියෙනව ඇත්ත ම කතාව.

    https://drackey.blogspot.com/2014/02/blog-post.html

    ReplyDelete