Powered By Blogger

Saturday 7 May 2016

ලෙයින් කඳුලින් උපන් භීෂණයේ කවි


88-89 කියන්නෙ ධවල භීෂණය රජකළ යුගයක්. අපේ ජීවිත කාලෙටම මිනිස් ජීවිත වලට වටිනාකම් අහිමි වූ මෙවැනි යුගයක් තවත් තිබුණේ නැහැ.


අතුරුදහන් වීම්, පැහැරගෙන යෑම්, ගංගා ඇල දොළෙහි පාවෙන තරුණ මළ සිරුරු, නිළ මෙන්ම නොනිළ වධ කඳවුරු වල අමානුෂික වධ බන්ධන, මහමග අද්දර ටයර් සෑයවල්.


කොටින්ම තරුණයෙකු, තරුණියක ලෙස දිවි ගෙවන සිය දරුවන් කොයි මොහොතේ ඝ්‍රා, ප්‍රා, කහ බළල්ලු, කළු බළල්ලු යනාදී විවිධ නම් වලින් මතු වූ ආරක්ෂක  අංශ වලට අයත් වගේම දේශපාලුවන් පෞද්ගලිකව පවත්වා ගෙන ගිය කල්ලි-කණ්ඩායම් මහ රෑ ගෙට වැදී හෝ මහමග දෙනෝදාහක් ඉදිරිපිටදී පැහැරගෙන යාදෝයි බියෙන් සැකෙන් දෙමාපියන්ට ජීවත් වෙන්නට සිදුවූ යුගයක්.


කැෆටේරියා ගොඩනැගිලි වල තරුණ වධබන්ධන මෙන්ම සංහාර සිදුකළ මේ මිනීමරු දේශපාලු දත්දොස්තරලා වගේම ඊට උඩගෙඩි දෙමින් ඇස් කන් පියාගෙන ඇහෙන දකින මානයේ ලන්දට වෙලා බටකොළ කමින් උන්න රට කරවන උන් දකිද්දි තාමත් ඇඟ හිරිවැටෙනවා විතරක් නොවෙයි මේවා අමතක කොට උන් එක්ක සහවාසයේ යෙදෙන බොරු විප්ලවධාරීන් දැක්කම  ඇ‍මාළු නටනවා.


මේ යුගයේ තම වේදනා ලෙයින් හා කඳුලින් සටහන් කළ නිර්මාණශීලීන්, කඳවුරු බිත්තිවල මෙන්ම අතින් ලියා සංසරණය කළ ලියවිලි වලත් ගල් අච්චුවේ මුද්‍රණය ොට රහසිගතව බෙදාහැරි සඟරාවලත් තම වේදනාවන් සටහන් කළා.


මේ එවන් උපුටන කීපයක්. 

තමන් ළඟ හෝ මතකයේ සුරක්ෂිතව ඇති මෙවන් භීෂණ යුගයේ කවි සටහන් කරන්නැයි විවෘත ආරාධනයක් කරන්නට කැමැතියි.


 




--------------------------------------------------------------------------------

වදුලු අතරින් කොවුල් ගී නද ගලාවිත් ඔබ ගැන කියයි

එහඬ ඇසිලා රතට එරබදු මල් පිපී ආසිරි පතයි

තුරුලතා මල් වලින් ගැවසී වීර සැමරුම් කුළුණු නිමවයි

මෙසේ බක්මහ පුබුදුවන්නේ විරුවනේ නුඹලා නිසයි.

------------------------------------------------------------------------------

බොහෝ කුළුපග ඉරේ සිනහව රැළි ගසාගෙන

ඈත දොඩමළු ගස් මුදුන් මත ඇද වැටෙයි.....

ක්ලාන්තව පරමල් වැටී

ප්‍රත්‍යන්තයේ සංග්‍රාම බිම් මතක-නිසලවෙයි....

දෙවුන්දර සිට බලමි මම් දුර

ඈත තම්මැන්නා ළවැලි දෙස

දෙපෙති ඉති අතු රිකිලි ගොබදා

මහා පොළොවේ ළය මඬල මත

බලන් අර අර කඳුළු පැළවෙත...

උතුරු සුළඟට මිතුරු වී එන

අහා..! මේ දුක අපට පුරුදුය..



ඉදින් නෑයිනි...

උරමඬල මත තබා ගෙනැවිද

නුඹේ දුක්බර තබව මේ බිම

ලැගුම් දෙන්නට මෙයිම දුක් මත

අපේ හදවත් බොහෝ විවරය...

---------------------------------------------------------------------

මිනිසත්භාවයේ මහා ජල ධාරාව

ගෙනෙල්ලා ඉක්මනින් ගෙනෙල්ලා !

එක්සත්භාවයේ මහා යකුළු

සැවොම එක් වෙයල්ලා !



රළු ගලේ නිල බලා-එල බලා

පහර හෙලපල්ලා !

වහා එක් වෙයල්ලා !!

මෙකුළු බිඳපල්ලා.......!!!



-------------------------------------------------------------------------

නොපිරුණු පාරමිතාව



ප්‍රේමය රතු ලෙයින් ගෙන

ලෙහි හොවා වීර්යය

විදුලි වැටි දෙපස නැතිවත්

අන්ධකාරය විනිවිද

ඈත්න් සඳ ඇබින්දක් දැක.....

සිනා සිසී

දෝතින් හිස් රන්තැටි ගෙන

කණාමැදිරියෙකුවත් නොලැබ

ඇඟ හැපෙන නිරුවත් කළුවර

තල්ලු කරගෙන හනික

දිව ආමි කිරි පැණියෙන් පුරවාගන්නට

වෙසතුරු දන් පිරුම සේ

සඳමඬල දියාරුව

අමෘතය කර කිරි බිංදු

එකින් එක පුදන විට

ඉතිරෙන රුධිරය

කිරි වී හදවතේ

පින්නෙන් සීතල වුවද

ඇඟ රස්නෙන් උණුහුම් කර

බැත් සිතින් දළදාව සේ

සුරැක ගත් කිරි පැනිය

තවම නොපිරුණු



ඒ අලු‍ගෝසු මොහොත

මූකලානයට දුවන

සුළි සුළඟ

රන්තැටිය මිරිකගෙන

තලුමරා ලෙවකමින

රැගෙන ගිය

ඉනික්බිති

හදවත වීය පැටලී

ටයර් සෑයක් අසළ

කමිබි වැටක...

-------------------------------------------------------------------


මගේ පුතා හෙට එනවලු!
වැරදීමකින්වත්
ඇවිදිනව හෙම නෙවෙයි උඹ
ඉපදුණු ගමන් නම්
කෙහෙම්මලක් උඩින්වත්
මේ කාලෙ හරිම පුදුමයි
බුදු බණත් හරිම ලාභයි
සේනාවෙ කට්ටිය
උඹව උදුරං යයි
වැරදීමකින්වත්
කතා කරනව හෙම නෙවෙයි උඹ
ඉපදුණු ගමන් නම්
මොනවා හිතට ආවත්
මේ කාලෙ හරිම පුදුමයි
වචනත් හරිම ලාභයි
හිටපු රජෙකුට වුණත්
උඹව ඕනෑ වෙයි
වැරදීමකින්වත්
ඉපදෙනව නෙවෙයි උඹ
හෙට දවාලේ මිස
රාත්තිරියක නම්
මේ කාලෙ හරිම පුදුමයි
තරුත් සැක නොකර බෑමයි
ගව ලෙනක හැඩ නිසා වාට්ටුව
උඹ අපිට නැති වෙයි
කිසිම සද්දක් නැතිවම
උඹ හෙමිහිට වරෙන්
ඇවිත් ටික දවසක්
නාඬා වුණත් හිටපන්
මල් උඩ ඇවිදින්න
ලොකුකම් ගැන කියවන්න
තරු පිපෙන රෑ මැද
එළු බැටළු රෑන් එක්ක යන්න
පස්සෙ හෙමිහිට බැරියැ?

-------------------------------------------------------------------

මරණය අභිමුව



ඉතින් මම සමුගනිමි

සදාදර සෝවුරනි

සෙනෙහෙබර මෑණියෙනි

අදරැති පියාණෙනි

විප්ලවේ නාමයෙන්

මම ඔබෙන් සමුගනිමි



ගිරි ශිඛර තැනිතලා

පණ ගැහෙන තුරුලතා

ගී සිංදු කොඳුරනා

නොනැවතී ගලා යන

ඇල, දොළ සොයුරනි

මං උඹට ආදරෙයි



ඉතින් යළි කිසි දිනෙක

උඹලාට ප්‍රේම කොට

උඹලා රකින්නට

මතු දිනෙක ගොඩනැගෙන

අපේ ලොව දකින්නට

මට නොහැක අදින් පසු



තව සුළු මොහොතකින්

කුරිරු ගිනි උණ්ඩයක්

මගේ හද නවතාවි

කුරිරු දඩ බල්ලන්ට

පාවා දෙමින් ඔබ සැම

ලැබිය හැකි ජීවිතය

පිළිකුල් කරමි මම

ඉතින් මරණය වරෙන් මා වෙත

මම උඹව පිළිගනිමි.....



--------------------------------------------------------------------------------

මිනිසුනේ ඇයි නිහඬ....



කුණාටුවකට කලින් සාගරය වගේම

මේ නිහැඬියාව හරි බියකරුය....

දොරින්-දොර, ගමින් ගම ඇවිදගෙන

දූපුතුන් සොයන

දේශයේ සුවහසක් මව්වරුන් දුටුවාද...

මිනිසුනේ.....

දැන් ඉතින් නැගිටින්න

ඔවුන්ගේ ඇඬුම්බර කටහඬට කන්දෙන්න

“අපේ දරුවන් කොහිද....?”

අපේ දරුවන් සොයා අප වහා යා යුතුය...

මේ පාළු දේශයට ජීවිතය ගෙන එන්න

අපේ අත්වලින් අල්ලා ගන්න

අපේ දරුවන් සොයාගෙන එන්න

මිනිසුනේ අප සමග පැමිනෙන්න....

--------------------------------------------------------------------------------

ජීවිතය කියන්නේ

මරණයේ මාවතයි

නිදහසයි කියන්නේ

මාවතේ ගීතයයි

-----------------------------------------------------------------------------------

ජීවත්වන්නවුන්ගේ නිදහස වෙනුවෙන් මරණයේ මාවත තෝරාගත් අපේ කාලයේ පරපුරකගේ වේදනාබර කවි තව කොතෙක් ඇද්ද...?






 කෙටිකතා එක්ක කවි   කියවන්න. මෙතැනට යන්න
 

46 comments:

  1. ඉහිරුණු කිරි කොතලේට ඉකිබිඳලා පල නෑ..
    නුඹටත් එක්කයි මේ පැල් කවිය කියන්නේ..
    උලලේනෝ... ඕඕඕඕ..

    ReplyDelete
    Replies
    1. ආයෙම කිරි නො ඉහිරෙන්නට...
      හ්ම්...හ්ම්ම්...

      Delete
  2. කාලානූරූපව මින්සුන්ගේ හැඟිම් මොන වගේද??

    ස්තුතියි නොකී..

    ReplyDelete
    Replies
    1. කාලානුරූපව වගේම ස්වයං අනුරූපව...හැක..හැක..

      Delete
  3. ඇත්තටම ඔවුන් මුලා උනා... සාර්ථක දෙවන වරටත්... අද ඉන්න උන් ඒ වගේ අන්දන්න බෑ... උන් අරුන්ට සාපේක්ෂව ළෝකය ගැන දන්නවා... ඔය ඉන්ටර්නෙට් එකක් දැකලා තියා අහලවත් නැති පිරිසක් තමයි අද ඔවුන් පස්සේ ඉන්නේ...

    ReplyDelete
    Replies
    1. කාලෙන් කාලෙට එක එක කට්ටියට මුළා වෙනව නේද මාතේ...මුළාවේ කලාව.

      Delete
  4. තවකෙක් වෙනුවෙන් තම දිවිය 'පවා' දෙවැනි කරන්නට තරම් පරිත්‍යාගශීලීවූ ඒ සැබෑ මිනිසුන් ගේ හඬ අදටත් දෝංකාර දෙයි...
    අද එක එකා ඒ දෝංකාරය තුලින් තම මඩිය පුරවයි..
    මිනිසෙකුට තවකෙක් විසින් කරනා තුච්ඡ අවමානය නම් එයයි..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. "මිනිසෙකුට තවකෙක් විසින් කරනා තුච්ඡ අවමානය"
      ඇත්තයි. වේදනාබරයි.

      Delete
  5. //
    කැෆටේරියා ගොඩනැගිලි වල තරුණ වධබන්ධන මෙන්ම සංහාර සිදුකළ මේ මිනීමරු දේශපාලු දත්දොස්තරලා වගේම ඊට උඩගෙඩි දෙමින් ඇස් කන් පියාගෙන ඇහෙන දකින මානයේ ලන්දට වෙලා බටකොළ කමින් උන්න රට කරවන උන් දකිද්දි තාමත් ඇඟ හිරිවැටෙනවා විතරක් නොවෙයි මේවා අමතක කොට උන් එක්ක සහවාසයේ යෙදෙන බොරු විප්ලවධාරීන් දැක්කම ඇ‍‍ඟ මාළු නටනවා. //


    ඉහත චේදයට හිස නමා එකඟ වෙමි!

    ReplyDelete
    Replies
    1. අනෙක් ඡේද වලට හිස කෙලින් තබා එකඟ නොවෙමිද සාරස..

      Delete
    2. // අනෙක් ඡේද වලට හිස කෙලින් තබා එකඟ නොවෙමිද සාරස.. //

      අනිකුත් චේද වලට එක්ඟ වෙමි..... අදාල චේදයට හිස නමා එකඟ වෙමි...

      ඔන්න නිවැරදි කොලා නොකී කතා තුමෝ!

      Delete
  6. මා ලියූ කවියක්, සහ එයට ජවිපෙ හිටපු නායකයින් වන ඉඩමේගම සහ උපාලි ජයවීර වැනි අය සහ ජවිපෙ විසින් මරා දමන ලද දයා පතිරණ සම්බන්ධවෙන ආකාරය!
    https://rasikalogy.blogspot.com.au/2015/12/what-irony.html

    කැමැත්තෝ කියවත්වා!

    ReplyDelete
    Replies
    1. කැමැත්තෝ කියවත්වා...

      Delete
  7. මමත් 1971 දී ජවිපෙ සාමාජිකයෙක්. මටනම් හිතෙන්නේ අපි නොමග ගියා කියලා.

    ReplyDelete
    Replies
    1. එක එක්කෙනාට හිතෙන විදිහ නොවැ.

      Delete
    2. විචාරකට හිස නමා ආචාර කරමි.

      Delete
  8. අපූරුයි..

    සෝරත නේවාසිකාගාරයෙක් කාමර කීපයක ම මේ වගේ ලියපු කවි. ඇදපු සිතුවම් තියෙනවා...

    ඒවා සටහන් කර ගන්න විදිහක් තිබුනේ නෑ...

    ReplyDelete
    Replies
    1. සටහන් කරගෙන තිබුණ නම් අපටත් කියවන්න තිබුණා. අපරාදේ ..

      Delete
    2. ඔව් ඒක ඇත්ත.. මේක කියෙව්වම ඒකෙ වටිනාකම දැනුනා.. මට මතක විදිහට ගොඩක් තිබුනේ චිත්‍ර.. ඒවනම් මට පිටපත් කරගන්න අමාරුයි... මං හිතන්නේ නොකීකතාට තේරෙනව ඇති නේද???

      Delete
    3. හොඳට තේරෙනවා නිර්මාණී....

      Delete
  9. //
    කැෆටේරියා ගොඩනැගිලි වල තරුණ වධබන්ධන මෙන්ම සංහාර සිදුකළ මේ මිනීමරු දේශපාලු දත්දොස්තරලා වගේම ඊට උඩගෙඩි දෙමින් ඇස් කන් පියාගෙන ඇහෙන දකින මානයේ ලන්දට වෙලා බටකොළ කමින් උන්න රට කරවන උන් දකිද්දි තාමත් ඇඟ හිරිවැටෙනවා විතරක් නොවෙයි මේවා අමතක කොට උන් එක්ක සහවාසයේ යෙදෙන බොරු විප්ලවධාරීන් දැක්කම ඇ‍‍ඟ මාළු නටනවා. // ....දැන් තව සමහර ඔයවගේ දෙයක් තියා අලකොලයක් හීල් වෙන්න චු කර ගන්න බැරි දත් දොස්තරලා....... හීන් නුලෙන් ගේම දුන්න මාරා ලොක්කගේ පස්ස ලෙවකන හැටි දැක්කම මාළු නටනවටත් වඩා බලන් ඉන්න හිරිකිතයි...

    ReplyDelete
    Replies
    1. මේ වගේ උං දත් නොවෙයි අධෝමුඛ දොස්තරලා කරන්නයි තිබුණෙ.
      වැරදුණා. පුකේ දොස්තරලා...

      Delete
  10. ...89 පරම්පරාව කපටින් ට රැවටුන මුග්ධයන්ය. දැන් සිටින්නේ කාර් ගැන සිහින දකින සොෆ්ට්වෙයා නිර්මානය කරන කරන නව නිර්මාන බිහිකරන ක්‍රෙඩිට් කාඩ් පරම්පරාවකි. අද ඇටෙන් පොත්තෙන් එලියට එන කොල්ලන් පවා කතා කරන්නෙ අලුත් වාහනයකට යන විදිය ගැනය. ඔවුන්ගේ දිවේ වාහන වල බ්‍රෑන්ඩ් නිතරම ඇත.මෙය දියුණුවකි. 89 පරම්පරාව අනේ පවුය.

    ReplyDelete
    Replies
    1. වැඩේ කියන්නෙ සිහින සිහිනම තමයි නේද.. දැන් කාර් ගේන එකත් නවත්තලනෙ.
      ෆ්‍රී වයි ෆයි නිකංම වයි පයි වෙලා නේද..

      Delete
    2. මේ ඇනෝ දමා ඇත්තේ මගේ කොමෙන්ටුවකි. එය ට්‍රාන්සිල්වේනියා බ්ලොගයේ දැමූවකි.
      වර්තමාන පරම්පරාව අන්දන්නනම් අමාරුය. අද සිටින්නේ 89 තරුනයා නොවේ.89 තරුනයන් සිටි ගම්මානවලද අද කාපට් පාරවල්ය.අඩුගානෙ ඩීමෝ බට්ටෙක්වත් අද කොල්ලන්ට ඇත.රට පමනක් නොව ලොවම මහා වෙනසකට බදුන්ව ඇත. ලෝක ධනය සුළු ප්‍රතිශතයකට බෙදී යන බව ඇත්තකි. නමුත් එය නොදැනෙන තරමට සින්තටික් සිහිනයකි. පරිභෝජනවාදී ධනවාදය අප සැමගේම මනස සකස් කරයි. 89 තරුනයා නුදුටු හෑන්ඩ් ෆෝන් ටී වී චැනල් එෆ් එම් චැනල් අද තාරුන්‍යය මන්මත් කරවයි. අද ඇබිලිපිටිය වැනි ප්‍රදේශයක කොල්ලන් ගේ සිහිනය සුපර් ස්ටාර් කෙනෙක් වීමය.මෙයමරනාශයෙන් ජීවනාශයට මාරුවීමකි.

      සියල්ලටමත් වඩා 91 දී සෝවියට් දේශය බිද වැටීම නිසා ලෝක මට්ටමින් විප්ලව අවලංගු විය. 89 ප්‍රශ්න 2016 දි නැති නිසා අසහනයක් නැති බව නොවේ. මෙය තරමක් අමුතු කතාවක් වුවත් 89 තරුනයා සටන් කලේ ලංකාවට වඩාරුසියාවේ ප්‍රශ්නයක් නිසාය. රුසියාවේ සිදුවූ වෙනසින් ලංකාවේ තරුනයාගේ අටෝරාසියක් ප්‍රශ්න විසදුනේ එනිසාය.

      ලංකාවට විප්ලව නොගැලපේ .ලංකාවට ගැලපෙන්නේ චීන ඉන්දියන් යෝධයන් සමග සහයෝගීව කරන ආර්ථික ගමනකි. ලංකාවේ සිදුවන විප්ලවයක් අවසන් වන්නේ ලංකාව චීන හෝ රුසියානු චන්ද්‍රිකාවක් වීමෙනි.

      Delete
    3. මධ්‍යස්ත මතධාරිය නැවත පැමිණි නිශ අමෙ පිලිබඳ අපේ සාකච්චාව නවතැහැ පටන් ගමුද?

      Delete
  11. ප්‍රේමදසගේ "මා පිය කැපකරු" සංකල්පය අලලලා ලියවුණු කැම්පස් කුරුටු ගීයක්...

    මා පියා කල්ලියෙන්
    මා පියා ගෙනගියා
    මා පියා හැරපියා
    කුමට කැපකරු පියා...

    (ප්‍රේමදාසගේ ලෝරන්ස් මෆියාව ද සිහි කෙරේ)

    කඳවුරු වල ලියවුණු දේ ගැන පසුව කතාකරමු.

    ReplyDelete
    Replies
    1. මා පියාගෙ මාෆියාව නේද...කඳවුරු සාහිත්‍යයත් මෙතෙන්ට දැම්ම නං අගෙයි.

      Delete
    2. අපරාදේ සුමිත්ගේ කතාව අතරමග නතරකලානේ

      Delete
  12. නන්දා මාලිනී,සුනිල් ආරියරත්න සහයෝගයෙන් බිහි වෙච්චි විකල්ප ගී සාහිත්‍යය තමයි අපි ඇහුවේ.කැම්පස්,වදකාගාර අත්දැකිම් නැති අපි ඒ ගී තුලින් තමයි සහා පසුකාලිනව ඒ අත්දැකිම් ලැබු අයගේ නිර්මාණ තුලින් තමයි එව්වා අපිට සමීප වුනේ.

    ReplyDelete
    Replies
    1. නන්දා සුනිල් ගීත මගින් එක් යුගයක තරුණ හදවත් ගැහෙන රාවය චිත්‍රණය කළා. ඒත් භීෂණ සාහිත්‍යය කියන්නෙ ඊට මුහුණ දුන් අයගේ සැබෑ හැඟීම්.

      Delete
  13. මේ වගේ කවි කාලෙකට කලිං කියවන්න හම්බුණා. කොල වගයක්
    දුක හිතෙන ඒ වගේම ඇගේ ලේ කෝපවෙන තාලෙ කවි ත් එතන තිබ්බ කියල මතකයි
    මං ඒව කියවනව දැකපු අපේ තාත්ත හරි කවුරුහරි ඒව මගෙන් ගත්ත ගත්තමයි ආයෙ හම්බුනේ නෑ
    ඒවට වෙච්ච දෙයක් වත් මතක නෑ

    ReplyDelete
    Replies
    1. ගොඩක් අය නිළ හා නොනිළ පැහැර ගන්නන්ට බියෙන් මේවා විනාශ කළා. දැන් හොයා ගන්නත් අමාරු තරම් වැළලී යන සාහිත්‍යයක්.

      Delete
  14. බොහෝම හැඟුම්බර මතකයක්. මොහොතකට අතීතයට ගියා මේ කියවීමෙන්. කේන්තියක්, දුකක් සහ තව මොනවදෝ කියාගන්න බැරි හැඟීමක් හිත ඇතුලේ හිරවෙනවා. හෙන් රි මේවා සටහන් කරනවාට ස්තූතියි.

    71 අරගලයට පස්සේ ජපුර එක රැඳවුම් කඳවුරක්ව තිබු බව මතකයි. පාරට පේන්නත් බොහෝ දේ එහි ලියා තිබුනා සහ සිතුවම් කර තිබුන බව මගේ මතකයයි.

    ReplyDelete
    Replies
    1. 71 වගේම 88-89 දීත් මෙවන් නිර්මාණ බිහි වුණා. ඒත මේ ලිඛිත සාක්ෂි ඉතිරි වී නැත්තේ පැහැර ගන්නන්ට බියෙන් විනාශ කළ නිසා වෙන්න ඕනෙ. මේ වගේ තැනක යළි සටහන් නොවෙන්නෙත් ඒ නිසාමයි කියා හිතෙනවා.

      Delete
  15. Replies
    1. ගද්‍ය ලියවිලි පසුව ලියැවුණ ඒවා නේද. පද්‍ය නං ඒ මොහොතේම ලියැවෙන්න ඇති කියා හිතෙනවා.

      Delete
  16. //මගේ පුතා හෙට එනවලු! //
    ඒ නිර්මාණයනම් තදින් සිත් ගත්තා .
    පෝස්ටර්වල ලියවුනු කෙටි කවි හා හොඳ නිර්මාණ ගොඩක් සරසවියේදී දැක්කා. මතකයට නගා ගන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් සිත්ගත් ඒව තව කොතෙක් වේද....ඒත් ඒව හොයාගන්න තැන් නැති එකයි ප්‍රශ්නෙ. මේක ලියල බැලුවෙ ළඟ තියෙනව නං කට්ටිය කොමෙන්ට් විදිහට දායි කියල. එහෙමත් නෑ වගේ.

      Delete
  17. මේ ජීවිත ගැන පුදුම දුකක් දැනෙන්නෙ.. ඔළුගෙඩි වලට එක එක විසබීජ දැමීමේ ප්‍රතිපල... අපරාදෙ...

    ReplyDelete
    Replies
    1. තියෙන විෂබීජනෙ සජ්ජා දාන්නෙ. ඒවයෙන් ගැලවෙන්න නම් සමාජ විශෝධනයක් ඕනෙ. ඒක වෙන්නෙ නෑ වගේම විෂබීජ තුරන් වෙන්නෙත් නෑ.

      Delete
    2. වරෙව් සොහොයුරනි
      බිම් ගෙයට
      (තවත් ඒහි ඉඩ අැත)
      අප සමග
      පෑන් පෙළපාලියට

      ........

      අඩ අඳුරේ බඩ වැටියේ තුරු වදුලේ සැඟවී හිඳ
      සඳ වැගිරේ ඒ ඒළියේ නෙතු යුගලේ රිදෙනා සඳ
      ලේ රුහිරේ සැලෙන පැයේ යුද පිටියේ ලියූ මෙපද
      මා මිතුරේ නුඹේ ළයේ මගේ ළයේ රිද්මය වෙද ?

      ........

      ඒල්ලී බාල්කයෙ දෙපයින් යටි කුරුව
      දස වධ විඳ විඳා හිඳිනා නිරතුරුව
      සොහොයුර නුඹෙන් විමසිය යුතු ගරු සරුව
      බොරු කළ හැකි නොවෙද ඉතිහාසයෙ බොරුව ?

      කළුවර අබිමුවේ ඒළි කොට සියලු තැන
      සොරමුළු දවා අළු කරමින් පෙරට පැන
      යුක්තියෙ මිනිසුන්ට පුද පෙළහර වෙමින
      ගිනිසිළු නැගෙනු අැත මව්බිම සතර කොන

      ........

      සෙත් සිරි අායුෂ සැප ඔිනෑනම්
      බත් බැලයින් වීමම අවදානම්
      මව්බිම රැකුමට අපි සූදානම්
      මින් මතුවට යූඅැන්පිය තහනම්

      .......

      අවරදිගින් ඒන අදිරද උගුල් යකා
      ඊළම ලෙසින් මෙරටට වෙස් බැන්ද යකා
      ලේ විල බැස ඉස්නානෙට වඩින යකා
      සළු පිළි ගලවලා නිරුවත් කරමු යකා

      ගිරින් ගිරට පැන ලගිනට සොයන යකා
      වියට්නාමයෙන් පැරදී දුවපු යකා
      අපේ පරපුරට නිති ගිනි බිඳින යකා
      අග්නිදිගින් බැස පල අැමරිකන් යකා

      ......

      රේගන් රජිව්ලට තිබ්බත් ප්‍රේත තටු
      ලක්දන නොවනු අැත තොපිලට තලන බටු
      තමුසෙට වැවෙනවා තව කටු ඉඹුලෙ කටු
      මොත්තේ මදෑ මුත්තේ කට වහං හිටු

      ......

      කල් බලා නොවෙද උන් පෙළ ගැසෙන්නේ
      නැව් පුරා නොවෙද අායුධ ගෙනෙන්නේ
      උන් මරා නොවෙද මව්බිම රැකෙන්නේ
      මව් මරා ලන්ට කලියෙන් වරෙන්නේ

      ........

      මිතුරු සත්ත්වයෝ
      සන්නද්ධ වෙත්වා
      ඔලු සුද්ද වෙත්වා
      දුකින් මිදෙත්වා
      නිවන් දකිත්වා !

      .............

      මේි රට මගේ මව්බිම වනසන සත්තූ
      පාරට අැද දමා පෙන්නා බයිනෙත්තූ
      ජනතා විරෝධයෙ අද පෙරමුණු ගත්තූ
      හිඟ නෑ සොයුරනේ ලක් මෑණිගෙ පුත්තූ

      උපුටා ගැනීම -
      '87-89 කවි බසින් කියැවීම' - සුනන්දා කීර්තිරත්න (සිතිජය, 2007 නොවැම්බර්)

      Delete
  18. නොකී කථා මේක පල කරයිද දන්නේ නැහැ. මම වෙන තාක්ත් කියුව වගේ 1987 රුසියාවේ ඉඳන් මස එකහමාරක නිවාඩුවට ඇවිත් අර ජූලි 27 විරෝධටහ්වයේ ඡායාරුප ගත්ත. ඔයා මේ කවි කියවල සංවේදී වෙන එක හොඳයි. වෙනුරයා එහෙමත් අපේ ඉස්කෝලෙට ගිය කොල්ලෙක්නේ. ඉස්කෝලෙට එහා පැත්තේම විශ්ව විද්‍යාලේ තියල මැරුවේ. අදත් කුමාර් ගුණරත්නම් හා ඒ කට්ටිය ලන්ඩන් ඇවිල්ල සමරු දින තබනවා. නමත් නරෝද්නික් වාදී අන්තවාදයකට යන්න එපා කියද්දී ගියේ ඇයි. විජේවීර අතිශයින්ම වැරදි ඇයි කියල කවුරුත් කතා කරන්නේ නැහැ. එහම යන්න එපා කියපු එකෙක් තමයි මම. මම අදත් කියන්නේ එක. නමුත් අදටත් අපි සුළු ධනේශ්වර පිස්සෝ. ඒ මැරුණු කොල්ලෝ ටික අද හිටියනම්? 71 මැරුන කොල්ලෝ ටික අද හිටියනම්? මම ඔයාගේ දඩ බිමත් කියෙව්වා. ඒක ගැන ලියන ලිපියේ මේ ටික ලියනවා. ඒවායේ ඉතුරු වුන ය දිහා බලන්න කොච්චර දක්ෂයෝද කියල. ඔබ හෙන්රි, චූලා ආදී අය. විමල් විරවංශ පවා කිසියම් සන්දර්භයක් තුල දක්ෂයෙක්. කුමාර් නුත් එහෙමයි. 88-89 සම්පුර්නයෙන්ම වැරදිත් ඒකයි. නමුත් තවමත් ජවිපෙ පෙසප දෙකම කරන්නේ වීරයෝ සමරන එක. ලෙනින් කවදාවත් තමන්ගේ සහෝදරයා වීරයෙක් වගේ සමරන්න ගියේ නැහැ. කිව්වේ වැරදියි කියල. විප්ලව කාරයෙකුට විප්ලවේ නාමයෙන් නන්දන මාරසිංහ වගේ මමිනිහෙක්ව මරන්න පුළුවන් කමක් නැහැ. දැන් ඔබල බටලන්ද ගැන විවේචනය කරනවා. රනිල් ඕක කලා නම් කුමාර් ගුණරත්නම් පවා සිටිය ජවිපෙ පරිවාස කලේ රනිල්ව අල්ලලා ඇතුලට දැම්මේ නැත්තේ ඇයි ? මහින්ද දිනපු වෙලාවේ ඒ චාන්ස් එක අරගෙන 88-89 වධකයන්ට දඬුවම් නොකළේ ඇයි?

    ReplyDelete
    Replies
    1. //නොකී කථා මේක පල කරයිද දන්නේ නැහැ.//
      පෞද්ගලික මඩ ප්‍රහාර හා අදාළ නොවන අසභ්‍ය වදන් පමණයි පළ නොකරන්නේ. අදහස් වාරණය කරන්නේ නැත.

      Delete
  19. //කොටින්ම තරුණයෙකු, තරුණියක ලෙස දිවි ගෙවන සිය දරුවන් කොයි මොහොතේ ඝ්‍රා, ප්‍රා, කහ බළල්ලු, කළු බළල්ලු යනාදී විවිධ නම් වලින් මතු වූ ආරක්ෂක අංශ වලට අයත් වගේම දේශපාලුවන් පෞද්ගලිකව පවත්වා ගෙන ගිය කල්ලි-කණ්ඩායම් මහ රෑ ගෙට වැදී හෝ මහමග දෙනෝදාහක් ඉදිරිපිටදී පැහැරගෙන යාදෝයි බියෙන් සැකෙන් දෙමාපියන්ට ජීවත් වෙන්නට සිදුවූ යුගයක්.//


    hathara poyata silgamin siti tharunayan kisima hethuwak nathuwa gaathanaya kala eka waradhiyi,

    Ian

    ReplyDelete