Powered By Blogger

Thursday 22 August 2024

අනුරට එක් වතාවක් දීලා බලමු.

 

2019 අවුරුද්දේ පැවැත්වුණ ජනාධිපතිවරණයේදී වගේම 2024 අවුරුද්දේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී මගේ අභිලාෂයන් සම්පාත වූ ආකාරය සහ වෙනස් වූ ආකාරය ගැන කෙටියෙන් ලියන්න හිතුවා.
2019 වසරේදී ඒ තරඟයේ ඉදිරියෙන්ම හිටියේ ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාසයි.
අනුර කුමාර දිසානායක ඊට බොහෝ පසුපසින් තමයි හිටියේ.
 
ඒ අවස්ථාවේ මම ගෝඨාභය වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළා පමණක් නොව ඒ වෙනුවෙන් පෙනී සිටියා. ඊට ප්‍රධාන වශයෙන් හේතු දෙකක් තිබෙනවා.
පළමුවැන්න තමයි ගෝඨාභය රාජපක්ෂ වෙනස් ආකාරයක පුද්ගලයකු විදිහට එතෙක් ඔහු කළ කී දේ අනුව රට වෙනුවෙන් කිසියම් ආකාරයක වෙනසක් කරයි කියන විශ්වාසය. ඇටුවම් බැහැපු මජර දේශපාලකයෙකු නොවූ ඔහු සෘජු ප්‍රතිපත්ති ඇති, නිර්භය ලෙස තීන්දු තීරණ ක්‍රියාත්මක කරන, රට වෙනුවෙන් වඩාත් සුබවාදී තීන්දු තීරණ ගන්නා, විවිධ ක්ෂේත්‍රවල දක්ෂයින් මනා ලෙස කළමනාකරණය කරගන්නා පුද්ගලයෙකු වනු ඇතැයි මා අනුමාන කළා.
 
අනෙක් අතට සජිත් ප්‍රේමදාස යනු දේශපාලනික වශයෙන් වඩාත් අඥාන, අපරිණත, උද්දච්ඡ, මමංකාරයෙන් යුතු, උස නම් සිකුරිටි, මිටි නම් කම්කරු ආකාරයේ තීන්දු තීරණ ගන්නා, තරුණයින් හැට දහසක් වළපල්ලට යැවූ පියාණෝගේ පුතාණෝ ලෙස වැජඹෙන පුද්ගලයෙකු ලෙස මා තේරුම් ගත් හෙයින් ඔහුට කිසිසේත්ම රටේ පාලනය බාර ගැනීමට ඉඩකඩ සැලැස්විය යුතු නැතැයි මා තීන්දු කර තිබුණා.
 
ඉහත කාරණා දෙක මත ගෝඨාභය රාජපක්ෂ රටේ ජනාධිපතිවීම සුදුසු යැයි ඒ මොහොතේ මා කල්පනා කළා. ඒ කල්පනාව පිළිබඳව විවිධ අර්ථකථන තිබිය හැකි වුණත් ඊට වඩා කළ යුතු දෙයක් අප ඉදිරියේ තිබුණේ නෑ. කොටින්ම ජයග්‍රහණය කිරීමට කිසිදු අවස්ථාවක් නැති අනුර කුමාර දිසානායකට මනාපය සලකුණු කිරීමෙන් සජිත් පරාජය කළ නොහැකි බව මා ඉතා පැහැදිලිව තේරුම් ගත්තා.
 
ඒ අවස්ථාවේ ගෝඨාභය පරාජයට පත් වී සජිත් ජයග්‍රහණය කළේ නම් රටේ අරගල සටන අවසන් වන්නේ ලේ විලකින් බවට කැට තබා කිව හැකියි. නිවටයින් පලා යන්නේ නෑ. ඔවුන් අවසන් මොහොත දක්වාම සටන් කරනවා. තුවක්කුවේ පිහිට පතනවා. රට ලේ විලක් උනත් එවැන්නන්ට අවශ්‍ය බලය රැක ගැනීමටයි.
එවන් කාරණා හේතුවෙන් ගෝඨාභය ජයග්‍රහණය කිරීම ගැන හෝ ඊට වචනයකින් හෝ උදව් කිරීම ගැන අදටත් කම්පාවක් නෑ.
 
====================
 
එළැඹෙන 2024 ජනාධිපතිවරණය 2019 වසරේ තිබූ තත්ත්වය උඩු යටිකුරු වූ අවස්ථාවක්. 
 
සජිත් ප‌්‍රේමදාස පෙර සඳහන් කර ආකාරයෙන් නැතහොත් ඊටත් වඩා අපරිණත ලෙස දේශපාලන ක්‍රියාමාර්ග ගන්නා බව හොඳින්ම පේන්න තිබෙනවා.
සජිත් අමතන්නේ සමාජයේ වෙනස්ම ස්ථරයන් වුවත් ඔහුට ප්රේමදාසවාදී හා එක්සත් ජාතික පක්ෂයේ නොසැලෙන විශාල ඡන්ද ප්‍රමාණයක් තිබෙන බව අපට පිළිගන්නට වෙනවා. 
 
සජිත් ප‌්‍රේමදාස හා කරට කර සිටින්නේ අනුර කුමාර දිසානායක පමණයි. රනිල් වික්‍රමසිංහ සිටින්නේ ඔවුන් දෙදෙනාට වඩා බොහෝ පසුපසින්. රනිල්ට ඇහින්දාස් ඡන්ද තැනින් තැන එකතු කරන්න සිදුවී තිබෙන මොහොතක සජිත්ට හා අනුරට තම තමන්ට ලැබෙන බවට තහවුරු වූ ඡන්ද ප්‍රමාණයක් තිබෙනවා. 
 
මා මෙවර අනුර කුමාර දිසානායක මේ රටේ ජනාධිපති කළ යුතු යැයි විශ්වාස කරන්නටත්, ඔහු වෙනුවෙන් පෙනී ඉන්නටත් හේතු කාරණා දෙකක් තිබෙනවා. 
 
ඉන් ප්‍රධාන කාරණය වන්නේ සජිත් වැනි අමනෝඥ පාලකයෙකුට එන්නට තිබෙන ඉඩකඩ අහුරාලීමයි. එය 2019 වසරේදී ගත් තීරණය හා සම්පාතයි.
සජිත් පරාජයට පත් කළ හැක්කේ අනුරට ලබාදෙන ඡන්දයකින් පමණයි. අනුර හැර අන් කවරෙකුට හෝ දෙන සෑම ඡන්දයක්ම සජිත්ට වාසිදායකයි.
 
දෙවනුව අනුර කුමාර දිසානායක කිසියම් ආකාරයකින් මේ රට ගොඩ ගැනීම සඳහා අවංක වෙහෙසක් දරනු ඇති බව මා කල්පනා කරනවා. ඔවුන්ගේ මෙතෙක් භාවිතයේ යම් යම් දුර්වලතා තිබිය හැකි වුණත් ඉදිරියේ ඇති විකල්පය එපමණයි. 
 
එක් අතට එතෙක් මෙතෙක් මෙරට පාලනය කළ හැමදෙනාම රට අගාධය වෙත ගෙන ගියා මිසක රට ගොඩනඟීමේ හැකියාවක් තිබුණු අය නොවන බවද අප මතක තබා ගත යුතුයි. රට විශාල ණය උගුලකට හිරකොට ඇත්තේ ඒ පාලකයින් විසිනුයි. සජිත් වටා සිටින දේශපාලකයින් සියයට අනුවක්ම මේ දූෂිත මඩ ගොහොරුවේ ලැග්ග පිරිසයි. ඒ දූෂිතයින් වටකොටගෙන සජිත්ට රට ගොඩනගන්නට නොහැකි බව පැහැදිලි සත්‍යයක්.
ඔවුන්ට කළ හැක්කේ හා කරනු ඇත්තේ ඔවුනොවුන් ගොඩ යෑමට අවස්ථාව සලසා ගැනීම පමණයි.
 
රට අගාධයට ගෙන ඒමේ විනාශයේ වගකීම ජේ. ආර්. ජයවර්ධනගෙන් පසු ගෝඨාභය දක්වා සියලුම පාලකයින් බාරගත යුතු බව මගේ තීන්දුවයි. මේ අතිශය දුෂ්කර අවස්ථාවේ අසාර්ථක, දූෂිත පාලකයින් බිහිකරනවා වෙනුවට රට ගැන හැඟීමක් ඇති අදූෂිත, අවංක නායකයෙකු පත් කර ගැනීම තමයි කළ යුත්තේ. රට විනාශයට පත් කළ, හුරුපුරුදු, ජනප්‍රිය දේශපාලන රටාවට ඉඩ නොදී රට වෙනුවෙන් අවංක ආධ්‍යාශයෙන් යුක්තව කැපවීමට සූදානම්ව ඒ බව සපථ කරන පිරිසකට එක් වරක් හෝ අවස්ථාව දිය යුතු බව මගේ හැඟීමයි.
 
ඔව්...එක් වරක් හෝ.....
 
දිගින් දිගටම රාජ්‍ය පාලනයේ අසමත් වූ, දූෂිතයින්ට අවස්ථාව ලබා නොදී අනුර කුමාර දිසානායක ප්‍රමුඛ මාලිමාවට මේ අවසාන නිමේෂයේ හෝ රට මේ අගාධයෙන් මදක් හෝ ඉහළට ඔසවා තබන්නට හැකිදැයි අවස්ථාව දී බලමු.

13 comments:

  1. රංග තේනුවරThursday, August 22, 2024

    ඔය අනුර කුමාර වගේ කයිවාරු කුහක රැලට චන්දෙ දෙනවට වඩා හොදයි සීලරතන හාමුදුරුවෝ ජනාධිපති කරන එක.

    ReplyDelete
  2. ඔයා කියන කතාව ඇත්ත ඒ වගේම ජනාධිපති අපේක්ෂකයන් අතරින් ඉතිහාසය ගත්තම අනුර ට වැරදුනු තැන් වැඩියි, ඇතැම් ඒවා මාරාන්තිකයි.

    නමුත් වැඩියෙන්ම වැරදි හදාගත්ත කෙනාත් එයා. කණ්ඩායම් හැඟීමත් වැඩිම එයාගේ. තමාට පෙර රට හැඟීම එයාගේ වැඩියි. දූෂණ චෝදනාත් අඩුයි!

    ප්‍රශ්නය මාලිමාවත් තාම හරි හමන් ආර්ථික සංවර්ධන ප්‍රතිපත්තියක් එළි නොදැක්වීම. ආණ්ඩුවෙන් රටේ ආර්ථිකයට බලපාන ඒකාධිකාරී බිස්නස් කරන එක, රාජ්‍ය සේවය මූලික ආර්ථික මූලධර්ම වලින් ගොඩ ගිය රටක් නැති බව ඔවුන් අමතක කරලා.

    ගෝලීය ආර්ථිකයක් තුළ, දේශීය සුරංගනා කතාවලට මුවාවෙලා, සිල්ලර කතා සහ දීලා බලමු යන සංකල්පය මත, ලිඛිත ප්‍රතිපත්ති demand නොකර කොන්දේසි විරහිතව ඡන්දෙ දෙන බහුතරය මේ රටට හොඳක් කළේ නෑ!

    වැඩක් කළ හැකි දේශපාලකයන්වත් නරක් කළේ සහ කරන්නේ මේ දූපත් මානසිකත්ව තියෙන අන්තේවාසිකයන් සහ ඡන්දදායකයන්!

    මොකද ජවිපෙ ආර්ථික වැඩපිළිවෙල තමයි වැඩියෙන්ම ප්‍රශ්න කරන්න ඕනෙ දේ. GDP එකට සාපේක්ශව රාජ්‍ය ආදයම් තවතවත් ඉහළ නංවන්නනම් බදු ආදයම් තවත් ඉහළ නංවගන්නම වෙනවා. ඒක කොහොමද කරන්නෙ කියන එක ලොකු අභියෝගයක්. දැනටත් රුපියල් ලක්ශෙට වඩා රැකියාවක් කරන කෙනෙක්ගෙන් ආදයම් බදු එකතු කරනවා. දැන් ඔය බදු දැල පුළුල් කරනවනම් දැනට ආදයම් බදු නොගෙවන සාමන්‍ය ජනතාවත් ඕකට අහු වෙන්න ඕනෙ. උදාහරණයකට අද කාලෙ ත්‍රීවිල් රථ රියදුරන් අනිවාර්‍යෙන්ම රුපියල් ලක්ශෙට වඩා හොයනවා. නමුත් බදු ගෙවන්නෙ නෑනෙ. ඉතින් මොකක්හරි ක්‍රමයක් ගෙනත් ඕක ක්‍රියාත්මක කරන්න ගියොත් මුලින්ම එරෙහි වෙන්නෙ ඔන්න ඔය පිරිස. මොකද කොයි කවුරුත් එක එක රැලිවලට කඩේ ගියාට තමන්ගෙන් ගාන කැපෙද්දි කුපිත වෙලා බනින්න ගන්නවා.

    මම දන්න විදිහට දැන්නම් සුරාබදු නියමිත විදිහට ගෙවනවා. මේ වසරෙ මුල් කාර්තු දෙකේ සුරාබදු නියමිත ගණනට එකතු කරලා තියෙන්නෙ. ගැටලුව තිබ්බෙ ගිය වසරෙ ගෙවන්න තිබ්බ බදු මුදල් පැහර හැරීම. දැන් ඒකත් පියවගන්න අවශ්‍ය පියවර ගැන කෝප් කමිටු වාර්තා වල දැක්කා.
    හැබයි තාමත් මිනිස්සු හිතන් ඉන්නෙ සමාගම් වලට තවතවත් බදු පටවන්න පුලුවන් කියලා. දැනටත් cooperate tax එක 30%. තවත්නම් වැඩි කරන්න පුලුවන්කමක් නෑ.

    නමුත් ජවිපෙ ජාතික ජන බලවේගය කියන විදියට සියලුම ආහාර ද්‍රව්‍ය/ සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රවලට වැට් බද්ද 18% සිට 0% දක්වා සම්පූර්ණයෙන්ම ඉවත් කර PAYE බදු ලක්ෂ එකේ සීමාව ලක්ෂ දෙක දක්වාම ඉහළ නංවා අඩු ආදායම්ලාභී පවුලකට රුපියල් 10,000 සිට ඉහළට දීමනාවක් ගෙවලා රජයේ ගුරුවරුන්ට ඉහළම වැටුප් ගෙවන බව කියලා තවත් උපාධිධාරීන් 20,000කට රජයේ ගුරුපත්වීම් දෙන බව මාලිමාව පොරොන්දු වෙලා තියෙනවා

    තවත් විද්‍යා තාක්ෂණ නොවන උපාධිධාරීන් 12,000 කුත් බඳවා ගන්නා බවත් ඊටත් අමතරව තවත් දේශීය ආදායම්, රේගුව, විදේශ සේවා සහ සංචාරක ක්ෂේත්‍රවල රැකියා 3,000ක් බඳවාගන්නා බවත් ජාතික ජන බලවේගය මාලිමාව ප්‍රකාශ කරලා තියෙනවා

    ගුරු විදුහල්පති වැටුප් විෂමතාව වෙනස් කරන්න විශාල මුදලක් වැය කිරීමට සිදුවන අතර ඒවා හොයාගන්න බදු වැඩි කරන්නේ කොහොමද?

    ආචාර්ය හරිනි අමරසූරියගේ මේ ප්‍රකාශය පිළිබඳව ඔබේ අදහස මොකක්ද?

    https://www.facebook.com/100068777900836/videos/1161929088351019/?mibextid=rS40aB7S9Ucbxw6v

    ReplyDelete
  3. මම හෙන්රි කියනදේට යම් තරමක් එකගයි. රටට වෙනසක් අවශ්යයි. එත් අන්රයිය කොහොම උනත්, අපේ ගම්වල ජවීපෙ එක්ක එදා වගේම අදත් ඉන්නේ නුගත්, ඇති එකාට වෛර කරන, රැකියාවක් නොකරන, හික්මීමක් නැති පිරිස්. ඒ අයට බලය ලැබුනොත් වෙන දේ ගැන හිතන්න අමාරුයි

    භීෂණයට ප්‍රේමදාස වගේම ජවීපෙ වග කිව යුතුයි, පළමු ගාතනය දයා පතිරණ.

    ReplyDelete
  4. මේ අවසාන නිමේෂයේ හෝ රට මේ අගාධයෙන් මදක් හෝ ඉහළට ඔසවා තබන්නට යන්නේ කෙසේදැයි ඔවුන්වත් සුළුවෙන්වත් නොදන්නා කල - අඩුම ගන්නේ ආර්ථික වශයෙන් ඔවුන්ගේ ප්‍රතිපත්තිය චන්දෙට මාසෙකට කලින්වත් ඉදිරිපත් කරන්නට නොහැකි කණ්ඩායමකට - ඔබගේ වටිනා චන්දයත් දී රට තවත් අගාධයට දමන්නට දායක වන්න.

    ReplyDelete
  5. TAKE DECESIONS BASED ON PRINCIPLES

    ReplyDelete
  6. අනුරට ජනධිපති වෙන එක බයානකයි මොකද අනුර වටා ඉන්න නුගත් බහුතරයක් සැප්තැම්බර් 22 දා ඉඳන් විධායක බලය පාවිච්චි කරන්න බලන් ඉන්නෙ. ඔවුන් බලය නැතුව මැයි නවය පෙන්වපු ටික හා දැනට සමාජ මාධ්‍ය තුල පෙන්වමින් ඉන්න ටික ඒ ගැන හිතා ගන්න හොඳටම ප්‍රමාණවත්.

    සජිත්ට රට යන එක බයානකයි මොකද සජිත් කියන්නෙ රට හරකෙක් සහ වටකරගෙන ඉන්නෙ 77 ඉඳන් බිහිවෙච්ච අන්ත දූෂිත දේශපාලුවන්ගේ කොල පාට කොටස. අනෙක් කාරණය සැප්තැම්බර් 22 ඉඳ ජලනි විධායක බලය පාවිච්චි කරන්න බලාගෙන ඉන්නෙ. ඒකත් උඩ කියලා තියන තත්ත්වය වගේම බයානකයි.

    රනිල් ආයෙ ජනාධිපතිවෙන එකත් උඩ අවස්තා දෙක වගේම බයානකයි මොකද රනිල් කියන්නෙ බලලෝබියෙක් සහ මේ වෙනකොට ප්‍රසිද්දියේම කිසිම හිරිකිතයක් නැතුව ව්‍යවස්තාව උල්ලන්ගනය කරමින් ඉන්න ඒකාධිපතියෙක්.. අනෙක් අතට 77 ඉඳන් බිහිවෙච්ච අන්ත දූශිත දේශපාලුවන්ගෙ නිල්පාට කොටස දැන් ඉන්නෙ රනිල් එක්ක.

    දිලිත් තරමක සාධනීය ලක්ශණ පෙන්නුම් කළත් එයත් ඉස්සරහට කපටි දේශපාලුවෙක් වෙන ලක්ෂණත් පෙන්නුම් කරනවා..

    මට නම් මේ පාර විකල්පයක් නෑ කියලා තමා හිතෙන්නෙ.. ඔන්න ඔහේ කටු ගාලා දානවා...

    ReplyDelete
    Replies
    1. @සෙන්නා

      මමත් ඔයාගේ අදහස සමග සම්පූර්ණයෙන්ම එකඟයි අග කොටසේ තියෙන කටුගා ප්‍රතික්ෂේප කිරීම කියන එක හැර.

      මොකද ඇත්තටම එහෙම කටුගාන එකෙන් වැඩක්ම නෑ නේද? ඒකෙන් ජන්දයට වෙන බලපෑම නිශ්ප්‍රභා වෙනවා නේද?

      Delete
    2. //අනුරට ජනධිපති වෙන එක බයානකයි මොකද අනුර වටා ඉන්න නුගත් බහුතරයක් සැප්තැම්බර් 22 දා ඉඳන් විධායක බලය පාවිච්චි කරන්න බලන් ඉන්නෙ. ඔවුන් බලය නැතුව මැයි නවය පෙන්වපු ටික හා දැනට සමාජ මාධ්‍ය තුල පෙන්වමින් ඉන්න ටික ඒ ගැන හිතා ගන්න හොඳටම ප්‍රමාණවත්.// මටත් මේ බය තිබෙනවා

      Delete
    3. @ජනක,
      ඔයා කියන එකත් හරි.. ඒ ගැන ආයෙ පොඩ්ඩක් හිතලා බලන්න ඕනා..

      Delete
  7. නිවැරදි තීරණයක්, හැබැයි සජිත් කියන්නෙ දෙක නෙවෙයි රේස් එකේ තුන්වෙනියා. මට හිතෙන්නෙ එපාපෙ බහුතරයක් මේ වෙලාවෙ ඉන්නෙ රනිල් එක්ක. සජිත්ට ඉන්නෙ සුළු එජාප පිරිසක්, ඒ වගේම පොහොට්ටුවෙ හොරු ටික අඩු වැඩි වශයෙන් රනිල් සහ සජිත්ට බෙදිලා ගිහින්. මේ දෙන්නටම වඩා අනුර ඉන්නෙ සෑහෙන ඉදිරියෙන්, ඔහුට හොඳ ටීම් එකක් ඉන්නවා, බලමු ඉස්සරහට...

    ReplyDelete
  8. මම ගෝඨාභයට ජනපති වනවාට විරුද්ධයි එදා ඉඳන්ම . තරමක් පෞද්ගලිකවත් දැනන් හිටි නිසා . ගෝඨාභයට වඩා මහින්ද හොඳයි ඒ පැත්තෙන් . ඒ චන්දෙදි මම හැමෝටම කිවේ අනුරට දෙන්න අඩුම ගානේ විරෝධය පෙන්වන්න . ගෝඨා දිනනවා . නමුත් වැඩක් නැහැ කියල . හරියටම ඒක වුනා .

    ReplyDelete
  9. මුන්නැහේට කියන්න පුළුවන්ද බිත්රයකින් ඔම්ලට් හැදුවට ඔම්ලට් වලින් බික්කර හදන්න පුළුවන්ද කියලා.

    ReplyDelete