1983 ජූලි මස මුල් භාගයේ දී හමුදාව චාවකච්චේරියේ දී එල්ටීටීඊ සාමාජිකයන් ඉලක්ක කර එල්ල කළ ප්රහාරයක දී වේලුපිල්ලේ ප්රභාකරන්ගේ සමීප හිතවතෙකු සහ එල්ටීටීඊ සංවිධානයේ ආරම්භක සාමාජිකයෙකු ලෙස හැඳින්වෙන චාල්ස් ලූකස් ඇන්තනී හෙවත් සීලන් ඇතුළු කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
මෙයට ප්රතිප්රහාරයක් ලෙස පලාලි මාර්ගය ඔස්සේ ගමන් කරමින් තිබූ ගුරුනගර් කඳවුරින් පිටවුණු හමුදා හමුදා ජීප් රියක් සහ ට්රක් රථයකට එල්ටීටීය විසින් බෝම්බ සහ වෙඩි ප්රහාරයක් එල්ල කරනු ලැබීමෙන් සෙබළුන් දහතුන් දෙනෙක් මිය ගියහ.
සෙබළුන් 13 දෙනාගේ සිරුරු බොරැල්ල කනත්තේ භූමදාන කෙරෙන බවට වාර්තා වීමත් සමඟ විශාල පිරිසක් ඒ වෙත ඇදී එන්නට වූහ. රජයේ වාහනවලින් ද විශාල පිරිසක් එම ස්ථානයට රැගෙන එන ලදහ. උ්රග්ර ජාතිවාදියෙකු වූ එක්සත් ජාතික පක්ෂයේ කර්මාන්ත හා විද්යා කටයුතු ඇමති සිරිල් මැතිව්ගේ හා එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිතිය වූ ජාතික සේවක සංගමයේ මැර පිරිස් දෙමළුන්ට විරුද්ධ මැර ප්රහාරවලට ආරම්භය ලබා දුනි. (ඊට පෙර යාපනය පුස්තකාලය ගිනි තැබීමේ තිරශ්චීන ක්රියාවට මූලිකත්වය දුන් අයෙකු ලෙස සිරිල් මැතිව්ගේ නම සටහන් වේ.)
ඒ අනුව කොළඹ ඇතුළු තදාසන්න ප්රදේශවල ද්රවිඩ පුද්ගලයන්ට පහර දෙන්නත්, නිවාස සහ ව්යාපාරික ස්ථාන කඩා දමා ගිනිබත් කිරීමත් ඇරඹිණි. එයින් නොනැවතුණු කළු ජූලිය, 3000කට ආසන්න පිරිසකට ජීවිත අහිමි කළේය.
ඒ කළු ජූලියයි.
පොලිස්පති රුද්රා රාජසිංහම් ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන් කොළඹ කනත්ත වෙත ගිය අතර තත්ත්වය එතරම් හිතකර නොවන බැව් ඔවුනට පසක් විය. පොලිස්පතිවරයා වහා වෝඩ් පෙදෙසේ පිහිටි ජනාධිපති ජයවර්ධනගේ නිවෙස කරා ගොස් ඉරිදා රාත්රියේ ඇඳිරි නීතිය ප්රකාශයට පත් කරන ලෙසට ඔහුගෙන් ඉල්ලා සිටිය ද එය ප්රතික්ෂේප කෙරිණි.
ප්රචණ්ඩත්වය පාලනය කරන ලෙසට ජාත්යන්තරයෙන් ජනාධිපති ජයවර්ධන හට බලපෑම් කරන ලදැයි පැවසේ. “කළු ජූලිය එල්.ටී.ටී.ඊ.ය විසින් උතුරේදී සොල්දාදුවන් 13 දෙනකු ඝාතනය කිරීමට එරෙහිව දකුණේ සිංහල ජනයා විසින් ක්ෂණිකව දක්වන ලද ප්රතිචාරයක් යැයි” ජනාධිපති ජයවර්ධන හා පාලක පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂ ඇමැතිවරු ප්රකාශ කොට ඇඟ බේරා ගන්නට උත්සහ කළහ..
1983 ජූලි 24 දා මම පස්සර, හිඟුරුකඩුවේ සැඟවී සිටි සරසවි සගයෙකුගේ නිවසින් මහනුවර බලා එමින් සිටියෙමි. සැඟවී සිටියේ විශ්වවිද්යාල ශිෂ්ය අරගලයකදී ආචාර්යවරයෙකු ප්රාණ ඇපකරුවෙකු ලෙස රඳවා තබා ගැනීමේ චෝදනාව මත රහස් පොලිසිය මා අත් අඩංගුවට ගනීවි යැයි සැකයෙනි. බදුල්ලට ළඟා වනවිට සවස් වී තිබිණ. මගේ සැලසුම වී තිබුණේ බදුල්ලේ පදිංචි මගේ තවත් සරසවි සගයෙකුගේ නිවසේ නැවතී සිට පසුවදා උදේ මහනුවර බලා පිටත් වීමටය. රාත්රිය ගෙවී ගියේ වෙඩිහඬ මධ්යයේය.
වෙඩි තබා තිබුණේ දමිළ නීතිඥයෙකුගේ ගෙදරට කඩාවදින්නට තැත් කළ ජාත්යාලයෙන් ඔද වැඩුණු සිංහල මකොල්ලකාරී මිනීමරුවන්ටය.
තමන් පෙරදා බේත් ගත් ඩිස්පෙන්සරියේ දෙමළ දොස්තරද, වරදින් ගැලවීම සඳහා නීති උපදෙස් ලබාගත් කළු කෝට්කාරයාද, තමන් නගරයට රැගෙන ගිය බස් රථයේ දෙමළ රියැදුරුද, ණයට සිල්ලර බඩු ගත් කඩේ දෙමළ මුදලාලිද පණ පිටින් පුළුස්සා මරා දමන්නට තරම් ජත්යාලය විෂඝෝර විය. කඩා දැමූ දෙමළ කඩවලින් වැසිකිළි නැති ගෙවල් වලට කොමඩ් කර තබන් යන්නටද, විදුලිය නැති ගෙවල් වලට ටීවී ඔසවාගෙන යන්නටද තරම් ජාත්යාලය පිස්සුවක්ම විය.
ඒ කළු ජූලියයි.
පසුදා මම මහනුවර බලා පිටත් වීමි. දහවල් නගරයට සේන්දු වෙද්දී නගරය පාළුය.. බසයෙන් බැස අනිවත්ත නවාතැන බලා පාගමනින් ගියේ පිලිස්සෙන මළ මිනීවල පුළුටු ගඳ මැදින්ය. රටේ අනෙක් ප්රදේශවල තත්ත්වය අති බිහිසුණු බව මා දැනගත්තේ අනිවත්තේ අපේ නවාතැනේ රැඳී සිටි සගයින්ගෙනි.
මහනුවර දෙමළ ව්යාපාරික පවුලක් ම්ලේච්ඡ ප්රහාරකයින්ගෙන් බේරාගැනීම සඳහා රැකවල් යොදාගෙන විශාල අවදානමක් යටතේ රැගෙන යන්නට අපට හැකිවීම ජීවිත කාලයේදී කරන ලද සත් ක්රියාවක් බව සිහිපත් කරමින් අදද සතුටු විය හැකිය.
ඒ කළු ජූලියේ සිංහල මැරයින් දෙමළුන් සංහාරය කළේ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවේ අනුග්රහය මැදය. ජේ.ආර්. ජයවර්ධන නම් වූ කුරිරුතම පාලකයාට මෙන්ම ඔහු නායකත්වය දුන් යූ.ඇන්.පී.යටද මා අදටත් වෛර කරන්නේ ඔවුන් විනාශ කළේ දකුණේ විසූ දෙමළා පමණක් නොව මුළු මහත් රටක අනාගතය බැවිනි.
ජේ.ආර්. මේ නිහීන ක්රියාවේ වගකීම පැවරුවේ වාමාංශික පක්ෂවලටය. ඒ අනුව කළු ජූලියට කිසිසේත්ම සම්බන්ධ නොවූ සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ මෙන්ම ජනතා විමුක්ති පෙරමුණද තහනම් කරනු ලැබීය. මැතිවරණ දේශපාලන ප්රවාහයට අවතීර්ණ වී සිටි ජවිපෙ බිම්ගත දේශපාලනයට පිළිපන්නේ මේ තහනමත් සමඟය. 87-89 ඛේදවාචකය ආරම්භ වන්නේ පක්ෂ තහනමේ දිගුවක් ලෙසය.
කළු ජූලියේ නිර්මාතෘවරුනි, ඊට උඩගෙඩි දුන් පාපතරයිනි, ඒ ආණ්ඩුවේ තනතුරු දරා දෙමළ සංහාරයට නිහඬ අනුමැතිය ලබාදුන්, තොපට සාප වේවා...!
~ හෙන්රි වර්ණකුලසූරිය