Powered By Blogger

Saturday 31 August 2019

කොටි අඩවියක කැලෑවක රාත්‍රියක්

  නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු  
නොකීකතා පෙළක් .
 

 

නාවික හමුදාවට බොහෝ කාලයකට පසුව තමයි නිත්‍ය සේවයේ කෙටි කාලීන අධිකාරිලත් (Regular Short Service Entry Commissioned) හමුදා නිලධාරීන් බදවා ගනු ලැබුවේ. ඒ වන විටත් නාවික හමුදා ස්වෙච්ඡා බලකායට බැඳී සිටි කටුබැද්ද සරසවියේ NDT හැදෑරූ සෝමතිලකත්, කටුබැද්දේ NDT ඩිප්ලෝමාධාරී සිරිමාන්නත්, පේරාදෙනිය සරසවියේ උපාධිය ලැබූ ඉංජිනේරුවන් වන කමල්, පද්මින් (වන්නි) හා මමත් ඉංජිනේරු අංශයට තෝරා ගෙන තිබූ අතර පේරාදෙනියේ විද්‍යා උපාධිධරයෙකු වූ සේනාරත්න මෙන්ම කැලණිය සරසවියේ විද්‍යා උපාධිධාරීන් වූ ප්‍රේමචන්ද්‍ර (ගඩොලා)හා රෝහිතත්, රුහුණු සරසවියේ විද්‍යා උපාධිධරයෙකු වූ ජයතිස්සත්, උපාධිධාරියකු නොවූවද උසස් පෙළ හදාරා වෙනත් පළපුරුද්දක් ලබා තිබූ බන්දුලත් විධායක අංශයට තෝරා ගෙන තිබුණා. කැලණියේ කලා උපාධිධරයෙකු වූ සිබේරා, ජයවර්ධනපුර සරසවියේ උපාධිධාරීන් වූ තිස්ස (UT) හා රූපසිංහ (ODC), පේරාදෙණියේ ජ්‍යෙෂ්ඨ වාණිජ උපාධිධාරියෙකු වූ රත්නසිරි මෙන්ම චාර්ටර්ඩ් අකවුන්ට්ස් වැනි විභාග සමත් කොට නේවි යුනිෆෝම් ඇදීමේ පිස්සුවෙන් නාවික හමුදාවට බැඳුණු ක්‍රිෂ්ණාද අයත් වුණේ සැපයුම් අංශයටයි. අප'තර සිටි නාමිකව හෝ දමිළයෙකු වූයේ ක්‍රිෂ්ණා පමණයි. (වරහන් තුළ යොදා ඇති අයගේ කෙටි නම් වලින් තමයි ඔවුනොවුන් හැඳින්වූයේ.)

අපේ කණ්ඩායමේ සිටි සියල්ල දත් අති පණ්ඩිතයෙකු ලෙස හැසුරුණු කටට බ්‍රේක් නැති සිරිමාන්න මුහුදු පුහුණුව අතරතුරදී අසනීප තත්ත්වයන් යටතේ නාවික හමුදාවෙන් ඉවත් වුණා. ඒ පළමු මාස හයේ පුහුණුවෙන් පසුවයි. අප බඳවා ගත්තේ පළමු මාස හය තුළ කිසිදු ආකාරයකින් නිවාඩු ලබා නොදෙන බවට වූ නිවේදනයක් සමඟයි. 

අප 15 දෙනාට අමතරව ස්වේච්ඡා සේවයේ (Volunteer Force) නිලධාරීන් පස් දෙනෙකුද පුහුණුව ලැබුවා. ඔවුන් අතරින් වෙනත් රැකියාවන් කරන අතර නාවික හමුදා ස්වෙච්ඡා ස්වේච්ඡා බලකායට බැඳුණු පේරාදෙනියේ කලා උපාධිධාරියෙකු වූ සෝමපාල හා කොළඹ සරසවියේ උපාධිධාරී රංජිත් අප හා බොහෝ සෙයින් සමීප වුණා. (ස්වේච්ඡා නිලධාරීන් වූ අනෙක් අයගේ නම් මතක නැහැ.) 

අපි සියලු දෙනාම පටවාගත් නාවික හමුදා ට්‍රක් රථය ත්‍රිකුණාමලය හබරණ පාරේ තඹලගමුව ආසන්නයේදී නැවැත්තුවා. ඒ සමගම අපට පිටුපසින් පැමිණ තිබූ අනෙක් ට්‍රක් රථයේ සිටියේ පුහුණුවන ප්‍රථම නාවික හමුදා සෙබළියන් පිරිසයි. කැලෑ පුහුණුවට අවශ්‍ය වන පරිදි බොඩි ආමර් යෙදූ හමුදා ඇඳුම් ඇඟලාගෙන, හැවර්සැක් (haversack) එකේ උණ්ඩ පිරවූ මැගසින් (magazine) දෙක බැගින් රඳවාගෙන, ටී-56 ස්වයංක්‍රිය ගිනි අවිය කරේ එල්ලාගෙන, බිස්කට් වැනි කෑම බීම වතුර බෝතල් රඳවා ගත් පැසක් එල්ලාගෙන තඹලගමුවෙන් උතුරු ප්‍රදේශයේ කැලෑවක් බලා අප පිටත් වුණේ සැබෑ මෙහෙයුමක යෙදෙන සෙබළුන් ආකාරයටයි. දුෂ්කරම කාර්යය වූයේ රාත්‍රියේදී Camp ගැසීම සඳහා අවශ්‍ය වන ටෙන්ට් හා අදාළ උපාංග ඔසවාගෙන යාමට සිදුවීමයි. අපත් සමග විවිධ නිලයන්ගේ පළපුරුදු සෙබළුන් පුහුණු කිරීම සඳහා සහභාගි වුණා. ඔවුන් අපට සර් කියා ඇමතුවත් අප තුළ ඔවුන් පිළිබඳව ගුරු ගෞරවය තිබුණා. එය අන්‍යෝන්‍ය අවබෝධයයි.

මාස කිහිපයකට පසු පුහුණුව අවසානයේ අප නිලධාරීන් ලෙස මුහුදේ මෙන්ම ගොඩබිම රාජකාරියේ යෙදෙන විට ඔවුන් අප යටතේ සේවය කරන බව දෙපිරිසම දැන සිටියා. උප ලුතිනන් හා ලුතිනන් නිලධාරී පටි පැළඳි පසු අප දෙන නියෝග වලට ඔවුනට යටත් වන්නට සිදුවන බව දැන සිටියත්, පුහුණ කාලයේදී අපට ඔවුන්ගේ නියෝගවලට යටත් වන්නට සිදු වුණා. තැනිතලා බිම් පසු පසුකොට ක්‍රම ක්‍රමයෙන් කන්ද මුදුනට නඟින්නට පටන් ගන්නා විට අපගේ ඇඳුම් සහ ගෙන යන ආම්පන්න වල බර දැනෙන්නට පටන් ගත්තා.

මේ ප්‍රදේශයේ විටින් විට කොටි සංවිධානය සහ හමුදාව අතර ගැටුම් ඇති වූ නිසා අපට තරමක් දුරට කල්පනාකාරීව ගමන් ගන්නට සිදු වුණා. ලුතිනන් කොමාන්ඩර් අබේසේන නිතරම අපට පැවසුවේ be vigilant කියායි. එකිනෙකා පසුපස එකිනෙකා වන්නට අප කැලෑව මැදින්‍ ගමන් කරද්දී පුහුණු වන සෙබළියන් පසුපසින් ඇදුණා. නියෝගයක් නොමැතිව ටී 56 ස්වයංක්‍රීය අවිය භාවිතා කිරීමට අවසර නැති වුවත්, ඒ වන විට අපට වෙඩි තැබීමේ පුහුණුව ලබාදී අවසන්. මැගසින් (magazine) එක ලෝඩ් කර, ඉලක්කය ගෙන ට්‍රිගරයට ඇඟිල්ල තබා උණ්ඩ වර්ෂාවක් නිකුත් කරන ආකාරය අපට පුහුණු කොට තිබුණා. 

මේ පුහුණුවේ විශේෂම අංගය වූයේ ප්‍රහාර එල්ල කිරීම නොව කැලෑව හරහා ගමන් කිරීමේදී ඇතිවන දුෂ්කරතා ජය ගනිමින් කෑම්ප් ගැසීමට පුරුදු කිරීමයි. ටෙන්ට් අටවාගෙන, ගිනිමැල ගසා ගෙන, නිදි වර්ජිතව මුර සේවා පවත්වා ගෙන යමින් ආරක්ෂාකාරී වෙමින් රාත්‍රිය ගත කිරීම සඳහා විශේෂ පුහුණුවක් අවශ්‍ය වුණා. ඒ සඳහා රාත්‍රිය වන විට ලුතිනන් කොමාණ්ඩර් බහා(ර්) පැමිණ සිටියා. 

කණ්ඩායම් බෙදෙමින් විවිධ පුහුණුවීම් කටයුතු වල යෙදෙන අතර තුර කොකකෝලා බෝතල තුළ සඟවාගෙන ආ මත්පැන් ක්‍රියාකාරී වී තිබුණා. මේ පිළිබඳව මූලිකව ම ක්‍රියාකාරී වී තිබුණේ ජයතිස්ස, රත්නසිරි, ප්‍රේමචන්ද්‍ර හා රූපසිංහ වැන්නන්. මත්පැන් රැගෙන ඒමේ මෙහෙයුම ඉතාමත්ම ඉතාමත් රහසිගතව සිද්ධ වුණේ අප කීප දෙනෙක් පමණක් දැනගෙනයි. කෙසේ වුව ද රාත්‍රියේ නිදාගන්නට පෙර මේ රහසිගත මෙහෙයුම හෙළිදරව් වී තිබුණා. මත්පැන් රැගෙන ඒමට මූලික වූයේ කවුරුන්දැයි කිසිවෙකුත් හෙළි නොකළ නිසා මුළු කණ්ඩායමටම පසුදා පනිෂ්මන්ට් (punishment) ලැබුණා. ලුතිනන් කොමාණ්ඩර් බහා(ර්)ගෙන් දඬුවම් ලබනවා යනු රිඹ ඇදෙන වැඩක්. එතරම් ශරීර ශක්තියක් නැති තරුණයෙකු වූ ක්‍රිෂ්ණා පවා රහස හෙළිදරව් නොකරමින්, කිසිවෙකුත් පාවා නොදෙමින් පනිෂ්මන්ට කෑවේ කණ්ඩායම් හැඟීමෙන් යුතුවයි.

මත්පැන් රැගෙන යාම වැරදි වැඩක් වුවත් කණ්ඩායම් හැඟීමෙන් යුතුව කටයුතු කිරීමෙන් පෙන්වූ යුනිටිය නිලධාරීන් අගය කළා.

කැලෑ පුහුණුව හමාර කොට පසු දා සවස් වන විට ආපසු ත්‍රිකුණාමලය නාවික තටාකාංගනයට අප ළඟා වූවා. ඒ ඇඟේ පතේ අමාරුව නැති වෙන්න වෙන්න දවස් කීපයක් ගෙවී ගියා. ඒ පැමිණෙන විට මා හට ගෙදරින් ලැබී තිබූ ලිපියක සඳහන් වූයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන මගේ පුනර් විභාග (repeat exam) පරීක්ෂණයක් සඳහා දින නියම වී ඇති බවයි.

සෙස්ස පස්සට...


No comments:

Post a Comment