ඥාති මළගෙයක යන්න රාත්‍රියේ කොළඹ බලා පිටත් වුණේ නැන්දම්මාගේ කාර් එකෙන්. පෙට්‍රල් වියදම අඩු කරගන්නයි ඒකෙන් ගියේ.
හීන් වැහිපොද එක්ක වින්ඩ්ස්ක්‍රීන් එකේ දූවිල්ල ඇලිලා. වයිපර් එකෙන් පිරිසිදු කරන්න බැලුවම ක්ලීනින්ග් ටෑන්ක් එකේ වතුර නෑ. මං ඒ බව කිව්වම නැන්දම්මා කියාපිව් "මං ඕවයෙ වතුර බලන්නෙ නෑ"
කාර් එක නවතලා බොනට් එක ඇරලා පුංචි මස්සිනත් එක්ක වතුර දාලා බොනට්ටුව වැහුවා. මං ඩ්‍රයිවිං සීට් එකේ ඉඳගත්තට පස්සෙත් මස්සිනා බොනට් එක දෑතින් තද කළා, හරියට වැහිලද බලන්න.
කටුනායකින් හයිවේ එකට දැම්මා. වේගයෙන් ස්පීඩ් කළා. හයිවේ එකට එන්ටර් වෙලා වේගය 120 විතර නග්ගන්න හිතාගෙන ඇක්සලේටරේ පෑගුවා. වේග සීමාව 100 පැන්නුවා. එක පාරටම විශාලා ශබ්දයක් එක්ක වින්ඩ්ස්ක්‍රීන් එක අඳුරින් වැසී ගියා. "කුරුල්ලෙක් හැප්පුණාද..?" කියල ක්ෂණික සිතුවිල්ලත් එක්ක මං එක වරම බ්‍රේක් ගැහුවා. වෙන විකල්පයක් නෑ. මට ඉදිරියේ මෙලෝ දෙයක් පේන්නෙ නෑ. ඇරත් ඒ වෙන කොට මං උන්නෙ ඔවර්ටේක් ලේන් එකේ.
මා දැඩි කම්පනයකට හා භීතිකාවකට පත් වුණා. හරිම ෂොක් එකක්. හැසාඩ් ලයිට් දාලා වමේ ලේන් එකට බොහොම අමාරුවෙන් ගත්තේ වේගයෙන් එන වාහන අතරිනුයි. "ඔයාලා බොනට් එක හරියට වැහුව කියල ෂුවර්ද..? ඉස්සරහ සීට් එකේ උන්න බිරින්දෑ ඇහුවා. මට තරු පෙනුණා. බොනට්ටුව විවර වී වේගයෙන් ඉහළට එසැවී විඩ්ස්ක්‍රීන් එක කුඩුකරමින් නැවතී තිබුණා.
මාත් මස්සිනාත් අඩ අඳුරේ බිමට බැස බොනට්ටුව ආයාසයෙන් මදක් පාත් කොටගෙන ඉතා හෙමින් ඉදිරියට ධාවනය කරමින් ජා ඇල එක්සිට් එකෙන් එළියට අවා. රාත්‍රියේ, මද වැස්සේ පාර පැහැදිලිව පෙනුණේත් නෑ.
කොළඹ ගමන අතහැර මීගමුව පාරට ඇවිත් ආපසු ගෙදර යන්න තීරණය කළා. හොඳ වෙලාවට සර්විස් ස්ටේෂන් එකක් ඇරල තිබුණා. ඒ ගොල්ල අපිට ජීවිත අනතුරක් නොවීම ගැන පුදුම වෙමින් බොනට්ටුව නැවත නො ඉස්සෙන්න වයර් එකකින් ගැටගහලා දුන්නා. මා හෙමින් යළි නිවස බලා ගියේ මද කම්පනයෙන් යුතුවයි.
මා හදිසියේ බ්‍රේක් ගසා එක වරම කාරය නවතද්දී ආසන්න පිටුපසින් එම වේගයෙන් වෙනත් වාහනයක් ආවා නම් සිදුවෙන්න තිබූ විනාශය අනෙක් අයට තේරුම් ගියේ මා ඒ බව කී පසුවයි.
නැන්දම්මා කිසිදු චෝදනාත්මක වචනයක් කිව්වෙ නෑ. "දෙන්නෙක් වහලත් බොනට් එක වැහුණෙ නෑ. මට බැහැල වහන්නයි තිබුණේ" කියලා එයාටම චෝදනා කරගත්තා.
"ඔයා ඉතිං බැහැල බලන්නෙපැයි. " සුපුරුදු ලෙස අම්මයි, දුවයි කොක්කක පැටලෙන්න ගිහිං යම්තම් ඒකත් බේරගත්තා.
තව පොඩ්ඩෙන් අපේ මළගම. ලේඛකයා සමඟ පවුලේ හතරක් අධිවේගී මාර්ගයේ නසී කියල පහුවදා පත්තරේ යන හැටි මං කියද්දි අනෙක් අය ඩිම් වෙලා උන්නා.
පහුවදා පාන්දරින් අපේ කාර් එකෙන් මළගෙදර ගියා. මදැයි පෙට්‍රල් වියදම ඉතිරි කරගන්න හයිබ්‍රිඩ් එකෙන් ගියා..
සෙස්ස පස්සට...
ඔයින් ගියා ඇති.
ReplyDeleteසීට් බෙල්ට් දාලා නේ ඉන්න ඇත්තේ, නැතිනම් වෙනත් අනතුරක් වෙන්න ඉඩ තිබුණා!
ඔව්...නැග්ග ගමං සීට් බෙල්ට් දානවාමයි.පුරුදු වුණේ විදේශයේදී.
Delete/* වේගයෙන් ස්පීඩ් කළා. */
ReplyDeleteමාර යෙදුම!
ව්‍යවහාරික ගණිතයට ඉගෙන ගත් පරිදි, වේගය හෙවත් ස්පීඩ් කියන්නේ කාලයත් සමග දුර වෙනස් වීමයි. ත්වරණය හෙවත් ඇක්සලරේෂන් කියන්නේ ස්පීඩ් එක කාලය සමග වෙනත් වීමටයි.
එනිසා වේගයෙන් ස්පීඩ් කිරීම කියන්නේ ත්වරණය ගැන විය යුතුයි!
හුදී ජනයාට තේරෙන භාෂාව.
Deleteඔයින් ගියා මදැයි...
ReplyDeleteමාර බේරිල්ලක්.
DeleteUnbelievable, deadly oversight, lucky escape. How the hell did you 2 do that? Even if you just drop the lid (without pressing hard to lock) there is a hook to catch it and will not normally open the lid easily.
ReplyDeleteYes lucky escape. We closed the lid gently. Then pressed it. We should not act gently with mechanical parts.
Deleteතව පොඩ්ඩෙන් "සෙස්ස පස්සට" නැති වෙන්නම තිබ්බා.
ReplyDeleteඅනිවා...සෙත්තපෝච්චි තමයි.
Deleteඑතකොට නැන්දම්මගෙ බොනට්ටුව වහගන්න බැනට බැරි වුණා
ReplyDeleteනෝ කොමෙන්ට්ස්...
Deleteජීවිතවලට කිසිඳු අනතුරු නොවීම ගැන සතුටු ය. ඔබේ දෑත් වලට ස්තූති යි. අම්මා,මල්ලී,අක්කා සහ ඔබ මාරකයකින් බේරි ඇත. තෙරුවන් සරණ යි.
ReplyDeleteඔව් මල්ලී...ඒ් මොහොතේ අතේ හුරුවටම කාරය පාලනය වුණා. ඒ් ගැන සතුටුයි.බහරේන් අධිවේග මාර්ගයක අංශක 180 න් ජීප් ඒක ආපසු හැරුණාට පසු නැවත මාරකයකින් බේරුණා.
Delete