Wednesday, 16 September 2020

පේරාදෙණි ගිහින් එන්න අනපේක්ෂිත නිවාඩුවක්

 නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු  

නොකීකතා පෙළක්.
 


 

නාවික හමුදාවට අධිකාරිලත් නිලයන් සදහා ඍජු බඳවා ගැනීම් යටතේ උපාධිධාරීන් හා අවසන් උපාධි පරීක්ෂණයට පෙනී සිට උපාධි පාඨමාලා අවසන් කොට තිබූ පිරිසක් අවශෝෂණය කර ගනිද්දී අප වෙත ඉදිරිපත් කොට තිබූ එක් ප්‍රධාන නියෝගයක් වූයේ පුහුණුව ලබන මාස 6 ඇතුළත කිසිසේත්ම නිවාඩු යා නොහැකි බවයි.

පවුලේ සමීපතමයෙක්ගේ මළගමකදී හැරුණු කොට නිවාඩු යාමට වෙනත් කිසිදු හේතුවක් ඉදිරිපත් නොකරන ලෙසද අපට දන්වා තිබුණා.

විශ්වවිද්‍යාල උපාධිය සම්පුර්ණ කිරීමට එක් විෂයයක් සමත් වීම සඳහා ඉතිරිව තිබූ හෙයින් පුනර් පරීක්ෂණයෙන් සමත් නොවී ඉජිනේරු උපාධිය ලබා ගත නොහැකි බවත් මා ඉතා හොඳින් දැන සිටියා.

ඒ නිසා පේරාදෙණියේ ඉංජිනේරු පීඨයේ පැවැත්වෙන විද්‍යුතය විෂයයයේ පුනර් පරීක්ෂණය සඳහා ගොස් පැමිණීමට නිවාඩු අයැදුම් කළ හැක්කේ කෙසේද යන උභතෝකෝටිකයට විසදුම් සොයන්නේ කවරාකාරයෙන්දැයි මට සිතා ගත නොහැකි වුණා.

ඉජිනේරු උපාධිය හැදෑරීමට විශ්වවිද්‍යාලයට ඇතුළත් වන සිසු සිසුවියන් අතරින් වැඩි දෙනා repeat වෙනවා. එනම් විෂයන් එකක් හෝ වැඩි ප්‍රමාණයක් අසමත් වෙනවා. ඒවා ඊළග වසර වලදි සමත් වන තුරු උපාධිය පිරි නැමෙන්නේ නැහැ.

මගේ අවසන් වසර විභාගය වන විට විවිධ වසර වලට අදාළ විෂයයන් ගණනාවක්ම නැවත ලියන්නට නියමිතව තිබුණා. එහෙම නොවුණා නම් තමයි පුදුමය. විශ්වවිද්‍යාලයේදී යෙදුණු විවිධ බාහිර ක්‍රියාකාරකම් හේතුවෙන් විභාග නිරායාසයෙන් සමත් වූවා නම් තමයි පුදුමයට කරුණ වන්නේ.

මගේ තෙවන වසර වන විට මා විශ්වවිද්‍යාලය තුළ විවිධාකාර සමිති සමාගම් 7ක නිලතල දරන්නෙකු වී සිටියා. සභාපති, උප සභාපති, ලේකම්, සංස්කාරක වැනි තනතුරු වල වගකීම් ඉටු කිරීමේදී දේශන මග හැරී ගියේ නිරායාසයෙනුයි. එසේම මගේ අවසන් වසරේදී විශ්වවිද්‍යාලය සිදු වූ මාරාන්තික උපවාසයකට සම්බන්ධ සිද්ධීන් වෙනුවෙන් මා රහස් පොලිස් භාරයට ගනු ලැබුවේ විද්‍යුතය – දෙවන කොටස විභාගයට පෙනී සිටි දවසකයි. මා ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවුවේ රහස් පොලිස් නිලධාරීන් මා අත්අඩංගුවට ගැනීම සඳහා විභාග ශාලාවට ඇතුළු වී ඇති බව දකිමිනුයි.

දැනට විදෙස් විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයකු ලෙස සේවය කරන මගේ සගයා ඊට පෙර දින එලෙස අත්අඩංගුවට ගත් නිසා එම නිශ්චිත දිනයේදී මා අත්අඩංගුවට පත්වන බව කවුරුත් දැනගෙන සිටියා.

මෙවන් විවිධ කාරණා හේතුවෙන් අසමත් වූ විද්‍යුතය විෂයයට (කොහොමත් විද්‍යුතය මට අරහං) පෙනී සිටීම ජිවිතයේ අත්‍යවශ්‍ය තීරණාත්මක කරුණක් වුණා.

අපගේ පුහුණුව භාර නිලධාරියා (Divisional Officer) වූ එවකට ලුතිනන් කමාන්ඩර් අබේසේන විදුලි ඉංජිනේරුවකු ලෙසයි නාවික හමුදාවේ සේවය කරමින් සිටියේ.

අවසානයේ අප තීරණය කළේ ලුතිනන් කමාන්ඩර් අබේසේනට මගේ ප්‍රශ්නය පැවසිය යුතුම බවයි. කවරාකාරයේ දෝස්මුරයකට ලක් වන්නට සිදු වුවත් ඉල්ලීම් කළ යුතු සුදුසුම පුද්ගලයා ඔහු බව තීරණය වුණා. අප කණ්ඩායමේ පුහුණුව භාර නිලධාරීවරයා සුපුරුදු ලෙස දිනකට දෙවරක් (එනම් උදේ පාන්දර හා සවස් භාගයේ) අපගේ නේවාසික නිවාසයට එන බැවින් මා ඒ අවස්ථාවේ මගේ ඉල්ලීම ඉදිරිපත් කිරීමට තීරණය කළා.

මගේ විස්තරය ඉතා සාවධානව අසා සිටී ලුතිනන් කමාන්ඩර් අබේසේන ඔහුගේ ඝන රැවුල සුරතින් පිරිමැද්දා. දොඹ ගෙඩි වන් පිටතට නෙරා ආ දෑසින් යුතුව මගේ ඇතුළාන්තය විනිවිදින්නට පටන් ගත්තා.

“You may request. I will see what I can do.” ඔහුගේ ගැඹුරු හඬින් එවන් පිළිතුරක් ලැබේ යැයි අප කිසිවෙකුත් බලාපොරොත්තු වුණේ නෑ. එතෙක් අපි ඔහු පිළිබඳ අවබෝධ කොට ගෙන සිටියේ සිත් පිත් නැති රෞද්‍ර නිලධාරියකු ලෙසයි.

එහෙත් පුහුණු කිරීම භාර නිලධාරියා තුළ වූ සැබෑ මිනිසා පිටතට පැන්නා කියා මා සිතන්නේ පසු අවස්ථාවල සෙබළුන් පුහුණු කිරීමේ නිලධාරියකු ලෙස කටයුතු කරද්දී මා හැසිරුණේද ඒ ආකාරයෙන්ම නිසයි.

විභාගයට පෙනී සිටීම සඳහා වූ නියමිත දිනය හා ගමනාගමනය සදහා දින දෙකක් ඇතුළු දින තුනක නිවාඩුවක් අනුමත කෙරුණා. විභාගයට ගොස් පැමිණීමට අවසර ලැබුණු බවත්, එහෙත් දෙමාපියන් බැලීමට ගෙදර ඒමට කාලයක් නොමැති බවත් මා අම්මාට ලියා යැව්වා. විභාගය හොදින් කරගන්නට ආශීර්වාද සහිතව පිළිතුරු ලියූ අම්මා, දැකබලා ගැනීමේ ආශාව තවත් මාස 4 ට පසු ලැබීමට නියමිත නිවාඩුව දක්වා කල්තබා ගත් බව දන්වමින් පිළිතුරු ලිපියක් ඒවා තිබුණා.

නාවික හමුදාවට බැඳුණු අපේ කණ්ඩායමේ අය අතරින් යුද පුහුණුව හා මුහුදු පුහුණුව අතරතුර මාස දෙකකට පසු දින තුනක නිවාඩුවක් ලබා ත්‍රිකුණාමලය නාවික කදවුරෙන් පිටතට ගොස් එන්නට අවසර ලැබුණේ මට පමණයි.

ජනවාරි 15 දා බඳවා ගැනීමේදී මුඩු කළ හිසේ කෙස් වැවී තිබුණේ මද වශයෙනුයි. මා විභාගයට පෙර දා රෑ බෝ වන්නට පළමුව අක්බාර් -නෙල් නේවාසිකාගාරයට ගොස් හිතවත් කණිෂ්ඨ සිසුවෙකුගේ කාමරයේ ගජේ ගැහුවා. සාමාන්‍යයෙන් විභාග කාලයට මෙසේ “ගජේ” ගහන්නට එන “ටුවා” ලා බොහොමයි. (ගජේ ගැසීම යනු – අනෙකුට අයත් දෙයක් පරිහරණය කිරීමයි. එය කාමරය, තුවාය, යට ඇඳුම, ෂර්ට්, කලිසම ආදී ඕනෑම දෙයක් විය හැකියි. “ටුවා” යනු “සංචාරය” වචනයේ ඉංග්‍රීසි අරුතින් බිදී ආවකි. විශ්වවිද්‍යාලයෙන් පිටවී ගොස් රැකියා කරන අතර තුර විභාගය සදහා පමණක් ඇවිත් යන සංචාරක සිසුන් හෙවත් ටුවලා බොහොමයි.)



ඉතිරිය  පහත link එකෙන් ආලෝචනා  අන්තර්ජාල සඟරාවෙන් කියවන්න.

සෙස්ස පස්සට...

 

 

 

4 comments:

  1. /* විශ්වවිද්‍යාලයේදී යෙදුණු විවිධ බාහිර ක්‍රියාකාරකම් හේතුවෙන් විභාග නිරායාසයෙන් සමත් වූවා නම් තමයි පුදුමයට කරුණ වන්නේ. */

    එසේ වුවත්, විභාග අසමත් වෙන්නේ කිසිසේත්ම බාහිර කටයුතු නිසා නම් නොවේ. ඔය කිසිදු ටිංකිරි වැඩක් නොකරන අය තමයි වැඩියෙන්ම අසමත් වෙන්නේ!

    ReplyDelete
    Replies
    1. දෙගොල්ලොම අසමත් වෙන අය අතර ඉන්නවා. මං කිව්වෙ විභාග අසමත් වෙන්නේ කිසිසේත්ම බාහිර කටයුතු නිසා පමණයි කියා නොවේ.

      Delete
  2. <3 ගෙදර විස්තරයක් ඇහුවා වගේ..බ <3

    ReplyDelete
    Replies
    1. මේ හත් වන කොටස.
      ඉඩක් ලැබුණාම මුල සිට කියවා අදහස් එක් කරන්න.
      www.alochana.lk

      Delete