Powered By Blogger

Tuesday 12 March 2024

මගේ සරම ඇඳන් බොග දැමූ සයිමන්......!

 

යිමන් නවගත්තේගම මගේ සාහිත්‍ය ලෝකයේ වීරයෙක්. මට අනුව ලංකාවේ විශිෂ්ටතම නවකතාකරුවා.
 
අව්‍යාජ චරිතයක්. තමන් දරන අදහස වෙනුවෙන් එළිපිට පෙනී හිටියා. සමහර ලියවිලි තුළ ඔහු සිටියා.
 
මා 90 දශකයේ මුල කොළඹ මහජන පුස්තකාලයේ දේශන ශාලාවක පැවැති සාකච්ඡාවකදී ඇමිනුණා. ඒ වන විට මිනීමරු ප්‍රේමදාස ඝාතකයාගේ "ජනසවිය" වැඩසටහනට සම්බන්ධ වීම ගැන අප තුළ වූයේ දැඩි 
ප්‍රතිවිරෝධයක්.
 
එතුමා ලියූ කෙටිකතාවක චරිතයක් වූ ලේකම්වරිය සැබෑ තරුණියක බවත්, එයා එක්ක යහන් ගතවූ අත්දැකීම කෙටිකතාවේ ලියූ බවත් ඔහු ප්‍රසිද්ධ සභාවක කිව්වා.
 
එකල අප ජවිපෙ ගර්භාෂයෙන් ඉපිද පුහු සුචරිතවාදයක් කරපින්නාගෙන උන්නේ. ඒ මතයේ ඉඳන් තමයි මා ඔහු එක්ක පැටලුණේ. මේ ගැන රාවය පත්තරේටත් ලිව්වා. නිහාල් පීරිස් අකුරක් නොකපා පළ කළා.
 
එදා කොළඹ මහජන පුස්තකාලයේ එතුමන් සමඟ සාහිත්‍ය, දේශපාලන කාරණා ගැන හැප්පුණු මා ඊට වසර දහයකට පෙර 80 දශකයේ මුලදී නවගත්තේගම ශූරීන්ට හදිසි බොගක් දාන්න සරමක් දුන් සරසවි සිසුවා බව කිව්වේ නෑ.
 
ඔව්...අහම්බෙන් පැණිදෙනියේදී හමු වී අක්බාර්-නෙල් ශාලාවේ මගේ කාමරයට ඇවිත් මගේ සරමක් හැඳගෙන බොගක් දැමූ සාහිත්‍ය ලෝකයේ දැවැන්තයා සයිමන් නවගත්තේගම ශූරීන් ..
 
එය මට විශාල ගෞරවයක්... ටික දවසක් ඒ සරම සේදුවෙත් නෑ..
කොහොමත් ඒ කාලේ තිබුණු එකම සරම ලේසියෙන් හෝදන්නේ නෑ නොවැ.
 

No comments:

Post a Comment