Powered By Blogger

Friday 27 September 2024

හරියටම නොකී කතාවක්...

 

උසාවියේ නඩුව තියෙද්දීම නාවික හමුදාවට......
 
විභාගය අවසන් වූ වහාම මගේ අනන්යතාව තහවුරු කොටගත් රහස් පොලිස් නිලධාරියා මා කැටුව පීඨාධිපති කාමරයට ගියා. පීඨාධිපතිතුමා ඔහුට පැහැදිලි කොට දුන්නේ විභාගයට පෙනී සිටින්න පැමිණි විට සරසවිය තුළදී අත් අඩංගුවට ගන්නා නිසා තමන්ටද වගකීමක් ඇති බවයි. එහෙයින් නීතිය හරියටම ක්රියාත්මක කරනු විනා සැකකාර ශිෂ්යයාට අවැඩක් නොවිය යුතු බව ඔහු අවධාරණය කළා..

රහස් පොලිස් පරීක්ෂකවරයා මා කෙලින්ම රැගෙන ගියේ පේරාදෙනිය පොලිසියටයි. ප්රශ්න කිරීම සඳහා පොලිසිය වෙනම කාමරයක් වෙන් කොට තිබුණා. පැය හයක් පමණ විවිධ ආකාරයෙන් එක දිගට ප්රශ්න කළත් මා දුන්නේ එකම උත්තරයයි. ඒ සැබෑව නොව අප කටපාඩම් කොට ගෙන තිබූ කතාවයි. 


මහාචාර්යවරයා පැහැරගැනීමට මා සෘජු ලෙස සම්බන්ධ වූ බව මගේ කටින් සාක්ෂියක් ලෙස දැන ගැනීමට ඔහුට අවශ්ය වුවත් කිසිදු ලෙසකින් මා එය පිළි ගත්තේ නැහැ.


දිවා ආහාරය සඳහා රහස් පොලිස් නිලධාරියාගේ පොකැට්ටුවෙන්ම මටත් එක්කම බත් පැකට් ගෙන්වාගත්තා. පහර දෙන බවට තර්ජනය කරමින් ප්රශ්න කළත්, මට කිසිදු ආකාරයක ශාරීරික හිරිහැරයක් නොකළ බව සඳහන් කළ යුතුයි. රාත්රී 7.00 ට පමණ මහේස්ත්රාත්වරයාගේ නිවසට මා ඉදිරිපත් කොට රිමාන්ඩ් බන්ධනාගාර ගත කළා.

එවකට මහනුවර උසාවියේ ජ්යෙෂ්ඨ නීතිඥවරයෙකු වූ විජය වික්රමරත්න කිසිදු මුදලක් අය නොකොට නඩුව අවසන් වන තෙක්ම කතා කළේ මහා ශිෂ්ය සංගමයේ ඉල්ලීම පිළිගනිමිනුයි. ඔහුගේ කණිෂ්ඨ ලාල් විජේනායක විටින් විට පෙනී සිටියා. මා ඒ අතරතුර විශ්වවිද්යාල අධ්යාපනය හමාර කොට අවසන් ව්භාගයට මුහුණ දුන්නා.

සමාජවාදී ශිෂ්ය සංගමයේ නියමුවෙකු හා පසුකාලීනව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයෙකු වූ ධම්මික මහත්තයා ලෙසින් ප්රේමදාස ආණ්ඩුව සමඟ සාකච්ඡා වලට පසු කාලයේ ජවිපෙ නියෝජනය කළ ආනන්ද ඉඩමේගමගේ ඉල්ලීම හා උපදෙස් මත ලැබුණු අවස්ථාවෙන් ප්රයෝජන ගෙන මා නාවික හමුදාවට බැඳුණේ මේ නඩුව පවතිද්දීමයි.

ගමේ පොලිසිය මා ගැන යැවූ වාර්තාවේ මා ඉතා හොඳ කල්කිරියාවෙන් යුතු තරුණයෙකු බව සඳහන් වී තිබුණා. මට උසාවියේ නඩුවක් තිබූ බව ගෙදර අයත් දැනගත්තේ නඩුව හමාර වූවාටත් පසුව නිසා පොලිසිය කොහේ දැනගන්නද....?

මා නඩුවෙන් නිදහස් වුණේ නාවික හමුදා නිලධාරියෙකු ලෙස උසාවියට ඉදිරිපත් වෙමිනුයි. මා නිවාඩු ලබා ගත්තේ පෞද්ගලික අවශ්යතාවකට බව සඳහන් කරමින් නිසා මට උසාවියේ නඩුවක් තිබූ බව ඉහළ නිලධාරීන් පමණක් නොව මගේ සගයින්ද දැන සිටියේ නෑ.

වසර 5 ක නාවික හමුදා ජීවිතයේ වැඩි කාලයක් මා ගත කළේ ත්රිකුණාමලයේ නාවික තටාකාංගණයේ යි. නිලධාරි නිවස්නයේ සිටි මා මුණ ගැසෙන්නට පිටස්තරයෙකුට එන්නට බාධාවක් තිබුණේ නෑ. ඒ වගේම මා හමුවන්නට එන අමුත්තෙකු ප්රධාන ගේට්ටුවට ගොස් කැඳවාගෙන ඒමටත් මට අවකාශ තිබුණා.

දේශප්රේමී ජනතා ව්යාපාරය දකුණේ ක්රියාකාරකම්හි යෙදුණු යුගයේ අවස්ථා කිහිපයකදී ජවිපෙ ධම්මික මහත්තයා මෙන්ම දේජව්යාපාරයේ කබ්රාල් නොහොත් සමන් පියසිරි මා හමුවන්නට නාවික තටාකාංගනයට ආවේ තවත් පිරිසක් සමඟ සම්බන්ධතා පවත්වන්නටයි.

කබ්රාල්ගේ සූක්ෂම ක්රමවේදයට අනුව ඔවුන්ගේ ජාලයේ එක් හමුදා පුද්ගලයෙකු දැන සිටියේ තවත් එක් අයෙකු පමණයි. මා දැන සිටියේ මට ඉහළින් සිටි ලුතිනන්වරයෙක්.

"යන්තරය" ඕනෑම අවස්ථාවක ක්රියාත්මක වීමේ සූදානමින් සිටියා. ඉහළින් ගන්නා තීන්දුව ක්ෂණයෙන් සම්ප්රේෂණය කිරිමේ සන්නිවේදන ජාලය ගොඩ නගා තිබුණා. යන්තරේ ත්රිවිධ හමුදා සාමාජිකයින් හීන් හුයකින් ගැටගසා තිබුණා. තීරණාත්මක අවස්ථාව උදා වූයේ නම් "යන්තරේ"
එළි බසින්නට නියමිත වුණා.

ඒත් දිනය උදා වූයේ නෑ.

මා නිවාඩු පිට ගමේ ආ සෑම අවස්ථාවකදීම ධම්මික මහත්තයා හා තවත් අය මුණ ගැසීමට හමුවීම් යොදා ගත්තා. විටෙක කොටුව ගුණසේන පොත් හල, වත්තල හා මහර විවිධ තේ පැන් ශාලා මෙන්ම කඩවත පැත්තේ පොල් වත්තක් මැද පිහිටි නිවාසයක් මේ සඳහා තෝරා ගත්තා.

ඉඩමේගම අවසන් වරට මා හමුවන්නට යොදාගෙන තිබුණේ ගුණසේන පොත් හල ඉදිරිපිටදීයි. යොදාගත් වෙලාවට හමු වීම අනිවාර්යයයි. පමා විය හැක්කේ මිනිත්තු දහයයි. එකල අප අත ජංගම දුරකථන තිබුණේ නෑ.
මට කතා නොකොට බිම් බලාගෙන මා අසලින් පසුකර යන ගමන් ආනන්ද ඉඩමේගම බාප්පලා පස්සෙන් කියා හෙමින් මිමිනුවා.

ඒ මා ඔහු දුටු අවසන් දවසයි.

මෙවන් සටහන් කිසිදා ලියන්නට සුදුසු අන්දමේ රාජ්ය පාලනයක් මේ තරම් ඉක්මනින් උදා වේ යැයි මා බලාපොරොත්තු වූයේ නෑ. මීට පෙර මේ කතා ලිව්වේ අසම්පූර්ණ ලෙසයි. දැන් නිදහසේ අතපය දිගහැර නිදාගන්නටත්, අත හිත නිදහස්ව ලියන්නටත් බියක් නෑ.
 
සෙස්ස පස්සට.....

No comments:

Post a Comment