Powered By Blogger

Monday, 13 June 2016

වළේ හූවෙන් අහිමි ජීවිත



මේ සංගදිය වුණේ හන්තාන අඩවියේ උපාධියට කඹුරන කාලෙදියි  ඕං.

කොටින්ම කිව්වොත් ශිෂ්‍යයා කාලෙදි.


ඒ කාලෙ සොකක්, ඩොකක් විතරක් නොවෙයි වළේ නාට්‍යයක් ප‍ෙන්නුවත් අපි එතැන ඇති. ඒ තරමටම ඇම්ම. ගාය.


සොක කිව්වෙ film society එකෙන් පෙන්නන වෘතාන්ත චිත්‍රපටියකට. Society කියන වචනෙ තමයි සොක වෙලා සොකෙන් පෙන්නන 
චිත්‍රපටිවලට සොක කිව්වෙ.


“අද සොක බලන්න යන්නෙ නැද්ද ?” කියල ඇහුවම ඕනෙ කෙනෙක් දන්නව කලාගාරෙ චිත්‍රපටයක් පෙන්නන බව. සොකට ගෙනාවෙ අපූර්ව විදෙස් චිත්‍රපට. අවුරුද්දටම ෆිල්ම් බලන්න කොටු කපන කාඩ් කෑල්ලක් ඒ කාලෙ හැටියට රුපියල් දහයකටද කොහෙද තමයි විකුණුවෙ.


ඩොක කිව්වෙ Documentary නැත්නම් වාර්තා චිත්‍රපටි වලට. ඩොක පෙන්නුවෙ නොමිලෙ. ගොඩක් කපල්ස් හවසට කම්මැලි හිතුණම ඩොකට ගියා.


වළ ගැන කියන්න ගෙහුං සොක, ඩොක ගැනනෙ කිව්වෙ.

අවුරුද්දකට වතාවක් වළ සතිය එනවනෙ. වළේ නාට්‍ය බලන්න නං අහල පහල ගං වලිනුත් පවුල් පිටිං එනව. ඒ මුදලට කොහෙන්වත් නාට්‍යයක් බලන්න බැරි නිසාම නොවෙයි. වළේ නාට්‍යයක් බලන එක අපූරු අත්දැකීමක් නිසා.


එක අතකින් එළිමහන් රංග පීඨයක, පිණි බාමින් නළු නිළියන් හා බොහොම සමීපව නාට්‍යයක් නරඹන එක වෙනස්ම අත්දැකීමක්.


අනෙක් අතට වළට ගේන්නෙ ඒ ඒ වසරෙ හොඳම වේදිකා නාට්‍ය තමයි. හූවක් නැතිව පේරාදෙනි වළේ නාට්‍යයක් පෙන්න ගන්න ලැබෙනව කියන්නෙ විශාල ජයග්‍රහණයක් විදිහටයි බොහොමයක් නාට්‍යකාරයො සළකන්නෙ.


සරච්චන්ද්‍ර වළ කියලත් හඳුන්වන පේරාදෙනි සරසවියෙ එළිමහන් රංග පීඨය පිහිටල තියෙන්නෙ ගලහ පාරෙ හිල්ඩා ඔබේසේකර නේවාසිකාගාරය ආසන්නයේමයි.


හිල්ඩ එකේ බැල්කනියට නැග්ගම පහළින් තියෙන වළ පේනව. රඟපානවත් පේනව. ඒත් සමහර වෙලාවට දෙබස් පැහැදිලිව ඇහෙන්නෙ නෑ.


මේ කියන දවසෙ පෙන්නන්න නියමිත වෙලා තිබුණෙ නාට්‍යකලාව පිළිබඳ පශ්චාත් උපාධිය දැරූ ලංකාවේ හිටිය එකම ආචාර්යවරයා වූ දිවංගත සාලමන් ‍ෆොන්සේකාගේ “අහිමි ජීවිත” නාට්‍යය.


කවුරුත් නාට්‍යය ගැන ලොකුවට බලාපොරොත්තු තියාගෙන උන්නෙ සාලමන් ෆොන්සේකා කියන්නෙ පිටරට ගිහිං නාට්‍යකලාව හදාරල ආව කෙනෙක් නිසයි.


ඔන්න නාට්‍ය දර්ශනය පටංගත්ත කියමුකෝ.


වළ පිරෙන්න සෙනග. ඉඩ නැතිවද, ගජේට සෙට් වෙන්නද මංදා සෑහෙන පිරිසක් වළෙන් එළියෙත් උන්නා.


නාට්‍ය නිවීහැනහිල්ලෙ වේදිකාගත වෙනවා.


වැඩි සද්දබද්ද තියෙන, දැඟලිල්ල තියෙන නාට්‍යයක් නොවුණ හංදා එච්චර ගෝ එකක් තිබුණෙ නෑ.


මෙන්න එකපාරටම උඩහින් මෙහෙම සද්දයක් ආව.


“තව ටිකාක් හයියෙන් ‍කිව්ව නාං........” කියල.


දෙබස් එතරම් සද්දෙට ඇහෙන්නෙ නැති නිසාද කොහෙද මීයකට පිම්බ වගේ සද්ද බද්ද නැතිව උන්න ප්‍රේක්ෂකාගාරය මදක් සලිත වුණා. කසුකුසුවක් මතු වුණා.


සුපුරුදු විදිහට තැනින් තැන  “ෂූ.....” සද්දයක් ආවම හැමෝම නිහඬ වුණා.


ටිකකින් ආහෙම උඩහින් හයියෙන් සද්දෙ ආවා. ඒ හඬ  නාට්‍යයේ දෙබස් අබිබවා පැතිරුණා.


“ ඇහෙන්නෙ නැතෝ...තව ටිකාක් හයියෙන් ‍කිව්ව නාං........”


ඒ එක්කම ප්‍රේක්ෂකාගාරයෙන් “ඒයි මෝඩයා.....” කියල එකෙක් කැගැහුවෙ උඩහින් සද්දෙ දාන එකාට.


ඒ එක්කම වළේ තැනින් තැන “කටවහපන් මෝඩයා...”, “ ඒයි මෝඩයා” වගේ දෙබස් සද්දෙට මතු වුණා.


ඒ එක්කම හැමෝම මොනාහරි කතා කරන්න පටන් ගත්ත නිසා විශාල ඝෝෂාවක් පැතිරුණා.


මේ ඝෝෂාව නවතන්න “ෂූ....” සද්දෙට පුළුවන් වුණේ නැහැ.


ඒ එක්කම "හූ......." සද්දෙකුත් ආව.


ආයෙ කියන්න දෙයක් ඇතැයි. කැම්පස් එකේ හූවක් ආවොත් ආයෙ ලේසියෙන් නවත්තන්න කියලයැ.


අර බණ්ඩාරනායක අගමැතිටත් හූ කිව්ව එකේ. 


හැබැයි බණ්ඩාරනායක නං කිව්වලු “ලොකු නරිය ආවම පොඩි නරි හූ කියන එක පුදුම වෙන්න දෙයක් නොවෙයි” කියල. එතකොට හූව කොහෙන් ගියාද නැති වුණාලු.

ඒත් සාලමන් ෆොන්සේකාට ඒ ඉවසිල්ල තිබුණෙ නෑ.


නළු නිළියො වේදිකාව පිටුපස ඉද්දි වේදිකාවට තනිවම ආව ආචාර්යතුමා කෝපයෙන් කෑ ගැහුවා.


“ මොකාද හූ කියන්නෙ. නාට්‍ය බලන්න බැරි උන් පලයව්. විශ්වවිද්‍යාලෙ කිව්වම මං හිතුවෙ බුද්ධියක් තියෙන උං ඉන්න තැනක් කියල. දැං බලද්දි මුං සේරම නරි”


ඔය වචනම නොවුණත් ඔය වගේ සද්දයක් දැම්ම.


ආයෙ මොන ජගතට කියන්නද...


මුළු වළම විතරක් නොවෙයි වළෙන් පිටතත්, හිල්ඩා ශාලාවෙත් එකම හූවකින් ගිගුම් දෙන්න පටංගත්තා.


ඊට පස්සෙ සක්කරය ආවත් හූව නවත්තනව බොරු.


නාට්‍ය නවත්තල අකුලං යනකල්ම හූව නැවතුණේ නෑ.


ඔන්න “අහමි ජීවිත” නාට්‍ය දර්ශනය අහිමි කොරගත්ත හැටි.


සේරම අවසන් වෙලා සාමකාමී වුණාමයි දැනගත්තෙ.

මුලින්ම කෑ ගහල තියෙන්නෙ හිල්ඩා ශාලාවෙ බැල්කනියට වෙලා නොමිලේ නාට්‍ය බලපු එකෙක්. මිනිහට උඩට ඇහෙන්නෙ නැති නිසයි “තව ටිකාක් හයියෙන් ‍කිව්ව නාං........” තියල සද්දෙ දාල තියෙන්නෙ.
ඒකටයි මෝඩයා කියල ප්‍රතිචාර දක්වල තියෙන්නෙ.


සාලමන් ෆොන්සේකා හිතල තියෙන්නෙ නාට්‍ය හොඳ නැති නිසා එතුමාට මෝඩය කිව්ව කියලයි.


ඒකයි තරහ ගිහිං වේදිකාවට ඇවිත් බනින්න පටංගෙන තියෙන්නෙ.


අන්තිමේට වුණේ සල්ලි වලට ටිකට් අරං නාට්‍යය බලන්න ආව අයට නාට්‍යය අහිමි වීමයි.


ඒකනෙ කියන්නෙ හූවක් නැතිව පේරාදෙනි වළේ නාට්‍යයක් පෙන්න ගන්න ලැබෙනව කියන්නෙ විශාල ජයග්‍රහණයක් කියල.







කෙටිකතා එක්ක කවි   කියවන්න. මෙතැනට යන්න 

Thursday, 2 June 2016

අසමජ්ජාතියෙකු දෙබරයකට ගල් ගැසීම



















හඳගම සුපුරුදු ලෙස සිංහල සිනමා දෙබරයට ගල් ගසා ඇත. ඒ ගල් පහර දරාගත නොහී විචාරකයන්ද, විචාරකයින් කියා ගන්නා අයද, බුද්ධිමතුන්ද, ප්‍රාමාණිකයන්ද නන් දොඩවන්නට පටන්ගෙන ඇත.

අයෙකුට අනුව  මේ  චිත්‍රපටය හොලිවුඩ් චිත්‍රපටයක කොපියකි. ඒ නම් අමුම අමු කෙප්පයකි. ඇස්, කන් විවර කොට  නරඹන කිසිවෙකුටත්  "Elegy"  හොලිවුඩ් චිත්‍රපටය හා "ඇගේ ඇස අග" අතර කිසිදු සමානකමක් නොපෙනෙනු ඇත.

තවත් අයෙකු පවසන්නේ චිත්‍රපටය නරඹද්දී තමන් නිරුවත් වූවා සේ දැනුණු බවය. නැතහොත් පපුවට වැදුණු පිහිපහරකින් තවමත් සිහිසුන්ව සිටින බවය. හඳගම ඔලුවටයි, පපුවටයි තඩිබෑමෙන් බෙහෙත් කොට සුව කළ නොහැකි තුවාලකාරයෙක් වූ බවය. තවත් කෙනෙකුට දැනී තිබුණේ තමන්ව උස්සා පොළොවේ ගැසූ සෙයකි.. නැතහොත් කන්නාඩිය ඉදිරිපිට සිටගෙන සිටින තමන්වම පෙනුණ බවය. සමහරු චිත්‍රපටයේ ෆැන්ටසිය තුළ ජීවත්වෙන අතර තවම ඇහැරී නැත.

අපේ රටේ විචාරක මෙන්ම වෙනත් අදහස් දැක්වීම්ද එසේය.

"මේ මගේ සඳයි", " තනි තටුවෙන් පියාඹන්න", "අක්ෂරය" පමණක් නොව "ඉනි අවන්" මගින්ද සිනමා බස හැසිරවීමේ කලාව ප්‍රගුණ කළ හඳගම  "ඇගේ ඇස අග" චිත්‍රපටයේදී ද එකී ගුණාංග රඳවා තබා ගැනීමට සමත්වීම සතුටට කරුණකි.

මම අශෝක හඳගමගේ චිත්‍රපට වලට බෙහෙවින් ඇලුම් කරන්නෙක් බව පැවසීමට මැලි නොවෙමි. "මේ මගේ සඳයි" චිත්‍රපටය නිර්මාණය කිරීමත් සමඟ  සිංහල සිනමාවේ තුන්වැනි විප්ලවකාරයා ලෙස සම්භාවනාවට පාත්‍ර වූ හඳගම "අක්ෂරය" චිත්‍රපටය මගින් සිංහල සිනමාවේ කඩයිමක් සනිටුහන් කළේය.

"අක්ෂරයේ"ම දිගුවක් ලෙස නිර්මාණය වී ඇති, නැතහොත් "අක්ෂරය" මතු කළ කතිකාව වෙනත් මානයකින් කරළියට ගෙන එන්නට වෙර දරන "ඇගේ ඇස අග" එකී නිර්මාණය මත තබා කියවන්නට උත්සහ දරමු.



අප ජීවත් වන්නේ වීදුරු ගෙවල් තුළ හෙළුවෙන් වෙසෙමින් ඒ බව පෙන්වන්නවුනට ඇතුළේ සිට ගල් ගසන සමාජයකය.

ප්‍රසිද්ධ මා‍ර්ගයක් අද්දර තම කාරය තුළ අඩ නිරුවත් ලිංගික චර්‍යාවක යෙදුණ ලංකාවේ අගවිනිසුරුවරයා, "අක්ෂරය" චිත්‍රපටයේ කෞතුකාගාර  මුරකරු, විනිශ්චයකාරියක  කටුගේ තුළදීම බිම පෙරළා ගෙන සංසර්ගයේ යෙදෙනු  දැකීමෙන් වියරු වැටෙන්නේ  එබැවිනි.

"අක්ෂරය" ආරම්භක ජවනිකාවලදී මවක් සිය පුත්‍රයා සමග නිරුවතින් නාන බේසමක සංවාදයේ යෙදී සිටින අයුරු පෙන්වීමෙන් සිංහල සිනමා දෙබරයට පත කළු ගලකින් පහර දුන් හඳගම, "ඇගේ ඇස අග" ආරම්භයේදීද වියපත් විශ්වවිද්‍යාල  මහාචාර්‍යවරයෙකුට  විදහා දක්වන ශිෂ්‍යාවකගේ නග්න සිරුර ප්‍රේක්ෂකයාට පෙන්වීමෙන් ලංකික සිනමා දෙබරයට ගල් කැටයකින් දමා ගසයි.

ඒ සමග තුෂ්නිම්භූත වන පිරිස නන්දොඩවන්නට පටන් ගන්නේය යනු  මගේ විශ්වාසයයි.

චිත්‍රපට ආරම්භක  ජවනිකාවේ මෙන්ම අවසන් ජවනිකාවේද වැසිබර මොහොතක රථයක වින්ඩ්ස්ක්‍රීනය හරහා ව‍යිපර්  බ්ලේඩ් අතරින් ලෝකය දකින්නට සලස්වන හඳගම, ඒ අතරතුර සමස්ත ධාවන කාලය පුරාම අපව සිනමා ශාලාවේ අසුන්මත ගල් කොට තබන්නට සමත් වෙයි.

මේ ලක්ෂණය හඳගමගේ වෙනත් චිත්‍රපට වලදීට වඩා ප්‍රේක්ෂකයා ඇඳබැඳ තබාගන්නා ලක්ෂණයකි. කාලය  හා අවකාශය පිළිබඳ සම්මත ව්‍යාකරණ පසෙක තබා සංස්කරණයේදී පිනුම් ඡේදන (Jump cut) භාවිතා කළ හඳගම ඉතා සුමට සංස්කරණ ලක්ෂ්‍යයන් තෝරා ගැනීමෙන් "ඇගේ ඇස අග" චිත්‍රපටයට ලබා දෙන්නේ වෙනස් සත්කාරයකි.

චිත්‍රපට ශාලාවට පැමිණ අසුන් ගන්නා ප්‍රේක්ෂකයාට දර්ශනය අවසාන වන තුරු විඩාවක් නොදැනෙන්නට, ෆැන්ටසියෙන් මිදෙන්නට ඉඩ නොදෙන තරම් හඳගමගේ සිනමාව ප්‍රබලය.

ඇඳේ පොරවන රෙද්දක සිදුරක් හරහා කැමරාව ගමන් කරවමින් පිටත ලෝකයට නිරාවරණය නොවූ රහස් ක්‍රියාවන් ගෙන හැර පෑම වැනි අවස්ථාවලදී හඳගමගේ නිර්මාණශීලීත්වය මොනවට කැපී පෙනේ.

කවදත් තිර පිටපතට මනා ලෙස සත්කාර  කරන (visual treatment), මා දනා පරිදි ස්ටෝරි බෝඩ්(story board) මගින් රූපරාමු නිශ්චය කරන අශෝක හඳගම සිද්ධි පුරුද්දන්නේ මුතු මාලයකට මුතුඇට අමුණනවා සේය.

එහෙත් අතරින් පතර හමු වන මෙන්ම චිත්‍රපටය පුරා වැටෙන දුර්වල හෙවනැලි කිහිපයක් නිසා මහාර්ඝ කෘතියක් (masterpiee) ලෙස නිමවෙන්නට පිඹුරුපත් සැකසූ චිත්‍රපටයට හානි සිදු වී ඇත.

මා දකින සුවිශේෂතා මෙන්ම නොගැලපීම් පෙන්වා දීමේ අරමුණ වන්නේ අප බෙහෙවින් ආදරය කරන සිනමාකරුවෙකුගෙන් හෙට දවසේ මහාර්ඝ කෘතියක් නිමවනු දැකීමේ අපේක්ෂාවය.  මගේ පෞද්ගලික විශ්වාසය වන්නේ ලාංකික සිනමාව තුළ අද දවසේ ඒ සඳහා ශක්‍යතාව ඇති එක්   අයෙකු වන්නේ හඳගම බවය. අනෙකා ප්‍රසන්න විතානගේය.

වයසින් මුහුකුරා ගිය, මහලු වයසේ යැයි පෙනුමින් අනුමාන කළ හැකි (මා එසේ පවසන්නේ මේ චරිතය රඟන නළුවාගෙන් ප්‍රකාශිත වයස අවුරුදු හැත්තෑපහක් වත් වන්නට ඇතැයි උපකල්පනය  කරමිනි) විශ්වවිද්‍යාල මහාචාරයවරයෙකු හා ප්‍රේමයෙන් බැඳෙන සරසවි ශිෂ්‍යාවකත්, ඒ හේතුවෙන් වික්ටෝරියානු සදාචාරයෙන් හික්මුණ පවුල් සංස්ථාව  තුළ නීතිමය බලය හිමි කසාද ගැහැනිය  මුහුණ දෙන ව්‍යාකූලත්වයත් ඉතා සූක්ෂමව  විදාරණය කරන්නට සමත් වන  හඳගම,  තමාගේම දියණිය මහාචාර්‍යවරයාගේ දියණිය   බවට පත්කොට ගනිමින් නව  යොවුන් තරුණියගේ  භූමිකාව මැනැවින් නිරූපනය කරයි.

මෙහිදී කිසියම් අවිශ්වසනීය බවක් පැන නගින්නේ ලංකාවේ විශ්වවිද්‍යාල කථිකාචාර්‍යවරයෙකු ලෙස සේවය කිරීමේ  උපරිම වයස්  සීමාව අවුරුදු හැටපහක් වීමේ තාක්ෂණික ගැටළුව නිසයි. සේවා දිගුවක් ලැබූවද  තවත් වසරක් දෙකක් රැඳී සිටින්නට  ඉඩ ලැබෙන  නමුදු මේ චරිතය සඳහා තෝරාගත් නළුවාගේ පෙනුම අනුව මේ අවුල  සාධාරණීකරණය වන්නේ නැත. ඉතා මැනැවින් සාත්වික අභිනයේ යෙදෙන "ප්‍රතිද්වන්ද්", "ජනශාතෲ", "15 පාර්ක් අවෙන්‍යු" වැනි බෙංගාල  චිත්‍රපට වල විශිෂ්ට රංගනයක  යෙදුණු ද්‍රිතිමන් චැටර්ජිගේ රංගනය පිළිබඳ සිහිපත්  කරමින් වුව සිද්ධි  දාමයේ මූලික හරයට මේ වයස්ගත පෙනුම නිසා  ඇතිවන සෘණාත්මක බලපෑම ගැන සඳහන් කිරීමට සිදු වේ.


කෙසේ වුවද ලාංකික සිනමාව  තුළ මේ  චරිතය රඟන්නට රංගනශිල්පියෙකු නොමැති වීමේ ඛේදවාචකය හමුවේ හඳගම  මේ විකල්පය කරා  යොමුවෙන්නට ඇතැයි තේරුම් ගනිමින් මේ නොගැලපිල්ලේ  එල්ලී සිටින්නට නොකැමැත්තෙමි.

"ඇගේ ඇස අග" චිත්‍රපටයේ මා වඩාත්ම ඇලුම් කරන රංගනයක යෙදෙන්නී සඳලීය. එවන් කුටුම්බයක් තුළ හුදෙකලා වන නව යොවුන් තරුණියගේ භූමිකාව සඳලී වටහා ගන්නා ආකාරයත්, එය ප්‍රතිනිර්මාණය කිරීමේ සූක්ෂමතාවත් අගය කළ යුතු වන්නේ වඩාත්ම මේ ඇයගේ ප්‍රථම සිනමා රංගනය වන බැවිනි.

ඇයට කැමරාව වගේ වගක් නැත. බොහෝ සෙයින් ඇයට රඟන්නට නියමිත වන්නේ බොහෝ කලක් ජීවත් වූ තමන් වෙසෙන නිවස තුළම වීම ඇගේ සැහැල්ලුව (relaxation) වර්ධනය වීමට හේතුවක් වන්නටද ඇත. 

සිය මවගේ ලෝකයෙන් දුරස්ව, තමන් සකසා ගත් නැතහොත් තෝරා ගත් ගර්භාෂයක් තුළ දවස ගෙවන මේ නව යොවුන් තරුණිය කතා කරන්නේ වචන කිහිපයක් වුවද, ඇගේ නිහඬතාව මුමුණන්නේ ඉහළ මධ්‍යම පාංතික පවුල් සංස්ථාවේ හරස්කඩක නිරන්තරයෙන් දෝංකාර දෙන ඛේදවාචකයයි.

තරුණ වියේ ආකර්ශනය සිහිපත් කොට දීම යන අරුතින් මෙන්ම සිය රංගන ජීවිතයේදී දැක්වූ අර්ථාන්විත ප්‍රතිභාව ගැන සළකා බැලීමේදී හෙළ සිනමාවේ මා අතිශයින් අගය කරන නිළිය වන ස්වර්ණාමල්ලවාරච්චි තෝරාගැනීම පිළිබඳ පුදුම නොවන නමුදු "ඇගේ ඇස අග" චිත්‍රපටයේ භූමිකාවට අවතීර්ණ වීමේදී මේ මහා රංගනවේදිනිය කිසියම් පසුබෑමකට ලක් වී ඇති සෙයක් පෙනේ.

මේ පිළිබඳ ෆේස්බුක් හි මා කළ කෙටි සඳහනකට ප්‍රති අදහසක් වූයේ ස්වර්ණා චරිතයට අවශ්‍ය පරිදි අවරංගනයක (underplay) යෙදුණු බවය. 

මෙහිදී මගේ තෙරුම් ගැනීම වන්නේ ඉතා සංකීර්ණ මනෝභාවයක් ප්‍රකට විය යුතු මහචාර්‍යවරයාගේ නීත්‍යනුකූල බිරිඳගේ චරිතයට ප්‍රවිශ්ට වීමේදී ස්වර්ණා කිසියම් පසුබෑමකට ලක් වී ඇති බවය. තමන්ගෙන් ගිලිහී යන, තමන්ගේ චුම්භක ක්ෂේත්‍රයෙන් විකර්ෂණය වන ස්වාමිපුරුෂයා තවදුරටත් සිය කුටුම්බය තුළ රඳවා ගැනීමේ අභියෝගාත්මක, දුෂ්කර අවස්ථාව  ජය ගැනීමේ චිත්‍යාභ්‍යන්තර සටනක යෙදෙන වයස් ගත කාන්තාවගේ චරිතය ස්වර්ණා වෙතින් විදාරණය නොවන බව කිව යුතුය.

සැමියා සමඟ ප්‍රේමයෙන් වෙළී සිටින තරුණිය සිය  පවුල රැකගැනීම සඳහා නිවසටම කැඳවා ගෙන එන්නට තරම් නිර්භීත වී ඇය සමග යහන්ගත වන්නැයි ඔහුට ආරාධන කරන, පුරුද්දට මෙන් බුදුන් වඳින එහෙත් තරුණ කාලේ එච්චර පන්සල් යන්න උනන්දු නොවන ලෙස සිය දියණියට අවවාද කරන, ප්‍රශ්නයට තමන්ම විසඳුම් සොයනවා සේ පෙනෙන ගැහැනියකගේ චරිත ස්වභාවය ඇය වටහා නොගැනීමේ වගකීමෙන් කොටසක් අධ්‍යක්ෂවරයාද බාර ගත යුතු බව මගේ විශ්වාසයයි.

වයස්ගත මහාචාර්‍යවරයා හා තරුණ සිසුවිය අතර පවතින සම්බන්ධයට හේතු ප්‍රත්‍ය කවරේදැයි අපට නොකියන හඳගම එය ප්‍රේක්ෂකයාගේ නැණ පමණින් වටහා ගන්නට ඉඩ හරී. එය අපූර්ව උපක්‍රමයක් වන්නේ මෙවැන් සබැඳියාවන් ඇති වීමට බලපාන නිශ්චිත හේතු කිසිවෙකුට තේරුම් ගැනීමට නොහැකි, තේරුම් ගැනීමට අවශ්‍යද  නොවන, ඒ ඒ පුද්ගලයාට හා ඔවුන්ගේ ජීවන රිද්මය සමඟ අත්‍යන්තයෙන් බැඳී පවත්නා බැවිනි.

සරසවි ශිෂ්‍යාවගේ චරිත නිරූපණයට තෝරාගෙන ඇති රිතිකා කොඩිතුවක්කු හැඟීම් ප්‍රකාශනයේදීත්, සැහැල්ලු එහෙත් අධිෂ්ඨානශීලී චරිත ස්වභාවයට අවතීර්ණ වීමේදීත් ප්‍රකට කරන්නේ මනා සංයමයකි. 

මහාචාර්‍යවරයාගේ  විශ්වවිද්‍යාල නිළකාමරයට පැමිණෙන අවස්ථාව, බිරිඳ ඇගේ අනාගත සිරුරට අපහාස කරන අවස්ථාව, පවුලේ දියණිය සමග රණඩු සරුවල් කරන ආස්ථාව ආදී බොහෝ දර්ශන වලදී ඇය සිනමාව සිය ග්‍රහණයට ගන්නී, ඉතා පළපුරුදු රංගන ශිල්පිනියක සේය.

එහෙත් ගැමි සරසවි ශිෂ්‍යාවකට අනුරූප වන රංගනයක් මෙන්ම වචන උච්ඡාරණයක්ද රිතිකා වෙතින් පිළිබිඹු නොවන්නේ සහජයෙන් හෝ භාවිතයෙන්  හුරු පුරුදු වී ඇති රිද්මයෙන් වියුක්ත වීමේ දුෂ්කරබව නිසාම යැයි හඟිමි. 

රිතිකා මේ චරිතයට මනාව ගැලපෙන්නියක හෙයින් මා යෝජනා කරන්නේ මේ සරසවි ශිෂ්‍යාව අන්ත ග්‍රාමීය පසුබිමකට ඇද නොදමන්නට තිබුණ බවය. ගමේදී සිය ගණනකට දානය උයා ඇති බව වැනි දෙබස් පැවසීමෙන් අධ්‍යක්ෂවරයා බලාපොරොත්තු වූයේ මේ සරසවි තරුණියගේ සමාජ ස්ථරය ගැන කියා පෑමට නම් එයම පරාවළල්ලක් බවට පත් වී ඇති බවය.

මහාචාර්‍යවරයා නිරන්තරයෙන් ඉංග්‍රීසි බස උසුරුවීම අප ප්‍රශ්න කරන්නේ නැත.  මීට ප්‍රධාන හේතුව ප්‍රධාන නළුවාට සිංහල උච්ඡාරණය නොහැකි වීම බව අප දන්නා නමුත් හඳගම එකී චරිතය ස්ථානගත කොට ඇත්තේ ඊට ගැලපෙන සමාජ පරිසරයකය. මහාචාර්‍ය බිරිඳ සිංහල-ඉංග්‍රීසි දෙබසින්ම කතා කිරීම සිය සැමියා හා එක පෙළට සිට ගැනීමට නොහැකි වීමෙන් ඈ පෙළන මානසික ව්‍යාධියක් විය හැකිය. ඇරත් මේ සමාජ ස්ථරයේ භාෂා විලාශය එසේය.

එවන් තතු යටතේ ජාත්‍යන්තර  පාසලක ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලබන දියණිය සිය පියා ඉංග්‍රීසියෙන් කතා කරන අවස්ථාවලදී පවා සිංහලෙන් පිළිතුරු දීම අප තේරුම් ගත යුත්තේ කෙසේද...?

අමෙරිකාවේ උසස් අධ්‍යාපනය හැදෑරූ සඳලීගේ ඉංග්‍රීසි උච්ඡාරණය ඉතා ඉහළ මට්ටමක ඇති බවට සැකයක් නැත. ඉන්දීය නළුවාට සිංහල උච්ඡාරණය අපහසු වන්නා සේ ලංකාවේ වෙනත් බොහෝ නිළියන්ට මෙන් සඳලීට ඉංග්‍රීසි බස හැසිරවීමේ අවුලක්  නොමැති තත්ත්වයක් යටතේ මේ චරිතය ඉඳහිට හෝ ඉංග්‍රීසියෙන් කතා කළා නම් වඩාත් සුදුසුය.


මා එසේ කියන්නේ අශෝක හඳගම සිංහල භාෂිත සිනමාවෙන් මිදී සිටින බැවිනි. ලාංකික සිනමාව ලෙස ලේබල් ගසන බොහෝ චිත්‍රපට සිංහල භාෂිත වෙද්දී  "ඇගේ ඇස අග" සිංහල උප සිරැසි හෝ නොමැතිව තිරගත වන්නේ එහෙයිනි.

"ඇගේ ඇස අග" චිත්‍රපටයේ ජවනිකා දෙකක් හිංදි සිනමාවේ ලක්ෂණ ප්‍රකට කරන්නේ යැයි පවසන විට බොහෝ දෙනෙකු මා හා උරණ වන බව මම දනිමි. එහෙත් මේ පිළිබඳ  චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා නැවත සිතා  බලන්නේ නම් මට ඒ ප්‍රමාණවත්ය.

දියණිය කාරය තුළදී බහින් බස් වී සිය පියාගෙන් කම්මුල් පහරක් වැදීමෙන් කෝපයට පත්ව වාහනයෙන් බැස දිව යන දර්ශනය සංස්කරණය වී ඇත්තේ හිංදි සිනමාවේ සුලබ දර්ශනයක ආකාරයෙනි.

මූලිකවම මේ ජවනිකාව දිගු වැඩිය. වාහන අතරින් දිව ගොස් රේල්පාරට සමාන්තරව මහ මග දිගේ තරුණියන් දෙදෙනා දිව යන දර්ශනය තවත්  කෙටි වූවා නම් යැයිද, රේල්පාර තිබුණේ මීට වඩා ආසන්නයේ වූවා නම් වඩාත් සුදුසු බවද කියන්නට සිදුවන්නේ බැරි බැරි ගාතේ ඔවුන් පසුපස ලුහු බඳින මහාචාර්‍යවරයා, තරුණිය විසින් දියණිය දුම්රිය අනතුරෙන් මුදවා ගනු ලබද්දීම එතැනට සැපත් වන්නේ හිංදි චිත්‍රපට වල ආකාරයට  බැවිනි. එසේ නොමැතිව කාලය හා අවකාශය  මෙන්ම තරුණියන් දෙදෙනාගේ දිවීමේ වේගය ගැන සළකා බැලීමේදී  ඔහු ඒ ආසන්නයට ඒමට වත් ඉඩක් නැත.

එහෙත් එකී දිව යාමේ දර්ශන රූ ගත කොට ඇති ප්‍රශස්ත ආකාරය පිළිබඳ කැමරා ශිල්පී චන්න දේශප්‍රිය ඇගයීමට ලක් කළ යුතුය. සමස්තයක් ලෙස චිත්‍රපටය   පුරාම
චන්නගේ නිපුනතාව  මොනවට පැහැදිලි වන බව කිව යුතුය.

මහාචාර්‍යවරයාගේ  පවුල් කුටුම්බයේ දෙදරා යාම මෙන්ම බිරිඳ හැරපියා ළාබාල තරුණියකට ආකර්ෂණය වීම කෙළවර මේ චරිත හතරම පන්සල් බිමට ගෙන ගොස් ආගමික සංස්ථාවේ  පවුරු පදනම් පුපුරුවා හරින්නට හඳගම ගන්නා දැනුම්වත් උත්සහය ලාංකික සිනමාවේ රැඩිකල් ප්‍රවේශයකි. 

එවන් 'අසමජ්ජාති' ප්‍රවේශයකට එළැඹීමට අවශ්‍ය ශක්තිය මෙන්ම පන්නරය ඇත්තේද හඳගමටමය.

එහිදී ඔවුන් එකිනෙකාට සම්මුඛ වන්නාසේම, ඔවුන්ගේ පවුලට සම්මුඛ වන දේශපාලකයාගේ විවාහක බිරිඳගේ ක්‍රියාකලාපය නිසා ඇතිවන්නා වූ ජංජාලය දනවන්නේ ඉමහත් උත්ප්‍රාසයකි. සිය ස්වාමිපුරුෂයා හා ඇසුරක් පවත්වාගෙන යන ගැහැනියක සුදුවතින් සැරසී පන්සල් භූමියේ සිටිනු දකින දේශපාලකයාගේ  බිරිඳ යකඩ පහන් වැටක් ඔසවාගෙන පහර දීමට දිව යන දර්ශනය එහි කූටප්‍රාප්තියයි.

එහෙත් ඉන් අනතුරුව සෙනඟ පොදි කෑමද, 'මහාචාර්‍ය වීරයා' ඒ අතරින් ඇවිද ගොස් වෙනත් පැත්තක වැටී සිටි තම ප්‍රේමවන්තිය නිරුපද්‍රිතව කැඳවාගෙන ඒමද, දේශපාලක ඇම්බැට්ටයින් අහසට වෙඩි තැබීමද ඇතුළත් ජවනිකාවද මට යළි සිහිපත් කරන්නේ හිංදි චිත්‍රපටයක අවසානයමයි.

"ඇගේ ඇස අග" වැනි විවාදාත්මක තේමාවක චිත්‍රපටයක් නිපදවමින් ලාංකික සිනමා දෙබරයට ගල් ගසන, ඒ ගල් කැබලි  වැදී ප්‍රේක්ෂකයා මෙන්ම විචාරකයාද තුවාල කරන්නට සමත් අශෝක හඳගම වැනි රැඩිකල් මෙන්ම දේශපාලනික සවිඥානික අධ්‍යක්ෂවරයෙකු චිත්‍රපටයේ අවසානය ගැන මෙන්ම සුළුවෙන් තැකිය හැකි යැයි කෙනෙකු පවසන්නට ඉඩ ඇති අඩුලුහුඬුකම් ගැනද මීට වඩා සැළකිලිමත් විය යුතුමය.


ඒ මීට ඉහතින්ද අප දක්වා ඇති පරිදි ලාංකික සිනමාවට මහාර්ඝ කෘතියක් එක් කිරීමේ ඉහළම හැකියාව ඇත්තේ හඳගමට බැවිනි.
අශෝක හඳගම





කෙටිකතා එක්ක කවි   කියවන්න. මෙතැනට යන්න 





Tuesday, 24 May 2016

බුදු අම්මෝ වදේ.......වදේ.......


පට්ට ගහපු මාතෘකාවක් වුණත් රැග් එක  ගැන මගේ අත්දැකීම් ලියන්න හිතුවේ මේවා නොකී කතා නිසාමයි. 

ඔන්න දැන් ඇනෝලා පටන් ගනීවි කුණුහරුපෙන් බනින්න. අපහාස කරන්න. තර්ජනය කරන්න.

හැබැයි පුතෝ මේ කතාකාරය හොඳට කැම්පස් විතරක් නොවයි හමුදා රැග් එකත් කාල තියෙන නිසා සැලෙන්නෙ නම් නෑ.

ඔන්න රැග් එකේ වටිනාකම.

මේ කතා බහේදි "නවක වදය"  කියන වචනෙ මා භාවිතා නොකරන්නෙ හිතාමතාමයි. ඊට හේතුව මේ සංකල්පයට "වදය" කියන වචනෙ කොහෙත්ම ගැලපෙන්නෙ නැති වීමයි.

සමහරු ඔය ක්‍රියාවලියට "වදය" කියල කියන්නෙම ඒක වධදීමක් නිසා නොවෙයිද කියල ප්‍රශ්න කරන්න පටන් ගත්ත. එක එක ගොංපාට් දැමීම වදයක් විදිහට පේන්න පුළුවන් වුණත්  මා නම් හිතන්නෙ රැග් එක කිසිසේත්ම ශාරීරික වදයක් නොවිය යුතු බවයි.

එතකොට අහයි මානසිකව වදයක්  දීම හරිද කියලා.

ඇයි අප්පා අපි ජීවිතේ ගෙවද්දි කොයි තරම් මානසික වද විඳිනවද..කොටින්ම ප්‍රේම කරද්දි අනෙකා මොන තරම් අපට වද දෙනවද.

හැමදේම හොයා බලමින් ප්‍රශ්න කරන්න ගත්තම මේ මොන වදයක්ද කියල හිතුවත්, එහෙම ඇහුවත් අපි ඒ වදේටත් කැමතියි.



මොකද ඒකෙන් තේරෙන්නෙ අනෙකා තමන් පිළිබඳ කොයි තරම් උනන්දුවක් දක්වනවද කියලයි.

නැත්ත්නං නිකම්ම අත ඇරල දැම්ම වගේ. නැතිද මං අහන්නෙ.

ඉතිං මගේ සුන්දර රැග් අත්දැකීම් සිහිපත් කරන්න කලින් රැග් එකට විරුද්ධව කෑමොර දෙන කණ්ඩායම් හෝ පුද්ගල සමූහයාව මා තේරුම් ගන්නා ආකාරයත් කියන්න කැමතියි.

1. කිසිදා වැස්සකටවත් ලංකාවේ විශ්වවිද්‍යාලයකට ගොඩ වී නැති, එහෙන් මෙහෙන් අහුලා ගත් තොරතුරු  මත පොර ටෝක් දෙන්නවුන්

2. තමන්ට රිසිසේ මුළු සමාජයම හැසිරිය යුතු යැයි සිතන උද්ධච්ඡ සමාජ ක්‍රියාධාරීන්

3. පාලක පංතියෙන් වරදාන ලබාගැනීමේ අරමුණෙන් ඔවුන්ට අනියමින් පක්කලිකම් කරනු වස් "බුදු අම්මෝ වදේ, වදේ.." කියා කෑමොර දෙන විශ්වවිද්‍යාල ආචාර්‍යවරුන්

4. සිය විශ්වවිද්‍යාල ජීවිතයේදී මුලු ගැන්වී සිටි රැග් එකට මුහුණ දීමටවත් ශක්තියක් නොමැති හුදෙකලා චරිත

5.  හොඳින් රැග කා, ඊටත් හොඳින් ඊළඟ වසර වලදී රැග් කළ  එහෙත් ඒ බව සඟවා ගෙන සමාජ මතය ඉතිරියේ පොර ටෝක් දෙන  තමන්ටත් තරුණ වියක් තිබූ බව අමතක කරන සම්ප්‍රදායික උගත්තු

6. රැග් එක යනු අති අමානුෂික, බලහත්කාරී  ක්‍රියාවලියක්  යැයි විශ්වාස කරන ඒ නිසාම ඉන් මිනිස් ස්වාධීනත්වයට හානියක් වන්නේ යැයිද , මානව අයිතිවාසිකම්  කඩවන්නේ යැයිද ඉතා අවංක හැඟීමෙන් යුතුව තීරණය කොට ඇති මනස් පුතුන්



කවරාකාරයෙන් වුවද මාධ්‍ය මගින් වේවා, කටින් කට වේවා කිසියම් මතයක් පුන පුනා වරනගන විට එය සමාජගත් වීම් සාමාන්‍ය සිදුවීමක්.

මේ බව මෑත ඉතිහාසයේ දේශපාලන භූමියේ සිදුවූ වෙනස් වීම්වලින් මොනවට ප්‍රත්‍යක්ෂ වෙනවා.
(හා..හා...මට ලේබල් ගහන්න කළබල වෙන්න එපා. තව ටිකක් ඉල්ලං කාලම කතා කරමු.)

දැන් රැග් එකට යළි අවතීර්ණ වෙමු. 

රැග් කිරීමේදී  අමානුෂික බලහත්කාරකම් සිද්ධ වෙන්නේම නැද්දැයි අසන්නට දතකට මැදගෙන සූදානම් වන අයට කියන්නට ඇත්තේ ඔව්...එසේ වනවා තමයි කියායි. ඒත් ඒ සාපේක්ෂව අඩු ප්‍රතිශතයකින් බවයි මගේ වැටහීම.

එහෙත් මගේ තර්කය වන්නේ විශ්වවිද්‍යාලයට එන වැඩිහිටි සිසුන්ට ශාරීරික තාඩන පීඩන හෝ අමානුෂික ක්‍රියාවන්ට එරෙහි වීමේ ශක්තියක් තිබිය යුතුය කියායි. ජ්‍යෙෂ්ඨයෙකුගේ අණට අවනත වීමේ ගුණය කිසියම් ආකාරයක සුහද වාතාවරණයක සිදු නොවන්නේ නම් ඒ බලහත්කාරයට එරෙහි වීමේ  ශක්තිය ප්‍රගුණ කිරීමද රැග් එකේදී සිදුවිය යුතුයි.

මේ විරෝධතාව මතුවිය යුත්තේ දැනුම්වත් ජ්‍යෙෂ්ඨ කණ්ඩායමෙන්මයි.  ඒ සඳහා නවකයින්ට ඇති ශක්තිය අඩු බවට තර්කයක් නැහැ.

ඉතිහාසයේ සීමාව ඉක්මවා රැග් කරන ජ්‍යෙෂ්ඨයින් නැවත  රැග් කිරීමට (re-rag)  බඳුන් කරනු ලැබූයේ මේ පාලනය පවත්වාගෙන යෑම සඳහා බව මා අත්දැකීමෙන් දන්නවා. අද එසේ නොවන්නේ නම් ජ්‍යෙෂ්ඨයින් සිය යුතුකම් පැහැර හැරීමක්.

ඉතිහාසයේ රැග් විඳි මෙන්ම නොවිඳි, රැග් කළ මෙන්ම නොකළ, විශ්වවිද්‍යාලයට පා තැබූ මෙන්ම වැස්සකටවත් ගොඩ නොවුණ රැග් එක ගැන උනන්දු වන සෑම දෙනාගෙන්ම මා ඉල්ලා සිටින්නේ රැග් තහනම් කරනු කියා ගිරාපෝතකයින් ලෙස බෙරිහන් නොදී පවතින තත්ත්වය අධ්‍යයනය කොට වඩාත් සුඛනම්‍ය  නවක හඳුනාගැනීමක් සඳහා පෙළැඹවීමක් ඇතිකරන ලෙසයි.

මා එසේ ඉල්ලා සිටින්නේ අප - (මා පමණක් නොව අප) - රැග් එක හරහා ලබාගත් දේ බොහෝ වන නිසාය. අප රැග් එකට මුහුණ දුන්නේ කිසියම් චකිතයකින් වුවද එහි සුන්දරත්වයක් සේම  අර්ථයක්ද තිබුණ බවයි. ඉන් අප ජීවිතයට සරසවි දිවියට අනුගතවීමේ හුරුවක් ලබාගත් බවයි.

තරුණයින්ට තරුණයින් සේ ක්‍රියාශීලී වන්නට ඉඩ තබා, එකී ප්‍රජාවට ඔවුන්ගේ ප්‍රශ්න විසඳාගන්නට ඉඩ තබා වැඩිහිටියන් මැදට පනින්නේ නැතිව ඉන්නවා නම් කොයි තරම් හොඳද...?




                   *         *        *        *          *       *         *              

අප කන්න සල්ලි නැති විටදී  අනෙකා කෑ ඉඳුල් පිඟාන ගෙන අඩු කෑම එකක් කෑවේ රැග් එකේදී බෙදාහදාගෙන කෑම කා පුරුදු වී තිබුණ නිසායි.

හදිසියේ කඩප්පුලියෙක් සරම කැඩුව විටදී  හෝ නාන්න ගිය විට සරම ඉස්සූ විටදී කෝප වී අනෙකාට පිහියෙන් අනින්නේ නැතිව අප  හොස්ටල් එකේ කොරිඩෝරය දිගේ කාමරයට ගියේ රැග් එකේදී අනෙක් සගයින් අංගජාතය දැක තිබුණ නිසායි.

අපභ්‍රංශ පාඨමාලාවන්ගේ විවිධාකාර පැවරුම්  ඉදිරියේ නවක  සිසුවා විපිළිසර වෙද්දී ඉන් ගොඩ එන්නට උපදෙස් දෙමින් අවශ්‍ය  කළමනා සම්පාදනය කොට දෙන්නේ රැග් එකේදී හඳුනාගත් ජ්‍යෙෂ්ඨ උත්තමයායි. 

විවිධාකාර දක්ෂතා ඇත්තවුන් හඳුනාගෙන සරසවි දිවියේ ඉදිරි වැඩසටහන් වලදී මූලිකත්වය ගනුවස් වගකීම් ලබන්නට නවකයා ඒ ඒ අංශ කරා යොමු කෙරෙන්නේ මේ කාල සීමාවේ ඇතිවන දක්ෂතා හඳුනා ගැනීම් මතයි.

උදාහරණ ලෙස කලාවට ලැදිවුන් කලා කවය වෙතත්, සිනමාවට ලැදිවුන් චිත්‍රපට සංගමය වෙතත්, ගායනයට දක්ෂවුන් ගාන්ධර්ව සභාව වෙත  මෙන්ම ආධුනික ගායනා  ප්‍රසංගය වෙතත්, ක්‍රීඩාශීලීන් ඒ ඒ ක්‍රීඩා වෙතත් අපේ කාලයේදී යොමු කෙරණේ "නවක වද" කාල සීමාවේ දක්ෂතා ප්‍රකට කරන්නට ලැබුණ අවස්ථාවෙන් ඇති වූ දැන හඳුනාගැනීම මතයි.

මා මෙහි සඳහන් කරන්නේ රැග් එකේ සාධනීය ගුණයන් කිහිපයක් පමණයි. ලියන්නට ගියොත් ලේඛනය බොහෝ දිගු වෙනු ඇති.



රැග් එකේ අනිසි ඵල මෙන්ම රුදුරු ලක්ෂණ කියන්නට බොහෝ අය සිටින නිසාත්, දැනටම ඒවා වර නගා ඇති නිසාත් මා මෙහි සඳහන් කරන්නේ නැහැ.

කෙසේ වෙතත් ශාරීරික වද හිංසා කියන්නේ රැග් නොවෙයි. එවන් බලහත්කාරකම් ඉවත් කොට සුහද, එමෙන්ම යළි කවදා හෝ ප්‍රමෝදයෙන් සිහිපත් කළ හැකි රැග් එකකට මා එකඟ වන්නේත්, ඒ වෙනුවෙන් පෙනී සිටින්නේත් එය සරසවියට ආවේනික, ඉතිහාසගත එමෙන්ම සරසවි ප්‍රජාවගේ පැවැත්ම හා අවියෝජනීයව බැඳී තිබෙන සංස්කෘතික ලක්ෂණයක් නිසයි.







කෙටිකතා එක්ක කවි   කියවන්න. මෙතැනට යන්න 

Saturday, 7 May 2016

ලෙයින් කඳුලින් උපන් භීෂණයේ කවි


88-89 කියන්නෙ ධවල භීෂණය රජකළ යුගයක්. අපේ ජීවිත කාලෙටම මිනිස් ජීවිත වලට වටිනාකම් අහිමි වූ මෙවැනි යුගයක් තවත් තිබුණේ නැහැ.


අතුරුදහන් වීම්, පැහැරගෙන යෑම්, ගංගා ඇල දොළෙහි පාවෙන තරුණ මළ සිරුරු, නිළ මෙන්ම නොනිළ වධ කඳවුරු වල අමානුෂික වධ බන්ධන, මහමග අද්දර ටයර් සෑයවල්.


කොටින්ම තරුණයෙකු, තරුණියක ලෙස දිවි ගෙවන සිය දරුවන් කොයි මොහොතේ ඝ්‍රා, ප්‍රා, කහ බළල්ලු, කළු බළල්ලු යනාදී විවිධ නම් වලින් මතු වූ ආරක්ෂක  අංශ වලට අයත් වගේම දේශපාලුවන් පෞද්ගලිකව පවත්වා ගෙන ගිය කල්ලි-කණ්ඩායම් මහ රෑ ගෙට වැදී හෝ මහමග දෙනෝදාහක් ඉදිරිපිටදී පැහැරගෙන යාදෝයි බියෙන් සැකෙන් දෙමාපියන්ට ජීවත් වෙන්නට සිදුවූ යුගයක්.


කැෆටේරියා ගොඩනැගිලි වල තරුණ වධබන්ධන මෙන්ම සංහාර සිදුකළ මේ මිනීමරු දේශපාලු දත්දොස්තරලා වගේම ඊට උඩගෙඩි දෙමින් ඇස් කන් පියාගෙන ඇහෙන දකින මානයේ ලන්දට වෙලා බටකොළ කමින් උන්න රට කරවන උන් දකිද්දි තාමත් ඇඟ හිරිවැටෙනවා විතරක් නොවෙයි මේවා අමතක කොට උන් එක්ක සහවාසයේ යෙදෙන බොරු විප්ලවධාරීන් දැක්කම  ඇ‍මාළු නටනවා.


මේ යුගයේ තම වේදනා ලෙයින් හා කඳුලින් සටහන් කළ නිර්මාණශීලීන්, කඳවුරු බිත්තිවල මෙන්ම අතින් ලියා සංසරණය කළ ලියවිලි වලත් ගල් අච්චුවේ මුද්‍රණය ොට රහසිගතව බෙදාහැරි සඟරාවලත් තම වේදනාවන් සටහන් කළා.


මේ එවන් උපුටන කීපයක්. 

තමන් ළඟ හෝ මතකයේ සුරක්ෂිතව ඇති මෙවන් භීෂණ යුගයේ කවි සටහන් කරන්නැයි විවෘත ආරාධනයක් කරන්නට කැමැතියි.


 




--------------------------------------------------------------------------------

වදුලු අතරින් කොවුල් ගී නද ගලාවිත් ඔබ ගැන කියයි

එහඬ ඇසිලා රතට එරබදු මල් පිපී ආසිරි පතයි

තුරුලතා මල් වලින් ගැවසී වීර සැමරුම් කුළුණු නිමවයි

මෙසේ බක්මහ පුබුදුවන්නේ විරුවනේ නුඹලා නිසයි.

------------------------------------------------------------------------------

බොහෝ කුළුපග ඉරේ සිනහව රැළි ගසාගෙන

ඈත දොඩමළු ගස් මුදුන් මත ඇද වැටෙයි.....

ක්ලාන්තව පරමල් වැටී

ප්‍රත්‍යන්තයේ සංග්‍රාම බිම් මතක-නිසලවෙයි....

දෙවුන්දර සිට බලමි මම් දුර

ඈත තම්මැන්නා ළවැලි දෙස

දෙපෙති ඉති අතු රිකිලි ගොබදා

මහා පොළොවේ ළය මඬල මත

බලන් අර අර කඳුළු පැළවෙත...

උතුරු සුළඟට මිතුරු වී එන

අහා..! මේ දුක අපට පුරුදුය..



ඉදින් නෑයිනි...

උරමඬල මත තබා ගෙනැවිද

නුඹේ දුක්බර තබව මේ බිම

ලැගුම් දෙන්නට මෙයිම දුක් මත

අපේ හදවත් බොහෝ විවරය...

---------------------------------------------------------------------

මිනිසත්භාවයේ මහා ජල ධාරාව

ගෙනෙල්ලා ඉක්මනින් ගෙනෙල්ලා !

එක්සත්භාවයේ මහා යකුළු

සැවොම එක් වෙයල්ලා !



රළු ගලේ නිල බලා-එල බලා

පහර හෙලපල්ලා !

වහා එක් වෙයල්ලා !!

මෙකුළු බිඳපල්ලා.......!!!



-------------------------------------------------------------------------

නොපිරුණු පාරමිතාව



ප්‍රේමය රතු ලෙයින් ගෙන

ලෙහි හොවා වීර්යය

විදුලි වැටි දෙපස නැතිවත්

අන්ධකාරය විනිවිද

ඈත්න් සඳ ඇබින්දක් දැක.....

සිනා සිසී

දෝතින් හිස් රන්තැටි ගෙන

කණාමැදිරියෙකුවත් නොලැබ

ඇඟ හැපෙන නිරුවත් කළුවර

තල්ලු කරගෙන හනික

දිව ආමි කිරි පැණියෙන් පුරවාගන්නට

වෙසතුරු දන් පිරුම සේ

සඳමඬල දියාරුව

අමෘතය කර කිරි බිංදු

එකින් එක පුදන විට

ඉතිරෙන රුධිරය

කිරි වී හදවතේ

පින්නෙන් සීතල වුවද

ඇඟ රස්නෙන් උණුහුම් කර

බැත් සිතින් දළදාව සේ

සුරැක ගත් කිරි පැනිය

තවම නොපිරුණු



ඒ අලු‍ගෝසු මොහොත

මූකලානයට දුවන

සුළි සුළඟ

රන්තැටිය මිරිකගෙන

තලුමරා ලෙවකමින

රැගෙන ගිය

ඉනික්බිති

හදවත වීය පැටලී

ටයර් සෑයක් අසළ

කමිබි වැටක...

-------------------------------------------------------------------


මගේ පුතා හෙට එනවලු!
වැරදීමකින්වත්
ඇවිදිනව හෙම නෙවෙයි උඹ
ඉපදුණු ගමන් නම්
කෙහෙම්මලක් උඩින්වත්
මේ කාලෙ හරිම පුදුමයි
බුදු බණත් හරිම ලාභයි
සේනාවෙ කට්ටිය
උඹව උදුරං යයි
වැරදීමකින්වත්
කතා කරනව හෙම නෙවෙයි උඹ
ඉපදුණු ගමන් නම්
මොනවා හිතට ආවත්
මේ කාලෙ හරිම පුදුමයි
වචනත් හරිම ලාභයි
හිටපු රජෙකුට වුණත්
උඹව ඕනෑ වෙයි
වැරදීමකින්වත්
ඉපදෙනව නෙවෙයි උඹ
හෙට දවාලේ මිස
රාත්තිරියක නම්
මේ කාලෙ හරිම පුදුමයි
තරුත් සැක නොකර බෑමයි
ගව ලෙනක හැඩ නිසා වාට්ටුව
උඹ අපිට නැති වෙයි
කිසිම සද්දක් නැතිවම
උඹ හෙමිහිට වරෙන්
ඇවිත් ටික දවසක්
නාඬා වුණත් හිටපන්
මල් උඩ ඇවිදින්න
ලොකුකම් ගැන කියවන්න
තරු පිපෙන රෑ මැද
එළු බැටළු රෑන් එක්ක යන්න
පස්සෙ හෙමිහිට බැරියැ?

-------------------------------------------------------------------

මරණය අභිමුව



ඉතින් මම සමුගනිමි

සදාදර සෝවුරනි

සෙනෙහෙබර මෑණියෙනි

අදරැති පියාණෙනි

විප්ලවේ නාමයෙන්

මම ඔබෙන් සමුගනිමි



ගිරි ශිඛර තැනිතලා

පණ ගැහෙන තුරුලතා

ගී සිංදු කොඳුරනා

නොනැවතී ගලා යන

ඇල, දොළ සොයුරනි

මං උඹට ආදරෙයි



ඉතින් යළි කිසි දිනෙක

උඹලාට ප්‍රේම කොට

උඹලා රකින්නට

මතු දිනෙක ගොඩනැගෙන

අපේ ලොව දකින්නට

මට නොහැක අදින් පසු



තව සුළු මොහොතකින්

කුරිරු ගිනි උණ්ඩයක්

මගේ හද නවතාවි

කුරිරු දඩ බල්ලන්ට

පාවා දෙමින් ඔබ සැම

ලැබිය හැකි ජීවිතය

පිළිකුල් කරමි මම

ඉතින් මරණය වරෙන් මා වෙත

මම උඹව පිළිගනිමි.....



--------------------------------------------------------------------------------

මිනිසුනේ ඇයි නිහඬ....



කුණාටුවකට කලින් සාගරය වගේම

මේ නිහැඬියාව හරි බියකරුය....

දොරින්-දොර, ගමින් ගම ඇවිදගෙන

දූපුතුන් සොයන

දේශයේ සුවහසක් මව්වරුන් දුටුවාද...

මිනිසුනේ.....

දැන් ඉතින් නැගිටින්න

ඔවුන්ගේ ඇඬුම්බර කටහඬට කන්දෙන්න

“අපේ දරුවන් කොහිද....?”

අපේ දරුවන් සොයා අප වහා යා යුතුය...

මේ පාළු දේශයට ජීවිතය ගෙන එන්න

අපේ අත්වලින් අල්ලා ගන්න

අපේ දරුවන් සොයාගෙන එන්න

මිනිසුනේ අප සමග පැමිනෙන්න....

--------------------------------------------------------------------------------

ජීවිතය කියන්නේ

මරණයේ මාවතයි

නිදහසයි කියන්නේ

මාවතේ ගීතයයි

-----------------------------------------------------------------------------------

ජීවත්වන්නවුන්ගේ නිදහස වෙනුවෙන් මරණයේ මාවත තෝරාගත් අපේ කාලයේ පරපුරකගේ වේදනාබර කවි තව කොතෙක් ඇද්ද...?






 කෙටිකතා එක්ක කවි   කියවන්න. මෙතැනට යන්න