Sunday, 27 September 2015

විල්ලරවාඩියෙන් දඩ කඳවුරට

විල්ලරවාඩියෙන් දඩ කඳවුරට පිම්මක් පනින්න සෑහෙන වෙහෙසක් දරන්න සිද්ධ වුණා. විදෙස් රටක ඉඳන් සෝදුපත් බලමින්, ලංකාවෙ ඉඳන් බලන සෝදුපත් එක්ක සංසන්ධනය කරමින් දත්ත සම්ප්‍රේෂණය කරන එක ලේසි වුණේ නැහැ. 

පෙන්වා දෙන වැරැදි අඩුපාඩු හදමින් නැවත නැවත සංස්කරණය කරන්න වෙද්දි මම හිතන්නෙ මං යම් තරමකට ඉවසීම ප්‍රගුණ කළා.

නොකී කතා බ්ලොග් සටහන මාසයකින් යාවත්කාලීන වුණේ නැහැ වගේම බ්ලොග් ලෝකයට එබිකම් කරන්නත් විරාමයක් ලැබුණෙ නැහැ.

අනෙක් අතට ගත්තම බ්ලොග් සටහන් ලියන්න වෙනද හිතට ලැබෙන උත්තේජනය ඇති වුණෙත් නැහැ. බ්ලොග් එක ලියන්න උත්තේජනයක් එන්න ඕනෙ කියන කතාව ඇතුළෙ තවත් දිග කතාවක් තිබුණත් ඒක නං "නොකී කතාවක්" විතරක් නොවෙයි "නොකියන කතාවක්" වෙයි.


කොහොමින් හරි රසිකගෙ බ්ලොග් සටහන බලන්න කියල  "දසත සැරිසර"  http://dasathasarisara.blogspot.com/   උදේ පාන්දරම දැනුම්වත් කළාමයි මේකත් දැක්කෙ.

විල්ලරවාඩිය ගැන පොත නිකුත් වෙලා අවුරුද්දකට පස්සෙ ලියනව කියල ඇහුවම සතුටක් දැනුණ. අනෙක පොත මිලදී ගත්තු සමහරුන් තාම නොකියවා පොත් රාක්කෙට කරල ආරක්ෂා කරන බව දැනගත්තම තවත් සතුටු හිතුණ.

මමත් ඒ වගේම ලෝබකමට පොත් ගොඩගහන් ඉන්න නිසා. අපි කවුරුත් එක වල්ලෙ පොල් වාගේ.....

මෙන්න රසිකගේ අවංක අදහස් :
http://rasikalogy.blogspot.com/2015/09/henry-warnakulasuriyas-villaravadiya.html?showComment=1443406657284#c7011968540665990143

වෘත්තියෙන් ඉංජිනේරුවෙකු සහ හිටපු නැවියෙකු වන හෙන්රි වර්ණකුලසූරිය, මීට පෙර "ඝාතනයට පෙර" නමින් නවකතාවක් ද, "තිරිසන් රාත්‍රිය", "සරණාගත කඳවුරේ යුවතියක ගේ මල්වර මගුල", "නගරාන්තර ප්‍රේමය" සහ "නෙත්මා දකිනු පිණිසය" යන කෙටිකතා සංග්‍රහ ද, සිනමා විචාර සහ සමාජ විචාර පොත් කිහිපයක් ද ලියා පළ කර ඇති පළපුරුදු ලේඛකයෙකි. ඔහු චිත්‍රපට සහාය අධ්‍යක්‍ෂණය කර ඇති (මේ මගේ සඳයි), කෙටි චිත්‍රපටයක් ද අධ්‍යක්‍ෂණය කර ඇති, සිනමාවේදියෙකු ද වේ.

ඒ සියල්ලටම වඩා වැදගත් කාරණය නම් හෙන්රි වර්ණකුලසූරිය අපේ සහෘද බ්ලොග්කරුවෙකු වීමයි.

විල්ලරවාඩිය නවකතාව ගැන ලියන්නට අරඹන විටම මගේ මතකයට ආවේ මා කියවා ඇති වෙනත් සුවිශේෂී නවකථා කිහිපයකි.

එයින් මුල් නවකථා ත්‍රිත්වය වන්නේ දකුණේ පැරණි සිංහල ගැමි සමාජය, නාගරික දේශීය ධනපති සමාජය දක්වා වර්ධනය වීමේ කතන්දරය හුදී ජන පහන් සංවේගය සඳහා සටහන් කිරීම පිණිස මාර්ටින් වික්‍රමසිංහ විසින් රචනා කරන ලද ගම්පෙරළිය, කලියුගය සහ යුගාන්තය යි.

දෙවෙනුව මා සිහියට නැගුණේ ලංකාවේ සිංහල බහුතර මැද පන්තියේ කතන්දරය ලේඛන ගත කරමියි සිතා, ගුණදාස අමරසේකර විසින් ලියා ඇති "අ.පො.ස. වර්ගයේ" ගමනක මුල, මැද, අග වාර්තා පොත් පෙළයි.

අප කියවා ඇති අති බහුතරක් නවකථා පොත් ලියවී ඇත්තේ එකී සිංහල ගැමි පසුබිමකින් යුතු සමාජයෙන් උපන් වස්තු බීජ මුල් කරගෙන බව නොරහසකි. වරදත්ත වැනි ඓතිහාසික පසුබිමකින් යුතු ග්‍රන්ථ දෙක තුනක් හැරුණු විට, ජී.බී. සේනානායක විසින් ලියන ලද සියලුම නවකථා ද මේ සමාජ ස්තරය මත පදනම්ව ගෙතුණු ඒවා ය.

ඒ සම්මත සමාජ කඩතුරාවෙන් ඔබ්බට ගිය ගිය මා කියවූ මුල්ම නවකතාව වූයේ කුලසේන ෆොන්සේකා ගේ පාලම යට කෘතියයි. එහි සමාජ පසුබිම, සිදුවීම් සහ චරිත මට ඉතා ආගන්තුක වූ අතර එනිසා ම, මා පාලම යට කියවා ලැබුයේ අපමණ වින්දනයකි.

ඒ වින්දනය තවත් තීව්‍ර ආකාරකින් මා ලද්දේ මංජුල වෙඩිවර්ධන ගේ බත්තලංගුණ්ඩුව කියවීමෙනි. ඒ කතාව පසුබිම් වී තිබුණු පරිසරය, සමාජ කණ්ඩායම, එහි ආ චරිත, ඔවුන් ගේ චර්යාවන් යනාදී සියලු දේම මට ආගන්තුක විය. මංජුල වෙඩිවර්ධන ගේ කාව්‍යමය භාෂා හැසිරවීම තුළින් මැවෙන චමත්කාරය ද මුසු කරගෙන මා බත්තලංගුණ්ඩුව රස වින්දේ තලු මරමිනි.

ගමයි, පන්සලයි, කුඹුරයි, හන්දියේ කඩයයි ගැන ලියවුණු නොස්ටැල්ජික් හැඟීම් දනවන නවකථා කියවා හුරු පුරුදු මගේ සිතේ බත්තලංගුණ්ඩුව නවකතාවට ඇති වුණු කැමැත්ත විස්තර කළ හැක්කේ, අපට වෙනස් වූ පරිසරය, සමාජය, චරිත පසුබිම් කරගෙන ලියවුණු රුසියානු, ඉංගිරිසි ඇතුළු විදේශීය නවකථා කියවීමට අදටත් සිංහල පාඨකයින් තුළ ඇති නොනිමි ආශාව හා සසඳමින් පමණි.

බත්තලංගුණ්ඩුව කියවා මා ලද ආකාරයේ ම යම් ප්‍රමාණයක වින්දනයක් මම හෙන්රි වර්ණකුලසූරිය ගේ විල්ලරවාඩිය කියවා ලදිමි. ඒ වින්දනය ආගන්තුක චමත්කාරය ලෙස හඳුන්වා දීමට කැමැත්තෙමි.

විල්ලරවාඩිය නවකථාවේ කියවෙන්නේ ලංකාවේ වයඹ දිසාවේ ගමක වාසය කරන ප්‍රධාන වශයෙන් කතෝලික ආගමිකයින් පිරිසක ගේ එදිනෙදා ජීවිතය හැලහැප්පීම් සහිතව ගෙවී යන ආකාරයයි.

ඒ විස්තර මගින් මා වැන්නන්ට ආගන්තුක චමත්කාරය ලබා දෙනවාට අමතරව හෙන්රි වර්ණකුලසූරිය තම විල්ලර වාඩිය කෘතිය හරහා ලංකාවේ සමාජ දේශපාලන වාතාවරණය 1947 සිට 1967 දක්වා වෙනස් වූ හැටි පිළිබඳ ඔහුගේ කියවීම අපට විස්තර කරයි. එය මේ නවකතාවේ ඉතා වැදගත් අංගයක් වන්නේ, නැවතත්, ඒ විපර්යාසයන්ට මුහුණ දෙන ජන කොටසේ ඇති සුවිශේෂීත්වය නිසා ය.

අනියම් සබඳකම්, තහනම් ආදර කතා ඇතුළු විල්ලරවාඩියේ එන ශෘංගාරාත්මක සිදුවීම් ද, විශේෂයෙන් ම ඒවා විස්තර කර තිබෙන සරල ආකාරය ද මා සිත ගත්තේ ය.

නවකතාවක් ලෙසට විල්ලරවාඩියේ ඇති එක දුර්වලකමක් ලෙස විචාරකයින් විසින් පෙන්වා දී තිබුණේ එහි චරිත රාශියක් විස්තරාත්මකව දක්වා ඇතිමුත්, ඒ චරිත සෑහෙන සංඛ්‍යාවකින් කථාවේ ගලායාමට හෝ කථාවේ මූලික කොටස්වලට එතරම් බලපෑමක් නොමැති වීමයි. ඊට අමතරව, මේ චරිත සියල්ලේම ආගන්තුක වූ නම් කතාව කියවන අතර මතකයේ රඳවා ගැනීම ද අසීරු බව කියවිණි.

මේ චරිතවල නම් පිළිබඳ ප්‍රශ්නය නම් රුසියානු නවකථා කියවද්දී මට ද ඇති වන්නකි. එහිදී තත්වය වඩාත් දරුණු වෙන්නේ මුල් නම සහ මුලු නමට අමතරව, සුරතල් නම්වලිනුත් රුසියානු චරිත විවිධ තැන්වල දී හැඳින්වෙන නිසා ය.

චරිත වැඩිවීමද ප්‍රශ්නයක් මුත්, දැනටමත් හෙන්රි වර්ණකුලසූරිය විල්ලරවාඩියෙන් ඇරඹුවේ ඈදුතු නවකථා කිහිපයක් බවට සාධක පහළ වී ඇති නිසා, විල්ලරවාඩියේ එන සුලු චරිත පසු නවකථාවල දී ප්‍රධාන භූමිකා ගනු ඇතැයි සිතමි.

මා මේ ලිපියේ මුල් කොටසේ සඳහන් කළ ගමනක නවකථා මාලාවේ දී එහි කතෘ ගුණදාස අමරසේකර, ලංකාවේ මධ්‍යම පන්තියේ ඉතිහාසය අපට කියන්නේ ලංකා ඉතිහාසයට තම ප්‍රලාප හිතුමතේට ඔබ්බවා විකෘති කරමිනි. ඒ කතා මාලාවේ ඇතැම් නවකථා හුදෙක් වාර්තා පමණක් ම වේ.

විල්ලරවාඩිය නවකථාවෙන් ආවරණයවන කාල වකවානුව තුළ ලංකා දේශපාලනයේ සිදුවෙන දේ විස්තර කිරීමේ දී, හෙන්රි වර්ණකුලසූරිය, මට වැටහුණු පරිදි නම්, ගුණදාස අමරසේකර කර ඇති ආකාරයේ විකෘති කිරීම් සිදුකර නොමැති බව කිව යුතුය.

අප දන්නා ඉතිහාසය තුළ දිවයන විල්ලරවාඩියේ දෙවන කොටස වන දඬ කඳවුර අන්තර්ගතයේ ද ඒ සීලය රැකීමට හෙන්රි වර්ණකුලසූරියට හැකි වී තිබෙනු ඇතැයි මම උදක්ම බලාපොරොත්තු වෙමි.

-රසිකොලොජිස්ට්



දඩ කඳවුර අන්තර්ගතයෙදී ඒ සීලය බින්දද කියල හොයා ගන්න වෙන්නෙ ඉතිං කියවලම තමයි.











30 comments:

  1. සුබ පැතුම් හෙන්රි.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි.

      Delete
  2. මේ පාර තමයි දඩ කදවුර සහ විල්ලරවාඩිය දෙකම ගත්තෙ කිවලම බලන්න ඕන ඉතිං තාම මග නෙව
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. මග ගෙවා ආවට පස්සෙ කියවලම අදහස් දක්වනන් හැකි නං අගෙයි. ගල් සහ මල් පිළිගනිමි.

      Delete
  3. 'විල්ලරවාඩිය'ත් 'දඩ කඳවුර'ත් 'ඝාතනයට පෙර'ත් පොත් තුනම පහු ගියදා පොත් ප්‍රදර්ශනයෙන් (සුරස- ෆාස්ට් පබ්ලිකේෂන්ස් වෙතින්) මිලට ගත්තා.. උඩින්ම තියාගෙන ඉන්නේ මුලින්ම කියවන්න පටන් ගන්න..
    තව එකක්.. රසිකගේ ඔත්තුව නිසා තවත් බ්ලොග්කරුවන් කීප දෙනෙක්ම මගෙන් ඇහුවා විල්ලරවාඩිය මිලට ගත හැකි තැන. ඔබ සැපයු තොරතුරු මං ඔවුන්ටත් පැවසුවා. ඒ වගේම මා විල්ලරවාඩිය මිලට ගත බව දුටු සුරස සේවක මහතෙක් ' මේ ඒ මහත්තයා ලියපු අලුත් පොත' කියා 'දඩ කඳවුර' පොතත් මා වෙත පෑවා. එයත් මතක් කරන්නම ඕනි.
    නොකියන කතා කමක් නෑ.. නොකී කතා නම් නොකියා ඉන්න එපා :)

    ReplyDelete
    Replies
    1. රසිකගේ ඔත්තුව පොත ගැන නොදැන උන්න අය අතර උනන්දුවක් ඇති කළ බව අහන්නට ලැබීමත් සතුටක්.
      නොකියන කතා කියන්න දවසකුත් එයි.

      Delete
  4. විල්ලරවාඩිය හා දඩ කඳවුර පොත් ගන්න පුලුවන් කොහෙන්ද?
    බත්තලන්ගුන්ංඩුවත් හොයනවා ( out of print ලු )

    ReplyDelete
    Replies
    1. විල්ලරවාඩිය හා දඩ කඳවුර මරදාන "සුරස" පොත් හලෙන්.

      Delete
  5. සුබපැතුම් හෙන්රි අයියා ... කම්මලේ ජෙෂ්ටතුමාට කනිෂ්ට කම්මල් කරුවෙකු වන මගේ ආචාරය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ජය වේවා.....!

      Delete
  6. පොත් දෙකම "සුරස"නේද? මේ ගමන සීයට හතලිහක වට්ටමක් ලැබුනා මට සුරසෙන්.එත් ගන්න පුළුවන් වුනේ එක පොතයි.ඒ ලියනගේ අමරකීර්තිගේ "අහම්බකාරක" දැන් "විල්ලරවාඩිය"කියවන්ට ආසයි රසික ගේ ලිපියෙන් පස්සේ.

    ReplyDelete
    Replies
    1. යකඩෝ මං පොත් විස්සක් විතර අරගෙන මුන් මට දුන්නේ 30% නෙහ්.. මොහාන් රාජ් මඩවලගෙයි මහින්ද ප්‍රසාද් ගෙයි පොත් වලට දුන්නේ 20% යි.. මුන්ව මරන්න එපැයි..

      Delete
    2. "සුරස" තමයි ප්‍රකාශයට පත් කළේ.....විල්ලරවාඩිය කියවනව නං එහිම දිගුව වන දඩ කඳවුරත් කියවන්න.

      Delete
    3. මගේ යාළුවෙක්ගේ යාළුවෙක් තමයි කැෂියර් හිටියේ.නැතිනම් සීයට 25 විතරයි."සුරස"නෙමේ නම් සීයට 20 යි.

      Delete
  7. සුබ පැතුම්. පොත් ටික හොයාගෙන කියවන්නම්. :)

    ReplyDelete
    Replies
    1. කියවල අදහස් දක්වන්න....ස්තූතියි

      Delete
  8. උණුසුම් සුභ පැතුම්!
    (පොත් ලැයිස්තුවට දාගත්තා)

    ReplyDelete
    Replies
    1. බොහොමත් ස්තුතියි.

      Delete
  9. මගෙත් උණුසුම් සුභ පැතුම් හෙන්රි. පොත ලංකාවෙන් ගෙන්න ගන්න හදන්නේ එන මාසේ.

    ReplyDelete
    Replies
    1. අසංක සහෝ......බොහොමත්ම ස්තූතියි .
      කියවලා අදහස් දක්වන්නේ නම් අගෙයි

      Delete
  10. අදමයි මේ පැත්තට ආවෙ.ග්‍රන්ථය ගැන හදුන්වලා තිබෙන නිසා ඉක්මනින්ම අරගෙන කියවන්න හිතුනා.ලබන සෙනසුරාදා මරදානට ගියාම පොත්ටික අරගන්න ඔන.

    ReplyDelete
    Replies
    1. අරගෙන කියවලා දැනෙන අදහසකුත් අරන් මේ පැත්තෙ එන්න.

      Delete
    2. අරගෙන කියවලා දැනෙන අදහසකුත් අරන් මේ පැත්තෙ එන්න.

      Delete
    3. mata me dekama meladee gann thenk kiyann puluvnnm loku udavvk.mge shashtheereya katauththak sadaha .

      Delete
  11. මීළඟ නිවාඩුවෙදී අනිවාර්යයෙන්ම දඩ කඳවුරක් ගන්නයි ඉන්නේ. පොත් ප්‍රදර්ශනයේදී මට හොයා ගන්න බැරි වුනා

    ReplyDelete
    Replies
    1. ප්‍රේම්ගෙ සුරස පොත් කුටිවලට ගියේ නැද්ද?

      Delete
  12. මේ පොත් දෙක මිලදී gaththe kohenda..kiyann puluvn nam loku udavvak

    ReplyDelete
    Replies
    1. මරදාන සුරස පොත්හල (ගොඩගේ අසල)/නුගේගොඩ සරසවි

      Delete