Tuesday, 19 January 2016

මදැයි බැලුවා රජගෙදර පරෙවියෝ



පේ සුමිතුරු රසිකගේ රසිකලොජිස්ට් බ්ලොගයේ අලුත්ම ලියැවිල්ල කියවද්දි තමයි දශක ගණනාවකට පෙර පාසල් වියේ ටියුෂන් කතාවක් මතක් වුණේ.

ටියුෂන් ගැන ලියූ රසිකගෙ බ්ලොගය මෙතැනින්.

ටියුෂන් කතාවට එන්න පාසල් වියේ නොකී කතා මැද්දෙන්ම පියවර තියන්නම්කො.

මම මුලින්ම ඉස්කෝලෙ ගියේ අපේ අල්ලපු ගමේ ප්‍රාථමික පාසලට.  හලා/ කොට්ටරාමුල්ල රජයේ කණිෂ්ඨ පාසලට.

තාත්ත තමයි ඉස්කෝලෙ ඉංග්‍රීසි සර්. ඉතිං ළමයි ඉස්සරහ පංතියෙදි මම තාත්තට කතා කළේ සර් කියල.

මට double promotion එකක් ලැබිල හෝඩියෙ පංතියෙ ඉන්නෙ නැතිව පංතියක් ඉහළට ගියාට වයස අඩුයි කියල දෙකේද, තුනේද ඉද්දි එක පංතියක අවුරුදු දෙකක් තිබ්බ.

ඒකෙන් වුණේ හතරෙ පංතිය වෙද්දි ලව් පිස්සුව ගහපු එක. මොකද ලස්සන හුරුබුහුටි කෙල්ලක් තමයි ඒ පංතියෙ පළවෙනිය වෙමින් උන්නෙ. මම ආව ගමන් මම කප් එක ගත්තනෙ. ඒට පස්සෙ අපි දෙන්න අතරෙ තමයි තරඟෙ පංතියෙන් පළවෙනිය වෙන්න.

තරඟෙත් එක්කම  ලව් පිස්සුවත් ගැහුව. මුලිං මුලිං පොඩි පොඩි දේවල් අහ දැන ගත්ත. දෙන්නට දෙන්න කෑම හුවමාරු කර ගත්ත. 

ඉස්සර නොමිලේ දෙන පාන් කන්න අපි පංතියෙ ළූණු මිරිසක් හදා ගන්නව. එක එක්කෙනා ගෙවල් වලින් ළූණු ගෙඩියක්, අමු මිරිස් කරලක් ගේනව. බ්ලේඩ් තලේකින් තමයි කපන්නෙ.

අර දැරිවි තමයි රසට ළූනු මිරිස හදන්නෙ. පංතියෙ අපි ඉඳගෙන උන්නෙත් එක ළඟමද කොහෙද.

පහේ පංතියෙදි මම ඔය දැරිවිට ලව් ලෙටර් එකක් දීල පංති බාර මිස්ට අහු වෙලා තාත්ත අතට පත් වුණා. එයා මට කැමැත්තෙන් උන්නෙ. ලියුම පොත් අස්සෙ ගහ ගත්තට එයා දිහා ඇහැ ගහගෙන උන්න දුෂ්ටයෙක් පංති බාර මිස්ට කේලම කිව්ව.

මේ සිද්ධිය යන්තමින් අම්මාට වැඩියෙන් ආදරේ කළ දවස බ්ලොග් එකේ සඳහන් කරල තියෙනව.

කොහොමින් හරි මාව හයේ පංතියෙ ඉඳන් වහාම ක්‍රියාත්මක වන පරිදි නාත්තන්ඩිය ධම්මිස්සර මහා විද්‍යාලයට (අද මධ්‍ය මහා විද්‍යාලය) අතුළත් කළේ ඔය ලියුම් හුටපටේ හංද කියල මම දැනගත්තෙ පස්සෙන් පහු කාලෙක.

ධම්මිස්සරේට අපේ තාත්තලාගෙ කාලෙ කිව්වෙ "බයිඩිංගල්" එක කියල. ඒකට හේතුව Bilingual කියන වචනෙ සිංහලෙන් උසුරුවපු විදිහ කියල දැනගත්තෙ ඉංග්‍රීසිය දිවේ තොලේ ගෑවෙන ගත්තට පස්සෙ.

ධමිස්සරේදි අර තරං වැඩ දාන්න බැරි වුණත් පතියෙ පස් වෙනිය මට්ටමට එන්න පුළුවන් වුණා. ටිකෙන් ටික.

කරන තරමක් කඩප්පුලි වැඩ කළේ ඔය කාලෙ තමයි. 

හයේ පංතිය තිබ්බෙ ඉස්කෝලෙ වත්ත පිටිපස්සෙ කෙළවරේ මුත්‍රා ගඳ එන ටොයිලට් පේළිය කිට්ටුව. ඒ ටොයිලට් දවසකට එක වතාවකවත් හේදුවද මංද.

ගඳ දැනෙන්නෙ පංතියෙ ඉද්දි විතරයි. චූ කරන්න ගියාම අතුළෙ බිත්ති වල ඇඳල තියෙන හෙළුවැලි රූප දැක්කම මොන ගඳක්ද. ගිය කාරණේත් අමතක වෙනව.

ඔතන පිටිපස්සෙ තිබුණෙ විශාල පොල් වත්තක්. 

උපාධිධාරී භෞතික විද්‍යා  ගුරුවරයෙකු ලෙස සේවය කොට බිස්නස් වැඩ සඳහා කල් තබා විශ්‍රාම ගිය චන්දරේ, ගුරුසේවයේ යෙදෙමින් රසායන විද්‍යා පංති පවත්වන ප්‍රදේශයේ ප්‍රසිද්ධ ටියුෂන් ගුරුවරයෙකු වන ලලිත්, අමෙරිකාවේ පදිංචි ඉංජිනේරුවෙකු වන ගාමිණී, අධ්‍යාපන සේවයට අනුයුක්තව විදුහල්පතිවරයෙකු ලෙස රැකියාව කළ කීර්ති, අධ්‍යාපනය කඩා ඉහිරුවා ගත් පියරත්න ඇතුළු අපේ කල්ලියේ කීප දෙනා හොරෙන් කුරුම්බා කඩාගෙන කෑවේ ඔය වත්තෙනුයි.

හතේ පංතිය තිබුණෙ මහා මාර්ගයෙන් අනෙක් පස පිහිටි පාසල් බිමේ. ඒ පැත්තෙ එක් පසෙක වූ තාප්පෙන් එපිට වත්තට පැන කොකෝවා ගෙඩි කඩන්නට ගොස් මුරකාරයට අසු වී උප විදුහල්පතිගෙන් ඉල්ලන් කෑවෙත් ඒ කාලෙ තමයි.

අටේ පංතියෙ ඉද්දි ඉර සල්ලි සූදු කෙළින්න ගොස් ප්‍රින්සිපල් ගෙන් දඬුවම් ලබා දෙමාපියන් ගෙන්වා පාසලෙන් ඉවත් කරන බවට අවසන් නිවේදනය ලැබුවට පස්සෙ තමයි ටිකක් කඩප්පුලි වැඩ පාලනය වුණේ.

ප්‍රින්සිපල් අපිව  හැඳින්වුවෙ ඉඟුරු කල්ලිය කියල. 

සමාන්‍ය පෙළ කරද්දි ටිකක් එහායින් තියෙන මරඳ ළඳු කැලේට රිංගල සිගරැට් බිව්ව වගේ හොර වැඩකට එහා දෙයක් කළේ නෑ.

ඉඟුරු කල්ලිය සීසීකඩ විසිරුණේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලත් එක්කයි. 


අපිව පාසලේ තියාගන්න විදුහල්පතිවරය ප්‍රතික්ෂේප කළා. පළමු වර විභාගය සමත් වූ කීර්ති කුලියාපිටිය සෙන්ට්‍රල් එකට ගියා. මම මීගමුවෙ හරිශ්චන්ද්‍ර මහා විද්‍යාලයට ඇතුළත් වුණා.

හරිශ්චන්ද්‍රෙ උන්නෙ මාස තුනයි. ගණිතය කිරිකජු වගේ වුණ, සමාන්‍ය පෙළ ගණිතයට D ගත්ත මට උගන්නන කිසිම දෙයක් තේරෙන්නෙ නැති වුණා. ජනප්‍රිය ගුරුවරයෙකු වූ අබේරත්න සර් තමයි ගණිතය ඉගැන්නුවෙ. මම ප්‍රශ්නෙ සර්ට කිව්ව. එතකොටයි තේරුණේ මම ඇනගෙන කියල.

හරිශ්චන්ද්‍රෙ සාමාන්‍ය පෙළට Advance Maths උගන්නල. එතැනින් එහාට තමයි උසස් පෙළට උගන්නන්නෙ. Advance Maths ගැන අහලවත් නොතිබුණ මට උසස් පෙළ අරහංම වුණා.

ඒ අවුරුද්ද ගන්ධබ කාලයක්. තාත්ත ඉංග්‍රීසි ගුරුවරයෙකු වුණත්, පිරිවෙනකත්, නිවසේත් පංති පැවැත්වුවත් මම ඉංග්‍රීසි වලට ටියුෂන් ගියා. ටියුෂන් පංතිය තිබුණෙ නාත්තන්ඩිය ලූර්දු විද්‍යාලයෙ. සති අන්තයෙ.

මුලින්ම තැපැල් නයින්ටි එකක් පදින්න ගිහිං ලූර්දු ඉස්කෝලෙ වගා කරමින් තිබුණ පොල් තවානක් ඇතුළට වැට කඩාගෙන ගියෙත් ඔය පංතියට යද්දිමයි.

කවදාවත් ඉගෙන ගෙන නොතිබුණ Advance Maths තනියෙම ඉගෙනගෙන, ඉංග්‍රීසිත් එක්ක ආයෙම සාමාන්‍ය පෙළ ලිව්වෙ ඊළඟ අවුරුද්දෙ උසස් පෙළට ඇතුළු වෙන තුරු කාලයෙන් ප්‍රයෝජනය ගන්නයි.

ඔය අස්සෙ ගමේම කෙල්ලෙක් එක්ක යාළු වෙලා උන්නට ඒක මේ ඉගෙනීමෙ වැඩ වලට  බධාවක් කරගත්තෙ නෑ. ලියුම් ටිකක් හුවමාරු වුණා විතරයි. වැඩිම වුණොත් වත්ත පහළදි එක වතාවක් තත්පර ගාණකට මූණ ඉම්බ විතරයි. මගේ "දඩ කඳවුර" අලුත් නවකතාවෙ  ඔය සිද්ධිය වර නගල තියෙනව.



දෙවෙනි වතාවෙ සාමාන්‍ය පෙළ වඩාත් හොඳ ප්‍රතිඵල අරගෙන උසස් පෙළ කරන්න වෙන්නප්පුව ජෝශප් වාස් කොලීජියට ඇතුළු වෙන්න ලැබුණෙ මගේ මාම කෙනෙකු වන එකල ප්‍රසිද්ධ ගායකයෙකු වූ අයිවෝ ඩෙනිස්ගෙ සොහොයුරා ඒ පාසලේ ගුරුවරයෙකු ලෙස සේවය කරමින් සිටීම නිසයි.

ප්‍රින්සිපල්, පැන්ටලියන් සර් අවදානමක් ගෙන ඉඟුරු කල්ලියෙ හය දෙනාවම පංතියට බාරගත්තෙ කඩප්පුලි වැඩ කරල පාසලකින් නෙරපා හැරියට අපේ ප්‍රතිඵල අනුව පාසලට ආලෝකයක් වෙයි කියල හිතලද, වරෙල්ලකො මා එක්ක ඒ සෙල්ලම් හරි යන්නෙ නෑ කියල හිතලද දන්නෙ නෑ.

කොහොමින් හරි අපි පරණ සෙල්ලං දැම්මෙ නෑ. ඉඳහිට ඉස්කෝලෙ කට් කරල කුලියාපිටිය ශ්‍රී මහල් එකට ගිහිං බයිස්කෝප් එකක් බැලුව නං තමයි.
"රත්‍රං අම්මා" බැලුවෙ ගෙදරට හොරෙන් ඉස්කෝලෙ කට් කරල.

අපි ඉගෙනීමත් හොඳින් කළා. ඉගෙන ගන්න ගමං රසායන විද්‍යාව උගන්නන්න කැම්පස් අවුට් වුණ ගමන් අලුතෙන් පත් වෙලා ආව දමයන්ති මිස්ටත් හිතෙන් ලව් කළා.

ශුද්ධ ගණිතය ඉගැන්වූ ජස්ටින් සර්, ව්‍යාවහාරික ගණිතය ඉගැන්වූ (අපේ හතුරා වූ) රණවීර සර් ගාණක් හදන්න දීල කෙලින්ම ආවෙ පිටිපස්සෙම පේළියෙ උන්න අපේ කල්ලිය ගාවටයි. හේතුව තමයි ගාණක් දීල අනෙක් පැත්ත හැරෙද්දි අපේ කල්ලිය ගාණ හදල ඉවර  වීම.

 (රණවීර සර් අපේ සුන්දර හතුරෙක් වුණේ දමයන්ති මිස් එක්ක නිතරම කතාබහ කරමින් සිටීම නිසයි. මම විවෘත විශ්වවිද්‍යාලයේ සේවය කරද්දි පැවැත්වූ ගුරු විභාගයකට රණවීර සර් ලියන්න ආව වෙලේ මම විභාග පරීක්ෂකවරයෙක් විදිහට හමු වුණාම සර් හරිම ආඩම්බර වුණා)

ඔන්න උසස් පෙළ පංතියට ආව ගමන් ටියුෂන් රැල්ලට අපිත් අහු වුණා. චන්දරේ එහෙම රසායන විද්‍යා ටියුෂන් ගන්න කොළඹත් ගියා.

අපි මීගමුවෙ ටියුෂන් යන්න පටන් ගත්ත.

ඒ කාලෙ ඉඳන්ම මට චිත්‍රපට පිස්සුව. උසස් පෙළ පංතියෙ ඉද්දි ගෙදරින් අවසර ඇතිව වෙන්නප්පුව ශ්‍රී ලංකා හෝල් එකේදි බලපු "දුහුළු මලක්" තමයි මගෙ චිත්‍රපට පිස්සුව ඩබල් ට්‍රිබල් කළේ.

බොඳ මීදුම් කඳුරැල්ලේ- "දුහුළු මලක්"

ටියුෂන් ගියත් උණ පුරුකෙ දාලවත් බලු නකුටෙ ඇද අරින්න බෑ කිව්ව වගේ පංති නැති දවස් වල පංති තියනව කියල ගෙදරට බොරු කියල ෆිල්ම් හෝල් ගානෙ රිංගුව. පංති කට් කළේ නම් නෑ.

මේ විදිහට බලන්න ගිය චිත්‍රපටයක් තමයි "රජගෙදර පරෙවියෝ". 

නීල බිඟු කැල-"රජගෙදර පරෙවියෝ"

"රජගෙදර පරෙවියෝ" හොරෙන් බලන්න ගිහිං ඇවිත් නිකන් ඉන්න බැරිව චිත්‍රපටයෙ කෑලි අපේ සුමිත් අයිය එක්ක වර්ණනා කළා. අපේ අම්මගෙ අක්කගෙ පුතා. ඒ දවස් වල මගේ හොඳම යාළුව. මට අවුරුද්දක් කලිං පේරාදෙනි කැම්පස් ගිහිං වාණිජ උපාධියක් අරං දැන් ධීවර සංස්ථාවෙ ලොක්කෙක්.

සුමිත් අයියට යාළුකමට වඩා නෑදෑකමයි, ලෙන්ගතුකමයි ඉස්සරහට පනින්න ඇති. මල්ලි ඉගෙනීම කඩාකප්පල් කර ගනී කියල හිතන්න ඇති.

අයිය හැරෙන තැපෑලෙන් අම්මට ගින්න දුන්න. 

අම්ම තාත්තාට ගින්න ට්‍රාන්ස්ෆර් කළා. 

තාත්ත  මගෙ ටියුෂන් තහනම් කළා.

ප්‍රතිඵලය වුණේ ගමේ පළමු ඉංජිනේරුව බිහිවීම.







කෙටිකතා එක්ක කවි   කියවන්න. මෙතැනට යන්න.

35 comments:

  1. අපුරුයි! මටත් හිතුනා ස්ට්‍රයික් අස්සේ හොරෙන් ගිහින් මමයි රජා බලපු හැටි ලියන්න.. ඉපදී ලොවේ..නවාතැන් පොලේ මිනිසා රඟයි රංගනේ.. භාවයෙන් භවේ විරාමේ අපේ.. කාලේ ටිකයි ජිවිතේ.. සිනහා කඳුළු එනවා යනවා.. :)

    ReplyDelete
    Replies
    1. මුලින්ම යහතින් සපැමිණීම ගැන අවංක සතුට. අද කාලෙ වෙන දේවල් වල හැටියට බය නොවුණාම නොවෙයි. අපි හිටපු හමුදාකාරයො නිසා පොලිසියෙ පැටිකිරිය හොඳට දන්නවනෙ. මට ඕකුන් පෙන්නන්න බෑ.
      මමයි රජා කතාව ලියන කල් බලන් ඉන්නවා. නියම කතාවක් තියෙයි.

      Delete
  2. මම ඉස්සෙල්ලම ආස වුන ගීතය වික්ටර් රත්නායකගෙ නීල බිඟු කැල.

    ReplyDelete
  3. බලන් ගියාම මුළු ඒරියා එකෙම ස්කොල වලටත් ගිහින් තියෙනවානේ හිටං.
    අද නම් තියෙන්නේ ටියුෂන් රැල්ලක්නේ.විභාග ප්‍රතිපල ආපු ගමන් ටියුෂන් සර්ලා හොඳම ශිෂ්‍යාව තමන්ට අයිති කර ගන්න යනවානේ.

    ReplyDelete
    Replies
    1. ඉස්කෝල තුනයිනෙ. එකක් නිකං ට්‍රයල්..
      රැල්ලට හැමෝම යට වෙලා. ටියුෂන්කාරයො නියම මාර්කටිං පාරක් දැම්ම. ඒකට දරුවො, දෙමාපියෝ විතරක් නොවෙයි ගුරුවරුත් අහු වුණා. ඉස්කෝලෙදි හරියට ඉගැන්නුවෙ නැතත් ටියුෂන් ගිහිං හරි ගොඩ ගියාම ඉස්කෝලෙටයි ලකුණු.

      Delete
  4. තාත්ත මගෙ ටියුෂන් තහනම් කළා.

    ප්‍රතිඵලය වුණේ ගමේ පළමු ඉංජිනේරුව බිහිවීම.

    ReplyDelete
    Replies
    1. මම කියන්න හදන්නෙ රැල්ලට ටියුෂන් නොගියට ගොඩ යන අය ඉන්නව. දුර්වල විෂයයන් තෝරල අමතර පංති යන එක හරි. ඒත් දැන් ගොඩ යන්නෙම ටියුෂන් වලින්නෙ.

      Delete
    2. මමත් ඔයා වගේ ටියුෂන් නොගිහින් ගොඩ ගිය කෙනෙක්. ඒ 1974 දී විභාගයට ඉඳලා. අපේ කාලෙත් ගොඩක් දෙනෙක් මීගමුවේ ටියුෂන් පන්තිවලට ගිය නමුත් වැනි තවත් පිරිසකට අර්ථීක අපහසුකම් නිසා එසේ කිරීමට බැරිඋනා.

      Delete
  5. මාගේ පාසල් කාලය සිහිවෙනවානේ හැමදින
    ඈගේ සුරතල් ආලය රෝස මලක් වගේ පෙනුනේ මට
    මං පොඩි කාලේ මාව දැම්ම පාසලේ
    ඉගෙන ගෙන වැඩුණේ මගේ මොලේ
    පාසලේ පන්තියේ කෙල්ලෙක් වැටුණ මගේ දැලේ
    මා ගැයු මේ ගීත ඇසු කලේ
    මහ පාරට පැමිණ මං ඇව බලන්න
    සිටියා පොත් මිටිය අරගෙන
    මුණ ගැසුණු තැන අපි කතා කරමින
    ගියා දෙදෙනා පාසල් යන්න
    මෙන්න මෙලෙසට අපි ගියේ පාසල් යන්න
    ඇය පණ වගේ ආදරෙයි මට
    ඇගේ ගෙදරට ගියේ මං ඈයව බලන්න
    නමුත් වෛදවේ නැහැනේ අප හට
    මේක දැනගෙන අපේ අම්මා මට බැණ
    වෙන පාසලකට මාව දැමු තැන
    මම කඳුළු සලමින
    සිටියාය දුක් විඳ ඇය ගැන කල්පනා කරමින

    මාගේ පාසල් කාලය සිහිවෙනවානේ හැමදින
    ඈගේ සුරතල් ආලය රෝස මලක් වගේ පෙනුනේ මට

    මිතුරෙක් ආවා
    ඔහු මෙලෙසට කීවා
    ඔයා නැතිව කෙල්ල අ`ඩනවා
    මම දැන්මම යනවා මගේ කෙල්ල අ`ඩනවා
    ඇසුවත් මගේ පපුව පැලෙනවා
    ලිපියක් ලැබිලා මම බැලූවා කියවලා
    මේ විදිහට තිබුණා ලියාලා
    ඔයා නැති නිසා මම ගනිමි දිවි නසා
    ඇවිත් යන්න මාව සනසලා
    මාදම් කැලේ මම ගියා කළුවරේ
    බලන්න මගේ කුමාරිය බොලේ
    මිනිසුන්ව දුටු කළේ අවුල් වුණා මගේ මොලේ
    කුමාරි මැරිලාය අතු පැලේ
    ලිපිය අරගෙන නැවත කියව බැලූ තැන
    ඇය මැරෙනා බව ලියා තිබු තැන
    සැමදාම දුක් වුණ නිතර කඳුළු වැගිරුන
    අඳුරු ලොවක මාව තනි වුණ

    මාගේ පාසල් කාලය සිහිවෙනවානේ හැමදින
    ඈගේ සුරතල් ආලය රෝස මලක් වගේ පෙනුනේ මට


    මට කතාවෙ මුල ටික කියවනකොට මතක් උනෙ ඔය වොලී බැස්ටියන්ගෙ සින්දුව.

    ReplyDelete
    Replies
    1. මටත් හිතා ගන්න බෑ ...පහේ පංතියෙදිනෙ. අල්ලපු ගමේ කොල්ලො මාර බඩු. ඇටෙන් පොත්තෙන් බේරෙන්න කලිං ලව් කරනව විතරක් නං මදැයි. අම්මයි, තාත්තයි රෑට පැදුරෙ කර්තව්‍යය කරන හැටි ඇඳලත් පෙන්නනව. ගෙදර එක කාමරයයිනෙ. උං නිදි වගේ හොරෙන් බලං ඉන්නවලු.
      අපේ ගෙදර හොඳ වෙලාවට කාමර දෙකක් තිබුණ.

      Delete
    2. වොලී බැස්ටි‍යන්ගේද සින්දුව?.....මෙච්චර කල් හිතන් හිටියේ පෝල් ප්‍රනාන්දු ගේ කියල...ඒ කෙසේ වෙතත් ඉස්තූතියි පද වැල් පළ කලාට හේතුව ඒ දවස් වල කට්ටිය එකතු වුනාම අපි කිව්වෙම පද එහෙන් මෙහෙන් අමුනල ගීතය කෙටි කරල.

      Delete
    3. ෆයිසල්, ඔව් මේක වොලීගෙ. මේ තියා අයිරින් ජොසපින් සින්දුවත් දැන් මිනිස්සු හිතා ඉන්නෙ වෙන අයගෙ කියලනෙ.

      Delete
  6. පහේ පංතියෙදි කෙල්ලෙකුට ලව් ලෙටර් එකක් දුන්න කියන්නෙ දහයෙ දොළහෙ පංති වෙද්දි කීයක් දීල ඇත්ද කියලයි මං හිතුවෙ. කැම්පස් ගියාම නම් ඉතින් ලියුම් දෙන්නෙ නැහැනෙ. ඇහුව. එක්කෝ ඇන ගත්ත. නැත්නම් දා ගත්ත.

    ReplyDelete
    Replies
    1. අයියෝ දෙන්න ඇති හැට හුටාමාරක්. ඒත් එකක් වත් වැඩ කළේ නෑ නොවැ. "හැන්ඩින්ට බඩු නෑ" කියනවනේ...
      (ගෑනු ළමයින්ට 'බඩුව' කියනවට මා විරුද්ධයි. ඒත් එහෙම ආක්තෝපදේශයක් තියෙන නිසා ලිව්ව.)

      Delete
  7. නරකම නැහැනේ ඉස්කෝලේ කාලේ.
    හොද වෙලාවට තාත්තා ටියුශන් නැවැත්තුවේ. එහෙම නොවුනනම් ඉන්ජිනේරුවෙක් නැති වෙන්නත් තිබුනා.

    ReplyDelete
    Replies
    1. කොහොමත් ඉගෙන ගනියි. ඒත් පස්සෙ වැඩි වුණ ෆිල්ම් පිස්සුව ඒ කාලෙම උපරිමයට යන්නත් තිබුණා.
      හැබැයි මගේ ඉංජිනේරුකම වෙන කෙනෙකුට ගිහිං මට මං කැමැති කෙනෙක් වෙන්න තිබුණ නං වඩා කැමතියි.

      Delete
  8. පහ වසරෙදි? අම්මෝ අපිනං ඒ කාලෙ කෙල්ලංට කතා කෙරුවෙ

    "මේ ලමෙයො" කියලා. කෙල්ලෙක්ගෙ ඇගේ ගැවුනොත් වහ වගේ. ඉස්සෙල්ලාම කෙල්ලෙක්ගෙ අතින් ඇල්ලුවේ 9 වසරෙදි ගණිතය පීරියඩ් එකේදී පිට්ටනියේ රවුමක් හැදෙද්දි කෙල්ලො කොල්ලො මාරුවෙන් මාරුවට ඉඳලා අත් අල්ලගෙන රවුමක් හැදෙන්න කිව්ව වෙලාවෙදියි.

    ඒ අතින් අපි පසුගාමීයි.

    ReplyDelete
    Replies
    1. අපි ඉතිං එදා හිටං ගෑල්ලමයින් එක්ක ආරෝවක් නෑ. ගොඩක් කොල්ලො කෙල්ලන්ට පුංචි සන්දියෙ විරුද්ධ ලිංගික පාර්ශ්වය පෙන්නන්න බෑ තමයි. මිශ්‍ර ඉස්කෝලෙ එකටම උන්නු හංදද කොහෙද අපිට නම් එහෙම වුණේ නැහැ.
      මම නං පොඩි කාලෙ අතින් අල්ලල විතරක් නොවෙයි, මූණ ඉඹලත් තියෙනව. ඒක හරිම නිර්මල දෙයක්.ලෙන්ගතුකම ප්‍රකාශ කිරීමෙන් එහා දෙයක් නෑ.

      Delete
  9. හොඳ කතාවක් ලියලා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. මම හිතුවෙ පහේ පංතියෙ ලව් කතා ලියන්න ගිහිං ඉල්ලං කන්න වෙයි කියල.එහෙමමත් නෑ. ගල් නෑ..මල් විතරයි.
      ස්තූතියි.

      Delete
  10. ඉස්කෝලේ යනකාලේ ලස්සනට වැඩේ කරගෙන ගියා. රස්සාවට ගියාට පස්සේ ඔලුව මඤ්ඤං වෙලා, ළමයට යවන්න තියන ලියුම අම්මටයි, අපේ අම්මට යවන්න තියන ලියුම ලමයටයි යැව්වා, ළමයා ළඟම තියන දුරකතනයක් හොයාගෙන ගිහින් මට කෝල් එකක් දීලා කිව්වා, පිටේ ටකරමක් බැඳගෙන ගෙදර යන්න කියලා. (ඒ කාලේ ජංගම දුරකථන කියන එව්වා තිබුනේ නැත) මම ගෙදර ගියාම අම්මා වගේ වගක් නැතුව හිටියා. තාත්ත දැක්කානම් එහෙම පත්තරෙත් දානවා.

    ReplyDelete
    Replies
    1. ඔය වගේ අලකලංචි ඉස්සර වුණාට දැන් ලියුං ලියන්නෙ නැති නිසා SMS එකක් වැරදිලා ගියොත් තමයි.
      විචාරකගෙ අම්ම් බොහොම කල්පනාවෙන් ප්‍රශ්නෙ ඔලුවට අරං තියෙනව කියල කියන්න ඕනෙ. අපේ අම්මට එහෙම වුණා නං දවස් ගාණක් ඕක කියවනව විතරක් නොවෙයි කෙල්ලව හොයාගෙනත් යයි.

      Delete
  11. තලු මර මර මතක් කරන්න පුළුවන් රසබර අතීතයක්. මමත් ගෙදරට හොරෙන් ඉස්සෙල්ලම බලපු ෆිල්ම් එක තමයි 'දුහුළු මලක්' හතේ පන්තියේදීද කොහෙද . හැබැයි ඔයාකාර නාස්කූනි යාළුවො සෙට් එකක්නම් හිටියේ නෑ හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. දුහුළු මලක් එකල ආ වෙනස්ම මාදිලියක චිත්‍රපටයක්.
      විවාහ සංස්ථාවේ ඛේදවාචකය සිනමාත්මකව වගේම පොදු ප්‍රේක්ෂක ආකර්ශනය දිනා ගනිමින් නිරූපනය කළ විජය ධර්ම ශ්‍රී ගේ අපූරු නිර්මාණයක්.
      "ඔබගෙන්දෝ ඔහුගෙන්දෝ....මා හෙට දින සමුගන්නේ...."

      සෙට් එක නස්කූනි වුණාට කැම්පස් ගියා කොහොමින් හරි.

      Delete
  12. යූටියුබ් වීඩියෝ දාන කොට යූආර්එල් එක නොව එහි ඇති එම්බෙඩ් කෝඩ් එක කොපි පේස්ට් කරන්න.

    ReplyDelete
    Replies
    1. මේ දෙකේ වෙනස පේන්නෙ කොහොමද කියන්න පුළුවනිද. හොයා බලන්නම්. පොඩි අධ්‍යයනයක් කරන්න වෙයි වගේ.

      Delete
  13. දුහුළු මලක් සින්දු http://madiviyadatharunaya.blogspot.com බ්ලොග් එකෙත් ඇහුව.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රභාත්.

      Delete
  14. මගේ මාම කෙනෙකු වන එකල ප්‍රසිද්ධ ගායකයෙකු වූ අයිවෝ ඩෙනිස්ගෙ සොහොයුරා ඒ පාසලේ ගුරුවරයෙකු ලෙස සේවය කරමින් සිටීම නිසයි.

    අයිවෝ ඩෙනිස්ගෙ සොහොයුරා --> ඒ පාසලේ ගුරුවරයෙකු
    ඒ පාසලේ ගුරුවරයෙකු --> මගේ මාම කෙනෙකු

    අයිවෝ ඩෙනිස් --> මගේ මාමා ?????

    ReplyDelete
    Replies
    1. ඔහොම ලියන්න හේතුව ඒ මාමාගෙ නම අමතක වීමයි. අයිවෝ ඩෙනිස් කියන්නෙත් පාසලේ ගුරුවරය වුණෙත් මගෙ ලොකු මාම විවාහ වුණ නැන්දගෙ සහෝදරයින්

      Delete
  15. හෙන්රි ධම්මිස්සර යන කාලේ ප්‍රින්සිපල් කවුද? පර්සි බෝයි ද?

    ReplyDelete