මාස කීපයකට පෙර ප්‍රජාතන්ත්‍රවාදය ගැන ලිපියක් ලියන්නැයි කිසියම් ප්‍රකාශනයකින් මට ආරාධනාවක් ලැබුණා. එය මාර්තු මස වන විට පළ කරන බැවින් වෙනත් ආකාරයකින් ප්‍රසිද්ධ නොකරන්නැයි ඉල්ලා තිබුණා.
මේ වන විට මාර්තු පසු වී මාස 4ක් ඉක්ම ගොස් ඇති හෙයින් මගේ ලිපිය පළ නොවන්නේ නම් මා එය ප්‍රසිද්ධ කිරීමට සූදානම් බවත්, ඒ ගැන මා දැනුම්වත් කරන ලෙසත් ඉල්ලා සිටියත් ඔවුන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නැති තත්ත්වයක් යටතේ මා ලියූ ලිපිය මගේ බ්ලොගයේ පළ කරන්න තීන්දු කළා.
“ප්‍රජාතන්ත්‍රවාදයෙහි දෝෂයන්
පවතී. මන්දයත් මිනිසුන් දෝෂ සහගත වන බැවිනි.”
- චෙකොස්ලොවැකියාවේ ප්‍රථම ජනාධිපති තෝමස් ගරිග් මසරික්. (Tomáš Garrigue Masaryk)
ප්‍රජාතන්ත්‍රවාදය යන්න ජනතාව විසින් රාජ්‍යයක් පාලනය කිරීම යනුවෙන් ඉතා
සංක්ෂිප්තව අර්ථ නිරූපනය කළ හැකිය. මේ අර්ථ දැක්වීම තවදුරටත් විස්තීරණය කරන්නේ නම්
ප්‍රජාතන්ත්‍රවාදය යනු රාජ්‍යයක ජනතාව වෙනුවෙන් වැඩි දෙනාගේ තැමැත්තෙන් පාර්ලිමේන්තුව
හෝ ඒ ආකාරයේ වෙනයම් ජනතා නියෝජනයක් මහජන ඡන්දයකින් තෝරා පත් කර ගැනීම හා රාජ්‍යය
පවත්වා ගෙන යාමේ තීන්දු තීරණ වලට ජනතාවට ඉඩකඩ සැලසීම ලෙස සඳහන් කළ හැකිය.
මේ අනුව සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය යනු සුපිරි බලය ජනතාව වෙත තිබීමයි. ඔවුන් ‘සෘජු’
ලෙසින් හෝ කලින් කලට නියෝජිතයින් පත් කොට ගැනීම මගින් ‘සහභාගිත්ව’ ලෙසින් රාජ්‍යයේ
පාලනයට හවුල් වීමයි.
තමන්ගේ ජීවිත වලට බලපාන සෑම සියලු කාරණාවකදීම අන් අතරමැදියෙකු නොමැතිව නවීන තාක්ෂණය උපයෝගී කොට ගෙන එක් හෝ
වෙනත් ආකාරයකින් එක් එක් පුරවැසියාගේ සක්‍රීය මැදිහත්වීම හා සෘජු කැමැත්තට අනුව
තීන්දු ගැනීමේ හැකියාව ‘සෘජු’ ප්‍රජාතන්ත්‍රවාදයේදී තිබිය යුතුය.
‘සහභාගිත්ව’ ප්‍රජාතන්ත්‍රවාදයේදී සෑම පුරවැසියෙකුටම පරමාධිපත්‍යය ඇති
නමුදු පුරවැසියා විසින් පූර්ව තෝරා ගැනීමකින් පත් කරගන්නා ලද ජනතා නියෝජිතයා හරහා අනියමින්
දේශපාලන තීන්දු තීරණ ගනු ඇත.
දේශපාලන විද්‍යාඥ ලැරි ඩයමන්ඩ් (Larry Diamond) ට අනුව ප්‍රජාතන්ත්‍රවාදය ආකාර හතරකින් සමන්විත වේ.
1. නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම මගින් ආණ්ඩු මාරු කිරීමට සැකසූ දේශපාලන
ක්‍රමවේදයක්
2. දේශපාලන මෙන්ම සමාජයීය ජීවිතයේදී ජනතාවගේ සක්‍රීය සහභාගිත්වය
3. පුරවැසියාගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම
4. සෑම පුරවැසියෙකුටම නීතිය ඉදිරියේ සමාන අවස්ථා ලබා දීමේ නීති පද්ධති හා ක්‍රමවේද
මෙම නිර්වචනයේ මූලික අඩංගුව වේ.
ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක මූලික අවශ්‍යතාව මතු වන්නේ රටක සංවර්ධනය හා
ආර්ථික දියුණුව මගින් අත්‍යවශ්‍යයෙන්ම පුරවැසියාගේ ජීවන තත්ත්වය මෙන්ම නිදහස් ජීවන
පැවැත්ම ඉහළ දැමීම සඳහාය යන්න පවත්නා
මූලික ප්‍රවාදයකි. එහෙත් මේ ලිපියේ අරමුණ වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ
පමණින් සියලු ප්‍රශ්න විසඳන්නට හැකි බව සිතීම යථාර්ථයෙන් ඈත බව පෙන්වා දීමය.
බොහෝ පර්යේෂණාත්මක අධ්‍යයනයන් මගින් වුවද රටක ආර්ථික වර්ධනය
හා ප්‍රජාතන්ත්‍රවාදී දර්ශකය අතර ධනාත්මක
සම්බන්ධතාවක් සොයා ගෙන නොමැත.
බොහෝ සංවර්ධනය වන රටවල් ආඥාදායක පාලකයන්ගේ ග්‍රහණයේ පැවතුන අතර දුර්වල
ආඥාදායකත්වයක් පැවැති දකුණු කොරියාව, චීනය වැනි රටවල් දරිද්‍රතාවෙන් මිදී ඉහළ
සංවර්ධනයක් පෙන්නුම් කොට ඇත.
මේ තත්ත්වයන් යටතේ අඩු ඒක පුද්ගල ආදායම්ලාභී රටවල් අතරින් ඒකාධිපති පාලනයන්
පවතින රටවල හා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයන් පවතින රටවල සංවර්ධන වේගය මැන බැලීම මගින්
මේ පිළිබඳ දළ අදහසක් ලබා ගත හැකිය.
Economist Intelligence Unit මගින් ප්‍රකාශයට
පත් කොට ඇති ප්‍රජාතන්ත්‍රවාදයේ දර්ශකය 2014 (Index of Democracy 2014) ට අනුව පෙළ
ගස්වා ඇති රටවල් 167 අතරින් සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයේ ඉහළින්ම වැජඹෙන්නේ නෝර්වේ
රාජ්‍යයය.
ස්වීඩනය හා අයිස්ලන්තය අනුපිළිවෙළින් මීළඟට ලැයිස්තු ගත වෙද්දී ඕස්ට්‍රේලියාව
9 වන තැනත්, මහා බ්‍රිතාන්‍යය 16 වන තැනත් ලබයි. අමෙරිකා එක්සත් ජනපදය 19 වන
ස්ථානයේය. මේ දර්ශකයේ ප්‍රංශයට හිමි වන්නේ 23 වන ස්ථානයයි. ඒ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය
පවතින්නේ යැයි නම් කොට ඇති රටවල් 24 හි අවසානය වන කොස්ටාරිකා රාජ්‍යයට එක් පියවරක්
ඉදිරියෙනි.
ඉංදියාව 27 වන තැන ගන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ දර්ශකය 2014 හි දෝෂ සහිත ප්‍රජාතන්ත්‍රවාදයක්
පවතින රටවල් ගොන්නට අයත් වෙමිනි. මැලේසියාව හා සිංගප්පූරුව පිළිවෙළින් අත්පත්
කරගන්නේ 65 හා 75 වන ස්ථානයන්ය. මේ
කාණ්ඩයේ අවසන් රට වන්නේද සිංගප්පූරුවයි.
දෙමුහුන් (Hybrid) ප්‍රජාතන්ත්‍රවාදය
පවතින්නේ යැයි නිර්ණය කොට ඇති රටවල් අතරට ගැනෙන ශ්‍රී ලංකාවට 87 වන ස්ථානය හිමි
වෙද්දී රුසියාව හා චීනය පිළිවෙළින් 132 හා 144 වැනි ස්ථාන ලබමින් ඒකාධිපති
පාලනයෙන් යුතු රටවල් ලෙස නම් ලබයි. 167 වන අවසාන රට වන්නේ උතුරු කොරියාවයි.
මේ දර්ශක ගත කිරීම 100% නිවැරැදි,
සාධාරණ හා යථාර්ථවාදී නොවන බව පෙනෙන නමුදු කිසියම් ආකාරයකට මින් මතු වන චිත්‍රය
නොසළකා හැරිය නොහැකිය.
ඒ අනුව ආර්ථික සංවර්ධනය අතරින් පෙරමුණේ තිබෙන රටවල් කිහිපයක් සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය
භුක්ති විඳින්නා සේම තවත් රටවල් ගණනාවක් ආන්තික ඒකාධිපතිත්වයේ ග්‍රහණයට හසු වී ඇත.
ප්‍රජාතන්ත්‍රවාදයේ පවතින හිදැස් හා එකතැන පල්වීමේ ලක්ෂණ අනුව විවිධ
දුර්වලතා මෙන්ම අඩුලුහුඬුකම් දක්නට හැකි වන්නා සේම රාජ්‍යයේ ජාතික අවශ්‍යතා අබිබවා
තමන්ගේ සුඛවිහරණය පමණක් ඉලක්ක කොට ගත් ආඥාදායක පාලකයින් රජ කරන විටදී පවා සමස්ත
ආර්ථිකය හා සංවර්ධනය හීන වන බවටද ලෝක ඉතිහාසය පාඩම් උගන්වා ඇත.
අවංක මෙන්ම ඥානවන්ත, එමෙන්ම දේශයට හා එහි වෙසෙන ජනතාවට ආදරය කරන ඉහළ
හැකියාවන්ගෙන් යුතු ආඥාදායී පාලකයකු බලයට පත් වන රටක දේශපාලන නිදහස යටපත් වුවද ඒක
පුද්ගල ආර්ථික වර්ධනය හා ජනජීවිතයේ පැවැත්ම සාපේක්ෂව බාධාවකින් තොරව ගලා යන්නේ
ජාතික තලයේ සංවර්ධන ඉලක්ක ජය ගනිමිනි.
දේශහිතෛෂී ආඥාදායකයෙකුගේ ආධිපත්‍යයට හසු වූ රටවල පුරවැසියන්ගේ මානව
අයිතිවාසිකම් ආරම්භයේදී විශාල වශයෙන් කඩ
වුවද සංවර්ධන ඉලක්කයන් ජය ගැනීමත් සමග මානව නිදහසට පැනවූ සීමා ඉවත් වූ ආකාරය දක්නට
හැකිය.
ඒක පාක්ෂික ආඥාදායකත්වයට යටත් වූ චීනය, මැලේසියාව, සිංගප්පූරුව පමණක් නොව
ඒක පුද්ගල ආඥාදායකත්වයකින් පාලනය වූ දකුණු කොරියාව, තායිවානය, චිලී දේශය වැනි
රටවල් මීට උදාහරණ ලෙස ගත හැකිය.
එහෙත් ආඥාදායකත්වය යනු අවදානම් සහිත සූදුවකි. ඊට හේතුව සියල්ල එක්
පුද්ගලයෙකුගේ සිතුවිලි අනුව තිරණය වන හෙයිනි.
අනෙක් අතින් බලන කල ප්‍රජාතන්ත්‍රවාදය අවදානම් නොවන්නේ රාජ්‍යයක පැවැත්ම
ජනතා අබිමතය පරිදි තීන්දු වන හෙයිනි. නමුත් නවීකරණය නොවන, එක තැන පල් වෙන ප්‍රජාතන්ත්‍රවාදයකින්ද
රටකට සිදුවන සෙතක් නැත. ප්‍රජාතන්ත්‍රවාදය යන වදන ජප කරමින් සිටි පමණින් රටක්
ඉදිරියට ගමන් කරන්නේ නැති බැවිනි.
ආඥාදායක පාලනයකදී විදෙස් ආයෝජන වලට ආකර්ශනයක් ඇති කරමින් වසර ගණනාවක්
ඉදිරියට සැලසුම් සකස් කිරිමට හැකි වන්නේ පාලන තන්ත්‍රය ස්ථාවර බැවිනි. මේ යටතේ
වැඩවර්ජන, කලකෝලහාල, අපරාධ රැල්ල සීමා කෙරෙමින් දැඩි නීති රීති යටතේ සමාජය පාලනය
කෙරෙන බැවින් ආර්ථිකයේ මුල්‍යමය බිඳවැටීම්ද අවම වේ. ඉතා සීඝ්‍ර වේගයකින් සංවර්ධනය
වූ බොහෝ රටවල් ඒ මට්ටමට ළං වූයේ විදෙස් ආයෝජන හරහාය.
එහෙත් සෑම මැතිවරණයකදීම ආර්ථික පරිසරය හා ප්‍රතිපත්ති වෙනස් කෙරෙන, මානව
හිමිකම් යටතේ රජයේ ක්‍රියාවලීන්ට එරෙහි වීමට ඉඩ ලැබෙන, රාජ්‍ය ආයතන හා ප්‍රධානීන්
රජයෙන් රජයට දාං ලෑල්ලේ ඉත්තන් මෙන් එහා මෙහා කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක්
නිතරම කුරුමානම් අල්ලන්නේ අවස්ථාවාදී තීන්දු තීරණ ගනිමින් මීළඟ මැතිවරණය ජය ගැනීමට
හා එතෙක් පවත්වා ගෙන යාම සඳහාය. එවන් ආණ්ඩුවක් දීර්ඝ කාලීන සංවර්ධන ක්‍රියාවලීන්
සැලසුම්කරන්නට උත්සුක වන්නේ නැත. අනෙක් අතට නිරන්තරයෙන් මැතිවරණ පැවැත්වීම සඳහා
කාබාසිනියා කෙරෙන අති මහත් මුදල් සම්භාරය දුගී රටකට දරා ගන්නට නොහැකි තරම්ය.
අනෙක් අතට ජනහිතකාමී ආඥාදායකයෙකු මෙන් නොව ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ වලින්
තේරී පත් වන්නේ සමාජ විරෝධී, අවස්ථාවාදී නියෝජිතයන් වන විට තත්ත්වය තවත් බැරෑරුම් වේ.
මේ තත්ත්වය ශ්‍රී ලංකාව වැනි දුගී රටවල මහජන මුදල් මංකොල්ල කන ජනතාවම පත් කළ
නියෝජිතයින්ගේ ක්‍රියාකලාපයන්ගෙන් මොනවට සඵුට වී ඇත.
මෙවන් සමාජ විරෝධී මහජන නියෝජිතයන් තෝරා පත් කර නොගැනීමට තරම් ජනතාව
දේශපාලනිකව සවිඥානික වීම අවශ්‍ය වන්නා සේම සිදු වූ වරද නිවැරදි කර ගැනීමටද අවකාශ
සැලසීම වැදගත්ය.
ප්‍රජාතන්ත්‍රවාදය නිරතුරුවම සුපරික්ෂාකාරී වීම මගින් වඩාත් සාධාරණ, වගකීම්
සහිත හා කාර්යක්ෂම ලෙස දියුණු කර ගත යුතු ක්‍රමවේදයකි. එය කාලානුරූපව නවීකරණය
වෙමින් ප්‍රතිසංස්කරණය විය යුතුය. මේ සඳහා විද්වතුන්, වෘත්තිකයන් මෙන්ම සිවිල් ක්‍රියාධරයන්ගේද
මැදිහත් වීම අත්‍යවශ්‍යය.
ප්‍රජාතන්ත්‍රවාදය නවීකරණයට ලක් කිරීම සඳහා විවිධ රටවල ක්‍රියාත්මක වන විකල්ප
දෙකක් මෙහි ලා සඳහන් කරන්නේ එය ඉහළ සාක්ෂරතාවකින් හෙබි ජනතාවක් වෙසෙන ශ්‍රී ලංකාව
වැනි රටක අත්හදා බැලීමට සුදුසු බැවිනි. එමගින් ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ
මැතිවරණ හරහා පත්වන ජනතා නියෝජිතයින්ට සිය ධූර කාලයේදී අන්තනෝමතික ලෙස හැසිරීමේ
අවකාශ ගිලිහී යනු ඇත.
මින් පළමු විකල්පය වනුයේ ඡන්ද පත්‍රිකාවේ “ඉහත කිසිවෙකුත් නොවේ” (Non Of
The Above) යනුවෙන් කතිරය ගැසීමට
අවස්ථාවක් දීම මගින් මැතිවරණයකදී ඒ ඒ දේශපාලන පක්ෂ විසින් සමාජ විරෝධී අපේක්ෂකයන්
නම් කිරීම පිළිබඳ සිය අප්‍රසාදය පළ කරන්නට අවස්ථාව සැළසීමයි. දැනට ඡන්ද පොළට නොයා
සිටීමෙන් හෝ ඡන්ද පත්‍රිකාව කටු ගා දැමීමෙන් පළ කෙරෙන විරෝධතාවට මෙමගින් වඩාත්
සාධනීය විකල්පයක් ලැබෙනු ඇත. (මේ ලේඛකයා බොහෝ මැතිවරණ වලදී ක්‍රියා කොට ඇත්තේද මේ
ආකාර දෙකට වීම උදාහරණයක් ලෙස සටහන් කරමි.)
“ඉහත කිසිවෙකුත් නොවේ” වෙනුවෙන් ලැබෙන ඡන්ද වෙනම ගණනය කළ යුතු අතර ප්‍රතිඵල
ලෙස වෙනම ප්‍රකාශයට පත් කළ යුතුය. මෙය ක්ෂණික ප්‍රතිඵල ගෙන දෙන්නක් නොවූවද දීර්ඝ
කාලීනව බලපෑමක් ඇති කරනු ඇත. එමගින් දැනට නාම යෝජනා ලබන්න දූෂණ චෝදනා ඇති, වංචනික
ක්‍රියාවල නියැලුණු, අපරාධ වලට සම්බන්ධ වූ අපේක්ෂකයින් නිසා කළකිරීට පත්ව ඡන්ද
පොළට යාමෙන් වැළකී සිටින දැනුම්වත්, අවස්ථාවාදී නොවන ඡන්දදායකයින් පිරිසක් මැතිවරණ
ක්‍රියාවලියට එක් කොට ගැනීමට ඉඩකඩ සැලසනු ඇත.
දෙවැනි විකල්පය වන්‍නේ මහජන ඡන්දයෙන්තේරී පත් වු පසු ජන මතයට පිටුපා, තම
උදර පෝෂණය සඳහා පිල් මාරු කරන, දූෂණයේ යෙදෙන, වෙනත් කවර හෝ ආකාරයකින් ජනමතයට ද්‍රෝහී
වන අපේක්ෂකයෙකු නියමිත ධූර කාලයට පෙර ඉවත් කිරීමේ අයිතිය පුරවැසියාට හිමි කර දීමය.
“ඉවත් කිරීමේ අයිතිය” (Right To Recall) ලෙස හැඳින්වෙන මේ ක්‍රමවේදයේදී කිසියම් අවස්ථාවක ඡන්දදායකයන්ගෙන් 50% හෝ එවන් පුර්ව නිශ්චිත සංඛ්‍යාවකගේ අත්සන් සහිත
පෙත්සමක් මගින් දැනුම් දුන් කල්හි එම ඉල්ලීම බලාත්මක කිරිම වෙයි. මෙවිට අදාළ මංත්‍රීවරයා
ඉවත් කොට අතුරු මැතිවරණයක් මගින් සුදුස්සෙකු තෝරා පත් කර ගැනීමට අවස්ථාව සළසා දිය
හැකිය. ජනතා පරමාධිපත්‍යය යන්න හිස් වචනයකට සීමා නොවී පුළුල් අර්ථයෙන් සක්‍රීය
වන්නේ එවිටය.
මේ විකල්ප මගින් නුසුදුස්සන්ට අපේක්ෂකත්වය දීමේ ප්‍රවණතාවට බාධා ඇති වන්නා
සේම, ජය ගත් කිසියම් අපේක්ෂකයෙකුට සමාජ විරෝධී කටයුතු කිරීමේදී දෙවරක් නොව තුන්
වරක් නැවත සිතීමට බල කෙරේ.
ප්‍රජාතන්ත්‍රවාදය යන්න නවීකරණය කොට වඩාත් අර්ථ ගැන්වීම සඳහා මෙවන් නව
අදහස් හා ක්‍රියාමාර්ග හඳුන්වා දීම වැදගත් වන්නා සේම ඒ පිළිබඳ නිරන්තර අවධානයෙන්
පසු වීමද ඉතා වැදගත්ය.
එසේ නොමැතිව ප්‍රජාතන්ත්‍රවාදය බලාත්මක කිරීමේ හුදු සටන් පාඨ මුරගෑ පමණින්
රටක සංවර්ධනය බලාපොරොත්තු වීම විහිළුවකි.
-
Good one..!
ReplyDeleteThank you.
Deleteහෙන්රි අයියාගේ ලිපියේ “ඉවත් කිරීමේ අයිතිය” ලෙස කරන යෝජනාව අතිශය වැදගත්.එහෙම යෝජනාවක් අපේ ව්‍යවස්ථාවට ඇතුලත් කරගන්න පුළුවන් වුනොත් "යහපාලනය"යම් දුරකට හෝ යථාර්තයක් කර ගන්න පුළුවන් වේවි.
ReplyDeleteමාස කිහිපයකට පෙර මේ ගැන ඉකොනොමට්ටා ලියු ලිපියක්.
යහපාලනය නම් වචනෙට පමණක් සීමා වූවක් වුවත් “ඉවත් කිරීමේ අයිතිය” ලෙස කරන යෝජනාව කවරකු බලයට ආවත් අත්හදාබැලිය යුතු සංකල්පයක්.
Deleteබහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රෝඩාවක් බව මගේ අදහසයි.ඍජු ප්‍රජාතන්ත්‍රවාදය හැර විසදුමක් නෑ. නමුත් ඊට පෙර පුරවැසියන් සමාන හා ස්වාධීන විය යුතුයි. විශේෂ බැදීම් හා ලැදියාවන් ඇත්නම් ප්‍රජාතන්ත්‍රවාදය සාර්ථක නැහැ.මා එක් ලිපියක විකල්ප දේශපාලන ක්‍රමයක් ගැනත් අලුත් අදහසක් ඉදිරිපත් කලා.
ReplyDeleteතව කාරනයක්. අසූව දශකයේ සිසු සටන් ගැන කතා කරන විට ඔවුන් රජයට චෝදනා කලේ ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ කියායි. නමුත් ඔවුන්ගේ විකල්පය වුනේ ප්‍රජාතන්ත්‍රවාදයක් මානව නිදහසක් නැති චීන සෝවියට් පන්නයේ තනි පක්ෂ ආඥාදායක ක්‍රමයක්.ඔබත් ඔවුන් ගැන අනුකම්පාවෙන් බලා අදහස් දක්වා ඇති බව මා දැක තිබෙනවා.අශ්වාදයෙන් එම සටන් ගැන කතා කර තිබෙනවා. මෙම කොමෙන්ටුව විවේචනයක් නොවෙයි. නමුත් එම සිසු අභිලාශ සහ ඔබේ මේ අනගි ලිපිය අතර පරස්පර බවක් මා දකිනවා.
ලිපිය අගය කළාට ස්තූතියි.
Deleteමා විශ්වාස කරන්නේ සටනින් තොර ජයක් නොමැති බවයි. එය ශිෂ්‍ය සටනක්ද, වෘත්තීය අරගලයක්ද, සාධාරණ තීන්දු තීරණ වෙනුවන් කරන වෙනත් සටනක්ද යන්න නොවෙයි වැදගත්. ඒ ගැන ඉතිහාසය ඕනෑවටත් වඩා උදාහරණ සපයනවා.
එහෙයින් පාලකයන්ට අන්තනෝමතිකව හා අධානග්‍රාහී ලෙස ක්‍රියාත්මක වීමට ඉඩ නොදීම සඳහා කෙරෙන කවර අරගලයක්, සටනක් වුවත් ආශ්වාදජනකයි.
ප්‍රජාතන්ත්‍රවාදය හා ආඥාදායක ක්‍රමය අතර ඇති සාධනීය මෙන්ම නිෂේධනාත්මක භාවිතයන් ඒ ඒ පාලන තන්ත්‍රවලට සාපේක්ෂ බව මා දක්වා තියෙනවා.